අපි සංසාරේ ගතකරපු කාලයට සාපේක්ෂව මේ ලබපු මනුස්ස ජීවිතේ ආයුෂ නොගිනිය හැකි තරම්!!! "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ චුට්ටයි) කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! ඇත්තටම නම්, මේ මනුස්ස ජීවිතේ කියන්නේ අපට සසර දුකින් එතෙරවෙන්න අවශ්‍ය දේ කරගන්න ලැබිලා තියන අවස්ථාවක්!!! මේකෙදි වෙන වෙන දේවල් කරකර ඉඳලා බෑ!! තමන්ට චේතනා පහලකරලා, සසරින් මිදීමේ මාර්ගයට යොමුවෙන්න ආරම්භක පියවර තබන්න පුළුවන් මෙතැනදී තමයි... මෙච්චර කාලෙකට ඒක කෙරිලා නැහැ!! ඒකයි තාමත් අපි සංසාර ගමනේම යෙදිලා ඉන්නේ!!! සත්වයා සකස්වෙලා තියෙන 'සැප කැමතියි දුක අකමැතියි' ස්වභාවය අනුව, අපි නිකම් හිටියත් රූටගෙන රූටගෙන යන්නේ පහලටමයි!! 'මැරෙණ මැරෙණ මනුස්සයෝ යන්නේ නිරය, පෙරේත, තිරිසන් ලෝක වලටයි' කියලා තමයි බුදුහාමුදුරුවෝ හෙළිදරව් කලේ!! ආයේ පහලට වැටුනොත්, ලේසියෙන් ගොඩ ඒමත් බොරු!! නිරයට වැටුනොත්, 'කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනව'ට වඩා අමාරුයි කිව්වා ආයේ මනුස්ස ජීවිතයක් ලබන්න!!!
හිතමු අපි ඔය කියපු විදියට නිරය, පෙරේත, තිරිසන් ලෝකවල ඉඳලා අහම්බෙන් chance එකක් වැදිලා මනුස්ස ලෝකෙට ආව... කියල! නැත්නම් දිව්‍යලෝකෙක ඉඳලා පහලට වැටුනා... කියල! මේ ආත්මේ ඔයාව set උනේ ඔය සත්තු මර මර පූජා තියන, තමන්ට විරුද්ධ මතධාරීන්ව මරණ, ජාතියක පවුලකට නම්, මොකද ඔයාට වෙන්නේ? ඔයා ඊළඟ පාර ආයෙම පහලට... හුඟාක් වෙලාවට කෙලින්ම නිරයට!!! මොකද අපි අදහන, විශ්වාස කරන දේවල් නෙවෙයි මෙතන වෙන්නේ... මෙතන ක්‍රියාත්මකවෙන්නේ ලෝක ධර්මතාවය!!! අන්න ඒ හන්ද ඇත්ත දැනගෙන, තමනුත් ගැලවිලා, යාලුවෝ / නෑදෑයන්වත් දැනුවත් කරන්න, එයාලටත් මේ කරදරෙන් ගැලවෙන්න!!!
අපි හිතමු ඔයා set උනේ අදහන දේවල් කොහොම උනත්, හොඳ ගතිගුණ තියන මනුස්සයෝ ගැවසෙන සමාජෙකට, ඔයාට අනික් අයගේ දුක තේරෙනවා... ඔයා එයාලට උපකාර කරනවා... හැමෝම එක්ක හොඳින් ඉන්නවා... කියල! ඉතින් ඔයා ඊළඟ පාරත් හොඳ මනුස්සයෙක් වෙලාම උපදින්න පුළුවන්!! මොකද ඔයා කර්ම, කර්ම විපාක දැනගෙන ලොකුවට චේතනා පහල කරලා පින් කිරීමක් කෙරෙන්නෙත් නෑ... ඒත්, ඔයාගේ යහපත් චේතනා හා ගුණයහපත්කම නිසා මේ මනුස්ස ජීවිතයේදී ගෙවිල යන පින් වලට හරියන්න අලුතෙන් පින් රැස්වෙනවා!! ඔය විදියට උනොත්, අපිට එක දිගට මනුස්ස ජීවිතම ලබන්න පුළුවන් ඉවරයක් නැතුව!! අන්න එහෙම මනුස්ස ජීවිත ලබපු අපි, අම්මල මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකලොත් සතර මහා සාගරයේ ජලයට වැඩියි කිව්වා... තාත්තල මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකලොත් ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි කිව්වා... කොහොමද වැඩේ? මම නෙවෙයි, බුදුහාමුදුරුවෝයි කිව්වේ!! ඔය විදියට මනුස්ස ජීවිතම ලබ ලබා කාලය ගතවෙද්දී බැරිවෙලා වත් අපාය සහායී යාලුවෙක් set උනොත්... දඩයමේ යන්න, වල්කමේ යන්න කතාකරන යාලුවෙක් / යාලුවෝ set උනොත්... ඊළඟ උපතම නිරයට!! ආයි වලේ...
අපි හිතමු ඊළඟට ආයෙම 'කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනව' වගේ කාලයක් දුක් විඳලා දුක් විඳලා ආයෙම මනුස්ස ලෝකෙට එනවා කියල. එදා පාර ඔයාට මුණගැහෙනවා අපාය සහායී මිත්‍රයෙක් වෙනුවට කල්‍යාණ මිත්‍රයෙක්! එයා ඔයාට පින්/පව්, කර්ම හා කර්ම විපාක ගැන කියල දීල, ඒපාර ඔන්න ඔයා සුගතිගාමී කෙනෙක් බවට පත්වෙනවා!! ඔයා සිල් රකිනවා... දාන මාන දෙනවා... ඊළඟ පාර දිව්‍යලෝක වල උපදිනවා... සිටුවරු, රජවරු වෙලා උපදිනවා!! හැබැයි, ඔය වගේ කොච්චර ඉහලට ඉහලට ගියත්, ඒ තත්වය දිගින් දිගට පවත්වාගන්න පින් කරන්න අමතක උනොත්, නැත්නම් සැපගන්න ගිහිල්ල වැඩ වැරැද්ද ගත්තොත්, කොහේ හිටියත් ආයේ රූටගෙන රූටගෙන ඇවිල්ල බිමටම ඇදගෙන වැටෙනවා!!!
ආයෙම පාරකට, 'කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනව' වගේ කාලයක් දුක් විඳලා දුක් විඳලා ඔයා මනුස්ස ලෝකෙට ආව කියමු! ඒපාර ඔයා උපදින්නේ බෞද්ධ පවුලක!! හැබැයි එතකොට පිරිසුදු බුද්ධ දේශනා අහන්න නෑ!! එක්කෝ පිරිසුදු බුද්ධ දේශනා ඒ උදවිය අහන්නේ නෑ!! දන්නේ නෑ!! එයාල ගාථා කියා කියා වඳිනවා... මල් පහන් පූජා කරනවා... බෝධි පූජා තියනවා... අපල දුරුවෙන්න කොඩිවැල් එල්ලනවා... භක්ති ගීත කියනවා... පෙරහැරෙත් යනවා... පෙරුම් පුරනවා... ණිවන් සැප ලැබේවා! කියල බැනර් ගහනවා... හැබැයි 'සක්ඛාය දිට්ඨිය' කියල එකක් තියනවා, ඒක රවුන්ද? හතරැස්ද? කියලවත් දන්නේ නෑ... 'සද්දහති තථාගතස්ස බෝධීන්' අහලක වත් නෑ... ජ්‍යෝතීර්වේදියා සරණ ගිහිල්ලයි ඉන්නේ... ඔන්න ඔය වගේ පවුලකට set උනත් ඔයා බොහෝවිට 'ගස්'ම තමයි!!! ඉතින්, ඔන්න ඔහොමයි අපිට වෙලා තියෙන්නේ...
ඇත්තටම, ඉහලට ඉහලට යැවෙන්නේ බොහොම කලාතුරකින් උනාට, අපි නොගිය තැනක් නැහැලු!!! කූඹියෙක් ගත්තත්, ඌත් කවදා හරී රජවෙලා ඉඳලා තියෙන කෙනෙක් ලු!!! අනික සාම්ප්‍රදායික බෞද්ධ උදවිය වගේ, පන්සිල් රකින / මල් පහන් පූජා කරන වගේ දේවල් විතරක් නෙවෙයි, මීට කලින් මහණවෙලා, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුවත් ඉඳලා තියනවලු!! ඉතින් මොකද්ද මේ දිගින් දිගට යන ගමනේ තේරුම?? ඔය හැම එකේම ජාති, ජරා, ව්‍යාධි, මරණ සේරමත් තියනවා!! එතොකට කොච්චර දුකක් විදින්න වෙයිද?? මේ යන ගමනේ කිසිම තේරුමක් නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'අනමතග්ගෝයං භික්ඛවේ පුබ්බා කෝටි න පඥ්ඥායති' (සත්වයාගේ සංසාර ගමන පටන්ගත් තැනක් පේන්නේ නෑ!) කියලයි!! 'මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ' කියලයි!!! මෙතැනින්ම අවසානයක් දකින්න බලන්න කියලයි!!! හිතා ගන්න පුලුවන්ද අපිට වෙලා තියන දේ??
අපිට වෙලා තියෙන්නේ ලෝක ධර්මතාවය අවබෝධ නොවීම නිසා හටගත්තු අවුලක්!!! චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා ඇතිවූ අවුලක්!!! මේ සංසාර ගමන, අපි හැමෝගෙම ජීවිත, ඔය නොදැනුවත්කම නිසා ඇතිවෙලා තියන, දිගින් දිගට සකස්වෙමින් යන දෙයක්!! නොදැනුවත් කම හන්දයි එහෙම උනේ... බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා සොයා, දැනගෙන අපට කියල දුන්න පරම සත්‍ය අහන්න නොලැබුණු හන්දයි අපට වැරදුනේ... දැන් ඉතින් කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න උවමනාවක් නෑ!!! පින්වත් උත්තමයෙක් අවුරුදු 2600ක් විතරම පෙරුම්පුරාගෙන ඇවිල්ල, මහා දුක් කන්දරාවක් විඳගෙන, සෑහෙන දුෂ්කර ක්‍රියාවක් කරලා, අපිට පිරිසුදු බුද්ධ දේශනා අහන්න හදල දුන්න!!! දැන් ඉතින් අපි නොදන්නා දේවල් ඉගෙන ගමු!! 'නොදන්න' හන්දයි වැරදුනේ... 'දැනගත්තයින්' පස්සේ වරදින්නේ නෑ!!! දැන් ඔයාල මෙතැනදී, මේ ජීවිතේදිම, සේරම දැනගත්තොත්... මෙතැනින්ම වෙච්ච වැරදි හරියනවා... ඊටපස්සේ ආයේ කොහෙවත් යැවෙන්නේ නෑ!! හුඟාක් වෙලාවට තව එකක් දෙකක් ඇතුලත ඔයාලගේත් සසර කතාවල් ඉවර වේවි!!! මේ පුංචි පුංචි ඇත්තොත් අවබෝධ කරගත්තු දෙයක්!!! සමහරු මේ... කියන කොට, මේ... අවබෝධ කලාත් නේ... වැඩිය ගනන්ගන්න එපා!!