නිවන්_මඟ_මෙන්න-(Part 04/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(04/20)

    2.5 හේතු ඵල විභජ්ජය

    හේතු 3ක් තියනවා. ඒ තමයි රාග, ද්වේෂ, මෝහ
    ඒ හේතු තුන ආයේ 6 ට බෙදෙනවා

    ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ
    (ඔය ටික තමයි පට්ඨානප්‍රකරනයේ තියෙන්නේ )

    ඔය 6 ආයේ 10ට බෙදෙනවා. ඒවට කියන්නේ "දස සංයෝජන ධර්ම" කියලා

    1) ලෝභ + ද්වේෂ+මෝහ වලින්---> සීලබ්බත පරාමාස, විචිකිච්ජා, සක්කායදිට්ටි
    ඔය ටික නැති කළාම සෝවාන් වෙනවා

    (සක්කායදිට්ටිය විස්තර පසුවට තියනවා )

    2) අමෝහ වලින් --> ව්‍යාපාද+ කාම රාග
    ඔය ව්‍යාපාද+ කාම රාග ආයේ බෙදෙනවා ක්ලේෂකාම+ වස්තුකාම කියලා

    වස්තු කාම කියන්නේ - කය, නාසය, දිව පිනවන්න වස්තුවක් (පධාර්ථ ධාතුවක් ) තමාගේම කරගන්න ඕනේ කියන එක
    ක්ලේෂ කාම කියන්නේ - තමාගේ කරගන්නේ නැතුව ඒ වස්තුවෙන් ආශ්වාද විඳින එක
    (කෙනෙක්ට තමන්ගේම වාහනේ යන්න ඕනේ නෑ. වෙන වාහනේක වුනත් හැබැයි සැපට යන්න තියෙන්න ඕනේ )

    ඇහැ, කන පිනවන්න තමන්ගේම කරගන්න ඕනේ නෑ. ඈත තියා පුළුවන්
    අල්ලපු ගෙදර ගෑණි දිහා බලලා සතුටු වෙන එක ක්ලේෂ කාමයක්. ඒ ගෑණිත් එක්ක පැනලා යන එක වස්තු කාමයක්

    වස්තුකාම නිරෝධයෙන් සකෘදාගාමී වෙනවා
    ක්ලේෂකාම නිරෝධයෙන් අනාගාමී වෙනවා

    3) අලෝභ, අද්වේෂ වලින් -- > රූප රාග + අරූප රාග + (මාන + උද්දච්ච + අවිද්‍යා)

    රූප රාග කියන්නේ කනෙන් ශබ්ධ අහන්නයි, ඇහෙන් රූප බලන්නයි තියන කැමැත්තටයි
    කෙනෙක් බන අහන්න කැමතියි නම් මතු සසරේ කනක් ඕනේ වෙනවා
    ඒ නිසා සසරේ බැඳි බැඳී යනවා. එතකොට එයා ඇස්, කන් තියන රූපාවචර බ්‍රහ්ම ලෝකයට යනවා
    එහේ කය, දිව, නාසය පිනවන ඒවා නෑ

    අරූප රාග කියන්නේ රූපයක් පනවන්න බැරි බැරි සංකල්ප වලට තියන කැමැත්ත
    මාතෲත්වය, නිජබිම,….

    (මාන+උද්දච්ච+අවිද්‍යා) කියන්නේ අස්මිමානයටයි
    ඔය ටිකත් නිරෝධ කලාම අරිහත් වෙනවා

    භවය 2 ආකාරයි : කර්ම භව, උත්පත්ති භව

    උත්පත්ති භව 3 ආකාරයි - කාම භවය, රූප භවය, අරූප භවය

    "තන්හා පච්චයා උපාධාන"
    උපාධාන 4යි - කාම උපාධාන, දිට්ඨි උපාධාන, සීලබ්බත උපාධාන, අත්තවාදඋපාධාන

    සෝවාන් ඵ්ලලාභියාගේ දිට්ඨි උපාධාන, සීලබ්බත උපාධාන, අත්තවාදඋපාධාන කියන උපාධාන 3ම නෑ…… ඒත් කාම උපාධානය තියනවා

    කාම උපාධාන 2යි- වස්තු උපාධාන, ක්ලේෂ උපාධාන
    (වස්තුකාම, ක්ලේෂකාම කියන්නේත් ඔය දෙකටමයි. වස්තුකාම, ක්ලේෂකාම ගැන විස්තරයක් පහත තියනවා )

    ඔය වස්තුකාම, ක්ලේෂකාම තියනකල් සෝවාන් වුන කෙනාට වුනත් "දුක්ඛස්කධසමුදයෝ හෝති" ම තමා. දුක තියනවාමයි.

    දිට්ඨි උපාධාන කියන්නේ- මේ ලෝකේ නිච්චයි, සුඛයි, අත්තයි, සුභයි කියලා හිතාගන ඉන්න දෘෂ්ඨිය
    (ඒකෙන් මිදෙන්න අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ )

    සීලබ්බත උපාධාන කියන්නේ- සීලයක්, වෘතයක් රැකලා ඒකෙන් තමයි මම නිවන් දකින්නේ කියලා හිතාගන ඉන්න එක

    එහෙමත් නැත්නම් මේ සීලය, වෘතය රැකලා මම දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙනවා කියලා හිතාගන ඉන්න එක. උම්මලකඩ කෑල්ලක් වත් කන්නේ නැතුව ඉඳලා මම නිවන් දකිනවා කියලා හිතාගන ඉන්න එක (උම්මලක්ඩ නොකා ඉඳලා නෙවෙයි, අනිච්ච දුක්ඛ අනත්ත දැකලයි නිවන් දකින්නේ)

    අත්තවාදඋපාධාන කියන්නේ - බුදුරජානන්වහන්සේගේ කාලයේ දෘෂ්ඨි ගොඩක් තිබ්බා. ලෝකයේ අන්තයක් ඇත/නැත, තථාගතයන්වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවා/නෑ, ආත්මයක් තියනවා/නෑ, එයම ජීවයයි/එයම ශරීරයයි, ජීවය එකක්/ශරීරය එකක්, මම ඉන්නවා/මම නෑ
    "ඉධ මෙව සච්චං මෝඝ මඥ්ඥං" මේක තමයි හරි අනිත් සේරම මෝඩයන්ගේ මඥ්ඥං කියලා හිතාගන ඉන්න එක

    2.6 නාම රූප

    නාමරූප කියන ආකාර 6 කට විස්තර කරනවා

    1) පංචස්කන්ධයේ රූප තමයි "රූප". ඉතුරු 4 තමයි "නාම" (වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන)
    නාම- වේදනා, සංඥා, සංඛාර. විඥ්ඥාන
    රූප- සතර මහා භූතයන් හා උපාදාය රූපයන් (රූප 28)

    2) ලෝකයේ තියන වස්තූන්ට නමක් කියනවා උදා: බෝතලය (එක නාම )
    ඔය නාමයෙන් හඳුන්වපු දේ හැදිලා තියෙන්නේ සතර මහා භූතයන් හා උපාදාය රූප (රූප 28)

    3) විඥ්ඥාන ප්‍රත්‍යයෙන් හටගන්න නාමරූපත් ඔය වගේ අභ්‍යන්තර/බාහිර කියලා 2කට බෙදෙනවා
    අභ්‍යන්තර නාමරූප වල රූප - ඇස, කන, දිව, නාසය, ශරීරය
    අභ්‍යන්තර නාමරූප වල නාම- වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන

    බාහිර නාමරූප වල නාම- සතර මහා භූතයන්ගෙන් හදාගත්ත නාම (උදා: බෝතලය)
    බාහිර නාමරූප වල රූප සතර මහා භූතයන් හා උපාදාය රූප (රූප 28 හි බෝතලයට අයත් ටික)

    ඔය විදිහට ගත්තම මුළු ලෝකයම නාමරූප.
    නාමරූප නැත්නම් එතන ලෝකය නෑ කියලා විස්තර කරන්නේ එකයි
    නාමරූප යම් තැනක නිර්මානය වෙන්නේ නැද්ද, එතන නිවනයි.

    ඔය විදිහට තැනට ගැලපෙන විදිහට ගන්න ඕනේ

    4) චුතිපටිසන්ධිය විස්තර කරන පටිච්චසමුප්පාදයේදී "කර්මජ රූප පරම්පරාවයි" නාම රූප කියන්නේ. පටිසන්ධි අවස්ථාවේ දසක 3ක් (කර්මජ රූප පරම්පරා 3ක්) හටගන්නවා.
    කාය දසක, භාව දසක, වස්තු දසක කියන ටිකයි නාමරූප කියන්නේ

    ඕපපාතික උත්පත්තියක් නම් දසක 7ක් ගොඩනැඟෙනවා (ඔය කලින් කිව්ව 3 ට අමතව කාය දසක, චක්ඛු දසක, සෝත දසක, ජිව්හා දසක ත් එක්ක)

    5) ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය විස්තර කරද්දී "විඥ්ඥාන පච්චයා නාමරූප" කියද්දී හිතේ බැසගත්ත නාමරූප කොටසයි එතනට අදාල වෙන්නේ.

    යම් කිසි කෙනෙක් යම් කිසි කටයුත්තක් කරද්දී ඔහුට ජාතිය මෙලොවදීම බිහි වෙනවා. ජරා මරණත් මෙලොවදීම ලැබෙනවා

    (ඒ ඒ මොහොතක් ගානේ, ඒ ඒ චිත්තක්ෂණයක් ගානේ ගොඩනැඟෙන පටිච්චසමුප්පාදයයි ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය කිව්වේ. මේ ගැන විස්තර පසුවට තියන පටිච්චසමුප්පාදය යටතේ සරලව විස්තර කරලා තියනවා)

    උදාහරණයක් විදිහට කෙනෙක් ගෙයක් හදන්න හිතුවා කියමුකෝ:

    ඉන්න ගෙදරට වඩා හොඳ ගෙයක් ඕනේ වෙන්නේ අවිද්‍යාව නිසයි
    එයා අවිද්‍යාව නිසා සංඛාර කරනවා (ගෙයක් හදන්න ඕනේ කියලා හිතනවා)

    එහෙම හිතද්දී ඒ අවශ්‍ය විදිහට හිත වැඩෙනවා
    සංඛාර පච්චයා විඥ්ඥාන (රට ගිහින් සල්ලි ටිකක් හම්බ කරගන ඇවිත් ගේ හදන්න ඕනේ කියලා හිතනවා )

    විඥ්ඥාන පච්චයා නාමරූප- ඔතන දැන් "නාමරූප" කියන්නේ ගේ හදන එක ගැන නාමරූප යි.
    මේ මේ විදිහට කාමර දාලා වහලේ ගහනවා. මේ විදිහට ජනෙල් දානවා කියන එකයි ඔතන නාමරූප.

    නාම රූප පච්චයා සලායතන කියන්නේ ඔය ගේ හදනකම් ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ සේරම යොදවන්නේ ගේ හදාගන්නයි

    සලායතන පච්චයා ඵස්ස
    කොච්චර හරි ඇහැ ස්ඵර්ශ කරන්නේ ලස්සන ගෙයක්
    කනෙක් ඒකට අදාල ශබ්ධය ස්පර්ශ කරනවා.

    ඵස්ස පච්චයා වේදනා
    මනසින් ඔහු ගේ ගැන මනෝ වින්දනයක් කරනවා

    වේදනා පච්චයා තන්හා (තන්හාවෙන් ගේ හදනවා )
    (ගේ හදාගන්න බැරි වුනා නම් ද්වේෂයක් එන්නේ. එතකොට වේදනා පච්චයා පටිඝ )

    තන්හා පච්චයා උපාධාන
    (ගේ හදන්න රෑ දවල් දෙකේ ගඩොල් අදිනවා, ගල් ගේනවා )

    උපාධාන පච්චයා භව කියන්නේ "ගෙදරක් තිබෙන බව"

    භව පච්චයා ජාති- "හොඳ ගෙවල් ජාතියක්" හම්බ වෙලා තියනවා

    අවිද්‍යා පච්චයා වලින් සංඛාර කරන්න ගත්ත වෙලේ ඉඳන් "සංඛාර දුක්ඛයක්" හැදෙනවා
    ඒ ගේ හදාගන්න බාධක එන එන ගානට "දුක්ඛදුක්ඛ" යක් එනවා
    ගේ හදාගත්තා නම් "විපරිනාම දුක්ඛ" යක් එනවා

    අපේ අවිද්‍යා පච්චයා පටිච්චසමුප්පාදයේ විඥ්ඥාන පච්චයා "නාමරූප" තිබුනට රහතන්වහන්සේගේ පටිච්චසමුප්පාදයේ "නාම" විතරයි තියෙන්නේ. රූප නැ..

    පන්චස්කන්ධ වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යි, රහතන්වහන්සෙගේ හිතේ ඇතිවෙන පටිච්චසමුප්පාදයේ නාම වල වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන්නෙයි එකම තමා. අභිසංඛාර කරගත්තේ නෑ. ඒකමයි ආවේ. අභිසංඛාර නැති නිසා බාහිර ලෝකයේ මොකක්ද තියෙන්නේ ඒක ඒ විදිහටම පේන්න ගන්නවා.

    6) ඇඟෙන් පිටවන ඕරා අංශු වලටත් නාමරූප කියනවා
    රාගයක් ආවම “රාග අභිනාමරූප” කියන්නේ ඇඟෙන් පිටවන කහ පාට ඕරා අංශු
    ද්වේශයක් ආවම “ද්වේශ අභිනාමරූප කියන්නේ ඇඟෙන් පිටවන රතු පාට ඕරා අංශු

    2.7 රූප 28

    නාම රූප වල රූප කොටසට රූප 28යි

    ආපෝ, වායෝ, තේජෝ, පටවි කියන සතර මහා භූත රූප 4යි,
    ගන්ධ රස ඕජා කියලා ගෝචර රූප 4යි (ශුද්ධාෂ්ඨක කියන්නේ ඔන්න ඔය 8 ටයි)
    චක්ඛු, සෝත. ඝාණ, ජිව්හා, කාය, මනෝ කියලා ප්‍රසාද රූප 6යි
    මුදුතා, ලහුතා, කම්මඤ්ඤතා කියලා 3යි
    ස්ත්‍රී, පුරුෂ කියලා 2යි, තවත් 9යි

    ශුද්ධාශ්ඨකයක් කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එක රූපයක තියන කුඩාම කොටසටයි

    ශුද්ධාශ්ඨකයක වයස මනින්නේ චිත්තක්ෂණ වලින්
    රූපයට චිත්ත වීථියක හෙවත් චිත්තක්ෂණ 17ක ආයුෂ තියනවා
    එක රූපයක් ඇතිවෙලා බිඳෙද්දී හිත 17 වතාවක් උපදිනවා

    වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 4 ඔය සතර මහා භූත වල කැවිලා තියෙන්නේ
    සතර මහා භූත එකට තියෙද්දී වර්ණයක් පේනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, ඕජාවක් තියනවා ඒ කියන්නේ කේක් කෑල්ලක් ගත්තම ඒකේ අතට අහු වෙන්නේ සතර මහා භූතයී
    කේක් කෑල්ලක වර්ණය වෙන් කරලා ගන්න බෑ, සුවඳත් වෙන් කරලා ගන්න බෑ, රසය ගන්නත් බෑ...

    සනිදස්සන කියන්නේ : ඇහැට පේනවා, (අනිදස්සන කියන්නේ: ඇහැට පේන්නේ නෑ)

    එතකොට ඇහැ සනිදස්සනද අනිදස්සනද?
    චක්ඛු: "සතරමහා භූතයන්ගෙන් උපන්, අනිදස්සන වූ, සප්‍රතිඝ වූ යම් ඇසකින්, සනිදස්සන වූ සප්‍රතිඝ වූ රූපයක් දකින්නේද එය චක්ඛු නම් වෙයි" ඔන්න ඕකයි ඇහේ අර්ථදැක්වීම

    එතකොට ඇහැ (පෙනන ස්වභාවය), කන (ඇහෙන ස්වභාවය), නාසය...සියල්ලම "අනිදස්සනයි"
    (එහෙම කියලා මම අනිදස්සනයි කියලා ගන්නේ නෑ. මම ඇත, මම නැත අන්ත දෙකම ගන්නේ නෑ)

    "සනිදස්සන" රූප තියෙන්නේ එකම එකයි. ඒ "වර්ණ" රූපය විතරමයි
    මොකද ඇහැට පේන්නේ වර්ණය විතරමයි. ඉතුරු රූප 27ම අනිදස්සනයි

    පධාර්ථ වල (ආපෝ ධාතුවේ ) ලක්ෂණ 4ක් තියනවා "උපචය, සංතති, ජරතා, අනිච්චතා" කියලා
    (විභංගප්‍රකරණය, පංචස්කන්ධ විභංගය, රූපස්කන්ධය )

    උපචය : උපතක් තියනවා
    සංතති :පැවැත්මක් තියනවා
    ජරතා : දිරායාමක් තියනවා
    අනිත්‍යතා : නැතිවීමක් තියනවා

    සතර මහා භූත වල තියෙන්නේ ඔය ලක්ෂණ 4 තියනවා

    ත්‍රිලක්ෂන කියලා ලක්ෂණ 4ක් තියෙන්නේ විශුද්ධි මාර්ගයේ විතරමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා තියෙන්නේ විශුද්ධිමාර්ගයේ ලක්ෂණ. ත්‍රිපිටකයේ තියෙන්නේ ඔය සේරම "සංඥා" කියලයි
    ත්‍රිපිටකයේ තීය්න්නේ "අනිච්ච සංඥා" කියලා වෙනම සූත්‍රයකුත් තියනවා
    ඒ නිසා බොහො දෙනෙක් පධාර්ථයේ ඔය ලක්ෂණ 3 බලලා නිවන් යන්න හදනවා

    උපචය:
    ශුද්ධාෂ්ඨක වලට භූත කියනවා
    භූත එකතු වෙලා මහා භූත හැදෙනවා
    මහා භූත එකතු වෙලා ධාතු කියලා හැදෙනවා
    ඒවට අපි පස්, ජලය, ගින්දර හුලඟ කියනවා.
    (ඒ කිව්වේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියනවා)
    ධාතු එකතු වෙලා හැදුනට පස්සේ සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු විදිහට කියනවා
    උපචය කියන්නේ කෑලි කෑලි එකතුවෙලා ගොඩනැඟිලා තියන ලක්ෂණය

    සංතති:
    ඇසට රූප වශයෙන්, කනට ශබ්ධ වශයෙන්...ඔය වගේ අරමුණු වෙලා හිතෙන් යමක් ගොඩනඟාගත්තම ඒවට කියනව සම්මත කියලා

    වැලිගොඩක් කියලා සංඥාවක් පෙනුනට අපි "වැලි කැට ගොඩක්" කියන්නේ නෑ වැලි ගොඩට. අන්න ඒ වගේ

    කාන්තාවක් දැක්කම කාන්තාවක් කියලා හිතනවා මිසක් දෙතිස්කුණුප කියලා පේන්නේ නෑ

    ශබ්ධ රෑනක් ආවම කුරුළුහඬක් කියලයි හිතන්නේ
    ඒවා තමයි ස්කන්ධ විදිහට පේන්නේ
    මේ ලෝක සත්ත්වයා රවට්ටන්නේ ඔතනයි.
    ඒ පෙනෙන දේවල් වලට සම්මතයක් තියාගන්නවා (එකතුවට කියන මතය) ඇති සේ පේන ගොඩවල් මිසක් ඇති දේවල් නෙවෙයි

    ජරතා - සතර මහා භූත විපරිනාමය වෙලා දිරලා යනවා

    අනිත්‍යතා- ස්ථිර නෑ. අනිත්‍යයි කියන එක

    (අනිච්ච කියන එකට අර්ථ 2ක් තියනවා. මෙතන අනිත්‍ය කියන අර්ථයයි කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති කිව්වම සංඛාර කියන්නේ හිත මිසක් පධාර්ථයක් නෙවෙයි. එතනට මේ අර්ථය ගන්න බෑ.

    මේ අනිච්ච (හෙවත් ස්ථිර නැති, අනිත්‍ය) එන්නේ සතර මහා භූතයන්ට විතරයි. සංඛාර කියන්නේ සතර මහා බූතයක්ගෙන් හැදුන එකක් නෙවෙයි. සිතුවිල්ලක්. සිතුවිල්ල්ලේ සතර මහා භූතයෝ නෑ)

    ඔය අනිච්ච අර අනිච්චත් එක්ක පටලවාගන තමයි අද බොහෝ දෙනෙක් ඉන්නේ

    සතරමහා භූත වල උත්පාද, තිථි, භංග කියලා 3ක් තියනවා
    ඒ කියන්නේ හටගන්නවා, පවතිනවා, නැති වෙනවා
    ඇති වෙච්ච තැනම නැති වෙනවා කිව්වොත් ඒත් පරස්පරයි. මොකද යම් කෙටි කාලයක පැවැත්මක් තියනවා

    සතරමහා භුත නෑ නෙවෙයි සතර මහා භූතයන්ගේ ආශ්වාද මාත්‍රයක් වත් නෑ. ආශ්වාදයන්ගෙන් ඒවා ශුන්‍යයි

    උදා:1) බල්ලා කියන්නේ රූපයක් නෙවෙයි.
    බල්ලා කියන තැන තියෙන්නේ ආපේ, තේජෝ, වායෝ, පඨවි, වර්න, ගන්ධ, රස, ඕජා කියන ටිකයි

    බල්ලා කියන්නේ සංඥා, සංඛාර, විඥ්ඥාන එක්ක ගොඩ නැඟෙන ස්කන්ධ 5ක එකතුවක් මිසක් රූපය විතරක් නෙවෙයි

    ඇහෙන් බල්ලා දැක්කම ඒක බල්ලගේ වර්ණය (රූප රූප)
    කනෙන් ශබ්ධය ඇහුනම ඒක බල්ලගේ ශබ්ධය (ශබ්ධ රූප)
    ගන්ධයක් දැනුනා නම් ඒක බල්ලගේ ගන්ධය (ගන්ධ රූපා
    කයට ස්පර්ෂයක් දැනුනා නම් ඒක උෂ්ණ, සීතල බව (කොට්ටබ්බ රූප )
    ඔය සියල්ලම අරගන බල්ලා කියලා සංඥාවක් අපිට එනවා

    බල්ලා කියන රූපය ඇසට ගැටුනම සර්වචිත්ත සාධරන චෛතසික 7ක් උපදිනවා. ඒක විපාකයක්

    ඔය සර්වචිත්ත සාධරන චෛතසික 7 තමයි වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව

    වේදනාව තමයි : උපේක්ෂා වේදනාව
    සංඥා තමයි: මලක්, දුඹුරු පාට මලක්
    චේතනාව තමයි: දැකීම, සිත ගොඩ නැඟීම
    මනසිකාර තමයි : නැවත නැවත මෙනෙහි කිරීම (මනස ක්‍රියාත්මක වීම )
    ජීවිතේන්ද්‍රිය තමයි චිත්ත පරම්පරාවක පැවැත්ම
    ඒකාග්‍රතාව තමයි: එකක් පමණක් අග්‍ර වීම

    උදා:2) කෝප්පයක් ගත්තම නාම රූප දෙකම තියනවා
    මේසයක් ගත්තම ඒත් ඒ වගේ, නාම ධර්ම දෙකම තියනවා

    කෝප්පය කියන්නේ රූප නෙවෙයි සංඥා
    කෝප්පයටයි රූපයක් කියන එක වැරදියි

    කෝප්පයේ තියන රූප තමයි (ආපෝ, තේජෝ, වායෝ, පඨවි)+(වර්ණ, ගන්ධ, රස, ඕජා)

    කෝප්පය සුදුයි, රවුම්, උණුසුම් කියලා ගන්නවා. ඒ සේරම සංඥා
    තේජෝ කියන්නේ උණුසුම. එතකොට සීතල-රස්නේ කියලා ගන්නේ. ඒක බෙදලා ගත්තම සංඥාවක්
    කෝප්පය ඇල්ලුවහම වීමක් දනවනවා. සැප වීමක් හෝ දුක් වීමක්.
    ඒ අනුව උෂ්ණයි කියන එක සංඛාරය ඇති වෙනවා
    ඒක දැනගන්න හිත විඥ්ඥාණ

    කෝප්පයේ තිබුන ආපෝ, තේජෝ, වායෝ පඨවි ස්වභාවය රූප
    වේදනා, සංඥා, සංඛාර විඥ්ඥාන ටික නාම

    උදා:3) කෙනෙක් ගෙදරකට KFC එකෙන් චිප්ස් (French Fries) ගෙනාවා කියලා හිතමු
    ගෙදර එක්කනෙක් ඒකේ රසයට කැමතියි. ඒ කියන්නේ රස රූපයටයි එයා කැමති. (වෙන රසක් ආවොත් එයා කන්නේ නෑ)
    තව කෙනෙක් ඕජාවට (පෝෂනයට) කැමතියි,
    තව කෙනෙක් ආපෝ ගතියටයි කැමති (soft ගතියට). (හයි වෙලා තිබුණොත් එයා කැමති නෑ)

    ඒ කියන්නේ එක එක්කෙනා ඒ කෑමේ ශුද්ධාෂ්ඨක වලටයි ජන්දරාගයක් තියෙන්නේ
    සමස්ථ රූපයට නෙවෙයි. එතකොට ශුද්ධාශ්ඨක වලට කැඩුවා කියලා ජන්දරාගයෙන් මිදෙන්න පුළුවන්ද? බෑ
    අනිච්ච දේ දැකලා නම් දුකෙන් මිදෙන්න පුළුවන්

    මුදුතා, ලහුතා, කම්මඤ්ඤතා කියන්නෙත් රූප 3ක්
    ඔලුව රදේ හැදුනම ඔලුව බරයි කියලා දැනෙනවා
    ඒක "ලහුතා". එහෙම ස්වාභාවයක් කයේ ඇති වෙනවා ලෙඩ වුනාම

    භාවනා කරද්දී කය හොඳටම සැහැල්ලුයි. ඒ ගුනය තමයි "මුදුතා"

    "කම්මඤ්ඤතා" කියන්නේ අපේ ඇඟේ තියන "කර්මන්‍ය ස්වාභාවය"

    ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප අපිට ලැබුනේ කර්මය අනුව
    ස්ත්‍රී හෝ භාවයකට කැමැත්තක් තියනවා නම් වඩන කර්මය අනුවයි ස්ත්‍රී, පුරුෂ භාවය ලැබෙන්නේ

    2.9 පංච උපාධානස්කන්ධයේ අනිච්ච බලන හැටි

    පංචඋපාධානස්කන්ධය කියන්නේ පංචස්කන්ධය "රාග, ද්වේෂ, මෝහ" වලින් පටිච්ච වීමෙන් ආශ්වාද හදාගන විපාක ලෝකයේ ඉඳන් හදාගන්න එකක් කියලා කලින් පංචස්කන්ධය යටතේ විස්තර කළා

    පංච උපාධානස්කන්ධය කියන්නේ රූප උපාධානස්කන්ධය, වේදනා උපාස්කන්ධය, සංඥා උපාස්කන්ධය, සංඛාර උපාස්කන්ධය, විඥ්ඥාන උපානස්කන්ධය

    ගිරිමානන්ද සූතරයේ පංචස්කන්ධය "අනිච්ච සේ" දකින්නත්, පංච උපාධානස්කන්ධය "අනිච්චානුපස්සනා" කරන්නත් කියලයි තියෙන්නේ

    "ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: “රූපය අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍ය ය, විඥානය අනිත්‍ය ය” යි. මෙසේ මේ පඤ්චෝපාදානස්න්‍ධයන්හි අනිත්‍යානුදර්ශී ව වසයි. ආනන්‍දයෙනි, මේ අනිත්‍යසංඥා යයි කියනු ලැබේ."

    පාලි:-

    ‘‘කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනිච්චසඤ්ඤා.
    (අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, සචිත්‌ත වර්ගය, ගිරිමානන්ද සූත්‍රය)

    උදාහරණයක් ගමු.

    කොහේ හරි ගමනක් යද්දි අපි රූපයක් දකිනවා
    (රූප 6 ආකාරයි රූප රූප, ශබ්ධ රූප, ගන්ධ රූප..ඔය වගේ )

    ඕව්වගෙන් ඇහට පේන රූපයක් ගමුකෝ, විකුණන්න තියන අලුත් වාහනයක් දකිනවා කියලා හිතමු. ඒක දැක්කම "ෂෝක් වාහනයක්" කියලා දකිනවා

    අන්න "ෂෝක් එකක්" කියලා අවිද්‍යා පච්චයෙන් සංඛාර කරගත්තා.
    එතකොට පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

    (පටිච්චසමුප්පාද චක්‍ර 12ක් තියනවා. ඒ ගැන වෙනම පසුවට විස්තර තියනවා )

    සංඛාර පච්චයා > විඥ්ඥාන
    විඥ්ඥාන පච්චයා > නාම රූප
    නාම රූප පච්චයා > සලායතන
    සලායතන පච්චයා > ඵස්ස
    ඵස්ස පච්චයා > වේදනා

    ඔය වේදනා කියන්නේ "රාගසම්ඵස්සජා වේදනා"
    ඒ කියන්නේ මොකක්ද? "ආශ්වාදය"

    ඒක හටගන්නේ ඒ පුද්ගලයගේ හිතෙයි (ඒක වාහනේ තිබුණු එකක් නෙවෙයි. වෙන කෙනෙක්ට ඔය වාහනේටම ද්වේෂයක් එන්නත් පුළුවන් )

    පස්සේ එතනින් යද්දී ඒ වාහනය දිහා බලලා ගියත් ආශ්වාදයක් එන්නේ. අන්න ඒ රූපයට තන්හා වෙනවා

    වේදානා පච්චයා තන්නා
    තන්හා පච්චයා උපාධාන

    ඒ වාහනේ උපාධාන කරගත්තම මොකක්ද වෙන්නේ

    උපාධාන පච්චයා භව

    එයා වාහනය අරන් වාහන හිමියෙක් බවට පත් වෙනවා
    ඔතන භව කියනෙන "වාහන හිමියෙක් බවට " පත් වෙන එකයි

    රුපයට ඔය වගේම තමයි ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ..වලටත්

    ඇසට ඔය වගේම තමයි අනිත් ආයතන සේරටමත් ශබ්ධයක්, ගන්ධයක්, ස්පර්ෂයක්, රසයක් කියන ඔය ටික එක්කත් එක්කෝ අපි රාගයෙන් බැඳෙනවා, නැත්නම් ද්වේෂයෙන් ගැටෙනවා. ඔය ආශ්වාදය, ඒ කියන්නේ ලැබුණු විපාක ටිකට අතින් දාගන්න අයිසින් ටික නැති කරගන්නයි බුදුදහමේ උගන්වන්නේ. කලින් කිව්වේ

    විපාක සැප දුක් උපේක්ෂා තියනවා, ඒවා පිළිබඳව පටිච්චසමුප්පන්නව රාග, ද්වේෂ, මෝහ වලින් උපාධානස්කන්ධයයි හදාගන්නවා.
    උපාධානස්කන්ධ හදන්නේ පටිච්චසමුප්පන්නව. ඒ නිසා පටිච්චසමුප්පන්න නිරෝධයෙන් උපාධානස්කන්ධ නිරෝධ වෙනවා. පන්චස්කන්ධ ඉතුරු වෙනවා

    (ඒකයි ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ පන්චස්කන්ධය අනිච්ච සේ දකින්න, උපාධානස්කන්ධය අනිච්චානුපස්සනා කරන්න කියලා )

    පංචඋපාධානස්කන්ධය කියන්නේ ඒ ඒ මොහොතේ සිතුවිලි ගොඩකින් හදන එකක්
    පංචස්කන්ධය නම් අතීතය, වර්තමානය, අනාගතයම 3න් කාලයටම පනවන්න පුළුවන්
    ඒත් පංචඋපාධානස්කන්ධයට පනවන්න පුළුවන් වර්තමානය විතරයි

    ඒ නිසා මේ මේ මොහොත හදන කෙලෙස් මේ මේ මොහොතේම පහ කල යුතුයි.
    දැන් හදන කෙලෙස් ගෙදර ගිහින් පහ කරන්න බෑ

    හවසට ගෙදර ගිහින් නාලා කාලා භාවනාවට වාඩි වෙලා පංචඋපාධානස්කන්ධයේ අනිච්චානුපස්සනාව කරනවා කියලා දවස තිස්සේ හදපු කෙලෙස් කන්ද හවසට පහ කරන්න බෑ. ඒ ඒ මොහොතේම පහ කළ යුතුයි.

    "සැප වේදනාවේ රාගය" ප්‍රහානය කළ යුතුයි,
    "දුක් වේදනාවේ ද්වේෂය" ප්‍රහානය කළ යුතුයි,
    "උපේක්ෂා වේදනාවේ මෝහය" ප්‍රහානය කළ යුතුයි කියලා කිව්වේ ඒකයි

    ඒක කරන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට මෙනෙහි කරලයි

    මේ ආශ්වාදය මගේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ කියලා මෙනෙහි කරලයි. උදාහරණයක් විදිහට රසම රස අයිස්ක්‍රීම් එකක් කන වෙලේ අපිට සනීපෙට ස්පර්ෂයක් දැනෙනවා, දිවට රසයක් දැනෙනවා, නාසයට සුවඳකුත් දැනෙනවා. ඔය ටිකෙන් ඉස්සරලම මෙනෙහිකරන්නේ මොකක්ද? අපි මෙනෙහි කරන්න හදද්දී ඕවා දැනිලා ඉවරයි. ඒ නිසයි ධ්‍යානයක ඉඳන් මෙනෙහි කරන්නේ

    දුක නිර්මාණය කරන්නා තමයි රාග, ද්වේෂ්, මෝහ. එතකොට දුක නැති කරන්න නම් නැති කළයුත්ත (හෙවත් නිස්සරනය කළ යුත්ත) තමයි රාග, ද්වේෂ, මෝහ

    රූපය සමඟ ආශ්වාදයෙන් බැඳෙන්න හේතුව තමයි ඒක "සාරයි" කියලා ගන්න එක. කැමැත්ත ඉෂ්ඨ වෙයි, සුවයි සාරයි කියලා ගන්න නිසා තමයි ආශ්වාදයෙන් බැඳෙන්නේ. "අසාරයි" කියන්නේ "අනත්ත" කියන එක.

    ඇසේ ආශ්වාද කැමැත්ත ඉෂ්ඨ නොවෙන්න හේතුව තමයි රූප වල ආශ්වාද මාත්‍රයක් වත් නෑ. රූපය දිහා බලලා හිතේ තමයි හදාගන්නේ. ශබ්ධ, ගන්ධ, රස වලත් එහෙම්මමයි. අනිච්ච වෙන්න හේතුව ඔන්න ඕකයි. රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ වල ආශ්වාදයක් නෑ, අපි පටිච්චසමුප්පන්නව හිතෙන් හදාගන විඳින්නේ.

    ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච, දුක්ඛ, අනත්ත කියලා මෙනෙහි කරන එක. සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් වෙන්නෙත් ස්ඵර්ශ ආයතන හයේ ආශ්වාදය ආදීනවය, නිස්සරනය දැකලා උපාදානයන්ගෙන් මිදුනම තමයි රහත් වෙන්නෙත්.

    තේ එකක් බොද්දී රස දැනෙන්නේ විපාකයක් නිසයි ඒතකොටම ඒ රස අනිච්චයි, දුක්කයි කියලා හිතන්න ඕනේ ඒකෙන් ආශ්වාදයක් ගොඩ නැඟෙන්න කලින්. සාමාන්‍ය ජීවිතයේදී පංච උපාධානස්කන්ධයේ අනිච්ච බලන එක හෝද හෝද මඩේ දානවා වගේ වැඩක්. ඒ නිසා ධ්‍යානයක ඉඳලයි ඒක බලන්න ඕනේ.

    හිල් 6ක් තියන හුඹහකට තලගොයෙක් රිංහුවා නම් ඌව අල්ලගන්න කරන්නේ හිල් 5ක් වහලා එක හිලකින් අත දාන එකයි. ඒ වගේම තමයි අපේ ආතන සේරම ඇරගන් පංච උපාධානස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනත්ත බලන්න ලේසි නැති නිසා ඇස් පියාගන ධ්‍යානයකට ගිහින් ඒක කරන්නේ. එතකොට පංච නීවරන යටපත් වෙලා නිසා හිත විතරයි අපිට දමනය කරන්න තියෙන්නේ

    ධ්‍යානනිස්සය සූත්‍රයේ පැහැදිලිවම කියනවා ධ්‍යානයක ඉඳන් ඒ දැහැනේත්, අතීත, වර්තමාන, අනාගත පංච උපාධානස්කන්ධයේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥානයන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කරන්න කියකා. ධ්‍යාන ලබන්නේ නැතුව ආශ්‍රව සියල්ලම ක්ෂය කරන්න බෑ.

    පංච උපාස්කන්ධයේ සමුදය නිරෝධය කියන්නේ පංචස්කන්ධයේ ආශ්වාද උදාවීමයි, නැතිවීමයි

    ඒ කියනෙන උදය-වැය ඥාණයයි. උදය වැය ඥානය යටතේ පසුවට ආශ්වාද උදා වෙන, වැය වෙන විදිහ ගැන දීර්ඝව විස්තර කරලා තියනවා

    සතර මහා භූතයෝ කියන්නේ "ඵලයක්".
    හේතු ඵල වල අද බොහෝ දෙනෙක් "ඵලය" තමයි විදර්ශනා කරන්නේ
    බුදුහාමුදුරුවෝ කිව්වේ "හේතුව විදර්ශනා කරන්න" කියලයි

    ශරීරයක් අපිට ලැබෙන්න හෙතුව තමයි පෙර සසරේ අපි ශරීරයක් ලැබෙන්න අරපු දේවල්. ඒ මොකක්ද? ඒ හේතු ටිකයි විදර්ශනා කරන්න ඕනේ. හේතුවක් නිසා ලැබුන මේ ඵලය විදර්ශනා කිරීමක් නෙවෙයි. "ඒකයි ආශ්වාදය විදර්ශනා කරන්නේ". ඔය ආශ්වාද තවමයි නැවත භවයක් අපිට අරන් දෙන්නේ

    එක සූත්‍රයක් අල්ලගන අර්ථ ගන්න බෑ... සූත්‍ර එකින් එකට ගලපන්න ඕනේ. එක සූත්‍රයක තියන දේ තව සූත්‍රයකට දාලා බලන්න ඕනේ. සමහර සූත්‍ර වල තියෙන්නේ මාතෘකා විතරයි. ඒකේ වැඩි විස්තරය තියෙන්නේ වෙනත් සූත්‍රයක.

    උදාහරණයක් විදිහට: සීල සූත්‍රයේ තියනවා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඔය සේරටම කරන්න ඕනේ පංච උපාධානස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට බලන එක කියලා. ඒත් තවත් සූත්‍රයක තමයි තියෙන්නේ එහෙම බලන්න ඕනේ ධ්‍යානයක ඉඳන් කියලා. ඒ වගේ

    "රූපයක් නිසා සුඛයක් සොම්නසක් උපදීද එය ආශ්වාදයයි
    ඒ රූපය අනිච්චද, දුක්ඛද, විපරිනාම ස්වභාවයද, මෙය රූපයේ ආදීනවයයි
    රූපයේ ජන්දරාග දුරු කිරීමක් වේද මේ රූපයේ නිස්සරණයයි"

    (සංයුත්‌ත නිකාය, සත්‌තට්‌ඨාන සූත්‍රය)

    (ඔතන කිව්වේ නැතුවට වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන වලටත් ඒ වගේමයි)

    රූපයේ ආදීනවය පිරිසිඳ දැකීම දුක්ඛ සත්‍යයයි
    රූපයේ ආශ්වාදය දැක එය ප්‍රහානය කිරීම සමුදය සත්‍යයයි
    රූපයේ ජන්ද රාගය දුරුකිරීම නිස්සරනයයි. මේ තුනෙන් නිරෝධ සත්‍යයි

    ආශ්වාදය දුක නෙවෙයි, ආශ්වාදයේ ආදීනවය දැකීමයි දුක
    (ආශ්වාදය දුකක් වෙන්නේ වේදනා චෛතසිකයෙන් නෙවෙයි ප්‍රඥා චෛතසිකයෙනුයි )


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: hodakolla