Quote:
Originally Posted by Damith Kariyawasam
|
අන්තෝ ජටා බහි ජටා
නාම රූප යනුවෙන් බෞද්ධ සූත්‍රවල කියෑවෙන රූප බටහිර විද්‍යාවේ රූප නො වන බව මේ වන විට යම් තරමින් වුවත් පැහැදිලි විය යුතු යෑයි සිතමි. බටහිර විද්‍යාවේ රූප යනු නිරීක්‍ෂකයා ගෙන් බාහිර ව තිබෙන රූප ය. නිරීක්‍ෂකයා ගේ ශරීරය ද එහි දී රූපයක් ලෙස ගැනෙන්නේ එය ද (අඩු තරමෙන් එහි කොටස්) නිරීක්‍ෂකයා ගෙන් බාහිර ව නිරීක්‍ෂකයාට දැකගත හැකි වන අයුරෙන් පිහිටා තිබෙන බැවින් ය. මේ නිරීක්‍ෂකයා යනු ශරීර අභ්‍යන්තරයෙහි ඇතැයි කියා සිතන ශරීරය වුව ද යම් ප්‍රමාණයකට හෝ නිරීක්‍ෂණය කළ හැකි අයකු යෑයි ගත හැකි ය. ඇතැම් සිංහල බෞද්ධයෝ නාම රූප යන්නෙහි රූප ලෙස ශරීරය ගනිති. ඔවුන්ට අනුව නාමය යනු යම් අභ්‍යන්තර ව පවතින අයකු වෙයි. මෙහි අයකු යෑයි යොදනු ලැබුයේ එහි සවිඥානික ගුණයක් ඇති බව ඇඟවීමට ය. ශරිරයෙන් බාහිර ව පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන ගස් ගල් වැනි දෑ ද වෙනත් පුද්ගලයන් ගේ ශරීර ද වෙනත් සත්ත්වයන්ගේ ශරීර ද රූප ලෙස ම ගැනෙයි.
බටහිර විද්‍යාවේ නිරීක්‍ෂකයා යනුවෙන් අයකු ද වස්‌තුව (රූපය) යනුවෙන් තවත් දෙයක් ද වෙන වෙන ම ගැනෙන බව පැහැදිලි ය. එසේ ම ඒ නිරීක්‍ෂකයා ද වස්‌තුව ද ඊනියා වාස්‌තවික යථාර්ථ ලෙස පවතින බව ද බටහිර විද්‍යාවේ දී සැලකෙයි. එනම් නිරීක්‍ෂකයා ගේ නිරීක්‍ෂණවලින් ස්‌වායත්ත ව නිරීක්‍ෂකයා පවතියි. මේ නිරීක්‍ෂකයාට යම් ශරීරයක් ඇති නමුත් නිරීක්‍ෂකයා යනු ඒ ශරීරය සහිත පුද්ගලයා යනුවෙන් සමාජයේ හැඳින්වෙන අය ඉක්‌මවන තැනැත්තකු බව ද පැහැදිලි ය. නිරීක්‍ෂකයා යනු ශරීරයක් ඇති අයකු වන බව සැබෑ ය. නිරීක්‍ෂකයා යම් යම් දේ (ඉර හඳ තාරකා ගස් ගල්) නිරීක්‍ෂණය කරන්නේ පංෙච්න්ද්‍රිය ඇසුරෙනි. එහෙත් ඒ නිරීක්‍ෂකයාට ම තම ශරීරය ද නිරීක්‍ෂණය කළ හැකි ය. නිරීක්‍ෂකයාට දර්පණයක් ඉදිරියට නො ගොස් තම ඇස් නිරීක්‍ෂණය කිරීමට නොහැකි මුත් එම සිරුරේ වෙනත් ඉන්ද්‍රිය රාශියක් දැක බලා ගත හැකි ය. එමෙන් ම නිරීක්‍ෂකයාට තම දෑස් ස්‌පර්ශ කළ හැකි ය.
වෙනත් වචනවලින් කිව හොත් නිරීක්‍ෂකයාට තම සිරුරේ අඟ පසඟ පංෙච්න්ද්‍රියන්ට ගෝචර කර ගත හැකි ය. ඇස ඇසට ගෝචර නො වුණ ද ඇස ස්‌පර්ශයට ගෝචර වෙයි. මෙයින් කියෑවෙන්නේ බටහිර දැනුමෙහි සිරුර අභ්‍යන්තරයෙහි (බටහිර විද්‍යාවේ කියෑවෙන ආකාරයට බොහෝ විට මොළය ආශ්‍රිතව) මනස යනුයෙන් යමක් වන බව ය. මනස හා සිරුර යනුවෙන් ද්වෛතයක් බටහිර දැනුමේ ගොඩනැඟී ඇත. එය බටහිර ගණිතඥයකු හා දාර්ශනිකයකු වූ දෙකාරතේ ගේ පිටින් යෑවුව ද බොහෝ බටහිර විද්‍යාඥයන් හා ශාස්‌ත්‍රවන්තයන් කටයුතු කර ඇත්තේ එලෙස මනස හා සිරුර යනුවෙන් වාස්‌තවික වූ කොටස් දෙකක් පවතින බව උපකල්පනය කිරීමෙනි. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂකයා යනු මනස මිස අන් කිසිවකු හෝ කිසිවක් හෝ නො වේ. මේ මනස ආත්මීය වූ එකකි. බටහිර විද්‍යාව මුල සිට ම ආත්මවාදී ය. සිංහල බෞද්ධයන් අතර වූ ඊනියා උගත් බෞද්ධ බටහිර විද්‍යාඥයෝ ද ආත්මවාදීහු වෙති.
බටහිර විද්‍යාවේ මනස එසේ මුල දී ම වාස්‌තවික බව උපකල්පනය කෙරෙන බව බටහිර විද්‍යාඥයෝ අමතක කරති. මෙහි දී වාස්‌තවික යන්න යෙදෙන්නේ මනස ද්‍රව්‍යයක් (විකිරණ ද ඇතුළුව) බව අදහස් කිරීමට නො වේ. එය නිරීක්‍ෂකයා ගෙන් තොර ව නිරපේක්‍ෂව පවතින බව දැක්‌වීමට ය. මනස ද්‍රව්‍යයක් නො වේ යෑයි ඇතැම් බටහිර විද්‍යාඥයන් සලකන්නට ඇත. එය ඇතැමුනට ආධ්‍යාත්මික වන්නට ඇත. එහෙත් මනසට (බටහිර විද්‍යාව මේ සියල්ල පටලවා ගනියි. එයට අනුව විඥානයට) මොළයෙන් තොර පැවැත්මක් නැතැයි පෙන්වීමට බටහිර ද්‍රව්‍යවාදී විද්‍යාඥයෝ උත්සාහ දරති. මොළය ද්‍රව්‍යයෙන් සැදී ඇත. මොළයේ ඇති වන ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන මනස (විඥානය) ඇති වන බව පෙන්වීමට බටහිර විද්‍යාඥයෝ වළි කති. මනස ද්‍රව්‍යයක් ද නැත් ද යන්න මෙහි දී බටහිර විද්‍යාවට වැදගත් නො වේ. බටහිර විද්‍යාවට ප්‍රධාන වශයෙන් ම වැදගත් වන්නේ මනස අපේ නිර්මාණයක්, සංස්‌කරණයක්, නො වන බව, අපට සාපේක්‍ෂ නො වන බව පෙන්වීම ය. ඉන්පසුව ද්‍රව්‍යවාදීන්ට අවශ්‍ය වනුයේ මනස ද්‍රව්‍ය නිසා පවතින බව පෙන්වීම ය. ඔවුන් මනස ද්‍රව්‍යමය වස්‌තුවක් වූ මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි.
කෙසේ වෙතත් බටහිර පඬිවරු මුල දී මනස හා සිරුර දෙකක් ලෙස සැලකූ හ. නැවතත් අවධාරණය කළ යුත්තේ මනස හා සිරුර නාම රූප සමග පටලවා ගත නො යුතු බව ය. දෙකාරතේ පඬිවරයා ගේ ද්වෛතය පදනම් වන්නේ මෙසේ මනස හා සිරුර දෙකක් ලෙස ගැනීම මත ය. පළමුව මිනිස් සිරුර අරභයා සිදු කෙරෙන මේ වෙනස් වීම පසුව සිරුරකින් හෙබි නිරීක්‍ෂකයා හා අවට බාහිර ලෝකය අතර ඇති වෙනස දක්‌වා විස්‌තීරණය කෙරෙයි. සුප්‍රසිද්ධ කාටීසීය තාප්පය ගොඩනැඟෙන්නේ ඒ ඔස්‌සේ ය. කාටීසීය තාප්පය නම් කෙරී ඇත්තේ දෙකාරතේ (desCartes) පඬිවරයා ගේ නමින් ය. ඔහුට අනුව නිරීක්‍ෂකයා තාප්පයක මෙහා පැත්තේ සිට තාප්පයේ වූ සිදුරකින් තාප්පයෙන් අනෙක් පැත්තෙහි සිදු වන සිද්ධි නිරීක්‍ෂණය කරන අක්‍රීය පුද්ගලයෙකි. නිරීක්‍ෂකයා සක්‍රීය සම්බන්ධතාවකින් තොර ව තාප්පයෙන් අනෙක් පැත්තෙහි සිදු වන දේ නිරීක්‍ෂණය කරයි. ඔහුට තාප්පයෙන් එහා පැත්තෙහි නිරීක්‍ෂණය කිරීමට සිද්ධි වෙයි. ඒ නිරීක්‍ෂිතය වෙයි. ඔහු ඒ නිරික්‍ෂණය කරන්නේ මැදිහත් වීමකින් තොර ව ය. එනම් නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන්නේ කෙසේ වෙතත් සිදු වෙමින් පවතින ක්‍රියා ය. නිරීක්‍ෂකයා ඇතත් නැතත් ඒ ක්‍රියා සිදු වෙයි. ඒ ක්‍රියා නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන අවස්‌ථාවට පමණක් සීමා නො වේ.
නිරීක්‍ෂකයා ඇතත් නැතත් නිරීක්‍ෂිතයෙහි ගුණවලට අගය ඇත. නිරීක්‍ෂකයා කරන්නේ තමා ගෙන් නිරපේක්‍ෂ ව පවතින ඒ ගුණ මැනගැනීම පමණකි. නිරීක්‍ෂකයා නිසා ඔහු ගේ ක්‍රියාකාරීත්වය නිසා නිරීක්‍ෂිතයේ ගුණවලට අගය නො ලැබේ. නිරීක්‍ෂකයා මැන්නත් නැතත් නිරීක්‍ෂිතයේ ඒ ඒ ගුණවලට නිශ්චිත අගය ඇත. දෙකාරතේ පඬිවරයා ගේ ගිණුමට බැර කර ද බටහිර පඬුවන් අතර මෙවැනි මතයක්, අදහසක් මුල් බැසගෙන තිබිණි. දෙකාරතේ පඬිවරයා කළේ ඒ අදහස සූත්‍රගත කිරීම ය. මිනිස් සිරුර සම්බන්ධයෙන් මනස හා සිරුර අතර බටහිරයන් අතර තිබූ ද්වෛතය සිරුරක් සහිත නිරීක්‍ෂකයා හා (තාප්පයෙන් එහා පැත්තේ තිබූ) බාහිර ලෝකයක් අතර වූ ද්වෛතයක් කරා විස්‌තීරණය වූයේ එලෙස ය. නිව්ටෝනීය යාන්ත්‍රිකය හා ඒ අනුසාරයෙන් ගොඩනැඟුණු සම්භාව්‍ය භෞතික විද්‍යාව (ක්‌වොන්ටම් නො වන භෞතික විද්‍යාව) පදනම් වන්නේ නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂිතය අතර ඇති ද්වෛතය මත ය. නිව්ටන් පඬිවරයා 1642 දී එංගලන්තයේ දී ඉපදුණු අතර දෙකාරතේ පඬිවරයා ප්‍රංශයේ ඉපදී ඇත්තේ 1596 දී ය. ඔහු 1650 දී මිය යන විට අයිසැක් නිව්ටන් කුඩා දරුවෙකි.
මේ බටහිර අදහස් නාම රූප සමග කෙතරම් වෙනස් ද යන්න නැවත නැවතත් අවධාරණය කළ යුතු වෙයි. බුදුදහමේ නාම රූප ඇති වන්නේ විඤ්ඤාණය හේතු කොටගෙන ය. අනෙක් අතට නාම රූප හේතුවෙන් විඤ්ඤාණය හට ගනියි. නාම රූප දෙක ම විඤ්ඤාණය හා සම්බන්ධ වෙයි. එහි එකක් වත් බාහිර ව ඇති වන්නක් නො වේ. නාමයක් නොමැති ව ඇති වන රූපයක් නැත. රූපය ද නාමයත් සමග විඤ්ඤාණය නිසා හට ගනියි. එහි දී ඇති වන සංඥා රූපය නිසා ඇති වන රූපවලින් ලැබෙන සංඥා නො ව රූප පිළිබඳ සංඥා ය. එමෙන් ම රූප යනු සිරුර නො වේ. සිරුර පමණක් නො ව මනසක් ද නැති බුදු දහමෙහි නිරීක්‍ෂිත රූප පමණක් නො ව නිරීක්‍ෂකයකු ද නැත. ඒ සියල්ල විඤ්ඤාණය නිසා හට ගැනෙන ප්‍රතිත්‍යතාසමුප්පන්න පමණකි. එහෙත් විවිධ ගුරු කුලවල බෞද්ධයෝ සිරුර රූපය ලෙස ගනිති. එසේත් නැත්නම් බාහිර ව පවතින්නේ යෑයි කියන වස්‌තු රූප ලෙස ගනිති. නිරීක්‍ෂකයකු ද නැති කල නිරීක්‍ෂිත පවතින්නේ කෙසේ ද?
අපි දැන් නැවතත් රූප කලාපවලට යමු. සිංහල ථෙරවාද අභිධර්ම සාහිත්‍යයට අනුව චිත්තක්‍ෂණ දහ හතක් රූපක්‍ෂණයක් වෙයි. මෙහි එක් තේරුමක් නම් රූප කලාපයක් අල්ලා ගැනීමට චිත්ත දහ හතක් අවශ්‍ය වන බව ය. අප කලින් කියා ඇති පරිදි චිත්තයක් ඇති වී නැති වී තවත් චිත්තයක් හටගනියි. නැති වූ චිත්තයට පසුව පහළ වන චිත්තයට කලින් තිබූ චිත්තයෙහි තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු වෙයි. මේ හේතුවෙන් මතකය යනුවෙන් සංකල්පයක් ද ඇති වෙයි. වස්‌තුවක් අපට ග්‍රහණය වන්නේ කෙසේ ද? මෙහි දී ඊනියා වස්‌තුවක් අපෙන් ස්‌වායත්ත ව, නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතින්නේ යෑයි උපකල්පනය නො කෙරෙයි. අපට ඒ ඒ ඉන්ද්‍රිය ඔස්‌සේ (සළායතනවලින් එකක් ඔස්‌සේ) ලැබෙන්නේ එක් ගුණයක් පමණි. එය පටිච්චසමුප්පාදයෙන් තේරුම් ගත යුතු ය. සියල්ල ඇති වන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම පිළිබඳ වූ අවිද්‍යාව හේතු කොටගෙන අපි සංස්‌කරණය කරන්නෙමු. ඒ හේතුවෙන් විඤ්ඤාණය ද, නාම රූප ද, සළායතන ද, ඵස්‌ස (ගැටීම- ස්‌පර්ශය) ද, වේදනා ද ඇති වෙයි. ඉන්පසු තණ්‌හා ආදිය හටගනියි. එහෙත් අපේ කාර්යය සඳහා දැනට අපට වේදනාවෙන් නැවතීමට හැකි වෙයි.
අප තේරුම් ගත යුත්තක් නම් මෙහි කිසි ම තැනක බාහිර වස්‌තුවක් නිසා ඇති වන ගැටීමක්, වේදනාවක් ගැන නොකියෑවෙන බවය. සියල්ල අභ්‍යන්තර ව, එකක් නිසා අනෙක හටගනියි. සංස්‌කරණය කෙරෙන්නේ අභ්‍යන්තර ව ය. විඤ්ඤාණය, නාම රූප සළායතන ආදී ඒ සියල්ල අභ්‍යන්තර ව ම වෙයි. මෙහි දී සළායතන යන්න ද ඇස, කණ, නාසය ආදී වශයෙන් සිරුරෙහි පවතින ඉන්ද්‍රිය නො ව අභ්‍යන්තරව වූ ආයතන හයක් හැඳින්වීම සඳහා යෙදෙන බව කිව යුතු ය. එසේ නම් නිව්ටෝනීය රූප කලාපයක් යනුවෙන් අප ග්‍රහණය කර ගන්නේ කුමක් ද? අපෙන් බාහිර ව ඇති වස්‌තුවක් ද? එසේත් නැත්නම් අභ්‍යන්තරයෙහි අප විසින් සංස්‌කරණය (සංඛාර) කෙරෙන ඊනියා වස්‌තුවක් ද? බාහිර ව ඇති වස්‌තු සමග ගැටීමක් නොමැති ව වේදනාවක් ඇති වන්නේ කෙසේ ද? අප සියල්ලට ම පළමුව මේ ගැටලුව විසඳා ගත යුතු යෑයි සිතමි.
අපට වේදනා ඇති වන්නේ ගැටීම නිසා මිස බාහිර ව පවතින වස්‌තු සමග ගැටීම නිසා නො වේ. මනස එක් සළායතනයක් ලෙස ගත් කල මනස නම් සළායතනයෙහි ඇති වන ගැටීම් නිසා ද වේදනාව ඇති වෙයි. අප එසේ කීව ද එය අපේ ගැටලුවට පිළිතුරක් නො වන බව දනිමි. මනසෙහි පමණක් ඇති වන ගැටීම් හා මනස හා වෙනත් සළායතනයක් සම්බන්ධ වී ඇති කෙරෙන ගැටීම් අතර වෙනසක් නැති දැයි කිසිවකුට ඇසිය හැකි ය. එබැවින් අපි ප්‍රශ්නය වෙනස් ආකාරයකින් අසමු. ගැටීමකට පෙර ඊනියා වස්‌තුවක් තිබේ දැයි අපි දනිමු ද?
සැබැවින් ම ගැටීමට (ඵස්‌ස) පෙර අපට වස්‌තුවක් නැත. වස්‌තුව ඇති වන්නේ ම ගැටීම මෙන් ම වේදනාව ද, පටිච්චසමුප්පාදයෙහි එයට පෙර වූ අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන ද නිසා ය. එසේ ඇති වන වස්‌තුව අභ්‍යන්තර ව ඇති වන්නක් මිස බාහිර ව ඇති වන්නක් නො වේ. එහෙත් එවිට කිසිවකු අසනු ඇත්තේ එසේ අභ්‍යන්තර ව ඇති වන්නේ බාහිර ව වස්‌තුවක් තිබූ නිසා නො වේ ද යන්න ය. දැන් අපි උපකල්පනයක් කරමු. එසේ බාහිර ව වස්‌තුවක් තිබිණි යෑයි අපි සිතමු. අපට එලෙස දැනගැනීමට කිසි ම ක්‍රමයක් නැති බව මෙහි දී වටහාගත යුතු ය. (ඈත අහසෙහි මන්දාකිණි ඇතැයි අපට කිසිවකු කී පමණින් අපට මන්දාකිණි දැකගත නො හැකි ය. අපට කළ හැක්‌කේ එලෙස මන්දාකිණි ඇති බවට විශ්වාස කිරීම පමණ ය. අප බොහෝ දෙනාට ඇත්තේ මන්දාකිණි ගැන විශ්වාසයක් පමණකි.) දැන් මගේ ප්‍රශ්නය අප බාහිර ව ඇතැයි සිතන වස්‌තුවත්, එසේ ඇතැයි සිතුව ද, අප අභ්‍යන්තරව ග්‍රහණය කරන වස්‌තුවත් දෙක ම එකක් ද යන්න ය.
නලින් ද සිල්වා