ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > මල් යාය
Reload this Page සිනිඳු සුදු මුතු
එළකිරියේ එළ මිතුරන් වෙත සෙනෙහසින් පිදෙන සාහිත්‍යමය, දේශපාලනික සා සමාජයීය විවරණයකි
Rate this Entry

සිනිඳු සුදු මුතු

Submit "සිනිඳු සුදු මුතු" to Digg Submit "සිනිඳු සුදු මුතු" to del.icio.us Submit "සිනිඳු සුදු මුතු" to StumbleUpon Submit "සිනිඳු සුදු මුතු" to Google Submit "සිනිඳු සුදු මුතු" to Facebook Submit "සිනිඳු සුදු මුතු" to Twitter
Posted 11-03-2009 at 06:23 PM by Wal Bada


ආචර්ය අමරදේව


සිරි ගුණසිංහ


මහගමසේකර

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනා සේ

සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනී


සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ආචර්ය අමරදේව
පද වැල: මහගමසේකර
සිනමා පටය: සත් සමුදුර

ඒ 1967 වසරයි. සිංහල සංගීතය අනුකාරකත්වයෙන් මුදවා ගන්නට තැත් කල යුගයකි එය. සුනිල් ශාන්තයන් විසින් අරඹන ලද එම මහඟු කාර්යය මඳකට මෙකල නැවතී තිබිණි. නමුත් අමරදෙවයන්ගේ නැගී ඒම සිදු වූයේ මෙකලය. භාරතීය මහා සම්ප්‍රදාය ගුරු කරගෙන ඒ අනුකූලව දේශීය නාද රටා මෙහෙයවීම ඒ වන විට අමරදේවයන් අරඹා තිබුනි. මෙකල ප්‍රේමසිරි කේමදාස නම් කෙනෙක් නොවීය. සිම්ෆනි, කැන්ටාටා සහ ඔපෙරා යන වචන අසා නුපුරුදු ලාංකිකයාගේ දෙසවනට ප්‍රථම වරට මෙකී ශාස්ත්‍රීය සංගීතය ගෙන ආවේ සෝමදාස ඇල්විටිගලයන්ය. සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර සිනමා පටයට අඩංගු වූ මේ ගීතය සිංහල සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූවකි. පසු කලෙක ආ කේමදාසයන් මෙන් නොව ඇල්විටිගලයන්ගේ සංගීතය මුළුමණින්ම මහා සම්ප්‍රදායයේ එකකි. නමුත් එතුල සිටිමින් ඔහු නිමැවූ මේ අපූරු ගීතය වනාහි මිනිත්තු හතකට කිට්ටුව දිවෙන "සාගරික සිම්ෆනියකි". චණ්ඩ කුණාටුවක් සෙමින් සෙමින් නිශ්චලත්වයෙන් ඇරඹි දෙරණ දෙදරවා මුහුද ගොඩට ගලන ආකාරය මෙයින් සංගීතවත් වේ. කුඩා රළ, මහා රළ, අතර මැද නිශ්චලතාවය, හා සිවුරුහන් නගන කුණාටු සුළඟේ හඬ සියල්ලම මෙහි සංගීතය තුල අඩංගු වේ. අමරදේවයන් ඔපෙරා ගයකයකු වී නම්, ඔහු ලෝක පූජිත වන්නට තිබූ බව මේ ගීයට සවන් දෙන විට නිතැතින්ම වැටහේ. ඔහු අප රටේ උපන්නේ අප පිනටය. නමුත් ඔහු භාරතයේ උපන්නේ නම්, ආසියාවේ මහා ගන්ධර්වයා බවට ඔහු පත් වනු නො අනුමානය.

අපට අපේ දෑ අගය නැත. මේ ගීතයත් එසේමය. සාගරය පදනම් කරගෙන මෙබඳු නිර්මාණ ජගත් තලයේ පවා බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. නමුත් අප අද මේ ගීතය හෝ එහි නිර්මාපකයා ගැන කතා කරන්නේ නැත.ඒ වෙනුවට අප උඩ දමන්නේ වෙනත් නිර්මාණයන්ය. මේ නිර්මාණයට කිට්ටු කල හැකි නිර්මාණ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. කේමදාසයන් "බඹරු ඇවිත්" සිනමා පටයට නිමැවූ "උදුම්බරා" ගීතයත් කසුන් කල්හාරගේ "වර්ණ" ගීතයත් හැරෙන්නට මේ සාගරික සිම්ෆනියට කිට්ටු කළ හැකි නිර්මාණ මා හට සිතා ගැනීමට නොහැකිය. වරක් අන්තර්ජාලය හරහා විදේශීය සංගීත ලෝලීන් පිරිසකට මම මේ ගීතය ඉදිරිපත් කළෙමි. ඉන් සමහරු ශ්‍රි ලංකාව ගැන අසා තිබුනේ ත්‍රස්තවාදය නිසා පමණකි. නමුත් සියලු දෙනාගේම වාගේ මතය වූයේ මේ ගීතය වසර 42ක් පුරා සඟවා තැබුවේ කොහිද යන්නයි. අපට අගය නොවූවත් සංගීතයේ විශ්ව සාධාරණීය රසය විදේශිකයන් විඳ ගත්තේ එලෙසය.මෙහි පද මාලාව විස්තර කරන්නේද කුණාටුවකි. නමුත් කුණාටුව ඇති වන්නේ මුහුදේද, සිත තුලද යන්න පද වැල දෙස බලන විට නොවැටහේ. ඇත්ටෙන්ම මෙමෙ ගීතයට පෙර වූ දර්ශන පෙල බලන්නේ නම්, ගීතය තුල කියැවෙන්නේද ඉන් කුමක්ද යන්න බහු අරුත් අනුව සිතා ගත හැකිය. මහගමසේකරයන් පද නිර්මාණයේ පෙන්වූ විශිෂ්ටතාවය මෙමගින් මොනවට පැහැදිලි වේ.

වසර 42ක් පුරා ශ්‍රී ලංකික ගීතයේ මුදුන් මල්කඩ වූයේ මේ ගීතය බව මම තරයේ අදහමි. තවත් සිය වසකටත් එය එසේම වනු ඇති බව මා විශ්වාසයයි.


අසන්න

බාගෙන අහන්න
Posted in Uncategorized
Views 1710 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11926 seconds with 18 queries