ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

shehanK

Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

    ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?


    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


    මෛත්‍රී සම්මා සම්බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ලිපියක් සකස් කරනමෙන් කිහිප දෙනෙක් ම ඉල්ලීම් සිදුකළ නිසා මේ ලිපිය සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරමි. පසුගිය ලිපි ගණනාවකින් ම අතීත බුදුවරයාණන් වහන්සේලා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බැවින් අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ව ද, කරුණු මෙ සේ ඉදිරිපත් කරන්නට අදහස් විය.
    පෙර ඉදිරිපත් කළ අතීත බුදුවරයාණන් වහන්සේලා කිහිපනමක් පිළිබඳ සකස් කළ ලිපිපෙළ සඳහා මෙ ම සබැඳිය භාවිත කරන්න.


    මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලොව පවතින වකවානුවක බව අමතක නො කරමින් ලිපිය කියවන මෙන් ආරාධනා කරමි.



    මෙ ම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි.


    මෛත්‍රී බුදුන් පහලවන කාලය
    මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

    උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.



    මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)
    මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.


    මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.
    අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.


    මෙලොව පහළ වීම.
    සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.


    අභිනිෂ්ක්‍රමණය
    උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

    මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.
    මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.


    මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.


    තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

    මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
    මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.



    අපි තවමත් සංසාරේ...
    තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ උතුම් නිර්වාණය පසක් කරගන්නා බව ථෙරවාද සම්ප්‍රදාය යි. ඒ අනුව රහත් බෝධියෙන් නිවන් දකින්නට පෙරුම් පුරන සත්වයන් හට අනිවාර්යයෙන් මසම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැසිය යුතු ය. අතීතයේ ලොව අසංඛය ගණනින් බුද්ධ ශාසන පහල වූ බවත් අනාගතයේ ද, එ සේ ම පහල වන බව ත් බුදුරාජාණන් වහන්සේ වදාළ හ. සත්‍යය නම් අප විසින් ඒ අතීත සර්වඥයන් වහන්සේලා සියලුදෙනා ගේ ම සම්බුද්ධ ශාසනයන් මගහැරගෙන ඇති බව යි. අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරදුන් ගේ ශාසනයේ නිවන් දැකීම ඉතා පහසු කරුණක් නො වන වග අප අකමැත්තෙන් වුව ද, තේරුම් ගත යුතු ය. එ ම බුද්ධ ශාසනය පහල වන සමය වන විට අප ආත්මභාව ලක්ෂ කොටි ප්‍රකෝටි ගණනින් මැරී උපදීමට පුළුවන. නරක, තිරිසන්, ප්‍රේත, ආදී ස්ථානවල උපත්තිය නො ලබන්නේ ය යි කිසි ම කෙනෙකු ට විශ්වාසයෙන් ප්‍රකාශයක් කල හැකි නො වේ. දෙව්ලොව බඹ ලොව උපදින සියලු දෙනා ද, මෛත්‍රී බුද්ධ ශාසනයේ පිහිට ලබා මගඵල ලබනවා ය යි කිව හැකි නො වේ. අනෙක් වැදගත් ම කරුණ වන්නේ කොතෙක් බුද්ධ ශාසන හමුවුව ද, රහත් බෝධිය සඳහා පාරමිතා සම්පුර්ණ කර නැති නම් එ ම පුද්ගලයා ට ඒ බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි බව ය.

    මේ මොහොතේ පවතින්නේ ද, බුද්ධ ශාසනයකි. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි වන්නේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයින්, පච්චේක සම්බෝධිය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයන් සහ රහත් බෝධිය සඳහා පාරමී සම්පුර්ණ නො කළ පුද්ගලයන් සඳහා පමණකි. නමුත් රහත් බෝධිය සඳහා පාරමිතා පිරූ තැනැත්තන් අද ද, සිටිය හැකි ය. උත්සාහවන්ත වීමෙන්, වීර්යය කිරීමෙන් ඔවුනට නිර්වාණාවබෝධය ලබාගත හැකි වන්නේ ය.


    කෙ සේ නමුදු අප ට මේ හමු ව ඇත්තේ දුර්ලබ බුද්ධෝත්පාදයකි. දුර්ලබ මනුසත්බවයකි. දුර්ලබ ක්ෂණ සම්පත්තියකි. එයින් නිසි පරිදි ප්‍රයෝජන ගතහොත් ඉක්මනින් ම සසර කෙටිකර ගැනීම ට හැකි වනු නො අනුමාන ය.
    තෙරුවන් සරණ යි!


    උපුටා ගැන්ම ..Link
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    mulu lipiyama kiyewwa.... godak watinawa.
    lipiya liyapu kenatath, share kala oba thumatath godak pin.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    එක් පොළෝතලයක බුදුවෙන්න පුලුවන් බුදුවරු 5 දෙනක්ට නම්, අට්විසි බුදුවරුන්ගෙන් අනෙකුත් බුදුවරු පහළ වුනෙ වෙනත් ග්‍රහලෝක වල කියල පිළිගන්න වෙනවා.මේ කාරණය ගොඩක් බෞද්ධ අයට කිඋවට පිළිගන්නේ නැහැ.ඇටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගණනය කරලා බලන විට,පෘතුවියේ ජීවය බිහිවෙන කාලයටත් එහා යනවා.මේ අනුව පෙර බුදු වරු බ්‍රහස්පති , අගහරු වැනි ලෝක වල ජීවය තිබෙන කාලයේ බිහි වන්න ඇති කියල සිතෙනව.මොකද මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ එන්නෙ බුදුවරු ශුන්‍ය කාලයකි.එවිට පෘතුවියෙ කාලය අවසාන වී ඇත.නැවත් බුදු කෙනෙක් බුහුවන්නට නම් පොළෝතලයක් බිහිවිය යුතුය.සිකුරු ග්‍රහයාගෙ වායු ගෝලයේ ඔක්සිජන් ස්තර හැදෙන්න පටන් අරන් කියල නාසා විද්‍යාඥයින් කියනව.එ අනුව මෛත්‍රී බුදුන්ට පසු සිකුරු මත ජීවයක් බිහිවෙන්න පුලුවන්.ඒ කාලය වන විට අපෙ සූර්යාගේ බලය අඩුවෙලා ජීවයක් පවතින්න සුදුසු කලාපයෙන් පෘතුවිය ඇත් වෙලා එය සිකුරු වෙත යොමු වෙන්න පුලුවන්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    වටිනා ලිපියක්.. තෙරුවන් සරණයි!

    iRvn7Nu.gif
    iRvn7Nu.gif
     
    • Like
    Reactions: shehanK

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    තෙරුවන් සරණයි!
    ොඩාක් ොඳ ලිපියක්.
    බෙදාගත්තාට ොඩාක පින්.
    ේ පින් බලෙන් මෛත්‍රී බුදුන් පාමුල නිවනින් සැනසෙන්නට ේතු වාසනා ේවා!:D
     
    • Like
    Reactions: shehanK

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හම්බයොන්ට කෙලින්න විතරයි බන් මේකෙ එවුන්ගේ ආගමට ජාතියට ආදරේ. මේවගේ දෙයක් කියවලා යමක් ධාරණය කරගන්න අය ගොඩක් අඩුයි. ධර්මය තවත් අයෙක්ට කියාදීම ලොකු පිනක්. උඹටත් ඒ පින ලැබෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි. වටිනා ත්‍රෙඩ් එකක්.
     
    • Like
    Reactions: Harry Potter

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    කොස්තාපල්;14417633 said:
    හම්බයොන්ට කෙලින්න විතරයි බන් මේකෙ එවුන්ගේ ආගමට ජාතියට ආදරේ. මේවගේ දෙයක් කියවලා යමක් ධාරණය කරගන්න අය ගොඩක් අඩුයි. ධර්මය තවත් අයෙක්ට කියාදීම ලොකු පිනක්. උඹටත් ඒ පින ලැබෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි. වටිනා ත්‍රෙඩ් එකක්.

    හරියටම හරි මචන්.මේ ලිපියෙන් කලයුතු නොකලයුතු දේවල් පැහැදිලිව කියල දීල තියෙනවා අනිත් ආගම විවේචනය කර කර ඉන්නවට වඩා බෞද්ධයෙක් විදියට අපෙන් වෙන්න ඕන දේ මතක් කරලා දෙන්නී මේක share කරේ.