සිහිනයකි ජීවිතේ (නවකථාව ) -
01-02-2019, 10:28 PM
පළමු පරිච්ඡේදය
"ආ ඔය ඉන්නෙ රජෙක් වගේ"
උඩරට මුල් ඇඳුමින් සැරසුනු අය්යාගේ දෙවුරින් අල්ලා ගනිමින් අප්පච්චි පවසනු කවීශ ඈත සිට බලා උන්නේ සතුටිනි .
"එතකොට මම පුරෝහිත වෙන්න ඇති"
"හරි හරී පොඩිත් රජ වෙයි හෙට අනිද්ද ම" ලොකු මාමා ද කතාවට හවුල් උනේ දුර ඉදන්මය.
"හොඳයි හොඳයි කට්ටිය පිටත් වෙමු නැකත හරි..දකුණු කකුල ඉස්සර කරල ගෙයින් එලියට බහින්න පුතේ"
අයියා මිදුලට පිවිසෙන විට පිළිගන්නට පිච්ච මල් දැමූ වතුර වීදුරුවක් අතින් ගෙන කවීශ ගේ මව සූදානම් ව සිටියා ය.
ලොකු මාමා ගෙනා මංගල යෝජනාවට මුලින් අදි මදි කල අයියා මේ තරම් ඉක්මනින් විවාහ වේ යැයි කවීශ නිකමටවත් සිතුවේ නැත.ගුරුවරියක වූ සමාධි අක්කා අයියා බලාපොරොත්තු වූවාටත් වඩා ගතිගුණ අතින් යහපත් කෙනෙක් වීමත් ඊට බලපාන්නට ඇතැයි කවීශ සිතුවේය.උදෑසන හයයි අටට යෙදුනු සුභ නැකතින් පිටත්ව ආ මනාල පාර්ශ්වය ගම්පොළ පිහිටි මනාලියගේ නිවසට ලගා වන විට දහය පමණ වී තිබිණි .
දෙවන මනාලයා ලෙසින් සැරසීගත් කවීශ අතින් මල් කළඹ සමාධි වෙත පිලිගැන්වූ පසු පිළිගැනීමේ ගී ගයා මනාලයා පිලිගනු ලැබිණ .
දවසේ කටයුතු අරඹමින් තේ මේසය විවෘත කර නෑ පිරිවරට සංග්‍රහ කර සියල්ලෝම පෝරුවේ චාරිත්‍ර සඳහා සූදානම් වූහ.
පෝරුවේ චාරිත්‍ර අවසන් වූ පසු මංගල යුවලට මද විරාමයක් ලැබිණි .
"අනේ බං තව කොච්චර වෙලා මේක හිර කරන් ඉන්න ඕනෙද"
කවීශ ලද ඉස්පාසුවේ අයියා ගේ කනට කර ඇසුවේය.
"ඉදපං යකෝ ෆොටෝ ටික ගැහුව ගැලෙව්ව "
"මල්ලි මොකෝ කියන්නෙ ."සමාදි ද දෙදෙනා ගේ කසු කුසුව විමසා බැලුවාය.
"මේකට මේක හිර කරන් ඉන්න බෑ කියන්නෙ"
"අනේ කොල්ලො තව පොඩ්ඩනෙ..ඒක නෙවේ මේ ඔයාගෙ මනමාලි එක්ක කතා කරන්නෙ වත් නැද්ද ..."
"වෙඩින් එක ප්ලෑන් කරන කොටම කිය කිය හිටියේ ලස්සන දෙවෙනි කෙනෙක් ගන්නෙ නැත්තම් මෙයා එන්නෙ නෑ කියල"
සමාධි තම යෙහෙළිය ට කීවේ ඇසින් ඉගි කරමිනි...
"කොහොම ද ලස්සන යි ද?"
"කෝ ඉතින් ඔයලා දෙන්න මැදින් හිටියම අපි කතා කරන්නෙ වත් කොහොමද ?"
කවීශ ලැජ්ජාව අතරින් නගා ගත් සිනාවෙන් ම පිලිතුරු දුන්නෙ අක්කා දෙසට නැඹුරු වෙමිනි.
"පුතාලා නෑදෑයො කට්ටියට කතා කරල ඉම්මු නේද එතකොට කෑම මේසෙ ලෑස්ති කරන්න පුලුවන් ඊලඟට "
සමාධි ගේ පියා පැමිණි නිසා කවීශ ට පිලිතුරු දෙන්නට සමාධි ට ඉඩ ලැබුණේ නැත.
"හරි අප්පච්චි "
දෙදෙනා අසුනින් නැගිට යමින් කීවේය.
"හා දැන් ඇති තරම් කතා කරගනිල්ලකෝ"අයියා කවීශ ට කියාගෙන ගියේය..
කවීශ දෙවනි මනාලියගේ මුහුණ හරි හැටි දුටුවේ දැන් ය.සමාධි අක්කා කියූ ලෙසින්ම හැඩකාරියක් තෝරා ගෙන තිබේ .සිහින් දිගටි මුහුණේ ඇත්තේ අහිංසක බවකැයි කවීශ ට එකවරම සිතුනේ ය.කහ පාටට කිට්ටු පාටැති ඈ සමාධි අක්කාට වඩා කැපී පෙනෙතැයි කවීශ ට නිකමට සිතුනේ ය.
"මම ඉරේෂා ...ඔයා කවීශ නේද? "සිනා වතින් ම ඈ අසන විට කවීශ කතාව ට මුලපුරන්නට ප්‍රශ්නයක් සොයමින් ය සිටියේ.
"ආ ඔව් ඔව්..අක්කා ද කිව්වෙ..ඔයා මොනවද කරන්නෙ ?"
"මාත් ටීචිං තමයි කරන්නෙ ...අක්කාගේ බැච් එකේම යි"
"අපොයි ඔයත් අක්ක කෙනෙක් එහෙනම්.."
කවීශ ගේ මුහුණ අඳුරු වු හැටි ඉරේෂා හදුනා ගත්තාය .
"මොකෝ කොල්ලො අප්සට් උනේ දෙවනි මනාලිවත් ඒ ගෙදරට ම එක්ක යන්න නේද හිතුවේ"
"අයියෝ නෑ අප්ප මොකට අප්සට් වෙන්නද"
"මොකෝ නැත්තෙ ඔන්න කදුලු ත් ඇවිත්"
හමුවී පැය කීපයක් වුවත් කලක් තිස්සේ හදුනන කෙනෙකු මෙන් දොඩමළු වන ඈ දෙස කවීශ බලා සිටියේ ආශාවෙනි.නැතැයි කීවත් හිතේ යම් දුකක් තැවරී තිබේ.ගෑණු කම් ලග පිරිමි හිත් බොළඳ වන හැටි පුදුමාකාර ය.
"මල්ලී කොහොමද යාලුව හොඳයි ද?" සමාධි ගේ පැනයෙන් කවීශ ගේ සිතුවිලි දාමය බිඳී ගියේය .
"කොහෙද ඉතින් අක්කෙක් වනෙ සෙට් කලේ" කවීශ සිනාසෙමින් කීවේ ඉගි කරමිනි.
"මල්ලි අවුල් වෙලා ඉන්නෙ හොඳටම" ගින්නට පිදුරු අහුරක් දැම්මේ ඉරේෂා ය.
"අක්කල තමයි නෙ හොඳ බං"
"ආ ඇත්ත ද...?...බලන්නකො ඉරේෂා " සමාධි කීවේ අයියා ගේ කතාවට බොරු තරහක් මවා ගනිමිනි .
"අපොයි වලියක් යන්න යන්නෙ අපි පැත්තකට වෙමු ඉරේෂා අක්ක "
"අනේ ඔව් වලි බේරන්න නම් අපි නෑ"ඉරේශා සිනාසෙමින් කීවාය.
ගෲප් ෆොටෝ ටික ගම්මු ද මිස්ට දෙනගම....ඡායාරූප කරු පැමිණි නිසා සිනාසෙමින් ම පිරිස නික්ම ආහ.
එක් එක් කෝණ වලින් බලමින් ඡායාරූපකරුට අවැසි පරිදි ඉරියව් මවන්නට වීම කවීශ ටන්ම් දැනුනෙ වදයක් ලෙසිනි.
"මෙන්න මේ කපලෙත් ෆොටෝ එකක් ගන්න .."
"ඒ ඩබලත් මැචින් නේද?"සමාධි ඇසුවේ ඡායාරූප ය සඳහා ලඟින් සිටගෙන උන් කවීශ සහ ඉරේෂා දක්වමිනි
"ඉරේෂට බෝයි කෙනෙක් ඉන්නව නේද ?"
"ඔව් අපේ සීනියර් අයියා කෙනෙක් ...මට නම් අල්ලන් නෑ "
"ආ ඔයා අල්ලන්න ඕනෙ නෑ ඉරේෂා අල්ල ගනී ඒව"
"අපෝ ඔන්න කිව්ව ඉතින්"
දිවා ආහාරයෙන් පසු මංගල සභාවේ දෙපාර්ශවයේම කතා වලින් පසුව මනාලියව ඒ දෙමාපියන් විසින් මනාලයා ගේ පවුලට භාර කරවීමේ චාරිත්‍ර ය සැමගේ නෙතට කදුලු ක් ගෙනාවේ ඒ දරු පෙම එතරම්ම ප්‍රබල වූ නිසාමය .කුසින් වදා කවා පොවා උස්මහත් කල තම දරුවා පිටස්තරයෙකුට පවරා දීමට දෙමාපිය සිත් කෙතරම් පරිත්‍යාගශීලී විය යුතු ද.යහලුවන්ගේ උසුලු විසිලු මැද මනාලා යුවල පිටත්ව ගිය පසු දෙපාර්ශවයේම නෑදෑයන් ද එකිනෙකා ගෙන් සමුගත් හ.කවීශ පිටත්ව යෑමට පෙරාතුව වට පිට බැලුවේ ඒ තරු දෑස තව වරක් දැකීමේ ආශාවෙනි.
"අපි ගිහින් එන්නම් අක්කා එහෙනම් "
"හරි මල්ලියෝ ...බුදු සරණයි ..!"
ඒ ලගන්නා ලෙංගතුකම පිරි වදන් සමගින් කවීශ ඉරේෂා ට සමුදුන්නේය.
|