View Single Post
(#1)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant future
 
Posts: 5,558
Join Date: Jun 2011
Location: dxb
චීන අධිවේගී දුම්රිය කතාන්තරය - 07-15-2019, 04:53 PM

චීන අධිවේගී දුම්රිය කතාන්තරය



ඒ 1978 වසරේ ඔක්තෝබර් මස 22 වැනි දිනය. එවකට ජපාන විදේශ අමාත්‍ය Sonoda Sunao ටෝකියෝ ගුවන්තොටුපළට පැමිණියේ විශේෂ රාජ්‍ය නායකයකු පිළිගැනීමටය. ඒ විශේෂ රාජ්‍ය නායකයා අන් කවුරුවත් නොව ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් චීනයේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කළ අසහාය නායක ඩෙන් ෂියෝපින්ග්ය. එවකට 74 වැනි වියෙහි පසුවූ ඩෙන්ගේ මේ ජපාන සංචාරය චීනයේ අධිවේගී දුම්රිය සිහිනයේ ආරම්භයයි. ඩෙන්ගේ මේ ජපන් සංචාරය පිළිබඳ අපූරු විස්තරයක් Wang xiong නමැති ලේඛකයා සිය China Speed-Development of China's High-Speed Rail නමැති කෘතියේදී ඉදිරිපත් කරයි.
එම පොතෙහි දැක්වෙන අන්දමට ඩෙන්ගේ එම ජපන් සංචාරය අතිශය කාර්ය බහුල එකක් වුවත් එවකට ජපානයේ පැවැති අධිවේගී දුම්රියක ගමන් ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව ලෝකයේ ඉදිකළ පළමු අධිවේගී දුම්රිය මාර්ගය වන Shinkansen (1964) අධිවේගී දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක ගමන් කිරීමට ඩෙන්ට හැකි විය. මේ අධිවේගී දුම්රියේ ගමන්ගන්නා අතරේ ඩෙන් සමග පැමිණි චීන දූත පිරිවරේ සිටි එක් මාධ්‍යවේදියෙක් ඩෙන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඇසුවේ සර් මෙය ඔබේ පළමු අධිවේගී දුම්රිය අත්දැකීම. ඔබට එය දැනෙන්නෙ කොහොමද? කියාය. ඉතාමත් වේගවත්. මේ දුම්රිය ධාවනය වෙන්නෙ හරියට සුළඟ වගේ. ඒක දැනෙන්නෙ හරියට ඔබව දුවන්න තල්ලු කරනවා වගේ. අපි ඉඳගෙන ඉන්නෙ නිවැරැදි දුම්රියෙ මේ එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඩෙන් දුන් පිළිතුරයි.


ඩෙන්ගෙ එම පිළිතුරෙහි අවසන් කොටස එනම් අපි ඉඳගෙන ඉන්නෙ නිවැරදි දුම්රියෙ මෙය චීන අධිවේගී දුම්රිය සිහිනයේ ආරම්භයයි. චීනයේ ආර්ථික, කෘෂිකාර්මික, තාක්ෂණික ආදී අංශ ගණනාවක සංවර්ධනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු සිදුවූ අතර චීන අධිවේගී දුම්රිය සිහිනය යථාර්ථයක් බවට පත්වීමේ මංපෙත් විවෘත වූයේද එම ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසුය. ඒත් එම සිහිනය යථාර්ථයක් බවට පත්වීම දසක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කල් ගියේ චීනයට අධිවේගී දුම්රිය අවශ්‍යද? නැතිද? යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් අතරේ පැවැති තර්ක විතර්ක නිසාය.

ආරම්භය

ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාල පද්ධතියක් සහිත රට බවට අද පත්ව සිටින්නේ චීනයයි. එහි ඇති විශ්මයජනක කාරණය නම් මේ සියල්ල දසක එකහමාරක් වැනි කෙටි කාලයකදී සිදුවීමය. අධිවේගී දුම්රිය සිහිනයට චීනය ප්‍රවිෂ්ට වූයේ 1970 දසකය අගභාගයේදි වුවත් ඉහත සඳහන් කළ පරිදි එය යථාර්ථයක් බවට පත්කිරීමේ කාර්ය ආරම්භ වූයේ තරමක ප්‍රමාදයකින් පසුවය. ඩෙන්ගේ ජපාන සංචාරයෙන් මාස දෙකකට පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ 11 වැනි මධ්‍යම කමිටු සමුළුවෙහි තෙවැනි ප්ලැනරි සැසිවාරය බෙයිජින්හිදී පැවැති අතර ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති මත ආර්ථික සංවර්ධනය ගොඩනැගිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව එහිදී ප්‍රමුඛාවධානයක් යොමු විය. මේත් සමගම අධිවේගී දුම්රිය චීනයට හඳුන්වාදීමේ වැදගත්කම ගැනද අදහස් මතුවෙමින් තිබිණි. විශේෂයෙන්ම චීනයේ එවකට පැවැති සාමාන්‍ය දුම්රිය පද්ධතියේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ බැවින් අධිවේගී දුම්රිය මාර්ග රටට අවශ්‍ය බවට මත ඉදිරිපත් වෙමින් පැවතිණි. විශේෂයෙන්ම අධිවේගී දුම්රිය චීන ආර්ථිකයේ ප්‍රධාන අංගයක් බවට අනාගතයේදී පත්වන බවට ඇතැම් විශේෂඥයෝ මත පළ කළහ.

මේ සියල්ල මධ්‍යයේ වැදගත් ප්‍රශ්නයක් මතුවෙමින් තිබුණි. එනම් චීනයට අධිවේගී දුම්රිය මාර්ග අවශ්‍යද යන්නය. විශේෂඥයන් පක්ෂව හා විපක්ෂව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර පක්ෂවූවන් ගෙනා තර්කය වූයේ අනාගත ආර්ථික සංවර්ධනයෙහි වැදගත් අංගයක් බවට අධිවේගී දුම්රිය පත්වන නිසා එය ඉදිකළ යුතු බවය. විපක්ෂ වූවන්ගේ තර්කය වූයේ අධිවේගී දුම්රිය පැවැති රටවල ඒවා මිල අධික මෙන්ම අලාභදායක බැවින් එය ඉදි නොකළ යුතු බවය.

චීනයේ අධිවේගී දුම්රිය පිළිබඳ කතාන්තරය ගැන සඳහන් කිරීමේදී 1990 වසර වැදගත් වන්නේ දුම්රිය අමාත්‍යාංශය විසින් අධිවේගී දුම්රිය තාක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක නිගමන ඇතුළත් වාර්තාවක් චීන රාජ්‍ය කවුන්සලය වෙත ඉදිරිපත් කිරීම නිසාය. එම වාර්තාවෙහි දැක්වුණේ ප්‍රධාන නගර අතර අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම අවශ්‍යයෙන්ම කළ යුතු බවත් එය අනාගතයේදී චීනයේ ප්‍රවාහන අංශයෙහි ප්‍රධානතම අංගය බවට පත්වනු ඇති බවත්ය. මෙපරිදි 1990 වසර චීන අධිවේගී දුම්රිය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන තවත් කාරණයක් නම් එම වසරේදී චීන මධ්‍යම ආණ්ඩුව දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යුආන් බිලියන 10.716 ක මුදලක් ආයෝජනය කිරීමත් එය එම වසර සඳහා චීන රජය සිදු කළ සමස්ත ආයෝජනවලින් සියයට 6.3 ක ප්‍රතිශතයක් වීම නිසාත්ය.

චීනයේ අධිවේගී දුම්රිය වැඩසටහන යටතේ මුලින්ම නිර්මාණය කිරීමට යෝජනා වූයේ බෙයිජින්-ෂැංහයි අධිවේගී දුම්රිය මාර්ගයයි. විද්‍යා හා තාක්ෂණ කොමිසමේ මූලිකත්වයෙන් රාජ්‍ය සැලසුම්කරණ කොමිසම, රාජ්‍ය ආර්ථික හා වෙළෙඳ කොමිසම, ආර්ථිකය නැවත ප්‍රතිසංස්කරණය සඳහා වූ කොමිසම හා දුම්රිය අමාත්‍යාංශය යන පාර්ශ්වවලද සහභාගීත්වය ඇතිව 1993 වසරේ අප්‍රේල් මස 24 වැනි දින බෙයිජින්-ෂැංහයි අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රවල මතු වී තිබූ ගැටලු ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීම ආරම්භ කරන ලද අතර ඔවුන් සකස් කළ වාර්තාව පිටු 500000 ඉක්මවීය. මෙම වාර්තාව මගින් බෙයිජින්-ෂැංහයි අධිවේගී දුම්රිය මාර්ගය ඉක්මනින් ඉදිකිරීම ආරම්භ කළ යුතු බවටත් එය රටට හා ආර්ථිකයට ප්‍රයෝජනවත් බවත් දක්වන ලදී. මෙම පාර්ශ්ව විසින් සකස් කර චීන රාජ්‍ය කවුන්සලයට 1994 වසරේ මැයි මස 1 වැනි දින ඉදිරිපත් කළ වාර්තාව මගින් නිර්දේශ කර තිබුණේද රජය හැකි ඉක්මනින් මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීම වැදගත් බවත් එය 1995 වසරේ ඉදිකිරීම් ආරම්භ කර 2000 වසරේ අවසානයේදී අවසන් කළ හැකි බවත්ය. ඒ අනුව එම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනය සිදුකිරීම දුම්රිය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් එම වසරේදීම ආරම්භ විය.

විවේචන

හැකි ඉක්මනින් මේ අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවලින් විවේචන එල්ල වු අතර ෂැංහයි දුම්රිය කාර්යාංශයේ හිටපු ප්‍රධාන ඉංජිනේරු Hua Yunzhang හා දුම්රිය අමාත්‍යයංශයේ සැලසුම් නිර්මාණ ආයතනයේ හිටපු උප සභාපති Yao Zuozhou යන දෙදෙනා ඒ සම්බන්ධයෙන් දැක්වූ විරෝධය ප්‍රබල මට්ටමක පැවතිණි. ඔවුන්ගේ මූලික තර්කය වූයේ අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම ආර්ථික වශයෙන් රටට හානිදායක බැවින් තිබෙන බෙයිජින්-ෂැංහයි දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියවල වේග සීමා හා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවය. 1994 දි Yao Zuozhou පළ කළ Shanghai Transportation: "Construction of High-Speed Railway Is not a Priority ˮ and "Re-Discussion on Construction of High-Speed Railway Being Not a Priorityˮ ලිපියෙන්ද එම වසරේදීම Hua Yunzhang පළ කළ Science and Technology Review යන ලිපියෙන්ද අධිවේගී දුම්රිය කඩිනමින් ඉදිකිරීමට ගත් තීරණය සම්බන්ධ සිය විරෝධය ඉදිරිපත් කළහ.

අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම සම්බන්ධව පැනනැගුණු මේ විවාදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට දුම්රිය අමාත්‍යාංශය මගින් වැදගත් සම්මන්ත්‍රණයක් Xiangshan වලදී 1994 වසරේදී සංවිධානය කළේය. මේ සම්මන්ත්‍රණයෙන් අනතුරුව 1996 වසරේ පැවැති Two Session සමුළු වාරයෙහිද ප්‍රධාන තේමාවක් බවට මෙය පත්වූ අතර දුම්රිය අමාත්‍යාංශයේ අධිවේගී දුම්රිය කාර්යාලයේ අධ්‍යක්ෂ Shen Zhijie අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමට පක්ෂවද Yao Zuozhou විපක්ෂව එය ඉදිකිරීම කල් දැමිය යුතු බව සඳහන් කරමින් ද වෙන වෙනම වාර්තා දෙකක් මේ සමුළුවට ඉදිරිපත් කළහ. එහිදී ජන්ද විමසීමක්ද පැවැති අතර අවසානයේදී බෙයිජින්-ෂැංහයි දුම්රිය මාර්ගය ඉදිකළ යුතුය යන වාර්තාව සම්මත විය.

මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම තවදුරටත් ප්‍රමාද වූයේ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යොදාගන්නා තාක්ෂණය සම්බන්ධයෙන් මතුවූ විවාදය නිසාය. පැරණි තාක්ෂණය ඒ සඳහා භාවිත කළ යුතු බව එක් කණ්ඩායමකගේ මතය වූ අතර maglev නමැති නවීන තාක්ෂණය ඒ සඳහා යොදාගත යුතු බව තවත් පිරිසකගේ මතය විය.

මේ සියලු වාද විවාද අවසානයේ 1990 දසකයේ මුලදී චීනයේ ප්‍රථමයෙන්ම නිර්මාණය කිරීමට යෝජනා වූ බෙයිජින්-ෂැංහයි අධිවේගී දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2008 වසරේදීය. 2011 වසරේදී විවෘත වූ මේ දුම්රිය මාර්ගයෙහි මුළු දුර කිලෝමීටර් 1318 කි. 2017 වසරේ සිට වේගය පැයට කිලෝමීටර් 350 කි. තර්ක විතර්ක රැසක හැලහැප්පීම් මැද ඉදිවූ මේ අධිවේගී දුම්රිය මාර්ගය සැලකෙන්නේ චීනයේ තිබෙන ඉහළම ආදායමක් උපයන අධිවේගී දුම්රිය මාර්ගය ලෙසය. 2015 වසරේදී එමගින් උපයා ඇති මුළු ආදායම යුආන් බිලියන 6.6 කි. කෙසේවෙතත් 2007 වසරේදී චීන දුම්රිය අමාත්‍යාංශය මගින් ආරම්භ කළ චීන දුම්රිය මාර්ග වේගවත් කිරීමේ කැම්පේන් එක යටතේ ඇතැම් දුම්රිය මාර්ග පැයට කිලෝමීටර් 250 ක තරම් වේගයකින් ධාවනය කළ හැකි පරිදි සැකසීම සිදු විය. 1999 දී නිර්මාණය කළ Qinhuangdao-Shenyang අධිවේගී දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 200 ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි පරිදි නිර්මාණය කළත් 2007 දී අරඹන ලද Sixth Speed-up Campaign එක යටතේ එම දුම්රිය මාර්ගයෙහි වේගය පැයට කිලෝමීටර් 250 ක් දක්වා ඉහළ දමන ලදී. 1999 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මේ දුම්රිය මාර්ගය 2003 දී විවෘත කෙරිණි. කිලෝමීටර් 404 ක දුර ප්‍රමාණයකින් යුත් මෙය සැලකෙන්නේ චීනය ඉදිකළ පළමු අධිවේගී දුම්රිය මාර්ගය වශයෙනි.
චීන අධිවේගී දුම්රියේ විශේෂතා


2008 වසර චීන අධිවේගී දුම්රිය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන්නේ ප්‍රථම වතාවට පැයට කිලෝමීටර් 350 ක වේගයකින් ධාවනය කළ හැකි අධිවේගී දුම්රිය මාර්ගයක් වන බෙයිජින්-ටියන්ජින් අධිවේගී මාර්ගය විවෘත කිරීම නිසාය. 2012 වසරේදී විවෘත කළ Harbin-Dalian අධිවේගී දුම්රිය මාර්ගය සැලකෙන්නේ ශීත සෘතුවේදී හිම සහිත ප්‍රදේශ අතරින් ගමන් කළ හැකි පරිදි ඉදි කළ ලෝකයේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය හැටියටය. එමෙන්ම Shanghai maglev අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීම චීන අධිවේගී දුම්රිය කතාන්තරයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් වෙයි. ඊට හේතුව නම් චීනය ප්‍රථම වතාවට පැයට කිලෝමීටර් 431 ක් වන උපරිම වේගයකින් ගමන් කළ හැකි අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකළ නිසාය. එසේම එය ලෝකයේ වේගවත්ම වෙළෙඳ අධිවේගී විදුලි දුම්රිය මාර්ගය ලෙසද වාර්තා පොත් අතරට එක් වී ඇත. ගත වූ දසක දෙකකට ආසන්න කාලයේදී චීනය අධිවේගී දුම්රිය ක්ෂේත්‍රයේදී ශීඝ්‍ර දියුණුවක් මෙන්ම සුවිශාල ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති අතර රටක් සතු විශාලතම අධිවේගී දුම්රිය ජාල පද්ධතිය හිමි රට බවට පත්වන්නටද අද වනවිට චීනයට හැකි වී ඇත.

2018 වසරේ මැදභාගය වන විට චීනයේ අධිවේගී දුම්රිය ජාල පද්ධතිය කිලෝමීටර් 27000 ක් දක්වා දුරකට විහිද තිබෙන අතර 2014 වසර අවසන් වන විට එහි අගය කිලෝමීටර් 16000 ක් විය. 2025 වසර වන විට අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණය කිලෝමීටර් 38000 දක්වා පුළුල් කිරීම චීනයේ අරමුණ වී තිබේ. තවද 2007 වසරේ සිට 2017 වසර දක්වා කාලය ඇතුළත EMU අධිවේගී දුම්රියවල මගීන් බිලියන 7.54 ක පිරිසක් ගමන් කර ඇති අතර එය සියයට 4.5 සිට සියයට 56.8 ක ප්‍රතිශතාත්මක වර්ධනයකි.

චීන අධිවේගී දුම්රිය තාක්ෂණයෙහි ගෝලීය නැඹුරුව

චීනය ප්‍රථම වරට විදේශ රටක දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යොමු වූයේ 1970 වසරේදීය. ඒ ටැන්සානියාව හා සැම්බියාව අතර ඉදිවූ Tazara දුම්රිය මාර්ගය තැනීම සඳහා අනුග්‍රහය දැක්වීමෙනි. 21 වැනි සියවස ආරම්භයේදී චීන අධිවේගී දුම්රිය තාක්ෂණය ශීඝ්‍ර දියුණුවක් ලබාගැනීමෙන් පසු චීනය තවත් රටවල් රැසක අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමට යොමු විය. එලෙස චීනය පළමු වරට විදේශයකදී අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යොමු වූයේ 2014 වසරේ ජූලි මස 25 වැනි දින Ankara-Istanbul අධිවේගී දුම්රිය මාර්ගයෙහි දෙවැනි අදියරෙහි ඉදිකිරීම් කටයුතු අරඹමිනි. බ්‍රිතාන්‍යය, රුසියාව, පෝලන්තය, බ්‍රසීලය, රුමේනියාව, සිංගප්පූරුව, මලයාසියාව, කාම්බෝජය, වියට්නාමය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය, ඉරානය, ලිබියාව, සවුදි අරාබියාව, වෙනිසියුලාව, තුර්කිය යන රටවල් 19 සමග චීනය අධිවේගී දුම්රිය මාර්ග සබඳතා පවත්වමින් සිටින අතර සමහර රටවල මේ වන විටත් චීනය අධිවේගී දුම්රිය මාර්ග ඉදිකර අවසන්ය.

අධිවේගී දුම්රිය වර්තමානය වන විට චීන ප්‍රවාහනයේ මෙන්ම ආර්ථිකයේ ඉතා වැදගත් අංගයක් වී අවසන්ය. මීට වසර 50 කට පෙර සිට අධිවේගී දුම්රිය මාර්ග හා අධිවේගී දුම්රිය ඉදිකළ ජපානයද අභිබවමින් චීනය අද පෙරට පැමිණ තිබේ. එහි ඇති විශේෂත්වය වන්නේ මේ සියල්ල දසක දෙකක් තරම් කෙටි කාලයක් ඇතුළත සිදුවීමය.


උපුල් වික්‍රමසිංහ
Reply With Quote
 
Page generated in 0.05403 seconds with 9 queries