කවුළු දොරින් බලා හිඳිමි දම්මි එන තුරා - ගොළ&#
කවුළු දොරින් බලා හිඳිමි දම්මි එන තුරා
“නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා
පවුරු බැඳගෙන සිතක වැජඹුන
රසවතී නැහැ කොයි ගියා
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි”
ගොළු හදවත එදවස ජනප්‍රිය වූ නවකතාවකි. යුගයක යෞවන යෞවනියෝ මෙහි එන දම්මිගේ හා සුගත් ගේ සිහින ලෝකවල ජීවත්වූවෝ වෙති. ප්‍රේමයෙන් ආතුර වූවන්ට නවකතාවේ “ගොළු හදවත” යන නාමය පවා පෙම් කවක් බඳු විය. මෙහි එන දම්මිගේ හා සුගත් ගේ කල්පනා ලෝකයේ සැරි සැරීමට සිසිර සේනාරත්න හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගායනා කළ නුහුරු නුපුරුදු රහස පිළිබඳ ගීතය ද අනුබලයක් විය. ගොළු හදවත චිත්‍රපටයක් බවට පත් වූ විට දම්මිගේ චරිතයට පණ දුන්නේ අනුලා කරුණාතිලකයි. පසුගිය දා අප අතරින් සමුගත් වික්‍රම බෝගොඩ, සුගත්ගේ චරිතයට පණ පෙවී ය. නව කතාව සැබෑ ලෝකයත් කල්පනා ලෝකයත් යන දෙකම එකසේ මුසුව රසහව් මතුකරන්නකි.
කරුණාසේන ජයලත් ලියූ ගොළු හදවත නවකතාවට වස්තු විෂය වූ එක් සත්‍ය කතා පුවතක් ද පවතී. එය ගොඩ නැඟී ඇත්තේ රයිගම් කෝරළේට අයත් හොරණ තක්ෂිලා විදුහල කේන්ද්‍ර කරගෙන ය. තක්‍ෂිලාව හොරණ හා ඒ අවට පොකුණුවිට ආදී ගම්බිම්වල සොබා සෞන්දර්යය ද මෙහිදී අපූරුවට චිත්‍රණ ය වෙයි. තක්සලාවේ එකම පංතියේ සිප් සතර හැදෑරූ දම්මිගේ ලෝකයේ ජීවත් වූ සැබෑ ප්‍රේමවන්තයා මට නොබෝදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හමුවීමේ වරම ලැබුණි. ඔහු අද මෙල්බර්න් නුවර වැඩිහිටි නිවාසයක හුදකලාව වාසය කරයි. ගොළු හදවතේ එන දම්මිගේ නොයිදුල් ප්‍රේමයට හිමිකරුවා වූ මොහු කාලාන්තරයක් තිස්සේ අප ඇසුරු කළ ඩී. බී. කුරුප්පු මහතා යි. ඩී. බී. කුරුප්පු නව කතාකරුවෙකු කෙටි කතා කරුවෙකු කෘතහස්ත විචාරකයකු වශයෙන් ද රසික ජනයා හඳුනාගෙන සිටිති.
හුදකලා වූ කුඩා කුටියක කවුළු දොරින් එළිය බලා සිටින ඔහු මා දුටු සැණින් පැවසූ පළමු වදන වූයේ “මා අද ලෝකය දකින්නේ කුටියේ මෙම කවුළුවෙන් පමණක් බව ය.” දැනට වසර කීපයකට පෙර 2008 වසරේ දී මා මෙල්බර්න් නුවරට පැමිණි අවස්්ථාවේ දුටු ඔහුගේ රූපකායේ කිසියම් ෙවනස් ස්වරූපයක් මේ වන විට දක්නට ඇත. 2008 වසරේ මෙල්බර්නයේ දී මා පැවැත් වූ දේශන මණ්ඩපයේ මුලසුන හෙබ වූයේ මෙම වියතාණෝ ය. මගේ මල් පෙරහර ළමා ගීත පොත ද මෙහි දී එළිදැක්වුණි. ඔහු මගේ නිර්මාණ ගැන මෙන්ම “මල් පෙරහර” ගැන ද දැක්වූ විවරණය මා ගැන ම මට ප්‍රතිවිවරණය කිරීමට මඟ පාදන්නක් විය.
පතිරූපදේශ වාසයක් යයි සිතා ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර වාසය කළේ මා පදිංචිව සිටින මායා මාවතේ එක් කෙළවරක ය. එදවස බිරිඳ සහ දූ දරුවෝ දෙදෙනෙක් ද ඔහුගේ කුටුම්බය ඇතුළත ජීවත් වූහ. මෙදවස ඔවුන් කිසිවෙක් ඔහු අසලක නොමැත.
ආගිය තොරතුරු ඇසීමෙන් අනතුරුව තරුණ වියේ දී අප මනස ද මෝහනය කළ ගොළු හදවතේ වින්දන මූලය සෙවීමට කුරුප්පු මහතා ගෙන් අනේකවිධ ප්‍රශ්න ඇසීමට මම උත්සාහ කළෙමි. “ඔබ ඔය සූදානම් වන්නේ කුමකට ද යන්න මම දන්නව” යැයි එසැණ පැවසූ මෙම නිර්ව්‍යාජ නිර්මාණකරුවා “ඕනෑම දෙයක් අහන්න මට සඟවන්න දෙයක් නැහැ” යනුවෙන් නුපුරුදු මෘදු ස්වරයෙන් පැවසී ය.
ලද අවසරයෙන් මම ඔහුගෙන් ඇසූ පළමු ප්‍රශ්නය වූයේ ගොළු හදවතේ එන ඔබට පෙම්බැඳී සැබෑ දම්මි කවුද? යන්න යි. ඇය “තක්සලාවේ කරුණාසේන ජයලත් හා මා සමඟ ඉගෙන ගත් යුවතියක්. පද්මා නාලිනී කුරුප්පු ඇගේ නමයි.” ඇය එදවස පාසලට පැමිණියේ රයිගම් කෝරළේ පිහිටි “කඳන” ගම්මානයේ සිටයි. සුදු ගවුමෙන් සැරසී, වෙලෙන් නියරෙන් පැන රබර් වතු පසුකර අරුණැල්ලේ ඈ පාසලට ආ ගමන ඔහුගේ සිතේ ඇඳි වදනට නොනැගු කවියක් බඳු ය. අප මෙතැන දී ගොඩ නඟන කතාවේ කතා නායකයා වන දොන් බෝල්වින් කුරුප්පු මහතාට පාසල මෙන් ම තම පෙම්වතිය ද හැර යාමට සිදුවී ඇත්තේ සරසවි ප්‍රවේශය සමත් වීමත් සමඟ ය.
මද නිහඬ විරාමයත් සමඟ මසිත් හි දෝංකාර නැෙඟන්නට වූයේ මෙවන් ප්‍රිය විප්‍රයෝගයක සැමරුම් මතු කරන සෝමතිලක ජයමහ මහතා ගායනා කරන ගීතයකි.
“පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොණෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැහැ ඔබ හැර යන්නට
පෙම්වතා හන්තාන කන්ද නැග ගන්නවාත් සමඟ පෙම්වතිය කඳන ගම් පියස තනි විය. ගොළු හදවතට මුල්වූ ත්‍රිකෝණ පෙම් පවතක කතාව කුරුප්පු මහතා ලියූ හැන්දෑවට පායන හිරු කෘතියෙන් එළිදරව් කර තිබේ.
යොවුන් වියේ දී ප්‍රේමාතුර වූ ඔහුගේ උප විඥානයේ දම්මි තවමත් සක්මන් කරන්නා සේ හැඟේ. පාසල් සීනුව නාද වනවාත් සමඟ වෙල් නියරෙන් අඳුරු සෙවණැලි මතු කළ රබර් වත්තෙන් දඟකාර ගමනින් ඔහු ගේ මතක විමන් කවුළු දොර අසලට දම්මි දිව එන්නා සේ ය. වරෙක කිසිත් නොදොඩා දුකට මිහරදෙන පාලුව, තනිකම වැළඳගෙන කවුළුවෙන් එළිය බලා සිටින්නේ ඈ එන පෙරමග විය හැකි ය.
ඩී. බී. කුරුප්පු මහතා පේරාදෙණි සරසවියේ මුල් ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූවෙකි. යුගයක පේරාදෙණි සරසවි සිංහල සමිතියේ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.
අත්සන, පෙත්සම නවකතා ලියූ පරිණත ලේඛක ලීල් ගුණසේකර මහතා, දොන් බෝල්වින් කුරුප්පු හඳුන්වන්නේ සිංහල සමිතියේ සිටි හොඳ සභාපතිවරයෙකු ලෙසය. ලීල් ගුණසේකර මහතාත් කුරුප්පු මහතාත් 1952 වසරේ දී පේරාදෙණි සරසවියේ එකම ශාලාවේ නේවාසික ශිෂ්‍යයෝ වූහ.
කිසියම් දවසක හදවත ගොළුකර ගත් දම්මි ඉරණමට නතුව කාලයාගේ ඇවෑමෙන් කළුතර කච්චේරියේ සේවය කළ ගුණරත්න නැමැති සමාජ සේවා නිලධාරියෙකු සමඟ විවාහ වී තිබේ. මෙම විවාහයට සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කර ඇත්තේ එදවස කච්චේරියේ අතිරේක දිසාපති වූ ලීල් ගුණසේකර මහතායි. මෙම විවාහයේ දෙවන මනමාලයා ලෙස ද තමා පෙනී සිටි බව ගුණසේකර මහතා පවසයි.
පද්මා නාලිනී (කතා වස්තුවේ දම්මි) මෙකල වාසය කරන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ය. හුදකලා කුටියක වෙසෙන කුරුප්පු මහතාට දම්මි සති දෙක තුනකට වරක් දුරකථනයෙන් අමතන බවක් ඔහු ඉතා හැඟීම් බරව මා සමඟ පැවසීය.
ඔහු මුවින් ඔහුටත් නොදැනීම පිටවුණේ මෙම සබඳතාව සාංසාරික පුරුද්දක් බව ය. දම්මිගේ ප්‍රේමය අද ආධ්‍යාත්මික ප්‍රේමයක් සංකේතවත් කරයි.
ඔහු පසුගිය 2008 වසරේ ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ දී ද දම්මි හමුවී තිබේ. පද්මා නාලිනි (දම්මි) “කඳන” කුරුප්පු වෙද මහතා ගේ් දියණියකි. ඇය තම මිණිපිරිය බැලීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමිණ තිබේ. මෙල්බනයේ සිට දුර ගමනක යෙදී සිඩ්නි නුවර දී ඇය බැහැදුටු අවස්ථා ද කුරුප්පු මහතාගේ අතීත සැමරුම් අතර ගැවසෙයි.
ඕස්ට්‍රේලියාව අද වන විට ලක්‍ෂ ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ වාස භූමියව පවතී. පවුල කුටුම්භය පිළිබඳ ව වඩාත් හැඟුම්බරව කටයුතු කරන්නෝ ද මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර විරල නොවෙති. ඔවුහු වඩාත් සැනසිලිදායක ප්‍රාර්ථනා බර ලෝකයක ජීවත්වන්නෝ වෙති. මේ අතර ප්‍රිය විප්‍රයෝගය හා ළතැවුල අතර ජීවත් වන්නෝ ද මෙහිදී කොතෙකුත් මට හමු වූහ. තම බිරිඳට හෝ මවට කොතෙක් ආදරය කළත් ඔවුන් මහලුව ගිලන්වූ විට තම නිවසේ තබාගෙන උවටැන් කිරීමට මෙහි දී වරම් නොලැබේ. සපැමිණි මහලු විය දුබල බව හමුවේ මෙහිදී බොහෝ විට මතුවන්නේ ඒකචාරී හුදකලා බවක් අත්විඳීමට ය. වාසය පිණිස මෙතරම් පතිරූප දේශයක් මිහිපිට තිබේද යන්න කල හොඳ දා බැලූ බැල්මට හැඟී යන්නකි.
එසේ වුවද මවුබිම හැර සංක්‍රමණය වූ බොහෝ දෙනෙකුට ජීවිතයේ සැදෑ සමය ගෙවන්නට සිදුවන්නේ අනුන්ගේ නවාතැනක බව ද පෙනී යයි. කුරුප්පු මහතා අපට පසක් කර දෙන සත්‍යය ද මෙය යි.
ශෝචනීය හුදකලාව ශ්‍රී ලංකාවේ සිටියා නම් සිදු නොවන්නක් බව මගේ මිය ගිය බිරිඳ, කුරුප්පු මහතා මෙල්බර්නයේ දී වරෙක හමු වූ අවස්ථාවක සැලකල බව තම පොතක ද මෙතුමා ලියා ඇත. එදවස කැලණි පාලම අසලින් ආරම්භ වී මීගමුව දක්වා හැමිල්ටන් ඇළ හා මීගමු කළපුව ඔස්සේ බෝට්ටුවක නැඟී අප ගිය ගමනක තොරතුරු ද ඔහු මගේ මතකයට නඟනු ලැබීය. එය නත්තල් සමයේ කැරොල් ගී ගයමින් ගිය පාරු පෙරහරට පළමු සිදුවූ පෙරහුරු ගමනකි.
මායා මාවතේ සෑම උදෑසනම සුවතා පතා සෙමෙන් ඇවිද යන එන අසල්වැසියාගේ රූපකාය මගේ ස්මරණයට ඇදී එයි. ඔහුගේ සක්මන් මළුව මායා මාවතේ එක් කොනෙක සිට කිරිල්ලපොන හංදියේ ලයන් බේකරිය දක්වා වැටී තිබුණකි.
කෙසේ වුව ද ඔහුට මෙදවස තම දෙපා වාරුවෙන් ඇවිද යා නොහැකි ය. ඔහු අපෙන් සමුගැනීමට තම කුටියේ දොරටුව දක්වා පසු ගමන ආවේ දෙඅත් වාරුවක ආධාරයෙනි. අමාරුවෙන් දෙඅත් වාරුවට බරදෙන විට ද උපහාස රසයක් මවමින් ඔහු කීවේ කාර් එකේ සුක්කානම අතට ගන්න තමා සූදානම් වන බවකි.
සහෘදයා කුටියේ දොරකඩ අසල දී අපෙන් සමුගත්තේ උණුසුම් සුසුමක් ද හෙලමිනි.
මායා මාවතේ දී මා දුටු දයාදර රූපකාය දර්ශන පථයෙන් ක්‍රමයෙන් වියැකී යයි. තම කවුළු දොරින් අප යන මාවත දෙස ඔහු තවමත් බලා හිඳී.
ගත සවිබල දුබල වුවද ඔහුගේ සිත තවමත් එදා මෙන් ම සවිමත් ය. පෑන පන්හිඳ අසිපතක් සේ තවමත් මුවහත් ය. ඔහුට දීර්ඝායු පතමි.
Source: dinamina