ඔහු මෙන්ම ඈ, බියකරවන කුරුලෑ (Acne/pimples)
Posted 05-28-2010 at 11:17 AM by භාග දොස්තර (Half Doctor)

1. සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් මුහුණ සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි.

2. සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි.

3. ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියන එකේ කිසිම සත්‍යයක් නැහැ.

4. වෛද්‍යවරයාට කියා නියම කරවා ගත හැකි කුරුලෑ වලට අදාල ප්‍රතිකාර ඖෂධ කීපයක්ම තියෙනවා.

අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ (Acne/pimples) හදෙනව. සමහරක් මැදිවියේ කට්ටියටද කුරුලෑ හදෙන්න පුලුවන්. කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුලුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුලුවන්. කුරුලෑ තදින් වලඳුනොත්, සමේ කැළැල් ඇතිවෙනවා, නමුත් නිසි ප්‍රතිකාර මගින් මෙය වලක්වා ගත හැකියි.
කුරුලෑවක් යනු කුමක්ද?

සමේ ඇති ස්වේද ග්‍රන්ථි (sebaceous glands) තුල වැඩිපුර ස්වේදය (sebum) නිපදවීම හෙතුවෙන් එම ග්‍රන්ථිය තුලින් පැන නගින කෙස් ගස් (hair) මැරෙනවා. ග්‍රන්ථිය තුල හිරවන ස්වේදය හා සෛල සමග අවට ඇති සමද ආසාදිත තත්වයකට පත්වෙනවා. අවසානයේදී එම ග්‍රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන්ගෙන් පිරී සැරව කුහරයක් බවට පත් වෙනවා. මෙසේ ඇති වූ සැරව පිරි කුරුලෑව කඩා නොදැමුවහොත් බොහෝ විට ඉබේටම පුපුරා ඉවත් වෙනවා. ටික දිනකින් සම යළි ස්වාභාවික තත්වයට පත්වෙනවා.
- ස්වේදය සමට වහාම යතින් එකතු වුනොත්, සුදු පැහැ ගෙන සුදු බිබිලි ඇතිවෙනවා. (whiteheads)
- සිරවුනු ස්වේද නාල පිම්බී අරෙන්නට පුලුවන්, එතකොට, එතන කලු පැහැ ගන්වෙනවා (blackheads), ඒ සිරවුනු ස්වේදය හා ප්‍රෝටීන නිසායි. කුණු නිසා නොවේ.
- මෙම බිබිලි ඉදිමී රතු වී ආසාදනය වෙන්නේ එහි බැක්ටීරියා වර්ධනය වන්නට පටන් ගත් විටයි. (papules)
- සමහර ඉදිමුණු තැන් සැරව වලින් පිරී ගොස් සැරව බිබිලි ඇතිවෙනවා. (pustules)
කුරුලෑ බොහෝ විට දකින්ට ලැබෙන්නේ මුහුණ, බෙල්ල, පිට, පපුව, හෝ අත් වලයි.
කුරුලෑ වලින්ම පමණක් විශාල හානියක් නොවුවත් කුරුලෑ තදින් වලඳුනොත්, සමේ කැළැල් ඇතිවෙනවා, නමුත් නිසි ප්‍රතිකාර මගින් මෙය වලක්වා ගත හැකියි.
කුරුලෑ ඇති වීමට හේතුව කුමක්ද?

කුරුලෑ ඇති වීමට හේතුව හරියටම කියන්න අමාරුයි.
යෞවනයන්ට කුරුලෑ ඇති වීමේ ප්‍රධානම හේතුව බොහෝවිට, යෞවනයට පත්වීමේදී ඔවුන්ගේ හෝමෝන (hormones) පද්ධතියේ ඇතිවන උද්දීපනයයි. මෙම වෙනස්වීම නිසා සමේ ස්වේදය නිපදවීම වැඩිවී සම වඩාත් තෙල් ගතියක් ඇති කරනවා.
පවුලේ වෙන කාට හෝ කුරුලෑ ඇත්නම් ඔබටත් තිබීමේ හැකියාව වැඩි වෙනවා.
- රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා තෙල් සහිත ද්‍රව්‍ය
- සම තදින් ඇතිල්ලීම
- මානසික අසහනය
- නොමේරූ කුරුලෑ කැඩීම හෝ මිරිකීම
- පරිසර දූෂණය හා ඉහළ ආර්ධතාවය
- ඔසප් වීමේදී, උපත් පාලන පෙති ගැනීමේදී/නැවැත්වීමේදී ඇතිවන හෝමෝන වෙනස
කුරුලෑ පිළිබ්ඳ මිත්‍යා විශ්වාස බොහෝමයි.

- සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි. කලු ලප අතිවෙන්නේ කුණු නිසා නෙවෙයි. තදින් ඇතිල්ලීම කුරුලෑ තවත් වැඩි කල හැකියි.
- බොහෝ දෙනෙක් කියනවා තෙල් සහිත ආහාර කුරුලෑ ඇති කරනවා කියලා, නමුත් චොකොලට්(chocolate) , මේද ආහාර (fatty foods) වලින් කුරුලෑ ඇතිකරනවයි කියා පිලිගත් සාක්ෂි තවම නැහැ. සමහර සමීක්ෂණ වලදී ඉහළ ශක්තිජනක, කෙඳි අඩු ආහාර කුරුලෑ උත්සන්නවන බව පෙන්වුවත් මෙය බොහෝවිත ආහාරයේ ශක්තිය ඉක්මනින් නිදහස් වීමේදී ඇතිවන හෝමෝන වෙනස නිසා බවයි පිළිගැනෙන්නේ.
- සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි. කාටවත් කුරුලෑ බෝ වෙන්නටත්, බෝ කරන්නටත් බෑ. කුරුලෑ ඇති කෙනෙක් (ආදරවන්තයා කියල කියමුකෝ) සිප ගත්තයි කියලා කුරුලෑ ඔබට බෝ වන්නේ නෑ. කුරුලෑ ඇතිවන්නට බැක්ටීරියාවන් හේතු වුවත්, මේවා සමේ ස්වාභාවිකව ජීවත් වන, වෙනත් බොහෝ වෙලාවට "අහිංසක" බැක්ටීරියාවනුයි.
- ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියල ඔබ අහල තියෙනවද? එහි කිසිම සත්‍යයක් නැහැ. ඒත් මානසික පසුතවීම, අවිවේකීභාවය, තරඟකාරී ක්‍රීඩා සමග කුරුලෑ ඇති වීමේ සම්බන්දයක් තියෙනවා. ස්ව්‍යං වින්දනය පිළිබඳව ඔබ බියටත් පසුතැවීමටත් පත්වී සිටී නම් සමහර විට එය කුරුලෑ ඇතිවීමට බලපෑ හැකියි. ඒත් මෙය ඔබ අනිවාර්යයෙන් දත යුතුයි, ලිංගික ස්ව්‍යං වින්දනයත් කුරුලෑ ඇතිවීමත් යන දෙකම යොවුන්වියේ නිරෝගි සෞඛ්‍ය සම්පන්න අයට ඇතිවන ස්වාභාවික සංසිද්ධි දෙකක්. ඒ දෙකම පිළිබඳව ඔබ පසුතැවිල්ලට පත් විය යුතු නැහැ.
කුරුලෑ තිබෙන බොහෝ දෙනෙක් එයට පොඩ්ඩක්වත් කැමති නැහැ. සමහරුන්ට එය ලජ්ජාවට කාරණයක්, සමහරුන්ට මානසික කනස්සල්ලට පවා පත් වීමට හෙතුවක්. ඔබ එතරම්ම එය ගැන වද වෙනවා නම්, එය වෛද්‍යවරයාට පවසන්නට මැලි වන්නට එපා. සුව කිරීමට වඩාත් ප්‍රභල ඖෂධ එවිට භාවිතා කරාවි.
කුරුලෑ යෞවනයේ රෝගයක්, බොහෝවිට එය වයසින් වැඩිවන විට ඇරී යනවා. සාමන්‍යයෙන් කුරුලෑ ඇතිවන කාලය අවුරුදු පහක් පමණ, නමුත් සමහර විට මෙය අවුරුදු ගණනක් දිගට පැවතිය හැකියි.
කුරුලෑ අඩුකර ගැනීමට ප්‍රතිකාර උදව් කර ගත හැකියි, නමුත් ප්‍රතිකාරය සාර්ථක වනවාදැයි බැලීමට මාස දෙකක් වත් ගත වෙනවා. තවද ප්‍රතිකාරය අවම වශයෙන් මාස හයක් වත් ගැනීමට සිදුවේ. ප්‍රතිකාර මුහුනේ කැළැල් අඩුකිරීමට හේතුවේ.
එක් ප්‍රතිකාර ක්‍රමයකින් ඵලක් නැත්නම්, නැවත වෛද්‍යවරයා කරා ගොස් වෙනත් ප්‍රතිකාරයක් යොදා බැලීම සුදුසුයි.
බොහෝ විට මේ සඳහා ඔබේ සාමාන්‍ය වෛද්‍යවරයාටම ප්‍රතිකාර කල හැකි නමුත් චර්ම රෝග විශේෂඥ (dermatologist) වෛද්‍යවරයෙකුට යොමු කිරීමට හේතු,
- ඉතා තදබල ලෙස පැතිරුණු කුරුලෑ තිබුනොත්
- කුරුලෑ නිසා සම කැළැල් වීමේ අවදානමක් තිබුනොත්
- ප්‍රතිකාර ක්‍රම කීපයක් බලා තවමත් සුවයක් නොතිබුනොත්
- කුරුලෑ ඇතිවන්නෙ ආසාත්මිකතාවයක් නිසා නම්
නිවසේදී වෙද-හෙදකම්,

- මනා ශරීර ස්වස්ථතාව - කුරුලෑ ඇති ප්‍රදේශය හොඳින් සබන් යොදා දවසට කිහිපවරක් සේදීම.
- අලුත් පළතුරු වර්ග හා එළවළු වර්ග වැඩිපුර අනුභව කිරීම.
- වේදනාකාරී කුරුලෑවක් ඇති වූ විට එය උණු වතුරින් තැවීම.
සම නීරෝගීව තබා ගැනීමට ඔබටම කල හැකි දේ වන්නේ,

- ඔබේ සම පරිස්සමින් පිරිසිඳු කරන්න. සමහරුන් තදින් මැදීමෙන් කලු ලප, තෙල් ඉවත් කිරීමට ගන්නා උත්සාහය නුසුදුසුයි.
- කුරුලෑ ඇල්ලීමෙන් වලකින්න. ඒවා මිරිකීම/කැඩීම නොකල යුතුයි.
- සම අව්වට පිච්චීම අවම කරන්න, විශේෂයෙන්ම සමහර ඖෂධ වර්ග අව්වට සම පිච්චීම වැඩිකරයි.
- පරිස්සමින් රැවුල කැපීම (shaving) සිදුකරන්න. එලෙක්ට්‍රොනික් හෝ සේෆ්ටි රේසර්(electronic/safety razors) භාවිතය වඩාත් සුදුසුයි.
- තෙල් රහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න.
වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?

කුරුලෑ වලට අදාල ප්‍රතිකාර ඖෂධ කීපයක්ම ඇත. ඔබට ලැබෙන ප්‍රතිකාරය කුරුලෑ වල තදබල බව අනූව තීරණය වේ.
ප්‍රතිකාර කුරුලෑ තත්වය බොහෝ දුරට මැඩපවත්වයි. නමුත් එය ක්‍රියාත්මක වීමට සති 8ක් වත් ගත වේ.
වෛද්‍යවරයා නිර්දේශ කල හැකි ඖෂධ,
බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)
ජෙලි, ක්‍රීම් හෝ දියර ලෙස ඔසුහල් වලින් ලබා ගත හැක. පාවිච්චි කර බැලීමට සුදුසු පලමු ඖෂධයයි. සියයට 2.5 හෝ සියයට 5 සාන්ද්‍රණයෙන් ලබා ගත හැකි මෙය සබන් යොදා සෝදා, සම වියලා එය මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කල යුතුයි.
ප්‍රතිජීවක (Antibiotics)
කුරුලෑ සඳහා තවත් ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මුඛයෙන් කරල් හෝ පෙති වශයෙන්ද, දියර හෝ ක්‍රීම් ලෙස සමෙහි ආලේපයටද ලබා ගත හැක.
ට්‍රෙටිනොයින් (Tretinoin)
හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයකි. දවසට වරක් ආලේප කරන ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුල ආලේප කිරීම නුසුදුසුය. මෙය ආලේප කර තද අව්වට නිරාවරණය නොවිය යුතුය.
අයිසොට්‍රෙටිනොයින් (Isotretinoin)
ඉතා තදබල ලෙස පැතිරුණු කුරුලෑ ඇති අයට පමණක් වෛද්‍ය උපදෙස් මත ලබා දේ.
References,
Guidelines of care for acne Vulgaris management
emedicine - Acne Vulgaris
Medscape - Acne Resource centre
Acne Vulgaris wikipedia
Total Comments 0












