෴♥ ගල් කන්ද වලව්ව ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    14.png


    චේතිය හා කලන කතා බහ කර පසු දින පාසල් යාමෙන් වැළකී උන්හ.. දෙමිතුරෝ රංගගේ සුවදුක් බැලීමටද නොගියේ මේ දිනවල තරමක් ප්‍ර‍වේශම් වීම කාට කාටත් හොද බව වැටහුණ හන්දාය.. එදින සුපුරුදු ලෙස මිහිරාවිය පාසලට ඇරලූ ගුණවතී ගල්කන්ද වලව්ව බලා පිය නැගිය..

    "උඹට ආරංචිද ගුණවතියෙ වෙච්ච දේ..?"

    ගුණවතී වලව්වෙ මැද මිදුලට පා තබද්දීම ඉදිරියට දිව ආ හේතුහාමි ඇගෙන් විමසුවාය..

    "මොකක්ද හේතු හාමි අයියෙ..? මං නං කිසිදෙයක් දන්නෙ නෑ.."

    "ඊයෙ රෑ කවුදෝ කට්ටියක් පුංචි හාමුට හොදටෝම තඩිබාලා.. ඕං දැන් ඉස්පිරිතාලෙ.."

    ඒ ඇසූ ගුණවතී ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි.. ඊයේ රාත්‍රියේ චේතිය ගිය ගමන ගැනද ඇගේ සිතේ සැකයක් ඉපිද තිබිණ..

    "පුංචි හාමුට තඩිබාන්න තරම් හයිය කාරයො ඉන්නවයි මේ වැයික්කියෙ..?"

    තම සැකය සිත තුළම සගවාගත් ගුණවතී කරුණු කාරනා හරි හැටි දැන ගැනීමට උත්සාහ ගත්තාය..

    "මෙහෙ උදවිය නෙමෙයිලු ගහලා තියෙන්නෙ.. නුවරින් ආපු කට්ටියක්ලු.. විස්ස විජ්ජාලෙ උන් ටිකක්ද කොහෙද කියලයි කියන්නෙ.."

    "ඒ අහවල් එකටද හේතුහාමි අයියෙ..?"

    "ඕං ඔය විස්ස විජ්ජාලෙ ගැටිස්සියෙකුගෙ පලහිලව්වක් කියන්නෙ..";

    ගුණවතී තරමක් සැනසුම් සුසුමක් හෙලුවේ චේතියගේ ගමන ගැන වූ සැකය මදකට අමතක කරමිනි..

    "ඒ විතරක් නං මැදෑ.. තවත් ගුටි කෙලියක් ගිහින් තියෙනවා හංදිය පැත්තෙ.."

    ඇතුගල හාමුට ලැබුණු දුරකථන ඇමුතුම් වලින් අහුලාගත් කරුණු කාරණාද හේතුහාමි ගුණවතී ඉදිරියේ දිග හැරියේය..

    "ඒ කාටද ගහලා තියෙන්නෙ..?"

    "අර අපේ පුංචි හාමුගෙ වසවර්ති යාළුවො ටිකටලු.. ඒකෙ විස්තරයක්නම් මං හරිහැටි දන්නෙ නෑ බං.. ඒක නෙමේ කෝ උඹේ පුංචි එකී ඉස්කෝලෙ ගියයි..?"

    "ඔව් මං ඉස්කෝලෙට දාලා ආවෙ.. ඒකි කරන කියන දේවල් ගැන හිතනකොට වෙලාවකට බයත් හිතෙනවා.."

    ඈ එය කීවේ දිගු සුසුමක්ද සමගිනි.. මිහිරාවි පුංචි සන්දියේ ඇතුගල හාමුගේ මුහුණට කෙල ගැසූ සිද්ධියත් අ‍ශේන්ගෙ උපන්දිනයදා ඔහුගේ මුහුණ සිපගත් සිද්ධියත් හේතුහාමි දැන උන් හන්දා ගුණවතී තම සිතැගි ඔහුගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තේ නැත..

    "ඔය දැරිවි ඇරපු අතක් නෑ අපේ ළමාතැනීගෙ කපාපු පළුව.. මගේ හිතටත් වෙලාවකට මහ විකාර හිතෙනවා බං.. ඒකිගෙයි අපේ ළමාතැනීගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත් මට වෙලාවකට හිතෙනවා.."

    තම සිතට දැනෙනා හැගීම් හේතු හාමි ඒ ආකාරයෙන්ම පිට කරද්දී ගුණවතීගේ මුහුණ රත්පැහැ ගැන්විණි..

    "ඒකිගෙයි ළමාතැනීගෙයි අහවල් සම්බන්ධයක්ද.. ළමැතැනී මියැදුනා.. ඒකි මගේ දරුවා.. හේතුහාමි අයියත් දොඩවන්නෙ හරියට කරුණු කාරණා දන්නෑ වගේනෙ.."

    "උඹට ඔය හැටි ගිරිය පුප්පන්න දෙයක් මං කිව්වෙ නෑ.. මං කීවෙ මට හිතුන දේ.."

    ගුණවතීට තරහා නැගුණු බව වැටහුණු හේතුහාමි ඇයව අස්වසන්නට උත්සාහ කළේය.. ඔහු නොදැන උන්නාට ගුණවතීට තරහා නැගු‍ණේ හේතුහාමි කී දෙයට නොව චේතියලාගේ.. නතාලිලාගේ කතාබහෙන් කියවුන පුනරුත්පත්ති කතාව සිහිපත් වූ නිසාය.. එය මේ මොහොතේ හේතු හාමි දැනගන්නවාට ගුණවතීගේ සිතේ මනාපයක් වූයේ නැත..

    "හරි.. හරි.. අපි දැන් ඔය කතාව නතර කරමු.. උඹට පුළුවන්නං හොද සුප් එකක් හදලා තියහං.. දවල්ට පුංචි හාමු බලන්න යද්දි ගෙනිහිං දෙන්ට.."

    "කෝ දැන් ලොකු හාමු..?"

    තමා අහේතුකව හේතු හාමි සමග තරහ ගත් බව වැටහුණ ගුණවතී සන්සුන්ව විමසා සිටියහ..

    "උන්දැත් ඔය පාන්දරම ඉස්පිරිතාලෙ ගියේ.."

    "පුංචි හාමුට ගොඩක් අමාරුද..?"

    "මං තාම බලන්න ගියේ නෑ ගුණවතියෙ.. ආරංචියෙ හැටියට නං ගොඩක් තුවාලයිලු.."

    ඔහුගේ කතාවට ගුණවතී අත නිකටේ තබාගත්තේ "අනේ අපොයි" කියමිනි..

    "ඒ කොයි හැටි වෙතත් අර වසවර්ති රැලට නං ගහපු එවුන්ට මසුරන් දෙන්න වටිනවා.. උන් වැඩිහිටියන්ට ගරුසරු ඇතුව කතා කරන්නවත් දන්නෙ නෑ නොවැ.. නිතරම ඉන්නෙ දහ ජරාව කටේ ගාගෙන..

    හේතුහාමිගෙ කතාව ගුණවතීද අනුමත කලේ එම පිරිස හේතුහාමිට කීපවරක්ම නාකියා ලෙස අමතනු ඇයට ඇසී තිබුණ බැවිනි..

    "දැන් ඉස්සර වගේ පව් පලදෙන්න පමා වෙන්නෙ නෑ හේතුහාමි අයියෙ.. මේ ආත්මෙ කරන ඒවා මේ ආත්මෙම පල දෙනවා.."

    එසේ කියූ ගුණවතී සේදූ වළං පිගන් සියල්ල වතුර බේරීමට රාක්කයේ තැන්පත් කළහ.. හේතුහාමිද නැගිට ඉදිරිපසට ගියේ ලොකු හාමුද වලව්වේ නැති නිසා වත්ත පිටිය බලා කියා ගැනීමේ අදහසිනි..

    ********************************

    දවසම නිවසට වී පාඩම් කර චේතිය සවස් වරුවේ ජංගම දුරකථනය රැගෙන මිදුලේ පොල් කොටයේ හිදගත්තේය.. නතාලිට, විශ්ව අයියාට, රංගට, කලනට, ආදී සියල්ලන්ටම ඇමතීමේ අවශ්‍යතාවය තිබුණද ඔහු මුලින්ම ඇමතුම ගත්තේ සම්මානි‍ටය..

    "චේතිය.. දන්නවද වැඩක්.. ඊයෙ රෑ ටවුන් එකේ ලොකු රණ්ඩුවක් ගිහින්ලු.."

    චේතිය ඇයට කිසිවක් නොකියා හිදීමට තීරණය කළද ඇමතුම ගත් සැනින් සම්මානී එසේ කීවාය..

    "මොකක් ගැනද සම්මානි ඔය කියන්නෙ..?"

    "ඔයාට මතකද අර දවසක් අපිට ක්ලාස් එක ළගදි විහිළු කරපු කොල්ලො ටික.. අන්න එයාලට ඊයෙ අතපය කැඩෙන්නම ගහලලු.."

    චේතිය පුදුම වූයේ මේ තරම් ඉක්මනට එම ආරංචිය ඇයට ලැබුණේ කෙසේදැයි සිතමිනි.. අශේන් රෝහල් ගතව ඇති සිද්ධියද ඈ කියනා තෙක් නොපවසන්නට ඔහු තීරණය කළේය..

    "කවුද ගහලා තියෙන්නෙ..?"

    "ආරංචියෙ හැටියට නම් හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ අයලු ගහලා තියෙන්නෙ.."

    ඇගේ කතාවට‍ චේතිගේ යටි සිතින් සිනා නැගුණි.. ඔවුන් දෙවනි වරටද ගුටි කෑවේ තමන්ගෙන් බව කීමට සිතුණ මුත් චේතිය එය ගිල ගත්තේය..

    "කවුද ඔයාට කිව්වෙ..?"

    "අපේ සිරිල් මාමා.. එයාට කියලා තියෙන්නෙ තාත්ති.."

    ඈ සිරිල් මාමා ලෙස හැදින්වූයේ නිවසේ ඩ්‍රයිවර් බව ‍චේතියට මතක තිබිණි..

    "තාත්තිට උදේ පොලීසියෙ යාලුවෙක් කතා කරලා විස්තරේ කිව්වලු.. ඔයා දන්නවද චේතිය ඒ තුන්දෙනා මෙච්චර කල් පොලීසියෙන් කට්ටි පැන පැන හිටපු තුන්දෙනෙක්ලු.. එයාලා කොලඹ මසාජ් ක්ලීනික් එකකුයි ඩ්‍රග්ස් බිස්නසුයි කරලා තියෙනවා.."

    "නෑ.."

    චේතියගේ මුව විස්මයෙන් විවර වූයේ සම්මානි කියනා තෙක් තමා මෙවැන්නක් නොදැන උන් නිසාය..

    "තාත්තිගෙ ඒ යාළුවා කියලා තියෙන්නෙ එයාලව ඒ වෙලාවෙම ඇරෙස්ට් කලා කියලයි.. දැන් පොලිස් ගාඩ් එකදාලා ඉස්පිරිතාලෙලු.."

    සම්මානිගේ වචනයක් වචනයක් පාසා චේතියට නැගුනේ සතුටකි.. මෙම ආරංචිය කලනට හා විශ්වට පවසන තෙක් ඔහු නොසන්සුන් වී උන්නේය..

    "වෙන මොනවද බබා තාත්තිට එයාලා කියලා තියෙන්නෙ.."

    චේතිය ඇසූවට පිළිතුරු නොදුන් සම්මානි තරමක් හඩ නගා සිනාසෙන අයුරු ඔහුට ඇසුණි.. මේ වෙලාවේ ඇයට සිනාසීමට තරම් වූ කාරණය කුමක්දැයි නොවැටහුණු චේතියට දැනුණේ කුතුහලයකි..

    "ඒ මිනිස්සු ගුටි කාපු එකට ඔයා ඔය තරම් සතුටු වෙයි කියලා මට හිතුනෙ නෑ චේතිය.."

    "ඇයි එහෙම කියන්නෙ..?"

    "නෑ ඉතිං.. කවදාවත් නැතුව ඔයා මට බබා කියල කතා කලානේ.. ඒකයි.."

    ‍චේතියට දැනුණේ පොළව පලාගෙන යන තරමේ ලැජ්ජාවකි.. නමුත් සම්මානිගෙ සිතේ නම් සතුටක් ජනිත විය..

    "සොරි සම්මානි.. මං හිතලා කිව්වෙ නෑ.. මට කියවුනා.."

    "ඒකට කමක් නෑ.. මට බබා කියනවට මං කැමතියි.."

    ඇය හුරතල් ලෙස කතා කරද්දී මෙතෙක් ඔවුන් කතා කරගෙන ආ මාතෘකාව පවා අමතකව ගියේය..

    "අශේන්ටත් ඊයෙ හොද වැඩක් වෙලා.. එයා කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකට කොල්ලො කට්ටියකගෙන් ගුටි කාලා.. එයත් ඉන්නෙ යාලුවො ඉන්නෙ ඉස්පිරිතාලෙමලු.."

    සම්මානි එය කීවේ සතුටිනි..

    "අරුන් තුන්දෙනා ගුටි කාපු එකට මං සතුටුයි වගේම අ‍ශේන් ගුටිකාපු එකට ඔයා සතුටුයි වගේ නේද..?"

    "සතුටු නැද්ද.. ඔය සිද්ධිය නිසා අන්න අපේ තාත්තගෙ ඇස් කන් ඇරිලා.. මේ වගේ ජරා යාළුවො ආශ්‍රය කරන.. මේ විදියට හතර අතේ කෙල්ලො එක්ක යාළු වෙලා ප්‍රශ්න දාගන්න කෙනෙක්ට මගේ දුව දෙනවද කියලා මං ආපහු කල්පනා කරලා බලන්න ‍ඕන කියලා තාත්ති සිරිල් මාමට කිව්වලු.."

    ‍චේතියට සම්මානිගෙන් දිගින් දිගටම අසනන්ට ලැබුනේ සිත සතුටු කරන කාරණාමය.. සම්මානිව ඉක්මනින්ම අශේන්ට අයිත් වේ යැයි සිතා උන්නද එය එසේ නොවන බව දැනුණ ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය..

    "ඔය සිද්ධි ඔයාට මුකුත්ම ආරංචි උනේ නැද්ද චේතිය..?"

    සියල්ල ඔහු ඉදිරියේ වැමෑරු සම්මානි අවසානයේ චේතියගෙන් විමසුවේය..

    අශේන් ගුටි කාලා කියලා නං අපේ අම්මට ආරංචි වෙලා තිබුණා.. ඒත් ඔය පොලීසියෙ කේස් ගැන නම් මං දන්නෙ නෑ..

    ඔහු සිය මව ගැන සදහන් කලේ සම්මානි විමසුවෝතින් ඇයට තම මව ගල්කන්ද වලව්වේ මෙහෙකාරකම් කරනා බව සෘජුව පැවසීමේ අදහසිනි.. සම්මානි මෙතරම් විවෘත වී හිදියදී තමා වංකව කතා කිරීම ඔහුට ඉවසුම් දුන්නේ නැත.. නමුත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සම්මානි ඔහුගේ මව ගැන දිගින් දිගටම විමසුවේ නැත..

    "ඔයාට දෙයක් කියන්න තියෙනවා සම්මානි.. මට තවත් ඔයාට බොරු කාරයෙක් වෙන්න බෑ.."

    ඈ කිසිවක් නොකීව නිසා චේතිය කතාවට මුල පිරුවේය..

    "අපි ඒ ‍දේවල් පස්සෙ දවසක කතා කරමු.."

    ඇගේ පිළිතුරෙන් චේතිය පුදුමයට පත්විය.. ඇය වෙනදාට නම් මෙසේ හැසිරෙන්නේ නැත..

    "ප්ලීස්.. මං මේ කියන ටික විතරක් අහන්න.. ඊට පස්සෙ තීරණය කරන්න මාව ආශ්‍රය කරනවද නැද්ද කියලා.."

    සම්මානි එහා ඉමෙන් නැගූ සුසුමේ හඩ චේතියගේ සිතේ ගැඹුර‍ටම දැනුණාය..

    "මං ඔයා වගේ සල්ලි කාරයෙක් නෙමෙයි සම්මානි.. මං එදා වේල අමාරුවෙන් හොයාගන්න පවුලක දුප්පත් කොල්ලෙක්.. කොටින්ම.. මං.. මං.."

    "කියන්න චේතිය.."

    ඉතිරිය ගලපාගත ‍නොහැකිව ඔහු ලතැවෙද්දී සම්මානි ඔහුව දිරිමත් කළාය.. නමුත් මොහොතක් යනතෙක් චේතිය ගොළුව උන්නේ මෙයට ඇසූ සැනින් ඈ ඇමතුම විසන්ධි කරාවි යන සැකයෙනි.. බලා හිද බැරිම තැන ඈ නැවත කීවේ ‍චේතිය කිසිසේත්ම අපේක්ෂා නොකල දෙයකි..

    "ඔයා ඔය කියන්න හදන්නෙ ඔයා ගල්කන්ද වලව්වෙ වැඩ කරන ගුණවතීගෙ පුතා කියන එක නම් ඒක මට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.."

    "සම්මානි.. එතකොට ඔයා..?"

    "ඔව් චේතිය.. ඒ හැමදෙයක්ම මං දන්නවා.. ඔයා ගෙදර අඩුපාඩු පිරිමහන්න අම්මට හොරෙන් කුලී වැඩ කරනවා කියලත් මං දන්නවා.. ඒ කිසි දෙයක් අපි දෙන්නගෙ යාලු කමට ප්‍රශ්නයක් නෙමෙයි චේතිය.. මං ඒ තරම් පටු විදියට හිතන කෙල්ලෙකුත් නෙමෙයි.."

    ඈ කීවේ ඔහුගේ සිත අස්වසමිනි.. නමුත් ඇගේ කතාවට චේතිය අන්ද මන්ද වී උන්නේය..

    "ඔයා මේ දේවල් දැනගත්තෙ කොහොමද සම්මානි..?"

    ගැඹුරු හුස්මක් පිටකල සම්මානි දිගු කතාවකට මුල පිරුවාය..

    "ඔයා පංතියෙදි නිතරම මං දිහා බලන් ඉන්නවා කියලා දැනුණම.. ඔයා මං ගැන උනන්දුයි කියලා දැනුණම.. මං ඔයා ගැන විස්තර දැනගන්න උත්සාහ කලා.. මොකද ගොඩක් අය මං ගැන උනන්දු වෙන්නෙ මට තියෙන කැමැත්තට නෙමෙයි.. අපේ තාත්තගෙ සල්ලි වලට තියෙන කැමැත්තට.."

    "ඔයා හිතුවෙ මමත් ඒ වගේ කෙනෙක් කියලද..?"

    ඈ කතාව කියනා තෙක් ඉවසිය නොහැකි වූ චේතිය හරස් ප්‍රශ්නයක් නැගිය..

    "ඒක තමයි මටත් මුලදි දැනගන්න ඕන කලේ.. මං සිරිල් මාමට කියලා ඔයා ගැන විස්තර හෙව්වා.. එයා තමයි ඔය හැම‍ දෙයක්ම මට කිව්වෙ.. එයා තව කිව්වා ඔයා කොච්චර දුප්පත් උනත් ගොඩක් ගුණ යහපත් කෙනෙක් කියලා.. ඊට පස්සෙ තමයි ඔයාව යාළුවෙක් විදියට පිළිගන්න මං තීරණේ කලේ.. මං දවසක් සිරිල් මාමට කියලා හන්දියෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බස්ස ගත්තෙත් ඔයා එක්ක කතා කරන්න හිතාගෙනමයි.. මතකද.. එදානෙ ඔයා මටත් ඔරවගෙවන ගිහිල්ලා අන්තිමට අර කොල්ලො තුන්දෙනාට හොදටම ගැහුවෙ.."

    ඈ යටගියාව සිහිපත් කරද්දී චේතියගෙ මුවේ සිනාවක් ඇදුනේය..

    "මට තේරුණා ඔයා මට කොයි තරම් කැමති උනත් අපේ තාත්තගෙ සල්ලි නිසා ඔයාගෙ දුප්පත්කම නිසා මට ළං වෙන්න බයෙන් ඉන්න විත්තිය.. ඒ නිසා තමයි මං දවසක් මගේ යාළුවගෙ අතේ ඔයාට මගේ ෆෝන් නම්බර් එක එව්වෙ.."

    ඈ තමාට ළං වූයේ තමාගෙ පවුලේ තත්වය හරිහැටි දැනගෙන බව ඇගේ මුවින්ම දැනගත් පසු චේතියගේ සිතේ මෙතෙක් පැවති අහේතුක බිය පහව ගියේය.. ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ඒ නිසාවෙනි..

    "ඔය ටික කියාගන්න බැරුව මං මොන තරම් හිතෙන් විදෙව්වද කියලා ඔයා දන්නෑ සම්මානි.. දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.."

    "ආයිත් ඔය වගේ තැන් තැන් වල කුලී වැඩ කරන්න යන්න එපා චේතිය.. ඔයාට සල්ලි ඕනෙ නම් මං දෙන්නම්.. මගෙන් ගන්න එක මදිකමක් කියලා හිතන්න එපා.. අපි දෙන්නා දැන් හොද යාළුවොනෙ.."

    "මං ළගදි ඒ වගේ කුලී වැඩ වලට‍ ගියේ නෑ බබා.. කොටින්ම මට ඒකට වෙලාවක් තිබුණෙ නෑ.."

    තමා බබා ලෙස අමතනවාට කැමතියැයි සම්මානි විසින්ම පැවසූ නිසා ඔහු එසේ ආමන්ත්‍රණය කළේය..

    "බොරු කියන්න එපා.. ඔයා ළගදිත් දවසක කඩේක වහලෙ ගහන වැඩකට අත් උදව් දෙන්න ගිහින් තියෙනවා.. එදා ඔයා උදේ ඉදලම වැඩ කරලා හවස රුපියල් පන්සීයක් අරගෙන ගෙදර ගියාලු.."

    සම්මානි දිගින් දිගටම ඔහුව පුදුම කරමින් උන්නාය.. නමුත් ඈ කීවේ මෑතක සිදුවීමක් නොව.. මීට මාස තුනකට පමණ පෙර වූවක්ය..

    "ඔයාට දිවැස් තියෙනවද සම්මානි.. ඔයා කොහොමද මේවා දන්නෙ..?"

    "දිවැස් නෙමෙයි.. ඔයා එදා ඒ ගිහින් තියෙන්නෙ මගේ හොදම යාළුවා.. නිරාශාගෙ අලුත් කඩේට.. එයා හවස අම්මා එක්ක කට්ටියට තේ අරගෙන එනකොට ඔයා පලංචියක් උඩ නැගලා දාඩිය පෙරාගෙන වැඩලු.. ඔයා එයාව දැක්කොත් අදුරගනියි කියලා එයා ඔයා ළගට ඇවිත් නෑ.."

    "කවුද නිරාශා කියන්නෙ..?"

    ඇගේ සම්පූර්ණ කතාවට සවන් දුන් චේතිය විමසුවේය..

    "නිරාශා කියන්නෙ මගේ හොදම යාළුවා.. අර එදා ඔයාට ෆෝන් නම්බර් එක දීලා ගියේ.."

    "ආ.. නියුරෝනෙ නේද..?"

    චේතිය ක්ෂණිකව කීවේ කලන එදා ඇයට දැමූ නම සිහිපත් වූ නිසාය.. එහි තේරුම කුමක්දැයි සම්මානි ඇසූවට චේතිය කලනගේ උපමාව ඇයට විස්තර කර පැවසුවේය.. ඒ ඇසුනු සම්මානි කිකිණි හඩින් හිනැහුණි..

    "දැන් අම්මි එන වෙලාව ළගයි චේතිය.. එහෙනම් මං තියන්නද..?"

    ඔහු සමග කතා කරද්දී වෙලාව ගත වන බව නොදැනුන සම්මානි ඔරලෝසුව දෙස බලා බියපත් වුණි..

    "තියන්න කලින් මං තව දෙයක් කියන්නද සම්මානි.. හැබැයි මේක නම් ඔයා දන්නවා වෙන්න බෑ.."

    ඈ මෙතෙක් තමාව පුදුම කලා සේ ඇයවද පුදුම කිරීමේ ආශාවක් චේතියගේ සිතේ හටගත්තේය..

    "එහෙනං ඉක්මනට කියන්නකො බලන්න.."

    "ඔයා කිව්වා නේද අර මැරයො තුන් දෙනාට කවුද කට්ටියක් ගහලා කියලා.. අ‍ශේන්ටත් කවුද කට්ටියක් ගහලා කියලා.. ඔයා දන්නවද කවුද ඒක කලේ කියලා.. ඒ හැමදේම කලේ මම.. මමයි කලනයි.."

    "මොනවා.."

    ඈ එය ඇසූ තාලයට එය ඇයට අදහා ගත නොහැකි වූ බව චේතියට වැටහුණි.. ඔහු සිනා නැගුවේ ඒ නිසාය..

    "හෝව්.. හෝව්.. හෝව්.. දැන් අම්මා එන්න ළගයි කිව්වා නේද.. එහෙනම් අපි හෙට කතා කරමු.. බුදු සරණයි.. පරිස්සමින් ඉන්න.. සතුටින් ඉන්න.."

    ඇයට තවත් කල්පනා කිරීමට කාලය දිය යුතු බව වැටහුණු ඔහු ඇමතුම විසන්ධි කලද ඒ සැනින් නැවත ඈ ඔහු ඇමතිය.. එවරනම් කතාව මුල සිට අගටම පැහැදිලි කිරීමට චේතියට සිදුවුණි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    15.png


    අශේන් ඇතුලු පිරිසට පහර දුන් සිද්ධිය චේතිය හා කලන රංගට කීවේ ඔහු තරමක් සුව ලැබුවාට පසුවය.. තමා වෙනුවෙන් තම මිතුරන් දෙදෙනා මෙතරම් අවධානමක් දරා තිබීම ගැන රංගගේ සිතේ ඇතිව තිබුණේ දැඩි පැහැදීමකි..


    "උඹලා නොකිව්වට එහෙනං ගානට රිටන් එක දීලා නේද..? මං දන්නවා උඹලා මේ වගේ දේවල් කරන්නෙ මං හින්දා කියලා.."


    රංග ඔවුනට මුව නොසෑහෙන ස්තුති කළේය.. කලන විශ්වගේ සැලැස්ම ගැන මා චේතියගේ විශිෂඨ ගණයේ පහාරය ගැන රංගට පුන පුනා පැවසිය..


    "උඹලා ගුටි බැට හුවමාරු කර ගනිද්දි දන්නවද මං මොනවද කලේ කියලා.. මං මේ ටිකේම ඇදට වෙලා මෙන්න මේ පොත් ටික කියෙව්වා.."


    රංග තම පොත් මේසය මත වූ පුනර්භවය හා සම්බන්ධ පොත් ගොඩක් ඔවුන්ට පෙන්වද්දී කලන හා චේතිය පුදුමයෙන් මුහුණට මුහුණ බලා ගත්හ..


    "එතකොට උඹ දැන් ඔය පුනර්භවය විශ්වාස කරනවද..?"


    කලන විමසුවේ රංග මෙතෙක් කලක් එය පිළිගැනීමට මැලි වූ හන්දාය..


    "ඔව් මචං.. අපි හැමෝම මේ සංසාර චක්‍රය පුරාවට මැරි මැරී යළි ඉපදෙනවා කියන එක මං දැන් පිළිගන්නවා.."


    "යකෝ.. මූ ගුටි කෑවට පස්සෙ හැදිලනෙ.. බලපංකො වචන ටික.."


    කලන ඔහුට විහිළු කරද්දී රංග වෙනදා මෙන් ඔහු හා එකට එක කීමට ගියේ නැත..


    "ඒක නෙමෙයි.. අපි විශ්ව අයියගෙ සෙට් එකටයි ත්‍රීවිල් රත්නෙවයි ගෙන්නලා හොද බෝජන සංග්‍රහයක් දෙමු.. මොකද කියන්නෙ..?"


    එවන් අදහසක් චේතියගේ සිතෙත් තිබුණද එම යෝජනාව ගෙන ආවේ රංගය..


    "මටත් ඕකම හිතුනා බං.. ඒත් කැම්පස් සෙට් එකකට කන්න දෙනවා කියන්නෙ නන්නත්තාර වෙන වැඩක්.. අනික ගෙවල් වල මිනිස්සු උනත් බලයි දන්නෙ නැති එවුන්ට අඩගහලා කන්න දෙන්න අපිට පිස්සුද කියලා.."


    "එහෙනං අපි මෙහෙම කරමු.. විශ්ව අයියට සල්ලි දෙමු යාළුවන්ට ට්‍රීට් එකක් දෙන්න කියලා.. ඒක හොදයිනෙ.."


    චේතිය කී දෙයට අනෙක් දෙදෙනාම එකග වූයේ එය බාහිර ප්‍රශ්න වලින් බේරීමට ඇති හොදම පිළිවෙත වන බව දැන උන් නිසාය.. ඊටත් වඩා අශේන්ගේ මැරයන් ටවුමේදී ගුටි කෑවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බව මුළු කුරුණෑගලම දැන උන් නිසා එම පිරිස කැදවා සංග්‍රහයක් දීම අවධානමකට අත වැනීමක් වැනි විය..


    "උඹලා දෙන්නා ඒකට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ.. මං සම්පූර්ණ වියදම දෙන්නම්.."


    රංග කීවේ තමාට මුදල් ඇති නිසා පමණක් නොව මිතුරන් දෙදෙනා ඔවුන්ගේ ජීවිත පරදුවට තබා තමාට වූ හානියේ පළිය ගෙන තිබූ නිසාය..


    "එහෙනං මං විශ්ව අයියට කෝල් කරලා විස්තරේ කියන්නම්කො.. උඹ හෙට ඉස්කෝලෙ එනවනේ..?"


    චේතිය සමුගැනීමට පෙර රංගගේ පිටට තට්ටුවක් දමා කියද්දී ඔහු ඊට පිළිතුරු ලෙස හිස සැලිය..


    ***************************


    රංග චේතිය හා කලන සමග එක්ව පසුගිය කාල සීමාවේ ඔහුට මග හැරුණු පාඩම් සියල්ල සටහන් කර ගත්තේය.. උසස් පෙළ විභාගය අත ළගටම පැමිණ තිබූ නිසා ඔවුන් පාසල් ගියේ සතියට දින දෙක තුනක් පමණි.. අන් හැමදාකම ඔවුන්ගේ කාලය ගෙවුණේ අමතර පංති වලට හා නිවසට වී පාඩම් කිරීමටය.. මෙසේ නිවසේ ගත කරන කාලය වැඩි වීම නිසා චේතියට තම නැගණිය මිහිරාවි හා ගත කිරීමට ලැබෙන කාලයද වෙනදාට වඩා වැඩි වූයේය.. ඔහු පසුගිය දින කිහිපයේ තමාට මග හැරුණු නිරීක්ෂණයන් සදහා එම කාලය මිඩංගු කළේය..


    "අම්මා.. ඔයා පිළි ගත්තත් නොගත්තත් අපේ චූටි කියන්නෙ ළමාතැනීගෙ පුනරුත්පත්තිය කියන එක මට සියට අනූවක් විතර විශ්වාසයි.. ඒත්.. මට ඉතුරු ටිකත් හරියට හොයා ගන්න ඕනෙ අපෙ අම්මා.. ප්ලීස්.. ඒකට මට උදව් කරන්න.."


    නැගණිය හා ගෙවූ කාලයේදී බොහෝ කරුණු කාරණා එක්රැස්කරගත් චේතිය අවසානයේ ඔහුගේ ගැටලු සියල්ල නිරාකරණය කර ගැනීමට මවගේ සහය පැතුවේය..


    "මේ විභාගෙ කටේ තියාගෙන මොකටද දරුවො ආයෙත් ඕවා හාර අවුස්සන්නෙ.. ඔන්න ඕවා අමතක කරලා දාලා පාඩම් කරහං.."


    "මං පාඩම් කරනවනෙ අම්මා.. ඒත් මේ ප්‍රශ්නෙ මගේ ඔළුවට හරි බරක්.. ඒ නිසා අම්මා දන්න දෙයක් තියෙනවනං මට කියන්න.."


    චේතියගේ කතාවට මද වේලාවක් කල්පමා කල ගුණවතී කුස්සි කෑල්ලේ තිබූ ලී බංකුව රැගෙන විත් පුතු අසලින් ඉදගත්තාය.. මව දිගු කතාවකට අර අදින බව වැටහුණු චේතිය තම ජංගම දුරකථනයේ පටිගත කිරීමේ බොත්තම එබුවේ එම සාකච්ඡාව නතාලි අක්කාටද වැදගත් වේ යැයි සිතුණ හෙයිනි..


    "උඹ දවසකුත් මට කීවනේ චූටිගෙ ජාතකෙන් ඇති වැඩක් නෑ කියල කතාවක්.. මං එතනින්ම පටන් ගන්නම්කො.."


    කතාවට මුල පුරද්දී චේතියට සතුටක් දැණුනේ තමා අපේක්ෂා කලාට වඩා වැඩි යමක් මවගෙන් කියවෙන බව වැටහුණු නිසාය..


    "පුතාලගෙ තාත්තා නැතිවෙද්දි පුතාට අවුරුදු අටක් නවයක් විතර ඇති නේද..? ඒ කාලෙ පුතාටත් මතක ඇතිනේ.. එතකොටනං මට හැමෝගෙම කරුණාව ලැබුණා.. කොටින්ම අපේ අප්පච්චිත් ඉදලා හිටලා තිරික්කලෙන් ගෙදරට ඕන බඩු භාණ්ඩ එව්වා.. ඒත් උන්දැලානං ආවෙ නෑ.. වලව්වෙ වැඩට හිටිය අන්දිරිස් අයියා එක්ක ඉදලා හිටලවත් ඇවිත් ගියේ නතාලි දුව විතරයි.. මොනවා උනත් ඒ කාලෙ ගල්කන්ද වලව්වෙ ඇත්තො උඹටයි මටයි පිටුපෑවෙ නෑ.. ළමාතැනී අපි ගැන හරියට හොයල බැලුවා.. වැඩිය ඕනෙ නෑ.. අපිට ඒ කාලෙ කෑම ටික පවා එව්වෙ ඒ ඇත්ති.."


    චේතිය කතාව අසා ඉන්නේදැයි දැන ගැනීමට මෙන් ඔහුගේ මුහුණ බැලූ ගුණවතී යලි කතාව ඇරඹිය..


    "අපරාදෙ කියන්න බෑ ඇලිසත් ඒ කාලෙ හරියට උම ගැන හොයලා බැලුවා.. දැන් වගේ නෙමෙයි.. ඒ කාලෙ ඔය ඇතුගල හාමු හරියට ගං තුලානෙ කරක් ගහනවා.. ඒ යන ගමන තැඹිලි ගෙඩියක් එහෙම බීලා යන්න මෙහාටත් ගොඩ වැදුනු වෙලාවල් තිබුණා.. ඒත් අවුරුද්දක් දෙකක් යද්දි උන්දෑ මේ පැත්තෙ කැරකෙන එක තරමක් වැඩි උනා.. ඒ කාලෙ හාමු මහත්තයා ළමා තැනී එක්කත් හරි හරියට ගෝරි.. උඹටත් මතක ඇතිනෙ.."


    චේතිය හිස සැලුවේ මවගේ කතාවේ බොහෝමයක් කරුණු ඔහුගේ මතකයේ ලාවට තැන්පත් වී තිබූ හන්දාය..


    "ළමාතැනී එක්තැන් උනාට පස්සෙ අපි දෙන්නා වැඩියම හිටියෙ වලව්වෙනෙ.. එතකොට මට දැණුනා හාමු මහත්තයා මගේ වටේ කැරකෙන විත්තිය.. මං කෝකටත් කියලා ඒ ගැන හේතු හාමි අයියටත් කියලා තිබ්බා.. ඊට පස්සෙ හේතුහාමි අයියා මාව ආරස්සා කොරන්ඩ වගේ හැම වෙලේම හිටියෙ ඇහැ ගහගෙන.. හාමු මහත්තයට ටිකින් ටික තේරුණා වලව්ව ඇතුලෙ ඉද්දි හේතුහාමි අයියයි, ළමාතැනියි නිසා මට ළංවෙන්න බැරි විත්තිය.. පස්සෙ උන්දෑ රාත්තිරියෙත් අපේ මේ ගෙවල් පැත්තෙ බඩවැටි අස්සෙ රිංගන්න ගත්තා.."


    සිදුව ඇති දේ ඉවෙන් මෙන් වැටහුණු චේතියගේ ගත වෙව්ලුම් කෑවේය.. ඒ නොදුටු ගුණවතී තම කතාව දිගටම කරගෙන ගියේය..


    "මං මේ කියන දවස් වෙද්දි ළමාතැනිත් හොදටම ඔත්පල වෙලා හිටියෙ.. මට මතක විදියට ඒ සංධියෙ පුංචි හාමු උනත් හිටියෙ කොළඹ කොලීජියෙමයි.. නිකමටවත් අම්මව බලන්න කියලා ගමේ ආවෙ නෑ.. ඒ ඇත්තිට දරුවෙක් නැති අඩුව උඹයි මගෙ පුතේ.."


    ඈ මදක් පහත් වී තම චීත්තයෙන් නෙත් කෙවෙනි පිසදාගෙන යළි කතාව ඇරඹිය..


    "පාළු ගෙවල් වල වලං බිදින්න කවුරුත් බය නෑ කියන්න වගේ දවසක් මං මේ ගේ ඇතුලෙදිම හාමු මහත්තයට කොටු උනා මගෙ පුතේ.. මේ ගේත් වලව්වටම අයිති එකක් වෙච්චි.. උන්දැ ගමේ ලොකු හාමු වෙච්චි.. මං අසරණ උනා පුතේ.. කෑ කොස්සන් ගහලා උන්දැගෙ මූණෙ දැලි ගෑවා කියලා මොකෝ මට උඹවත් අරන් යන්න තැනක් තියෙන එකක්යෑ.. ඉතිං මං කට පියාගෙන උන්නා.. ඒත් ඒ පාහර මූණ බලන්න බැරි කමට මං වලව්ව පැත්තෙ නෑවිදින් හිටියා.. උන්දෑ හේතුහාමි අයියා අතේ කී දොහක්ම පණිවිඩ එව්වත් මං ඒවා ගාණකට ගත්තෙ නෑ.."


    "ඒ කියන්නෙ හේතුහාමි මාමා දැනං හිටියද අම්මට උන කරදරේ..?"


    මව අසීරුවට පත්වන නිසා හරස් ප්‍රශ්න නෑසුවද චේතියට එයනම් නොඅසා සිටින්නට බැරිවිය..


    "හාමු මහත්තයා කියලත් නෑ මගෙ හිතේ.. මං කියන්න ගියෙත් නෑ.. ඒ කාලෙ ඉදලම හේතුහාමි අයියට ඒ ගැන සැකයක් තිබුණා.."


    "ඉතිං..?"


    "මං වලව්ව මග හැරියට උඹ ඒ කාලෙ හිටියෙ වලව්වෙමයි.. කොටින්ම ළමාතැනීගෙ තුරුලෙ.. ගේ අස්සට වෙලා කන්නෙ බොන්නෙ නැතුව අඩ අඩා ඉද්දි තමයි මට තේරුනේ මගේ බඩට දරුවෙක් ඇවිත් විත්තිය.."


    තවම පාසල් යන වයසේ පසු වූ තම පුතුට මෙවන් කතාවක් පැවසීම කෙතරම් අසීරුදැයි ගුණවතීට වැටහුණෙන් ඈ මදකට නිහඩ වූවාය.. දහසක් ප්‍රශ්න හිත තුල තෙරපෙද්දී චේතිය තම මවගේ මුහුණ බලා උන්නේ ඈ ඉතිරිය පවසන තෙක්ය..


    "ඊට පස්සෙ මට මේ ජීවිතේ එපා උනා දරුවො.. මං නොකරපු වරදකට.. එක දවසකට උන දේකට.. මෙහෙම වෙයි කියලා මං හිතුවෙ නෑ.. මං ජීවිතේ නැති කරගත්තොත් උමට යන කල දසාවක් නැති වෙන හිංදා මට නිදහසේ මැරෙන්නවත් පුළුවන් උනේ නෑ.. අන්තිමට ටික දොහක් යද්දි ගමේ හැමෝම දැනගත්තා මං ගැබ්බරයි කියලා.. උන් නොයෙකුත් කටකැඩිච්ච කතා කියන්න ගත්තා.. මට එළියට බහින්න බැරි තත්වයක් තිබුණෙ.. එහෙම උන්නු දවසක තමයි උඹ අඩාගෙන ගෙදර දුවන් ආවෙ ළමාතැනී නැති උනා කියලා.."


    මවගේ පැත්තෙන් ඈ මුහුණ දුන් සිද්ධිය නොදැන උන්නද චේතියට ළමාතැනී නැති වූ ඒ දවස අද මෙන් මතකය..


    "ඊට පස්සෙ මට වලව්වට නොගිහින් බැරි උනා පුතේ.. හාමු මහත්තයා කරපු පාහර වැඩේට අර දේවතාවිගෙන් පළිඅරන් වැඩක් නෑනෙ ඉතිං.. මං මරණෙ වැඩ කටයුතු වලට සහභාගි උනා.. ඒත් පුදුමෙ කියන්නෙ ඊට පස්සෙ කවදාකවත් හාමු මහත්තයා නරක ඇහැකින් මං දිහා බැලුවෙ නෑ.. ළමාතැනිත් නැතිකොට උඹව බඩගින්නෙ තියන්න බැරි කමට මං ආපහු වලව්වටම සේන්දු උනා.. ඔය කාලෙ වෙද්දි මෙහෙ වෙච්චි කරුණු කාරණා අපේ අප්පච්චිලටත් ආරංචි වෙලා තිබුණා.. ඒකෙන් උනේ ඉදලා හිටලවත් එහෙන් ලැබිච්ච කෑම ඩිංගිත්ත නැති වෙච්ච එකයි.."


    "ඉතිං.. නංගි ලැබුණ විස්තර කියන්නකො.."


    "කෙල්ල හම්බවෙන්න අමාරු උනෙත් මං වලව්වෙ වැඩ කර කර උන්නු වෙලාවක.. එදා හාමු මහත්තයා තමයි මාව ඇලිසත් එක්ක ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරියෙ.. කොහොමින් කොහොම හරි දහදුකක් විදලා අන්තිමට ඔය හුරතල් කෙල්ල හම්බඋනා..


    ඇත්තටම මගෙ පුතේ.. චූටිගෙ මූණ දැක්ක ගමන්ම මගේ මතකෙට ආවෙ ළමාතැනීව.. කෙල්ල උපන් දා ඉදලම ඒ වගේ.. මං හිතාගෙන උන්නෙ ඒකි බඩේ ඉන්න සන්ධියෙ මං කල්පනා කළේම ළමාතැනී ගැන නිසා කෙල්ල ඒ හැඩ හුරුකම ගත්තා කියලා.."


    ගුණවතී ඒ කියමින් උන්නේ තම දුක්බර කතාවේදී ඈ ලද සොදුරුතම තිළිණය ගැනය..


    "ළමාතැනි නැති උනාට පස්සෙ උඹ වලව්ව පැත්ත පලාතෙ ගියේ නෑ.. උඹ කැරකුණේම චූටිගෙ වටේ.."


    "අම්මා එතකොට වලව්වෙ වැඩට ගියේ නැද්ද..? චූටිව එහෙ ගෙනිච්චෙ නැද්ද..?"


    "කෙල්ලවනං ගෙනිච්චෙ නෑ පුතේ.. ඒකිගෙ සිරියාවන්තකම දැක්කම ඒකිගෙ අප්පොච්චා වෙච්චි හාමු මහත්තයා කෙල්ලව ඉල්ලයි කියලා මට බය හිතුනා.. අනික ඉතිං කෙල්ලගෙ මූණවරත් උන්දැගෙ ළමාතැනී වගේනෙ.."


    "එතකොට අපිට කෑම බීම..?"


    චේතිය එදවස තමාට නොදැණුන බොහෝමයක් ගැටළු නිරාකරණය කර ගැනීමට තීරණය කළේය..


    "කෙල්ල තරමක් ලොකු වෙනකල් වලව්වෙන් අඩුපාඩුකම් හම්බ උනා.. හේතුහාමි අයියා උනත් ගෙදරට බඩු මූට්ටු ටිකක් ගෙනත් දැම්මා.. අනිත් කෙනා ඇලිසා.. ඒකි විතරයි මගේ දුක සැප බලන්න ආව ගියේ..


    ආ.. නතාලි දුව උනත් ඉදලා හිටලා කවුරු හරි එක්ක මේ පැත්තෙ ඇවිත් ගියා.. ඒකිත් පුංචි කමට ආවොත් කීයක් හරි මගේ අත මිට මොලෝනවා.."


    චේතිය මවගෙන් ඇසීමට බලාපොරොත්තු වූයේ නැගණියගේ බාල කාලයේ වූ සිදුවීම් වුවද මව මේ වන විට ඔහු නොදැන උන් වෙනත් කරුණු රාශියක් හෙළිකරමින් උන්නාය.. ඇතුගල හාමුට දාව තම මවට ලැබුණු දරුවා.. ඇතුගල හාමුගේම මිය ගිය බිරිදගේ යළි ඉපදීම විය හැකිදැයි චේතියට මේ වන විට ගැටලුවක් පැන නැගී තිබිණි.. එවැන්නක් විමසනවා නම් විමසිය හැක්කේ පොඩි සාදුගෙන් බව වැටහුණු චේතිය එය මදකට අමතක කර දැම්මේය..


    "උඹලා කොයි කවුරුත් කියනවා වගේ මගේ පුංචි එකීගෙයි ළමාතැනීගෙයි මොකක්දෝ සමානකමක් තියෙනවා කියලා මටත් ඒ කාලේ ඉදලම දැනුණා පුතේ.. ඒත් චූටිගෙ තාත්තා හාමු මහත්තයම නිසා ඒ කතා එළියට යනවට මං කැමති උනේ නෑ.. එහෙම උනොත් දවසක ඒකිට පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. ඒකයි මං හැම වෙලාවෙම ඒවා යට ගැහුවෙ.. කෙල්ලව උනත් වලව්ව පැත්තෙ ඇන්න ගියේ නැත්තෙ.."


    "එහෙම ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ දෙන්නෙ නෑ අම්මා.. මට චූටිගෙ එකම අයියා.."


    චේතිය එසේ කියද්දී ගුණවතීට සිහිපත් වූයේ අශේන් බේබි හෙවත් වලව්වෙ පුංචි හාමුය.. තම දියණියගේ සැබෑ සොයුරා මොවුන් දෙදෙනාගෙන් කවුදැයි ඈ සිතා බැලුවාය.. තමා චේතියගේ හා මිහිරාවිගේ මවය.. ඇතුගල හාමු අශේන්ගේ හා මිහිරාවිගේ පියාය.. එසේ නම් තම දියණියගේ සොයුරා අශේන් නොවන්නේද..? ඉතිං.. ඈ පැටලැවිනි..


    "අම්මා හිතන දේ මට තේරෙනවා.. මට වඩා සම්බන්ධයක් අශේන්ගෙයි චූටිගෙයි තියෙනවා නේද..? අනික ඒක ගිය ආත්මෙ ඉදලා එන එකක්.. එයාලා කලින් අම්මයි පුතයි.. දැන් අයියයි නංගියි.."


    චේතියගේ දෑසින් කදුළක් ගලා ගියේ ඔහුටත් නොදැනිමය.. ඒ කදුළ දුටු ගුණවතීගේ සිත සසැලිණි..


    "නෑ මගේ පුතේ.. චූටි අශේන්ගෙ කවුරුවත් නෙමෙයි.. ඒකි හැමදාටම උඹේ නංගි.. ඒකයි මං උමට කියන්නෙ ඔය යටගිය කතා හාර අවුස්සන්න එපා කියලා.. ඒකෙන් අපිට කාටත් සිද්ධ වෙන සෙතක් නෑ.."


    නමුත් දැන් පමා වැඩිය.. මෙම අතුරු කතා කිසිවක් නොදැන උන් චේතිය තම නැගණිය වලව්වේ ළමාතැනීගේ පුනරුත්පත්තිය බව තම සමීපතමයන් හා කතා කර තිබිණි.. එය දැනටමත් රංග, කලන, නතාලි හා පන්සලේ හාමුදුරුවන් වැන අය දැන උන්නාය..


    "මේ වලව්වයි ගේයි දාලා යන්න පුළුවන් කමක් තිබ්බා නං මං යනවා පුතේ.. එහෙමනං මේ යටගිය ප්‍රශ්න ආපහු ඇතිවෙන්නෙ නෑ.. ඒත් අර පුංචි කෙල්ලවයි උඹවයි ජීවත් කරවන්නෙ කොහොමද මං.. ළිදට වැටිච්චි එකා ළිං කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා කියමනක් තියෙනවනෙ.. ඒකයි උඹ ලොකු මහත් වෙනකල් වලව්වට කඹුර කඹුර මං මේ පැලටම වෙලා උන්නෙ.."


    ඈ දිගු හුස්මක් පිට කලේ තම මුවට පමණක් නොව සිතටද විරාමයක් අවැසි වූ හන්දාය..


    "අම්මා බයවෙන්න එපා.. මේ දේවල් දන්නෙ මගේ යාළුවො දෙන්නයි නතාලි අක්කයි විතරයි.. එයාලා මට විශ්වාසයි.. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙ වෙන විදියකට විසදමු.. පුළුවන්නං චූටිට මේ දේවල් අමතක වෙන්න අපි එයාව මේ පරිසරයෙන් ඈත් කරමු.."


    චේතිය එය කීවේ නැගණිය නුවර බාලිකාවක නේවාසිකව තැබීමේ දිගුකාලීන අරමුණක් ඇතිවය.. ඈ අම්මාට හා තමාට කොතරම් බැදී සිටියද ඇගේ අනාගතය සාර්ථක කිරීමට නම් එය නොකර බැරිය.. එයටද තමාට පිහිට පැතිය යුතු වන්නේ නතාලි අක්කාගෙන්ම බව ඔහුට වැටහුණි..


    "චූටිට උඹයි මායි නැතුව ඇහැ පියවෙයිද මගෙ පුතේ.. මොනව උනත් ඒකි දකින දකින හැමෝගෙම හිත යන සිරියාවන්ත කෙල්ල.."


    ඇගේ කතාවට චේතියට තම නැගණියගේ සුන්දර මුහුන මැවී පෙණුනි.. තම වියැකුණු කදුළ යළි අළුත් වන වග දැනුන චේතිය එය මවට වසන් කරනු පිණිස එතනින් නැගිට ගියේ ජංගම දුරකථනයේ පටිගත කල කතාවටද තිත තබමිණි..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    16.png



    චේතිය සිය මව සමග කළ කතා බහේ හඩ පටය නතාලිට ඇසීමට අවකාශ ලැබුණේ දින දෙක තුනක් ඉක්ම ගිය පසුවය.. තම පුංචි අම්මා ඇගේ හඩින්ම කරන ලද එම ප්‍රකාශයන් තුළ නතාලිට නම් සිතීමට බොහෝ කරුණු ගැබ්ව තිබිණි..

    "පුංචි මේ අන්තිමට කරපු යෝජනාව ගැන බයවෙන්න දෙයක් නෑ මල්ලි.. චූටිගෙ තාත්තා ඇතුගල හාමු කියන එක අපි කාටවත් නොකිය ඉමු.. කිව්වත් වගේ ඒක දැනගත්තොත් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.."

    නතාලිව මුණ ගැසීමට නුවර ගිය චේතියට ඈ කීවේ වැව රවුම වටා ඇවිදයන විටය..

    "ඒත් අක්කෙ අපි පන්සලේ පොඩි සාදුට පොරොන්දු උනානෙ මේ ගැන විස්තර හොයාගෙන පන්සලට එන්නම් කියලා.. ඒ නිසා මේ පුනර්භවය ගැන කතාව එක සැරේ යට ගහන්න බෑ.."

    චේතිය කීවේ ඔවුන් පන්සලට යාමට දැනටමත් කල්පසු වූවා වැඩි බව සිහිපත් කරමිනි..

    "ඒක යටගහන්න අවශ්‍ය නෑ මල්ලි.. මේක දැනට දන්නෙ අපි හතර පස් දෙනා විතරයිනෙ.. අපි අපි විතරක් එකතු වෙලා මේ ගැන හොයමු.. පිට අය දැනගන්නෙ නෑනෙ එතකොට.. අනික චූටිට හොස්ටල් එකක් බලන වැඩේ මං කරන්නං.. එයාව අපේ හයි ස්කූල් එකට දාන්න බැරිවෙන එකක් නෑ.."

    "ඒක ඉක්මන් කරන එකනං කෝකටත් හොදයි අක්කෙ.. මමත් ඔය ගමේ ඉස්කෝලෙට යන කාලෙ අපේ දුප්පත්කමයි, අම්මගෙ මේ ප්‍රශ්නෙයි නිසා හරියට බැට කෑවා.. තාම චූටි පොඩි නිසා හොදයි.. එයාටත් තේරෙන වයස වෙද්දි ඔය ප්‍රශ්න අනිවාර්යෙන්ම එයි.. මං වගෙත් නෙමෙයි.. එයා කෙල්ලෙක්නෙ.."

    චේතිය තම පුංචි සොයුරිය ගැන කීවේ දැඩි ආදරයකිනි.. ඒ බව වැටහුණු නතාලි ඔවුනට උදව් කිරීමට දැඩිව අදිටන් කරගත්තේය..

    "ලබන සතියෙ මං අනිවාර්යෙන්ම පන්සලට යන්න එනවා.. ඔයා යාළුවො දෙන්නවත් එක්කගෙන එන්න.. පුළුවන් උනොත් අපි ගුණවතී පුංචිවත් ගෙනියමු.. එතකොට කාගෙ කාගෙත් හිත් සුද්ධයිනෙ.."

    ඔවුන් දෙදෙනා කතා කරන අතරතුර නතාලිට දුරකථන ඇමතුමක් දුන් විශ්වද ඔවුනට එක්විණි.. ඔහු දුටු වහාම චේතිය කළේ සුහද ලෙස අත් අල්ලා ගැනීමය..

    "ඉතිං මස්සිනා.. කොහොමද..? කාලෙකට පස්සෙ නේද..?"

    චේතියට ඇසක් ඉගිමැරූ විශ්ව එසේ කීවේ ඔවුන් කුරුණෑගලදී මුණ ගැසුණු සිද්ධිය මෙතෙක් නතාලිට නොකී නිසාය..

    "කාලෙකට පස්සෙ වෙන්නෙ කොහොමද..? ඇයි ඔයාලා ළගකදි කුංෆු ෂෝ එකකට සෙට් උනේ.."

    නතාලි ගත් කටටම අසද්දී චේතියගේ පමණක් නොව විශ්වගේද ඇස් උඩ ඉන්දවිය.. එදා අශේන් ඇතුලු පිරිසට පහර දුන් සිද්ධිය ඈ දන්නවා ඇතැයි විශ්ව වුව නොසිතුවේය..

    "මොකද දෙන්නා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නෙ..?"

    "ඔයා මොන කුංෆු ෂෝ එකක් ගැනද කියන්නෙ බබා..?"

    විශ්ව නොදරුවෙකු සේ නතාලිගේ මුහුණට එබුණු ආකාරයට චේතියගේ මුවේ සිනාවක් ඇදුණි..

    "මං මෙච්චර කල් ඔයාගෙන්වත් ඇහුවෙ නෑ විශ්ව.. ඒත් ඔයාලා එකතුවෙලා කරපු ඒ වැඩේ මං දන්නවා.. මොකෝ මම වෙන කැම්පස් එකකයෑ.. මං ඔයාට මේ පොඩි එකාව සෙට් කරලා දුන්නෙ උදව්වක් කරන්න මිසක් යුද්ධෙකට ගෙනියන්න නෙමෙයි.. කොහොම උනත් ඒකෙන් උනේ හොදක් නිසයි මං මෙහෙමවත් කට වහගෙන හිටියෙ.."

    නතාලි එම සිදුවීම ගැන බොහෝ තරහා ගෙන උන් බව දැනුණ චේතිය වදනක්වත් දෙඩුවේ නැත.. නමුත් විශ්වට නම් කට පියාගෙන ඉන්න නොහැකි විණි..

    "අනේ.. මූ හොද පොඩි එකා.. ඔයා දන්නෑ නතාලි එදා මං ඇති ඇති කියද්දි මූ තමයි උඩ පැන පැන හතර අතට නෙලුවෙ.. අපේ කැම්පස් එකේ සෙට් එකත් කොරවෙලා බලන් හිටියෙ.."

    විශ්ව එය කීවේ කේලමක් කීමේ අදහසින් නොවුණද නතාලි චේතිය දෙස රවා බැලුවේය..

    "ඒ උනාට අක්කෙ ඒකෙන් පවක් උනේ නෑනෙ.. අපි නොදැන උනත් ගහලා තියෙන්නෙ පොලීසියට ඕනම කරලා හිටපු ගැන් එකකට.. උන් හෙන ජාවාරම් කාරයොලු.."

    චේතිය සම්මානිගෙන් දැන ගත් තොරතුරු වීරයා සේ කීවද එම කරුණු සියල්ලම නතාලි දැන උන්නාය..

    "ඒක තමයි මං කිව්වෙ ඒකෙන් උනේ හොදක් කියලා.. ඒත් නිකං හිතන්න.. උන් ඔය විදියෙ අය නම්.. උන් ළග ආයුධ මොනවහරි තිබුණා කියලා.. එහෙමනං මොකද වෙන්නෙ..? එහෙම උනානං විශ්ව මං මුලින්ම අල්ලගන්නෙ ඔයාව.."

    නතාලි විශ්ව දෙසට දඹරැගිල්ල උලුක්කරද්දී විශ්ව දෑත් එකතු කොට ඇයට වැන්දේය.. චේතිය සිනා සිසි මේ සොදුරු යුවල දෙස බලා සිටියේ ආශාවෙනි..

    "අපි මේ තරම් ප්ලෑන් කරලා ගේම දීලත්.. බලපං මස්සිනා.. අන්තිමට ක්‍රෙඩිට් එක ගියේ ත්‍රීවිල් පාර්ක් එකට.. කොහෙද අර රත්නෙ කියන එකා ඕනෙ නැති බහුශ්‍රැත ටෝකක් දැම්මනේ.."

    විශ්ව කීවේ මෙතරම් සමාජ සත්කාරයක් කලද එහි නම්බුව තම පිරිසට හිමි නොවීම ගැන සැබෑම ශෝකයෙනි..

    "එහෙම උන එක හොදයි.. උන් මොන විදියකින් හරි ඉක්මනට එළියට එයි.. එහෙම ආපු දාක ඔය ක්‍රෙඩිට් එකේ රිටන් එකනම් වරදින එකක් නෑ.."

    නතාලි කල්පනා කල තරම් දුර දිග විශ්ව කල්පනා කර නොතිබිණ.. ඔහුට ඇවැසි වූයේ තම කොලුකාරකම් ගැන කීමට මිස බොරු නම්බුනාම ලබා ගැනීමට නොවේ..

    "හරි.. හරි.. ඔය දෙන්නා එහෙනං පාඩුවෙ මේ බංකුවක් උඩට වෙලා මරාගන්න.. මට පරක්කු වෙනවා.. මං යන්නම්.."

    චේතිය දෙදෙනාගෙන් සමුගත්තේ සතුටිනි..

    ****************************

    චේතිය පාසලේදී කලනට හා රංගට තම මව සමග ඇති වූ කතාබහේ සාරාංශය පැවසුවේ ඔවුන් දෙදෙන තම ප්‍රාණසම මිතුරන් වූ හන්දාම පමණක් නොව තම මව පියෙකු නැති දරුවෙක් බිහි කළාය යන කතාව නිසා චේතිය අපහසුතාවයට පත්වූ සෑමවිටකම ඔවුන් තම සහයට ළග උන් හන්දාය.. කොටින්ම නගරයේ පාසලෙන් එම කරුණ වසන් කිරීමට පවා උදව් දුන්නේ ඔවුන් දෙදෙනාය..

    "ඒක මාර කතාවක්නෙ චේති.. එතකොට උඹලගෙ අම්මට නංගි හම්බවෙන්න ඉද්දි ළමාතැනී ජීවත්වෙලා තියෙනවා.. ඒ කියන්නෙ ළමාතැනී උඹලගෙ අම්මගෙ කුසේ ප්‍රතිසන්ධිය ලබලා තියෙන්නෙ කළලයට අඩුම ගානෙ මාසයක් දෙකක් ගෙවුනට පස්සෙ.."

    චේතියගේ කතාවට බැරෑරුම්ව සවන් දුන් කලන කීවේ තරමක පුදුමයෙන් වුවද එවන් ආකාරයේ කතා කිහිපයක් ඔහු කියෙව්වාද ඔහුට මතක තිබුණි..

    "ඔව්.. ඒක එහෙම වෙන්න පුළුවන් කලන.. ඒවගේ පර්යේෂණයක් ගැන මං කියෙව්වා මේ ළගකදි.. ඒකෙ ඒ ළමයා ඉපදිලා තිබුණෙ එක්දාස් නවසිය අනූ හතරෙදි.. ඒත් එයා ඒ පෙර භවය ගැන කියපු කෙනා මැරිලා තියෙන්නෙ එක්දාස් නවසිය අනූ පහේදි.. ඒක ටිකක් අස්වාභාවික තමයි.. ඒ උනාට ඒ ළමයා අර කලින් කෙනාගෙ විස්තර හරියටම කියලා තියෙනවා.. එයාගෙ ගේ තිබුණ තැන.. ගෙදරට යන පාර.. පවුලෙ අයගෙ නම් ගම්.. එයාලා ආස කරපු දේවල් පවා.. ඉතිං එහෙම බලාගෙන යද්දි ඒ ප්‍රතිසංධියෙ වෙනසක් තිබුණට ඒක බෙරුයි කියන්න බැහැ.. අනික මචං පුදුමෙ කියන්නෙ මේක ලංකාවෙම රත්නපුරේ පැත්තෙ වෙච්ච සිදුවීමක්.."

    චේතියගේ කතාවට සාවධානව අසා උන් රංගද එය අනුමත කලේ තමාද මෑතක එවන් පොතක් ගැන කියවූවා සිහිපත් වූ බැවිනි..

    "උඹේ නංගිගෙ සිද්ධියෙදි අපි තාම දන්නෙ නංගි අශේන් ගැනයි වලව්ව ගැනයි කියන එකයි ලේස් ගවුම් වලට ආස එකයි වගේ සීමිත දේවල් ටිකක් විතරනෙ.. ඔය අපි පොත් පත් වල කියෙව්වා වගේ විශේෂ සිදුවීමක් මුකුත් නංගි කියන්නෙ නැද්ද..?"

    අධ්‍යයනයට ඉතාම රසවත් වූ මෙම මාතෘකාව ඔස්සේ කරුණු සෙවීමට රුචි වූ කලන චේතියගෙන් විමසුවේය..

    "මටත් ඔය ගැන හරියටම දෙයක් දැනගන්න පුළුවන් උනේ දැන් සතියකට දෙකකට විතර කලින් තමයි.. චූටි මහා පුදුම කතාවක් කියනවා බං.. කොටින්ම එයා පුංචි කාලෙ අපේ අම්මට කතා කලෙත් ගුණවතී කියලලු.. අම්මා තමයි බැනලා බැනලා ඒක හරි ගස්සවලා තියෙන්නෙ.. මටත් කීප දවසක්ම චූටි පුතේ.. සුදු පුතේ කියලා කතා කලා.. මං නං හිතුවෙ එහෙම කිව්වෙ අම්මා කතා කරනවා ඇහිලා වෙන්න ඇති කියලා.."

    "වෙන.."

    "චූටිව ඉස්කෝලෙන් ගන්න ගිය දවසක මට එයාගෙ පංතියෙ ටීචර් හම්බ උනා.. එයා කියනවා අපේ චූටිට අනික් ළමයින්ට නැති මට්ටමේ දියුණු ඉංග්‍රීසි දැනුමක් තියෙනවලු.. අනික එයාගෙ හැසිරීම් හරිම වෙනස්ලු.."

    "මොන වගේ වෙනසක්ද..?"

    කලන කුතුහලයෙන් විමසිය..

    "එයා වෙන ළමයි වගේ වැඩිය දගලන්නෙ නැතිලු.. හරිම තැන්පත්ලු.. හරි වැදගත් විදියට හැසිරෙනවලු.. ඒ ටීචර් කියපු විදියට ඉස්කෝලෙ හැමෝම ගුරුවරු නංගිට මාර ආදරෙයිලු.."

    "ෂා.. එහෙනං ගමේ ඉස්කෝලෙ උඹට තිබුණ තැන නංගි දෙක වසරෙදිම අයිතිකරගෙන වගේ.."

    රංග එසේ කීවේ ඔවුන් තිදෙනාද ගමේ පාසලට යන කාලයේ චේතිය ගුරුසිත් දිනා ගැනීමට දක්ෂ වූ හන්දාය..

    "ඒක නෙමෙයි චේති.. උඹ මුලදි වෙස් මාරු කරගෙන ගල් කන්ද වලව්වට ගියේ උඹට මොනවද දැනගන්න ඕනෙ කියලනෙ.. උඹ කිව්වෙ උඹලගෙ පවුලට සම්බන්ධ මොකක්ද රහසක් ඒකෙ හැංගිලා තියෙනවා වගේ දැනෙනවා කියලා.. දැන් ඒ කුතුහලේ හරි නේද..? දැන් අපි හැමදේම දැනගත්තනෙ.. උඹේ නංගිගෙ තාත්තා ඇතුලග කාරයයි කියලා.. නංගි ළමාතැනීගෙ යලි ඉපදීම කියලයි.."

    "නෑ කලන.. එහෙම දෙයක් නෙමෙයි.. මට දැණුනෙ වෙනමම හැගීමක්.. ඒත්.. ඒක මෙහෙමයි කියලා මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ.."

    කලන කියාගෙන ආ දෙය අතරමග නතර කල චේතිය තම සිතැගි පැවසුවේ තරමක් කල්පනා බරවය..

    "වෙන මොන මගුලක්ද බං.. තව මොනවද දැනගන්න ඕනෙ..? උඹලත් හදන්නෙ හොරෙන් හොරෙන් වලව්වට රිංගලා ඇතුගල කාරයගෙන් වෙඩි කන්නද..?"

    රංග පැවසූවට චේතියගේ මුවේ සිනාවක් විසිරුණි..

    "වෙඩි කන්න හරි මං මේ පාර යන්නෙ හොරෙන් නෙමෙයි.. කෙලින්ම ගුණවතීගේ පුතා විදියට.. ඇතුගලයට බෑ මට චැලේන්ජ් කරන්න.. ඌ මොනවහරි කිව්වොත් මං මිනිහගෙ පට්ටන්දරේ මුළු ගමටම කියනවා.."

    "උඹ හදන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නද චේති..?"

    "එහෙම එකක් නෙමෙයි බං.. ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ වලව්ව අයිති මිනිහට කියල.. අනික උගේ පුතාගෙ චරිතෙ ගැනයි.. මැරයන්ට ආරක්ෂා කරලා දීපු එක ගැනයි.. හැමදේම අපි දන්නවනෙ කලන.."

    "මේ අහපං චේති.. උඹට දෙයක් දැනගන්න ඕනෙ නං ඔහොම වලියට බරවෙලා ගිහින් බෑ.. පොඩ්ඩක් දැහැමින් සෙමින් හොයලා බලපං.. එහෙම ගියොත් මිනිහා උඹට බකට් එක අදින එකක් නෑ.."

    ඉක්මනින් තරහා ගන්න තම මිතුරා තවත් ප්‍රශ්නයක් දා ගනීවියැයි සැක සිතුනු දෙමිතුරෝ ඔහුව සන්සුන් කිරීමට උත්සහ දැරිය..

    "දැන් මොනවද ඔය වලව්වට ගිහින් කරන්න හදන්නෙ..?"

    "මං යන්නෙ හාමුව මීට් වෙන්න නෙමෙයි.. හේතුහාමි මාමව මුණගැහෙන්න.. එයා අපේ අම්මට තාත්තට විතරක් නෙමෙයි.. පුංචි කාලෙදි මටත් හරිම හිතවත්.. මට එක සැරයක් මිනිහව කතාවට අල්ලගත්තොත් ඇති.. මට එයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා.."

    කලන කුතුහලය මුසු දෑසින් චේතියගේ මුහුණට එබුණි..

    "අපේ චූටි කීප සැරයක්ම වීරවර්ධන කියලා කෙනෙක් ගැන කිව්වා.. ඒත් එහෙම කෙනෙක්ව අපේ අම්මා දන්නෙ නෑ.. මට හේතු හාමිගෙන් දැනගන්න ඕනෙ ඒ කෙනා කවුද කියලා.."

    "මොනවද නංගි කිව්වෙ..?"

    "මිස්ටර් වීරවර්ධන හම්බවෙන්න යං කියලම කියනවා.. එයා ළග ලියුමක් තියෙනවලු.. ගිහින් ඒක අරන් එන්නලු.."

    "ඉන්න තැනක් ගැන කියන්නෙ නැද්ද..?"

    රංග දීප්තිමත් දෑසින් විමසුවේ කතාව කුතුහලාත්මක ඉසව්වක් කරා ගමන් කරන බැවිනි..

    "ඉන්නෙ කොළඹලු.. කෝල් එකක් දීලා එන්න කියන්නලු.. ඒකයි මං හේතුහාමිගෙන් අහන්න යන්න හදන්නෙ.."

    රංගට හා කලනට චේතියගෙන් දැන ගැනීමට අවශ්‍ය දෑ මෙන්ම චේතියට ඔවුන් දෙදෙනාට කීමට තිබූ දෑ ඔවුනොවුන්ගේ සිත් සතන් තුළම සගවා ගැනීමට සිදු වූයේ විවේක කාලය අවසන් වන සීනුව නාද වූ නිසාය..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    17.png


    එදින නතාලි චේතියලාගේ නිවසට ආවේ වෙනදා මෙන් තනිව නොව විශ්ව සමගය.. ඔහුව දුටු ගුණවතී මිදුලට බැස්සේ තරමක චකිතයකිනි..


    "දුවේ.. මේ අර කියපු ළමයද..?"


    ඈ නතාලිගෙන් විමසුවේ නිවස තුළ උන් මිහිරාවි හා චේතිය මිදුලට බසිද්දීය..


    "ඔවු පුංචි අම්මෙ.. මේ තමයි විශ්ව.. මෙයාව අපේ මල්ලි නං හොදට අදුරනවා.."


    ගුණවතී විශ්වට සුහද සිනහවකින් සංග්‍රහ කරද්දී මිහිරාවි දිව විත් නතාලිගේ අතේ එල්ලී ගත්තාය.. චේතියද විශ්වට ළංවී ඔහුව නිවස තුළට කැදවාගෙන ගියේ සුපුරුදු ලෙංගතුකමිනි..


    "පුංචි.. අද ඔයා වලව්වට නොගිහින් අපි එක්ක ඉන්න බැරිද..? අපේ මේ උදේම ආවෙ වැඩ ගොඩක් ඔළුවෙ තියාගෙන.."


    නතාලි අක්කා සිය මවට නොකියා කියූ කතාව චේතිය දැන උන්නාය.. ඈ අම්මාවද රංග හා කලනවද රැගෙන ගමේ පන්සලට යාමට ඔවුන් කතිකා කරගත්තේ දුරකථන ඇමතුම් හරහාය..


    "අද නං වලව්වෙ ඒ හැටි රාජකාරියක් නෑ දරුවො.. හාමුලා නුවර ගිහින්ලු.. හේතුහාමි අයියා විතරයි ඉන්නෙ.. දවාලෙට උන්දැට බත් එකක් ගෙනිහිං දුන්නම ඇති.."


    තේ පානයෙන් අනතුරුව ඈ සිය එකගතාවය ව්‍යංගයෙන් පවසද්දී නතාලි තම අත් බෑගය හැර ෆයිල් කවරයක් අතට ගත්තාය..


    "මල්ලිට මතකයි නේද මං කිව්වා ළගදිම ඔයාලට තෑග්ගක් අරන් එන විත්තිය.. ඔන්න මං අද ගෙනාවා.. ආ පුංචි අම්මෙ.. ගන්න.."


    නතාලි සිනාසෙමින් පුටුවෙන් නැගිටිද්දී බියපත් දෙනෙත් දල්වා ගුණවතී පුටුවටම ඇලී උන්නාය.. නමුත් නතාලි තමා ළගටම විත් දෝතින්ම පිදූ එම ෆයිල් කවරය අතට ගනිද්දී නම් ඇයව ඉබේටම නැගිට්ටවුනි..


    "මේ මොකක්ද පුතේ..?"


    "මේ තමයි මං මෙච්චර කාලයක් ලොකු අප්පච්චිලා එක්ක ෆයිට් කරලා ගත්තු පුංචි අම්මගෙ අයිතිය.."


    ඈ කීවේ ජයග්‍රාහී ලෙස සිනාසෙමිනි.. මෙවන් කතාවක් ගැන නතාලි අක්කා තමාටවත් නොකී නිසා චේතිය සිය මව අත වූ ෆයිල් කවරය ගත්තේ දැඩි කුතුහලයෙනි..


    "ඔප්පුවක්.. අක්කර හයක්.."


    චේතිය විස්මයෙන් මුමුණද්දී ගුණවතීගේ දෑස් නලලටම ගියේය.. පුංචි මිහිරාවිද පොඩිකමට සිය සොයුරා අත වූ ෆයිල් කවරයට එබී බැලුවේ විශ්වගේ මුහුණට සිනාවක් කැදවමිනි..


    "අයියේ.. මගෙත් ලියුමක් තියෙනවා.. අපි මිස්ට වීරවර්ධන ළගට යමු.."


    ඔප්පුව දෙස කුතුහලයෙන් බැලූ මිහිරාවි කී දෑ අසා එවර පුදුමයට පත්වූයේ නතාලි හා විශ්වය.. ඇගේ පුනර්භව කතාව දන්නා විශ්ව නතාලි දෙසට හැරෙද්දී නතාලි චේතිය දෙස ප්‍රශ්නාර්ථය මුසු දෑසින් බැලීය..


    "ඒක තමයි අක්කෙ ඊළගට හොයන්න ඕනෙ.. මම කියන්නම්කො.."


    නැගෙණිය ළග තබා එය කතාකිරීම නුසුදුසු නිසා චේතිය එය පසුවට කල් තබා ගනිද්දී ගුණවතී නැවත ඔප්පුව ඉල්ලාගෙන මුල සිට අගටම කියවා බැලුවේය..


    "මේ අත්සන අප්පච්චිගෙනෙ පුතේ.. එතකොට මේ කජු ලන්ද මගේ නමට ලීවෙ අපේ අප්පච්චිද..?"


    ගුණවතී නතාලිගෙන් විමසුවේ අදහාගත නොහැකි යමක් නෙත ගැටුණු විලසිනි..


    "ඔව් පුංචි.. ඕක ලිව්වෙ ලොකු අප්පච්චි.. එයාම තමයි මට කිව්වෙ මේක පුංචිගෙ අතටම දෙන්න කියලා.. ඉන්නකො ටිකක්.."


    ගුණවතී අස්වැසූ නතාලි පුටුවෙන් නැගිට ගොස් තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේ පිරිස බලාහිදිද්දීමය..


    "ආ.. පුංචි.. ලොකු අප්පච්චි කතා කරනවා.."


    ගුණවති නැවත වරක් විස්මයෙන් මුව අයා ගනිද්දී නතාලි ඇගේ අත තිබූ දුරකථනය ගුණවතීට පෑවාය.. ඈ එය ගත්තේ සැලෙන අතැගිලි වලිනි.. එය රැගෙන කණ තබා ගත්තද ගුණවතීගේ මුව නම් එක වර විවර වූයේ නැත..


    "චූටි මැණිකෙ.. ඔයා අහගෙන නේද පුතේ ඉන්නෙ..?"


    එහා ඉමෙන් ඇසුනු වියපත් ගාම්භිර කටහඩට ගුණවතීගේ මුවින් ඉකියක් පිට වූයේද දෙනෙතින් කදුළු රූරා වැටුණේද එක විටය.. 'චූටි මැණිකේ' ඒ ඇගි පියා එකල ඇයව ඇමතූ සුරතල් නාමයයි.. ඒ හඩ නැවත දශක දෙකකට පසුව සවන් වැකෙද්දී ඇයට සිය හැඩුම පාලනය කරගත හැකි වූයේ නැත..


    "අප්පච්චි.. මට සමාවෙන්න අප්පච්චි.."


    ඈ බොහෝ ආයාසයෙන් සිය හඩ අවදි කරද්දී චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..


    "චූටි මැණිකෙ සමාව ඉල්ලන්න ඕනෙ නෑ.. අපියි වැඩිහිටියො විදියට වැරැද්ද කලේ.. අපියි උඹව පිට එකෙක් ගාණට අතෑරලා දැම්මෙ.."


    ඔහුගේ හඩ සිය සවන් පත් තුළට ග්‍රහණය කර ගැනීමට මෙන් ගුණවතී දුරකථනය සිය සවනට ලං කර ගත්තාය..


    "උඹලගෙ අම්මගෙ මුරණ්ඩු තීරණ වලට ඔළුව නමලා මං වස වැරැද්දක් පුතේ කරගත්තෙ.. උන්දැ දැන් ලෙඩ ඇදේ.. මමත් දැන් යන්න ළගයි.. ඊට කලින් මට මෙව්වා එකලාසයක් කරලා දාන්න ඕනෙ උනා.. නතාලි දුව තමයි කිව්වෙ උඹලා හරියට කන්න විදියක් නැතුව දුක් විදිනවා කියලා.."


    කඩින් කඩ කතාව කියූ ගුණවතීගේ පියා මොහොතක් නිහඩව උන්නේය..


    "අම්මා අකමැතිනං මට මේවා එපා අප්පච්චි.. මං පුළුවන් විදියකට පිරිමහගන්නං.."


    ගුණවතී ඔප්පුව දෙසට දෑස් යොමා කියද්දී ඇගේ පියාගේ කට හඩ බිදී ගියේය..


    "එහෙම කියන්න එපා දරුවො.. මට යන ලෝකෙකටවත් සැනසීමෙන් ඇහැ පියාගෙන යන්න දෙන්න.. මං මැරුණ දාකට මුං මේකට කුලල් කා ගනී.. ඊට කලියෙනුයි මං මේවා එකලාසයක් කරලා දැම්මෙ.. උඹ දරුවො දෙන්නා එක්ක ඇවිත් ඔය ඉඩමෙ පදිංචි වෙයං.. ඕකෙ ගේ පොඩිත්තකුත් තියෙනව නොවෑ.."


    "අම්මා තාමත් තරහින්ද අප්පච්චි..?"


    "උන්දැව වෙනස් කරන්න අමාරුයි දරුවො.. ඒ උනාට ඒකෙන් කාරි නෑ.. උම දවසක දරුවො දෙන්නත් එක්ක වලව්වට ඇවිදින් පලයං.. මට මැරෙන්න කලින් උඹේ මූණ දකින්න ආසයි චූටි මැණිකෙ.."


    ගුණවතීගේ ඉකි බිදුම විසල් වරුසාවකට පෙරලෙද්දී එහා ඉම උන් ඇගේ පියා ඇමතුම විසන්ධි කර දැමුවේ ඔහුටද හැඩුම් ආ බැවිනි..


    "හරිනේ පුංචි.. දැන් ප්‍රශ්නෙ ඉවරයි.. ලොකු අප්පච්චිලට මේ දේවල් තේරුං කරලා දෙන්න මං ගොඩක් මහන්සි උනා.. දැන් මටත් සතුටුයි.. පුංචිලාට දැන් තමන්ගෙම කියලා තැනක් තියෙනවා.."


    නතාලි එම කතාව එතෙකින් නතර කලේ කතාව දිගින් දිගටම ගියහොත් පන්සලට යාමට සිතා උන් ගමන මග හැරෙන හෙයිනි.. නතාලිට මුව නොසෑහෙන සේ ස්තුති කල චේතිය, රංගට හා කලනටද දුරකථන ඇමතුම් දීමෙන් අනතුරුව මව හා නැගණිය පන්සලට යාමට සූදානම් කරගත්තේය..


    ඔවුන් පස්දෙනා ගල් තලාව නැග පන්සල් භූමියට අවතීර්ණ වද්දි රංග හා කලනද වෑන් රථයෙන් පැමිණ ඔවුනට එකතු වූහ.. කලනව දුටු විශ්ව ඔහුට අතට අත දී පිළිගනිද්දී චේතිය ඔහුට රංගවද හදුන්වා දුන්නේය..


    "අපි වැදලා ඉවරවෙලාම හාමුදුරුවො මුණ ගැහෙන්න යමු නේද පුංචි.."


    නතාලි පෙරමුණ ගත්තෙන් හැමෝම ඈ අනුගමනය කර වන්දනාමාන කර ගත්හ.. රංග කලන හා එක්ව ආවාස ගේ පැත්තට ගමන් ගත්තේ හේමවංශ පොඩි හාමුදුරුවන් කැදවාගෙන ඒමටය.. ඔවුන් ධර්ම ශාලාවේ පාඩිගෙන බලාහිදිද්දී පොඩි හාමුදුරුවන් සමග පන්සලේ නායක හාමුදුරුවෝ වූ සීලරතන හිමියන්ද වැඩම කළහ..


    පිරිස නැගිට හාමුදුරුවන් දෙනමට වැද පසෙකින් හිද ගනිද්දී පුංචි මිහිරාවි අනෙක් අය පුදුම කරවමින් නායක හිමියන්ගේ පය පාමුල සන්සුන්ව හිද ගත්තේය.. ඔවුන් පැමිණි ආකාරය චේතියගෙන් දැන උන් හේමවංශ හිමියන් එය තම ලොකු හාමුදුරුවන්ට දැනුම් දී තිබිණි.. නමුත් මිහිරාවිගේ පියා ඇතුගල හාමු බව චේතිය ස්වාමින් වහන්සේලාට කීවේ නැත..

    පුනර්භවය යන වදන භාවිතා නොකල නායක හිමියන් මිහිරාවිය සාමාන්‍ය ලෙස සුහද කතා බහකට එකතු කර ගත්හ..

    "චූටි දූ.. ඔයාට මේ පන්සල කලින් මතකද..?"


    "එහෙමයි.. මං ඉස්සරත් මෙහෙ එනවනෙ හාමුදුරුවනෙ.."


    ලොකු හාමුදුරුවන්ගේ කතාවට පුංචි දැරිය පරිණත ලෙස පිළිතුරු දෙද්දී සැවොම පුදුමයෙන් බලා උන්හ..


    "ඉස්සර කිව්වෙ..?"


    "වලව්වෙ ඉන්නකොට.."


    "වලව්වෙ ඉන්නකොට තව කවුද එහෙ හිටියෙ..?"


    "කලින්ම හිටියෙ අපි.. මං ඉස්කෝලෙ යද්දි ඇතුගල අන්කල්ලා පදිංචියට ඇවිත් හිටියා.."


    ලොකු හාමුදුරුවන් සූක්ෂම ලෙස දැරියගෙන් කරුණු කාරණා විමසන ආකාරයත් පුංචි මිහිරාවි ගිරවියක සේ නොපැකිල ඒවාට පිළිතුරු දෙන ආකාරයත් දුටු පිරිස මවිත විය..


    "ඇයි ඇතුගල අන්කල්ලා එහෙ ආවෙ..?"


    "අපේ වැඩීලා රට ගියානේ මල්ලිට බෙහෙත් ගේන්න.."


    ඩැඩී කියන වදන ඇසී රංග හා කලන පුදුම වුවද ඉංශ්‍රීසි නැඹුරුවකින් යුතු වූ ළමාතැනීගේ පවුලේ විස්තර දැන උන් සීලරතන හිමියන් පුදුම වූයේ නැත..


    "ඊට පස්සෙ මොකද උනේ..?"


    "මමත් මල්ලි බලන්න එක පාරක් ඉස්කෝලෙ නිවාඩුවට රට ගියා.. ඒත් ඉස්කෝලෙ යන්න ආපහු ආවා.."


    ළමාතැනී රට ගොස් තිබූ කතාව මේ කියනා තුරු ගුණවතී පවා දැන උන්නේ නැත.. චේතියට නම් ක්ෂණිකව සිහිපත් වූයේ නංගිගේ පංතිභාර ගුරුතුමිය ඈ ඉංශ්‍රීසි බසට දක්ෂ බව කී කතාවය..


    "මල්ලිට මොකද උනේ..?"


    "එයාට සනීප නැති උනානෙ.. ඔපරේෂන් කරන්නයි රට ගෙනිච්චෙ.. ඒත් මල්ලි මැරුණා.."


    චේතිය අදහා ගත නොහැකිව බලා උන්නේ පෙර දිනක ගල්කන්ද වලව්ව ගැන මවගෙන් අසා දැනගත් කතාව ඒ ආකාරයෙන්ම තම නැගණියගේ මුවින් පිටවද්දීය..


    "එතකොට ඔයාගෙ ඩැඩී..?"


    "මමියි ඩැඩියි ඊට පස්සෙ ලංකාවට ආවා.. ඒත් ඇතුගල අන්කල්ලා වලව්වෙන් ගියේ නෑ.. එයාලා අපේ ඩැඩීලට බොරු කිව්වා.."


    මිහිරාවි එය පැවසුවේ බිම බලාගෙන දුක්බර ඉරියව්වක් මවා පාමිණි.. හැමදෙනාම නිහඩව ඈ දෙස බලා උන්නද ගුණවතීගේ සිත නම් පුදුම තරම් නොසන්සුන් වී තිබුණි..


    "මොනවද එයාලා කියපු බොරු..?"


    එවර ප්‍රශ්න නැගුවේ මෙතෙක් නිහඩව උන් හේමවංශ හිමියන්ය..


    "මමයි ගාමිණියි යාළුයි කියලා.."


    ඈ ලැජ්ජාවෙන් තෙපලද්දී කලන චේතියගේ මුහුණට එබුණේ ගාමිණි කවුදැයි දැනගැනීමටය..


    "ගාමිණි කියන්නෙ ඔය හාමු.. ගාමිණි ඇතුගල.."


    චේතිය අශේන්ගේ පියාගේ නම කලනට කීවේ රංගටද ඇසෙන සේය..


    "ඉතිං.. ඔයා ගාමිණිත් එක්ක යාළුවෙලා හිටියෙ නැද්ද..?"


    "නෑ.."


    ලොකු හාමුදුරුවන්ගේ පැණයට ඈ පිළිතුරු දුන්නේ පෙර මෙන්ම ලැජ්ජාවෙන්ය.. ඒ දුටු විශ්වට සිනා නැගුණද නතාලි නම් සංවධානව එම ඉරියව් නිරීක්ෂණය කරමින් උන්නාය.. ඈ මේ සාකච්ඡාව මුල සිටම ජංගම දුරකථනයේ පටිගත කර ගැනීමටද අමතක කළේ නැත..


    "ඊට පස්සෙ..?"


    "මට ගාමිණිව බදින්න උනා.. ඊට පස්සෙ අපේ ඩැඩීලා ආපහු රට ගියා.."


    "එතකොට ඇතුගල අන්කල්ලා..?"


    නායක හිමියන් පුංචි දැරියගේ නෑකමෙන්ම විමසූහ..


    "එයාලත් අපි බැන්දට පස්සෙ නුවර ගියා.."


    "වෙන කවුද වලව්වෙ හිටියෙ..?"


    "මමයි, ගාමිණියි, හේතුහාමියි තව වත්තෙ වැඩට ආව ගිය අයයි.."


    තම ඥාති සොයුරිය සිය පූර්ව ජන්මය ගැන හොද මතකයකින් පසු වන බව දුටු නතාලිට දැනුණේ දැඩි විස්මයකි..


    "වෙන කවුරුවත් හිටියෙ නැද්ද..?"


    "මම හේතුහාමිට කියලා ධර්මෙව ගෙන්න ගත්තා.."


    ගුණවතී දෑස් විදහා තම දියණිය දෙස බැලුවේ පුදුමයෙණි.. ළමාතැනී ධර්මතිලක නම් වූ තම සැමියාට ධර්මේ ලෙස ඇමතූ අයුරු ඇයට දැනුදු මතකය..


    "ඇයි එයාව ගෙන්න ගත්තෙ..?"


    "එයා ඉස්සර ඉදලම එහෙනෙ හිටියෙ.. එයා හරි හොදයි.."


    මිහිරාවි එයා ලෙස හදුන්වන්නේ තම පියාව බව වැටහුනු චේතිය පවා බලා උන්නේ ගල් ගැසීය..


    "ධර්මෙ කියන්නෙ කවුද..?"


    "හේතුහාමිගෙ යාළුවා.. එයා බැන්දෙ ගුණවතීව.."


    ඈ එහිදී තම මව නමින් පමණක් ඇමතීම ගැන හේමවංශ හිමියන් පවා පුදුම විය..


    "ධර්මෙ හිටියෙ කොහෙද..?"


    "අපේ ගෙදර.."


    මෙතෙක් පරිණත ලෙස පිළිතුරු දුන් ඇගේ මෙම ප්‍රකාශයන් සමග නතාලිගේ මුවට සිනාවක් ගලා ආවේය.. ඈ අපේ ගෙදර ලෙස හැදින්වූයේ මේ භවයේ තමාගේ නිවස බව ඇයට වැටහුණි..


    "ධර්මෙට මොකද උනේ..?"


    "මැරුණා.."


    "මොනව වෙලාද..?"


    ඈ එයට පිළිතුරු දෙනු වෙනුවට ගුණවතීගේ මුහුණ දෙස මොහොතක් බලා උන්නාය.. ගුණවතී එවර තම දියණිය දෙස බලා උන්නේ ළමාතැනී දෙස බලන තරමේ ගෞරවයකිනි..


    "දන්නෙ නෑ.."


    බොහෝ වේලා නිහඩව උන් ඈ අවසානයේ දුන් පිළිතුර සැමගේ සැකයට පාත්‍ර වූවද ඈ ඒ පිළිබදව ඉන්පසු වදනක්වත් දෙඩුවේ නැත..


    "කවුද චූටි වීරවර්ධන කියන්නෙ..?"


    දිගු වේලාවක් ගලා ගිය නිහඩතාවයට තිත තැබුවේ චේතිය විසිනි..


    "ඩැඩීගෙ යාළුවෙක්.."


    "එයා කොහෙද ඉන්නෙ..?"


    වීරවර්ධන කතාවක් ඇදී ආවේ ඇයි දැනි නොදැන උන්නද හේමවංශ හිමියන් තවත් ප්‍රශ්නයක් නැගුවේ එය පසුවට වැදගත් වේ යැයි හැගුණු නිසාය..


    "එයා කොළඹ.. එයා ළග මගේ ලියුමක් තියෙනවා.."


    ඈ නිවසේදී කී කතාව යළිත් වරක් පිරිස ඉදිරියේ පැවසූවේ සැම වුවේ කුතුහලයක් ඉතිරි කර තබමිනි..


    "දැන් කෝ ඩැඩීලා..?"


    "එයාලා රට ගියානෙ.. දැන් නං මැරිලද දන්නෙත් නෑ.."


    "එතකොට කෝ ගාමිණි..?"


    "ඔය ඉන්නෙ පුතත් එක්ක වලව්වෙ.."


    සැවොම මිහිරාවි දෙස බලා උන්නේ ඈ සුරතල් බසින් කියන වැඩිහිටි කතා අදහාගත නොහැකි ලෙසින්ය..


    "ඇයි ඔයා ගාමිණි එක්ක රණ්ඩු කලේ..?"


    වලව්වේ අඩ දඹර ගැන හොදාකාරව දැන උන් සීලරතන හිමියන් විමසුවේ එකල ළමාතැනී ඒ පිළිබදව තමා සමග කතිකාකර තිබූ බැවිණි..


    "එයාට ගමේ ගෑණු හිටියා.. තව.."


    ඈ මොහොතක් කල්පනා කරන්නට ගත්තාය..


    "තව කිව්වා වලව්ව එයාගෙ නමට ලියලා දෙන්න කියල.."


    "ඉතින් ලිව්වද..?"


    "නෑ.."


    සීලරතන හිමියන් ඒ ගැන වැඩිදුර නොවිමසුවේ වලව්වේ අයිතිය තිබුණේ ළමාතැනීට බව උන් වහන්සේ දැන උන් නිසාය..


    "චූටි දුවට මේ ඝන්ඨාර කුළුණ මතකද..?"


    ඝන්ඨාර කුළුණේ කතාව හේමවංශ හිමියන් චේතියලාට කියූ බව නොදැන උන් නායක හාමුදුරුවෝ එය විමසුවේ මිහිරාවිගේ පිළිතුර දැන ගැනීමටය..


    "ඔව්.. මේක හැදෙව්වෙ මං.."


    "ඒ කොහොද..?"


    "ඇයි මං හාමුදුරුවන්ට සල්ලි එව්වෙ..?"


    "කා අතේද..?"


    "හේතුහාමි අතේ තිස් දාහක් එව්වෙ.."


    මිහිරාවි සිය පුංචි දෑස් ලොකු කර නායක හාමුදුරුවන්ට කීවේ උන්වහන්සේට එය අමතක වී ඇත්දැයි සැකයෙනි..


    "ඇයි දූ වලව්වෙ ඉදලා ගුණවතීලගෙ ගෙදර ආවෙ..?"


    තමා ඉදිරියේ වාඩි වී ඉන්නා මෙම සිගිත්තිය වලව්වේ ජීවත්ව මියගිය ළමාතැනීගේ පුනරුත්පත්තිය බව සීලරතන හිමියන්ට තව දුරටත් නැඹුරුව තහවුරු කරගැනීමට අවශ්‍ය වූයේ නැත.. එය මේ වන විට වඩාත් සවිස්තරව තහවුරු වී තිබිනි.. ඒනිසා උන් වහන්සේ ඇසුවේ තමාට ඇසීමට තිබූ අවසන් පැනයයි..


    "මං මැරුණනෙ.."


    "මොනව වෙලාද..?"


    "ගාමිණි ගැහුවා.. ඊට පහුවෙනිදා තමයි මං මැරුණෙ.."


    "කවුද එතකොට ඔයා ළග හිටියෙ..?"


    මෙතෙන් නිහඩව උන් නතාලි විමසුවේ පිළිතුර දැන දැනමය..

    "සුදු පුතානෙ.."


    මිහිරාවි එය කීවේ චේතියගේ දෑස් දෙස සෘජුව බලමිනි.. ඒ බැල්මට චේතිය තිගැස්සී ගියේය..


    මෙතෙක් බාහිරව සන්සුන්ව උන්නද ඇතුළතින් කැළඹී උන් ගුණවතී උන් නැතින් නැගිට සිය දියණියව තම උකුලට ගත්තාය.. ඇගේ දෑසේ වූයේ බොදව ගිය කදුළු පටලයකි..

    "ගිය ආත්මෙ මෙයා කාගෙ කවුරු උනත් මේ ආත්මෙ මෙයා මගේ දරුවා හාමුදුරුවනේ.. මට මගේ කෙල්ලව නැති කරගන්න බෑ.."


    ඈ කීවේ සැම දෙනාගේම සිත්වල අනුකම්පාවක් ජනිත කරවමිනි.. ඒ දුටු සීලරතන හිමියන් ගුණවතීගේ සිත සනසන්නට මද වේලාවක් දහම් දේශනා කලහ..

    "එහෙනං චේතිය පුතා.. දැන් කට්ටිය එක්ක ගෙදර යන්න.. අපි පස්සෙ මේ ගැන වැඩි දුර කතා කරමුකො.."


    සාකච්ඡාව නිම වී හිමිවරුන් දෙනම වැද පිරිස නික්ම යන්නට සැරසෙද්දී හේමවංශ හිමියන් චේතියව පසෙකට කැදවූහ..


    "දැං මේ ගැන තව දුරටත් කතා කරන්න බෑ මල්ලි.. හෙට අනිද්දා දිහාට යාළුවො දේනනා එක්ක මේ පැත්තෙ ඇවිත් යන්නකො.."


    "හොදයි පොඩි.. සාදු අපි එන්නම්.."


    ඔහු සමුගත්තේ කැළඹුම, නොසන්සුන්කම, දෙගිඩියාව යන සියළුම හැගීම් නොඅඩුව සිත්හි දරා ගනිමිනි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    18.png


    සතියේ දින කිහිපයක් එක දිගට පාසල් හා අමතර පංති ගිය චේතිය නිවාඩු ලද එම සෙනසුරාදාව යොදා ගත්තේ ගල් කන්ද වලව්වට ගොස් හේතුහාමි මුණ ගැසීමටය.. ඇතුගල හාමු හා අශේන් වලව්වේ නොමැති බව සැක හැර දැනගත් ඔහු එදින වලව්ව බලා පිටත් වූයේ මවටද පූර්ව දැනුම් දීමෙන් අනතුරුවය..


    වෙනදා මෙන් බොරු කොණ්ඩ, උපන් ලප, ඇස් කණ්නාඩි වලින් තොරව සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීමට හැකි වූ නිසා ඔහුගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙමින් තිබුණි.. රංගලා සමග ගිය ලෙස වලව්වේ ඉදිරිපසින් නොගොස් ඔවු වලව්වේ වත්ත හරහා වැටී තිබූ අඩිපාර දිගේ පා එසවිය..


    "කාවද ළමයො හොයන්නෙ..?"


    පොල් වත්ත හරහා පැමිණි හේතුහාමිව ළගට එන තෙක්ම නුදුටු චේතිය තිගැස්සිණි.. ඔහු මොහොතක් හේතුහාමි දෙස බලා උන්නේ ඔහුට තමාව හදුනාගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට වුවද හේතුහාමිට චේතිය හදුනාගැනීමට හැකි වූයේ නැත..


    "මාමට මාව අදුරන්න බැරිද..?"


    "මේ දරුවා.."


    "මං ගුණවතීගෙ පුතා.."


    "හප්පේ.. මට නිච්චි නැතිඋන තරමක්.. දැන් යස ඉලංදාරියෙක් නොවැ.."


    හේතුහාමි ඔහුව සුහදව පිළිගනිමින් වලව්ව කරා රැගෙන ගියේය..


    "උඹලගෙ අම්මා අද තාම මේ පැත්තෙ ආවෙ නෑ.."


    "අම්මා දවල් වෙලා එයි මාමෙ.. මං මේ ආවෙ මාමව හම්බවෙන්න කියලා.."


    වසර ගණනාවකට මෙම භූමියට පා නොතැබූ මොහු හදිසියේ පැමිණිම ගැන හේතුහාමිගේ සිතේ කුතුහලයක් ඉපදුණි..


    "මේක නිකමට ආපු ගමනක් වෙන්න නං බෑ.. ළමාතැනීගෙ මරණෙන් පස්සෙ උඹ මේ පැත්තෙ නාවේ ඇයි පුතේ..?"


    "ළමාතැනි නැතුව මට එහෙ එන්න හිතුනෙ නෑ මාමෙ.. අනික ලොකු හාමුයි අශේන් බේබියි උනත් එක විදියක්නෙ.."


    චේතියගේ කතාවට මදක් සිනාසුන හේතුහාමි ඔහුව වලව්ව තුළට රැගෙන ගොස් පුටුවක හිදුවා තමාද ඒ අසලින් වාඩි ගත්තේය..


    "උඹත් උඹලගෙ අප්පොච්චා වගේම මුරණ්ඩුයි.. උන්දෑ හාමු මහත්තයා එක්ක ඉන්න බෑ කියලා කාලයක් මේ ගම් පලාතත් දාලා ගියා නොවැ.."


    හේතුහාමි සිය සමීපතම සගයා වූ ධර්මතිලක ගැන කතා කලේ සැබෑම ලෙංගතුකමිනි.. නමුත් ඒ පිළිබද දිගින් දිගටම කතා කිරීමට චේතිය මනාප වූයේ නැත.. ඔහුට අවැසි වූයේ ළමාතැනී මිය ගිය ආකාරය හා වීරවර්ධන යන තැනැත්තා ගැන දැනගැනීමට පමණි.. නමුත් එකවර කාරණය හෙළි කළ නොහැකි නිසා ඔහු මොහොතක් නිහඩව උන්නේය..


    "මොකක්ද දරුවො ඔය හැටි කල්පනා කොරන්ඩ කාරණේ..? බය වෙන්න කාරි නෑ.. මං විතරයි දැන් වලව්වෙ ඉන්නෙ.. කියහං.."


    "මේකයි හේතු හාමි මාමේ.. මට දැනගන්න ඕනෙ ළමාතැනී නැතිවුණේ කොහොමද කියලා.."


    චේතිය ඉද්ද ගැසුවාක් මෙන් ඇසූ පැනයට හේතුහාමිගේ දෑස් විසල් විණි..


    "ඒ ඇත්ති ගැන මොකටද උඹ හොයන්නෙ..? අනික පුතේ.. ළමාතැනී නැති උනේ උඹේ ඇස් පනාපිටමනෙ.."


    "ඒක හරි මාමෙ.. ඒත් මං අහන්නෙ ළමාතැනීගෙ මරණෙට හේතුව.. ඒක ළමාතැනීගෙ අසනීපෙ නිසා උන දෙයක් නෙමෙයිනෙ.."


    චේතිය විමසුවේ පෙර දිනක පන්සලේදී නැගණිය කී කතාවකි.. ඈ කීවේ මරණයට හේතුව ඇතුගල හාමු තමාට පහර දීම බවයි.. ඉතිං.. එවැන්නක් සිදු වූවා නම් වලව්ව තුළම උන් හේතුහාමි එය නොදැන ඉන්නට කාරණාවක් නැත..


    එසේ චේතිය තමාගේ අන්තයෙන් මේ පිළිබදව සිතද්දී හේතුහාමි සිතින් අතීතය කරා ගමන් කරන්නට විය.. ඔහුට ළමාතැනී මිය ගිය දිනට පෙරදා රාත්‍රියේ ඇති වූ කලබගෑනිය යළිදු සිහියට නැගුණි.. තමා බඩ වියත රැකගෙන ජිවත්වෙන වලව්ව පාවා දීමට බැරිකමින් මෙන්ම තම දුකට සැපට ළග උන් සමීපතමයාගේ පුතුට බොරුවක් කීමට බැරිකමින් හේතුහාමි දෙලොවක් අතර තනි විය..


    "හේතුහාමි මාමා ඔය තරමට කල්පනා කරන්නෙ ඒකෙ මොකක් හරි රහසක් තියෙන නිසානෙ.."


    ඔහු කතාව කියනට හේතුහාමිව දිරිමත් කළේ මෙම කාරණය හරි හැටි දන්නා එකම පුද්ගලයා ඔහු පමණක් වූ බැවිණි..


    "ඒ ඇත්ති නැති උන දාට කලින් දා රාත්තිරියෙ අපේ ලොකු හාමු බීගෙන ඇවිත් ළමාතැනී එක්ක රණ්ඩුවක් ඇල්ලුවා නං මට මතකයි පුතේ.."


    "ඒ මොකටද..?"


    "ඒ මේ ඉඩම් පලහිලව්වකට කොහෙද.."


    ඔහු කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්ලන් රණ්ඩු වූ බැසෑ කරණය එය නොවුවද එය හේතුහාමි දැන උන්නේ නැත.. ඔහු දන්නේ උස්ව නැගුණු දෙසබ් වලින් තම කණට වැටුණු කොටස පමණය.. ඒ කතාබහේදී ගුණවතී, ධර්මතිලක, අශේන්, ඉඩම් වැනි වදන් කීපය කිහිපවරක්ම ඇසුනද ඒවා නිරවුල් නොවූ නිසා හේතුහාමි එය චේතියට කීවේ නැත.. මොහු තරුණ කමට ඇතුගල හාමු සමග රණ්ඩුවකට පැටලුනෝතින් එය තමාටද පාපයක් වනු ඇත..


    "ඒකෙන් කමක් නෑ.. හාමු මහත්තයා ළමාතැනීට ගැහුවද..?"


    මේවා චේතිය දන්නේ කෙසේදැයි මෙන් පුදුමයෙන් ඔහු දෙස බැලූ හේතුහාමි අවසානයේ එය අනුමත කිරීමට මෙන් හිස සැලුවේය.. සැබැවින්ම ඔහු ඕනවටත් වඩා විවෘත වූවා නොව.. කිසියක් අදෘශ්‍යමාන බලවේගයකින් ඔහු සියල්ල හෙලි කළා වැනිය..


    "ඒ ඇත්ති මර ලතෝනි දෙන සද්දෙට මමයි මැද්දට පැනලා බේර ගත්තෙ.. හාමු මහත්තයා අර දහජරාව කටේ ගාගෙන මත් වෙලා හිටියෙ.."


    ඇතුලග හාමු එලෙස ඇදේ උන් ළමාතැනීට යකඩ බටයකින් පහර දුන් අයුරු යළිත් සිහිපත් වද්දී හේතුහාමිගේ ගතේ හිරිගඩු පිපුණි..


    "ඒකෙන් නේද ළමාතැනී නැතිවුණේ..?"


    ඔහු රහස් පොලීසියෙන් විලස ප්‍රශ්න කරද්දී අසරණ වියපත් මිනිසා මදක් තැතිගත්තේය..


    "එහෙමම කියන්න බෑ පුතේ.. ළමාතැනී ඒ කාලෙ කොහොමටත් දුර්වල වෙලානේ හිටියෙ.."


    ඔහු පිළිතුරු දුන්නේ බයාදු ලෙසිනි.. නමුත් ඔහු ඇතුගල හාමුව සාධාරණීකරණය කිරීමට පිළිතුරු දුන්නද චේතියට ඊට වඩා තම නැගණියගේ කතාව විශ්වාසවන්ත විය.. ළමාතැනීගේ මරණයට හේතුව ඇතුගල හාමුම බව ඔහු මේ වන විට තදින් විශ්වාස කළේය..


    "ළමාතැනි කළින් අසනීප උනේ ඇයි..? මං අහන්නෙ ඔය ඇදට වැටෙන්න තරම් ඔත්පල උනේ..?"


    මිය යන විටද ලාබාල වියේ පසු වූ රූමත් ඇය අසනීප වූයේ ඇයි ද යන ගැටළුව චේතියගේ සිතේ කුඩා කාලයේ පටන්ම පැවතුණි..


    "ඒකත් උනේ හාමු මහත්තයා නිසාමයි දරුවො.. ළමාතැනී කාමරේ මාරු කරලා පහළට ආ දා ඉදලම ගුටි බැට ඉවරයක් නෑ.. අම්මා තාත්තත් මේ රටේ නැතිව තනිවෙලා හිටිය ඒ ඇත්ති අන්තිම කාලෙ නරා දුක් වින්දෙ.."


    "ඒ කිව්වෙ මාමෙ..?"


    "දවසක් ඔය ගෑණු හුටපටේකට රණ්ඩු වෙලා ළමාතැනීට හොදටෝට කෑගැහුවා.. ඒ ඇත්ති කිව්වා නුවර ගිහින් ඇතුගල හාමුගෙ මහ උන්දැලට මේ ගැන කියනව කියලා.. එදා ඇතුගල හාමු දොර පොල්ලකින් ඒ ඇත්තිට ගහපු පාර තමයි කොදු ඇට පෙල ඔය විදියට බිදිලා තියෙන්නෙ.."


    මෙතරම් වසර ගණනාවක් පැවති රහසක් තමා හෙළි කළේ මන්දැයි හේතුහාමිටම වටහා ගත නොහැකි වුවද ඔහුට චේතියගේ තේජස් බව ඉදිරියේ බොරුවක් කීමට දිව නැමුණේ නැත..


    "බලං යනකොට හාමු මහත්තය කියන්නෙ මිනීමරුවෙක්නෙ.. ගෙදර රණ්ඩුවකට ඔය විදියට ගහන්න ඒ මනුස්සයා මහා දරුණු කෙනෙක් වෙන්න එපැයි.."


    "රණ්ඩුවකට කියන්නෙ ළමයො.. ඔය ඇලිසා ඉන්නවා නේද.. උන්දැ තමයි ඒ කාලෙ උඹලගෙ අම්මා එන්නෙ නැති දාට වලව්වෙ ඉවුම් පිහුම් කලේ.. කොහොමින් කොහොම හරි ඒකි වලව්වට එන එක නතර කලේ බඩට දරුවෙකුත් ආවට පස්සෙයි.."


    ඒ කතාවට චේතිය මහත් සේ තැති ගත්තේය.. ඒ දුටු හේතු හාමි චේතියගේ කණට ලංව මුමුණන්නට විය..


    "ඇලිසගෙ ඔය බාල කෙලී අපේ හාමු මහත්තයගෙ කියල කටකතාවක් තියෙනවා.. උඹලගෙ අම්මත් ඕවා දන්නව මයෙ හිතේ.."


    ඇතුගල හාමු සල්ලාලයෙකු යැයි දැන උන්නද ගමේ ගෑනුන්ව මෙතරම් අමාරුවෙ දැමූ වසලයෙකු බව චේතිය මේ වනතුරු දැන උන්නේ නැත.. ඔහු තම මවට කලා යැයි කියූ හානිය සිහිවී චේතියගේ සිතේ නැවත තරහක් ඉපදුනි..


    "මාමා දන්නවද වීරවර්ධන කියලා කෙනෙක් ගැන..?"


    තමාට නැගෙන තරහව හේතු කොටගෙන ඇතුගල හාමු පැමිණියෝතින් ප්‍රශ්නයක් වේයැයි හැගුණු චේතිය ඉක්මනින් පිටව යාමට තීරණය කළේය..


    "වීරවර්ධන කීවේ..?"


    චේතියගේ මුහුණ දෙස කුතුහලයෙන් බැලූ හේතු හාමි මදක් කල්පනා කළේය..


    "නෑ මට මතකයි ඒ කාලෙ ළමාතැනී මං එක්ක එහෙම නමක් තියෙන කෙනෙක් ගැන කියලා තියෙනව.. මට එයාව හොයාගන්න ඕනෙ.."


    තම නැගණිය වසන් කල චේතිය තමාගේ සිහියේ තිබූ කාරණයක් සේ හැගවිය..


    "මට හරියටම නිච්චි නෑ පුතේ.. ඒත් මතක විදියට ඔය නම තියෙන හිතවතෙක් අපේ මුහන්දිරම් හාමුදුරුවන්ට නං උන්නා.."


    හේතුහාමි නිවැරදි මගට පිවිසි හෙයින් චේතියගේ සිතට සතුටක් දැණුනද ඔහු එය එළිපිට ඇගවූයේ නැත..


    "ළමාතැනී කියපු විදියට නං මිස්ටර් වීරවර්ධන එයාලගෙ පවුලෙ හිතවතෙක් තමයි.."


    "එහෙනං ඒ මහත්තයා වෙන්ටැති.. දන්න තරමින් උන්දෑ නීතීඥයෙක්.."


    "එයා මේ පැත්තෙ කෙනෙක්ද..?"


    "ගම් පළාත නම් මෙහෙ තමයි.. ඒත් රස්සාවල් කලේ කොළඹ රටේ.. ඉස්සර මුහන්දරම් හාමුදුරුවො ඉන්න කාලෙ නං නිතර මෙහෙ ආවා ගියා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චේතිය මොහොතක් කල්පනාවට වැටිණි.. ඔහු නීතීඥයෙකු නම්.. නැගණිය නිතර කී අර ලියුම කිසියක් නෛනික වටිනාකමකින් යුතු වූවක් විය යුතුය.. එනිසා ඔහුට කිසියක් සතුටුදායක කුතුහලයක් දැනෙන්නට විය..

    "අනේ හේතුහාමි මාමෙ.. පුළුවන්නම් මට මිස්ටර් වීරවර්ධනගෙ ටෙලිෆෝන් නම්බර් එක හරි ඇඩ්රස් එක හරි හොයලා දෙන්න.. ලොකු උදව්වක්.."


    ඔහුගේ ඉල්ලීමට හේතුහාමිද මද වේලාවක් කල්පනා කරන්නට වූ අතර අවසානයේ ඔහු ඉද උන් පුටුවෙන් නැගිට ගත්තේය..


    "හරියටම කියන්න නං බෑ දරුවො.. ඒත් ඒක හොයලා දෙන එකෙන් මැරුනු ළමාතැනීමට සෙතක් වෙනවා නං මං උදව් කරන්නං.."


    හේතුහාමි එය කීවේ ඉණ පටියේ ගසා තිබූ යතුරු කැරැල්ල සියතට ගනිමිනි.. ඔහු කන්තෝරු කාමරය දෙසට යතැයි චේතිය සිතා උන්නද හේතුහාමි ගමන් ගත්තේ ළමාතැනී අවසන් කාලයේ උන් පහළ මාලයේ කාමරය වෙතය..


    "මේක නිතර අරින්න හාමු මහත්තයගෙන් මටවත් අවසර නෑ.. ඒත් කාරි නෑ පුතේ.. උඹට ඕන කරන දේ ඔය ලාච්චුවලින් හොයා ගනිං.."


    ළමාතැනී පරිහරණය කළ සියළු ලිපිගොනු විසල් බුරුත අල්මාරියක දමා අගුලු ලා තිබිනි.. චේතිය හේතුහාමි දුන් යතුරෙන් එය හැර හනිකට ලිපි පිරික්සන්නට විය..


    "හාමු මහත්තයගෙ කාමරේ නැතුව ඇතිද මාමෙ.."


    "ළමාතැනීගෙ සේරම දේවල් ඔතන තමයි තියන්නෙ.. විගහට බලන්න පුතේ.. දැන් හාමු මහත්තයලා මග එනවත් ඇති.."


    හේතුහාමිගේ කතාවෙන් පසු චේතියගේ දෑත් වඩාත් කඩිසර විය.. ඔහු පොත් පත් සීරුවෙන් පිරික්සා බලා තමාට අවශ්‍යයැයි හැගුණු දිනපොත් දෙකක්ද දුරකථන අංක හා ලිපිනයන් සටහන් කරන ලද සී ආර් පොතක්ද විශේෂ පුද්ගලයන්ගේ දුරකථන අංක සදහන් ව්‍යාපාරික කාඩ් පත් ඇතුලත් කවරයක්ද සියතට ගත්තේය..


    "මාමේ මං මේ පොත් දෙක තුන තව දවස් කීපයකින් ගෙනත් දෙන්නම්.. කමක් නෑ නේද..?"


    චේතිය මෙතෙක් කතා බහ කල විලාසයෙන් මිදී ලෙන්ගතුලෙස විමසද්දී හේතුහාමිට එපා කීමට නොහැකි විණි.. ඒ අවසරයෙන් පොත් කිහිපය තුරුලු කරගත් චේතිය හේතුහාමිට මුව නොසෑහෙන සේ ස්තුති කර වලව්වෙන් නික්ම ගියේය..


    ****************************


    චේතිය ඇතුළු මිතරන් දෙදෙන මේ වන විට තම විභාගයටත් වඩා උනන්දුවෙන් මිහිරාවිගේ පුනර්භවය ගැන පර්යේෂණ කරන්නට විය.. තිදෙනා පාඩම් පොත් වෙනුවට වැඩි වශයෙන් කියවුයේ යළි ඉපදීම ගැන සදහන්ව තිබූ පොත්පත්ය.. හේමවංශ මිහියන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉඩ ලද සැනින් නැවත පන්සල කරා පා නැගුවේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමටය..


    "එදා ඔයාගෙ නංගි කියපු දේවල් ගැන අපේ ලොකු හාමුදුරුවන්ට පුදුමයි මල්ලි.. උන්වහන්සෙ කිව්වා ආපහු ඔයාලා ආපු වෙලාවක උන්නාන්සෙට දැනුම් දෙන්න කියලා.. ඉන්නකො මං ගිහින් කියලා එන්නම්.."


    සවස් භාගයේ පන්සල වෙත ළගාවූ මිතුරන් තිදෙනා සුහදව පිළිගත් පොඩි හාමුදුරුවෝ ඔවුන්ව බෝ මළුවේ රදචවා ගොස් ලොකු හාමුදුරුවන්ව කැටුව ආහ..


    "මේ ළමයි ආපු එක හොදයි.. කොහොමද එදා සිද්ධියෙන් පස්සෙ ළමයගෙ වෙනසක් නෑ නේද..?"


    චේතියගෙන් විමසූ ලොකු හාමුදුරුවන් ඔවුන් ආවාස ගෙය තුළට කැදවාගෙන ගියේ නිදහසේ කතා කිරීමේ අමරුණෙනි..


    "එදා ගුණවතී උපාසක අම්මා කලබල නොවුනා නං අපිට ඔයිට වඩා දෙයක් ඒ දරුවගෙන් දැනගන්න තිබුණා.. චේතිය පුතා වෙන මුකුත් අහලා බැලුවෙ නැද්ද..?"


    ලොකු හාමුදුරුවන් චේතියගෙන් විමසද්දී ඔහු නැතැයි හිස සැලිය..


    "අපේ අම්මා ඒ ගැන හාර අවුස්සනවට කැමති නෑ හාමුදුරුවනෙ.."


    "එහෙම හිතන එක වැරදියි දරුවො.. ඒ ළමයා කියන දේවල් තරවටු කරලා නතර කරන එකෙන් වෙන්නෙ දරුවා අසනීප වෙන එක.. අනික කීයෙන් කී දෙනාටද තමන්ගෙ පෙර බවය ගැන කියන්න මතක තියෙන්නෙ.. ඒක හරිම දුර්ලභ දෙයක්.. ඒ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝමයක් පුනර්භව පර්යේෂණ වලදී ඔප්පු වෙලා තියෙනවා පෙර බවය ගැන සදහන් කරන දරුවො අනිත් අයට වඩා සහජයෙන්ම බුද්ධිමත් කියල.."


    "මමත් ඕක චේතිය මල්ලිට පැහැදිලි කරා ලොකු හාමුදුරුවනෙ.. මිහිරාවි කියන්නෙ ඇත්තටම උසස් ගතිගුණ තියෙන දරුවෙක්.. දහම් පාසලේදි උනත් එයාගෙ දැනුම බොහොම ඉහළ මට්ටමක තියෙනවා.."


    පොඩි හාමුදුරුවන්ද තම අදහස් කතාවට එක් කරද්දී ලොකු හාමුදුරුවෝ එය අනුමත කිරීමට මෙන් හිස සැලූහ..


    "ඔය දරුවන්ට මතක ඇතිනෙ එදා ඒ දැරිවි එයාගෙ පෙර භවයෙ අම්මයි තාත්තයි ගැන සදහන් කරපු විදිය.. එයා කිව්වෙ මමී ඩැඩී කියල.. ඔය දරුවො දන්නවද දන්නෙ නෑ ඒ කාලෙ වලව්වෙ ළමාතැනී එයාගෙ දෙමාපියන්නට කතා කලෙත් ඒ විදියට.."


    රංග හා කලනද එම කතාව සාවධානව අසා උනනේ මවිතයෙනි..


    "ඒ කාලෙ ඔය වලව්වෙ ඇත්තො හැඩ ගැහිලා උන්නෙ ඉංශ්‍රීසි පන්නෙට.. මං දන්න තරමින් ළමාතැනී ඉගෙන ගත්තෙ ඉංශ්‍රීසි මාධ්‍යයෙන්.. පිටරටවල එයාලගෙ නෑදෑයො හිටියා.. ඒකනේ පොඩි දරුවගෙ අසනීපෙ වෙලාවෙත් එයාව අරන් රට ගියේ."


    "ඒක වෙන්න ඇති හාමුදුරුවනේ නංගි දැනුත් ඉංශ්‍රීසි භාෂාවට මේ තරම් දක්ෂ.."


    චේතිය සිය නැගණියගේ භාෂා දැණුම ගැන සීලරතන හිමියන්ට ප්‍රකාශ කර සිටියේය..


    "පෙර ආත්මෙ දක්ෂතා, පුරුදු මේ ආත්මෙට ගේන දරුවෙ ඕන තරම් ඉන්නවා.. ඔය විදියෙ පර්යේෂණ වල සීයට අනූවක්ම දරුවො පෙර ආත්මෙ මොකක් හරි දේකට මේ ආත්මෙත් නැඹුරු වෙනවා.."


    "ඒ කිව්වෙ අපේ හාමුදුරුවනෙ..?"


    මෙම විෂයට ඉතා උනන්දුවක් දැක්වූ කලන ලොකු හාමුදුරුවන්ගේ ප්‍රකාශය සවිස්තරව විමසුවේය..


    "මෙහෙමයි.. පෙර භවයෙ හමුදා නිලධාරීන් වෙලා හිටපු පුංචි දරුවො මේ ආත්මෙ කතා කරන්න පටන් ගන්න කලින් ඉදලම වෙඩි තියන හැටි පෙන්නන්න පුරුදු වෙලා තියෙනවා.. සමහරු බහ තෝරන අවධියට ආවම කියනවලු ඒ වෙඩි තියන්නෙ ටෙරාලට කියල.. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර තියෙන කොට්ට වට කරලා බංකර හදනවලු.."


    "ඔවු හාමුදුරුවනෙ.. කලින් ආත්මෙ ආබාධිත වෙලා හිටපු අය මේ ආත්මෙ හොද නිරෝගි වෙලා ඉද්දිත් හැරමිටි, අත්වාරු වගේ දේවල් ඉල්ලලා තියෙනව.. සමහර බොද්ධ දරුවෙ ඔළුවෙ තොප්පි දාගෙන, බිම ලේන්සු එළලා යාඥා කරපු කතා තියෙනව.."


    කෙටි කාලයක් තුල මෙම කේෂ්ත්‍රය ගැන මනා දැනුම් සම්භාරයක් එක් කරගත් රංගද කතාවට හවුල් විය.. මෙම මිතුරන් තිදෙනාගේ උනන්දුව ගැන මෙන්ම මෙම විෂය ගැන තිබූ පුළුල් දැනුම සීලරතන හිමියන්ගේ සිතට සතුටක් කැදවීමට සමත් විය..


    "ඔය ළමයිගෙ දැනීම ගැන මට හරිම සතුටුයි.. මං හිතන්නෙ ඔයාලා තුන්දෙනාම ඉයන් ස්ටීවන්සන්, එඩ්ගාර් කේසි වගේ විද්වතුන් ගැන අහලා.. කියවලා ඇති..?"


    එයට පිළීතුරු ලෙස තිදෙනාම හිස් සැලුවේ එවන් පොත්පත් රාශියක් මේ වනවිටත් ඔවුන් සතුව තිබූ නිසාය..


    "ඔය ඉයන් ස්ටීවන්සන් කියන මහාචාර්යතුමා කීපවරක්ම ලංකාවට ඇවිත් ලංකාවෙ දරුවන්ගෙ පුනර්භව සිද්ධි ගැන පුළුල් ලෙස පරීයේෂණ කරලා තියෙනව.. එතුමා ජීවත් වෙලා හිටියනං මේ මිහිරාවි කියන දැරිවිගෙ පර්යේෂණේ උනත් අපිට සැකයකින් තොරව භාරදෙන්න තිබ්බා.."


    හේමවංශ හිමියන් එසේ කීවේ මෙම පුනර්භව සිද්ධිය උන්වහන්සේට ඒ තරමටම විශ්වාසවන්ත එකක් වූ හන්දාය..



    "මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ හාමුදුරුවනේ අම්මට චූටිව හම්බවෙන්න ඉද්දි තමයි ළමාතැනී නැතිවෙලා තියෙන්නෙ.. ඒක එහෙම වෙන්න පුළුවන්ද..?"


    එවන් සිද්ධි තමා පොත පතින් කියවුවද එය තරමක් අස්වාභාවික වූ හන්දා චේතිය විමසා සිටියේය..



    "එහෙම උන සිදුවීම් තියෙනව දරුවො.. දරුවෙක් පිළිසිදගෙන කළලයට මාස කිහිපයක් ගත වුනාට පස්සෙ විතරක් නෙමෙයි මේ ආත්මෙ දරුවා ඉපදුනාට පස්සෙ පෙර භවයෙ කෙනා මැරුනු වෙලාවල් වලදිත් අති සාර්ථක විදියට කරුනු කාරණා ඔප්පු වෙච්ච පුනර්භව පර්යේෂණ තියෙනවා.."



    සීලරතන හිමියන් එය විශ්වාසයෙන් කියූ නිසා චේතියගේ සිතට යම් අස්වැසිල්ලක් දැණිනි..


    "මට තේරෙන විදියට ඔය දරුවා පෙර බවයෙ මොකක් හරි රහසක් තවම හිතේ හංගගෙන ඉන්නවා.. ඒක ඒ දරුවට මතක නෑ නෙමෙයි.. මතකයි.. ඒත් කියන්නෙ නෑ.. සමහර විට ඒක දැනගත්තම කාගෙ හරි හිත රිදෙයි නැත්තං ප්‍රශ්න ඇතිවෙයි වගේ දේවල් ගැන එයා හිතනවද දන්නෙ නෑ.."


    නායක හාමුදුරුවෝ අවධාරණය කර ගත් වටිනාම කාරණය උන්වහන්සේ චේතියලාට හෙළි කලේ ඔවුන්ව පුදුමයට පත් කරමිනි..


    "මටත් ඒක කලේක ඉදලා හිතුනා අපේ හාමුදුරුවනේ.. ඔය ගල්කන්ද වලව්වෙ හැංගිච්ච මොකක් හරි රහසක් තියෙනව.. ඔබ වහන්සෙ කිව්වා වගේ සමහර විට ඒ ගැන අපේ නංගි දන්නවා ඇති.. මං ඒක කොහොම හරි හොයාගන්නවා.."


    එසේ කී චේතිය තම නැගණිය කී වීරවර්ධන ගැන කතාව හා තමා වලව්වට ගොස් හේතුහාමි සමග කළ කතාබහ පිරිසට හෙළිකර සිටියේය..


    "දැන් ඒ පොත්පත් වලින් ඔය කියන තැනැත්තගෙ තොරතුරු හොයාගන්න පුළුවන් උනාද..?"


    "අනුමාන කරන්න පුළුවන් විදියෙ ලිපිනයක් නම් හම්බවුනා හාමුදුරුවනේ.. මං හිතාන ඉන්නෙ නිවාඩු දවසක මේ දෙන්නත් එක්ක ගිහින් ඒ ගැන ටිකක් හොයල බලන්න.."



    එම දිනපොත් වල තිබූ ඇතැම් කරුණුද ළමාතැනී ගැන තමා සොයාගත් අනෙකුත් කරුණුද හෙළිකල චේතිය තම මවට ඇගේ පවුලෙන් ලද ඉඩම් ඔප්පුව ගැනද හාමුදුරුවන්ට හෙළි කළේය..


    "ගුණවතී උපාසක අම්මට ඒ දේවල් ලැබෙන්න ඕනෙ දරුවො.. ඒ මනුස්සයා ඔහොම මුළු ගැන්විලා හිටියට බොහොම උසස් පවුලක ගුණගරුක විදියට හැදුනු කෙනෙක්.. අනික හරිම වාසනාවන්ත තැනැත්තියක්.."


    ලොකු හාමුදුරුවෝ චේතියගේ මවගේ පවුල ගැන විස්තර දැන උන් බවක් ඔහු මෙතෙන් නොදැන උනි..


    "ඇයි හාමුදුරුවනේ එහෙම කිව්වෙ..?"


    "එහෙම කිව්වෙ ඒ තැනැත්තිට සැප සම්පත් භාග්‍යය පිහිටලා තියෙන නිසා.. බලන්න ගුණ ගරුක ස්වාමියෙක් ලැබුණා.. ඉගෙනීමට දක්ෂ හොද ජවයකින් යුතු පුතෙක් ලැබුණා.. වාසනාවන්ත දූ සිගිත්තක් ලැබුණා.. කාලයක් දුක් වින්දා තමයි.. ඒත් දැං ඉඩ කඩං වුනත් ලැබිලා තියෙනවනෙ.. ඒ ලැබීම ඔතනින් නතර වෙන්නෙ නෑ.. බලන්නකො තව ඉස්සරහට.."


    තව ඉස්සරහට කුමක් වේදැයි නොපැවසුවද උන්වහන්සේ එය කීවේ දැඩි විශ්වාසයෙනි.. ඒ කතා බහෙන් අනතුරුව සමුගැනීමට මත්තෙන් චේතිය තම නැගණියට නේවාසිකව අධ්‍යාපනය සදහා යොමු කිරීමේ අදහසද පවසා සිටියේය..


    "ඒකනං කාගෙ උනත් බුද්ධිමත් තීරණයක්.. උපාසක අම්මටත් අවශ්‍ය දරුවව ඔය මානසික තත්වයෙන් මුදවන්නනං කරන්න තියෙන හොදම දේ ඒක.. එතකොට ටික කාලයක් යද්දි ඔය හැමදේම දරුවට අමතක වෙලා යයි.. ඒ වගේම ඔය අනික් කයි කතන්දරත් ගම්මුන්ට අමතක වේවි.."


    උන්වහන්සේ කී දෑ චේතිය මෙන්ම මිතුරන් දෙදෙනාද දැන උන් නිසා ඔවුන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.. පිරිස පන්සලෙන් නික්ම යාමට සැරසුනේ සැදෑ අදුර පන්සල් භූමිය ගිල ගනිද්දීය..


    "මේවට හිත යොමු කෙරුවය් කියලා පොතේ පතේ වැඩ මගහරිනවා එහෙම නෙමෙයි ඕං.. අක්කලා අයියලා වගේම ම්ලලිලා තුන්දෙනත් විශ්ව විද්‍යාලෙ යන්න ඕනෙ.."


    "එහෙමයි හාමුදුරුවනෙ.."


    ලොකු හාමුදුරුවන්ගේ අවසන් ඉල්ලීමද ඔවුන් එක සිතින් පිළි ගත්හ..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    19.png


    ළමාතැනීගේ පොත්පත් ඩයරි පිරික්සූ චේතියට වීරවර්ධන යන අයගේ මූලික තොරතුරු සොයාගැනීමට අසීරු වූයේ නැත.. ඔහු ළමාතැනීගේ පියා වූ මුහන්දිරම්තුමාගේ සමීප හිතවතෙක් වූ අතර ඔහුගේ පවුලේ නීතීඥයාද විය.. ඔහුගේ කොළඹ පිහිටි නිවසේ ලිපිනය සොයාගත් චේතිය එම නිසව සොයා යාමට සිතා.. ඊට පෙර නතාලිට ඇමතුමක් දුන්නේය..


    "මල්ලි ඔයා ඔය වැඩේට කාලෙ යෙදෙව්වා දැන් හොදටම ඇති.. විභාගෙ ඇඩ්මිෂන් එන්නත් ළගයි නේද..? දැනට ඔය වැඩේ ටිකකට නතර කරලා මේ ටිකේ පාඩම් කරන්න.."


    "මේ ගැන හෙව්වා කියලා මං පාඩම් වැඩ පාඩු කරගන්නෙ නෑ අක්කෙ.. අපිව දැන් කැඩෙටින් වලිනුත් රිලීස් කරලා තියෙන්නෙ.. දැන් ඉස්සර වගේ පාට් ටයිම් ජොබ් කරන්නෙත් නෑ.."


    ඔහු කෙසේ හෝ කොළඹ ගමන යාමට අවැසි නිසා නතාලිට නිදහසට කරුණු පෑවේය..


    "දැන් මොකටද පාට් ටයිම් ජොබ් කරන්නෙ.. අච්චර ආදායම් එන ඉඩමකුත් තියෙද්දි.."


    ඈ ඒ සිහිපත් කලේ චේතියගේ මවට පිය උරුමයෙන් ලැබුණු විසල් භූමි භාගයයි..


    "අපි මෙහෙම කරමු.. ඔයා ඔය ඇඩ්රස් එක විශ්වට දෙන්න.. එයා බයික් එකේ ගිහින් තැන හොයාගනියි.. චූටි කියපු විදියට විශේෂ ලියුමක් තියෙනවනං අපිට බැරියෑ පස්සෙ එයාව මීට් වෙන්න.."


    උසස් පෙළ විභාගය ළග නිසා නතාලි සිය ඥාති සොයුරාව රස්තියාදු නොකර ඊට පිළියමක් යෙදුවාය..


    "හරි අක්කෙ.. මං විශ්ව අයියට ඒ ගැන කතා කරලා ඩීටේල්ස් ටික දෙන්නං.. හැබැයි එයාගෙ ෆෝන් නම්බර් නං වැඩ කරන්නෙ නෑ.. ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ.."


    "එයා ඒක හොයාගනී මල්ලි.. වෙලාවක් තිබුණොත් මමත් යන්නං.. ඔයා මං කියපු විදියට වැඩ කරන්න.. මට ඕනෙ අපේ පරම්පරාවෙ මට පස්සෙ කැම්පස් යන කෙනා ඔයා වෙනවා දකින්නයි.."


    ඇගේ ලෙන්ගතුකම චේතියගේ සිතේ ශක්තිය වැඩි කිරීමට සමත් විය.. එනිසා ඊට පිටින් වැඩ නොකළ ඔහු විශ්වට කතා කර එම වැඩය බාර දී අධ්‍යාපන කටයුතු වල නියැලුණි..


    සති අන්ත නිවාඩු දිනයක විශ්ව ඔහුගේ මිතුරෙකු සමග මොරටුවේ පිහිටි එම ලිපිනයට හොයා ගියද ඔහුවන අදාල පුද්ගලයා හමු වීමට හැකි වූයේ නැත.. ඒ වන විට එම ලිපිනයේ පදිංචිව සිටියේ වීරවර්ධන මහතාගේ ඥාති පිරිසකි.. ඔවුන්ගෙන් වීරවර්ධන මහතාගේ නව ලිපිනය ඉල්ලා ගත් විශ්ව තවත් දිනක් වෙහෙසී කෙසේ හෝ ඔහුව මුණ ගැසුණි..

    චේතියගෙන් ඉල්ලාගත් තොරතුරු අනුව ළමාතැනී ලෙස හැදින්වූ අමායා ඉද්දමල්ගොඩ මහත්මියගේ නම හා ගල් කන්ද වලව්ව ගැන කී සැනින් ඔවුනට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි..

    "ඔයාලා මාව හොයාගෙන නාවත් මං ඔයාලව හොයාගෙන එන්න තමයි හිටියෙ.. ඒත් මට තව කාලෙ ඉතිරි වෙලා තියෙනවා.."


    විශ්ව තමා චේතියගේ ඥාති සොයුරෙකු ලෙස හදුන්වා දුන් පසු වීරවර්ධන මහතා කීවේය.. ඒ ඇසි විශ්වගේ නෙතු පුදුමයෙන් විසල් වුණි..


    "ඒ කිව්වෙ සර්..?"


    වියපත් වුවද ප්‍රතාපවත් පෙනුමැති නීතීඥවරයාට විශ්ව ගරු සරුව ආමන්ත්‍රණය කළේය..


    "මට සර් කියන්න එපා පුතා.. මං දැන් රිටයර් වෙච්ච ලෝයක් කෙනෙක්.. මට අන්කල් කියලා කතා කරන්න.."


    විශ්වගේ පිටට තට්ටු කළ ඔහු කීවේ සුහද ලෙස සිනාසෙමිනි..


    "අපිට මේ දේවල් තනියම කතා කරන්න බෑ.. මෙතන අනිවාර්යෙන්ම චේතිය පුතත් ඉන්න ඕනෙ.. මම කියන්නද මං ළගදි දවසක කුරුණෑගල පැත්තෙ එනව පොඩි පෞද්ගලික වැඩකට.. මං ඒ ගමන් ඇවිත් ඔයාලව මුණ ගැහෙන්නම්.. හැබැයි දරුවො මට ගුණවතීලගෙ ගෙදරට නං එන්න බෑ.."


    මෙම නීතිවේදියා නතාලිගෙ පුංචි අම්මාගේ නම කී හුරුපුරුදු ආකාරයට විශ්වට පුදුම සිතුණි..


    "අන්කල් කැමති නං අපි මෙහෙම කරමු අපි කට්ටිය එහෙ පන්සලේදි මුණ ගැහෙමු.."


    "අන්න ඒක නං හොද අදහසක් පුතා.. කොහොමටත් ස්වාමින් වහන්සෙ නමක් වගේ කෙනෙක් සාක්කියට ඉන්න එක කෝකටත් හොදයි.. එතකොට අනාගතේ එන්න තියෙන ප්‍රශ්න බොහෝ දුරට අඩුවෙන්න පුළුවන්.."


    "මට තේරෙන්නෑ අන්කල්.."


    "ඒ ගැන දැන්ම තේරුම් කරන්න විදියක් නං නෑ දරුවො.. දැනට කියන්න පුළුවන් ඔයාගෙ මල්ලි චේතිය ගොඩක් වාසනාවන්තයි කියන එක විතරයි.."


    විශ්වට තම නව දුරකථන අංක සියල්ල ලියා දුන් වීරවර්ධන මහතා විශ්වගේ සිතේ කුතුහලයක් ඉතිරි කර තබමින් සිය සාකච්ඡාව නිම කළේය..


    ****************************


    සම්මානි ගැන දහසකුත් එකක් සොදුරු සිතිවිලි පහළ වුවද ඒවා සිත තුළම සගවා ගත් චේතිය පාඩම් වැඩ වලට මුල් තැන දුන්නේය.. ඇයත් මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වන නිසා ඔහු නිතර ඇයට දුරකථන ඇමතුම් දීමෙන්ද වැළකී සිටියේය.. නමුත් ඔවුන් දෙදෙනා අමතර පංතියේදි මුණ ගැසීම නම් නතර වූයේ නැත..


    මෙසේ කාලය ගෙවී යද්දී චේතිය නොඉවසිල්ලෙන් බලා උන් දුරකථන ඇමතුම විශ්වගෙන් ලැබිණි.. ඔහු කීවේ එදින සවස වීරවර්ධන මහතා චේතියලාගේ පන්සලට පැමිණීමට නියමිත බවය.. තමාද නතාලි සමග එම අවස්ථාවට සහභාගී වන බව කී විශ්ව චේතියගේ මිතුරන් දෙදෙනාද රැගෙන එන ලෙස දැනුම් දුන්නේය.. කලනට හා රංගට පණිවිඩය දී ඉන් නොනැවතුණු චේතිය සම්මානිටද මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කළේය..


    "මචං අපි උඹලගෙ අම්මවයි නංගිවයිත් ගෙනියමු.. අපිට එතකොට පුළුවන්නෙ නංගි එයාව අදුරගනීද කියලා බලන්නත්.."


    කලන කී කතාවට චේතිය කැමති වූයේ නතාලි සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.. මෙම පුනර්භව කතාව යට ගැසීමට බලාපොරොත්තු වන නිසා එය තවෙකෙකු දැන ගන්නවාට චේතිය අකමැති වුවද නතාලි එයට විරුද්ධ වූයේ නැත..


    සවස තුනට පමණ චේතිය තම අම්මා හා නංගි සමගත්.. නතාලි විශ්ව සමගත්.. කලන රංග සමගත් පන්සල් භූමියට ළගා වූ අතර.. සම්මානි සුපුරුදු ලෙස ඇගේ රියදුරු වූ සිරිල් මාමා සමග පැමිණුනි.. පන්සලේ පින්කමකට සහභාගී වන බවට බොරුවක් කී හෙයින් ඈ පැමිණ තිබුණේ සුදු ඇදුමින් සැරසීගෙනය..


    "මේ අපේ බේබි හාමුට තීන්දු කරපු දැරිවි නේද පුතේ..?"


    චේතිය සමග සුහදව කතා කරමින් උන් සම්මානි වෙත පැමිණි ගුණවතී විමසුවේ අදහාගත නොහැකි ලෙසය.. සේනාධීර මහතාගේ දියණිය තමාගේ ලේලිය ලෙස පිළිගැනීමට කැමතිදැයි චේතිය දිනක් ඇසූ අයුරු ගුණවතීට සිහිපත් උනි.. ඈ උන්නේ කිසිවක් වටහාගත නොහැකි ලෙස කැළඹීගෙනය..


    චේතියගේ මවට සුහද සිනාවක් පෑ සම්මානි තම මිතුරාගේ නැගණිය වූ පුංචි මිහිරාවි සිය ඔඩොක්කුවේ හිදුවා ගත්තේය.. අශේන්ගේ උපන්දිනය දා මෙම පුංචි දැරිවි ඔහුගේ මුහුණ සිපගත් අයුරු සිහිවී සම්මානිගේ මුවේ සිනාවක් ඇදුනි..


    "අන්න චේති හාමුදුරුවො වඩිනවා.."


    සීලරතන ලොකු හාමුදුරුවන් හා හේමවංශ හිමියන් පිරිස අතරට ළගා වද්දී උන් තැනින් නැගිට හාමුදුරුවරු දෙපලට වැද නමස්කාර කළහ..


    "වීරවර්ධන මහත්තයා තවම ආවෙ නැද්ද දරුවනේ..?"


    කාරණාව දැන උන් ලොකු හාමුදුරුවෝ විමසද්දී පන්සල් භූමියට පැමිණි මෝටර් රථයක් තුරු සෙවනක නතර කරන ලදී.. ඉන් බැසගත් පුද්ගලයා හදුනාගත් විශ්ව ඉද උන් තැනින් නැගිටිද්දී සැවොම එදෙස හැරී බැලූහ.. ඉන්පසු සිදු වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකල දෙයකි.. සම්මානිගේ ඔඩොක්කුවේ හිද උන් මිහිරාවි ක්ෂණයකින් බිමට බැස ගත්තාය.. රථයෙන් බැසි වීරවර්ධන මහතා දෙස මොහොතක් බලා උන් ඈ එදෙසට දිව ගියේ විශ්වද පසු කරමිනි..


    "අන්කල්.."


    පුංචි දැරිවිය වීරවර්ධන මහතාගේ සුරතේ එල්ළෙද්දී ඔහු තැති ගැන්මට ලක් වූ අතර බලා උන් පිරිස පුදුමයට පත්විණි..


    "මාව මතක නැද්ද.. මං අමායා.."


    ඒ ඇසි වියපත් නීතිවේදියාගේ පමණක් නොව ස්වාමින් වහන්සේලා දෙනමගේද මුව පුදුමයෙන් විවර විය.. මෙම පුනර්භව සිද්ධිය ගැන කිසිවක් නොදැන උන් ඔහු සිය තැති ගැන්ම මොහොතකට අමතක කර පුංචි දැරිවිය වඩාගත්තේ මෙය ඈ පුංචි කමට කළ හුරතල් වැඩක් ලෙස සිතමිනි..


    "මහත්තයා මෙහෙන් ඇවිත් වාඩි ගන්නකො.. අපි නිවී සැනසිල්ලෙ කතා කරමු.."


    හාමුදුරුවන්ට නමස්කාර කළ වීරවර්ධන මහතා තමා අත තිබූ ෆයිල් කවරය මේසය මත තබා මිටි අසුනක හිද ගනිද්දී මිහිරාවිද ඔහුට තුරුළුව ඒ අසලින්ම හිදගත්තාය..


    "මේ පුංචි දරුවා කාගෙද අපේ හාමුදුරුවනේ.. මෙයාගෙ නමත් අමායලු නේද..?"


    ඔහු නායක හාමුදුරුවන්ගෙන් විමසිය..


    "මේ දැරිවි ඉස්සර අමායා.. දැන් මිහිරාවි.."


    ඔහු නැවතත් පුදුම වී මිහිරාවිගේ මුහුණ දෙස පරික්ෂාකාරීව බැලුවේය.. ඔහුට සැනෙකින් අමායා ඉද්දමල්ගොඩ සිහියට නැගිණි.. අගේ ඡවි වර්ණය, මුහුණුවර, කැරලි හිසකේ.. ඒවා කිසිදු අඩුවක් නැතිව මැයටද පිහිටා තිබිණි..


    "ඇත්තටම මේ කවුද හාමුදුරුවනේ..?"


    "මේ තමයි මහත්තයො ඔය ගුණවතී නෝන මහත්මියගෙ දැරිවි.. මේ ඉන්නෙ චේතිය පුතා.."


    උන්වහන්සේ පිරිස හදුන්වා දෙද්දී වීරවර්ධන මහතා චේතියගේ හිසේ සිට පාදාංතය දක්වා බැලුවේය..


    "ගුණවතී නෝනවයි චේතිය පුතාවයි මං වරක් දෙකක් දැකලා තියෙනවා.. එතකොට පුතානං ගොඩක් පොඩියි මං හිතන්නෙ.."


    "මහත්තයා මෙහෙ ඇවිත් ඇත්තෙ ළමාතැනි නැතිවෙන්න කලින්නෙ.. එතකොට නං චේතිය පුතා ගොඩක් පොඩියි තමයි.."


    "මෙයාගෙ තාත්තා ධර්මතිලකනං මාව හොදට දන්නවා.. අමායගෙ තාත්තා ඉද්දමල්ගොඩ හාමු මෙහෙ ඉන්න කාලෙ මං නිතර ආව ගියා.."


    ඒ කතා අතර තුර පුංචි මිහිරාවිය වීරවර්ධන මහතාගේ ෆයිල් කවරයේ වූ ලිපිගොනු පිරික්සනවා පොඩි හාමුදුරුවන්ගේ නෙත ගැටුණි..


    "මොනවද දූ ඔයා හොයන්නෙ..?"


    "මං අන්කල්ට දීපු ලියුම.."


    ඇගේ පිළිතුරෙන් තෙවන වරටත් වීරවර්ධන මහතාගේ සිතේ කුතුහලයක් හට ගත්තේය.. ඔහුව තව දුරටත් වෙහෙස කිරීමට නොසිතූ සීලරතන හිමියන් ඇගේ පුනරුත්පත්ති කතාව ඔහුට කෙටියෙන් විස්තර කළේය..


    "මේ වගේ කතා අහල තිබුණට.. පොත් පත්වලින් කියවල තිබුණට හැබැහින් මෙහෙම දෙයක් දකින්න වේවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඊටත් මගේ හොදම යාළුවගෙ දුව ගැන.."


    ඔහුගේ වදන් අමතකව ගියා වැනිය.. සිය කණ්නාඩි කූට්ටම මදක් බුරුල් කර නෙත් කෙවෙනි පිසදා ගත් ඔහු තමාට ළංව හිද උන් මිහිරාවිය උකුලේ හිදුවා ගත්තේය..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මං ඉස්සරත් ගල්කන්ද වලව්වට ආවම අමායා ඉදගත්තෙ මගේ ඔඩොක්කුවෙ.. එයාගෙ ම්ලලි චේතියට වඩා එයා මගෙත් එක්ක එකතුයි.."

    "චේතිය..?"


    නිහඩව සංවාදය අසා ඉන්නවා යැයි තමාටම සපථ වූ කලනගේ මුව ඉබේම විවර විණි..


    "ඔව්.. චේතිය කියන්නෙ අමායගෙ ම්ලලි.. එයා තමයි ඉංග්ලන්ඩ් වලදි නැති වුණේ.."


    චේතියගේ ඇගේ හිරිගඩු පිපුනේ ඔහුටත් නොදැනිමය.. ඔහු තමා ළග උන් රංගගේ අත තද කර අල්ලා ගත්තේය..


    "ඒ බවක් මට නිච්චි නෑ මහත්තයො.. මං අපේ පුතාට නම තිබ්බෙ අපේ මහත්තයා කියපු නිසා.."


    ගුණවතී දෙනෙතේ කදුළු පුරවා කියද්දී මිහිරාවි අමුතුම ඇසකින් සිය මව දෙස බැලුවාය..


    "දරුවට ඒ නම තියන්න කියලා ධර්මෙට කිව්වෙ මම.."


    මිහිරාවි කීවේ පුංචි දැරියකට උචිත නොවන ආකාරයේ ගාම්භීර ස්වරයෙනි..


    "දූ දන්නවද මං අද ආවෙ ඇයි කියලා..?"


    ඇය සැබැවින්ම මියගිය අමායා ඉද්දමල්ගොඩ නම් ඇයට මෙම කාරණය මතක ඇතැයි සිතූ ඔහු විමසුවේය.. ඔහුට අවැසි වූයේ මෙම කරුණ සැකයකින් තොරව ඔප්පු කර ගැනීමටය..


    "අන්කල් ආවෙ අර ලියුම දෙන්නනෙ.."


    ඈ කියු ලියුම කුමක්දැයි අනෙක් අය නොදැන උන්නද වීරවර්ධන මහතා නම් එය දැන උන්නේය..


    "එහෙනං ඒක ඔය ෆයිල් එකේ ඇති.. හොයලා ගන්නකො.."


    කරුණු කාරණා ඔප්පු වීමෙන් තොරව කිසිවෙක් පිළි නොගන්නා තීක්ෂණ දැනුමෙන් යුතු වූ නීතිවේදියා මිහිරාවි මෙතෙක් පිරික්සූ ෆයිල් කවරයනොව තුනට නවන ලද අනෙක් ෆයිල් කවරය ඇගේ අත තැබුවේය.. එහි වෙන වෙනම අමුණන ලද ලියකියවිලි හතරක් පමණද විශාල ප්‍රමාණයේ ලියුම් කවර දෙකක්ද විය..


    "මේ තියෙන්නෙ.."


    ඈ අතට ගත්තේ වලව්වේ ළමාතැනී මිය යාමට පෙර ලියා තැබූ ඇගේ අන්තිම කැමති පත්‍රයයි.. ඒ දුටු චේතිය ඇතුළු පිරිට කුතුහලයක් දැණුනද වීරවර්ධන මහතාගේ දෑත් පවා සැලෙන්නට ගත්තේය.. ඔහුට දැන් නම් සැකයක් වූයේ නැත.. මේ තමාගේ මිතුරාගේ දියණියම බව.. අමායා ඉද්දමල්ගොඩගේ යළි ඉපදීම බව ඔහු සැකයකින් තොරව පිළිගත්තේය..


    "ඔය ලියවිල්ල මොකක්ද මහත්තයො..? ඕක ඇත්තටම අපේ වලව්වෙ ළමාතැනි ලියපු එකක්ද..?"


    මෙවන් සුවිසේෂී අවස්ථාවකට තමාගේ පැවිදි දිවියේදී පමණක් නොව තමාගේ මුළු ජීවිත කාලයේදීම මුහුණ නොදුන් සීලරතන හිමියන් පවා විමසුවේ සැලෙන හදිනි..


    "මේක අමායා ඉද්දමල්ගොඩගෙ අන්තිම කැමති පත්‍රය අපේ හාමුදුරුවනේ.."


    චේතිය ඉද උන් පුටුවෙන් නැගිට්ටෙන්නට ගිය තැන දෙපස උන් රංග හා කලන ඔහුව නැවත ඉන්දුවේය.. සිතට දැණුන වික්ෂිප්ත හැගීම දරාගත නොවුණු සම්මානි තමාගේ ළග උන් නතාලිව මෙතෙක් දැන හදුනාගෙන නොඋන්නද ඇගේ අත තද කර අල්ලා ගත්තේය..


    "මෙතන සාක්ෂියට ඕනවටත් වඩා අය ඉන්න නිසා මට මේක කියවන්න අවසර තියනවා.. ඒත් මට අමායනං කිව්වෙ චේතිය පුතා ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකල් හරි.. වෙන යම් විශේෂ සිදුවීමක් වෙනක්ල හරි මේක ප්‍රසිද්ධියට පත් කරන්න එපා කියලා.. කොහොමටත් මේකෙ කොපි අපේ සාක්ෂිකාරයො ළග විතරක් නෙමෙයි අමායගෙ අම්මා ළගත් තියෙනවා.."


    ඔහු තම පියා ගැන සදහන් නොකළේ මන්දැයි සැක සිතුණු මිහිරාවි ඒ ගැන විමසා සිටියාය.. නමුත් ඇගේ පියා.. දැන් ජීවතුන් අතර නොමැති බව කීමට දිව නොනැමුණු ඔහු එය නෑසුනු විලස ලිපි ගොනුව දිග හැර ගත්තේය..


    "අපේ හාමුදුරුවරු දෙනමත් සාක්කියට ඉන්න නිසා මං මේක දැනට කියවන්නං.. ඒත් මට මේ ලියකියවිලි නීත්‍යානුකූලව භාර දෙන්න පුළුවන් වෙන්නෙ මේ දරුවගෙ විභාගෙන් පස්සෙ.."


    ඔහු අමායාගේ අවසන් ඉල්ලීමට පිටින් යා නොහැකි නිසා එය මූලිකවම ඉදිරිපත් කර සිටියේය..


    "ඇයි මහත්තයො අමායා නෝනා අන්තිම කැමති පත්‍රයක් ලිව්වෙ..? අසනීපෙන් උන්නා මිකස ඒ ඇත්තිට ඒ හැටි වයසක් තිබුණෙ නැහැනෙ..?"


    නතාලිගේ සිතේ මෙතෙක් කැකෑරෙමින් තිබූ පැනය වීරවර්ධන මහතාට ඉදිරිපත් වූයේ පොඩි හාමුදුරුවන්ගේ හඩිනි..


    "ඔය ඇතුගල හාමුලා හරි එක විදියක අය හාමුදුරුවනේ.. අමායාගෙ දෙමව්පියො රට ගියාට පස්සෙ මං උනත් එහෙ ආවෙ ගියේ නැත්තෙ ඒ නිසා.. ඒ උනාට අමායා මට ඉදලා හිටලා කතා කරා..


    අන්තිම කාලෙ ඔය ගාමිණී ඇතුගල අමායට නොසෑහෙන්න වද දීලා තියෙනවා.. කීප සැරයක්ම පහර දීලත් තියෙනවා.. කොයි වෙලාවෙ හරි එයාගෙ ජීවිතේ ගාමිණී අතින් නැතිවෙයි කියලා එයාට ලොකු බයක් තිබුණා.."


    එම කතාවට සාවධානව කන් දුන් මිහිරාවි තමා මිය ගියේ ගාමිණි ඇතුගලගේ පහර දීමකින් බව ඔහුට හෙළි කළාය.. එම කතාව මීට පෙර දැන උන් අනෙක් අය පුදුම නොවුනද වීරවර්ධන මහතා ඉන් බොහෝ කැළඹුනි..


    "මට ඔය ගැන නීතිය පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා.. අමායා මට මගේ දරුවෙක් වගේ.. මං අනිවාර්යෙන්ම එයාට සාධාරණේ ඉෂ්ඨ කරනවා.."


    "එහෙනං මහත්තයො ඕකෙ තියෙන කරුණු කාරණා කෙටියෙන් කියමුකො බලන්න.."


    ලොකු හාමුදුරුවන්ට ගෞරව පූර්වකව හිස නැමූ වීරවර්ධන මහතා යළිත් එම ලියවිල්ලට දෙනෙත් යොමු කළේය..


    "ඔය ඉද්දමල්ගොඩ හාමුලට මෙහෙ විතරක් නෙමෙයි ලම්පොල පැත්තෙත් ඉඩකඩම් තිබුණා.. තව මඩ ඉඩම් අක්කර ගණනාවකුත් තිබුණා.. ඒ දේවල් සේරම අයිති අමායගෙ අම්මා තාත්තට.. ඒ අම්මා තවම ජීවතුන් අතර ඉන්න නිසා අපිට දැන්ම ඒ ඉඩකඩම් බෙදීමක් කරන්න බෑ.. ඒත් මේ ගල්කන්ද වලව්වයි ඒ වලව්වට අයිති අක්කර ගණනාවක ඉඩමයි අමායගෙ විවාහයෙදි එයාගෙ දෑවැද්දට ලියලා දුන්නා..


    ඇත්තම කියනවනං ලියලා දුන්නා නෙමෙයි.. දෙන්න උනා.. ගාමිණි ඇතුගලගෙ දෙමව්පියො මේ කසාදෙ කරෙත් මේ ඉඩකඩම් වලට තිබුණ තණ්හාවට තමයි.. කොහොම හරි අමායා අවුරුදු තිහක් වෙන්නත් කලින්ම එයාගෙ ස්වාමි පුරුෂයගෙන් ගුටි කාලා ඔත්පල උනා.. ඒ වෙලාවෙදි උනත් එයා මට නීතිමය පියවරක් ගන්න ඉඩ දුන්නෙ නෑ එයාගෙ පුතා ගැන හිතලා..


    ඒත් ඒ දරුවත් උස් මහත් වෙද්දි අම්මව නොසලකා හැරියා.. එයා හැදුනෙ තාත්තගෙ පදේට.. කොටින්ම ඔය ගාමිණි ඇතුගල අමායගෙ නැති වැරදි කියලා පුතාගෙ මනසට විස පෙව්වා.. ඒකෙන් තමයි අම්මයි දරුවයි ඈත් උනේ.. එක්තැන් වෙලා හිටපු කාලෙ අමායගෙ ළගම ඉදලා සැප දුක බැලුවෙ ගුණවතී කියලා එයා මට කිව්වා.. එයාගෙ දරු දුක තුනී කරලා තියෙන්නෙ චේතිය පුතා.. තමන්ගෙ නැතිවුණු මල්ලිගෙ නම දාලා තිබුණ චේතිය පුතාට අමායගෙ හිතේ තිබුණෙ පුදුම ආදරයක්.. එයා ඒ කාලෙ එයාගෙ කුසින් වදාපු අශේන්ට වඩා ඔය දරුවට ආදරේ කළා.."


    වීරවර්ධන මහතා එය කීවේ තමා දෙස ඇස පිය නොහෙලා බලා උන් චේතිය දෙසට හැරීය.. එම කතාවය මෙතෙක් නිහඩව අසා උන් මිහිරාවි එය අනුමත කිරීමට මෙන් හිස සැලිය..


    "අමායා ලෙඩ ඇදේ හිටියා උනත් ගාමිණී එයා එක්ක රණ්ඩු අල්ලන එක නතර කළේ නෑ.. කොටින්ම ගාමිණි හරි සල්ලාල චරිතයක්.. එයා ගමේ ගෑණු පස්සෙ යන එකට තමයි අමායට වැඩිපුරම තරහ ගියේ.."


    ඒ ඇසුණු ගුණවතී අන් අයට නොදැනෙන සේ තම හිස බිමට නැඹුරු කරගත්තාය.. තම පුංචි අම්මාගේ එම වෙනස දුටු නතාලිට ඈ ගැන දැඩි අනුකම්පාවක් දැණුනි..


    "මේ ගල්කන්ද වලව්ව තියෙන්නෙ අමායගෙ නමට නිසා ගාමිණි අන්තිම කාලෙ අමායට හරියට කරදර කලාලු ඒක එයාගෙ නමට හරවන්න කියලා.. ඒවා දුරදිග යද්දි තමයි අමායා මට එන්න කියලා මේ අන්තිම කැමැත්ත ලිව්වෙ.. මේකෙ හැටියට.."


    මොහොතකට කතාව නැවතූ වීරවර්ධන මහතා පිරිස දෙස නෙත් යොමා අවසානයේ මිහිරාවි දෙස බැලුවේය..


    "මෙතන හේතුහාමිත් හිටියනං හරි.."


    තමා දෙස බැලූ වීරවර්ධන මහතාට ඈ කී එම කතාව සැමගේ පුදුමයට හේතු වුණි.. ඇගේ කතාව තහවුරු කිරීමට මෙන් සිහ සැලූ ඔහු නැවත තම හඩ අවදි කළේය..


    "මේකෙ හැටියට.. වලව්ව එක්ක තියෙන මේ ඉඩම අක්කර දහ හතරකට ටිකක් වැඩී.. මේකෙන් මේ පන්සල් වත්තට මායිම් වෙන කොටසින් අක්කර දෙක්ක පන්සලට ලියල දීලා තියෙනවා.. දැන් ඔය ගුණවතීලා පදිංචිවෙලා ඉන්න ගේත් එක්ක ඒ මායිමෙන් අක්කරයක් හේතුහාමිගෙ නමට ලියලා තියෙනවා.. අනික් අක්කර එකොළශයි ඔය ගල්කන්ද වලව්වයි.. සම්පූර්ණ නිරවුල් ඔප්පුවක් මගින් චේතිය පුතාට ලියලා තියෙනවා.."


    සම්මානි හා නතාලි පුදුමයෙන් විවර වූ මුව තමන්ගේ දෑතින් වසා ගත්තේත් ගුණවතී ඉකි ගසා හඩා වැළපුනේත් එකම මොහොතකය.. චේතියනම් උන් හිටි තැන් පවා අමතකව ගල්ගැසී බලා උන්නේය.. රංග හා කලන තම මිතුරාට හදිසියේ ලද මෙම වාසනාව ගැන උද්දාමයට පත් වූ අතර ස්වාමින් වහන්සේලා දෙනම මේ සෑම අයෙක් දෙසම උපේක්ෂාවෙන් බලා උන්හ..


    "එතකොට අන්කල් ඇතුගල හාමුටයි අශේන්ටයි..?"


    තරමක් හෝ කතා කර ගත හැකි මට්ටමේ උන් විශ්ව ක්ෂණිකව ප්‍රශ්ණයක් නැගුවේය..


    "අමායා ලියලා තියෙන විදියට කවදා හරි එයාගෙ අම්මා තාත්තගෙන් එයාට උරුම වෙන දෙයක් තියෙනවානං ඒ දේවල් එයාගේ ස්වාමියටයි පුතාටයි උරුම වෙන්න ඕනෙ.. කොහොමටත් ඉතිං නීතිය ඒකනේ..


    ඒ මොනවා උනත් මේ ගල්කන්ද වලව්වට එයාලගෙ කිසිම අයිතියක් නෑ.. මේක දැන් නීත්‍යාණුකූලවම අයිති චේතිය පුතාට.. මේක බොහොම පැහැදිලිව පිරිසිදුව ලියපු ඔප්පුවක්.."


    ඔහු වැඩිදුරටත් කරුණු පහදද්දී නතාලිට දැනුණේ ඉහවහා ගිය සතුටකි.. තමන්ගේ පවුලෙන්.. වලව් පරම්පරාවෙන් නෙරපා දැමූ තම ඥාතිවරයි හා ඇගේ පුතු දැන් ඊටත් වඩා විසල් වලව්වක හිමිකරුවන්ය..


    "ඒක තමයි අම්මෙ චූටි හැම වෙලේම කිව්වෙ මේ වලව්ව අපේ කියලා.. මට ඒක දැනුයි තේරෙන්නෙ.."


    චේතිය තම සිගිති නැගණිය වඩාගෙන ඇගේ දෙකොපුල් තදින් සිප ගත්තේය..


    "ඔයාලා බය වෙන්න එපා පුතා.. මං නීතිය පැත්තෙන් මේ හැමදේම නිරවුල් කරලා දෙන්නම්.. ඔය ඇතුගලලව වලව්වෙන් අයින් කරන එක මං කරන්නම්.. ඒත් දැන්ම නෙමෙයි.. ඔයාගෙ විභාගෙ ඉවර වෙලා.. මොකද තරහ කාරයො තියාගෙන.. ප්‍රශ්න ඇති කරගෙන විභාගෙ ලියන්න බෑ.. ඒ නිසා මේ හිටියා වගේ ඔය මාස දෙකත් ඉවසගෙන ඉන්න.."


    එසේ කී නීතීඥවරයා තම ලියකියවිලි සියල්ල ෆයිල් කවරය තුළට දමා වසා පුටුවෙන් නැගිට ගත්තේය..


    "අමායා නැති උනාට පස්සෙ එයාගෙ ලාස්ට් වීල් එකක් තියෙනවද අහ අහා ගාමිණි මගේ පස්සෙන් ආවා.. එයා හැදුවෙ මට ලක්ෂ ගාණක පගාවක් දීලා මේක එයා අතට ගන්න.. ඒත් මං කවදාවත් මගේ යාළුවෙගෙ පවුලෙ අයට ද්‍රෝහි වුණේ නෑ.."



    "තෑන්ක්ස් අන්කල්.. තෑන්ක්ස් අ ලොට්.."



    සිය මෝටර් රථය වෙත පිය නගින වීරවර්ධන මහතා පසුපස ගිය මිහිරාවි තරමක් උස් හඩින් කීවාය.. ඇයට අත වැනූ ඔහු රථයට නැගී ඉහල ගියේ හැකි ඉක්මනින් යළි එන බව පවසමිනි..



    ඔහු නික්ම ගිය පසු පන්සල තුළ නිර්මාණය වූයේ එකම සතුටු ලෝකයකි.. මෙතෙක් ගල්කන්ද වලව්වේ මෙහෙකාරිය වූ ගුණවතී මේ වන විට එහි නීත්‍යානුකූල හිමිකරුගේ මෑණියන් වී උන් අතර දුප්පත් චේතිය විසල් ධනයක උරුමකරුවෙකු වී සිටියේය..


    "චේති.. උඹට මතකද අශේන්ගෙ උපන් දිනේ දවසෙ ඇතුගල හාමු කිව්වා සම්මානි කියන්නෙ මේ වලව්වෙ අනාගත හිමිකාරිය කියලා.. මොකද කියන්නෙ.. අපි ඒක ඇත්තක් කරමුද..?"


    චේතියට සුභප තා තම රථය වෙත දිව ගිය සම්මානිව හිසින් පෙන්වූ කලන ඇසුවේ සැමදෙනාටම ඇසෙන පරිදිය..


    "කොහොමටත් ඉතිං හිමිකාරිය එයා තමයි.. ඒත් ඉතිං තාම විභාගෙ ඉවර නෑනෙ.. ඒ නිසා ඒක පසුවට සලකා බලමු නේද..?"


    මනමාල සිනාවක් මුව රදවා චේතිය කීවේ සැබෑවටමය.. මෙතෙක් තම දුප්පත්කම නිසා සම්මානිගෙන් ඈත් වීමට උත්සාහ දැරුවද තව දුරටත් එසේ කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත..


    "දැන් එතකොට උඹලගෙ ගෙදර අයිතිකාරයා හේතුහාමි මාමා නේද..?"


    රංගද ළමාතැනීගේ අන්තිම කැමති පත්‍රයේ වූ කරුණක් සිහි කළේය..


    "දැනට ඒ ගේ අපේ.. වලව්ව ඇතුගලගෙ.. මගේ විභාගෙන් පස්සෙ අපේ ගේ හේතුහාමි මාමගෙ.. එතකොට වලව්ව මගේ.."


    "ඒකනෙ මං කවදත් කිව්වෙ.. ගුණවතී උපාසක අම්මා හරි වාසනාවන්තයි කියලා.. සංසාරගත බැදීම් නැග දැනං හිටියට මෙහෙම බැදීමක් මං කවදාවත් දැකල නෑ.."


    චේතියගේ කතාවට සිනාසුන ලොකු හාමුදුරුවෝ එය කීවේ තවමත් කිසිවක් අදහාගත නොහැකිව කදුළු සලන ගුණවතීටය..


    "එහෙනං මේ ඇත්තො ගිහින් එන්න.. දැන් රෑ බෝ වීගෙනත් එනවා.. අපි හෙට අනිද්දා දිහාට පිරිතක් කියලා කට්ටියට සෙත් සාන්තියක් කරගමු.."


    හාමුදුරුවන්ට වැද නමස්කාර කළ ඔවුහු පන්සල් භූමියෙන් පිටවූයේ සිතේ සතුට දෙගොඩතලා යද්දීය..


    "එහෙනං චේතිය හාමු.. අපිට යන්ඩ අවසර.."


    පන්සලේ භූමියේ මායිමට වන්නට නතර කර තිබූ තම වෑන් රථය වෙත පැමිණි රංග තම මිතුරාට කීවේ එක් දණහිසක් පහත් කරගනිමිනි.. ඒ දුටු සැමට සිනහ පහල විණි..


    "මං ඉතිං හාමු කෙනෙක් උනේ වෙන කවුරු නිසාවත් නෙමෙයි.. මෙන්න මේ පුංචි හුරතලේ නිසා.."


    නතාලිගේ අතැගිල්ලක එල්ලී උන් තම පුංචි නැගණියව චේතිය දෑතින් ඔසවා ගත්තේ හද පිරි සෙනෙහසිනි..



    End.gif
     

    blue_in_rio

    Well-known member
  • නියම කතාව මචන්.ලව් ස්ටෝරියක් බලනවට වඩා මෙහෙම කතාවක් බලනකොට මාර ගති.මම කාලෙකින් එළකිරි එක පැත්තේ ආවේ, උබ අලුත් කතාවක් දැම්මා කියපු නිසා මේක බලන්නමයි.තවත් එකක් දැම්මොත් කියපන් මචන්.ජය වේවා !!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    එල මචං.....
    උබ සිරාවට කතාව ලියලා තියෙනවා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචං.
    එක හුස්මටම කියෙව්වා
    නියෙමෙටම ලියල තියෙනවා :yes::yes::yes:
    උඹේ ලිවීමේ හැකියාව වගේම සිතීමේ හැකියාවත් සුපිරියි මචන්
    තවදුරටත් ඒක වැඩිදියුණු කරගන්න සුභ පැතුම් :):):):):)