PDA

View Full Version : ජාතික කොඩියට ගරු කරන්න


djdush
02-04-2010, 07:06 AM
යම් රටක ස්‌වාධීනත්වය සහ එම රටේ ජීවත් වන ජනතාවගේ එක්‌සත් බවේ සංකේතය නිරූපණයේදී ජාතික කොඩියට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. "ජාතික කොඩියට ගරු කරන්න, ඉන් ඔබ ද ඔද වැඩී යනු ඇත" ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩය වේ. සෑම ශ්‍රී ලාංකිකයකුගේ හදවතට මේ පණිවුඩය යායුතු වේ. ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු හා සිතුම් පැතුම් පිළිබිඹු කරන සංකේතය වන ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

අද අප සමරනුයේ 62 වැනි නිදහස්‌ දිනයයි. දශක තුනකට පසුව සියලු ශ්‍රී ලාංකිකයන් එක්‌ව සිත්සේ වචනයේ පරිසමාප්තයෙන් නිදහසේ සරමනු ලබන නිදහස්‌ දිනයක්‌ ලෙස අද සමරන 62 වැනි නිදහස්‌ දින හැඳින්විය හැක. අධිරාජ්‍යවාදී ආක්‍රමණයෙන් පසු මෙරට නැවතත් අරාජික තත්ත්වයට ඇද දමනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසුව දිවයිනේ සතර දිග් භාගයේම ශ්‍රී ලංකා ජාතික ධජය සාඩම්බරයෙන් ලෙළ දෙන පළමු අවස්‌ථාව මෙය වේ.

එලෙස ලෙල දෙන ජාතික කොඩිය දකින සෑම ශ්‍රී ලාංකිකුගේම දෙඋර සෘජුවී, හදවත් ජාතිමාමකත්වයෙන් පුබුදුවී සියලු සිතුම් පැතුම් මව්බිම දෙසට යොමුවීම නිරායාසයෙන්ම සිදුවිය යුතුය. එලෙස ජනිත වන හැඟීම් ඇත්තෝ භාග්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝ වෙති.

අද භාවිත ජාතික කොඩිය 1978 සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසකි.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථා

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථාවන් දෙකකි. එනම් ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හිදී සහ සියලුම රාජ්‍ය උත්සවලදීය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන අවස්‌ථාවන් අනුව එය භාවිත කළ යුතු ආකාර පිළිබඳ මීළඟට සලකා බලමු.

djdush
02-04-2010, 07:08 AM
එළිමහනේදී

- ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්‌ථාවක වුවද, එයට ඉහළම ගෞරවණීය ස්‌ථානය දිය යුතු අතර, එය පැහැදිලිව පෙනෙන ස්‌ථානයක සවිකළ යුතුය.

- විදෙස්‌ රාජ්‍ය නායකයකු මෙරට පැමිණි විට එම රාජ්‍ය නායකයාගේ රටේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන අවස්‌ථාවන්හිදී ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය.

- සෑම අවස්‌ථාවකදීම ජාතික කොඩිය එසවීම සහ පහත් කිරීමද සෙමින් ගෞරවාන්විතය කළ යුතුය.

- ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි කොඩියේ සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා ලෙසිනි.

- සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛතම ස්‌ථානය ලබාදිය යුතුය. වෙනත් ජාතීන්ට අයත් ජාතික කොඩි ඔසවා තබන්නේ නම් ඒවා ජාතික කොඩි ගසට සමාන උසින් සිටින සේ ඔසවා තැබිය යුතුය. එමෙන්ම එම කොඩි ශ්‍රී ලංකා ජාතික කොඩියට වම්පසින් තිබිය යුතු වේ. සාමකාමී සමයකදී එක්‌ රටක ජාතික කොඩිය වෙනත් රටක ජාතික කොඩියට වඩා ඉහළින් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ව්‍යවහාරයට අනුව තහනම්ය.

- විශේෂ අවස්‌ථාවන්හිදී පමණක්‌ රාත්‍රි කාලයේ වුවද ගොඩනැඟිලිවල ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය. එබඳු සෑම අවස්‌ථාවකදීම ජාතික කොඩිය විදුලි ධාරා ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය.

- ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේද ජාතික කොඩිය හා සමාන උසකිනි.

- ප්‍රාදේශීක හෝ සමිති, පාසල්, සංගම් ආදියෙද කොඩි සමග සාමූහික වශයෙන් ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවලදී ජාතික කොඩිය සියල්ලටම මැදින් එහි ඉහළම ස්‌ථානයේ ඔසවා තැබිය යුතුය.

- එලෙස කොඩි ගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලැබූ විට පළමුවෙන්ම එසවිය යුත්තේ සහ අවසානයට පහත් කළ යුත්තේද ජාතික කොඩියයි.

- ගාඩනැඟිල්ලක හෝ ජනෙල් පඩියකින් හෝ සඳළුතලයකින් හෝ ඉදිරිපසින් පිටතට නෙරා සිටින ලෙස සවි කළ ගොඩි ගසක ජාතික කොඩිය ඔසවන්නේ නම් එය අඩකුඹ කළ යුතු අවස්‌ථාවකදී හැර කොඩිය ඒ කණුව මුදුනෙන්ම එල්ලිය යුතුය. එමෙන්ම එම කණුව තිරස්‌ අතට නොව අංශක 45 ක කෝණයක්‌ ඇතිවන පරිදි සවි කළ යුතු වේ.

- වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන්නේ නම් සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

- ජාතික කොඩිය ඔසවනු ලබන විට කාලගුණ තත්ත්වය කුමක්‌ වුවද ඉරිදා දින හා නිවාඩු දින ඇතුළුව සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැස්‌ම දක්‌වා එය එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය.

- ජාතික කොඩිය කථික වේදිකාවක්‌ මත ඔසවා තබනු ලබන්නේ නම් එවැනි අවස්‌ථාවකදී කථිකයා සභාවට මුහුණ දුන් පසු ඔහුගේ දකුණින් තිබෙන පරිදි එය කොඩි ගසක මුදුනේ ඔසවා තැබිය යුතු වේ. එසේ නැතිනම් කථිකයාට පිටුපසින් වූ බිත්තියට හේත්තුවන ලෙස ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය.

djdush
02-04-2010, 07:08 AM
ජාතික කොඩිය අඩකුඹ කිරීම

ජාතික ශෝක දිනයන්හිදී ජාතික කොඩිය අඩකුඹ කර තබනු ලබයි. එලෙස ජාතික කොඩිය අඩකුඹ කරන අවස්‌ථාවන් තීරණය කරනු ලබන්නේ රජය විසිනි.

ජාතික කොඩිය අඩකුඹ කර තැබීමේදී පළමුවෙන් කළ යුත්තේ කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහළට ඔසවා තබා, යළි අඩකුඹ කර තැබෙන ස්‌ථානය දක්‌වා පහත් කිරීමයි. එහෙත් දවස අවසානයේදී ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුය. කොඩිය අඩකුඹු කළ යුතු දුර ප්‍රමාණය වන්නේ කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3 ක උස ප්‍රමාණයකින් පහත් කිරීමෙනි.

පෙරහැරවල ජාතික කොඩිය භාවිත කිරීම

- පෙරහරවලදී ජාතික කොඩිය ගෙන යන විටදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන නොයා යුතුය.

- වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය පෙරහැරක ගෙන යන අවස්‌ථාවන්හිදී එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇත්නම් එම කොඩි පෙළේ මැදට ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුය.

- කිසවක්‌ හෝ කිසිවකු වෙනුවෙන් ජාතික කොඩිය මඳ වශයෙන් හෝ පහත් කිරීම නොකළ යුතුය.

උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය එසවීම

- ජාතික කොඩිය කිසිදු අවස්‌ථාවකදී බිම නොතැබිය යුතුය.

- කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්aතේ නොවේ.

- උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්‌ථාවේදී සියලුම දෙනා ආසනවලින් නැගිට සීරුවෙන් කොඩියට මුහුණ දී සිටිය යුතුවේ. කිසිදු ආකාරයකින් ආහාරපාන ගැනීම, කතා බස්‌ කිරීම, සිනාසීම නොකළ යුතුය.

- මෙවැනි උත්සව අවස්‌ථාවන්හිදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන්කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.

- ජාතික කොඩිය එසවූ සැනින් ගායක මණ්‌ඩලයක්‌ විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතු අතර, රැස්‌ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගිවීම වඩාත් සුදුසුය.

ඔබ ජාතික කොඩිය භාවිත කිරීමේදී ඉහත සඳහන් ක්‍රමවලට අනුකූලව ජාතික කොඩිය භාවිත කරන්නේද? කණගාටුවෙන් වුවද පැවැසිය යුත්තේ එය සැම විටම එසේ නොවන බවය. අප බොහෝ අවස්‌ථාවලදී ජාතික කොඩිය භාවිත කරන්නේ එයට නිගා දෙන අයුරුනි. මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී ජාතික කොඩිය තම ඇඟේ දටවාගත්, හිස්‌වැස්‌මක්‌ ලෙස යොදා ගත් ක්‍රීඩාලෝලීන් සිදුකරන්නේ ජාතික කොඩියට අවමානයකි. මෙය අප සුලබව දකින එක්‌ උදාහරණයක්‌ පමණකි.

ජාතික කොඩිය යනු අප රටක ස්‌වාධිපත්‍යය පිළිබිඹු කරන්නකි. එය ජාතියේ අභිමානයයි. එම නිසා ජාතික කොඩියට නිගරු කරනවා යනු ජාතියට අවමන් කිරීමකි.

ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය නමැති කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසුණි.


www.divaina.com

Puzhi
02-07-2010, 08:47 AM
good thread rep+ added

Nalindax
02-07-2010, 08:54 AM
:yes: elakiri machan

blacktulip
02-07-2010, 11:33 AM
good , thanx dear
http://www.elakiri.com/forum/showthread.php?t=392074