දයාබර ශිෂ්‍යයා/ ශිෂ්‍යයාව වෙත,
“නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය” පිළිබඳ සති 03 ක පුහුණු වැඩසටහන - 2011 මැයි 23 දින සිට ජූනි 12 දින දක්වා
01. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් අධ්‍යාපනය සඳහා පිවිසේ යැයි විශ්වාස කරනු ලබන සියළුම සිසු දරු දැරියන් අනාගත ශ්‍රී ලංකාවේ නායක නායිකාවන් කිරීමට උපකාරී වන “නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය” පිළිබඳ වැඩසටහනක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
02. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම පුහුණු වැඩසටහන 2011.05.23 වන දින (ස්ථානය ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ විභාග අංකය සටහන් කල විට ලැබෙන වෙබ් පිටුවෙහි ප්‍රදර්ශනය වේ.).ස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතය. එබැවින් එදිනට පෙර දින එනම් 2011.05.22 වන දින පෙරවරු 10.30 ට පෙර එම ස්ථානයේ ස්ථානභාර නිලධාරි වෙත ඔබ අනිවාර්යයෙන්ම මෙම පුහුණුව සඳහා වාර්තා කලයුතුය. පුහුණුව නිම කිරීමෙන් පසු එය නිම කල බවට සහතිකයක් නිකුත් කරනු ලැබේ. එය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවශ්‍ය පූර්ව පුහුණුව ලද බවට සහතිකයකි.
03. මෙම පුහුණු වැඩසටහන 2011 මැයි මස 23 දින සිට 2011 ජූනි මස 12 දින දක්වා සති 03 ක කාලයක් නේවාසිකව පැවැත්වෙන බැවින් ඔබගේ පෞද්ගලික බඩුබාහිරාදියට අමතරව පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය දේවල් මේ සමඟ ඇති ලේඛනයේ දක්වා ඇත.
04. නවාතැන් පහසුකම්, ආහාරපාන, පාඨමාලාවට අදාල අත්පොත, ලිපිද්‍රව්‍ය සහ ශාරීරික අභ්‍යාස සඳහා අවශ්‍ය ටී ෂර්ට් දෙකක් සපයනු ලැබේ.
05. උසස් අධ්‍යාපනය ලැබීමට කැමැති සියළුම සිසු සිසුවියන් විසින් හැදෑරිය යුතු මෙම පාඨමාලාවට සහභාගී වීමට විශේෂ අපහසුතාවයක් ඇත්නම් එනම්, බෝවන රෝගවලින් පෙලෙන්නේ නම් ඒ බව පහත සඳහන් ලිපිනයට දන්වා එවිය යුතුය. හෘදයාබාධ, වකුගඩු ආබාධ වැනි බරපතල රෝගවලින් පෙලෙන්නේ නම් ඒ බව සනාථ කෙරෙන වෛද්‍ය වාර්තා සමඟ අදාල පුහුණු මධ්‍යස්ථානයට නියමිත දින වාර්තා කලයුතු වේ. එම මධ්‍යස්ථානයට අනුයුක්ත වෛද්‍යවරයා විසින් එම වාර්තා නිරීක්‍ෂණය කොට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදෙනු ඇත. මෙම කාලය තුල විදේශ ගමන්, විභාග ආදී නොවැලැක්විය හැකි කරුණු වේ නම් ඒ බව සනාථ කෙරෙන ලියවිලි සමඟ මා වෙත දැන්වීමෙන් 2011 ජූනි 16 දින සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවේ දෙවන කණ්ඩායමට ඔබ ඇතුලත් කිරීමට කටයුතු කරනු ලැබේ.
06. පුහුණු වැඩසටහන පැවැත්වෙන කාලය තුල සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් වෙන් වෙන්ව පිහිටි නේවාසිකාගාරවල ලබා දීමට කටයුතු යොදා ඇත. පිරිමි නේවාසිකාගාරයන්හි කටයුතු පිරිමි නිලධාරින් විසින් කරනු ලබන අතර කාන්තා නේවාසිකාගාරයන්හි කටයුතු කාන්තා නිලධාරිනියන් විසින් කරනු ලැබේ.
07. වටිනා ද්‍රව්‍ය හා උපකරණ රැගෙන ඒමෙන් වැලකී සිටියයුතු අතර ශාරීරික අභ්‍යාස පංති පැවැත්වෙන කාලය තුල ජංගම දුරකථන භාවිතය සඳහා ඉඩදෙනු නොලැබේ. පංති නොපැවැත්වෙන වේලාවන් තුලදී ජංගම දුරකථන භාවිතයට බාධාවක් නොමැත.
08. ශ්‍රී ලංකාවේ අනාගත දැක්ම හා ගෝලීය වෙනස්වීම්, ක්‍රමෝපායික ජීවන සැලැස්මක් සැකසීම හා දිගුකාලීන අරමුණු කරා ලඟාවීම, ඝන සරඹ, ප්‍රථමාධාර, ඉතිහාසය, නායකත්වය, ගැටුම් කළමනාකරණය, මනෝ විද්‍යාව, ලිංගික අතවර, රටේ නීතිය, සාමාජීය සිරිත් විරිත්, නේවාසිකාගාර වත්පිළිවෙත්, රූපලාවන්‍ය හා පෞද්ගලික සනීපාරක්‍ෂාව යන විෂයන් මෙම පාඨමාලාවට ඇතුලත් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රවීන දේශක මහත්ම මහත්මීන් විසින් එම දේශන මෙහෙයවනු ලැබේ.
09. ශාරීරික අභ්‍යාස සඳහා නොමිලේ ලබාදෙන ටී ෂර්ට් දෙක සහ මෙම පාඨමාලාව සඳහා විශේෂයෙන් සකස් කල අත්පොත ඔබ පුහුණුව සඳහා වාර්තා කරනු ලබන අවස්ථාවේදී මධ්‍යස්ථාන භාර නිලධාරින්ගෙන් ලබාගත හැකිය.
10. මෙම පුහුණුව ලබාගැනීම ඔබගේ අනාගත ජීවිතය සාර්ථක කරගැනීමට මහෝපකාරී වේ යැයි විශ්වාස කරන අතර උසස් පෙළ ශිෂ්‍ය මානසිකත්වයෙන් මිදී අර්ථාන්විත සහ ඵලදායි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වීමට අවශ්‍ය පසුබිම මෙමඟින් සලසනු ඇත. මෙම තෙසතියක පුහුණුව ලබාදීම විශ්වවිද්‍යාල පාඨමාලාවන්ට ඇතුලත් වීමට අවශ්‍ය අනිවාර්ය කරුණක් වන අතර මෙම පුහුණුව ලබාතිබීම පමණක් තුලින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීම සනාථ නොකෙරේ. තවද මේ අවස්ථාවේදී ඔබ කුමන විශ්වවිද්‍යාලයේ කුමන පාඨමාලාවට තේරි සිටීදැයි අපට නිශ්චිතව ප්‍රකාශ කල නොහැකිය.
11. අනාගත නායක නායිකාවන් වීමට සිහින මවන ඔබට මෙම පාඨමාලාව හැදෑරීම තුලින් වර්ධනය කර ගන්නා දැනුම, ආකල්ප, චින්තන මණ්ඩල හා කුසලතා ඔස්සේ එම සිහිනය සැබෑවක්ම කරගැනීමට හැකිවේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
මෙයට විශ්වාසී,
අචාර්ය සුනිල් ජයන්ත නවරත්න
ලේකම්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය