තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත. එය එසේ තිබියදී අද අප නියැලෙමින් සිටින්නේ තවත් භයානක ව්‍යසනයකට රට ඇද ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියක නොවේද?
විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් මුස්ලිම් වරුන්ගේ දහමට ඉතා නින්දිත අයුරින් අපහාස කරමින් මෙම පහත් හා නින්දිත චින්තනයක වහලුන් බවට පත්වී ඇති උදවිය කරන්නේ නැවත මේ රට ඉතා භයානක අඝාධයකට තල්ලුකර දමන්නට නොවේද? මොවුන්ගේ සැඟවුණු න්‍යාය පත්තරය හා එයට ඈඳුනු නින්දිත අරමුණු රටට හෙළි දරව් කරන්නට කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු.
නිදහස දිනා ගැනීමත් සමග ජාතිවාදී පදනමකින් ගොඩ නැගුනු පටු අරමුණු අපේක්ෂාවෙන් රට ඉදිරියේ තැබූ දේශපාලන ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වුයේ බිහිසුණු යුධ ක්‍රියාවලියකට රට අවතීර්ණ වීමය. යුද්ධය රටට අහිමි කල විශාලතම සම්පත වුයේ “ජීවිතයයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කල යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුලම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් අදත් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩි හිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්ය ප්‍රතිපලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කල හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥාණය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළයුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?
මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොලවන්නට යමෙක් ඉදිරිපත් වන්නේද සැබැවින්ම ඔහු අබෞද්ධයෙක් හා ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකිද?
මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝදීන්ද යන්නද සැකසහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ. පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු..
අක්කොච්ජි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තේසං න සම්මති
අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.
අක්කොච්ජි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වේරං තෙපු පසම්මති
අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.
න හි වෙරෙන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති
එස ධම්මො සනන්තනො
අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.
මෙලෙස බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස වෛරය ඉවත්කොට අවෛරයෙන් යුත් සුහදවූ සමාජයකට මග පෙන්වද්දී බුදුන් වහන්සේට හා උන් වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ මිනිසා ඉදිරියේ තැබූ කරුණා, මෛත්‍රී, මුදිතා හා උපෙඛ්කා මත පදනම්වූ දහමට අපහාසයක් වන අයුරින් මෙම වෙබ් වීරයන් කටයුතු කිරීම ගැන සැබෑ බෞද්ධයන්ට නිහඬ නිරීක්ෂකයන් බවට පත් විය හැකිද?
දශක තුනක කෘර යුද්ධයකින් පීඩා විඳි මෙරට ජනයාව නැවත මෙලෙස වෛරය වපුරා තල්ලුකරන්නට උත්සාහ කරන්නේ කුමන තත්වයකටද?
මෙම වෙබ් වීරයින්ගේ හා ඔවුන් පිටිපස ඉන්නාවූ කපටින්ගේ පටු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය උදෙසා නැවතත් මෙරට ලේ ගංගාවක් බවට හා ජීවිත දස දහස් ගණනකගේ විනාශයට හේතුවන ක්‍රියාවකට අපට ඉඩ දිය හැකිද?
පශ්චාත් යුද කාල වකවානුවේ ඉන්නාවූ අප ඉදිරියේ ඇති අභියෝග මොනවාද?
යුද්දයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරීමේ ගැටළු
ඔවුන් මුහුණ පාන නිවාස, ජීවනෝපාය, සෞඛ්‍ය, අධ්‍යාපන ගැටළු
මුළු රටටම බලපාන අයුරින් ඇති ආර්ථික හා මුල්‍යමය ගැටළු
සාමකාමී ශ්‍රී ලංකාවකට දැරිය නොහැකි තරම්වූ විශාල හමුදාව සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කොට සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන්හි රැකියා ලබාදී හමුදාවේම කොටසක් ලෙස තබා ගැනීමේ ගැටළු
යුද පෙරමුණේ මව්බිම වෙනුවෙන් ජීවිත පුජාකළ හා අංග විකලත්වයට පත් වීරෝධාර රණවිරු පවුල් වලට ජාතියේ නය ගැති භාවය වෙනුවෙන් කලයුතුවූ වගකීම් පිළිබඳවූ ගැටළු
ත්‍රස්‌තවාදී පිරිස් පුනරුත්ථාපනය කොට සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කිරීමේ ගැටළු
සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනවාර්ගික කොටස් අතර බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩ නැගීමේ ගැටළු
ජාත්‍යන්තරයෙන් නිමක් නොමැතිව තවමත් මතුවෙමින් තිබෙන්නාවූ අවලාද පිලිබඳව දේශපාලන භේදයකින් තොරව අති ගරු ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමේ ජාතික සම්මුතියක් ගොඩ නැගීමේ ගැටළු
ඉහත සියළු අභියෝග විසදීම සඳහා මැදිහත් වන විදේශ බලවේගවල සැඟවුණු අපේක්ෂා හඳුනා ගැනීමේ ගැටළු
ඒ මැදිහත්වීම් දේශීය අවශ්‍යතා අනුව අනුහුරු කර ගැනීමේ ගැටළු
මෙවන් අභියෝග ඉදිරියේ මුළු රටම තම චිත්ත ධෛර්ය හා අධිෂ්ටානය ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදෙමින් විසදුම් සොයන්නට නියැලෙන අවස්ථාවක නැවත වෛරය හා විසම්මුතියක් ගොඩ නගන්නට බුදුන්වහන්සේව හා බුදුදහම කඩතුරාවක් කරගනිමින් කරන්නාවූ ද්‍රෝහී ක්‍රියාවන් පිලිබඳව කිසිම භේදයකින් තොරව සියළු ලාංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවී ඇති මහා නාහිමිපාණන් වරුන් විසින් ජන විඥාණය සුවපත් කොට වෛරයෙන් බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් ඇමතීමේ කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?
කොටිත්‍රස්තවාදීන්ව යුධමය වශයෙන් පරාජය කිරීමෙන් හා කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග සියල්ල අවසන් වුවායැයි අප සැනසුම් සුසුම් හෙලුවත් සත්‍ය වශයෙන්ම අළුතින් මතුවෙමින් පවතින්නාවූ තත්වය එයට හාත්පසින්ම වෙනස් වුවක් ලෙසයි අපට පෙනී යන්නේ. පුවත් පත් වාර්තා අනුව ඉන්දියාවේ පුහුණුව ලත් ත්‍රස්තවාදීන් 150 දෙනෙකු උතුරු නැගෙනහිර පලාත්වල සැඟවී සිටින බව දැනගන්නට ලැබිණි. 2012 අප්‍රියෙල් 8 වැනි දින ඉරිදා ලංකාදීපයේ පළවූ ලිපියක කොටසක් ඔබගේ අවධානය සඳහා උපුටාදක්වන්නට කැමැත්තෙමු.
අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ (ඉරිදා ලංකාදීපය – 2012 අප්රියයෙල් 8) ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය.
“තවදුරටත් සටන් කරමින් සිටියොත් මැරුම් කන්නට වන බව දැනගත් කොටි නායකයින් රටින් පලාගියේ කොටි නායකයාව සිටි ප්‍රභාකරන්ටත් හොරෙන් වීම විශේෂයකි.මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැනගත් තවත් සමහර කොටි නායකයින් කාලයක් එහි ගත කර ප්‍රංසය, මැලේසියාව, ජර්මනිය, කැනඩාව, ඔස්ට්රේලියාව, සහ නොර්වේ ඇතුළු තවත් රටවල් කිහිපයකට ගොස් දැන් එම රටවල කොටි සංවිධානය පවත්වාගෙන යන බවට පැහැදිලි තොරතුරු බුද්ධි අංශ සතුව පවතී. වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා වරින්වර මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගිය කොටි නායකයින් ඒ රටවල සිට නැවතත් ජාත්‍යන්තර කොටි ජාලය ගොඩනැංවීම සඳහා ලොකු උත්සාහයක නිරතව සිටින බව දැන් ප්‍රසිද්ධ රහසකි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරමින් සිටින මේ කොටි නායකයෝ බොරු ප්‍රචාර ගෙන යමින් අපේ රට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අපකීර්තියට ලක්කිරීමට නොයෙකුත් උප්පරවැට්ටි දමති.
කදිරගාමන්පිල්ලේ විනයාගමුර්ති හෙවත් විනයාගම් කොටි සංවිධානයේ සන්නද්ධ බුද්ධි අංශයේ තුන්වැන්නා ලෙස කටයුතු කළ අතර ප්‍රභාකරන්ගේ හිත දිනාගෙන සිටි විශ්වාසවන්තම නායකයින් අතලොස්ස අතරේ සිටි අයෙකි. කොටි බුද්ධි අංශයේ නායකයාව සිටියේ පොට්ටු අම්මාන් වූ අතර දෙවනියා වුයේ කපිල් අම්මාන්ය. තුන්වැන්නා විනයාගම් විය. ප්‍රභාකරන් රණවිරුවන් අතින් මැරුම් කෑ දිනයේ (මැයි 19) බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් ඇති බවත් දැන් ඔහු ප්‍රංශයේ හෝ ජර්මනියේ ජීවත්වෙමින් කොටින්ගේ සන්නද්ධ බුද්ධි අංශ ජාලය ගොඩනගමින් සිටින බවටත් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව කියති.
වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි භට කණ්ඩායම්වල ප්‍රහාර වලින් ප්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවන් පමණක් සිය ගණනකගේ සිරුරු සොයාගත් නමුත් බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන්ගේ සිරුර සොයාගැනීමට නොහැකි විය.
අගස්තියන් (මන්නාරම දිස්ත්රිසක්කයේ කොටි බුද්ධි අංශයේ නායක), තේනවන් (වවුනියාව කොටි බුද්ධි අංශයේ නායක), තීපන් (මල්ලාවි කොටි බුද්ධි අංශයේ නායක), පුලන්දී මාස්ටර් (පුනරින් ප්‍රදේශයේ නායක), ඊලන් හා රාම් මාස්ටර් (වවුනියාවේ සන්නද්ධ අංශයේ නායකයින්) අච්චුදන් (මුහුදු කොටි බලකායේ දෙවැනියා) නාවලන් (මන්නාරම දිස්ත්‍රික්කයේ කොටි මුදල් අංශයේ නායකයා), සින්නවන් මාස්ටර් සහ තන්ගන් (දේශපාලන අංශයේ නායකයින් දෙදෙනකි) ද රටින් පලාගොස් සිටින කොටි නායකයින් රැසක් අතරින් කිහිප දෙනෙකි. ත්‍රිකුණාමලය සාම්පුර් බුද්ධි අංශ නායකයාව සිටි තිරන්ජීව මාස්ටර් ද මෙසේ රටින් පලාගොස් සිටින තවත් කොටි නායකයෙකි.”
ඉහතින් උපුටා දැක්වූ ලිපියෙන් හෙළිදරව් වන කරුණු මොනවාද?
ප්‍රභාකරන් ජීවත්ව සිටි වකවානුවේ තිබු ජාත්‍යන්තර කොටි ජාලය මෙම කොටි නායකයින්ගේ එකතුවීමෙන් වඩාත් ශක්තිමත්ව අද නව කොටි සංවිධානයක් ගොඩ නගන්නට කටයුතු කරමින් සිටින බව නොවේද?
ජීවමාන ප්‍රභාකරන්ට වඩා මියගිය ප්‍රභාකරන් අති භයානක බව මෑතකදී සිදුවූ කරුණු වලින් වඩාත් පැහැදිලිව ඔප්පු නොවන්නේද?
ඇමෙරිකාව, ලතින් ඇමෙරිකානු රටවල්, මුළුමහත් යුරෝපය, මේ සියල්ලට වඩා අසල්වැසි ඉන්දියාව අද දිනයේ මෙම ජාත්‍යන්තර කොටි ජලයේ ආධාරකරුවන් බවට පත්වී තිබෙන බව ජිනීවා සමුළුවෙන් ඔප්පු නොවුයේද?
කරුණාකර සිතා බලන්න. ජීවමාන ප්‍රභාකරන්ට කිසිදිනක මෙතරම් බලගතු ජාත්‍යන්තර සහයෝගයක් ගොඩනගා ගැනීමට හැකියාවක් තිබු බව අප කිසිවෙක් පිළිනොගන්නා කරුණකි. දකුණු ඉන්දියාවේ සියලු දේශපාලන පක්ෂ තමන්ගේ එදිරිවාදිකම් අමතක කොට ජාත්‍යන්තර කොටි ජාලයේ ප්‍රබල ආධාර කරුවන් බවට පත්වී ඇත. කොටින්ව යුධමය වශයෙන් පරාජය කළෙමු යැයි ජයපැන් බොමින් අනෙකුත් වාර්ගිකයින්ට අපහාස වන අයුරින් වෙබ් අඩවි පවත්වාගෙන යන ඊනියා දේශප්‍රේමීන් තමන්ගේ දෙපතුල යටින් දුම්නගිමින් පවතින්නේ ඉදිරියේදී පිපිරෙන්නට ඉඩ ඇති අති භයානක හා අති මහත් ගිනි කන්දක පුර්ව සලකුණු බව අවබෝධ කරගෙන ජාතික සමගිය හා ජන සම්මුතිය උදෙසා අද කටයුතු කළයුතුව තිබෙනවා නොවේද?
ඔවුන් එසේ කටයුතු නොකොට වාර්ගික වෛරයක් උදෙසා තමන්ගේ වෙබ් අඩවි තුලින් කටයුතු කරන්නේ නම්, ඔවුන් සැබැවින්ම සේවය කරන්නේ ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවයන් උදෙසා බව නොරහසකි. රට අස්ථාවර කිරීම ජාත්‍යන්තර කොටි ජාලයේ අපේක්ෂාව බව අප සියල්ල හොඳින් දන්නා කරුණකි. බුදු දහම හා සිංහල ජාතිය කඩතුරාවක් කර ගනිමින් මෙම වෙබ් අඩවි කාරයන් මුස්ලිම් වරුන්ට හා ඔවුන්ගේ දහමට පදනම් විරහිත අන්දමින් පහර ගසමින් කරන්නේ මිය ගියා යැයි අප සිතු කොටියාට නැවතත් ජීව හුස්ම පිඹින්නට බව මෙම කරුණු වලින් ඉතාමත් හොඳින් පැහැදිලි නොවන්නේද?
මෙම කොටි ඒජන්තවරුන්ව හෙලිදව් කරමු. ඔවුන්ගේ නින්දිත හා දුෂ්ට අපේක්ෂාවන් පරාජය කරන්නට මේ රටේ සියලු ජනයා අවබෝධයෙන් හා සම්මුතිවාදීව කටයුතු කලයුතු කාලය එළැඹ ඇත. මොවුන්ගේ සැඟවුණු න්‍යාය පත්තරය හා එයට ඈඳුනු නින්දිත අරමුණු රටට හෙළි දරව් කරන්නට කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු.