ලීෆ් ගැන සිංහලයෙන්
https://www.facebook.com/groups/thulawa/permalink/1361927747164585/
![]()
බොහෝවිට නිසාන් ලීෆ් වාහනය ගැන සිංහලයෙන් මේ තාක් ලියැවී ඇති හොඳම ලිපිය මෙය විය හැකිය!
![]()
වාහන විත්ති 38 - නිසාන් ලීෆ්
... දින කීපයකට පෙර අය වැයෙන් මේ වාහනය රුපියල් ලක්ෂ 9කින් අඩු වන බවට තොරතුරු ලැබිණ. ලක්ෂ 9 කෙසේ වුවත් ලක්ෂ 3 -4 කින් වත් මෙය අඩු වීම සතුටට කාරණයක්. තෙල් මිළ ගැන මෙන්ම කාබන් පාදය ගැන හිතන අය මේ වාහනේ ගැන බොහෝ සැලකිළිමත් වෙනවා ...
...මේ වාහනයෙත්, ඔබ භාවිතා කරන ස්මාර්ට් ෆෝන් එක අතරෙත් එතරම් ලොකු වෙනසක් නැත. පෙට්‍රල් වාහනයක චලනය වන කෑලි 2000ක් පමණ ඇත. එහෙත් මෙහි ඇත්තෙ කෑලි 25 කට අඩු ප්‍රමාණයකි. එසේ හෙයින් 'නඩත්තුව සඳහා යන මුදළක් යන්නෙම නැහැ' කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ ...
… කරුණු කීපයක්, විශේෂයෙන්ම බලය සසඳා බැලීම, බැටරි සහ අමතර බලය ගන්නා ක්‍රම ගැන යමක් ලියන්නට සිතුවෙමි ...
… 2012 නිසාන් ලීෆ් එකක ඔබ ගමන් කලොත්, ඉඳ ගන්නා සීට් වල ‘හෙඩ් රෙස්ට්’ එක එහි නැත්නම් එයට ගොඩ වෙන්න එපා. රියදුරා D ගියරයේ ඉක්මන් ත්වරණයක් ගතහොත්, ඔබගේ බෙල්ලට හානි ඇති වන්නට පුළුවන්. (Whiplash iinjuries) මෙයට හේතුව මේ වාහනයේ ඇති අධික ත්වරණයයි. 1800 CC කාණ්ඩයේ, ටර්බෝ නැතිව ගත හැකි වැඩිම අශ්ව බලය ඇති ‘හොණ්ඩා සිවික් වාහනය’ සමඟ මෙය සසඳා බැලුවෙමි ...
![]()
... මා හොණ්ඩා වාහනය එලවූ අතර මගේ ජපන් මිතුරා ලීෆ් රථය පැදවූවේය. පටන් ගැන්මේදී මොන විදියකින් වත් ලීෆ් රථයට කිට්ටු කල නොහැකි විය. එහෙත් කිලෝ මීටර 100 පරාසයට කිට්ටු වෙන විට නම් හොණ්ඩා රථයට ලීෆ් රථය පසු කිරීමට හැකි විය. මේ පරීක්ෂණය ලංකාවේ කරන්නේ නම්, ‘හයි වේ’ එකක් වැනි තැනක මිසක වෙන පාරවල් වල කළ යුතු නැත ...
… මේ අපූරු ‘පික් අප්’ එක ලීෆ් රථයට ලැබුනේ කෙසේද? කෙටියෙන් කිවහොත්, ඛනිජ තෙල් දහනයෙන් දුවන වාහනයක බලය සහ ටෝර්ක් එක, එම වාහනයේ දඟර කඳේ වේගයට තරමක් අනුලෝමව සමානුපාතිකය. ලීෆ් වැනි රථයක බලය උපදවන්නේ කිලෝ වොට් 80ක නිව්ටන් මීටර් 280ක ටෝර්ක් එකකින් යුතු විදුළි මෝටරයකිනි. එහෙයින්, ඉහත කී අභ්‍යන්තර දහන එන්ජින් ආකාරයට මේ විද්‍යුත් වාහනය ක්‍රියාත්මක නොවේ ...
... එනම් වේගය ‘ශුන්‍යය’ වන අවස්ථාවේ පවා, ලීෆ් රථයේ ටෝර්ක් එක එකම වේ. ඔබ විදුළි ෆෝක් ලිෆ්ට් එකක් හෝ, ගොල්ෆ් පිටිවල භාවිතා කරන ක්ලබ් කාර් එකක් එලවා ඇත්නම්, ලීෆ් රථයද එසේම ක්‍රියා කරන බව තේරුම් ගනු ඇත. වේගයට සාපේක්ෂව ටෝර්ක් එක වෙනස් වන ආකාරය තේරුම් ගැනීම සඳහා, මේ පෝස්ට් එකේ දමා ඇති කාලයට සාපේක්ෂව ත්වරණය වගුව බලන්න. එහි සාමාන්‍ය ඛනිජ තෙල් වාහනයකට සාපේක්ෂව විද්‍යුත් වාහනයක ටෝර්ක් එක හැසිරෙන අන්දම ඔබ දකිනු ඇත ...
… කෙසේ හෝ මෙවැනි ඉහල ටෝර්ක් එකක් ගැනීමේදී බැටරිය ඉක්මනින් ක්ෂය වෙන බව පැහැදිළිය. මේ හේතුව නිසා, පසුව ආ ලීෆ් රථවල මෝටරය තරමක් කුඩාවට තනා ඇත. මෙතනදී වාහනය වැඩි දුරක් ධාවනය කරවීම නිසාන් ඉංජිනේරුවන්ගේ අරමුණ විය. {මගේ පුද්ගලික අදහස නම්, පැරණි (2012) වාහනය, අළුත් එකට වඩා හොඳය යන්නය. එහෙත් නගරයේ ධාවනය සඳහා පමණි. ට්‍රැෆික් ලයිට් වල නවතා ඇති වාහන සියල්ල අබිබවා මුලින්ම යාම සතුටකි. විශේෂයෙන් ටර්බෝ එකක් සවි කර ඇති වාහනයක් සමඟ ඉලෙක්ට්‍රික් වාහනයක් රේස් එකක් ගොස්, ටර්බෝ වාහනය පැරදවීම සතුටකි.}…!!!
… මෙසේ වේගයෙන් ධාවනය වන D අවස්ථාව ඔබට අනවශ්‍ය නම් ‘Economy’ හෙවත් ‘ECO’ අවස්ථාවේ වාහනය ධාවනය කල හැක. මේ අවස්ථා දෙකේම Regenerative breaking ක්‍රියාත්මක වේ. එහෙත් ඒ ක්‍රියාත්මක වීමේ ක්‍රමය පමණක් වෙනස් වේ. කල්පනාවෙන් ඔබ මීටරය දෙස බැලුවහොත් ඒ ආරෝපණය වීමේ වෙනස ඔබ තේරුම් ගනු ඇත. D අවස්ථාවේ එසේ ආරෝපණය වීමේ සීඝ්‍රතාවය අඩු වේ ...
… විද්‍යුත් රථ ගැන කතා කිරීමේදී එහි ඇති ලිතියම් බැටරිය ගැන විශේෂයෙන් සාකච්චා කල යුතුය. ලිතියම් සහ එහි රසායනික සංයෝග උග්‍ර විෂ වේ. කිසියම් ආකාරයකින්, ලිතියම් හෝ එහි සංයෝග, ජල ධාරා, උල්පත් වැනි තැන් වලට නිරාවරණය වීම විශාල ප්‍රශ්නයක් වේ. එසේ හෙයින්, මේ බැටරි ප්‍රතිචක්‍රීයකරණය සඳහා ලංකාවේද ඉතා තද නීති රීති තිබිය යුතු වේ. බැටරියකට ආයු කාලයක් ඇත ...
… ඒ ආයු කාලය පසු වූ වාහනයක බැටරිය මාරු කල යුතුමය. පැරණි බැටරිය සම්බන්දව ලංකාවේ කොම්පැණි කෙසේ ක්‍රියා කරන්නේදැයි නොදනිමි. මෙන්න මේ හේතුව නිසා, අනිවාර්යයෙන්ම පරිසර නීති ඉදිරියට ගෙන ආ යුතුය ...
![]()
… ලීෆ් රථයක 24 kWh බැටරිය නරක් වෙන ක්‍රම දෙකකි. එකක් නම්, එහි ඇති සෙල් කීපයක් (විදුළි කෝෂ) පමණක් නරක් වීමය. එවිට වාහනය, බාහිර පරිඝනකයකට සම්බන්ද කර එම නරක වී ඇති සෙල් සොයා ඒවා පමණක් ඉවත් කිරීම කල හැක. එහෙත් මුළු බැටරියේම සෙල්ස් වල ධාරාව රඳවා තබා ගැනීම එකම ආකාරයට අඩු වී යාම සිදු වුවහොත් නම්, මුළු බැටරියම මාරු කරනවා හැර වෙන විකල්පයක් නම් නැත. රථයේ ඇති පරිඝනකයෙන්, එක් එක් බැටරි වල වෝල්ටීයතාවය, ආරෝපණය වන ප්‍රමාණය, සෙල්ස් වල උෂ්ණත්වය, වැනි දේ මෙන්ම, වැඩි ආරෝපිත තත්වයන් මඟ හැරීම, වැඩි උෂ්ණත්ව තත්ත්ව මඟ හැරීම, සෙල් එකක් ක්‍රියා විරහිත වීම දැන ගැනීම මෙන්ම වාහනය විශාල අනතුරකදී සම්පුර්ණ බැටරිය ක්‍රියා විරහිත කිරීමද කල හැක ...
![]()
… ලංකාව, වැසි අධික රටකි. එසේ හෙයින්, වැසි නිසා වාහනයට ඇතිවිය හැකි හානි අවම කිරීම ගැන දැන ගැනීම වැදගත් වේ. ඉහත කී නිසාන් ලීෆ් රථයේ බැටරිය සම්පුර්ණයෙන්ම ජලයට ප්‍රතිරෝධයක් දක්වයි. මෙහිදී නිසාන් කොම්පැනියෙන් කරන ලද පරීක්ෂණ, ඔබට මේ පෝස්ට් එකේ දමා ඇති පින්තුරයෙන් පෙනෙනු ඇත. මින් පෙර ලියූ පෝස්ට් එකක කෙනෙක් අසා තිබුනේ, ‘ලීෆ් වාහනයක් ආරෝපණය කරන්නේ, ගල් අඟුරු වලින් ක්‍රියාත්මක වන බලාගාර වලින් නිසා, සාමාන්‍ය ඛනිජ තෙල් වලින් දුවන වාහනයක් ලෙසම විද්‍යුත් වාහනය මගින් කාබන් විමෝචනය සිදුවන බවය. බැලූ බැල්මට ඔහුගේ තර්කය සාධාරණය. එහෙත් ලංකාවේ නම් එය එසේ නොවේ ...
![]()
… හේතුව ලංකාවේ විදුළි බලාගාර වලින් 30-40 % පමණ ශක්තිය ලබා ගන්නේ ජල විදුළි ක්‍රමයෙන් වීමය. ජල විදුළියෙන් බලය ලබා ගැනීමේදී ඇතිවන කාබන් විමෝචනය අවමයක් වේ. කාර්මික රටක් නොවන ලංකාවේ විදුළි පරිභෝජනය, දවසේ එක් එක් වෙලාවල්වලට වෙනස් වේ. අඩුම විදුළිය වැයවෙන අවස්ථාවේ, ඉහත කී ප්‍රතිශතය තවත් වැඩිවේ. මෙන්න මේ අවස්ථාවල් වල විද්‍යුත් වාහන ආරෝපණය කල හොත්, වාහන මගින් කාබන් විමෝචනය අඩු කිරීමට එය මහත් පිටුවහලක් වනු ඇත. මේ ක්‍රමය ලංකාවේ යෝජනා කල බැව් දනිමි. අද දින එය ප්‍රායෝගිකව වෙනවාද නැද්ද යන්න ගැන නම් නොදනිමි. විද්‍යුත් රථයක් ආරෝපණය කිරීම සඳහා විදුළි පරිභෝජනය අඩුම අවස්ථාව පාවිච්චි කිරීම ඉහත ප්‍රශ්නය මඟ හරවන්නකි ...
… බැටරිය ආරෝපණය කිරීම කල හැකි ක්‍රම කීපයක් ඇත. එකක් නම්, ඉතා කෙටි කාලයකින් එය ආරෝපණය කිරීමයි. අනෙක් ක්‍රමය වැඩි කාලයක් භාවිතා කර එය ආරෝපණය කිරීමයි. දෙවන ක්‍රමය බැටරියට වඩාත් ගුණ දායක වේ. බැටරියක් කල් පවතින්නට නම්, කුඩා ධාරාවල් වලින් එය ආරෝපණය කල යුතු බව සරළ සිද්ධාන්තයකි. මේ සඳහා ඇති හොඳම ක්‍රමය නම්, සූර්ය බලය යොදා ක්‍රියාත්මක කරන, ග්‍රිඩ් එකට සම්බන්ද ඉන්වර්ටරයක් හරහා ගන්නා බලයකින් ආරෝපණය කිරීමයි ...
… මේ ආකාරයේ ක්‍රමයක් මාසයකට යුනිට් 100ට අඩු විදුළි බලයක් වැය කරන නිවසකට නම් යෝග්‍ය නැත. මෙයට වඩා බලයක් වැය වන විට ඒ සඳහා සූර්ය බල පද්ධතියක් ඇටවීමට යම්කිසි ප්‍රාග් ධනයක් අවශ්‍ය නිසා, සැමට එය කල නොහැක. එහෙත්, මේ ක්‍රමයේ කුඩා ඇටවුමක් කෙනෙක්ට ලෙහෙසියෙන් මෙන්ම අඩු මුදලකට තනා ගත හැක. මගේ ටැන්සානියානු හිතවතෙක් ඔහුගේ විද්‍යුත් බයිසිකලය ආරෝපණය කරන්නේ සූර්ය බලයෙනි. ඔහු ඉහත කී ග්‍රිඩ් ක්‍රමය භාවිතා කරන්නේ නැත. ඒ වෙනුවට ලෙඩ් බැටරි කිහිපයක් දිනපතා සුර්යාලෝකයෙන් ආරෝපණය වේ. එමඟින් ඔහු බයිසිකලයේ බැටරිය රාත්‍රී කාලයේ ආරෝපණය කර ගනී ...
… මේ කුඩා ධාරාවක් මගින් ලීෆ් රථයේ බැටරිය ආරෝපණය කලද, ඒ අවස්ථාවේ ඉන්වර්ටරය සිසිළනය ක්‍රියාත්මක වේ. ලීෆ් රථයක් ආරෝපණය වන විට බොනට්ටුව ඇර හොඳින් ඇහුම්කන් දෙන්න. පොම්පයක් වැඩ කරන ශබ්දය මෙන්ම බැටරි සිසිළන යාන්ත්‍රණයේ ද්‍රවය බට තුල චලනය වීම ඔබ දකිනු ඇත. සාමාන්‍ය නිවසක ආරෝපණය වීමේදී ඇම්පියර් 14 ක් , 230 වොල්ට්ස් වලින් ගනී. මෙසේ වාහනය සම්පුර්ණයෙන් ආරෝපණය වීමට පැය හතර හමාරක් පමණ ගනී. සරළ ගණනයකින් මෙවිට ගන්නා බලය ඔබට සොයා ගත හැක. එය දළ වශයෙන් කිලෝ වොට් පැය (14 x 230 x 4.5) වේ. එනම්, කිලෝ වොට් පැය 14.5 කි. එනම් යුනිට් 14.5 කි. මේ ශක්තිය ගබඩා වීම මගින් දළ වශයෙන් කිලෝ මීටර 100 ක් ඔබට වාහනය ධාවනය කල හැක ...
… මේ කිලෝ මීටර ප්‍රමාණයම, ලීෆ් රථයට තරමක් සමාන හොණ්ඩා සිවික් රථයක් මගින් යන්නට ලීටර් 10ක පෙට්‍රල් අවශ්‍ය වේ. එනම් ඔබට ඒ පෙට්‍රල් ප්‍රමාණය සඳහා රුපියල් 1250ක් වැය කිරීමට සිදු වේ. මෙතනදී ඉහත අප කතා කල පරිසර සාධක මෙන්ම ලංකාවට අදාළ ආර්ථික සාධකද අමතක කල නොහැක ...
... පෙට්‍රල් එක ලීටරයක් ග්‍රෑම් 750ක් වේ. එහි 87% ක කාර්බන් ප්‍රමාණයක් ඇත. එනම් ග්‍රෑම් 652 ක කාබන් පෙට්‍රල් එක් ලීටරයක ඇත. මෙය දහනය කිරීම සඳහා ඔක්සිජන් ග්‍රෑම් 1740ක් අවශ්‍ය වේ ...
… එවිට පෙට්‍රල් ලීටරයක් නිසා ඇතිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (652 + 1740) = 2392 ග්‍රෑම් = 2.4 කිලෝ ග්‍රෑම් වායු ගෝලයට නිකුත් කරන්නේය. එනම් ඉහත කී කිලෝ මීටර 100 ගමන් කරනවිට, කිලෝ ග්‍රෑම් 24ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඔබ පරිසරයට එක් කරයි. මේ අතර තවත් වැදගත් සාධකයක් ඇත. ලංකාව පෙට්‍රල් නිෂ්පාදනය නොකරයි. ඒ නිසා වැය කරන සෑම පෙට්‍රල් බිඳක් සඳහාම රටේ විදේශ විනිමය අපතේ යයි. මේ සියළුම දේ ගැන සැලකුවහොත්, විද්‍යුත් මෝටර් රථයක් හෝ බයිසිකලයක් ගැනීම වැදගත්ය ...
![]()
… නැවතත් ලීෆ් බැටරිය වෙත සිත යොමු කරමු. පෝස්ට් එකේ දමා ඇති බැටරි සසඳා බැලීම් බලන්න. ලීෆ් රථයේ ඇති සෙල් වර්ගය ‘ලැමිනේටඩ්’ වර්ගය වේ. එය අප සාමාන්‍යයෙන් දකින වර්ගයේ රවුම් බඳ ඈති බැටරි මෙන් නොවේ. එසේ හෙයින්, බැටරි සෙල් ඇතුලේ ඇතිවන තාපය ලෙහෙසියෙන් පිට වීම සිදු වේ. මෙය බැටරියට ගුණ දායකය. එහෙත් ටෙස්ලා S වර්ගයේ බැටරි එසේ නොවේ. පැරණි රවුම් බැටරි මෙනි. මෙයට හේතුව ඔවුන් කියා තියෙන තැනක් මෙතෙක් නොදුටුවෙමි. මේ අතර ලීෆ් වාහනයේ වැදගත්කම දුටු වෙනත් සමාගමක්, ලීෆ් රථයේ බැටරියට සමගාමීව සම්බන්ද කල හැකි අමතර බැටරි භාවිතා කිරීමට බැටරි නිෂ්පාදනය කරයි. ඒ අනුව ඔවුන්, තුන් වර්ගයක බැටරි නිෂ්පාදනය කරයි. ඒවා මෙසේ වේ ...
1.4 kilowatt-hour , බර 160 lbs, වැඩිපුර ගිය හැකි දුර 20 miles, මිළ Rs526,666.76.
2.8 kilowatt-hour , බර 260 lbs, වැඩිපුර ගිය හැකි දුර 40 miles, මිළ Rs828,049.73.
3.12 kilowatt-hour බර 360 lbs, වැඩිපුර ගිය හැකි දුර 60 miles, මිළ Rs1,129,432.71.
… ලංකාවේ මේ ක්‍රමය කළ කෙනෙක් ගැන නම් මම නොදනිමි. එසේ වැඩි විස්තර දන්නා අය සිටී නම්, කරුණාකර අප සියල්ලන්ටම ප්‍රයෝජනවත් වන්නට ඒවා ළියන මෙන් ඉල්ලා සිටිමි. තවත් කොම්පැනියක්, වාහනයේ බැටරිය ආරෝපණය කල හැකි අමතර ජෙනරේටරයක් ගෙන යා හැකි ට්‍රොලියක් නිර්මාණය කර ඇත. මේවා කොතරම් ප්‍රායෝගික දැයිද නොදනිමි …
... කෙසේ හෝ දැනට ලෝකයේ විකිණී ඇති විදුළි වාහන වලින් වැඩියෙන්ම විකිණී ඇති වාහනය වන නිසාන් ලීෆ් වාහනය ගැන යමක් දැන ගැනීම ඔබටද වටින්නේය යයි සිතමි. මේ සඳහා වියදම් කරන සෑම ශතයක්ම වටිනවා යන්න කියා, පෞද්ගලිකවම දනිමි ...
https://www.facebook.com/groups/thulawa/permalink/1361927747164585/


310.00 310.00


