෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

    Cover.jpg


    01.png


    "ක්‍රීං.... ක්‍රීං.. ක්‍රීං.. ක්‍රීං.."

    මුලින් ලාවට ලාවට වගේ ඇහෙන්න ගත්තු මොකක්දෝ අපබ්‍රංස සද්දයක් හින්දා, කට කපලා නිදාගෙන ඉදපු මගේ නින්දෙන් බාගයක් විතර කැඩුනා.

    'මොකක්ද බං ඒ සද්දේ..?' මං නිදිමතේම මගෙන් අහගත්තා.. හරි.. හරි.. මේ ඉන්නෙ කටුගස්තොට එරීනා හෝල් එකේ.. ඉන්ටවල් එකෙන් පස්සේ, ෆිල්ම් එක පටන් ගන්න බෙල් එක තමයි ඒ.. ෆිල්ම් එකේ ගතිය කොහොමද කියනවා නම්, පටන් ගත්තු වෙලාවෙ ඉදලම මං නිදි.. එහෙනම් ඉතිං අවුලක් නෑ.. මං ඉතුරු ටිකත් නිදාගන්නවා.. මං හරි බරි ගැහුණා.. ඒත් වැඩේ කියන්නෙ, බෙල් එකේ සද්දෙ තාමත් ඇහෙනවා.. අඩේ අප්පා.. හෝල් එකේ මනුස්සයට බෙල් එක ඕෆ් කරන්න අමතක වෙලාද..? නැත්තං කවුරු හරි දෙකතුනක් ඇනලා ඌව ඒක උඩට අතෑරලද.? එහෙමත් නැත්නම් ඌට වෙන මොකක් හරි අසනීපයක්ද..? මට හිතාගන්න බැරිවුණා.

    මේ ඇහෙන සද්දෙත් එක්ක නම් තවත් නිදාගන්න බෑ.. මං ලාවට ඇස් දෙක ඇරිලයා.. හත්තිලව්වේ.. මේ වදින්නෙ මගේ එලාම් එකනේ.. ඔන්න එතකොට තමයි මගේ හිතට නියම සිහි කල්පනාව ආවේ.. බෙඩ්ෂීට් එකෙන් බාගෙට එළියට ඇවිල්ලා ඔරලෝසුවෙ උඩ කෑල්ල චස් ගාලා පහලට එබුවා.. ඇති යන්තම්.. සද්දෙ නැවතුනා. මේ කතන්දරේ කොල්ලෙ සෙට් එකට එහෙම කිව්වොත් උං හරහට හිනාවෙයි.. කවුද අප්පා ඕවා කියන්න යන්නේ..

    මං ආයෙමත් බෙඩ්ෂිට් එක ඇතුළට ඔළුව ඔබාගෙන ඇදේ ගුලිවෙන්නයි හැදුවේ. ඒත් ඊට කලින් කාමරේ කර්ට්න් එක පැද්දුනා.

    "උදේ හයට එලාම් එක තියාගෙන ආයෙත් ඔයා නිදාගන්නද යන්නේ..? ඇත්තමයි බන්ටි ඔයාට නම් හොදටම පිස්සු.."

    අක්කගෙ ටක ටකේට මං ආයෙත් ඇස් දෙක ඇරියා. මොන අවනඩුවක්ද මේ..? එළාම් එකත් මගේ.. ඒකෙන් එන සද්දෙත් මගේ.. ඉතිං ඒක දහයට බැරිනම් පහලොවට හරි තියාගන්න එක මගේ වැඩක්නේ.. බලන් ගියාම අපේ අක්කටත් ඕන්නැති ඉදි ආප්පයක් නෑ.

    "අනේ ප්ලීස් අක්කේ.. ඔයා මගේ හොද අක්කනේ.. කරුණාකරලා ඔය දොරත් වහගෙන ඔයා යනවද..? හිතට නිකං අමාරුයි, අමාරුයි වගේ නම් තව පැය දෙකකින් විතර අවිල්ලා මං ඇහැරිලද කියලා බැලුවට කමක් නෑ.. මං දොළහට එලාම් එක තියාගන්නම්.."

    "බන්ටී... ඇත්තමයි ඔයා නම් මහ පුදුම කම්මැලියෙක්.. ඉන්නවකෝ මම වතුර බාස්කට් එකක් ගේන්න.."

    "ඔන්න.. ඔන්න අක්කේ.. ඔයා වැඩේ දෙල් කරගන්නයි යන්නේ.. දන්නවනේ.. මං නිදාගෙන ඉන්නකොට මට මුකුත් අලාභයක්, හානියක් උනොත් එහෙම ඔයාට සදාකාලයටම ඇහැරිලා තමයි ඉන්න වෙන්නේ.. නිකං යාන්තම් ඇහැ පියවෙනකොට වතුර බාල්දි දෙක තුනක් හතර අතේ ගලලා යයි.."

    "ඔව්.. ඔව්.. ඔයා ඒකත් කරන්න බැරි පුත්‍රයනේ.. ඉන්නවකෝ මං අම්මව එවන්නම්.."

    ඇස් දෙකත් ලොකු කරන් අක්කා මගේ දිහා බලන් හිටියේ මාද කාලා දාන්න ඕන කොහොමද කියලා හිතාගන්න බැරිව වගේ.. සුදු රවුම් මූණ මැදට ඇවිල්ලා තියෙන ලොකු ඇස් දෙක අක්කගෙ මූණට ගෙනාවෙ අමුතුම සිරියාවක්. අනික ඇස් දෙක ලොකු උනත්, පුංචි උනත් අක්කා ලස්සනයි කියන්න මං දැනන් හිටියා.

    අක්කා කාමරෙන් ගියා විතරයි මං ආයෙත් බෙඩ් ෂිට් එක ඇතුලට ගුලි ගැහුණා. නිදිමත කට කපලා එකයි.. කවුරු හරි බැලුවානම් හිතාවි, පව් කොල්ලා.. ඊයෙ රෑ මොකකට හරි නිදිමරලා.. ඒ අමාරුවට තමයි මේ නිදාගන්නෙ කියලා.. පිස්සුද..? හැටිද..? මං හැමදාම මෙහෙම තමයි..

    ආයෙත් බෙල් එකක අදෝනාව ඇහෙන්න ගත්තෙ යාංතට ඇහැ පියවීගෙන එනකොට.. හත් දෙයියනේ.. මොන අවමගුලක්ද මේ..? මෙච්චර ඉක්මනට දොළහ උනාද..? මට නිකං ඇස් පිහාටු දෙක පාත් කරගන්නවත් වෙලාවක් උනේ නෑනේ..

    "බන්ටී.. අන්න ඔයාට කෝල් එකක්.."

    අක්කගෙ කටහඩ ආයෙත් දොර ගාවින් ඇහුණා. එහෙනම් ඒ එළාම් එක නෙමෙයි.. ටෙලිෆෝන් එකේ සද්දේ..

    "කාගෙන්ද අක්කේ..?"

    "කාගෙන්ද ඉතිං.. ඔයාගේ කල්යාන මිත්‍රයගෙන් තමයි.."

    හප්පට සිරි.. ලොකු පුතාට එහෙනම් උදේ පාන්දරම මාව මතක් වෙලා.. උප්පැන්නෙ තියෙන ඔරිජිනල් නම චාමික උනත්, අපි කොල්ලො හැමෝම ඌට කිව්වෙ 'ලොකු පුතේ' කියලා.. මොකද ඌ වෙලාවක් කලාවක් නැතුව අපි හැමෝටම කතා කෙරුවෙ 'ලොකු පුතේ' කියලා කෑල්ලක් දාගෙන. ඒ කියන්නෙ අපි හැමෝගෙම ලොකු බාප්පොච්චි ඌ..

    හැබැයි ඉතිං මොකක්ද දන්නෑ කේස් එක.. ඌ සාමාන්‍යයෙන් දුරකතන ඇමතුම් දෙන එකෙක් නෙමෙයි.. පරණ මොරිස් මයිනර් කබලක් වගේ ගේ ඇතුළටම කඩාගෙන වදිනවා මිසක..

    "මොකක්ද බං.. උඹලා උදේ පාන්දරම බාල්දිය දානවා.. පොඩ්ඩක් මනුස්සකමට නිදාගන්න දීපංකෝ.."

    ෆෝන් එක ගත්ත ගමන් මං කියවගෙන ගියා..

    "නිදාගන්න හෙට හරි බැරියෑ.. මාර අවුලක් වෙලා ලොකු පුතේ.. මට හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා.."

    "හිතන්න බැරි නම් නොහිත ඉදපං.. වැඩේ ඉවරනේ.."

    "මේක සීරියස් කේස් එකක් ලොකු පුතේ.. උඹ මොළේ කල්පනා කරලා ධර්මෙන් වැඩ කටයුතු කරන එකානේ.. මං ඒකයි ඉස්සෙල්ලම උඹට කතා කලේ.."

    "හරි.. දැන් මොකක්ද වෙලා තියෙන්නේ..? වැහැල වැහැල නුවර ටවුන් එක යට වෙලාද..? නැත්නම් වේල්ස්පාක් එක පැණිදෙනියට අරගෙන ගිහිල්ලද..?"

    "යටවෙච්ච හොල්මනක් නෑ ලොකු පුතේ.. වේල්ස් පාක් එකත් එතනමයි.. මේක ඊට වැඩිය ලොකු දෙයක්.. අපිට බොක්කෙන්ම ගේමට බහින්න වෙනවා.."

    "කියන මගුලක් තේරෙන්න කියපං චාමික.. මට තව ටිකක් නිදාගන්න ඕන.. හොදටම නිදිමතයි බං.."

    "උඹේ නිදිමත යයි මේක ඇහුවාම.. අපේ බිංදුවා බලන් ඉන්දෙද්දිම 'රන අවුට්' උනා ලොකු පුතේ.."

    "ඒ කිව්වේ..?"

    "දැන් තර්ඩ් අම්පයර්ට දාලා තියෙන්නේ.. තාම තීරණයක් නෑ.."

    "කියන මළදානයක් තේරෙන්න කියපංකෝ බං.."

    "අපේ බිංදුගෙ ලව් එක කැන්සල් ලොකු පුතේ.."

    චාමිකගෙ කතාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා. උදේ පාන්දරම කඩන් පාත් වෙච්ච මේ හෙණ ගෙඩිය මොකක්ද..? මට හිතාගන්න බැරිවුණා..

    "උඹ මගේ නින්ද කඩන්න මුසාවාදයක් නේද අදින්නේ..?"

    "රෙද්ද තමයි.. මොන මුසාවාදද..? පිස්සු නටන්නෙ නැතුව මට උපදෙසක් දියන්.. නැත්නම් අපේ බිංදුවා අනාථ වෙයි.. ඊට පස්සෙ ඌ පොඩිවෙච්ච ෂර්ට් ඇදගෙන, ටැප්වෙන්න දාලා, නුවර ටවුම දෙක වෙන්න විරහ ගීත කියයි.. අපිට බෑ ලොකු පුතේ ඌට එහෙම වෙනකල් බලන් ඉන්න.. අපිට ඉක්මනට මොනවා හරි කරන්න වෙනවා.."

    හත්තිලව්වේ.. කේස් එක ඒ තරම් බරපතලෙට ගිහිල්ලද..? මූ කියනව වගේ දැන් මොනවා හරි කරන්නම වෙනවා.. ඒත් හැමදේම කරන්න කලින් සීන් එකේ මුල, මැද, අග චාමිකගෙන් අහගෙනම ඉන්න ඕන.. නැත්තං බිංදුට කලින් මායි අනාථ වෙන්නේ..

    "දැන් මොකද බිංදුට වෙලා තියෙන්නේ..?"

    "වෙලා තියෙන්නෙද..? නිරෝෂි ආන් අරහෙ වෙන එකෙකුට සෙට් වෙලා.."

    "ඒ කොහොමද බං එහෙම වෙන්නේ..? නිරෝෂි අයිති අපේ බිංදුට.. ඒකිට එහෙම කරන්න බෑ.. අනික බිංදු ළගින් මං ඉන්දෙද්දි, ඒකිට හීනෙකින්වත් බිංදුගෙන් ඈත්වෙන්න මං ඉඩ තියන්නෑ.. උඹට තේරුණාද..?"

    "ඒක තමයි ලොකු පුතේ.. මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. වෙච්ච දේ මටත් උහුලන්න බෑ.. මේක බිංදුට කියන්නත් බෑ.. අපි.. අපි මොනවද බං කරන්නේ..? නිරෝෂිව සෙට් කරගත්තු ඇටකිච්චට අම්බාගෙන නෙලමුද..?"

    ඔන්න ඕන්න චාමික දවසේ වැදගත්ම ප්‍රශ්නෙ මගෙන් ඇහුවා.. ඔයාලට කියන්න, මම නම් ඕවට එක පයින්.. කන්න ඕනෙත් නෑ.. බොන්න ඕනෙත් නෑ.. හැබැයි ඉතිං හැමදේම කරන්න වෙන්නෙ ගෙරදට හොරා.. ඩිංගක් හරි ලීක් උනොත් සදා සොත්ති භවන්තුතේ තමයි.. මොකද කියනවා නම් මං තාම හය හතර නොතේරෙන ළදරුවා.. කොහේටද ඉතිං.. අපේ ගෙදරට මිසක්ක..

    "ඇටකිච්චට නෙලලා, ඌව ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට දාමු.. ඊට පස්සෙ නිරෝෂිටත් ඇගිලි පහම වදින්න කම්මුල් පාරවල් හය හතක් දෙමු.. ඇයි බං.. මෙච්චර කාලයක් බඩේ බැදගෙන ලව් කරලා එහෙම හිතුණු හිතුණු ගමන් අපේ බිංදුව හලන්න ඒකිට පර්මිෂන් දුන්නෙ කවුද..? ඇත්තමයි චාමික.. මට ඔය වගේ වෙලාවට අම්මා, තාත්තා පේන්නෑ.."

    ඇත්තටම මට තදවුණා.. කෙල්ලොන්ට මේ තරම් නොසංඩාල වැඩ කරන්න දෙන්න පුළුවන්ද..? බෑ.. බෑ.. කොහොමටවත් බෑ.. දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්නෙට බහින එක.. චාමික මගෙන් ඉල්ලන්නෙත් ඒකනේ.. ආයෙ දෙකක් නෑ.. ඇටකිච්චට පැණි බේරෙන්න දෙනවා.. නිරෝෂිටත් ආයෙ කොල්ලො දිහා විහිලුවකටවත් බලන්න බැරි වෙන්නයි නන්නත්තාර කරලා දාන්නේ..

    "ඔන්න උඹ පුරුදු රිද්මෙට ඇවිල්ලා.. මට මාර සන්තෝසයි ලොකු පුතේ.. වැඩි විස්තර හවස හම්බවෙලා කතා කරගමු.. මං මේ ගමන්ම අමිලටයි, ශිහාන්ටයි, සරිගමයටයි කතා කරන්නම්.."

    "ඒ කියන්නෙ පුරුදු වෙලාවට ටොරින්ටන් පාර්ක් එකට..?"

    "නෑ.. නෑ.. ලොකු පුතේ.. උඹ සරිගමයලහට වරෙන්.. අපි එතෙන්දි සෙට් වෙමු.."

    පහුගිය කාලේ පුරාම බිංදුයි, නිරෝෂියි හිටියේ කොයි තරම් සන්තෝසෙන්ද..? එකපාරටම ලොකු පුතා කියන මේ විදියෙ දෙයක් උනේ කොහොමද..? මට හිතාගන්න බැරිවුණා.. බලන් ගියාම ආදරේ කියන්නෙ මහා අමු බොරුවක්ද..? මූණෙ ලස්සනටද මේ හැමෝම ආදරේ කරන්නේ..? හිත ඇතුලෙ බලාපොරොත්තු පුරවගෙන තවත් කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න මේ අය කැමති නැද්ද..? මෙහෙම ආදරේ කරලා මේ ගොල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ..?

    මගේ මුළු ඔලුවම පිරිලා තිබ්බෙ ප්‍රශ්න පත්තරේකින්.. ඒ ප්‍රශ්න පත්තරේ පිටින්ම මං කාමරේට වැදුනා.. කලින් කට කපලා තිබ්බ නිදිමත කොහේ ගියාද දන්නෑ.. තවත් නම් විහිලුවකටවත් නිදාගන්න බෑ.. උදේ පාන්දරම ලොකු පුතා දීපු අසුභ ආරංචියෙන් මගේ හිත හෙල්ලිලයි තිබුණෙ.. කොල්ලො සෙට් එකෙන්ම අහිංසකයා වෙච්චි, බිංදුවා මේ කතන්දරේ කොහොම දරාගනියිද..?

    අනික නිරෝෂිටත් තිබ්බෙ එකසිය හැට ගානකටත් එහා ගියපු බහින්නෙ නැති උණක්.. බිංදුගෙ අහිංසකකටමයි, නිරෝෂිගෙ එකසිය ගාණෙ උණ කොහොම මැච් උනාද කියලා නම් මට හිතාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.. අනික මං මේ ළගදි දවසක සරිගමයටත් කිව්වා බිංදු ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. අහිංසක විදියට ආදරේ කරනෙක හොදයි තමයි.. ඒත් ඉතිං සමහර කෙල්ලොන්ට ඕන ඉන්ටර්සිට් බස් වගේ හයිස්පීඩ් ලව් කරන්න.. අන්තිමට ගමන ඉවර වෙන්නත් කලින් බබා හම්බවෙලා..


    Mathusambandai.gif

     
    • Like
    Reactions: Bravo-02

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg


    02.png


    සුපුරුදු කිරි එක තාම ආවෙ නැති හින්දා මං ඇද උඩට වෙලා හිටියා. තාම කාමරේ එක ජනේලයක්වත් ඇරලා නෑ.. මං හෙමින් සීරුවෙ ඇද ළගම තිබ්බ ජනේලේ පියන ඇරලා දැම්මා.. ඒ ජනේලෙන් පල්ලෙහා පාරේ හැම දෙයක්ම අපූරුවට පේනවා.. කොහොමටත් කම්මැලි හිතුණ හුගාක් වෙලාවට මං කරන්නෙ උඩ තට්ටුවෙ ඉදන් පල්ලෙහා පාරේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක..


    මූණවත් හෝදන්නෙ නැතුව නිකමට වගේ පාර දිහා බලන් ඉදපු මං දැක්කෙ හිත පිනා යන දර්ශනයක්.. කොටම කොට ටයිට් ස්කර්ට් එකකුයි, ලා දම් පාට චූටි ස්කිනියකුයි ඇදගෙන තාලෙට පද්ද පද්දා මොරීන් අකිකා ඈත එනවා.. මොරීන් අක්කගෙ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට ගෙවල් හය හතක් එහායින්.. වැඩිම උනොත් එයාට අවුරුදු හතලිහක් විතර ඇති.. ඒත් එයා හිතන් හිටියෙ තාම අවුරුදු විසි හතේ ඇබිත්තන් කෙල්ලෙක් කියලා.. ඒකනේ ඇදුම් උනත් ඔය විදියට අදින්නේ.. මුළු ඇගෙන් බාගයක් එළියෙ.. බලන් ඉන්න අප්පිරියයි..


    පහුගිය අවුරුදු හය පුරාම මොරින් අක්කා මාර ට්‍රයි එකක් දුන්නා.. වෙන මොකකටවත් නෙමෙයි.. මැරි කරන්න.. ඒත් වැඩක් උනේ නෑ දෙයියනේ.. එයාව බලන්න ආපු එකෙක්වත් එයාට කැමති උනේ නෑ.. ඇයි හත්තිලව්වේ.. තොරොම්බල් කරත්තයක් කරේ තියන් ඉන්න මොන මනුස්සයද කැමති.. හැබැයි ඉතිං ඩිංගක් ඇත්තන් එකසිය ගානට චාර්ජ් වෙන එක්සයිට් බැටරියක්.. මොනවා උනත් ගෑනි මගෙත් එක්ක නම් ෂේප්..


    කාමරේ ජනේලෙහ එහායින් තිබ්බෙ බැල්කනි එක.. කටින් හෙමින් සූ සද්දයක් දාන ගමන් මං බැල්කනියට ගියා.. මං දන්නවා දැන් එයා සිරාම විදියට හැරෙනවා කියලා.. මගේ සද්දෙත් එක්කම මොරින් අක්කගෙ ලාලිත ගමන නැවතුණා.. ඊට පස්සෙ ටෙනිස් බෝලෙට නිල්වෙන්න බැට් පාරක් දීලා 'මාරියා ෂැරපෝවා' හැරෙන්නේ, අන්න ඒ විදියට කට පාඩම් කරලද කොහෙද මොරින් අක්කා ෂෝ එහෙක වගේ ස්ලෝමෝෂන් හැරිලා මං ඉදපු උඩ තට්ටුව දිහා බැලුවා..


    "ගු..ඩ්.. මෝනිං.. මොරින් අක්කේ.."


    මගේ ගුඩ් මෝනිං එකට මෙලෝ උත්තරයක් ආවෙ නෑ.. බලන් ඉද්දිම ගෑණිගෙ මූණ සවුත්තු වුණා.. ෂිහ්.. මං මුකුත් වැරදි වචනයක්වත් කිව්වද මංදා.. සමහර විට අක්කා කියලා කිව්ව හන්දා වෙන්නැති.. ඇයි හත්තිලව්වේ.. අක්කා නොකියා නංගි කියන්නයෑ.. පුත්තලම් බූරුවො හතර පස් දෙනෙක්ගෙ වයස ගෑනියෙකුට..


    "ගුඩ් මෝනිං.."


    ඒ ගුඩ් මෝනිං එක මොරින් අක්කගෙන් හම්බ වුණේ එපා වාහෙට හොදි බෙදන්න වගේ.. ඉදපංකෝ.. මනුස්සකටම ගුඩ් මෝනිං කිව්වහම තියෙන පුස් පාට් එක.. මේකිගෙ ගනං බලපංකෝ..


    තත්පරයක් ඉන්න කියලා මොරින් අක්කට අතින් කියන ගමන් මං දඩබඩ ගාලා කාමරේට රිංගලා හාෆ්ෂිට් කොලයක් අතට ගත්තා.. මොරින් අක්කගෙ හදවත ගැලවිලා බිමට වැටෙන සයිස් එකට මොනවා හරි ලියලා බලමුකෝ.. මං වැඩේ පටන් ගත්තා..


    "මොරින්.. අයි ලව් යූ..! අයි ලව් යූ සෝ මච්..! අයි කාන්ට් ලයිව් විතවුට් යූ..! යු ආ මයි ඩ්‍රීම් ගල්ර් බේබි..!"


    තත්පරේට දෙකට කැපිටල් අකුරුවලින් ලියලා ඉවරවෙලා, මං ඒ කොලෙන් කඩදසි ප්ලේන් එකක් හැදුවා.. ඒකත් අරන් බැල්කනියට යද්දි මෙන්න මොරින් අක්කා තාමත් උඩ බලාගෙන.. පව් අප්පා.. එයාගෙ චූටි බෙල්ල රිදෙනවත් ඇති..


    "මේක අපේ අයියා ඔයාට දෙන්න කිව්වා.."


    වැඩිය සද්ද බද්ද නැතිවෙන්න තොල් වලින් විතරක් කියන ගමන් මං ප්ලේන් එක පෙන්නුවා.. ඔන්න ගෑනිගෙ මූණෙ දැන් හිනා කෝච්චියයි.. ඕන බෝම්බයක් අත් දෙක උඩට වැටුණත් කමක් නෑ කියලා වගේ ගෑනි බැල්කනිය දිහා බලන් හිටියා. එකායි.. දෙකායි, තුනායි.. 'පියඹා.. යනවා මා ආකාශයේ.. අවසානයි ප්‍රේමාදරේ..' කියලා මං ප්ලේන් එක බැල්කනියෙන් පහළට යැව්වා.. වත්ත පහලට වැටුණොත් සොරිම තමයි.. ජීවන කුසුම තියෙන්නෙ තාප්පෙන් එහා පැත්තේ.. පලයං පුතා..


    ප්ලේන් එකටත් මොනව හිතිලද මන්දා.. මොරින් අක්කගේ කකුල් දෙක ළගටම පාවෙලා ඇවිත් වැටුණා.. හොර පූසියෙක් වගේ වටපිට බලලා කැත නැතුව කරවල කෑල්ලකට වැඩේ දෙන වගේ මොරින් අක්කත් සීරු මාරුවට ප්ලේන් එක ඇහිද ගත්තා.. ගෑනි ගෙදර ගිහිල්ල බලලා සනීපෙ ගනියි.. මොන පිස්සුද..? ගෑනි එතනම ඉදන් ප්ලේන් එක දිගෑරියා.. තත්පරයක් ගියේ නෑ.. ගෑනිගෙ මූණෙ ආයෙත් හිනා කෝච්චියයි.. අඩේ අප්පා.. ඔය ලියපු වචන ටිකට ඔච්චර හරියක් කරන්න පුළුවන්ද..? දන්නව නම් තවත් මොනව හරි අට මගලයක් ලියලා යවනවා..


    මළ කෙලියයි.. අර මොකක්ද මොරින් අක්කා කරන්න යන්නේ.. මං තව ටිකක් බැල්කනියෙන් පහළට එබුණා.. දෙයියෝ සාලේ.. මං ඉස්තෝප්පුවේ.. ගෑනි හාෆ්ෂීට් කොලේට කිස් එකක් දීලා පපුවට තද කර ගත්තා නේද..?


    "ආ.. නේ.. සුදු කොල්ලෝ.. මේක ඔයාගෙ අයියද දෙන්න කිව්වේ..?"


    හප්පට සිරි.. ඒ ගමන මං සුදු කොල්ලා වෙලා.. තව ටිකකින් තව මොනවා කියයිද දන්නෑ.. කමක් නෑ.. කමක් නෑ.. මොනව කිව්වත් කමක් නෑ.. මොකෝ මගේ අතින් පයින් යනවද..? මං ටිකක් හයියෙන් කටත් උල් කරලා 'ඔව්' කියලා කිව්වා.. අයියා කාරයා මේ මස් පර්වතේ එක්ක වැඩේ ගොඩින් හරි මඩින් හරි බේරගන්නෙ නැතෑ..


    "ඔව්.. ඔව්.. අයියා මේ දවස් වල මාරෙට බිසී.. ඒකයි මගේ අතේ ඕක එව්වේ.. ඕකට රිප්ලයි එක ඉක්මනට ඕන හොදේ.. පව්නේ අයියා.. එයා මග බලාන ඉන්නවා ඇති.. හැබැයි පරක්කු උනොත් සොරිම තමා.."


    "ආ..නේ.. ඇත්තද..? ඔයා හරිම ස්විට්.. ඔයා හරිම ෂෝක්.. ඔයාගෙ අයියත් ඔයා වගේම ලස්සනයිනේ.. මං කැමතියි.. මං හොදටම කැමතියි.. ඔයා දන්නවද දන්නෑ ස්විට්.. මං හුග කාලකෙ ඉදලා ඔයාගෙ අයියා ගැන හෝප්ස් තියාගෙන ඉන්නේ.. අනේ ප්ලීස්.. මාත් ඔයාගෙ අයියට ට්රූ ලව් කියන්න.. මං අදම හාෆ්ෂිට් බන්ඩලයක් අරන් යනවා එයාට ලියුම් ලියන්න.."


    ගෑනි නන්ස්ටොප් කියවගෙන යනවා.. උදේ පාන්දරම මේක කොඩිවිනයක් උනානේ.. ගෙදර කවුරු හරි කාමරේට ඇවිත් බැල්කනිය දිහා බැලුවොත් කාඩ් කුඩුම තමා.. මේ මල හෝන්තුව යන පාටක් නෑ.. ඕන ඉලව්වක්.. මං කාමරේට ඇවිත් දොරයි, ජනේලෙයි දෙකම වහලා දැම්මා.. දැන් මොරින්ට ගෙදර යන්න බැරි නම් අපේ තාප්පෙ ගාව බුදිය ගත්තාවේ..


    "කවුද බන්ටි කතා කරේ..?"


    තත්පරේට දෙකට මං හැරුණා.. හත්තිලව්වයි.. අද අයියා ඔෆිස් ගිහිල්ලා නෑ වගේ.. දැන් මෙතන විකාශනය වෙච්චි බුරුම ෆිල්ම් එක මෙයා දැක්කා නම් මට වීසා හදන්න වෙන රටකටයි යන්න වෙන්නේ.. මොනව උනත් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය පාලනේ කරේ නැත්නම් අම්බානෙක කන්න වෙනවා..


    "කවුරුත් නෑ.."


    "නැතිවෙන්න බෑනේ.. මට හොදටම ඇහුණා ඔයා කාත්තෙක්ක හරි කතා කරනවා.."


    "අයියට උදේම වයර් මාරුවෙලා.. මං මේ නැගිට්ටා විතරයි.. බොරු නම් බලන්නකෝ.. තාම බෙඩ්ෂිට් එකවත් නමලා නෑ.. ජනේලෙවත් ඇරලා නෑ.. අඩුගානෙ මං තාම මූණ හෝදලවත් නෑ.."


    "මූණ හෝදපු කතාව ඇරෙන්න ඔය අනිත් ඒවා කවදාවත් කෙරෙන දේවල් නෙමේනේ.."


    "ඒ කිව්වේ අයියේ..?"


    මං බොහොම අහිංසකව, විනීතව ඇහුවා.. නැත්නං බෑනේ..

    "ඔය ජනේලෙ ඇරපු දවසක් මං ජීවිතේට දැකලා නෑ.. ඔය බෙට්ෂිට් එක නවලා තියනවවත් මං දැකලා නෑ.. ඕක නිතරම ගුලිවෙලානේ තියෙන්නේ.. මට නම් බන්ටි ඔයා කියන දේවල් පිලිගන්නම බෑ.. මූණෙ තියෙන්නෙ මහා හොර පූස් පාට් එකක්.. මොකාක් හරි මගෝඩි වැඩක් කරලා තියෙන පාටයි.."


    ඔය බලපංකො ඉතිං.. යකෝ.. මූව කොටියම කන්න එපැයි.. මනුස්සකමට කතා කරහම, වස්තරෙත් ගලවගෙන යන්න හදනවා.. අයියා හින්දා ඉවසනවා.. වෙන එකෙක් කිව්වා නම් දෙන්නෙ හොම්බෙන් පැණි බේරෙන්න..


    "ඔයාට නම් පිස්සු.. මං මේ තාම දවස පටන් ගත්තා විතරයි.. හැබැයි ඔන්න උදේ පාන්දරම මං ඔයාවයි දැක්කේ.. අද දවසෙ මට වෙන හැමදේටම ඔයයි වගකියන්න ඕන.. මතකනේ එක දවසක්.. උදේ පාන්දරම නැගිටිනකොට මං ඔයාව දැක්කේ.. එදානෙ අර කලු දඩෝරියා මාව පන්න පන්නා කෑවේ.. මගේ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගැහුවේ.."


    ඒ පාර නම් අයියගෙ මූණ බෙරිවුණා.. මිනිහා සද්දයක් බද්දයක් නැතුවම මාරු වෙලා ගියා.. කොහොමටත් තව දවස් දෙක තුනකට මිනිහා උදේට මේ පැත්තෙ එන එකක් නෑ..


    උඩ තට්ටුවෙ ඉදලා පඩිපෙල බහිද්දිම මං සාලෙ දිහා බැලුවා.. අම්මයි, තාත්තයි, අක්කයි ටී.වී එක දිහා බලාගනෙ බර කතාවක්.. දැන් ඩිංගකට කලින් මං ගාව ඉදල ගියපු අයියත් ඒ කතාවට එකතු වෙලා.. ඒ කියන්නෙ අද කවුරුවත් ගෙදරින් එළියට ගිහිල්ලා නැද්ද..? හත් දෙයියනේ.. මං මොරින් අක්කා එක්ක දැවැන්ත ප්‍රේම සාකච්ඡාවක් දැම්මෙ මේ හැමෝම ගෙදර ඉද්දිද..? හප්පොච්චියේ.. මාව අහු වුණා නම් මෙයාලා ගල් ගහලා මරයි..


    "ඔන්න හැමෝටම ගුඩ් මෝනිං කිව්වා.. පස්සෙ කුණු කුණු ගාන්න එපා.. අනේ බන්ටිගෙන් මට උදේට ගුඩ් මෝනිං හම්බ උනේ නෑ, දවසම අප්සට් කියලා.. මං දන්නවා.. මං දන්නවා ඔය හැමෝම බලාගෙන ඉන්නෙ මගේ සිරියාවන්ත මූණ දකිනකල් කියලා.."


    පඩිපෙළේ තවත් පඩි දෙක තුනක් ඉතුරු වෙද්දි මං නැවතුනා..

    "අ.. පෝ.. වැඩේමයි.. අපූරු.. සිරියාවන්ත මූණු පොඩ්ඩ.. දැක්කොත් කැ..ද..ත් නෑ.."


    අක්කගෙ කුණු කට මට ලාවට ඇහුණා.. කමක් නෑ.. කමක් නෑ.. හිතේ සෝකෙට ඔය කියනවා ඇත්තේ..


    "දැන් ගුඩ් මෝනිං වෙන්නෙ කොහොමද බන්ටි.. දොළහත් පහුවෙලානේ.."


    "මං කැමති නෑ තාත්තෙ වචන දෙකේ මිනිහෙක් වෙන්න.. අපේ අක්කා නම් උදේටයි, දවල්ටයි, රෑටයි ජාති තුනක් කියන්නෙ.. හැබෑට මොනවද දන්නෑ කන්න තියෙන්නේ..? අද විශේෂ යමක් තියෙනවද..?"


    "බ..ල..න්න අම්මා.. බන්ටි මූණවත් හෝදන්නෙ නැතුවයි කන්න හදන්නේ.. ඔයා කොයි තරම් කැතද බන්ටි.. ඔයා මැනර්ස් බිංදුවක්වත් දන්නෑ.."


    අක්කගෙ මූණෙ අප්පිරියාව දොරෙ ගලනවා.. පව් අප්පා.. ඔය මැනර්ස් කියන ජාතිය කන්නවත් පුළුවන් දෙයක්ද..?


    "ඔය මනුස්සයට දැන් දවල් කෑම කතෑකි.."


    මොනවා උනත් තාත්තගෙ කතාව නම් ඇත්ත කියලා මට හිතුණා.. තව කවුරු හරි අදහස් ප්‍රකාශ කරයිද කියලා මං කන් දෙක උස්සගෙන අහගෙන හිටියා.. ම්හු.. කිසි සද්දයක් නෑ.. කිසි ගතියකුත් නෑ.. මං ෂේප් එකේ කෑම කාමරේට එබුණා.. ලොකු ප්ලාස්ටික් වට්ටිය උස්සලා බලපුවාම එතන තිබ්බෙ ඉදි ආප්පයි, චිකනුයි, අල හොදියි, කට්ට සම්බෝලයි.. ඔය තියෙන්නේ කෑම.. දෙන්නම්කෝ ඇග රිදෙන්න.. ඉදි ආප්ප දාලා තිබ්බ භාජනේටම මං චිකනුයි, අලයි, කට්ට සම්බෝලය ටිකකුයි දාගත්තා.. මෙහෙම කනකොටත් මාර ගතියක් තියෙනවා.. ඕක අපේ ගෙදර කට්ටිය දන්නැති එකනේ වැඩේ..


    "හප්..පො..ච්..චියේ.. බන්ටි මහත්තයෝ.. මොකක්ද ඔය කරන වැඩේ.. පිගානකට බෙදාගෙන කන්නැතුව... ලොකු නෝනා දැක්කොත් හෙම මටත් එක්ක සෝලි තියයි.."


    බේබි නැන්දා ඇස් දෙකත් උලුප්පගෙන කිව්වා.. එයාගේ කටත් බාගෙට ඇරිලා.. නහයත් පැත්තකට ගිහිල්ලා.. බලන් ඉන්න ලස්සනයි..


    බේබි නැන්දා කියලා කිව්වේ, මං දන්න කියන කාලෙ ඉදන්ම අපේ ගෙදර වැඩට හිටපු මනුස්සයා.. ගෙදර අයත් එක්ක එයා කොහොම උනත් මගෙත් එක්ක නම් එයා බුදු ෆිට්..


    "කට්ටියම අරහෙ ටී.වී බලනවා නැන්දේ.. අනික ඉතිං ඔයා දන්නවනේ මං කනකොට එයාලා පැත්ත පලාතක එන්නෑ කියලා.. එයාලා ඔය මැනර්ස් ද මොනවද දන්න අයනේ.."


    "ඒක නම් ඇත්ත තමා.."


    "බේබි නැන්දේ.. මං ප්‍රශ්නයක් අහන්නද..?"


    කට පුරෝලා චිකන් කෑල්ලක් ඔබා ගන්න ගමන් මං ඇහුවා..


    "ඒ මොකක්ද බන්ටි මහත්තයෝ..?"


    "පිරිමි අයට අර ඉස්සරහ තියෙන දත් දෙක තියෙන්නෙ ඇයි කියලා බේබි නැන්දා දන්නවද..?"


    "ඉස්සරහ කිව්වේ..?"


    "ඇයි බේබි නැන්දේ.. කටේ ඉස්සරහම අර පොල්ලෙලි දෙකක් වගේ තියෙන දත් දෙක.. සම්භාව්‍ය විදියට කියනවා නම් කෘන්තක දත් කියලා කියන්නේ.."


    "අ..නේ... මං ඕවා දන්නෑ බන්ටි මහත්තයෝ.. දත් තියෙන්නෙ හපලා කන්න.."


    "අපොයි.. බේබි නැන්දා විහිලුවකට වත් ඉස්කෝලෙ ගිහිල්ලා නැද්ද..? හා.. හා.. තමක් නෑ.. එහෙනම් කියමුකෝ බලන්න ගෑනුන්ට ඇයි ඔය දත් දෙක තියෙන්නෙ කියලා..?"


    "දත් දොස්තරලටවත් ගලවන්නද බන්ටි මහත්තයෝ..?"


    මගෙත් එක්ක කතා කරන ගමන් බේබි නැන්දා එක පාරටම කෑම කාමරේ කර්ට්න් එක දිහා බැලුවා.. කර්ට්න් එක යාංතමට පැද්දෙනවා.. ඒ කියන්නෙ කවුරු හරි රට හාවෙක් කර්ට්න් එක ළග ඉන්නවා..


    "ෂේහ්.. බලන් ගියාම බේබි නැන්දා මෙලෝ දෙයක් දන්නෑනේ.. අඩු ගානේ ඔයා ගෑනියෙක් හින්දවත් දැනගන්න එපායෑ.. කෘන්තකයො දෙන්නෙක් ඉන්නෙ ඇයි කියලා.."


    "හොදා.. හොදා.. මහත්තයම කියන්නකෝ ඔය කරුන්තකයො ද මොකුන්ද දෙන්නෙක් ඉන්නෙ ඇයි කියලා..?"


    "ඔයාගෙ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි බේබි නැන්දේ.. අම්මපල්ලා.. මං මේ ඔයාට හින්දයි කියන්නේ.. වෙන කාටවත් නම් කියන්නෑ.."


    කර්ට්න් එක තවත් ටිකක් පැද්දෙන්න ගත්තා.. ඒ කියන්නෙ අපේ ගෙදර හත්මුතු පරම්පරාවම එතෙන්ට එකතුවෙලා වගෙයි.. කමක් නෑ.. කමක් නෑ.. ඔහොම හොරෙන් හරි මගෙයි, බේබි නැන්දගෙයි රාජ්‍යය තාන්ත්‍රික කතාබහ අහගෙන ඉදපුවාවේ..


    "මං ඒක දන්නවා බේබි මහත්තයෝ.. අනේ ඉතිං අගේ නොකර කියන්නකෝ.. පිරිමි අයට අර කරුන්තක දත් තියෙන්නෙ ඇයි කියලා.."


    "උදේ පාන්දර වැඩට යන්න යට කලිසම අදිද්දි, සරම ඉස්සරහ දත් දෙකෙන් අල්ලගන්න.."


    බේබි නැන්දට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. කර්ට්න් එනට එහා පැත්තෙ ඉන්න කට්ටියත් අමාරුවෙන් හිනාව හිර කරන් ඉන්නවා කියලා මට තේරුණා..


    "ම්.. එතකොට ගෑණු අයට..?"


    "ආ.. ඒක නම් මේ පිරිමි අය බීල ආපුවාම බඩට යන්න ගහන්නනේ.."


    ඒ පාර නම් කර්ට්න් එකට එහා පැත්තෙ ඉදපු ගෙදර කට්ටියටම හිනා ගියා.. බේබි නැන්දත් බිම බලාගනෙ හිනාවෙනවා.. මං පුටුවෙන් නැගිටලා ඉදුල් අත පිටින්ම කර්ට්න් එක පැත්තකට කරලා බැලුවා..


    අයියා මහා සද්දෙට හිනාවෙවී උඩ තට්ටුවට දුවනවා මං දැක්කා.. අක්කා, අම්මගෙ අතකින් අල්ලගෙන හිනා වෙනවා.. තාත්තා හිනාව අමාරුවෙන් හිර කරගෙන බලන් ඉන්නවා.. ඒත් වැඩක් නෑ.. එයාට හිනා යනවා..


    යකෝ.. මං මෙතන හිනා යන දෙයක් ගැන කිව්වයෑ.. සම්භාව්‍ය දෙයක් ගැන කතා බහ කරා විතරනේ..


    "බන්ටි මහත්තයා නම් දවස පටන් ගන්නෙ හිනාවෙන්.. අනේ අප්පේ.. ඔයාට නම් කිරි උතුරන්න ඕන.. ඔයා හින්දා මේ ගෙදර හැමෝම සන්තෝසෙන් ඉන්නවා.."


    ඇස් දෙකට උනපු කදුලුත් අත් දෙකෙන්ම පිහිද පිහිද බේබි නැන්දා කෑම කාමරෙන් ගියා.. අන්තිම ඉදි ආප්ප කටත් කාල මං කෑම මේසෙන් නැගිට්ටා.. අද දවසට තව කොයි තරම් වැඩ කන්දරාවක් තියෙනවද අප්පේ කරන්න..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-03.jpg


    03.png


    සරිගමයගෙ ගෙවල් තිබ්බෙ කුණ්ඩසාලෙ.. කුණ්ඩසාලෙ කියල කිව්වට ටවුන් එක පහු කරල ටිකක් දුර යන්න ඕන.. කොටින්ම කියනවා නම් කිරි මංඩල පාරේ..


    මගේ ෆුල් ඔෆ්ෂන් චැලියත් අරගෙන සරිගමයලහට යනකොට සෙට් එකම එතන.. ලොකු පුතයි, ශිහානුයි, අමිලයි, තව මං වැඩිපුර දැකලා නැති බුවෙකුයි මිදුලෙ බට් අඹ ගහයට පුංචි බංකුවක වාඩිවෙලා හිටියා.. මං අදුනන්නෙ නැති බුවා, සමහර විට අමිලගෙ අඹයෙක් වෙන්නැති.. ඌ තමයි හිටපු ගමන් ඔය නාදුනන පුද්ගලයෝ අරගෙන කඩන් පාත්වෙන්නේ.. සෙට් එකේ අඩුවකට තිබ්බෙ බිංදු නැති එක විතරයි..


    "බිංදු දන්නැද්ද අපි මෙතන සෙට් වෙනවා කියලා..?"


    බට් අඹ ගහට එහායින් චැලිය නවත්තලා මං ඇහුවා.. හැම එකාම බලන් හිටියෙ මගේ දිහා..


    "නෑ බන්ටි.. ඌ සමහර විට ටොරින්ටන් පාක් පැත්තෙ කරකැවිලා මෙහේ එයි.. ඒත් ඊට කලින් අපි වැඩේ ඉවර කරලා තියෙන්න ඕන.."


    මං ප්‍රශ්නෙ ඇහුවෙ චාමිකගෙන් උනත් උත්තරේ හම්බ වුණේ ශිහාන්ගෙන්.. ඒ කියන්නෙ බිංදුගෙ ලව් එකේ වර්ථමාන තත්වෙ ගැන මට වැඩිය මුං හැමෝම දන්නවා.. ඔක්කොටම කලින් ඒ ගැන සහ සුද්දෙන්ම දැනගෙන ඉන්නෙක ඇගට ගුණයි කියලා මට හිතුණා..


    "නිරෝෂි වෙන බුවෙක් එක්ක සෙට් වෙලා කියන්න මං දන්නවා.. කොහොමද ඒක වෙලා තියෙන්නේ..?"


    මං කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා.. ඒ අතරෙ ගේ ඇතුළෙ ඉදන් සරිගමයා බොක්ස් ගිටාර් එකත් අරගෙන එළියට ආවා.. මියුසික් වලට පිස්සු වැටිලා ඉන්න හින්ද අපි ආදරේට සරිගම කිව්වට උගේ ඔරිජිනල් නම සුරේන්.. මූත් හරියට රෝමය ගිනි ගනිද්දි විණාව ගහපු මනුස්සයා වගේ තමයි.. මෙහේ බිංදුට කෙලවෙලා.. මූ ගිටාර්ගහනවා..


    "වෙලා තියෙන්නෙ කොහොමද කියලා දන්නෑ.. ඒත් ඒක කොහොම හරි වෙලා බන්ටි.. සීන් එක අපිට මුලින්ම කිව්වෙ අමිලගෙ අඹයා.. මේ ඉන්නේ.. මූ නිරෝෂිව ටිකක් දන්නවා.. සෙට් වෙලා ඉන්නෙ බිංදු එක්ක කියලත් දන්නවා.."


    ලොකු පුතා, අමිල එක්ක ආපු බුවා දිහාට ඇගිල්ල දික් කරා.. එහෙනම් සීන් එකේ රහස් ඔත්තුකාරයා මෑන් තමයි.. ඒත් මූව කොහොමද එක පාරටම විශ්වාස කරන්නේ..?


    "අමිල.. උඹට මූව ෂුවර්ද..?"


    අලුත් බුවා දිහාට ඇගිල්ල දික් කරලා මං කෙලින්ම ඇහුවා.. කොහොමටත් මේ වගේ දේවල් වලදි මං ගාව බබා පාට් නෑ.. ඒවා ගෙදෙට්ට විතරයි.. කොල්ලෙ සෙට් එකත් ඒක දන්නවා.. ඒකයි උං මේ වගේ අවුල් වැඩ වලදි මට ලීඩර් ෂිප් එක දෙන්නේ.. මං කියන කිසිම දේකට හා හූ ගාන්නෙ නැත්තේ..


    "මූ බොරුවක් කරන්නෑ.. බන්ටි.. අනික බොරුවක් කරල මූට වැඩක් නෑ.."


    අමිල, බුවාගෙ පැත්තට කතා කරා.. ඔව් ඉතිං.. එක්කගෙන ආව නම් උගේ පැත්ත ගන්නත් එපැයි.. නැත්නම් ඉතිං බන්ටිගෙන් සොරිම තමා.. මං ආයෙත් කතා කරන්න හදනකොටම අලුතෙන් ආපු බුවා කට හදනවා මං දැක්කා..


    "ම.. මං ගැන එහෙම මුකුත් හිතන්නෙපා බන්ටි අයියා.. මේ අමිල අයියගෙන් මං ගැන අහලා බලන්න.. මං දැකපු දේ තමයි මං කිව්වේ.. බින්දු අයියා ඔයාගෙ යාළුවෙක් කියලා මං දන්නවා.. ඒකයි.."


    අලුත් බුවා නහය බර කරගෙන කතා කරා..


    "හරි එහෙනම් දන්න දේවල්, දැකපු දේවල් මටත් කියමුකෝ බලන්න.."


    පුංචි බංකුව උඩ මං හරි බරි ගැහුණා.. අලුත් බුවා ආයෙත් කට හැදුවා..


    "දැන් සතියකට විතර කලින් මං බින්දු අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැටඹෙ පන්සල ළගදි දැක්කා.. තව සුදු කොල්ලෙක් එක්ක ඉන්නවා.. මං හිතුනා නිරෝෂිගෙ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වෙන්නැති කියලා.. ඒත් ටිකක් වෙලා යද්දි මට තේරුණා එතන යන්නෙ ලව් සීන් එකක් කියලා.. කපල් එක පන්සලෙන් එළියට ආවෙත් අත්වලින් අල්ලගෙන හිනාවෙවී.."


    "කතන්දරේ ඔච්චර නම් මට කියන්න තියෙන්නෙ අපි මේකට කලබල වෙන්න ඕන නෑ කියලා.. අපි තව ටිකක් හොයමු.. ඔය වගේ දේකින් නිරෝෂි වෙන එකෙක් එක්ක සෙට්වෙලා කියලා අපිට කියන්න බෑ..."


    මොන හේතුවක් හින්දද මංදා, අමිලගෙ අඹයව විශ්වාස කරන්න මට හිතුණෙම නෑ.. ඒකයි මං අනිත් පැත්තට කතා කරේ.. නැත්තං ඔය කියපු ටිකම මැදෑ නිරෝෂි එක්ක සෙට් වෙලා ඉන්න ඇටකිච්චගෙ හන්දි ගලවන්න..


    ඒත් මං නොදන්න හුගාක් දේවල් වෙලා තිබුණා.. ඒවා එකින් එකට මට තේරුණේ කතාව දිගටම කරගෙන යද්දි..


    "කතන්දරේ ඉවර නෑ බන්ටි අයියා.. ඒ දෙන්නා වෙන්වෙලා යද්දි නිරෝෂිගෙ නළලට අර සුදු කොල්ලා කිස් එකකුත් දුන්නා.. අතත් අල්ලලා ඉම්ඹා.."


    "මල්ලි.. ඔයා කියන දේවල් ඇත්ත නම් වැඩේ සීරියස් පාටයි.. අපි ගාව දැනට ඩීටේල්ස් මේ ටික විතරද චාමික..?"


    "තව තියෙනවා බන්ටි.. පෙරේදා අපේ සුරේන් දැකලා තියෙනවා නිරෝෂි සුදු කොල්ලෙක් එක්ක වෙම්බ්ලි හෝල් එකේ ඉදලා එළියට එනවා.. මූ ඩිංගක් දුර ෆලෝ කරගෙන ගියත් මූට මිස් වෙලා.."


    "තව..?"


    "ගුඩ්ෂෙඩ් එකේ අනුරාධපුර බස් ගහන හරියේ නිරෝෂියි, ඔය කියන සුදු කොල්ලයි ඉදලා තියෙනවා.. මුං දේනනා ජය ශ්‍රී මහ බෝධිය වදින්නවත් යන්නැති.."


    "එච්චරද..?"


    "නෑ ලොකු පුතේ.. නිරෝෂි ඌත්තෙක්ක බෝට්ටු සවාරියකුත් ගිහිල්ලා තියෙනවා.. ඒක දැකලා තියෙන්නෙ ශිහාන්.. වළාකුලු බැම්ම ළගදි.."


    වැඩේ සීයට සීයක් ඇත්ත කියලා ඒ වෙනකොට මට තේරිලා තිබුණා.. මං කෙලින්ම බැලුවෙ අමිල එක්කන් ආපු බුවා දිහා.. උගේ මූඩ් එක තාම අවුල්.. ඌ හිතනවද දන්නෑ හොදක් කරන්න ඇවිත් ටිංකිරි බාල්දියක් නාගන්න උනා කියලා..


    "හිතට අවුලක් උනා නම් සොරි මල්ලි.. හොදද..? බන්ටි කියලා කියන්නෙ කිසි දෙයක් හොයල බලන් නැතුව ගේමට බහින කොල්ලෙක් නෙමෙයි.. මගේ ළගට ආවට ගියාට මං කවුරුවත් ගන්නෑ.. බාගයක් විතර කාලා බලලයි ගන්නේ.. ඒක උඹඨ, අමිල කියන්න ඇතිනේ.."


    ඔන්න ඒ ගමන බුවාට නොම්මර ඒකේ පැණි හිනාවක් ගියා..


    "ඒ..කට කමක් නෑ බන්ටි අයියා.."


    "නිරෝෂි අපේ එකාව හලන්න යනවා කියලා අපේ එකාට තාම තේරිලා නැද්ද චාමික..? අඩුගානෙ නිරෝෂිගෙ පුංචි වෙනසක්වත් බිංදුට දැනිලා නැද්ද..?"


    "කොහොම තේරෙන්නද බන්ටි..? කොහොමද කෙල්ලොන්ව විශ්වාස කරන්නේ..? නිරෝෂි ලව් දෙකම අවුලක් නැතුව කරගෙන යන්න හිතන් ඇති.."


    "ඒකි කොහොම හිතුවත් වැඩේ මේකයි අමිල.. නිරෝෂි මේ වගේ ප්‍රසිද්ධ තැන්වල අලුත් එකා එක්ක රවුම් ගහන්නේ, මේවා බින්දුට ආරංචි වෙන්නෑ කියලා හිතලද..? නිරෝෂි හොදටම දන්නවා අපේ සෙට් එක ගැන.. බිංදු කෙසේ වෙතත් අපි ගැන්සියම නුවර පලාතෙම රවුම් ගහනවා කියලා.. අපිට අනිවාර්යයෙන්ම මේ නිව්ස් එක හම්බ වෙනවා කියලා.."


    මගේ කතාවට කොල්ලො සෙට් එක මූණෙන් මූණ බලාගත්තා.. ඒත් ඒ තත්පරේකට දෙකකට විතරයි.. හැම එකාම ෆිට් තමයි කියලා දකුණු අතේ මාපටැගිලි උඩට ඉස්සුවා.. ඒ කියන්නෙ අය වැය කතාව සම්මත උනා කියන එකනේ..


    "ඒත් පොඩි අවුලක් තියෙනවා.."


    උත්තරීතර බංකු පාර්ලිමේන්තු සැසිවාරය ඉවරවෙද්දී ශිහාන් කට ඇරියා.. අය වැය කතාව සම්මත උනාට පස්සෙත් මොන කතාද අප්පා.. මූත් හරියට අර විරුද්ධ පක්ෂෙ අපතයෙක් වගේ තමයි..


    "ශිහාන් මේ..? මෙතන පොඩි අවුලක් තියෙන්න බෑ.. තියෙනවා නම් තියෙන්න ඕන ලොකු අවුලක්.. මොකද දැන් අපි කතා වුණානේ කරන්න ඕන මොනවද කියලා.. බෙල්ල ගහලා ගියත් දැන් ඒ දේ කරමු.. ආයේ ඤං පචං ගාන්නෙ නැතුව.."


    වෙච්චර වෙලා පැත්තකට වෙලා සෝක ගීත වාදනය කරපු සරිගමයා මැද්දට පැන්නා.. ඌ හිටපු ගමන් රාගධාරි සංගීතෙ ඉදන් රැප් මියුසික් වලට එන්ටර් වෙනවා.. ඒක ඌවත් දන්නෑ..


    "කතා වෙච්ච එක හරි සුරේන්.. මං කියන්නෙ මේකයි.. අපි මේ කරන දේ බින්දුට දැනෙන්න තියන්න හොද නෑ.."


    "ඒ කියන්නෙ අපි ඇටකිච්චට නෙලන්නෙ නෑ.."


    අමිල ඒක ඇහුවෙ ඌට තිබ්බ ලොකුම සම්පත නැති උනා වගේ.. බලන ්ගියාම ඌත් මං වගේ තමයි.. නිකං හරි වලියක් දාගත්තෙ නැත්තං බත් කෑවේ නෑ වගේ..


    "මං එහෙම කතාවක් කිව්වෙ නෑ බං.. උඹල දන්නවනේ ඕන වලියකදි බන්ටි ගාවට දෙවනියට ගේමට බහින්නෙ මං කියලා.."


    "හරි.. හරි.. උඹේ ගුණානුස්මරණෙ තියලා කතාව කියපං.. අපිට වැඩ තියෙනවා.."


    අමිල ආයෙත් කෑගැහුවා.. මං අන්තිම තීරණේ දීලා තියෙද්දිත් ශිහාන්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?


    "ඒක තමයි.. අපි මේ කරන දේ කරන්නෙ බින්දු වෙනුවෙන් නම් ඌ මේක දැන ගත්තහම තියෙන අවුල මොකක්ද..?"


    "නිරෝෂි එක්ක ලව් කරන්නෙ ඌ නම්.. අපි ඇටකිච්චව ගුරුදෙණිය වෙදමහත්තයට පෙන්නනවා කියලා ඌ දැන ගන්න ඕනෙනේ.. නැත්නම් ඒකෙ ගතියක් නෑනේ.."


    "නිරෝෂිගෙ හොර හිත ගැන බින්දු දැන ගත්තෙ නැත්නම් අපිද දැනගන්න ඕන..? අපිද ඒකිත් එක්ක ලව් කරන්නේ..?"


    එකෙක් ඉවරවෙනකොට එකෙක් ප්‍රශ්න අහන්න ගත්තා..


    "ඇටකිච්චට නෙලමු කිලා කිව්වාම, උඹ එහෙනම් ෆිට් තමයි කියලා කැත නැතුව ඇගිල්ල ඉස්සුවෙ ඇයි..? උඹ එතකොට හිතේ එකයි බඩේ එකයි තියාගෙනද අපි ළග හිටියේ..?"


    අමිල, ශිහාන්ට යෝකර් පන්දු දෙකක් එක ඕවරේදිම දැම්මා.. ශිහාන් කෙලින්ම බැලුවෙ මං දිහා.. ඒ ඇස්වල තිබ්බෙ අමුතුම තද ගතියක්..


    "උඹල හැමෝටම වැරදිලා.. ඇටකිච්චට ගහන්න ඕන කියලා කිව්ව එකට මං එක පයින්.. ඒක අපි දැන් උනත් කරමු.. ඒත් මේවා බින්දු දැනගන්න ඕන්නෑ කියලයි මං කියන්නේ.. බන්ටිට තේරෙනවද මං කියන දේ..?"


    "මට මුකුත් තේරෙන්නෑ.. හැබැයි මට දැන් හිතෙනවා ඇටකිච්චට විතරක් නෙමෙයි නිරෝෂිවත් ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට එක්කරන් ගියා නම් හොදයි කියලා.."


    මගේ කතාවට සරිගමයලා හෙණ දිග විසිල් පාරක් දුන්නා.. අමිලටත් වැඩේ නැගලම ගිහින්.. ඌ දෙවනි පාරටම් මාපටැගිල්ල ඉස්සුවා.. මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව අමිලගෙ අඹයා ඇඹරෙන හැටි මං දැක්කා..


    "කෙල්ලෙකුට ගහලා වැඩක් නෑ බන්ටි.."


    ශිහාන් ගෙන් ඒ වචන ටික පිටවුණේ ඇහෙන නෑහෙන ගානට.. ඒත් කඩහඩවල් සිය දාහක සද්දෙන්, ඒ වචන මගේ පපුව හාරගෙන ඇතුළට ගියා.. කොල්ලො හැම එකාම ඇස් උඩ තියාගෙන ශිහාන්ගෙ අපත කතාව අහන් ඉද්දි.. මං ඌට තවත් ලංවුණා..

    "අපේ බිංදුට මෙච්චර හරියක් කරපු ජරා කෙල්ලෙකුට නිවාඩු පාඩුවෙ ඉන්න දෙන්න කියලද උඹ මට කියන්නේ..? නැත්තං ඒකි ළගට ගිහින් ඉදා බින්දුට කරා වගේ අපිටත් පස්සෙන් ඇවිත් පිහියෙන් ඇනපං කියලා කියන්නද..? ආ.. ශිහාන්.. මට ඒක කියපන්.. මට ඒක කියපන්.."


    "ඔව්.. ඔව්.. මූට මේ ළගදි ඉදලා නිරෝෂි ගැන අමුතුම කැක්කුමක් පහළ වෙලා.. ඇයි..? බින්දුගෙන් හිස් වෙච්ච තැනට උඹද රෙජිස්ටර් වෙන්න යන්නේ..?"


    ලොකු පුතාටත් තදවෙලා.. තදවෙන්නැතුව තියෙයිද අප්පා.. මුගේ මේ අලුගුත්තේරු කතා වලට..


    "අනික ඉතිං නිරෝෂගෙ සුදු පාට ඇගනේ.. ඇයි උඹට මොනව හරි හිතෙනවද ශිහාන්..?"


    "නිරෝෂිට ගහන්න ඕන නැත්නම් කාටද ගහන්න ඕන..? ආ.. එහෙන් උඹ ගුටිකාපන්.. නිරෝෂිට ගහනවා කියලා හිතාගෙන අපි ඔක්කොම උඹට තඩි බාන්නම්.. එතකොට අවුලක් කොහෙත්ම නෑනේ.. මොකද අපතයා කියන්නේ..?"


    "ඔව්.. ඔව්.. මූට කොහෙත්ම වටින්නෑ ඒකිගෙ පැත්තට කතා කරන්න.. මූ දැකපු ලොකුම සයිස් පස්සත් තියෙන්නෙ ඒකිට කියලා මූ මට දවසක් කිව්වනේ.."


    අමිල ආයෙත් මැදට පැන්නා.. දැන් නම් ශිහාන්ගෙ මූණ ලොකු රෝදෙ ගැලවිච්ච ට්‍රැක්ටරේ වගේ..

    "බන්ටි.. මුන් එකෙක්වත් මට කතා කරන්න දෙන්නෑ.."


    "නොදෙන එකමයි හොද.. තවත් මොනවද උඹට කතා කරන්න තියෙන්නේ.."


    "ඕන දෙයක් කියපං.. හැබැයි බන්ටිගෙ වචනෙට පිටින් යන්න බෑ.. තේරුණානේ.."


    "මං බන්ටිට පිරින් ගියේ නෑ සුරේන්.. මං කිව්වේ වෙනින් දෙයක්.. උඹලා ඒක වැරදියට හිතාගෙන.."


    "මොකක්ද වැරැද්ද..?"


    "බින්දුගෙ හිනාව නැති කරන්න අපට බෑ.. ඌ හිනාවෙලා ඉන්නකොට කොයි තරම් ලස්සනද කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ චාමික.. අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා ඌ.. ඇත්තටම මේ වගේ ඇත්තක් බින්දුට දරාගන්න බෑ.. ඩිංගක් හිතපල්ලා.. නිරෝෂිගෙ සක්කිලි වැඩේ, බින්දු දැන ගත්තොත් ඌ මොන තරම් අවුල් වේවිද..? උගේ ඇස්වලට කොයි තරම් දුකක් පිරේවිද..?"


    "දුක පිරෙන හින්දා අපි නිරෝෂිට වැදලා සමාව ගන්නවා.. නිකං පලයං බං යන්න.. මැටි කතා නොකියා.."


    "උඹට මතකද බන්ටි.. උඹ දවසක් කිව්වා බින්දුවා ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. ලව් එකක් ජීවිතේට කරලා නැති උඹ වගේ එකෙක් ඇයි ඒ වගේ කතාවක් කිව්වෙ කියලා මං හුගක් වෙලා කල්පනා කලා.. කොටින්ම නිරෝෂි අපේ බින්දුට ගැළපෙන්නෑ බන්ටි.. නිරෝෂිට තියෙන්නෙ වෙන උණක්.."


    "එහෙනම් අපි බින්දුට රාගධාරී සංගීතෙ ටිකක් උගන්නමු.."


    සංගීතෙන් තොර ලෝකයක් නැති සරිගමයා කිව්වා..


    "ඒකිට බින්දුවා එපා හින්දනේ වෙන එකෙක් එක්ක සෙට් උනේ.. අපි ඉතිං ඒකිට ගහලා වැඩක් තියෙනවද..?"


    එතැන ඉදලා ගෙවිලා ගියේ මහ විශාල නිහැඩියාවක්.. කොල්ලො හැම එකෙක්ම මූණින් මූණ බලාගෙන කල්පනා කරන්න ගත්තා.. මොනව උනත් මේ අවමගුල් සහගත නිහැඩියාව නම් බන්ටිට අල්ලන්නෙම නෑ.. මොකාද යකෝ මැරුණේ..?


    "මූ ධර්ම දේශනා කරද්දි උඹ ඇයි බන්ටි සද්ද වහගෙන ඉන්නේ..?"


    ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද අමිල කෑගැහුවා..


    "මං ඇටකිච්චට ගහන්න තීරනේ කරලා ඉවර හන්දා මූ ඕන දෙයක් කියපුවාවේ.. මට මොකද බං.."


    "බන්ටි මං කියන දේ ඩිංගක් අහපං.."


    "අහන්න දෙයක් නෑ ශිහාන්.. උඹේ ඔය පාන්කඩ කතාව නවත්ත ගනිං.. මං මෙච්චර වෙලා හරි උඹට කියවන්න ඉඩ දීලා පාඩුවෙ හිටියේ උඹ මගේ යාළුවෙක් හින්දා.. එහෙම නොවුණා නම් මං ඉස්සෙල්ලම අත උස්සන්නෙ උඹට.."


    "බන්.. ටී..."


    "ඔව් ශිහාන්.. එක බඩවැල කඩාගෙන ඇවිත් වගේ මගේ ළගින් ඉදපු අහිංසකයගෙ වටිනාම දේ වෙන අපතයෙක් උදුරගෙන යනකන් මට බලන් ඉන්න කියලනේ උඹ කිව්වේ.. නෑ ශිහාන්.. උඹට වැරදිලා.. මේ බන්ටි කවදාවත් එහෙම ඉන්නෑ.. උඹට ඔය වගේ දෙයක් සිද්ධ උනත් මං ඒකට අත දානවා.. මගේ පදාසයක්ම හෝදා පාලුවෙලා ගියත් උඹලා හැම එකෙක් වෙනුවෙන්ම මේ බන්ටි ඉන්නවා.. ඒක නවත්තන්න කාටවත් බෑ.."


    "බන්ටි මං කිය.."


    "මම තාම කතා කරලා ඉවර නෑ ශිහාන්.. කතන්දරේ මේකයි.. උඹ කිව්ව වගේ මේ කිසිම දෙයක් බින්දු දැනගන්නෙ නෑ.. ඒත් ඇටකිච්චව ගුරුදෙනියෙ කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට ගෙනියන්න ඕනේ.. එතන ඌ මාසයක් හමාරක් පත්තු බදින්න ඕනේ.."


    "හරි බන්ටි.. මං ආයෙ ඔය ගැන කතා කරන්නෙ නෑ.."


    ශිහාන් අන්තිමට එහෙම කියද්දි මං හුටු හුටු යන්තරේ ස්ටර්ට් කරගත්තා..


    කිරි මංඩලය පාරෙන් ආයෙත් නුවර පැත්තට චැලිය දාද්දිත් මගේ ඔලුවෙ තිබ්බෙ බින්දුගෙ ප්‍රශ්නේ.. තමන් පැලෙන කල් ආදරේ කරන කෙල්ල, වෙන එකෙක් එක්ක යාළුවෙලා ඉන්නවා කියල දන්නැතුව, මුළු හදවතින්ම ආදරේ කරන අන්ත අසරණ අහිංසකයගෙ රූපෙ මගේ හිතේ උඩින්ම ඇදිලා තිබ්බා..

    "කොහෙද ලොකු පුතේ මේ පාර පුරාම යන්නේ..? මට නම් අඩු වයසෙන් මැරෙන්න ඕනෙ නෑ.. තව කරන්න හුගාක් දේවල් තියෙනවා.."


    පාර පුරාම චැලිය යද්දි චාමික කෑගැහුවා.. මට එතකොටයි මතක් වුණේ ඌත් පිටපස්සෙ කියලා..

    "බන්ටි.. මොකද උඹ අවුලෙන් වගේ.."


    රන්දෙනිගල ඩෑම් එක පාරට හැරෙන රවුන්ද බෝඩ් එකට මෙහායින් මං චැලිය නවත්තද්දි චාමික මගෙන් ඇහුවා..


    "මේ වැඩේ හරියන්නෑ බං.. බලපං.. නිරෝෂි ගැන මුකුත්ම දන්නැති බින්දුවා, මැරෙනකල්ම ඒකිට ලව් කරයි.. ඒකිගෙ කැත හිත ගැන අපේ අහිංසකයා දැන ගන්නෙකක් නෑ.."


    "ඒක තමයි ලොකු පුතේ මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. කොහෙද අපේ අපතයොත් කතා කරන්නෙ ඒකිගෙ පැත්තටනේ.. ඒත් ඉතිං අපේ බින්දුවට අලිපත බූට් එකක් වැදුනදාට ඒකිගෙ කැත හිත ගැන සහ සුද්දෙන්ම දැන ගනියි.."


    "හැබැයි චාමික.. අපේ බින්දුවට අඹ මල් රේණුවක තරම්වත් වැරැද්දක් වෙලා තිබුණොත් මං නිරෝෂිව ඉතුරු කරන්නෑ.."


    මොන අවමගුලක්ද මේ..? කෙල්ලො කොහොමද එක හිතින් දෙන්නෙක්ට ආදරේ කරන්නේ..?


    "බන්ටි.."


    "මොකද..?"


    "යකෝ උඹ මගෙත් එක්ක ඔරොප්පුවෙන් වගේ කතා කරන්නේ.. වැඩේ මේකයි මචං.. අපිට හැම දෙයක්ම කරන්න වෙන්නෙ නිරෝෂි, බින්දුව හම්බවෙන්නැති දවසක.. ඒකි බින්දුත් එක්ක ඉන්නකොට අපිට ක්‍රියාත්මක වෙන්න බෑනේ.. ඒකියි, බින්දුයි හම්බවෙන දවසට අපි නිද්‍රාශීලි වෙමු.."


    "මොකක්..?"


    "නෑ මං මේ කිව්වෙ ඒ දවසෙ අපි මාලුන්ට පොරි ඇට දාමු.. ඒක වැදගත්නේ.."


    මෙන්න මේ වෙලාවට තමයි මූටත් දෙක තුනක් නෙලන්න හිතෙන්නේ..

    "හැබැයි ලොකු පුතේ දැන් ප්‍රශ්නෙකට තියෙන්නෙ, බින්දුට නොතේරෙන්න කොහොමද නිරෝෂිව ෆලෝ කරන්නෙ කියලා.."


    "ඒකෙ නම් අවුලක් නෑ චාමික.. අපි අමිලගෙ අඹයව ඒ වැඩේට දාමු.. නිරෝෂි ඌව අදුනන්නෙ නෑනේ.."


    "හරි ලොකු පුතේ.. අන්න මගේ ඉන්ටර්සිටියත් එනවා.. හෙට හම්බවෙමු.."


    හතර වටේම මලකඩ කාලා තිබ්බ බස් ලඩියක් එන දිහාට අත දික් කරන ගමන් චාමික කෑගැහුවා.. හෙට උදේට මූව හම්බෙන්නෙ මූට පිටගැස්ම හැදිලා ඉන්දෙද්දි වෙන්න ඕන.. හිතට ආපු ඒවා කියන්නත් කලින්ම බස් ලඩිය ඇදලා ගියා..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-04.jpg


    04.png


    කොයි තරම් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා පෙන්නගෙන හිටියත්, බින්දුගෙ ප්‍රශ්නෙන් මගේ හිත හෙල්ලිලයි තිබුණේ.. ලස්සනට ගියපු අහිංසක ආදරයක් මැද්දට හොම්බ දාපු ඇටකිච්චා ගැන නම් මගේ හිතේ තිබ්බෙ කියලා ඉවර කරගන්න බැරි තරහක්.. දෙයියනේ.. මූ මගෙන් ගුටි කාල මැරෙන්න නිරෝෂිට ලංවුණානේ..

    "සුදු කොල්ලෝ.."

    කන ගාවින්ම ඇහුණ සද්දෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. මං මේ ඉන්නෙ කොහෙද කියලත් මට හිතාගන්න බැරිවුණා.. අඩේ.. මං මේ තාම චැලිය උඩ නේද ඉන්නේ.. අපේ ගෙදරට හැරෙන පාර ඉස්සරහ බෝක්කුව ළග..

    "මං මේ ඔයා එනකන් මග බලන් හිටියේ.."

    "ඇයි.. මො..රින් අක්කේ.. හදිසියක්ද..?"

    පිස්සු හොද වෙලා ආයෙත් හැදෙනවා.. මං මේ කැරොල් කරත්තෙ කර මුලටම අහුවුණානේ..

    "හද්ස්සියි කියන්නේ.. හොදටම හදිස්සියි පැටියෝ.. ඔයාගෙ සුදු අයියා උදේ වැඩට යනකන් මං ඇස් රිදෙනකල් බලන් හිටියා.. අනේ එයා ඇස් දෙකම වහලා මෙතනින් ගිහිල්ලනේ.. හරිම හොර ගෙඩියෙක් තමයි.."

    දෙයියන්ට ඔප්පු වෙච්චාවී.. මේ වෙස්සන්තර ජාතකේ විකාශනය වෙච්ච දාට, මට රට අතෑරලා යන්න වෙන්නේ.. බලන් ගියාම මේක මල ඇනයක් උනානේ..

    "ඔයා කලබල වෙන්නෙපා මොරින් අක්කේ.. ඔය ඉන්ටර්සිටි වැඩ අපේ අයියට අල්ලන්නෙ නෑ.. මං කොහොමටත් සීග්‍රගාමී හින්ද මට නම් ඕවා අවුලක් නෑ.. හැබැයි ඔයා ඔය යන විදියට ගියොත් වැඩේ අල වෙනවා.. මේ වගේ දේවල් හිමින් සීරුවෙ කරන්න ඕන වැඩනේ අප්පා.. ඔයා ඔහොම කුලප්පු වෙච්චි නාලාගිරි ඇතා වගේ කොඩේ වන වනා ඉන්නවා දැක්කොත් අපේ අයියා කීයටවත් ඔයාට කැමති වෙන්නෙ නෑ.. නිකං හිතන්නකෝ මොරින් අක්කේ.. කොයි කොල්ලද හදිසිකාරයොන්ට කැමති.. එපා වෙනවනේ.."

    "අයියෝ තව ඩිංගෙන් එහෙනම් හරි වැඩේ තමයි වෙන්නේ.. අනේ සුදු බන්ටි.. ඔයා හරිම හොදයි.. ඔයා ඔහොම නොකිව්ව නම් මට වෙන දේ මංවත් දන්නෙ නෑ.."

    ඔයාට වෙන දේ නම් මං දන්නවා මොරින් අක්කේ.. ඔාට මේ ගමෙත් ඉන්න වෙන්නෑ.. අපේ අයියා ඔයාව බිස්ටේක් කරයි.. පව් අප්පා.. මොරින් අක්කගෙ අවංක අකලංක ආදරේ.. තව ඉස්සරහට පරණ පත්තරයක් වගේ වේලි වේලි තියෙයි..

    "මං යන්නද මොරින් අක්කේ..?"

    "ගියාට කමක් නෑ.. අනේ ඔයාට මාව හවසට ඩිංගක් හම්බවෙන්න බැරිද..?"

    හුටා.. මේ කැරොල් කරත්තෙ හවසට හම්බවෙන්න.. මට නම් පිස්සු නෑ ලොකු පුතේ.. මගේ ඔලුව කොහේවත් හයියෙන් වැදුනෙත් නෑ..

    "ඔයාව හම්බවෙන්න..?"

    "ඔව් අනේ.. ඔයාගෙ අයියා ගැන මගේ හිතේ තියෙන අකලංක ආදරේ ගැන මං ඔයාට කියන්න ඕන.."

    "ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔය කෙහෙම්මල් ආදරේ ගැන මට කියලා වැඩක් තියෙනවද..? ඒක කියන්න ඕන අපේ අයියටනේ.."

    "ඉතිං අනේ... මං කොහොමද මගේ මෙව්වා එක ගැන එයාට කියන්නේ..?"

    "මෙව්වා එක..?"

    "ඔව් පැටියෝ.. මගේ ආදරේ ගැන.. අනේ ඔයාට බැරිද මට සපෝර්ට් කරන්න..?"

    "සපෝර්ට්..?"

    දැන් නම් සපෝර්ට් නෙමේ කරන්න වෙන්නේ.. මේකිත් එක්කම මටත් බෙල්ලෙ වැලක් දාගන්න..

    "අනේ ඔව්.. ඔයාගෙ අයියා අර ලෙටර් එක එවපු වෙලාවේ ඉදලා මට පිස්සු හැදිලයි තියෙන්නේ.."

    "මොන ලෙටර් එකද..?"

    "ඇයි පැටියෝ.. ඔයා මට අද උදේ දුන්නේ..? අර පියාඹන පීරිසියක් වගේ කැරකි කැරකි බැල්කනියෙ ඉදලා මං ළගට පුදුම ආදරේකින් පාත් උනේ.."

    "කතන්දරේ මේකයි මොරින් අක්කේ.. ඔය ලියමු තිබුණෙ අයියගෙ මේසේ උඩ.. මං හිතුවා එයා, ඔයාට දෙන්න වෙන්නැති මේක ලියලා තියෙන්නෙ කියලා.."

    "එතකොට අයියා කිව්වෙ නැද්ද මේ ලියුම මට දෙන්න කියලා..?"

    "ඔයාට පිස්සුද මොරින් අක්කේ.. එයා එහෙම දෙකේ පංතියෙ වැඩ කරන කෙනෙක් නෙමෙයි.. හොඩියෙ පංතියෙ වැඩ කොලොත් මිසක.."

    "මොනව උනත් එයා මටමයි මේක ලියලා තියෙන්නේ.. මගේ පපුවට ඒක දැනෙනවා.."

    ගෑනි පපුවට අත් දෙකම තියා ගත්තා.. පුළුවන් නම් කකුල් දෙකත් තියා ගනියි.. බැහැයි ඉතිං මොරින් අක්කගෙ පරම පවිත්‍ර ආදරේ අපේ අයියට පුද කරන්න ආපු දාට තමයි සිංහල භාෂාවෙ තියෙන සියලුම සංස්කෘතික වචන ටික අපේ ගෙදර අයයි, අහල පහළ අයයි හැමෝම දැනගන්නේ..

    ***************************

    එතැන ඉදලා දවසක් දෙකක් යනකන් පරිසරේ සාමකාමී වෙලා තිබුණා.. මාත් ගෙදරින් එළියට බැස්සෙ නෑ.. ඇත්තටම ඒකට හේතු දෙකක් තිබුණා.. එකක් මොරින් අක්කගෙ සදාදරණීය ප්‍රේමය.. අනිත්තෙක තමයි හතර අතින්ම කලුකරගෙන චිරි චිරි ගගා වහින වැස්ස, හැමදේම එපා කරලා තිබුණා.. නුවරට වහිනවා කියන්නෙ ඉතිං සොරිම තමා.. ඒ වහින වෙලාවට එළියට බහිනවා කියන්නෙ මේ කුනු සංසාරේ මොන තරම් දුකයිද කියලා කවුරුවත් කියලා දෙන්නෙ නැතුවම තේරෙන එකයි..

    "බන්.. ටී.."

    වැස්ස හින්දා මං හිටියෙ කාමරේට වෙලා.. මගේ අලිපත බූල් බෙඩ් ෂිට් එකෙන් මුළු ඇගම පොරවගෙන.. දර මිටියක් දෙපැත්තෙන් බැදලා, කකුලෙන් තද කරලා පාගලා මැද්දෙනුත් බදිනවා වගේ.. කිසිම හිරිකිතයක් නැතුව කවුදෝ මාව හොල්ලනවා දැනිලා මං ඇස් ඇරියා.. අම්මපා.. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල කියපු එකාගෙ කටේ ගෙඩිම දාන්න ඕන..

    "බන්ටි ඩිංගක් නැගිටින්නකෝ.."

    "මොකද අක්කේ..?"

    "අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා එමුද..?"

    "එළියට යන්න.. ඔයාගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදුණද..? ආ..! අවමගුලකට වගේ මෙච්චර වහිද්දි හීනෙකින්වත් එළියට යන්න පුළුවන්ද..?"

    "අනේ බන්ටි.."

    මේක නම් මොකක් හරි සදාකාලික අවුලක් වගේ.. එහෙම නත්නම් මෙයා කවදාවත් මං ඉස්සරහ මෙහෙම බැගෑපත් වෙන්නෑ.. මං දන්නවනේ මුන්දැගෙ රාජ ඌස්නෙ ගැන.. අපේ ගෙදර ලේසියෙන් ගෑස් ඉවරවෙන්නෙ නැත්තේ මෙයාගෙ ගෑස් තියෙන හින්දා කියලා මං ඒකමතිකව සහා සම්මත කරලා තියෙන්නෙ නිකං නෙමෙයිනේ..

    "අනේ පනේ නෙමෙයි මොනවා කිව්වත් මේ වෙලාවෙ නම් එළියට බහින්න බෑ අක්කේ.. ඔයා දන්නෑ තව ඩිංගකින් හොදටම ගොරවලා අකුණු ගහනවා කියලත් කිව්වා.."

    අක්කා හිටපු තත්වෙ හින්දා මං කියපු එක තේරුණේ නෑ.. කවදද අප්පා ගොරවලා ඉවරවෙලා අකුණු ගැහුවේ.. අකුණු ගහලා ඉවරවෙලා ගොරවනවා මිසක..

    "කවුද කිව්වේ..?"

    "කවුද අහන්නේ.. කාළගුණේ ඇරෙන්න වෙන මොකාද..? ඌ දැන් ඩිංගකට කලින් කිව්වෙ කාටවත් කියන්න එපා කියලා.."

    "අනේ බන්ටි.."

    "හරි.. හරි.. ඔයාගෙ සෝක මූණත් එක්ක මට කාලගුණේගේ වචනෙ අහන්න බෑනේ.. කමක් නෑ.. ඕන අවමගුලක යං.. මං රෙඩී.."

    මං එක පයින් එක සිතින් අක්කට කැමැත්ත දුන්නා.. අක්කා මං දිහා බැලුවෙ ජීවිතේට දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ..

    "ඔ.. ඔයා ඔය ඇත්තමද කියන්නේ..?"

    "නැත්තං මේ ගොරවලා වහින වෙලාවේ, ඔයා හිතනවද මං විහිලුවට වත් බොරුවක් කියයි කියලා.."

    "මගේ හොද බන්ටි.. ඔයා එහෙනම් ඉක්මනට ලෑස්ති වෙන්න.. මං වීල් එකකට කතා කරන්නම්.."

    එළියෙ කුණු වෙන්න වහිනවා.. මෙහෙම එළියට ගියොත් නම් අපි දෙන්නා විනාඩියෙන් තෙත බරියම් වෙලා කොහේට හරි පතබරියන් වෙයි.. ඒත් ඉතිං මේවා කාට කියන්නද අප්පා.. මට මේ අවස්ථාවෙ කටයුතු කරන්න සිද්ද වෙලා තියෙන්නෙ කුලප්පු වෙච්චි අස්පයෙක් එක්ක නේ..

    "මේ කොහේද යන්නේ..?"

    වීල් එකට නැගලා ටිකක් දුර යද්දි මං ඇහුවා.. අක්කගෙ අතේ ටිකක් විතර ලොකු පාර්සලයක් තිබුණා.. හැබෑටම ඒකෙ මොනවා තියෙන්න පුළුවන්ද..? සමහර විට මාළුයි, පරාටයි, චිකන් කරි එකකුයි වගේ දෙයක්ද.. නැත්නම් ඉදිආප්ප විස්සකුයි, අල හොද්දක් වගේ දෙයක්.. ඒවා මුකුත්ම නෙමෙයි නම් බිත්තර රොටි ටිකක්.. එහෙමත් නැත්නම් අඩුම ගානෙ බිත්තර පාන් දෙක තුනක්..

    "සුදු හුම්පල පාරට දාන්න.."

    මාව සත පහකට ගණන් ගන්නැතුව අක්කා වීල් එක එළවන මනුස්සයට කිව්වා.. ඔන්න ඉතිං දැන් නම් බන්ටිට තදවෙනවා.. ඇයි යකඩෝ.. මනුස්සකමට ගමනක් යන්න ආවහම එක්කො යන තැන කියපංකෝ.. අඩේ... සමහරවිට මෙයා මගෙත්තෙක්ක තිබ්බ පරණ තරහක් පිරිමහගන්න ආවද දන්නෙත් නෑ.. මාව කොහේ හරි මුල්ලකට දාගෙන ත්‍රීවිල් කාරයත් එක්ක මට නෙලන්නද දන්නෑ හදන්නේ..

    "අක්කෙ මේ.. යන තැන නොකිව්වොත් වැස්ස කියලා බලන්නැතුව මං වීල් එකෙන් බහිනවා.."

    "කෑගහන්නැතුව ඉන්න බන්ටි.. මේ එළවන මනුස්සයටත් ඇහෙනවා.. අපි මේ යන්නෙ මුතූලගෙ ගෙදර.."

    "මුතූලගේ..?"

    "ඔව්.. 'පිණිමුතු'.."

    "මොකක්.. පිණි මුතු..?"

    "ඔව්.. එයාගෙ නම පිණිමුතු තමයි.. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද..?"

    "මට නම් ඇති ප්‍රශ්නයක් නෑ.. මේ ලෝකෙ නම් නැතුවට තියපු නමක්ද කොහෙද..?"

    "ඔයා නම් හරි නරකයි බන්ටි.. බලන්න.. ඒ නම කොයි තරම් ලස්සනද නමක්ද..?"

    "හරි.. හරි.. මට දැන් නමෙන් ඇති වැඩක් නෑ.. නම කන්නද..?"

    "ඇයි බන්ටි එහෙම කියන්නේ.. කෙනෙකුට නම කොයි තරම් වැදගත්ද..? කෙනෙක් නම කියලා කතාකරන කොට කොයි තරම් හොද හැගීමක් හිතට එනවද..?"

    "අම්මපල්ලා අක්කේ.. මට නම් ඔහොම එකක් ජීවිතේට දැනිලම නෑ.. මට නම් නමෙන් ඇති වැඩකුත් නෑ.. ඇයි ඉතිං උප්පැන්නෙ තියෙන නමෙන් මට එකෙක්වත් කතා කරන්නෙ නෑනේ.. හැම එකාම තරගෙට වගේ කියන්නෙ බන්ටි කියලනේ.."

    "ඔව් ඉතිං.. බැලුවාම ඔයා කියනෙකත් හරි.."

    අක්කා පර්සලේ අතට තවත් තද කරගත්තා.. අයියෝ.. අපරාදෙ ඉදිආප්ප විස්ස.. ඒ මදිවට චිකන් කරිය.. වීල් එක නුවර මහ ඉස්පිරිතාලෙ පහු කරලා ටිකක් දුර ගිහින් එතන තිබ්බ උඩ පාරට දැම්මා.. ඊගාවට වංගුව එක්කම වගේ තිබ්බ හුරු බුහුටි ගෙයක් ළග වීල් එක නතර වුණා..

    "යං බන්ටි.."

    තියෙන හදිස්සිය කොයි තරම්ද කියනවා නම් යං බන්ටි කියලා කිව්ව අක්කා කුඩෙත් ඉහලගෙන උසේන් බෝල්ට් වගේ දුවනවා.. අනේ අහිංසක බන්ටි කුණුවෙන්න තෙමෙනවා..

    "පිණිමුතු.."

    අක්කා ගෙට ලංවුණේම සද්ද පුජාව දාගෙන.. අම්මප.. ඒ සද්දෙට නම් මැරිච්ච ඈයොත් නැගිටලා එනවා.. හෑයි සමුදිනී කියාගෙන..

    "ආ.. නේ.. මේ සමුදි දුවනේ.."

    අක්කගෙ ඝාණ්ඨාරෙ සද්දෙට ගේ ඇතුලෙන් ඇන්ටි කෙනෙක් එළියට ආවා.. අනේ දෙයිහාමුදුරුවනේ.. අච්චර අලි පත බෙල් තඩියක් තියෙද්දි අක්කා, හංදියෙ ඩෝප් වයිමා වගේ කෑගහපු කෑගැහිල්ලක හැටි.. විලි ලැජ්ජාවෙ පණ යනවා..

    "කෝ ඇන්ටි පිණිමුතු..?"

    "ඇයි දුවව හම්බවෙන්න යනවා කියලනේ ගියේ.. කෝ පිණිමුතු ඔයත් එක්ක ආවෙ නැද්ද..?"

    මෙන්න මේවට තමයි කියන්නෙ පොල් පරාල පයින් යනවා කියලා.. අම්මප මේ ලෝකෙ ඉන්නෙ පිස්සො විතරද..? ඇයි වදේ.. ගෙදර අයිති කෙල්ල කෝ කියල අහපුවාම, කෙල්ලගෙ අම්මා අහනවා අපිත්තෙක්ක ආවද කියලා.. කෝකටත් කියලා මං ඩිංගක් පස්සට උනා.. මොකද කොයි තරම් වලිකාපර් කෙනෙක් වුණත් මං පිස්සොන්ට බයයි..

    "අනේ.. පිණිමුතු අපේ ගෙදර ගියාද..?"

    "ඔව් දුව.. හෙට පාටි එකට අදින්න තියෙන සාරි බ්ලවුස් එක ඔයා අරගෙන ගියාලු.. බ්ලවුස් එක නැති වුණොත් හෙට පාටි එකට යන්න වෙන්නෑ කියලයි ඔයා හොයාගෙන ගියේ.. ඒත් මං කිව්වා, මේ වැස්සෙ යන්නෙපා කියලා.."

    "සාරි බලවුස් එක මං ගෙනාවා ආන්ටි.. හදිසියෙන්ම මං ආවෙත් ඒකයි.. එහෙනම් පිණිමුතු ආවහම මේක දෙන්න.. මං යනවා.."

    "අනේ.. ඔය යන්නද හදන්නේ.. ඉන්න දුව.. තව ටිකකින් පිණිමුතු එයි.."

    "කමක් නෑ ආන්ටි.. ආපු වීල් එකත් එළියෙනේ.. පිණිමුතුට කියන්න මං ආවා කියලා.."

    අසත්පුරුෂකමක හැටි කියන්නෙ, ආවෙ මං එක්ක නේද කියලවත් වගේ වගක් නැතුව අක්කා කුඩෙත් අරන් වීල් එක ළගට ගියා..

    "ෂිහ්.. අම්මප මීට පස්සෙ ඔයත් එක්ක මං විහිලුවටවත් ගමනක් එන්නෙ නෑ.."

    "ඇයි බන්ටි..?"

    "හැයි බන්ටි තමයි.. පස්ස කඩාපු කඩියා වගේ උඩ පැනගෙන දුවගෙන ඇවිල්ලා, මට හෙම්බා හදන්නද හදන්නේ.. මාව හෝදගෙන යන්න තෙමෙනවා කියලා ඔයාට පේනනෙ නැද්ද..?"

    "අනේ වෙරි සොරි බන්ටි.. හිතේ කලබලේට මගේ ඔලුවත්තෙක්ක අවුල් වුණා.. දැන් පිණිමුතු අප්සට් වෙලා ඇති.. එයා දන්නෑනේ මං බ්ලවුස් එක ගෙනාවා කියලා.."

    "ඕක රත්තරන්ද..?"

    සුදු හුම්පල පාරෙන් දකුණට දාද්දි මං අක්කගෙන් ඇහුවා..

    "මොකක්ද..?"

    "බ්ලවුස් එක.."

    අක්කට බකස් ගාලා හිනා ගියා.. ඇයි හත්වලාමේ, ඒ වගේ කලබලේකින්නේ මෙයා දුවගෙන ආවේ..

    "ඔයාට නම් පිස්සු බන්ටි.."

    වැව රවුම හරියට එනකොට වැස්ස තවත් තදවෙන්න ගත්තා.. ත්‍රීවිල් එකේ දෙපැත්තෙන් රේන් කෝට් දෙක්ක වගේ පටි කෑලි වගයක් එල්ලලා.. මෙලෝ දෙයක් පේන්නෑ.. පාර උනත් පේන්නෙ අර පුංචි වයිපර් කෑල්ලෙන් ඉස්සරහ වීදුරුව පිහදැමිලා යනකොට විතරයි..

    "ඔයා කියපු එක හරි අක්කේ.. මේ තරම් කුනු වෙන්න වහිද්දි ගෙදර වෙලා නිදාගන්නැතුව, මං ඔයත්තෙක්ක මේ වගේ අපත ගමනක් ආවෙ මට පිස්සු හින්දා තමයි.. ඒත්.."

    ඉස්සරහ වීදුරුවට වැටෙන තද වැස්ස පිහිදැමෙන වයිපරේ අතරින් මං අහම්බෙන් වගේ දැකපු දෙයින් මගේ හිත හෙල්ලිලා ගියා.. දෙයියනේ..

    "වීල් එක ඩිංගක් නතර කරන්න.."

    ඇස් දෙක දැකපු දේ විශ්වාස නැති හින්දා මට ආයෙත් ඒ දේ දකින්න ඕන වුණා.. කියන පරක්කුවට වීල් එන නතර වෙද්දි මං වීල් එකෙන් එළියට බැස්සා.. තද වැස්ස මහා වැස්සක් වෙලා මාව තෙමෙද්දි හිත අසරණ කරපු ඒ දර්ශනේ දිහා මං ඔහේ බලන් හිටියා.. එහෙනම් සරිගමයයි, අමිලයයි, අමිලගෙ අඹයයි කියපු කතා ඔක්කොම ඇත්ත.. වැව රවුම ළගින්ම හෙමි හෙමීට අඩිය තිය තියා ඇවිදන් ගියේ නිරෝෂියි, තව සුදු කොල්ලෙකුයි.. මහ වැස්සෙ, එක කුඩයක් යටට වෙලා තුරුල්වෙලා යන ජෝඩුව දැක්කම මාව ගල් ගැහුණා.. දෙයියනේ.. බින්දු මේ දේ දැක්කනම්..? ඌ කොහොමද මේ වගේ ඇත්තක් දරා ගන්නේ.. ඌ මොන තරම් අවංකවද නිරෝෂිට ආදරේ කරේ..?

    එහෙනම් ලොකු පුතා කියපු ඇටකිච්චා මූ තමයි.. ගල් ගැහිච්ච හිත අද්දරින් මගේ හිතට ආවෙ උහුලගන්න බැරි කේන්තියක්.. මේ වෙලාවෙම නිරෝෂිට කම්මුල් පාරවල් දෙක තුනක් ගහලා, ඇටකිච්චටත් හොදටම නෙලලා වළාකුලු බැම්මෙන් පල්ලෙහාට දැම්මනම් ඉවරයි.. ආයෙ කතා දෙකක් නෑ.. පයිප්ප බටේකින් වතුර වැක්කෙරෙනවා වගේ ඇග දිගේ වතුර ගලද්දි මං නිරෝෂි දිහාට ඇවිදන් ගියා.. ගෑනි මාව දැක්කහම මහසෝන දැක්කටත් වැඩිය බයවෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා..

    "බන්ටි.. මොකද ඔයාට වෙලා තියෙන්නේ..? අපි ගෙදර යන්නෙ නැද්ද..?"

    වීල් එකෙන් ඔලුව එළියට දාලා කෑගහන අක්කගෙ සද්දෙට තමයි මට මතක් වුණේ මං ආවෙ එයත් එක්ක කියනෙක.. අක්කා මෙතන බලන් ඉද්දි විහිලුවට වත් නිරෝෂියි, ඇටකිච්චයි ළගට යන්න බෑ..ඒත් එක සීරුවට වැටෙන වැහි පොද අතරින් බින්දුගෙ ඇස් දෙක මතක් වෙද්දි ආපහු හැරෙන්න මට හිත දුන්නෙ නෑ.. මගේ අහිංසක යාළුවගෙ ආදරේ, අත් දෙකින් අල්ලගෙන, පුංචි එකෙක් වගේ හිනාවෙවී ඈතින් යන ඇටකිච්චව මං දැක්කෙ සදාකාලික වෛරක්කාරයෙක් වගේ..

    "බන්ටි.."

    ඒ පාර අක්කගෙ සද්දෙ කණ ළගින්ම ඇහුණා.. ආයෙ හැරිලා බලන්න දෙයක් නෑ.. එයා වීල් එකෙන් බැහැලා කියලා මට තේරුණා..

    "මොකද බන්ටි..?"

    "මුකුත් නෑ.. අපි යමු.."

    "මුකුත් නැතිවෙන්න බෑ.. අර යන කපල් එක ඔයා අදුනනවද..? ඇයි එයාලා දිහා ඔය තරම් තරහෙන් බලන් ඉන්නේ..? ඒ අය ඔයා දන්න කියන කවුරු හරිද..?"

    "නිකං දැකලා පුරුදුයි වගේ හින්දා මාත් බලන් හිටියේ.. ඒත් පස්සෙ තමයි තේරුණේ කවදාවත් දැකපු නැති දෙන්නෙක් කියලා.. අපි යමු අක්කේ.."

    කතාවෙ චැප්ටර් එක එතනින්ම ක්ලෝස් කරලා දාලා මං අක්කත් එක්ක වීල් එකට නැංගා..


    Mathusambandai.gif