ලොව පහළ වූ ශාක අතුරින් ආශ්චර්යවත් ශාක බීජයක් ලෙස රුද්‍රාක්ෂ හඳුන්වයි. පුරාණ වේද ග්‍රන්ථවල සඳහන් දේව කතාවලින් හෙළිදරව් වූ පරිදි දෙවියන් විසින් මනුෂ්‍යයාට දායාද කළ මහාර්ඝ වාස්තුවකි රුද්‍රාක්ෂ. එනම් රුද්‍රාක්ෂයට මහ බ්‍රහ්ම, ශ්‍රී විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ හිමිකම පවතී. රුද්‍රාක්ෂය මඟින් මනුෂ්‍යයාට දෙවියන් සමඟ සන්නිවේදනය කිරීමට හැකි බව අත්දැකීම්වලින් හෙළිවී ඇත.
රුද්‍රාක්ෂයට නිසි පරිදි බීජ මන්ත්‍ර, ස්තෝත්‍ර, ජපවිධි, පුද පූජා මඟින් බලය වර්ධනය වූ පසු සන්නිවේදනය පවත්වා ගත හැකිය. පුරාණ ඍෂිවරුන් මෙන්ම වර්තමානයේද හිමාල අඩවියේ සිටින යෝගීන්/තවුසන් දෙවියන් සමඟ කතා කිරීමට, දර්ශනය වීමට, ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමට, දීර්ඝායුෂ විඳීමට, ස්වර්ග මෝක්ෂ සම්පත්තියට රුද්‍රාක්ෂ උපයෝගී ආදේශක මෙවලමක් කරගෙන ඇත.
සැබවින්ම රුද්‍රාක්ෂ දරන්නා එය සුපිරි ශුද්ධ වස්තුවක් ලෙස භාවිත කළ යුතු අතර ඊට අදාළ වත් පිළිවෙත් භාවිත කළ යුතුය. අදාළ දෙවිවරුන්ට පුද පූජා, ගරු බුහුමන් පැවැත්විය යුතුය. නිර්මාංස, මතින් තොර, ගුණ යහපත් දිවි පෙවෙතක් ගත කළ යුතුය. එවිට රෝග නිවාරණයට, ලෞකික දියුණුවට, මානුෂික අපේක්ෂා සාක්ෂාත් කර ගැන්මට හැකිවෙයි. මේ සඳහා රුද්‍රාක්ෂය ප්‍රදර්ශන භාණ්ඩයක්වත්, ශරීරාලංකාර ආභරණයක්වත් නොකළ යුතුය. දැනුමත්, බුද්ධියත්, භක්තියත් මේ සඳහා තිබිය යුතුය.
බොහෝ පුද්ගලයන් කරනුයේ මැණික් මුද්දක් හෝ යන්ත්‍රයක් හෝ පැලැඳ සියල්ල ඊට පවරා ජීවිතය පවත්වාගෙන යෑමයි. නමුත් රුද්‍රාක්ෂය නිතර පිරිසුදු කිරීම, වත්පිළිවෙත් කිරීම, ස්තෝත්‍රාදිය කීම, දෙවියන්ට පුද පූජා තැබීම මඟින් නොසිතූ විරූ පිහිටක් ලද හැකියි.
ඒ සඳහා සුදුසු රුද්‍රාක්ෂ වර්ගය, දෙවියන් හා ග්‍රහ දෙවියන් හඳුනාගත යුතුය.
වර්ගය - දෙවියා සහ ග්‍රහයා - ප්‍රයෝජනය පිළිවෙලින් පහත දැක්වේ.
(1 මුඛී) ඒක මුඛී - ඊශ්වර, රවි - ආධ්‍යාත්මික දියුණුවට, සාමකාමී ජීවිතයට, භෞතික දේට නොඇලීමට, සුපිරි ආධ්‍යාත්මික තත්ත්වයට
(2 මුඛී) ද්විමුඛී - ශිව පාර්වතී සඳු - මිත්‍රශීලී පවුල් ජීවිතයට, මිත්‍ර සමාගම් බහුලවීමට, ගුරු ශිෂ්‍ය, අඹු සැමි, පිය පුතු මනා සබඳතාවට
(3 මුඛී) ත්‍රිමුඛී - අග්නිදේව කුජ - හැම අතින්ම බලය හා ශක්තිය වර්ධනයට, මානසික ආතතිය දුරුවීමට, අතීත කර්ම දුරුවීමට
(4 මුඛී) චතුර් මුඛී - මහා බ්‍රහ්ම බුධ - සාර්ථක අධ්‍යාපනයකට, නිර්මාණාත්මක හැකියාවට, ගුරුවරුන්ට, කථිකාචාර්යවරුන්ට, විද්‍යාඥයන්ට, කලාකරුවන්ට, ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට
(5 මුඛී) පංච මුඛී - කාලාග්නිදේව ගුරු - ධාරණ ශක්තිය වර්ධනයට, අතීත මතක අවදිවීම අනපේක්ෂිත මරණ වැළැක්වීමට
(6 මුඛී) සය මුඛී - තාර්කිකේය සිකුරු - අධීක්ෂණ, කළමනාකරණ, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නියැළෙන්නන්ට, නීතිමය ගැටලු නිරාකරණයට
(7 මුඛී) සප්ත මුඛී - මහා ලක්ෂ්මී ශනි - ආර්ථික අපහසුතාව නැතිවීම, ව්‍යාපාර කඩා වැටුණු අයට, අපේක්ෂා භංග වූ අයට, සම්පත් සාධනයට, සෙනසුරු ඒරාෂ්ටක අපල දුරුවීමට
(8 මුඛී) අෂ්ට මුඛී - ගණ දෙවි රාහු - සංවිධාන ව්‍යාපෘතිවල යෙදෙන්නන්ට, මානසික කලකිරීම් දුරුවීමට, වාද විවාද ජයග්‍රහණයට, ආර්ථික දියුණුවට, බුද්ධි වර්ධනයට
(9 මුඛී) නව මුඛී - දුර්ගා දේවිය කේතු - කාන්තාවන්ගේ ආරක්ෂාවට, හතුරු බල බිඳීමට, නාමයට, කීර්තියට, ප්‍රසිද්ධියට, ආත්ම ශක්තියට.
(10 මුඛී) දශ මුඛී - ශ්‍රී විෂ්ණු නව ග්‍රහයන් - නීතිමය ගැටලු නිරාකරණයට, හතුරුබල බිඳීමට, නවග්‍රහ අපල බිඳීමට
(11 මුඛී) එකළොස් මුඛී - හනුමන් - ව්‍යාපාර ස්ථාවරත්වයට, දුගී බව නැතිවීමට, භයානක රෝග වැළැකීමට, වෘත්තීය හා ව්‍යාපාර දියුණුවට, එතෙර බාධක දුරු වීමට.
(12 මුඛී) ෙදාළොස් මුඛී - සූර්යදිව්‍ය - රාජකාරි හා සමාගම් හි බැබළීමට, ආර්ථික අතින් දියුණුවට, භෞතික හා දේපළ දියුණුවට පරිපාලන හැකියාව වර්ධනයට, මිත්‍ර සබඳතා හා ගරුත්වයට
(13 මුඛී) තෙළෙස් මුඛී - ඉන්ද්‍ර හා කාමදේව - නායකත්ව බලයට, නාමය කීර්තිය ඇතිවීමට, ආකර්ෂණය, කලා නිර්මාණ දියුණුවට, ලේඛන කලාවට, කතාවේ දක්ෂතාවට, ප්‍රකාශන හැකියාවට, සාර්ථක යුගදිවි ආස්වාදයට
(14 මුඛී) තුදුස් මුඛී - ඊශ්වර - කුණ්ඩලනී ශක්තිය ලැබීමට, මතුභවය උසස්වීමට, ව්‍යසන විපත් දුරුවීමට, වත් පෝසත්කම් ආරක්ෂාවට, අසහනය දුරුවීමට, වාසනාව ඇතිවීමට
(15 මුඛී) පසළොස් මුඛී - පශුපති (ශිව) - බලාපොරොත්තු නොවූ පරිදි මූල්‍ය ලාභ, දේපළ වස්තු ලාභ, ප්‍රාර්ථනා ඉටුවීමට, උසස් සිතුවිලි ඇතිවීමට
(16 මුඛී) සොළොස් මුඛී - ශ්‍රී රාම - සෑම අතින්ම ජයග්‍රහණයට, කීර්තියට, ප්‍රසිද්ධියට හා ගරුත්වයට, නිරෝගීකමට, ධන සම්පත් ලැබීමට, හතුරු බල මර්දනයට
බද්ධ වූ රුද්‍රාක්ෂ යුගලක් - ගර්භ ගෞරී ශංකර් (ශිව - උමා) - ගබ්සා වීම වැළකීමට, විවාහ ඉක්මන් වීමට, දරු උපත් සාර්ථක වීමට
ප්‍රවීණ අංක විද්‍යා ජේයාතිෂවේදී
ජේ.ඒ.ඩී. පෙරේරා