ඓතිහාසික අරන්කැලේ “මලියදේව” අරහන්ත සේනාසනයට නුදුරුව පිහිටි, හිපව්ව – “නාගලෙන” පුරාණ රජ මහා විහාරස්ථානයෙහි විහාරගෙය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාව, පසුගිය දිනක නිධන් සොරුන් විසින් කඩා බිඳ එහි නිධන් වස්තු සියල්ල සොරාගෙන ගොස් තිබේ.
සැතපෙන බුද්ධ ප්‍රතිමාවට හානි කර ඇති අයුරු.
චෛත්‍යයෙහි ධාතු ගර්භය හාරා ඇති අයුරු.
ගලින් සකස්කොට ඇති මල් ආසනය.
එම ප්‍රතිමාවෙහි සිරස් පත ගලවා, සිරස තබා ඇති කොට්ටය මුළුමනින්ම කඩා බිද, ළය පෙදෙසද තැනින් තැන හාරා ඇත.
මේ විහාරස්ථ දායක සභාවේ ලේකම් චමින්ද රත්නසූරිය මහතා මෙසේ කීවේය.
මේ විහාරස්ථානය ඉතා පැරැණි සිද්ධස්ථානයක්. සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල් ලෙනක්, බිත්තිවලින් වටකර මෙහි විහාරගෙය ඉදිකොට තිබෙනවා.
සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිදන් හොරු කඩා බිඳ විනාශ කර දැමූ දෙවැනි වතාවයි . මෙදා සැරේ විශාල හානියක් සිදුකර තිබෙනවා.
වටිනා නිධන් වස්තු මෙහි තිබී සොරාගෙන යන්නට ඇති කියා අපි සිතනවා.
මේ විහාරගෙය තිබෙන්නේ කඳු මුදුනක නිසා දායක පිරිසටත් නිතර සොයා බලන්න අමාරුයි.
ඒ ළඟම තිබෙන කුඩා චෛත්‍යයක් මීට මාස කිපයකට කලින් නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුවුණා.
ධාතු ගර්භය හාරා එහි තිබූ සියලුම දේ සොරාගෙන තිබෙනවා. එකම කණ්ඩායමක් මේ විනාශය කළාද කියලත් අපට සැකයි. මේ ගැන ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනවා.
නාගලෙන විහාරවාසී කෑගල්ලේ විජිතසිරි හිමියෝ -
කටාරම් කොටා ඇති විහාර ගෙයට අමතරව, ශ්‍රීපාද ලාංඡනයක් කෙටූ හතරැස් ගල් පුවරුවක් හා ගලින් සකස් කළ මල් ආසනයක් මේ විහාරස්ථාන භූමියෙන් හමුවී තිබෙනවා.
ඒ පුරාවස්තු අනුව මේ විහාරස්ථානය ඉතා පැරැණි යුගයකට නෑකම් කියනවා. මේ විහාරස්ථානයේ පුරාවස්තු සංරක්ෂණය කරන්න, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් වයඹ පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේත් කඩිනම් අවධානය යොමු වෙන්න ඕනෑ.