දැඩි සුළඟින් මරණ 2 යි
16 ක් තුවාල ලබති! 1245 ක් අවතැන්
සිරිමන්ත රත්නසේකර, අනුරාධපුර - පර්සි කුරුනේරු
දිවයිනේ පළාත් හයක දිස්‌ත්‍රික්‌ක අටකට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ (14 වැනිදා) වන විට කාන්තාවක ඇතුළු දෙදෙනකු (2) මියගොස් දහසය දෙනකු (16) තුවාල ලබා තවත් පුද්ගලයන් එක්‌දහස් දෙසිය හතළිස්‌පස් දෙනකු (1245) අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
අවතැන් වූ පිරිස පවුල් තුන්සිය පනස් හයකට අයත් බව එම මධ්‍යස්‌ථානය පවසයි.
එසේම මෙම සුළං තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි පනස් දෙකක් (52) සහ අර්ධ නිවාස හානි එක්‌දහස් පහක් (1005) වාර්තා වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
පවුල් පනස්‌පහකට අයත් පුද්ගලයන් දෙසිය දාහතරක් ආරක්‍ෂිත ස්‌ථාන හතරක් වෙත යොමුකර ඇතැයි ද එම මධ්‍යස්‌ථානය කියා සිටී.
මෙම සුළං හේතුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය, මහනුවර යන දිස්‌ත්‍රික්‌කවලට වන අතර එහි පවුල් තුන්සිය දාහතකට අයත් පුද්ගලයන් එක්‌දහස් එකසිය තිස්‌හත් දෙනෙක් අවතැන්ව සිටිති.
එසේම නිවාස තිහක් පූර්ණ වශයෙන් ද තවත් නිවාස දෙසිය අසූහතක් අර්ධ වශයෙන් ද හානි වී ඇත.
අනතුරු වැඩිම හානියක් බස්‌නාහිර පළාතේ කොළඹ හා කළුතර දිස්‌ත්‍රික්‌කයට සිදුව ඇති බවත් එහි පවුල් විසිහතරකට අයත් පුද්ගලයන් අසූදෙනකු අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
මියගිය කාන්තාව අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර තිඹිරිකඩවල පාරේ පදිංචි දීපිකා උදයංගනී නමැති තිස්‌පස් හැවිරිදි එක්‌දරු මවකි. විශාල පොල් ගසක් ඇයගේ හිස මතට කඩා වැටී අනතුර සිදුව ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.
ඊයේ (14 වැනිදා) දහවල් 12.15 ට පමණ ඇය මෙම අනතුරට මුහුණපා තිබේ.
පෙර පාසල නිමවීමෙන් පසු සිය දරුවා රැගෙන සැමියා සමඟ යතුරුපැදියෙන් නිවසට පැමිණ ඇති එම කාන්තාව දරුවා නිවස අසල තබා නැවත යතුරුපැදියේ තිබූ බඩු මල්ලක් රැගෙන යැමට මාර්ගයට ගිය අවස්‌ථාවේ එම පොල් ගස කඩාවැටී ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරින් ඇගේ සැමියාට ද සුළු තුවාල සිදුවී ඇත.
අනෙක් මරණය ඉකුත් 12 වැනිදා සිදුව ඇති අතර ගසක අත්තක් කඩාවැටී එසේ මියගොස් ඇත්තේ වැලිමඩ බොරලන්ද කන්ද පුහුල්ගොඩ ගලගොඩගම පදිංචිව සිටි ආර්. ඩී. කරුණාතිලක නමැති හතළිස්‌පස් හැවිරිදි අයෙකි.
කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය, බදුල්ල, මුලතිව්, රත්නපුර හා හම්බන්තොට යන දිස්‌ත්‍රක්‌කයන් මෙසේ දැඩි සුළං බලපෑමට ලක්‌ව තිබිණි.