සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
------------------------------------------------------------------------------------------
තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
------------------------------------------------------------------------------------------
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී සම්බෝධියේ පටන් හතලිස් පස් වසක් පුරාවට විනය, සූත්‍ර, අභිධර්මය වශයෙන් දෙව් මිනිසුන් හමුවේ සිදුකරනා ලද දේශනා, නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෙස මෙතෙක් ආරක්ෂා වී පැවතගෙන ආ බව බෞද්ධ අප සැමගේ විශ්වාසයයි. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, ආනන්ද, උපාලි... ආදී වූ මහ රහතන් වහන්සේලා සම්මුඛයේ සිට සංඝායනාවන් හරහා එක්රැස් වෙමින්, පාරිශුද්ධව පැවතගෙන ආ ත්‍රිපිටක ධර්මය, බුද්ධ කාලයේ සිටම නොයෙක් අභියෝගයන්ට ලක්විය. එසේ එල්ලවූ බාධාවන් හමුවේත් නොනැසී සුරැකුනු දහම අද වන විට යලිත් දරුණු ව්‍යසනයන් රැසකට මුහුණ පාමින් සිටී.
මෑත කාලීනව අප රටේ දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරමින් සුවිශාල සේවයක් සිදුකරනා, මහමෙව්නාව භාවනා අසපු සංකීර්ණය හරහා ද, ථේරවාද ත්‍රිපිටක ධර්මය විනාශ කරමින්, ධර්මයේ නාමයෙන් අධර්මය පැතිරවීමේ වැඩ පිළිවෙලක්, මාර බලවේගයන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කණගාටුවෙන් වුවත් පෙන්වාදීමට සිදුව තිබේ.
84000 ක් වූ ධර්මස්කන්ධයෙන් ධර්මස්කන්ධ 42000 ක්ම අඩංගු වූද, සර්වඥයන් වහන්සේගේ ජින චක්‍රය බඳු වූද, පරම ගාම්භීර වූද, අති සූක්ෂම වූද, බුද්ධ භාෂිත අභිධර්ම පිටකය, මහමෙව්නා අසපුව හරහා මූලික බුද්ධ දේශනාවන්ට අයත් බුද්ධ භාෂිතයක් නොවේ යැයි සැක කරමින් බැහැර කර ඇති බව, පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේම පුවත්පත් ප්‍රකාශ, මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාව හා උන්වහන්සේගේම වෙනත් ග්‍රන්ථයන්ගෙන් ද සාක්ෂි දක්වමින් "මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?" යන ලිපිය හරහා අප විසින් පෙරදී හෙළිදරව් කරනා ලදී. එසේ අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ, සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර දේශනා විග්‍රහකිරීමේදී ද ත්‍රිපිටක සම්ප්‍රදායට පටහැනි නොයෙක් වැරදි අර්ථ නිරූපණයන් රැසක් අදවන විට සමාජ ගත වී ඇති බව පෙනේ.
http://www.facebook.com/photo.php?fb...type=1&theater
මේ පිළිබඳ කථිකාවතක් ඇතිකිරීම හරහා අප බලාපොරොත්තු වූයේ, ඥාණානන්ද හිමියන් තුල මුල්බැසගෙන ඇති ථේරවාද සම්ප්‍රදායට පටහැනි මෙම දුර්මතය නිසා ධර්මයටත්, උන්වහන්සේටත්, මහමෙව්නාවට සම්බන්ධ අති විශාල බෞද්ධ සැදැහැවතුන් පිරිසකටත් සිදුවන හානිය පෙන්වාදීමත්, කෙසේ හෝ උන්වහන්සේ නිවැරදි ථේරවාදී දහම පිලිගන්නා තැනකට ගෙන ඒමත් ය. එසේම අවසානයේ සිදුවිය යුතු වන්නේ ථේරවාදී ත්‍රිපිටක ධර්මයට පටහැනිව පළවී ඇති ප්‍රකාශන නිවැරදි කරමින් සමාජය තුල පතුරවා ඇති අධර්ම මතයන්ද බැහැර කරවීමට කටයුතු කිරීමයි.
ධර්මයේ නාමයෙන් වහ වහාම මේ දේවල් සිදුවිය යුතු වන්නේ, තවත් කලක් තවත් විශාල පිරිසක් අතරට මේ අධර්ම මත ව්‍යාප්ත වීම යනු, ඒවා මුලිනුපුටා දැමීමේ ඉඩ ප්‍රස්ථාව ක්‍රම ක්‍රමයෙන් ඇහිරීමක් වන නිසාය. සිදුවිය යුත්තේ එය වුවත්, අද මේ මොහොත දක්වා නම් එවැනි නිවැරදි වීමකට උන්වහන්සේ හෝ මහමෙව්නාවේ කිසිවෙක් හෝ සූදානම් බවක් පෙනෙන්නට වත් නැතිවීම කනගාටුවට කරුණකි. ඉදිරියටත් මෙම වැරදි සමගින්ම කටයුතු කිරීම යනු පිරිසිදු ථේරවාදයෙන් බැහැරව, මහායානය දෙසට මහමෙව්නාව තල්ලුකිරීමක් බවත්, වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටා නිවැරදි වීම හැර වෙනත් විකල්පයකට ඉඩක් මේ වනවිට නම් ඉතිරිව නොමැති බවත් මහමෙව්නාවට අනුකම්පාවෙන්ම පෙන්වා දෙනු කැමැත්තෙමු.
අන්තර්ජාලය හරහා විශාල පිරිසක් දැනුවත් කිරීමට මේ වනවිට අපට හැකිවුවත්, අප විසින් මතුකල කරුණු වලට මේ දක්වාත් මහමෙව්නාව අසපුව සංකීර්ණයෙන් පැහැදිලි පිළිතුරක් නම් ලැබී නැත. තවදුරටත් මෙවැනි ධර්මවිරෝධී මත සමාජය තුල ව්‍යාප්ත වීම තුලින් සිදුවන හානිය නැවැත්වීමේ පිරිසිදු අරමුණින් යුක්තවම අප විසින් තවත් පියවරක් මෙසේ ඉදිරියට තබන්නෙමු.
2013-03-14 වන දින විකාශය වූ 'නමෝ බුද්ධාය' වැඩසටහන අවසානයේදී ඥාණානන්ද හිමියන් විසින් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ, අන්තර්ජාලය තුළ facebook වැනි මාධ්‍ය හරහා එල්ලවන කුමන ආකාරයක හෝ චෝදනාවක් හමුවේ කෝප නොගෙන, මෛත්‍රී සිතින්ම ඒවාට පිලිතුරු දෙමින් ධර්ම යුද්ධයක යෙදෙන ලෙසයි.
http://www.youtube.com/watch?v=8RLQD-gskgQ
ධර්මයේ නාමයෙන් අප විසින් මේ සිදුකරගෙන යන දැනුවත් කිරීම් තුල කිසිදු නින්දා අපහාසයක් හෝ ගැරහීමක් නොමැති බව ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් අපගේ මුල් හෙලිදරව්ව ඉදිරියේ කලබලයට පත් වූ මහමෙව්නාවේ ප්‍රබල අනුගාමිකයින් කිහිපදෙනෙක් තම ගුරු හිමියන්ගේ අවවාදයන් ද නොතකා, පහත්පෙළේ හැසිරිමක් පෙන්වමින් තමන් ද පිරිහෙලා ගනිමින් කටයුතු කර අවසානයේ නිරුත්තරව පළා යන ලදී. මෙවැනි අන්ධ භක්තික පිරිස් හට, බුද්ධ භාෂිත අභිධර්මය යනු නයාට අඳුකොල මෙනි. බුද්ධ භාෂිත ධර්මය ගැන සිදුකරනා දහම් සංවාදයන් හමුවේ, ඔවුන් තුල රාග දෝෂ මෝහ වැඩෙන්නට වීමත් ඉතා අවාසනාවන්ත තත්වයකි. ඥාණානන්ද හිමියන් තුල ඇති ධර්ම විරෝධී මත සමාජගත වීම හරහා, ගැඹුරු දහමක් යැයි අභිධර්මය ගැන ජනතාව තුල පෙර තිබූ මතය වෙනස් වී, අභිධර්මය දෑහැට පෙන්නන්ට බැරි මෙවන් පරපුරක් බිහිවෙමින් තිබීම නම් බරපතල තත්වයකි.
කරුණු එසේ හෙයින්, උතුම් වූ නිර්මල ත්‍රිපිටක ධර්මය රැකගැනීමේ පිවිතුරු අරමුණින් යුක්තව මෛත්‍රී සිතින් අරඹනා මේ ධර්ම යුද්ධයට සහභාගී වී, බෞද්ධ ඔබ සැමගේ යුතුකම ඉටුකිරීමට දැන් කාලය එළඹ ඇත.
තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගොස් සිටිනා හිතවතුනි, ඥාණානන්ද හිමියන් පැවසූ පරිදිම තමන්ගේ ගුණ ධර්ම නොපිරිහෙලා ගනිමින්, ඔබලා වෙත එල්ලවී ඇති මේ අභියෝගය හා චෝදනා වලට මුහුණ දෙන්න...! නොබියව යුධ පෙරමුණට විත් තමන් පිළිගන්නා මතය වෙනුවෙන් සටන් වදින්න...! සෘජුව පිළිතුරු දෙන්න..! "සංවාද කිරීම කාලය කෑමකි", "තර්කයෙන් ධර්මය වටහාගත නොහැක", "වාදයෙන් රාග-දෝෂ-මෝහ වැඩේ" ආදී බොරු හේතු දක්වමින්, ඥාණානන්ද හිමියන්ද අනුමත කළ ධර්ම යුද්ධයෙන් පළා නොයන්න...!
එසේම, තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධයිනි, රහතන් වහන්සේලාගේ සිට මහසංඝරත්නය විසින් දිවිහිමියෙන් රැකගෙන ආ උතුම් වූ ධර්මරත්නය අඩංගු නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය සුරැකීමට යුධ පෙරමුණට විත් ඔබගේ යුතුකම ඉටුකිරීමට දැන් ඉතින් කාලයයි..! හැකි තරම් පිරිස් මේ ගැන දැනුවත් කර ඔබගේ දායකත්වය මේ සඳහා ලබාදෙන්න....!
දැන් ඉතින් යුධ භූමිය සූදානම්ය... දහම් ආයුධ වලින් සන්නද්ධව දෙපස බෙදී මේ සිදුකරනා ධර්ම යුද්ධය තුලින් අවසානයේ ලැබෙනා සැබෑ ජයග්‍රහණය වනුයේ නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය යි..! ඒ ජයග්‍රහණයේ හිමිකරුවන් වීමට අප සැමදෙනාම තම යුතුකම ඉටුකරමින් තිසරණය වෙනුවෙන් තම කුණු කය පූජාවෙන් දිවිහිමියෙන් සටන් වදිමු....!!!