මුහුදේ නාද්දී මේ ගැන හිතන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මුහුදේ නාද්දී මේ ගැන හිතන්න

    530161_206637382800664_51695850_n.jpg


    ඔබ දන්නවාද වසරකට 1100ක් පමණ ලංකාවේ දියේ ගිලී මිය යෑම් වාර්තා වෙනව කියල? මෙයින් සැලකිය යුතු පිරිසක් මුහුදේ නෑමේ දී දියේ ගිලී මිය යෑම් ලෙස යි වාර්තා වෙන්නේ. පිහිනීමට නො දැනීම, මත්පැන් පානය කර සිටීම සහ මුහුදු වෙරළ ආශි‍්‍රත ව ඇති වන දිය වැල්වලට හසුවීම මේ මිය යෑම්වලට හේතු ලෙස සලකන්න පුළුවන්. අප අවධානය යොමු කරන්න සූදානම් වන්නේ මේ තුන් වැනි කාරණය සම්බන්ධව යි. මුහුදේ නෑමට ගොස් දියේ ගිලී මිය යෑම් බොහෝ ප‍්‍
    රමාණයක් ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇතත් මේ සම්බන්ධව කථා වෙන්නෙ බොහොම අඩුවෙන්. කෙසේ වෙතත් මුහුදට බහින්න කලින් එහි ඇති අවදානම ගැන දැන ගෙන සිටීම වැදගත් වේවි.

    මුහුදු රළ විශාල ජල ප‍්‍රමාණයක් වෙරළට රැගෙන එනවා. එම රළ බිඳී යෑමෙන් පසු මේ ජලය නැවත මුහුදට ගලා යා යුතුයි. නො කඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට බාධා කරනවා. නැවත මුහුදට ගලා යන තෙක් මේ ජලය වෙරළ ඉමදිගේ දෙපසට ගමන් කරමින් සිට ක්‍ෂණික ව පහසු ස්ථානයකින් වේගයෙන් මුහුදට ගලා යාම සිදු වෙනවා. වෙරළාසන්න ව මුහුදු පතුලේ පවතින වැලිපරවල සෑදී ඇති හිඩැස්වලින් මෙසේ දියවැල් (Rip Currents) ඇති වීම සිදු වෙනවා. 1 වැනි රූපයෙන් දැක්වෙන්නේ බාදිය අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක්. එවැනි ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මිනිත්තුවකටත් අඩු කාලයක දී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබ ව රැගෙන යන්න මේ දියවැලකට පුළුවන්.

    දිගු වෙරළ තීරවල සාමාන්‍යයෙන් මීටර් 200කට වරක් වගේ මෙවැනි දියවැල් ඇති වෙනවා. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් නිසා මුහුදේ පිහිනමින් සිටින අය මෙන් ම ඉණ තෙක් මුහුදට බැස සිට ගෙන සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදී යන්න පුළුවන්. මේ නිසා පිහිනන්න දන්නෙ නැත්නම් මුහුදට බහින්නෙ නැති එක වඩාත් නුවණට හුරුයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසි ම විටක තනිව ම මුහුදේ නාන්න යෑමෙන් වළකින එක හොඳයි.

    සාමාන්‍යයෙන් අප පාර පනින්න පෙර දෙපස හොඳින් බලනවා. ඒ වගේ, මුහුදට බහින්න පෙරත් ටික වෙලාවක් හොඳින් නිරීක්‍ෂණය කළොත් දියවැල් ඇති වෙන තැන් හඳුනා ගත හැකි යි. වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයට දකින්න පුළුවන්. මේ සුදුපැහැති තීර අතරේ සමහර තැන් නිසල, අඳුරු ලෙසින් නිරීක්‍ෂණය වෙනවා. (2 වැනි රූපය බලන්න.) මේ තැන්වලින් ජලය මත පාවෙන නොයෙක් ද්‍රව්‍ය මුහුදට ගලා යනු දකින්න පුළුවන්. එවන් ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මේ නිසා ඔබ කොතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මෙසේ ටික වේලාවක් නිරීක්ෂණය කළොත් වඩා ආරක්‍ෂාකාරී තැන් සොයා ගන්න පුළුවන් වේවි. මේ දියවැල්වල වේගය පිහිණුම් ශූරයන්ගේ වේගයටත් වඩා වැඩි බව ඔබ මතක තබා ගන්න. සමහර මුහුදු තීර කොහෙත් ම දිය නෑමට නිර්දේශ කරන්නෙ නැහැ. නොයෙක් අනතුරු හැඟවීමේ පුවරු මෙවන් ස්ථානවල සවිකර තිබෙනවා. මුහුදට බහින්න පෙර මේ ගැනත් ටිකක් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා.

    දිය වැලකට හසුවුව හොත් කිසි ම විටක ඊට එරෙහි ව පීනන්න උත්සාහ කරන්න එපා. දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නො හැකියි. මේ වෙනුවට වෙරළට සමාන්තර ව පිහිනීමෙන් දියවැලෙන් ඉවත්විය හැකියි. ඉන් පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. (3 වැනි රූපය බලන්න) මෙසේ ඉවතට පිහිනන්න නො හැකි නම් ජලය මතුපිට රැඳී සිටිමින් උදව් අවශ්‍ය බවට අත උස්සා සංඥා කරන්න.

    හැම තිස්සෙම නුවණින් සලකා අර්ථය දැන ගෙන කටයුතු කරන ලෙසට යි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දී තිබෙන්නේ. ඉතින් නිකරුණේ වටිනා ජීවිත අවදානමකට භාජනය නො කර, දුර්ලභව ලැබුණු, ඉක්මනින් අවසන් වෙලා යන මේ මිනිස් දිවිය මෙලොව සහ පරලොව සැප පිණිස පවතින ගුණ ධර්ම දියුණු කරගන්නට යොමු කිරීමට යි බුද්ධිමත් අය කල්පනා කළ යුත්තේ.


    i1ibgn.jpg