 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
෴ ♥ ආදරණිය ජෝති ♥ ෴ -
07-07-2012, 03:30 AM

ජෝතිපාල 1936 - 1987 පනස් එක් වසරක සෞන්දර්යය චාරිකාව.
පූර්විකාව:
ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක සිට........
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කියන විදියට "ජෝති" ශ්‍රී ලාංකේය සංගීත අඹරේ සුපිරි ගායන තරුව, ජෝතිපාල මිය ගොස් 2012 ජූලි මස 07 වන දිනට (අද) වසර 25 කි. ඔහු ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් හැර ගියේ 51 වියේ දීය. ජෝති ශ්‍රී ලාංකේය සංගීත සමාජය හැර ගොස් වසර විසිපහක් ගත වුවද, තවමත් ගායන අඹරෙහි සුපිරි ගායන තරුව ඔහු ය. ඔහු ගොඩ නැගූ ඒ ජනප්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට එදා මෙදා තුර කිසිවකු මේ ශ්‍රී ලංකාවේදී සමත් වී නැත.
ජෝතිපාල ලංකාවේ පහල වීම අහම්බයක් හෝ විශ්මකර්මයක් නොවේ. අහම්බෙන් වුවද එවැනි පහළ වීම් නැවත ඇති නොවනු ඇතැයි සිතිය නොහැක. එසේම එවැනි විශ්මකර්මයකු නැවත පහළ නොවනු ඇතැයි යන්න ද සිතිය නොහැක. මන්ද යත් එවැනි හැකියාවන් ඇති මිනිසුන් කිනම් මොහොතක හෝ පහළ විය හැකි බැවිනි.
ජෝතිපාල මිය ගිය පසුව ද ගෙවුණු වසර විසිපහ තුළ චිත්‍රපට 25 ක පමණ ගී ගැයුවේ ය. විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, මෙන් ම පුවත් පත් සඟරා ඔස්සේද ඔහු පිළිබඳව විවිධ කතා බහ ඇති විය.
ජෝතිපාල ජීවත් ව සිටි සමයේ සිට මේ දක්වා ගතවූ හැම දවසකම, ඉර බහින හැන්දෑවක ගමක ගෙපැළක, පිල්කඩ උඩ ඇසුණේ ජෝතිපාල ගැයූ ගීයකි. හේනක, කුඹුරක, පැල් රකින ගොවියා තම කාංසිය සහ පාලුව මඟ හරවා ගත්තේද, ජෝතිගේ ගීයක් මිමිණීමෙන් හෝ ගුවන් විදුලියේ පාව ආ ජෝතිගේ ගීයක් ඇසීමෙනි.
හැන්දෑවට, පාරේ වැනි වැනී යන බේබද්දා බැරි බැරි ගානේ කෑ මොරදෙන්නේද, ජෝතිගේ ගීයක් කෑ ගසා කීමෙනි. එහි කිසිඳු සෞන්දර්යයක් හෝ රසයක් නැත ද , තවත් අයෙකුට මහත් හිසරදයක්, කන්දොස්කිරියාවක් වුවද, ඔහු සිය ගායනය නවත්වන්නේ නැත. ඔහු අමාරුවෙන් හෝ වෙරි මරගාතේ පෙම් බඳින්නේ ජෝතිපාලට ය.
හැන්දෑවක වැව් ඉවුරක, ගං ඉවුරක, ඇලක් හෝ දොලක් අයිනේ "සෙට්" වෙන කොල්ලො කුරුට්ටෝද දෙකක් දාගත්ත ගමන් මුමුණන්න පටන්ගන්නේ ද, දවසේ මෙහෙය නිමවා බාර් එකේදි "සෙට් " වෙන කම්කරු පන්තියේ මිනිසුන් ද, සති අන්ත වලදී හවසට සොඳුරු තැන්වල හමුවෙන හිත මිතුරු පිරිස් ද, රාත්‍රී සුපිරි සමාජ ශාලාවක "සෙට්" වෙන ඉහළම කෝටිපතියාගේ සිය මධ්‍යම පාන්තික රැඩිකල් තරුණයා දක්වා ද තෝරා ගන්නේ ජෝතිපාලගේ ගීයකි.
ගායන ලොවේ සුපිරි තරු තෝරන "සුපර් ස්ටාර්" තරඟ වලදී අධුනිකයා ගයන්නේ ද ජෝති පාලගේ ගීයකි. මෙරට හතළිස් ගනනකට කිට්ටු සියළුම ගුවන් විදුලි නාලිකා වලින් අවම වශයෙන් එක ගුවන් විදුලි නාලිකාවක් දිනකට ජෝතිපාලගේ ගීත අවම වශයෙන් 10 ක් හෝ 12 අතර ගනනක් ප්‍රචාරය කරයි. ජෝතිපාල නොසිටියේ නම් ඒ ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යාම ද ගැටළුවක් වනු නියත බව සිතෙන්නේ දිනකට ඇසෙන ජෝතිගේ ගිත ගැන හිතෙන විට ය. ජෝතිපාල සමාජ ගත වන්නේ ඒ විදියට ය.
මෙරට විචාර කලාව අනුව ජෝතිපාල ජීවත්ව සිටි සමයේ ගීතය සහ සංගීතය ද දෙකට බෙදුනි. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ ඇසුර එක් පසෙක ද, ජෝතිපාල , පුමුඛ ගායක පරපුර ජනප්‍රිය සංගිතය සහ ගීත ශෛලියද අනෙක් පස සිට අනුගමනය කළේය. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර උත්තම ගණයට අයත් වූ අතර එකී විචාර කලාව අනුව ජෝතිපාල වැටුනේ අධම ගණයේ ගීත ගොඩටය. අපේ විචාර කලාව ක්‍රියාත්මක වූ යේ ඒ අයුරිනි.
පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහයේ ඇති ජෝතිපාල පිලිබඳ ලියැවුණු මේ අපූරු කාව්‍යයේ කොටසක් උපුටා දක්වමිනි.
...... ජෝති ඔබ
යුගයේ වඩාත්ම ප්‍රේමනීය හඬද වූවෙහිය
වඩාත් විශ්වාශවන්ත හඬද වූවෙහිය
හැම යුගයක්ම
බිහිකරයි තම කාලයේ විරුවන්
ඇතැම්විට ඒ දරුවෝ
වැටී සමාජ පත්ලෙහි
සැඟව යති මහා නෞකා සේ
සාගර කුක්ෂියෙහි ගිලී යන
ඒ වීර දූ පුතණුවන්
යළි සොයා ගොස්
වඩා හිඳුවා
නළවන්න එපාද
ඉතිහස නම් මෑණිය උකුළේ?
උපුටා ගැනීම:
පරාක්‍රම කොඩිතුවක්කු ගේ "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහය (10 සහ 11 පිටු වලින් )
මෙය අස්වැන්න බ්ලොගයෙන් උපුටාගත් ලිපියකි..
එයි කර්තෘ වන දයානන්ද රත්නායක මහතාට සියලු ගෞරවයන් හිමිවිය යුතුය.
ජෝති යනු ‘ආලෝකයයි’. සැබැවින්ම ජෝති අපේ ගී ලොව ආලෝකමත් කළේය. ඒ ආලෝකය මහා පහන් ටැඹක් වී සසර පුරාවටම අප හද සන්තානයේ අඳුර පලවා හරින්නේ සදාතනික සෙනෙහකිනි.
  
 

ජෝතිපාල මහාතා ගැන ලියාවුණු තවත් ලිපියන් පහලින් දමා ඇත..
ඔහුගේ සියලු ගීත ඩවුන්ලෝඩ් කරගන්න ඕන අය ඉන්නවා නම් මට PM කරන්න.. මේකෙ ඇල්බම් දාන්න තහනම් කියලා දන්නවනේ
Last edited by crazybuddy; 07-07-2012 at 04:31 AM.
|
 |
Senior Member
|
|
Posts: 806
Join Date: Nov 2010
Location: මේ ලග...
|
|
|
07-07-2012, 03:36 AM
good post brooo
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

07-07-2012, 03:38 AM
ජෝතිපාල මහතාගේ වගතුග කිහිපයක්..
සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
භාවිත කළ නම - එච්. ආර්. ජෝතිපාල
උපන් දිනය - 1936 පෙබරවාරි 12
ගම - දෙමටගොඩ කැටවලමුල්ල
පියා - මාතර, එච්. ආර්. ජේමිස්
මව - ඇහැලියගොඩ, එච්. කේ. පොඩි නෝනා පෙරේරා
සහෝදර සහෝදරියන් - ජයතිස්ස, සුවිනීතා, ලැටීෂියා, අයිරාංගනී, ට්‍රික්සි
බිරිඳ - බ්ලොසම් වින්ටර්
දරුවන් - වරුණි, සුජීවා, එස්තර්, ක්‍රිෂ්ණි
ඉගෙන ගත් පාසල - මරදානේ ශාන්ත ලෝරන්ස් සහ දෙමටගොඩ, ශාන්ත ජෝන් විදුහල
පියාගේ රැකියාව - ඇඳුම් මැසීම
මවගේ රැකියාව - රෝහල් සේවිකා
ආගම - බුද්ධාගම
ලග්නය - කන්‍යා
මුල්ම රැකියාව - කොළඹ, සුලෙයිමාන් රෝහලේ බෙහෙත් බෝතල් පිරිසිදු කිරීමේ
සේවක
මුල්ම වැටුප - රුපියල් විසිපහයි (මාසිකව)
පසුව නියුතු වූ රැකියා - අලෙවි නියෝජිත (මාතර - හරිස්චන්ද්‍ර මිල්ස්, ෂෝවොලස් හෙජස් සහ ගුණසේන සමාගම)
ස්ථිර රැකියාව - ගීත ගායනය
උස - අඩි 6 යි, අඟල් 2 යි
මුලින්ම ගැයු ගීතය - වසන්තා සන්දනායක සමඟ මහවැලි නදියේ (එහි තොටියෝ යන පදය)
මුලින්ම ගැයු ඒකල ගීතය - ස්ටැන්ලි ඔමාර් පද රචනය කර සංගීතවත් කළ මගෙ රන් රාජිණි (1954)
මුලින්ම ගැයු චිත්‍රපට ගීතය - සුරතලී චිත්‍රපටයේ සිරිය මෙ සාරා (1956)
මුලින්ම රඟපෑ චිත්‍රපටය - සුදු සඳේ කළු වලා (1963)
මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය - ඇතුල්වීම තහනම්
මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය - සුමිතුරෝ (1983)
පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය - ජෝති රාත්‍රිය (1980)
ගී ගැයූ කැසට් පට ගණන - 115 ක් පමණ
ගී ගැයූ චිත්‍රපට ගණන - 450 ක් පමණ
දිනා ගත් සම්මාන - දීපශිඛා (ජනපි‍්‍රය ගායක - 1972) - රජත ජයන්ති සම්මානය (1974-76) - සරසවිය (හොඳම ගායක - 1983) - සරසවිය (හොඳම ගායක - 1986) - මල්පියලි (ජනපි‍්‍රය ගායක)
ගැයූ ගීත ගණන - දස දහසකට වැඩියි
පි‍්‍රයතම දේශීය නළුවා - විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා
පි‍්‍රයතම දේශීය නිළිය - මාලිනී ෆොන්සේකා
පි‍්‍රය කළ ආහාරය - බත්, බිරියානි
පි‍්‍රය කළ රසකැවිල්ල - කැවුම්
පි‍්‍රය කළ පලතුර - පැපොල්
පි‍්‍රය කළ ඉංගී‍්‍රසි අකුර - J
පි‍්‍රය කළ මාසය - පෙබරවාරි
පි‍්‍රය කළ පක්ෂියා - පරෙවියා
පි‍්‍රය කළ ක්‍රීඩාව - ක්‍රිකට්
පි‍්‍රය කළ විනෝදාංශ - සර්පිනා වාදනය, ගීත ශ්‍රවණය, මිතුරු ඇසුර
පි‍්‍රය කළ පරිසරය - මාලිගාවත්ත සහ නුවරඑළිය
පි‍්‍රය කළ විදේශය - ජපානය
පි‍්‍රය කළ තමන්ගේ ගීතය - ටජ් මහලක්
පි‍්‍රය කළ අනුන්ගේ ගීතය - හරූන් කුමාර් ලන්ත්‍රා ගයන මගෙ නාමලී ඇතුළු තවත් ගීත කිහිපයක්
පි‍්‍රයතම වාද්‍ය භාණ්ඩය - සිතාරය
පි‍්‍රය කළ මල - ඩේලියා
පි‍්‍රය කළ අංකය - 6
පි‍්‍රය කළ සුරතලා - බල්ලා
වැඩිම යුග ගී ගණනක් ගැයූ ගායිකාව - ඇන්ජලින් ගුණතිලක
වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා - කරුණාරත්න අබේසේකර
වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා - පී. එල්. ඒ. සෝමපාල සහ සරත් දසනායක
ජෝති ගැයූ වැඩිම ගීත ගණනක් තිරයේ නිරූපණය කළ නළුවා - විජය කුමාරතුංග
වඩාත්ම දුක් වූ දිනය - මුලින්ම පොඩි පුතා චිත්‍රපටයේ ගී ගයන්න නුසුදුස්සෙකු වූ දින
වඩාත්ම සතුටු වූ දිනය - සිරිය මෙ සාරා ගීතය මුලින්ම චිත්‍රපටයෙන් ඇසුණු දින
පිහිටුවන ලද මිතුරු සමාජ - එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය (1971) සහ කුවේට් රටේ ජෝතිපාල රසික සමාජය
සංචාරය කළ රටවල් - ඉතාලිය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, කුවේට්, ඩුබායි, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක්ම
අවසන් වරට ගී ගැයූ සංගීත ප්‍රසංගය - 1987 ජූලි 3 දා කතරගම ගම් උදාව ගීත ප්‍රසංගය
අවසන් වරට වේදිකාව මත ගැයූ ගීතය - පෘතුගීසිකාරයා
අවසන් සුසුම් හෙළූ දිනය - 1987 ජූලි 7 දා
ආදාහන කටයුතු සිදු කෙරුණු දිනය - 1987 ජූලි 9 දා
|
 |
Senior Member
|
|
Posts: 7,622
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
|
|
|
07-07-2012, 03:39 AM
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

07-07-2012, 03:43 AM
බොරැල්ල කනත්තේදී ජෝති හම්බුණා..
පසුගිය සතියේ දිනක් සවස, බොරැල්ලේ වනාතේ ඉන්නා මිතුරකුගේ (ඉසුරංග) මිත්තණියගේ අවමගුල් උත්සවය වෙනුවෙන් බොරැල්ල කනත්තට ගියෙමි. මා සහ මගේ ගමන් සගයා වූ අසේල එහි යන විට දේහය එහි ගෙනැවිත් නොතිබිණි. එහෙයින්, අප දෙදෙනා මැරුණු මිනිසුන් කිහිපදෙනෙකුගේ වර්තමානය කියැවීම පිණිස කණත්තේ සොහොන් කොත් පිරික්සීමට පටන් ගත්තෙමු. නම් ගම් වලින් කියා සීමා කිරීමට නොහැකි තරම් දන්නා හදුනන, පෙර කියවා ඇති සහ කියවිය යුතුව ඇති චරිත රාශියක් එහිදී මුණ ගැසිණි.
ගේට්ටුවෙන් ඇතුල් වෙත්ම දෑස් ඩැහැගත් අඩි දහයක් දොළහක් තරම් උස ස්ථම්භාකාරයට තනා ඇති සෙහොන් කොතකි. රූපශ්‍රියාවෙන් සිත් ඇදගන්නා මිනිසෙකුගේ ඡායාරූපයකි. කුඩා අවදියේ මා ඔහු හදුනාගන්නේ ජෝතිපාල ලෙසිනි. එච්.ආර්. ජෝතිපාල ලෙස මා ඔහු කියවනු ලබන්නේ ඉතාම මෑතකදීය. ඒ මා රේඩියෝ කාරයෙක් වීමෙන් පසුවයි. ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු (Request Programme Presenter) ලෙස කලක් කටයුතු කරද්දී මවිසින් යොදාගත් උපක්‍රමයක් විය. මා බොහෝ විට වැඩසටහන ආරමභ කරන්නේ, ජෝති ගේ ගීයකිනි. සෙත් කවියක් කීවාක් වැනිය. දුරකතන වලට ඉස්පාසුවක් නැත. තත්කාලීන ජනප්‍රියවාදී ගායකයෙකුගේ ගීයකින් වැඩසටහන් ආරම්භ කළ තත්ත්වයට වඩා ඒ ප්‍රතිචාර බොහෝ වෙනස්ය. එහෙයින් ජෝති කියවීම මවිසින් සිදු කළෙමි. ජොතිගේ සොහොන් කොත මුණ ගැසීමත් සමග මා ජෝති යළි කියවිය යුතුයැයි සිතුවෙමි.
පළමු අදියර
70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ලපයි සිපයි ගායකයෙකි. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව, ජෝති නම් පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයායි. මරදානේ සිංදු කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ මහවැලි නදියේ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, තොටියෝ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස අමු කට්ටක් කාපු මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. මත භේදය චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් පෙරකදෝරු බෑණා හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්‍යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර පොඩි පුතා හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, සුරතලී හි සිරියමේ සාරා ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.
දෙවැනි අදියර
මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ සිරා පොරවල් වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් පෘතුගීසිකාරයා ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් දෛවයෝගයේදී හඩ දුන්නේය. ජෝති මාරම පොරක් වීම ආරම්භ වන්නේ ඒ සමගය. පදයක් තාලයට තලා ගැනීම ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ.
ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.
තුන්වෙනි අදියර
කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.
පුරුෂ යුග ගී
- මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල
- පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල
- අපි සන්තෝසෙන් ඉන්නේ - මිල්ටන් පෙරේරා
- තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්
ස්වතන්ත්‍ර නිර්මාණ
- ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න
- අමර පෙම් ලතාවේ - සරත් දසනායක
- වාසනාව දොර ඇරලා - එම
- සල් සපු නා - එම
- සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්
හින්දි කොපි
විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.
එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්‍රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ජෝතිමත්ය යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව මාට්ටු වෙයි. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.
ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ඇයි ඒ. ඔහු ප්‍රශ්න කළේය. No Rehearsals - No Corrections - One Take Then Save. ජෝති යනු One Take ගායකයෙකි.
අවසන් අදියර
1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්‍රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.
ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.
ජෝති නම් පොදු ජන අවශ්‍යතාව අනුව බිහිවී වර්ධනය වී පැවැත්ම තහවුරු කරගත් ගායකයෙකු මිස, ජනමාධ්‍ය විසින් බලහත්කාරයෙන් පැවැත්ම තහවුරු කරනු ලැබූ එකෙකු නොවේ. ජෝති වෙනුවෙන් සම්මානයක් දෙන්න සංස්කෘතික ආණ්ඩුවල කවුරුත් කැමති නැති වුණාට, ජෝතිත් එක්ක බුදිගන්න වුණත් මේ රටේ ගෑණු මිනිස්සු ලෑස්තියි කලකට ඉහතදී ජෝති කියවා අවසන් වන මෙහොතේ මා තේරුම් ගත්ත දෙයයි. මිනිස්සු ඒ තරම්ම ජෝතිට ආදරෙයි.
හිතේ දුකාක් නැතී මිනිහා - මේ ලෝකේ දැනගත් මිනිහා,
එයා තමයි දුක නැති මිනිහා...
මෙය idea365 බ්ලොගයේ පලවූ ලිපියකි..
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-07-2012, 03:46 AM
ජෝති හඬයි ඉඟි නළුවයි බැඳි හාද
වසර තිහක් පුරා දේශීය සිනමාවේ ජෝතිපාල ගැයූ දහස් සංඛ්‍යාත ගීතයන්ට සිය රංගනය මුහු කළ නළුවන් බොහෝය.
ඔවුනගේ නම් පහත පළ වන්නේ ජෝතිට උපහාර ලෙසිනි.
ආනන්ද ජයරත්න
ප්‍රේම් ජයන්ත්
එඩී ජයමාන්න
ඩොමී ජයවර්ධන
අශෝක
පොන්නම්පෙරුම
රිචඩ් ඇල්බට් (ටාසන්)
සම්පත් ශ්‍රී නන්දලෝචන
ඇන්තනි සී. පෙරේරා
ගාමිණී ෆොන්සේකා
ජෝ අබේවික්‍රම
ටෝනි රණසිංහ
විජය කුමාරතුංග
එල්. එම්. පෙරේරා
බැප්ටිස් ප්‍රනාන්දු
බොනිපස් ප්‍රනාන්දු
සේනාධීර රූපසිංහ
ඔස්වල්ඩ් ජයසිංහ
රෝයි ද සිල්වා
රොබින් ප්‍රනාන්දු
රවීන්ද්‍ර රන්දෙණිය
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
බන්දු මුණසිංහ
ෆේරඩී සිල්වා
ස්ටැන්ලි පෙරේරා
සනත් ගුණතිලක
ජීවන් කුමාරතුංග
ශෂි විජේන්ද්‍ර
අජිත් ජිනදාස
තිස්ස විජේසුරේන්ද්‍ර
ලයනල් දැරණියගල
කිත්සිරි පෙරේරා
ජගත් රොහාන්
සෙයින් සුහෙර්
මර්වින් ජයතුංග
විජය නන්දසිරි
රෙක්ස් කොඩිප්පිලි
වොලී නානායක්කාර
දොන් සිිරිසේන
ජයන්ත දාස් පෙරේරා
නිහාල් සිල්වා
විල්සන් කරුණාරත්න
විමල් කුමාර ද කොස්තා
ක්වින්ටස් වීරකෝන්
ශ්‍රීනාත් බස්නායක
තිලක් කුමාර රත්නායක
සුදේශ් ගුණරත්න
සමන් රවින්ද්‍රලාල්
හෝමාගම
සරසවිය පුවත්පතෙනි...
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-07-2012, 03:52 AM
ජෝති "රත්තරන්" හඬ
සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාල මියගොස් 2012 ජූලි මස 07 වැනිදාට අවුරුදු 25 ක් සපිරෙයි. ඔහු මියගොස් අවුරුදු 25 ක් ගත වුවද ඔහුගෙන් හිස් වූ ගායන ලොව අඩුව පිරවීමට මෙතෙක් බිහිවූ කිසිම ගායන ශිල්පියකුට හැකි වී නැත.
1987 ජූලි 07 වැනිදා මියගිය ජෝතිගේ දේහයට ගෞරවය පුදන්නට ඔහුගේ රසික රසිකාවෝ මාළිගාවත්ත "ප්‍රදීපා" ශාලාවට එක්‌රොක් වූහ. දේහයට ගෞරවය පුද කිරීමට පෙළ ගැසුණු රසික පෝලිම ප්‍රදීපා ශාලාවේ සිට දෙමටගොඩ බේස්‌ලයින් පාර තෙක් දිග් ගැස්‌සුණි. ඉතිහාසයේ කිසිම දිනක කලාකරුවකු වෙනුවෙන් පෙළ නොගැසුණු මහා ජන ගංගාවක් 1987 ජූලි 09 වැනිදා සවස බොරැල්ල කනත්තට ගලා ආවේය.
ජෝතිගේ අවමංගල උළෙලේදී දිවංගත මාධ්‍යවේදී ගීත රචක, ධර්මසිරි ගමගේ සූරීන් ඔහු හැඳින්වූයේ "සරස්‌වතී නම් අම්මා, එච්. ආර්. ජෝතිපාල කුමරාට රන් කිරි කට ගෑ දවසේ තම පියොවුරින් රන් හැන්දට දොවාගත් රන් කිරි බිඳුව ජනතා ආකර්ශනය නම් වරදාන හස්‌තයෙන් ඔහු දෙතොළ මත තැබුවා විය යුතුව' යෑයි කියාය. ජෝති පළමුව පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කුප්පියා වත්තේ, "ඉන්ඩස්‌ටි්‍රයස්" නම් පාසලේය. එම විදුහල පිහිටි භූමියේ දැන් ඇත්තේ නාලන්දා විදුහලයි. ජෝතිගේ පාසල් අවදියේ ජනප්‍රිය ක්‍රීඩාව වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවය. පාසලේ ක්‍රිකට් කණ්‌ඩායමේ හොඳම පන්දු යවන්නන් වී ඇත්තේ ජෝතිපාල හා ගායන ශිල්පී ආර්. සිවනන්දය. ජෝති මුලින්ම ගීත ගායනයට පිවිස ඇත්තේ එවකට ප්‍රවීණ ගායිකාවකව සිටි වසන්ත සන්දනායක ගැයූ "මහවැලි නදියේ අසබඩ ඒ මහියංගන ථූපේ නමැති ගීතයේ කොටසක් වන තොටියෝ· තොටියෝ· නමැති පුංචි ගීත කණ්‌ඩය ගායනා කිරීමෙනි.
ජෝතිගේ මුල්ම තැටියකට නැඟුනු ගීතය වී ඇත්තේ ප්‍රවීණ සංගීතවේදියකුව සිටි "ස්‌ටැන්ලි ඔමාර්" සංගීතවත් කළ "මගෙ රන් රාජිණී" නමැති ගීතයය.
ජෝති එදා රුක්‌මනී දේaවිය සමඟ ගැයූ පැරැණි ගීතයක් වන "ලා නිල් ගොයම් පැසී" දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත" කෝකිලයා කෙවිලිය වැනි ගීත හැට හැත්තෑව දශකයේදී ගුවන්විදුලියේ ජනප්‍රිය ගීත අතර විය.
හැත්තෑවේ දශකයේදී නිව් සවුන්ඩ් ලේබලය යටතේ කුඩා ස්‌ටීරියො තැටියකට නැඟුනු ජෝතිගේ ගීත සතරක් වන "දොලොස් මහේ පහන", අප දෙදෙනාගේ ප්‍රේම පුරාණේ, "රජ සිටු රණ සෙනෙවි", "ලස්‌සන පියකරු" යන එදා "උපේන්ද්‍ර ප්‍රනාන්දු" සංගීතවත් කළ ගීත ඉතා රසවත් විය. ජෝති මට මුලින්ම මුණ ගැසුනේ "ලේක්‌හවුස්" ආයතනයේදීය. හැත්තෑවේ දශකයේ පුංචි කොලු ගැටයකුව සිටි මා එහි සේවය කළ මගේ පියා සමග එම ආයතනයට කිසියම් කරුණක් සඳහා ගොඩවැදුණු විට, ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ මුණ ගැසීමට ජෝති පැමිණියේය. ඒ අවස්‌ථාවේ ජෝති අයියා මා සමඟ සිනාසී නිහතමානීව කතා කළ ආකාරය අදත් මගේ මතකයේ රැඳී ඇත. ජෝති මෙලොවින් සමුගෙන අවුරුදු 25 ක් ගතවී ඇතත් අදත් ජන හදවත් තුළ ඔහු ජීවමානව වෙසෙයි. එයට හේතුව ජෝති ජනප්‍රියකමින් හිස උදුම්ම නොගෙන රුපියල් ශතවලට තම ආත්මය පාවා නොදී දුප්පත්, පොහොසත්, බාල, මහලු යන සෑම දෙනා සමගම මිනිස්‌කම බෙදා ගනිමින් සරලව ගත කළ ඉතා සුන්දර නිහතමානී ජිවිතය නිසා යෑයි මම ආදහස් කරමි. ඒ නිසා ජෝති වැනි මිනිසත් බවින් පිරුණු ජනප්‍රිය දක්‍ෂ ගායකයකු මතු මේ රටේ බිහිවේදැයි සැක සහිතය.
- ලූෂන් ෂර්ලි එඩ්වඩ්
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-07-2012, 03:57 AM
ගී සක්විති ඔබයි සිනමා රඟ මඩලේ
සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්‍රබුද්ධ විචාරකයන්ගෙනි. එච්. ආර්. ජෝතිපාල මෙලොව හැර ගියේ විසිපස් වසකට පෙරාතුවය. දින වකවානු හරියටම කියතොත් 1987 ජූලි 07 වැනිදාය. එහෙත් ජෝතිගේ දෙවැනි උපත සිදු වූයේ ද එදිනම යැයි මම විශ්වාස කරමි. ජීවත්ව සිටි කාලයේ තමා වෙත නතු කර ගත් රසික පිරිසටත් වඩා, අලුත් රසික පරම්පරාවක් ජෝති වටා රොඳ බැඳ ගත්තේ ජෝතිගේ වියෝවත් සමඟිනි. එසේ යළි උපන් ජෝති මතු කිසි දිනෙක මිය නොයනු ඇතැයි මට සිතේ.
ජෝතිපාල මෙලොව හැර යන විට මා භද්‍ර යෞවනයකි. ආලය, ආදරය පිළිබඳ ආශ්වාදජනක හැඟීම්, දැනීම් තිබුණ ද මා එකල කිසි විටෙකත් ජෝතිපාලයන්ගේ උග්‍ර රසිකයකු නොවීමි. එසේ වූයේ මා ඔහුගේ ගී ප්‍රිය නොකළ නිසා නොව පපු කුහරයෙන් මතුව ආ ජෝතිගේ ප්‍රේමනීය, සිත හිරිවට්ටන ගී රාවය විඳ ගන්නට තරම් රමණීයත්වයක් එදා මා හට නොතිබූ නිසා වෙනැයි අද මට සිතේ.
ජෝතිපාල යනු සැබැවින්ම අපේ ගී ලොව මහා ආදරවන්තයාය. ආදරයේ විරහව, මෙන්ම සුන්දරත්වය ගැන ද ගයමින් ඔහු නැත ලොවේ අන් රසඳුනා, ආදරේ සේ සුවදෙනා යන්න අපට සිය දහස් වර පසක් කර දුන්නේය. ජෝතිපාල වැනි කෙනකු අපේ ගී ලොවට බිහි නොවුණා නම් ඇතැම් විට එය ආදර මල් වරුසා නොලැබ වියළී ගිය පාළු කතරක් වන්නට ද ඉඩ තිබිණ.
එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජෝති කිහිප වරක් ගී ගයනු මම දැක ඇත්තෙමි. ඒ හැරුණු කොට මා කිසි දිනෙක ඔහු හමු වී නැත. මා පත්තර රස්සාවට එන විට ජෝති අයියා ජීවිතයෙන් හැර ගොසිනි. ඔහුගේ ලිපියක් ඔහු හා සංවාදගත වී ලියන්නට නොහැකි වීම පිළිබඳ අද පවා මසිත ඇත්තේ කනස්සල්ලකි. එහෙත් ජෝති අනුස්මරණ දිනයට කලෙක පටන් සරසවිය ට මා විශේෂ ලිපියක් සම්පාදනය කරනුයේ ඒ අඩුව යන්තමින් හෝ මකා දමා ගැනීමේ අරමුණ ද පෙරදැරිවය.
එකල ඇතැමුන්ට ජෝතිපාල පීචං ගායකයෙකි. තවත් අයෙකුට ඔහු සුරා සොඬෙකි. ස්ත්‍රී ලෝලයෙකි. එසේ ජෝතිපාලට අවමන් කළවුන් අද ජෝති පුදන්නේ දේවත්වයෙනි. ජෝතිගේ ජීවිතයේ කිසිවකුට සඟවන්නට රහසක් නොවීය. ඔහු සියල්ල කළේ විවෘත මනසකින් යුතුවය. බොරු සුචරිතවාදයක් මවා ගනිමින් ප්‍රබුද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන් ලෝකයාට වසන් වී කළ කී දෑ ජෝති කළේ එළිපිටය.
ජෝතිපාලයන්ගේ ගායන විචිත්‍රත්වය වඩාත් ඉස්මතු වූයේ සිනමාව ඔස්සේය. විශේෂයෙන්ම මෙරට ජනප්‍රිය සිනමා ධාරාවට ඔහුගේ දායකත්වය ලබා ගන්නට බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන් වැඩි කැමැත්තක් දැක්වූහ. ජෝති සතුව තිබූ තිරයට මනාව ගැළපෙන හඬ (ඉජපඥඥද ඍධඪජඥ) වෙනත් කිසිදු ගායන ශිල්පියකු සතුව නොතිබීම එයට හේතුවයි.
චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක භාවයන් කුළු ගැන්වෙන අයුරින් විවිධ රස ජනනය කරමින් ගී ගැයීමේ උපන් හපන්කමක් ජෝතිට තිබිණ. එහෙත් ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වූයේ බොහෝ කෙනෙහිලිකම් මැද්දේය. ජෝති මුල්වරට චිත්‍රපටයක ගී ගැයීම සඳහා සිරිසේන විමලවීර වෙත කැඳවාගෙන ගියේ සංගීතඥ ටී. එෆ්. ලතීෆ්ය. කිහිප වරක්ම ගීතය ගායනා කළත් එදා තිබුණ දුර්වල තාක්ෂණිත මෙවලම් නිසා ජෝතිගේ හඬ නිසි පරිදි එළියට ගලා ආවේ නැත. අයිසේ තමුසෙගේ හඬ දෙදුරුම් කනවා, හරියට ගොරවනවා වගෙයි විමලවීර, ජෝතිගේ ඇඟට කඩා පැන්නේය. ජෝතිගේ දෙනෙතින් කඳුළු බිඳු කඩා හැලුණේ පසුබිම් ගායකයකු වීමේ මුල්ම සිහිනය එසේ බොඳ කරමිනි. මේ ලෝකේ නවාතැන නම් වූ එම ගීතය ගැයීම සඳහා විමලවීර පසුව සිසිර සේනාරත්න යොදා ගෙන තිබිණි.
බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මතභේදය චිත්‍රපටයේ ගී ගැයීමට ජෝති තෝරා ගෙන තිබුණත් අවාසනාවන්ත අයුරින් ඒ අවස්ථාව ද ජෝතිගෙන් ගිලිහී ගිය්ය. එහෙත් ජෝති සිය නොතිත් ආශාවට විරාමය තැබුවේ නැත. ඉන් පසුව සංගීතඥ බී. ඇස්. පෙරේරාගේ මග පෙන්වීම යටතේ ඔහු පෙරකදෝරු බෑණා චිත්‍රපටයට ගීතයක් ගැයීමට උත්සාහ කළ ද එහි අධ්‍යක්ෂ ඒ. බී. රාජ්, ජෝතිගේ හඬට එතරම් ප්‍රිය නොකල නිසා ඒ අවස්ථාව ද ජෝතිට අහිමිව ගියේය.
සිරියාමේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අමධාරා
ඕ . . . ප්‍රේමේ අමධාරා . . .
අවසානයේ සියලු අභියෝගයන් ජය ගනිමින් ජෝති තම සිහිනය සැබෑ කර ගත්තේය. ආනන්ද ජයරත්න වෙනුවෙන් එකී ගීතය ගයමින් ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ එතෙක් පැවැති සම්ප්‍රදාය උඩු යටිකුරු කරමිනි. ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ ගෞරවය හිමි වන්නේ සුරතලී චිත්‍රපටයෙන් එම අනගි අවස්ථාව ජෝතිට ලබා දුන් අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නයන්ටය. එමෙන්ම එවකට සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායකයාව සිටි ධර්මදාස වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න සමඟ සමූහ ගායනයකට ද එක් වන්නට ඔහුට මෙහිදී අවස්ථාව උදා විණ. පුදුමේකි ලෝකේ මැවුණා වූ ප්‍රේමේ එම ගීතයයි. සුරතලී චිත්‍රපටයට ගීත රචනා කළේ විල්ෆ්‍රඩ් සිල්වාය. සංගීතවත් කළේ ටී. ආර්. පාපා විසිනි.
ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ 1956 වසෙර්ය. 1987 වසරේ ඔහු මිය යන තෙක්ම එවකට ජීවත්ව සිටි සියලුම නළුවන් හට ඔහු ගී ගැයුවේය. විශ්මයට කරුණ වන්නේ ඒ සියලුම නළුවන් හට ජෝතිගේ හඬ තිතටම ගැළපීමය. ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ගී ගයද්දී ජෝතිගේ හඬ ඔහුගේ නොව ගාමිණීගේය. විජයට ගී ගයද්දී ඒ හඬ මැවෙන්නේ විජයගේ හදවත ඇතුලෙනි. එපමණක් නොව තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂි විජේන්ද්‍ර වැනි නළුවන්ට ද ජෝති හඬ එකසේ ගැළපුණේය. ජෝති විසින් අපේ සිනමාවේ නළුවන් හතළිස් හය දෙනෙකුට පසුබිම් ගී ගයා තිබීම විශේෂත්වයකි. එකී නම් ලයිස්තුව අන් තැනෙක පළ වේ.
මුල් යුගයේදී ජෝතිගේ හඬ අපේ සිනමාවේ විකට නළුවන් සඳහා ද යොදා ගැණින. 1958 වසරේ තිරගත වූ වන මෝහිනී චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් (ටාසන්) වෙනුවෙන් කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතය ගැයුවේ ජෝතිය. 1960 වසරේ තිරගත වූ නළඟන චිත්‍රපටයට ජෝති පැණි වෑහෙන කතා ගීතය ගැයුවේ එඩී ජයමාන්න වෙනුවෙනි. එපමණක් නොව රැඟුමෙන්, ගැයුමෙන් අපේ සිනමාව විචිත්‍රවත් කළ ෆේරඩී සිල්වා හට ද ජෝතිගේ හඬ මුසුවීම කෙතරම් ආශ්චර්යක්දැයි මොහොතකට සිතන්න. ෆේරඩීට තිබුණේ අමුතුම ආකාරයේ හඬකි. ඒ හඬට මනාව එකාත්මික වෙමින් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ලසඳා චිත්‍රපටයේ ජරමර අස්සේ මං නටමී ගීතය ෆේරඩී වෙනුවෙන් ගැයුවේ ජෝතිය.
ජෝති වැඩිපුරම ගැයුවේ හින්දි අනුකාරක ගී තනු බව ඇත්තකි. එහෙත් ඔහු එම ගීත ගායනයේදී එවා තමන්ගේ බවට පත්කර ගත්තේය. මොහොමද් රාෆි, කිෂෝර් කුමාර් නොඑසේ නම් මහේන්ද්‍ර කපූර් වේවා ඔහු ගැයූ සෑම අනුකාරක ගීයකම ජෝති ලකුණ සටහන් කරන්නට ඔහු නිබඳවම වග බලා ගත්තේය. ඇතැම් විට මුල් ගායනයන් අභිබවා යන අලංකාර ජෝති විසින් යොදා ගත් අවස්ථා ද එමටය. නමුදු ජෝතිපාල යනු හුදු හින්දි ගී අනුකාරකයකු නොවේ. ස්වතන්ත්‍ර ගී ගැයීමේදී ද ඔහු පෑවේ විශ්මිත ප්‍රතිභාවකි. ඒ සඳහා ජෝතිගේ හඬ වැඩි වශයෙන්ම යොදා ගත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හා සරත් දසනායක යන සංගීතවේදීන් දෙපළය. මේ උදාහරණ කිහිපයකි.
කැකුළු මලක පෙති මත (ලොකුම හිනාව), ආදර මල් පවනේ (දුලීකා), මා ප්‍රාර්ථනා ආශාවෝ (ළසඳා), ගෙදර හිටිය රෝස කැකුළ (ළසඳා), ඔබ ළඟ ඉන්න (වාසනා), සීත මෝසම් ගීත නාදෙන් (ජනක සහ මංජු), මනහාරයි මනමාලයි (හිඟන කොල්ලා) වැනි ගීත කේමදාසයන්, ජෝති වෙනුවෙන් කළ ගී නිර්මාණ අතර වේ. ජෝති ප්‍රබල තිර හඬකින් යුත් ගායකයකු බව පුන, පුනා පැවසූ සංගීතවේදියා කේමදාසය.
සරත් දසනායක ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කළ ප්‍රමුඛතම සංගීතවේදියාය. අමර පෙම් ලතාවේ (සදහටම ඔබ මගේ), පාට පොදක් තිලකලා (කස්තුරි සුවඳ), හද විමන් දොරින් (කස්තුරි සුවඳ), සල් සපු නා (සංගීතා), ලෝකයේ වෙනස් වුණේ (සංගීතා), පායන දේදුනු (වානරයෝ), තනියේ ආවාරේ (චණ්ඩි පුතා), බඹරා වගේ (චණ්ඩි පුතා), සරා සඳේ (මිහිදුම් සිහින), සිහින අහසේ (නැවත හමු වෙමු) ඇතුළු තවත් ගී රැසක් දසනායකයන්ගේ මියුරු සත්සර රටාවෙන් ජෝතිගේ සුමියුරු හඬට මුසු විය. මෙකී ගී වැඩි ප්‍රමාණයක් යුග ගී වන අතර ඒවාට ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකය.
ෂෙල්ටන් ප්‍රේමරත්න තැනූ ආලේ මිහිර පෙන්වා (ගැහැනු ගැට), එඩ්වින් සමරදිවාකර තැනූ වාසනාව පෑදේවි (දස්කම), පී. වී. නන්දසිරි තැනූ මුහුදු රැල්ල දිගේ (පිනිබිඳු) හා ආචාර්ය අමරදේව තරංගා චිත්‍රපටයට තැනූ කන්දෙන් කන්දට ජෝතිගේ සිනමා ගීත චාරිකාවේ සොඳුරු කඩඉම් කිහිපයකි. වික්ටර් රත්නායකයන් අනුපමා චිත්‍රපටය වෙනුවෙන් ජෝතිට රාජ කිරුළු පළන්දාපු ගීයත්, සිහින විලේ නිලුපුලී (ලතා සමඟ) ගීතයත් නිර්මාණය කර දුනි. එය ජෝති ලතා ගැයූ මුල්ම චිත්‍රපට යුග ගීතය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ආර්. මුත්තුසාමි, එච්. කේ. රොක්සාමි, පී. එල්. ඒ. සෝමපාල, මොහොමඩ් සාලි, ගලගෙදර එම්. හක්, සරත් ද අල්විස් වැනි නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ පෙළඹවීම මත ජෝතිට අනුකරණ ගී නිර්මාණය කළ සංගීතවේදීන් පවා අවස්ථාව ලත් විට ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කර දීමට උත්සුක වූ අයුරු පෙනේ.
අවස්ථා කිහිපයකදී ජෝති චිත්‍රපට පසුබිම් ගායනය උදෙසා සම්මානනීය වුව ද, එය දශක තුනක් පුරාවට දේශීය සිනමාවේ ඔහු පෑ දස්කම්, විස්කම්වලට අලගු තබන්නටවත් තරම් නොවේ යැයි මට සිතේ. 1972 වසරේ දීපශිඛා සම්මාන උළෙලේ ජනප්‍රිය ගායකයා ලෙස කිරුළු පළන් ජෝති 1976 වසරේදී ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය උදෙසා හොඳම ගායනයට හිමි සම්මානයෙන් පුද ලැබුවේ ජනප්‍රිය සිනමාකරුවන් තේරීමේ තරගයෙනි. 1983 වසරේ මිහිදුම් සිහින චිත්‍රපටයේ සරා සඳේ හා 1986 වසරේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීත වෙනුවෙන් ජෝති වසරේ හොඳම ගායකයා ලෙසින් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. තවමත් මෙරට සිනමා කර්මාන්තයේ පැවැත්ම කෙරෙහි ජෝතිගේ හඬ කෙතරම් බලපෑමක් ඇති කරන්නේදැයි කිවහොත් ඔහුගේ අභාවයෙන් පසු චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට ජෝති ගැයු ජනප්‍රිය ගී ඇතුළත් කර තිබිණ. තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දුගේ 54 වැනි නිෂ්පාදනය වන ජීවිතේ ලස්සනයි චිත්‍රපටයට ද ජෝති ගැයූ ජනප්‍රිය ගීත පහක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
තම නිර්මාණවලින් පමණක් සමාජයට බණ දෙසන මානව හිතවාදීන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන්ට වඩා ජෝති සැබැවින්ම මානව දයාවෙන් පිරිපුන් අයකුͺ බව මා අසා තිබේ. කෙතරම් ලොකුͺ ලොක්කන්, කෙරුම්කාරයන් ඇසුරු කළ ද ජෝති කවදත් සිටියේ පොඩි මිනිහාගේ පැත්තේය.
කන බොන වේලාවට ජෝතිට ලොකු, පොඩි කියා බේදයක් නොතිබුණි. ඔහු තමා ද හොඳින් කා, බී අනුන්ට ද කන්නට, බොන්නට දුන්නේය. මේ කතාවෙන් කියැවෙන්නේ ද ජෝති සතුව තිබූ ඒ මිනිස් ගුණාංගයේ එක් පැතිකඩෙකි. දිනක් ජෝති මිතුරන් කිහිප දෙනෙකු සමඟ මාළිගාවත්ත මහල් නිවාසයේ තම නිවසට වී මධුවිතක රස බලමින් හුන්නේය.
අනේ මහත්තයෝ මට පිනට මුකුත් දෙන්න කිළිටි වී ගිය අණ්ඩ දැමූ කමිසයකින් හා සරමකින් සැරසී සිටි අවුරුදු හතළිහක තරම් වයසැති යාචකයකු ජෝති ගේ දොරකඩ සිට නිවෙස තුළට එබිකම් කරමින් අයැද සිටියේය.
මෙහාට එන්න
ජෝති සිය ගැඹුරු හඬින් එහෙත් මිත්‍රශීලීව යාචකයාට නිවස තුළට එන ලෙස ආරාධනා කළේය. බයාදු ලෙස අසලට ආ යාචක තරුණයා ටීපෝව මත තිබෙන විස්කි බෝතලය දෙස මහත් කෑදර බැල්මක් හෙළනු ජෝති දුටුවේය. වීදුරුවක් ගෙන ඉන් අඩකටත් වඩා විස්කි පිර වූ ජෝති, සෝඩා ස්වල්පයක්ද එක් කොට යාචකයා දෙසට එය දිගු කළේ ආ . . . බොනවා කියමිනි. යාචක තරුණයාගේ මුවින් ගිලිහුණේ ගුඩුස් ශබ්දය පමණකි. ජෝති තවත් විස්කි වඩියක් පුරවා දුන්නේය. අනතුරුව සිය සේවකයාට කතා කොට බුහාරි හෝටලයෙන් බුරියානි පැකැට්ටුවක් ගෙන්වා ගෙන යාචකයාට කන්නට දුන්නේය. ආපසු යද්දී රුපියල් සියයේ නෝට්ටුවක් ද යාචකයා වෙත පිරිනැමිණ. ඒ ජෝතිගේ හැටිය. ජෝති මිනිසුන්ට ආදරය කළේ එපරිද්දෙනි.
කෙතරම් මුදල් ඉපයුව ද ඔහු මිය යන විට බැංකු පොතේ තිබී ඇත්තේ රුපියල් හයසිය ගණනක් වැනි සුළු මුදලකි. ඒ බව වරෙක මට පැවසුවේ ජෝතිට ඇඳුම් නිර්මාණය කළ ඔහුගේ සමීපතම මිතුරකු වූ ස්මාර්ට් වෙස්ටන් ටේලර්ස් අධිපතිව සිටි ෂෙල්ටන් ජයසිංහය.
ජෝති මිය ගොස් විසි පස් වසරක් සපිරෙන මේ මොහොතේ පවා ජෝතිගේ ගීතවලින් මුදල් උපයන පිරිසක් තවමත් අප රටේ වෙසෙති. වෙනකක් තබා මහ මග සිඟමන් යදින යාචකයා පවා ගයන්නේ ජෝතිගේ ගීතය. ගීතයට සාධාරණයක් ඉටු කළහොත් ඔහුට ජෝතිට පින් සිදු වන්නට කීයක් හෝ වැඩිපුර අතට ලැබේ.
ඇතැමුන් ජීවත්ව සිටි කාලයේ පවා ජෝතිට නිග්‍රහ කළේ ඔහුගේ ගීත කමකට නැති ප්‍රේම අඳෙීනා යැයි පවසමිනි. ජෝතිගේ ඇතැම් ගී බොළඳ බව සැබෑය. කොයි පණ්ඩිතයාත් ආදරය ඉදිරියේ බොළඳය. ජෝති බහුලව ගායනා කළේ සුන්දර වූත්, අවිහිංසක වූත් එවන් බොළඳ ආදරයේ මහිමය ගැනය. ජෝතිගේ හඬින් බිහි වූ එම ප්‍රේම ගීතාවලිය යුගයෙන් යුගය පෙම් හදවත් සනහාලමින් ඉදිරියට ඇදෙන්නේ ගලන ගඟක් පරිද්දෙනි.
සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්‍රබුද්ධ විචාරකයන්ගෙනි. සාහිත්‍යමය පක්ෂය මුල් කොට ගනිමින් ගීතය විචාරයට ලක් කිරීමේ සම්ප්‍රදාය හමුවේ මෙරට වැඩියෙන්ම බැට කෑ ගායකයා ජෝතිපාල බව නොරහසකි. නමුදු ජෝතිගේ හඬෙහි තිබූ පෞරුෂය, භාව ප්‍රකාශනයෙහි ඔහු පෑ සංවේදිතාව සහ නිවැරැදි ස්වර ස්ථාන මත පිහිටි ගී ගැයීීමේ හැකියාව එදා බොහෝ දෙනෙකුට වැටහුණේ නැත. වටහා ගත්ත ද එය අගය කිරීමට ඔවුන් මැළි වූහ.
ජෝතිපාලගේ හඬේ පෞරුෂයක් හා තාරුණ්‍යක් තිබෙනවා. ඔහුගේ හඬ නම්‍යශීලීයි. ජීවය උතුරා යන බවක් ඒ හඬ තුළ පවතිනවා. මා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයයකම ඔහු විශිෂ්ට ගායන ප්‍රතිභාවක් පළ කළා. ඇත්තෙන්ම පද මාලාවේ අරුත වඩාත් කුළු ගැන්වෙන අයුරින් තම කට හඬ හසුරවන්න ජෝති දැක් වූවේ පුදුමාකාර හැකියාවක්. වරෙක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිගේ ගායන හැකියාව ඇගයීමට ලක් කළේ එලෙසිනි.
ජෝති වැඩිපුරම පසුබිම් ගී ගැයුවේ විජය කුමාරණතුංගයන්ටය. ජෝතිගේ හඬ විජයට බෙහෙවින්ම ගැළපුණේය. විජයගේ ජනප්‍රියත්වයට ජෝතිත්, ජෝතිිගේ ජනප්‍රියත්වයට විජයත් අන්‍යොන්‍ය වශයෙන් තීරණාත්මක සාධකයන් වූ බව නොරහසකි.
ජෝතිපාල කියන්නේ අපේ සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ගායන ශිල්පියා. එයාට අභියෝග කරන්න තියා කිට්ටු වෙන්නවත් කාටවත්ම පුළුවන්කමක් නැහැ. කොටින්ම මගේ හඬට වඩා මට ගැළපෙන්නේ ජෝතිගේ හඬ. ජෝති මං වෙනුවෙන් ගී ගයද්දී මා රඟපාන චරිතයට වඩාත් ජීවයක් ලැබෙනවා වගේ. ඔහුගේ ගායනය හා මගේ රංගනය අතර ලොකුͺ ආත්මීය බැඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා. විජය සිය සුමිතුරාණන් පිළිබඳ වරෙක එසේ පැවසූ අයුරු මගේ මතකයේ රැඳී තිබේ .
මෙය සරසවිය පුවත්පතේ පලවූ තවත් ලිපියකි..
|
 |
Senior Member
|
|
Posts: 3,364
Join Date: Apr 2007
Location: Rest in Peace
|
|
|
07-07-2012, 04:17 AM
maxxa post eka machan
|
 |
Senior Member
|
|
Posts: 18,638
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-07-2012, 04:33 AM
Quote:
Originally Posted by prabod.shyamal
good post brooo
|
Quote:
Originally Posted by maxxan
|
Quote:
Originally Posted by rudayas
maxxa post eka machan
|
එල මචංලා.. ජය සෙට් එකටම!!
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|