බුදුවරයෙකුගේ සතුව පමණක් ඇති මෙම දසබල ඥානය ,මහා සීහනාද සූත්‍රයේදී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කර ඇත. එනම්
1. ඨානා ඨාන ඥානය
2. කම්ම විපාක ඥානය
3. සම්බත්ථ ගාමිණී පටිපදා ඥානය
4. අනේක ධාතු නානාධාතු ලෝක ඥානය
5. නානාධිමුක්තිකතා ඥානය.
6. ඉන්ද්‍රිය පරෝපරියප්තිය ඥානය
7. ක්ධානිය සංකිලේස ඥානය
8. පුබ්බේ නිවාසානුස්සති ඥානය
9. දිබ්බ චක්ඛු ඥානය
10. ආසවක්ෂය ඥානය
මෙහි ඨානා ඨාන ඥානය යනු යමක පවතින හේතු අහේතු නිවැරදිව දන්නා ඥාන බලයයි. සමකාලීනව විවිධ ධර්මයන් දේශනා කළ බොහෝ ශාස්තෘවරුන් විශ්වය හා සත්වයා පිළිබඳ විමසන ප්‍රශ්නවලදී නිරුත්තර වුවද ගෞතම බුදුරදුන්ට එසේ නිරුත්තර වීමට හේතුවක් නොවූයේ මෙකී ඥාන බලයේ මහිමයෙනි.
දෙවන ඥාන බලය වූ කම්ම විපාක ඥානයෙන් අතීත වර්තමාන අනාගත යන කාලාත්‍රයෙහි කුසල, අකුසල කර්මයන්ගේ විපාකයන් සත්වයා කරා එන ආකාරය තත්ත්වාකාරයෙන් පැවැසීමෙහි ශක්තියක් බුදුරදුන් තුළ පිහිටා තිබිණි. තමා කරා එන ශ්‍රාවකයන්ගෙන් ධර්මය අවබෝධ කරගත හැකි අය කවුරුන්ද, නොහැකි අය කවුරුන්ද යන්න පවා බුදුරදුන් අවබෝධ කරගත්තේ මෙකී ඥාන බලයෙනි.
සබ්බත්ථ ගාමිණී පටිපදා ඥානයෙන් තමා කරා එන සත්වයන් සුගති දුගති භවකරා ගමන් කරන්නේ කෙසේද යන්න දැන ගැනීමෙහි සහ එය අන් අයට විවරණය කිරීමේ ශක්තිය ද බුදුරදුන්ට තිබිණි.
අනේක ධාතු, නාතා ධාතු, ලෝක ඥානය යනු 4 වැනි ඥාන බලයයි. සාමාන්‍ය පුද්ගලයකුගේ පංච ඉන්ද්‍රියට ගෝචර වන දෙයට වඩා සියුම් දෙයක් ලොව්තුරා බුදුවරුන්ට ග්‍රහණය කරගත හැක්කේ මෙකී ඥාන බලයෙනි. එය ධාතු සහ ස්කන්ධ ආදී නම්වලින් හඳුන්වනු ලබයි.
පස්වන තථාගත බලය වන්නේ නානාධිමුක්තිකතා ඥානයයි. එනම් තමන් කරා පැමිණෙන අයගේ අදහස් දැන ගැනීමෙහි ශක්තියයි. තමා කරා පැමිණෙන්නන් වෙත දහම් දෙසිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව බුදුරදුන් පූර්ව නිගමන කරන්නේද මෙම ඥාන බලයෙනි.
හයවන ඥාන බලය වන ඉන්ද්‍රිය පරෝපරියප්ති ඥානයෙන් අන්‍යයන්ගේ ශ්‍රද්ධාදී චරිත පිළිබඳ දැන ගන්නා වූ නුවණ විස්තර කරයි. බුදුරදුන් සුනීත වැනි පීඩිතයන්ට පිහිටවූයේ මේ ඥාන බලයෙනි.
හත්වන ඥාන බලය වන්නේ ධ්‍යානාදී සංකිලේස චෝදනා ඥානයයි. එනම් සත්වයන්ගේ ධ්‍යාන ආදී අධිගම චින්තාවන් දැන ගැනීමෙහි හැකියාවයි. පුහුදුන් ලෝකයේ මනුෂ්‍යයන් හට ඥානය නොමැති හෙයින් ඇතැමුන් තමන් මේ මේ මාර්ග ප්‍රතිපදාවන්ට හෝ ධ්‍යානයන්ට පැමිණ ඇතැයි මුලාවට පත්ව ඇති අයුරු වර්තමානයේදී ඔවුන් කරන විස්තර තුළින් පැහැදිලි වේ. එහෙත් බුදුරජාණන් වහන්සේලා තමා වෙත එන අයට තිබෙන්නා වූ එවන් බලයන් වේද ඉහතකී ඥාන බලය තුළින් මැනවින් වටහා ගනියි.
අටවන ඥාන බලය වන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය හෙවත් පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණයි. එනම් තමන් වහන්සේගේ අතීත ජාති කුල ගොත් නාම මාත්‍ර ක්‍රියාකාරකම් ආදිය ප්‍රකාශ කිරීමෙහි ස්මරන ශක්තියයි. ජාතක පාලියෙහි එන බොහෝ කරුණු කාරණා බුදුරදුන් දේශනා කරන්නේ මෙකී ඥාන බලයෙහි මහිමයෙනි.
නවවන ඥාන බලය ලෙස දක්වන්නේ දිබ්බ චක්ඛු ඥානයයි. එනම් අන් අයගේ අතීත ජාති කුල ගොත්, නාම මාත්‍ර ක්‍රියාකාරකම් ප්‍රකාශ කිරීමෙහි හැකියාවයි. ඇතැමුන් භවයෙන් භවය රැගෙන එන එවැනි පුරුදු නිරීක්ෂණය කරන බුදුරදුන් ඒවාට අතීත කර්ම ශක්තීන් ආදිය බලපා ඇති ආකාරය මැනවින් විවරණය කළ අවස්ථා බොහෝ ඇත. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන්ගේ අතීත භවයන් පිළිබඳව පවා මෙකී ඥාන ශක්තියේ බලයෙන් දේශනා කර ඇති අයුරු ථෝදෙය්‍ය බමුණා සම්බන්ධ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වේ.
අවසන් ඥාන බලය වන්නේ ආශ්‍රවක්ෂය ඥානයයි. එනම් කාමාදී ආශ්‍රවයන් සිතේ හට ගැන්මට ඉඩක් නොමැති වන තරමටම ඉඳුරන් සංවරව තබා ගැනීමේ හැකියාව සහිත විශිෂ්ට ප්‍රඥා මහිමයයි.
sathmaga(dot)org
