නෙහා... ආහා... ඔයා මාරයි නෙහා. ඇත්තම කිව්වොත් ඔයා දකින හැම මොහොතකම මට හිතෙන්නේ, මට ඔයා මීට කලින් කොහේදී හරි මුණගැහිලා තියෙනවා කියලා මයි. ඒක වරදින්ඩ විදිහක් නෑ කියලා මම හොඳටම දන්නවා. මොකද, ඔයාගෙ මූණ, ඔයාගෙ නහය, ඔයාගෙ හිනාව, ඔයාගෙ කතාව, ඔයාගෙ අරක, ඔයාගෙ මේක හැමදේම මට අද වගේ මතක විදිහක් තමයි මට ඔයා දැක්කහම හිතෙන්නේ. ඒකයි නෙහා මම ඔයාට පිස්සු හැදිලා ඉන්නේ. ඒක ඇත්තටම දන්නෙ මම ම විතරයිනෙ නෙහා. ඒත් අපේ තාත්තටත් මේ බව දැං දැං ඉව වැටිලද කොහෙද. එයා මට ඊයේ පෙරේදා මේ ගැන ඇනුම් පදේකුත් කිව්වා. තාත්තා කියනවා.
උඹ ඉතිං කට ඇරගෙන බලාගෙන හිටපං. ඔයගොල්ලො ඔය ටීවීවලට ඇවිත් තියෙන්නෙ පත්තරවල, ටීවීවල, ඇඩ්වටයිසිංවල ඉන්න පිසාචයන්ට දොළ පිදේනි දීලා මිසක් ඇති දස්සකමකට නෙමෙයි. උඹ ඉතිං කට ඇරගෙන බලාගෙන හිටපං.
තාත්තා එහෙම කිව්වට නෙහා, මට ඔයා දකිනකොට මගෙ පපුව වාවන්නේ නෑ. ඔයා හරිම අහිංසකයි අනේ. අර නූඩ්ල්ස් ඇඩ් එකේදී ඔයා අන්තිමට උරිස් දෙක ගස්සලා ෆන් තමයි කියනකොට මාව ඉබේටම පුටුවෙං නැගිට්ට වෙනවා. ඔන්න ඔය වෙලාවක අපේ තාත්තා දැකලා තමයි අරහෙම මට කිව්වෙ. ඒ විතරද නෙහා, ඔයා ලස්සනට ඇඳුං ඇඳලා ( ඒ කියන්නෙ, ඇඳලා නෑඳලා වගේ ) ඉන්න පිංතූර අරගෙන තියෙන ඒවා මම ඉන්ටනෙට් එකෙං ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ වෙලාවෙද කොහෙද අපේ තාත්තා යංත්ං ඕක දැකලා මට මාර කතාවක්නේ කිව්වෙ. තාත්තා කිව්වා.
උඹ දන්නවද ? ඔය තමුංගෙ හෙළුව ඕනෑවට වඩා පෙන්නන ගෑනුන්ට තියෙන අවුල මොකක්ද කියලා. ඒක ලෙඩක්. ඒ හින්දා ලෙඩ්ඩුන්ගේ ලෙඩවලට උඹ අහුවෙන්න එපා කියලා.
අනේ ඇත්තටම නෙහා, මොකක්ද ඒ තාත්තා කියන ලෙඩේ ?! ඇත්තටම, ඔයා වගේ ලස්සන හැමෝටම ඒ ලෙඩේ එහෙනං තියෙනවා ඇති නේද ?! පිස්සු අනේ. මට නං තේරෙන්නෙ නෑ අපේ තාත්තා කියන දේවල්වල ඇත්ත නැත්ත. කොහොම වුණත් මම ඔයාගේ ඔය සූකිරි හිනාවටයි, මීකිරි කතාවටයි වහ වැටිලයි ඉන්නේ. දවසක් ඔයා රඟපාන ටෙලියක් දිහා මම බලාන ඉන්නකොට මට එකපාරටම කියවුණා, අනේ ඔයා හරිම හුරතල් අනේ කියලා. කරුමෙට අපේ තාත්තා ඒ ලඟ ඉඳලා මිනිහට ඕක ඇහිලා යකා නැගලා. එහාට මෙහාට ඇවිදලා ඇවිදලා මං ළඟ නතර වෙලා කිව්වා.
හුරතලේ වැඩිකමට තමයි ඔය ගත්තු එවුනුත් දාලා යන්නේ, කියලා.
ඉතිං නෙහා, ඔයාට කවුරු නැති වුණත් මම ඉන්නවා බව හිතේ තියාගන්න. ඔය අපේ තාත්තලා ඔය වගේ දේවල් කියන්නෙ ඒගොල්ලන්ට දැං බැරි හින්දයි. පුළුවං කලේ ඒගොල්ලොත් හොඳ හොඳ සෙල්ලං නටන්ඩ ඇති. කවුද අනේ දන්නේ ?!
අනික නෙහා මේ වෙනකොට ටෙලි නාට්ටිවලයි, චිත්‍රපටිවලයි හරියට සිංහල කතා කරන්ඩ බැරි අය දෙන්නයිනේ ඉන්නේ. එක්කෙනෙක් අනර්කලී, අනිත් එක්කෙනා ඔයා. ඉතිං බලන්ඩ මොනතරං ආඩම්බරයක්ද කියලා. ඉතිං නෙහා මම ඔය කතාව අපේ අම්මා එක්ක කියනවා තාත්තා අහගෙන ඉඳලා තාත්තා කිව්වා.
යකෝ, සිංහල නාට්ටිවල, චිත්‍රපටිවල සිංහල හරියට කතා කරන්ඩ බැරි එවුංට මාර ඉල්ලුමක්නෙ තියෙන්නේ. ඕක ඉතිං අහන්ඩ දෙයක්යැ. අබා, මහින්දාගමනය වගේ පට්ටපල් ජාතිවාදී ආගම්වාදී චිත්‍රපටිවලත් ප්‍රචාරක දැන්වීම් කියවන්නෙත් අර මචාඩෝ කියන ඉංගිරීසි නිවේදකයනේ. ඉතිං සුද්දන්ට බොරුවට බැන්නට උන්ගේ ටෝන් එකට උඹලා හරි කෑදරයි නේද ? කියලා.
බලන්ඩ නෙහා, අපේ තාත්තා නම් පැපරාසියෙක්ම තමයි. හොයන්නේ නැති දෙයක් ඇත්තෙම නෑ. ඉතිං නෙහා, ඔයා ඔය විදිහට දිගටම දිගටම අපි වගේ කට්ටිය සතුටු කරන්ඩ වැඩ කරගෙන යන්ඩ. මේ පාර ඉඳං තාත්තා මගේ ලියුමට වැඩි ඉඩක් දෙන්නේ නෑ කිව්වා. ඒ හින්දා මම අන්තිමටත් කියන්නේ, ඔයා වගේ නිළියෝ තමයි අපේ රටට දැං හරියන්නේ කියලයි. පුණ්‍යා හීන්දෙණියලා, අනුලා කරුණාතිලකලාගේ කාලේ ඉවර වෙලා ගොඩක් කල්නේ. ඒත් අපේ තාත්තා තාමත් කියවන්නේ ඒගොල්ලෝ ගැනමයි. ඒත් ඉතිං එයාලගේ කාලේ දැං ඉවරයි. දැං ඔයාලගේ, අපේ කාලේ. අපි දිගටම මේ විදිහට එන්ජෝයි කරගෙන යමු නේද නෙහා. ඇත්තටම ඉතිං ඒකට තියෙන බාධාව අපේ තාත්තලා වගේ එවුං තමයි. ( තාත්තට එවුං කියලා කිව්වා කියලා ආරංචි වුණොත් තාත්තා ශුවර් එකටම මාව ගෙදරින් එළවයි. එහෙම වුණොත් මම ඔයා හොයාගෙන ඔයා ළඟටම එනව නෙහා. )
(උපුටා ගැනීම > 46 පිටුව. පැපරාසියා 2011 ජූලි කලාපය.)

