You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දන් දීමෙන් පින් රැස්කර ගනිමු
සැප විඳින්ට කැමති කෙනා පුළුවන් තරම් පින් රැස්කරගන්ට ඕන. ඒකට හේතුව තමයි, ඒ පින මඟින් තමයි සැප උපද්දවල දෙන්නෙ. පිනේ විපාක විදියට සැප විඳින්ට පුළුවන්කම තියෙනවා. මේ විදිහට සැප ලබන්ට කැමති කෙනාට පින් රැස්කර ගන්ට පුළුවන් හොඳ විදිහක් තමයි දන්දීම. දන්දීමෙන් පින උපදිනව. ඒ විදිහට පින ඉපදුණොත්, ඒ පිනේ විපාකයක් විදියට සැප විඳින්ට පුළුවන්කම තිබෙනව.
බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ගෙයක් ගිනිගන්න කොට ඒ ගෙදර තිබෙන ඉතා වටිනා බඩු මුට්ටුවක් ඒ ගිනිගන්න ගෙයින් බැහැර කරගන්නව නම් යම් කෙනෙක්, ආන්න ඒ බැහැර කරගත්ත දේ අනාගතයේ ප්‍රයෝජනය පිණිස එයාට පවතිනවා. ආන්න ඒ වගේ කියල කියනව, මේ රාගයෙන් ගිනිගන්න ජීවිතය, ද්වේෂයෙන් ගිනිගන්න ජීවිතය, මෝහයෙන් ගිනිගන්න ජීවිතය තුළින් යම් දෙයක් ඉතුරුකර ගන්නව නම්, ඒ දන් දීල ඉතුරුකර ගන්න දේ. ඒ ගිනිගන්න ජීවිතයෙන් බැහැර කර ගත්ත දේ බවට පත්වෙන්නේ, දන්දීම මඟින් රැස්වෙන පින.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, යම් කෙනෙක් දන් දීල එමඟින් යම් පිනක් රැස්කර ගත්තොත්, ඒ පින එයාට මේ ජීවිතයට වගේම, ඊලඟ ජීවිතයටත්, සැප විපාක ලබාදෙන්ට පුළුවන් පිනක් බවට පත්වෙනව. හැබැයි දන්දෙනව කියන කාරණාව ඉතා අමාරු දෙයක්. ඒක ලෙහෙසියෙන් කෙනෙකුට කරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.
ඒකට විශාල වීරියක් ඕන. විශාල කැපකිරීමක් කරල තමයි දන් දෙන්ට පුළුවන්කම තිබෙන්නේ. දන්දෙන්ට ලෙහෙසියෙන් පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ, ගෙයක් ගිනිගන්න කොට ඒ ගේ තිබෙන වටිනා දෙයක් බැහැර කරගන්නව වගේ කියල.
ගිනිගන්න ගේකින් යමක් බැහැර කරගන්ට නම් විශාල වීරියක් ඕන, ඒ වගේම නුවණැත්තෙක් වෙන්න ඕනැ. එහෙම නැත්නම්, ඒ වීරිය නැති නුවණ නැති කෙනෙකුට ගිනිගන්න ගේ තිබෙන වටිනා දෙයක් බැහැර කරගන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. අන්න ඒ වගේම තමයි, මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනිගන්න ජීවිතේ තුළින් අපට යමක් ඉතුරු කරගන්ට ලැබනවානම් ලැබෙන්නේ, දන් පැන් දෙමින්, දානය විදිහට යමක් අපි පරිත්‍යාග කළොත්, එය තමයි ඉතුරු වන්නේ. ඒ සඳහා විශාල වීරියක් නුවණක් වුවමනා කරනව.
යම් කෙනෙක් පින ගැන විශ්වාස කරනවා නම්, පිනේ විපාක ගැන විශ්වාස කරනවා නම්, අන්න එයාට දන්පැන් දීම පිණිස වීරිය උපදිනව. ඒ විදියට වීරිය ඉපදුණොත්, එයා තමන්ගේ ජීවිතයට සැප ලබාගන්ට තිබෙන, එහෙම නැත්නම් තමාට පරිහරණය කරන්ට තිබෙන දේවල් අන් අයගේ සැප පිණිස අත්හරින්ට, පරිත්‍යාග කරන්ට එයා උත්සාහ කරනව.
ඒක කරන්ට එයාට පුළුවන්කම ලැබෙනව. ඒ නිසා අපි සැප කමති අය විදිහට කල්පනා කළ යුතුයි, තමාගේ ජීවිතය සඳහා පරිහරණය කරන දේවල් අන් අයගේ පරිහරණය උදෙසා, අන් අයගේ සැප උදෙසා පරිත්‍යාග කරන්ට. තමාගේ වස්තුව අන් අයගේ යහපත පිණිස අත්හරින කෙනාට සැප පිණිස ඒ අත්හැරීම උපකාර වෙනව. මේ විදිහට අපි දන්පැන් දෙන්ට පුරුදුවුනොත්, ඒක නියත වශයෙන් ම අපට සැප උපද්දවල දෙන්ට උපකාර වන පිනක් බවට පත්වෙනව.
මේ විදියට පින් කරගන්ට නම්, අපි ඒ පින ගැන හොඳට ඉගෙනගන්ට ඕන. පින කරන ආකාරය ගැනත්, පිනේ විපාක ගැනත් හොඳින් ඉගෙන ගත්තොත් තමයි අපට පින් කරන්ට හිත නැමෙන්නේ, පින් කරන්න හිත පිහිටන්නේ. අපිට පින ගැන, පිනේ විපාක ගැන හෙඳින් ඉගෙන ගන්ට පුළුවන්කම ලැබෙන්නේ පින ගැන අපට කියාදුන්, පිනේ විපාකය ගැන අපට කියාදුන්, ඒ ධර්මය අහල, ධර්මය හොඳින් ඉගෙන ගත්තොත්. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ තමයි අපට පින ගැන හොඳින්ම කියාදුන්නේ.
ඒ වගේම පිනේ විපාකය ගැන අපට කියා දුන්නෙත් භාග්‍යවතුන් වහන්සේ. ඉතින් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන කියා දෙන ඒ උතුම් ධර්මය හොඳින් ඉගෙන ගෙන, ඒ ධර්මය හොඳින් තේරුම් ගත්තොත් එයාට පින ගැන හොඳට ඉගෙන ගන්ට පුළුවන්කම තිබෙනව. පිනේ විපාකය ගැන එයාට හොඳට ඉගෙන ගන්ට පුළුවන්කම තිබෙනවා.
මේ විදිහට ධර්මය අහල, ධර්මය ඉගෙන ගන්න කෙනාට, දන්පැන් දීම මඟින් පින් රැස් කරගන්න ආකාරය ගැන හොඳට ඉගෙන ගන්ට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට ධර්මය හොඳින් අහල, දන්පැන් දෙන ආකාරය, දන්පැන් දීමෙන් පින් රැස්වෙන අකාරය, ඒ පිනෙන් ලැබෙන සැප ආදී දේ හොඳින් ධර්මය තුළින් ඉගෙන ගත්තොත්, එයා හොඳින් පිරිසිදු ආකාරයට සකසල දන්පැන් දෙන්ට පුළුවන් කෙනෙක් බවට පත්වෙනව.
ඒ විදිහට ධර්මයේ කියා තිබෙන ආකාරයෙන් සකසා දන්පැන් දුන්නොත් එයාට මහත් වූ පින් රැස් වනව. ආන්න ඒ විදයට පින් රැස්කරගන්න කෙනා මේ ජීවිතයේත් සැප සේ වාසය කරල, මතු ජීවිතයත් සැප අත්කරගන්ට තරම් භාග්‍යවන්තයෙක් බවට පත්වෙනව. අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, හොඳින් පින්කර ගෙන සැපවත් ජීවිතයක් ගත කරන්ට භාග්‍යවන්තයෝ වේවා කියල.
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008251&nav=504
අනිත්‍යය බව අදහා ගනිමු...............
ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිත කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ධර්මය යම් කෙනෙක් ඔය ආකාරයට ම ශ‍්‍රද්ධාවෙන් අදහා ගත්තොත්, ශ‍්‍රද්ධාවෙන් බැස ගත්තොත් අන්න එයාට කියනවා ”ශ‍්‍රද්ධානුසාරී කෙනා” කියල. එයාට කියනවා ”පෘතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා” කියල. එයාට කියනව ”සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා” කියල.
එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි, මෙන්න මේ කෙනා, සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳු කර්ම කරන්ට අභව්‍ය යි. එබඳු කර්ම එයා අතින් සිද්ධවෙන්නෙ නෑ” කියල දේශනා කරනවා. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල දේශනා කරනව. ඒ කොහොම කෙනා ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන හය අනිත්‍යය විදිහට තේරුම් ගත්ත කෙනා. අනිත්‍යයි කියල අදහා ගත්ත කෙනා යි.
මේ ආයතන හය අනිත්‍යයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙලා යන දේවල් කියල ශ‍්‍රද්ධාවෙන් අදහගත්ත නම්, අන්න එයාට කියන්නෙ ”ශ‍්‍රද්ධානුසාරි කෙනා” කියල. එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා තියෙන්නෙ. සතර අපායේ වැටෙන යම් කර්ම තියෙනව නම් එයා අතින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. මැරෙන්ට මොහොතක් තියල හරි එයා සෝතාපන්න වෙනව.
එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිල ද නැද්ද? සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාවක් එයාට ඉපදිලා. අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන් අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනව, අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක් ද කළ යුත්තේ? අපි පොත පත බලනව, දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම කතාව කරනව, පාඩම් කරනව. ධර්මයේ හැසිරෙනව යි කියල නොයෙකුත් ආකාර දේවල් අපි කරනව. මේ සියළු කටයුතු වලින් කුමක් ද අරමුණු වන්නෙ? කුමක් ද කළ යුතු වන්නේ? කුමක් කිරීම පිණිස ද? කුමක් උදෙසා ද? අපි මේ ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍යය තේරුම් ගැනීම පිණිස යි. දේශනාවන් ඉගෙන ගන්නෙත්, ඒව සාකච්ඡා කරන්නෙත් මේ ඔක්කෝම අපි කරන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම සඳහායි, වටහා ගැනීම සඳහායි යි, අවබෝධ කරගැනීම සඳහා යි.
අනිත්‍යය කියන ධර්මය අපි තේරුම් ගන්නෙ නැතුව මේ ධර්මයෙන් අංශු මාත‍්‍රයක ප‍්‍රයෝජනයක්වත් අපිට ගන්ට බෑ. මේ ධර්මය මුළුමනින් ම තියෙන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිස යි. අනිත්‍ය කියන ධර්මය අපි තේරුම් ගත්තොත් මේ ධර්මය පරිපූර්ණ වූ ප‍්‍රයෝජන ලබාගන්ට පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කරගන්ට තියෙන පරිපූර්ණ වූ ප‍්‍රයෝජනය මොකක් ද? දුකෙන් නිදහස්වීම, නිවන අවබෝධ කිරීම. එතකොට දුකෙන් නිදහස්වීමත් නිවන අවබෝධ කිරීමත් සිදුවෙන්නෙ, අනිත්‍යය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්. අනිත්‍යය තේරුම් ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස් වීමක්, නිවන අවබෝධ කිරීමක් නෑ.
ඒ නිසා ආරම්භයේදී ම අපි අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්ට ඕනැ. ඒකයි මේ ඇස අනිත්‍යයි, වෙනස්වෙලා යන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ ධර්මතාවය ශ‍්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා ”ශ‍්‍රද්ධානුසාරී” කෙනා බවට පත්වෙනව. එතනින් නේද නිවන් මගට පිවිසෙන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යය යි කියල දේශනා කළා නම් අන්න ඒ අනිත්‍යයි කියල අපිට පෙන්වා දුන් ඒ ධර්මය අදහා ගත්තොත්, එපමණකින් ම එයා නිවන් මගට බැසගත් කෙනා බවට පත්වෙනව. ඒ නිසා අපි විසින් කළ යුතු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් පරම ගම්භීර වූ, අනිත්‍යය කියන ධර්මය ශ‍්‍රද්ධාවෙන් අදහා ගැනීම යි.
ඒ නිසා මේ මොහොතේ හරි තේරුම් ගන්න, ඒ අනිත්‍යය ධර්මය අදහා ගැනීමෙන් ම යි, මේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ගත හැක්කේ. අනිත්‍යය කියන ධර්මය අදහා ගැනීමෙන් ම යි, මේ ධර්මයට පිවිසෙන්නේ. අනිත්‍යය කියන ධර්මය අදහාගන්නෙ නැති කෙනා, ධර්මයට පිවිසෙන්නෙ නෑ. නිවන් මඟට එයාට බැසගන්ට බැරුව යනව. එ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය හොඳට කියවන්න, අහන්න. අහල මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන ගැන ඒ පෙන්වා දුන් ධර්මය අදහා ගන්න.
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
4+ 
සිතේ පිරිසිදු බව ඇතිකරගැනීමට නම්..............
මේ සිත ධර්මයට අනුව පුරුදු කිරීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතාම අමාරු දෙයක්, නමුත් අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට තේරුම් ගත්තොත්, මේ සිත ධර්මයට අනුව පුරුදු කරන්ට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහෙන් භාහිර විදිහකින් අපිට මේ සිත හසුරුව ගන්න බෑ. ධර්මයට අනුව අපේ සිත යොමු කරගන්ට අපහසු නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයන් අපි තේරුම් ගත යුත්තේ.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා, මේ විදිහට හිතන්ට එපා මේ විදිහට හිතන්ට කියල දේශනා කරනව. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ අපිට හිතන්ට එපා කියල කිව්ව විදිහවල් තියෙනව හිතන්ට එපා කියල. අන්න ඒවගෙ හිතන්ට එපා කිව්ව විදිහවල් අපි තේරුම් අරගෙන, ඒක පිළිඅරගෙන එබඳූ සිතුවිලි අත්හරින්ට අපි පුරුදුවෙන්ට ඕනැ. ඊලඟට භාග්‍යවතුන් වහන්සේ කියනව මේ විදිහට හිතන්ට කියල අපිට කියනව. එතකොට අපි අන්න ඒ ධර්මය පිළිඅරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ හිතන්ට පුරුදුවෙන්ට ඕනැ. එතකොට අපිට පහසුවෙන් මේ ධර්මය පුරුදුකරගන්ට පුළුවන් කමක් තිබෙනවා.
මේ ධර්මය හිතට පුරුදු කරගන්ට බැරි, මෙතක් හිත පුරුදුවෙලා තියෙන්නෙ ධර්මයෙන් භාහිර අධර්මයට අනුව, එහෙම නැත්නම් බොහෝ කලක් අධාර්මික දේවල් හිතේ පුරුදු වෙලා තියෙනව. ඒ කියන්නෙ නොමඟ ගිය හිතක් තියෙන්නෙ. නොමඟ ගිය හිතකින් ධර්මය හුරුකරන්ට අපිට පුළුවන් කමක් නෑ. ඒ නිසයි අපි භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විදිහට තෝරගෙන ශාස්තෘන් වහන්සේ යමක්ද වදාලේ ඒ දේ ඒ ආකාරයෙන්ම අපි කළ යුත්තේ. එසේ කළොත් මේ සිත පිරිසිඳූ වෙන එක වලක්වන්ට කාටවත් බෑ. මේ සිත ඒකාන්තයෙන්ම පිරිසිදු වෙනවා මයි.
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
නිදහස් වියයුතු කාමයන්...
ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ.
මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන කාරණයයි.
ඒ විදිහට ධර්මය හඳූනා ගන්න කෙනා යළි යළිත් දුකේ ඉන්ට කැමති ද? කැමති නෑ. එයා දුකෙන් නිදහස් වීමට කැමතියි. අන්න එයා තණ්හාව අතහැරීම පිණිස නිවන් මඟ වඩන්ට කැමති වෙනව. අන්න ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගනිද්දී, මේ ධර්මය තුළ පෙන්වා දෙන අර්ථය, සැබෑ පණිවිඩය හඳූනා ගත යුතුයි.
ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න භාග්‍යවතුන් වහන්සේ කුමක් ද අපට පෙන්වා දුන්නෙ කියල. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ..? දුකෙන් නිදහස් වීම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකයේ යම් යම් පීඩාවන් හටගැනීමට කාමයන් මුල් වෙනවා කියල. මේ කාම ලෝකයේ තමයි අපි ඉන්නෙ. මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය.. මේ ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස වාසය කරන ලෝක, ප්‍රිය රූප, ශබ්ධ, ගඳ, රස, පහස කියන මේවායින් සතුටු වෙන ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ධ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන මේවා මුල් වෙලා තමයි මේ ලෝකයේ යම් දුක් පීඩා තියෙනවා නම් අපට උපදින්නේ.
භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, අපිව මදුරුවො කනව, ඒ වාගේ ම අපට මැස්සන්ගෙන් කරදර තියෙනව. මේව පවා කාම ලෝකයේ උපන් නිසා කියල අපට පෙන්වා දෙනව. බලන්න අව්වෙන් කරදර තියෙනව, වැස්සෙන් කරදර තියෙනව, සුළඟින් කරදර තියෙනව. සීතලෙන් කරදර තියෙනව, උණුසුමෙන් කරදර තියෙනව. මේ ඔක්කොම කුමක් නිසා ද? කාම ලෝකයේ ඉපදුණු නිසා යි.
නමුත් බ්‍රහ්ම ලෝකයේ මැසි මදුරු උවදුරු තියෙනව ද? නෑ. වැස්සෙන් අව්වෙන් සුළෙඟන් පීඩා තියෙනව ද? ඒ ලෝකයේ ඒ පීඩා නෑ. මේ වගේ කාමයන් නිසා විඳින පීඩා අපි තේරුම් ගත්තොත්, මේ කාම ලෝකයට අපි කැමති වෙන්නේ නෑ. ඒ කාමයන්ගෙන් දුක් උපදවනවා කියල තේරුම් ගත්ත කෙනා ඒ ගැන අකමැත්ත උපදවා ගන්නව. එතකොට එයාට ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් තියෙනව. අපි මේ කාමයන් ගැන තියෙන ඇල්ම බැහැර කරගන්ට කල්පනා කළොත්, මේ කාම ලෝකයේ විඳින අනේක ප්‍රකාර දුක් පීඩා දුරුකරගන්ට අපට පුළුවන් කමක් තියෙනව.
එහෙම නැතිනම් මේ ලෝකයේ කාමයන්ට ගිජු වෙලා කාමයන් ම සොය සොයා වාසය කළොත් යළි යළිත් අපට දුක් විඳින්ට සිදු වෙනව. ඒ නිසා හොඳට තේරුම් ගන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසෙන කලක ඒ ධර්මයේ කියා තියෙන විදිහට මේ තමයි දුක කියල දුක ගැන හොඳට ඉගෙන ගන්න. දුකේ හටගැනීම ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේ ම දුකේ නැතිවීම ගැනත්, ඒ දුක නැතිවන විදිහත් ඉගෙන ගෙන මේ දුකින් නිදහස් වීමට කටයුතු කරන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
«««පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.»»»
::::දිනමිණ දවසේ සිතුවිල්ල::::