Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්ප

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්ප

    IMG_0894.jpg
    බදුල්ල දුම්රියේ යන වාරයක් පාසා නානුඔය පහුවෙච්චි හැටියෙම මම ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්. පැරකුම්පුර පුංචි ස්ටේෂන් එක පහුවුණු හැටියෙම ධර්ම යුද්ධයට මහෞෂධ පණ්ඩිතයන් එනකම් බලං හිටපු කේවට්ටයා වගේ කොක් කරක් වගේ බෙල්ල දික්කරං දකුණු පැත්තෙ බෑවුම දිහා මං බලන්නෙ ඈ ඉන්නවද කියලා..
    මීදුම ගලපු නැති දවසක් නං අනිවාර්යයෙන් ඈ දුහුල් සළුපොටින් යාන්තම් වැසුණු තුනුරූ සපුවෙන් ශෝභමානව ගනව වැඩුණු වනාන්තරය අතරින් විළියෙන් හිනාවෙනවා බලන්නට පුළුවනි.
    ඒ හැම වෙලාවකමත් ලොකු හුස්මකින් පපුව පුරවගෙන කවදාහරි මං ඔයාව බලන්න එනවා කියලා මං හිතින් පොරොන්දු වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නොඉඳුල් ගන වනාන්තරයක හැංගිලා යාන්තමට සුදු සේල පොටක් විතරක් අපට පෙන්වන මීටර් විසිපහක පමණ උසක් තියෙන එල්ජින් ඇල්ල.
    මේ ආසාව තිබුණෙ මට විතරක් නෙවෙයි කියලා මට තේරුණේ මේ ගමන යන්න ලෑස්ති වෙද්දි. කොහොමින් හරි මගේ සුපුරුදු ගමන් සගයින් කිහිප දෙනෙකුත් එක්ක පහුගිය දොහක අපි එල්ජින් සොයාගෙන ගියා. ගමන සැලසුම් කරද්දි අපට ආපු ලොකුම අභියෝගය වුණේ මේ ඇල්ල පිළිබඳ හරිහමන් විස්තරයක් හොයාගන්න බැරි වුණ එක. ඇල්ල ළඟට යන්න පුළුවන් නිශ්චිත පාරක් ගැන අපට විස්තරයක් හොයා ගන්න බැරිවුණා. එන හැටියකට මුහුණ දෙන්න හිතාගෙන අපි සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රියෙන් නානුඔය බලා පිටත්ව ගියා.
    ලේකැටි මිදෙන හීතලේ පාන්දර දෙකට පමණ නානුඔයෙන් බැහැගත්තු අපි එළිය වැටෙන කම් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ ගතකළා. යාන්තම් බිමට එළිය වැටෙද්දීම නගරයේ විවෘත කරපු පළවෙනි අවන්හලෙන්ම උදේ ආහාරය ගත් අපි දුම්රිය මාර්ගය දිගේ ඇවිද යාම ඇරඹුවා.
    IMG_0911.jpg

    මිදුමෙන් වැසී...​
    උඩරට දුම්රිය මාර්ගය රේල් හයික් එකකට කියාපු පාරක්. නමුත් මා දන්නා තරමින් දැන් දුම්රිය මාර්ගය දිගේ රේල් හයික් කරන්නට අවසර නෑ. විශේෂයෙන්ම බිංගෙවල් ආශ්‍රිතව සිදුවන වැහිලිහිණි කූඩු ජාවාරම නිසා රේල්පාරේ පයින් යන්නන් කෙරෙහි බලධාරීන් සිටින්නේ අවධානයෙන්.
    නිරන්තරයෙන් මීදුමෙන් වැසී යන දුම්රිය මාර්ගය අතිශයින් මනරම් පාරිසරික කලාපයක් හරහා දිවයනවා. නානුඔය සිට අඹේවෙලට දුර කිලෝමීටර දහහතරක්. එයින් කිලෝමීටර දහයක් පමණ නානුඔය සිට ගිය විටදීයි එල්ජින් ඇල්ල මුණ ගැසෙන්නේ..
    IMG_0952.jpg

    ස්වර්ග රාජ්‍යයට යන පාරද මේ...​
    පරිස්සමෙන් හා අවධානයෙන් සංචාරය කරන්නෙකුට මේ මාර්ගය දෙපස දක්නට හැකි දේ බොහොමයි. මේ තියෙන්නේ මාර්ගය අද්දර සරුවට වැඩී තිබුණු මල් පඳූරක්...
    13453531_1037256319662549_1318728336_o.jpg

    බ්ලූ ස්ටාර් - ඡායාරූපය - තාරුක චමල්​
    බැලූ බැල්මට ඉතා සුන්දර වුවත් මෙහි පිටුපස කතාව අමිහිරි එකක්. මේ තිබෙන්නේ 'බ්ලූ ස්ටාර්' - Blue star (Aristea acklonii) නමින් හඳුන්වනු ලබන ආක්‍රමණික ලක්ෂණ දක්වන ශාකයක්. මා වරක් පට්ටිපොළ සිට හෝටන් තැන්න පිවිසුම දක්වාම මේ ශාකයේ පැතිරුණු ගහනයක් නිරීක්ෂණය කළා. ඒ සටහන මෙතැනින් CLICK බැලිය හැකියි. විසිතුරු පැළෑටියක් ලෙස රටට ආනයනය කළ මෙය දැන් සීමා ඉක්මවා ස්වභාවික පරිසරයේ පැතිරෙන්නට පටන් අරන්.
    IMG_0947.jpg

    මල් යායක මිහිර...​
    මේ රේල්පාර අද්දර වැඩී තිබුණු සුන්දර කුඩා මල් ගොන්නක්.
    පොද වැස්සත්, සිහින් සීතල සුළඟත්, ගන මීදුමත් මැද්දෙන් හීනයක් මැදින් ඇවිද යන්නාක් වගේ අපි ඉදිරියට ඇවිද ගියා.
    IMG_0925.jpg
    මෙසේ ගමන් කරද්දී ඉදිරියෙන් හෝ පසුපසින් පැමිණිය හැකි දුම්රියන් කෙරෙහි අවධානයෙන් ගමන් කිරීම ඉතා වැදගත්. ‍මොකද මේ මීදුම් ප්‍රවාහය මැද්දේ දුම්රියක් ළඟටම එනකම් පේන්නෙ නැති නිසා.
    13472289_1037582096296638_131143826_n.jpg

    මීදුම මැද්දෙන් උඩරට මැණිකේ - සේයාරුව - තාරුක චමල්​
    කෙසේ නමුත් කඳු හිස් මත රාව ප්‍රතිරාව නංවන හඬින් දුම්රියක පැමිණීම ඈත පටන්ම හඳුනාගත හැකියි.
    මේ විදියට පරිසරයේ සුන්දරත්වය දෙනෙතින් උරාබොමින්, රසමිහිරෙන් මන්මත්ව කිලෝමීටර් දහයක් පමණ ඉදිරියට ආපු අපට ඈතින් කඳු හිස් මත්තෙන් ගලා හැලෙන මේ සුන්දර දියඇල්ලේ පළමු දර්ශනය නෙත ගැටුණා.
    IMG_0978.jpg

    ඈතින් අෑ...​
    මේ දීර්ඝ පා ගමනින් අප ලත් වෙහෙසක් තිබුණා නම් එය වහා සිඳ මිහිරියාවෙන් සිත පුරවාලන්නට මේ යාන්තම් ලද දසුනද සමත් වුණා.
    එතැනම රේල් පාරේ වාඩි වී අප බොහෝ වෙලා මේ සොඳුරු දසුන රසවින්දා. වරින් වර මීදුම් සළුව ලිහිල් කරමින් ඇගේ මනරංජනීය රූ සපුව යාන්තමට අපට පෙන්වූ ඈ වහා විළි වැද නැවතත් මීදුම් සළුවෙන් සෙළුව වසා ගත්තා.
    IMG_0992.jpg

    සළු ගිලිහුණු නිමේෂයක...​
    ඇල්ලේ පාමුලට ළංවිය හැකි මගක් සොයා ගැනීම අපේ ඊළඟ අභියෝගය වුණා. ඇල්ල වෙත බැසිය හැකි කිසිදු මගක් පෙනෙන්නට නොතිබුණු නිසා අප තීරණය කළේ මදක් ඉදිරියෙන් තිබුණු කළු පාලමේ බෑවුම බැස දියපහර දිගේ ඇල්ල පාමුලට ළඟා වීමටයි.
    IMG_1005.jpg

    කළු පාලමෙන් පහළට...​
    ඊතලයෙන් පෙන්වා ඇත්තේ අප පහළට බැස්ස ස්ථානයයි. බෑවුම තරමක් තියුණු එකක් වීම නිසා එය අභියෝගාත්මක එකක් වුණා. කෙසේ නමුත් නිරුපද්‍රිතව දියපහර වෙත ළඟා වුණු අපි එය දිගේ ගමන් ආරම්භ කළා.
    IMG_1021.jpg
    මෙවන් කඳුකර වනාන්තරයක දියදහරක් දිගේ ගමන් කිරීම අපූරු අත්දැකීමක්. තුරු වියනෙන් හෙවණ වූ නොගැඹුරු දියදහර මද බෑවුම ඔස්සේ වේගයෙන් ඉදිරියට ගලා ගියා. අතරින් පතර හමු වූ කුඩා දිය ඇලි (Rapids) මේ සුන්දරත්වය වඩාත් ඔප් නැංවූවා.
    YDXJ0884.jpg

    සීත සුනිල් දිය දහරා...​
    සුන්දරත්වයෙන් අනූන වුවත් පහතරට කලාපයේ මෙන් දියදහරා වල සරු ජෛව විවිධත්වයක් මෙහි දක්නට නැහැ.
    YDXJ0857.jpg

    දිය යට සුන්දරත්වය​
    මේ දියයට ඡායාරූපය පහත රට දියදහරකදී ගත්තා නම් මෙය පිරෙන්නට ජලජ ජීවීන් දක්නට ලැබෙනවා නිසැකයි.
    මේ තිබෙන්නේ ගස් කඳක වැවුණු ලයිකනයක බීජාණුධානි.
    IMG_1030.jpg

    බීජාණුධානි...​
    මේවා සුළඟ මගින් ව්‍යාප්ත වී තවත් තැනක ජීවය පතුරවනවා.
    දියපහර දිගේ කිලෝමීටර එකහමාරක් පමණ යද්දී අපි දැඩි වර්ෂාපතනයකට මුහුණ දුන්නා. වර්ෂාව එන්න එන්නම දැඩි වෙද්දී ඉතා අකමැත්තෙන් වුණත් අපට සිදුවුණේ අාපසු හැරෙන්නටයි. මන්ද එන්න එන්නම වේගවත් වන දියපහරක වර්ෂාව මධ්‍යයේ ඉදිරියට යාම නිසැක අනතුරකට හේතුවක් බව පැහැදිලිව පෙනුන බැවින්. අතරමග කුඩා දියඇලිද චණ්ඩ, ප්‍රචණ්ඩ වී තිබුණේ ඒවා තරණය කිරීම සිහිනයක්ම බවට පත් කරමිනුයි. මීදුම හා මුසුව ගලා හැලෙන අන්ධකාරයද ආපසු හැරෙන්නට අපට අණ දුන්නා.
    IMG_1035.jpg

    ප්‍රචණ්ඩ දිය දහරා හා ලිස්සන ගල්...​
    අරමුණට ළඟාවන්නට නොහැකි වුණු පළමුවැනි චාරිකාව ලෙස මගේ චාරිකා සටහන් පෙළට එක් වෙමින් මේ ගමන නිමා වුණා. නමුත් එල්ජින්...... මතක තබා ගන්න. මා නිසැකවම අාපසු එනවා.. එවර නම් මගදී ආපසු හැරෙන්නට නෙවෙයි...

    සුපුරුදු ලෙස මගේ බ්ලොග් අඩවිය වන - http://sobaroo.blogspot.com/ වෙතිනි. පින්තූර තොරතුරු ආදිය උපුටා ගත්තාට කිසිදු තරහක් නැත. පින්තූරයේ හංවඩුව ඉවත් නොකරන්නට කාරුණික වන්න.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න ත්‍රෙඩ්..
    අතීතය සිහිවුනා...
    ආයේ පලයං.
    ElaKiri Traveler එක් චාරිකා සටහනක මාතෘකාවක් මට මතක් උනා.
    "Never give up, until you find it©"

    ආයේ පලයං.
    හැරිලා එන්න නෙමෙයි. පය ගහලාම එන්න. :cool: