චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි

kputha

Member
May 5, 2012
5,534
240
0
චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි

මිනිසුන් සිනහවෙන් තැබිම පිනක් නම් ඔහුගේ මතු භවය ප්‍රීතිමත් එකක් වන්නට ඒ පිනම සෑහෙනු ඇත. දෑසින් වෑහෙන කඳුළු නොපෙනෙන බැවින් වැස්සේ තමෛන්නට තමන් වඩා කැමැති බැව් ඔහු වරෙක පැවසුයේය. ඔහු අපට සිනහවන්නට ඉගැන්වුවද ඔහු කෙතරම් නම් හඬන්නට ඇතිදැයි සිතන්නට ඒ කියමන පමණක් පසක් කොට දෙනු ඇත. 1977 දෙසැම්බර් 25 වෙනිදා මේ අසහාය සිනමාකරුවා මෙලොව හැර ගියේය.“චාලි චැප්ලින් - මයි ඔටෝබයොග්‍රෆ්‍රි” නමින් ලියන ලද කෘතිය ඇසුරු කොටගෙන තැබූ මේ සටහන ඔබට ඔහුගේ සිනහව පමණක් නොව කඳුළ ද දකින්නට දෑසක් දෙනු නිසැකය. මගේ නම චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින්, 1889 අප්‍රේල් 16 වැනිදා හරියටම රෑ අටට, ඊස්ටර් ‍ලේන්වල, තිබුණු වැල්වර්ත් කියන ගමේ මම ඉපදුණා. මේ කියන කා‍ලේම තමයි අපි ලැම්බත්වල, ශාන්ත ජෝශප් පාරේ බටහිර චතුරශ්‍රයට පදිංචියට ගිහින් තියෙන්නේ. මගේ අම්ම කියන්නේ නම් මගේ ලෝකය ගොඩක් ප්‍රීතිමත් එකක් කියලයි. අපි ඇත්තටම සාමාන්‍යයෙන් සැපවත් ජීවිතයක් ගත කළා. මගේ අම්මා, ඒ කියන්නේ “හැනා චැප්ලින්” නාට්‍ය ශිල්පිනියක්.

charly2.jpg
ඇය වේදිකාවේ සිංදු කියන්නත් ගියා. සිංදු කියන්න යන්න කලින් අම්මා මාවයි, මගේ අයියා සිඩ්නිවයි නිදිකරවලා යන්න පුරුදුවෙලා හිටියා. අම්මා ආපහු ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. එයා පහුවදාට ටිකක් දවල් වෙන තුරු නිදා ගන්නවා. ඒ හින්දා අපට කන්න මොනව හරි පිළියෙළ කරලා තමයි අම්මා නින්දට ගියේ. මොකද මමයි. සිඩ්නි අයියයි “අපට හරි බඩගිනියි අම්මේ” කියලා කෑගහන්න පුරුදුවෙලා හිටියේ නැහැනේ. ඒකයි.
අවුරුදු තුනහමාරක් විතර වෙන කොට මම හිතුවේ මට මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ කියලයි. හොඳයි සිඩ්නිට පුළුවන් නම් කාසියක් ගිලලා ඒක ඔළුව පිටිපස්සෙන් එළියට ගන්න. ඇයි මට විතරක් බැරි? ඉතිං මමත් ගිල්ලා. හැබැයි ඔළුව පිටිපස්සෙන් නම් කාසිය ආවේ නැහැ. ඉතිං එදා අම්මට
charly3.jpg
සිද්ධ වුණා මාව දොස්තර ළඟට එක්කරගෙන යන්න.
මගේ අම්මා වේදිකාවේ ශිල්ප දක්වන්න හරිම දක්ෂයි. අවුරුදු විසි ගණන්වලදී අම්මාගේ අමුතු රූමත් බවක් තිබුණා. දම්පාට ඇස්, ළා දුඹුරු පාට දිග කොණ්ඩය ඒ රූමත් බවට උදව් කළා කියලයි මට හිතෙන්නේ. අම්මව ලස්සනට සරසන්නේ මමයි, සිඩ්නියි තමයි. ඈ සුරගංනාවක් වගේ ලස්සන නැතිව ඇති. ඒත් අපිට පෙනුණ විදියට නම් අපේ අම්මා සුරංගනාවක් වගේමයි.
මගේ පුංචි කාලය ගෙවී ගිය ලන්ඩනය, වසන්තයේ දිදුලන ලැම්බතය, ජීවිතය තියෙන තාක් මට අමතක වෙන්නේ නැහැ. අම්මත් එක්ක අශ්ව බස් එකේ යන කොට ලිලැක් ගස්වල කොළ අල්ලන්න හදපු හැටි, ට්‍රෑම් කාර්, මල් කෙල්ලන්, වෙස්ට්මිනිස්ටර් පාලම මගේ පුංචි හිතේ හරි අපූරු හැඟීම් ඇති කළා. මගේ ආත්මයට පණ ලැබුණේ මේ වගේ දේවල්වලින් තමයි.
මගේ අම්ම තරම් මගේ තාත්තා, ඒ කියන්නේ “චාර්සල්ස් ස්පෙන්සර් චැප්ලින්” (තාත්තාගේ නමම තමයි මට තිබුණෙත්) අපේ ළඟ හිටියේ නැහැ. මට තාත්තා ගැන ඒ තරම් පැහැදිලි මතකයකුත් නැහැ. ඔහුට තිබුණේ අඳුරු පැහැ ඇස් දෙකක්. අම්ම කිව්වෙ නම් ඔහු හරියට නැ‍පෝලියන් වගේ කියලයි. බැරිටෝන් නළාවක වගේ ගැඹුරු කටහඬක් තිබුණු ඔහුත් දක්ෂ කලාකාරයෙක්. තාත්තාට සතියකට පවුම් හතළිහක විතර ආදායමක් ලැබුණා කියලයි අම්ම කිව්වේ. ඒත ප්‍රශ්නය වුණේ තාත්තා තදටම බිමට ඇබ්බැහිවෙලා හිටිය එකයි. අම්මයි තාත්තයි වෙන් වුණෙත් තාත්තාගේ මේ ඕනෑ නැති පුරුද්ද හින්දලු. මත්වතුර බිලා අඩු වයසින් මිය ගිය අනෙක් කලාකරුවන්ගෙයි මගේ තාත්තගෙයි කිසිම වෙනසක් තිබුණේ නැහැ. තාත්තත් ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා. ඔහු මිය යන කොට අවුරුදු තිස්හතක් විතර ඇති.
මගේ අම්මට හරිම මිහිරි කට හඬක් තිබුණා. ඒත් ඒ හඬ නිරෝගී හඬක් නොවෙයි. පුංචි සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුනත් ඒ හඬ දුර්වල වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. එහෙම වුණාම ආයේ දවස් ගණනක් යනතුරු සිංදු කියන්න බැහැ. මේ විදියට අම්මගේ හඬ ටිකෙන් ටික දුර්වල වෙන්නත් පටන් ගත්තා. අම්මා වේදිකාවේ සිංදු කියන සමහර වෙලාවට කට හඬ වෙනස්වෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට අම්මගෙන් ඇහුනේ බිඳුණු කට හඬක්.
අම්මාගේ කට හඬ මේ විදියට දුර්වල වුණු එක ගැන මම හරියටම දන්නේ ඒ කා‍ලේ ඇය මාවත් සිංදු කියන තැන්වලට එක්කරගෙන යන්න පුරුදුවෙලා හිටිය නිසයි. අම්මා මාව වේදිකාවේ පැත්තකින් තියලා වේදිකාවට නගිනවා. එක දවසක් අම්ම සිංදු කියන කොට හරිම අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. ඇගේ කට හඬ එදා දරුණු විදියට වෙනස්වෙන්න පටන් ගත්තා. මිනිස්සු අපහාසයෙන් හිනා වුණා. අම්මට ඒක දරාගන්න බැරිව ඇවිත් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා. අම්මා වේදිකාවෙන් බැස්සා. ඒ වෙලාවේ මම හිතපු නැති දෙයක් සිද්ධ වුණා. වේදිකා කළමනාකාරවරයා ඇවිත් කිව්වා මට සිංදු කියන්න කියලා. ඒ වෙනකොටත් මම පුංචි දරුවෙක්. ඒත් මම අම්මාගේ යාළුවෝ ඉස්සරහ සිංදු කියන හැටි කළමනාකාරවරයා මීට කලින් දැකලා තිබුණා.
ඔහු මගේ අතින් අල්ලගෙන වේදිකාවට නැගලා වචන කිහිපයක් කතා කරලා මාව එතැන තනිකරලා ආවා. ඔන්න ඉතිං මම සිංදුවක් කිව්වා. මම කිව්වේ ඒ කා‍ලේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු “ජැක් ජෝන්ස්” කියන ගීතයයි. වැඩිවෙලා ගියේ නෑ වේදිකාවට මොනවද වැටෙන සද්දයක් ආවා. මම බැලුවා. දෙයියනේ සල්ලි මම එකපාරට සිංදු කියන එක නතර කරලා මෙහෙම කිව්වා.
“සල්ලි ටික එකතු කරගෙන මම ආයෙත් සිංදු කියන්නම්.”
මේ කතාව අහපු හැමෝම මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ
කළමණාකාරවරයා ඇවිත් සල්ලි ටික ඔක්කොම එකතු කරගත්තා. මට බය හිතුණා ඒ සල්ලි හම්බවෙන එකක් නැති වෙයි කියලා. මම ඒ දිහා බයවෙලා බලා හිටපු හැටි දැකලා එතැන හිටපු මිනිස්සු තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. කළමනාකාරවරයා ඒ එකතු කළ සල්ලි අම්මා අතට දුන්නා. ඊට පස්සේ මටත් හරි සතුටුයි. මම තවත් සිංදු කිව්වා. සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාම අම්මගේ කටහඬ දුර්වල වෙන විදියත් මම රඟපාලා පෙන්නුවා. එයින් කුල්මත් වුණු එතැන හිටි මිනිස්සු තව තවත් සල්ලි වේදිකාවට විසි කළා. අම්මා වේදිකාවට ඇවිත් මාව වඩාගෙන ගෙදර ගියා.
එදා තමයි මම වේදිකාවට නැග්ග මුල්ම දවස. ඒ වගේම එදා තමයි මගේ අම්මා වේදිකාවට නැග්ග අන්තිම දවස.
අම්මා ඉන් පස්සේ හැමදාම දෙවියන් ඉදිරියේ යාච්ඤා කරනවා කටහඬ මිහිරි කරවන්න කියලා. අම්මා ආයේ සිංදු කියන්න ගියේ නැති නිසාත්, තාත්තා හොඳටම බිමට ඇබ්බැහිවෙලා හිටි නිසාත්, අපට මුදල් හිඟ වෙන්න පටන් ගත්තා. අම්මා එයා ළඟ තිබුණු වටිනා කියන හැමදෙයම විකුණුවා. එයා අන්තිමට මහන මැෂිමක් කුලියට අරගෙන ඇඳුම් මහන්න පටන් ගත්තා. අපි එන්න එන්නම දුප්පත් වුණා.
ශීත කා‍ලේ මමයි සිඩ්නියි ඉස්කෝ‍ලේ ගියෙත් එහෙන් මෙහෙන් අණ්ඩ දමාපු ඇඳුම් ඇඳගෙන. ඒ හින්දා අපි දෙන්නට එක එක නම් පට බැඳෙන්නත් පටන් ගත්තා. අපිට ඒවා දරාගන්න පුළුවන් වුණේ නැහැ.
අම්ම රැයක් දවාලක් නැතිව නිදිවරාගෙන ඇඳුම් මහපු හින්දා එයාගේ ඇස් දෙක ලෙඩ වුණා. බෙහෙත් ගන්න දොස්තර මහත්තයා හම්බවෙන්න ගිය වෙලාවේ අම්මාගේ ඇස් දෙක වෙළුම් පටිවලින් වහලා තියන්න ඕනෑ කියලා කිව්වා. දැන් අපට ආදායම් මාර්ගයක් ඇත්තෙම නැහැ. අපි තවත් අසරණ වුණා. අම්මා ළඟ එහෙන් මෙහෙන් ඉතිරිවෙලා තිබුණු සල්ලි සොච්චමින් අපි ටික දවසක් කඩෙන් කෑම ගෙනත් කෑවා.
සිඩ්නි ඉස්කෝ‍ලේ වෙලාවෙන් පස්සේ පත්තර විකුණන්න පටන් ගත්තා. දවසක් බස් එකක තිබිලා සිඩ්නිට මුදල් පසුම්බියක් හම්බ වුණා. අයිතිකාරයෙක් හොයාගන්න බැරිවුණු හින්දා සිඩ්නි ඒක ගෙදර අරන් ආවා. ඒ පසුම්බියේ රත්තරන්, රිදී, තඹ කාසි සෑහෙන ප්‍රමාණයක් තිබුණා. අම්මාට මම මේ බව කිව්වාම එයා කිව්වේ මේක නම් දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලයි. අපට ටික දවසක් යනකල් ඒකේ තිබුණු සල්ලිවලින් ජීවත්වෙන්න පුළුවන් වුණා.
අම්මාගේ ඇස්දෙක මේ වෙනකොට ටික ටික සුව අතට හැරෙමින් තිබුණා.
අපට ආයෙමත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පාන්න වුණා. මහන මැෂිමේ අයිතිකාරයා ඇවිත් ඒක ආපහු අරන් ගියා. තාත්තාගෙන් අපට ලැබුණේ සිලිං දහයයි. අන්තිමට සිඩ්නියි මමයි ඉස්කෝ‍ලේ ගමන නවත්තලා ලැම්බත් වැඩපළේ වැඩට යන්න පටන් ගත්තා.
මට එතකොට අවුරුදු හයට ටිකක් විතර වැඩි ඇති. ලැම්බත් වැඩපළෙන් පස්සේ අපිව හැන්වෙල් පාස‍ලේ වැඩ කරන්න දැම්මා. මම “චැප්ලින්” කියන නම ලියන්න පුරුදු වුණේ එහේදි. ඒ 1896 ජුනි වගේ තමයි මට මතක. අපට ලැබුණු සල්ලි හැම සතයක්ම අපි අම්මාට යැව්වා.
මේ හැන්වෙල් පාස‍ලේ වැඩපළේ තවත් ‍පොඩි ළමයි වැඩ කළා. එහේ ‍පොඩි ළමයෙක් වරදක් කරලා අහුවුණොත් දඬුවම් දෙන්නේ වේවැලෙන්. වැඩිම
charly4.jpg
පාරවල් ගණන හයයි. අඩුම තුනයි. මුණින් අතට හරවලා කලිසම පාත් කරලා තට්ටමෙන් ‍ලේ එන්න වදින වේවැල් පාරවලට හුඟක් ළමයින්ට සිහි නැති වුණා. මමත් කොයිතරම් අවාසනාවන්තයෙක්ද කිව්වොත් නොකළ වරදකට මටත් වේවැල් පාර තුනක් කන්න සිද්ධ වුණා.
මේ වැඩපළේ ඉන්න දරුවන්ට අවුරුදු එකොළහේදී නාවික හමුදාවට හරි යුද හමුදාවට හරි බැඳෙන්න අවස්ථාවක් ලැබෙනවා. නාවික හමුදාවට ගියොත් දමන්නේ “එක්ස්මවුත්” කියන නැවේ වැඩටයි. සිඩ්නි මාව හැන්වෙල් පාස‍ලේ තනිකරලා නාවික හමුදාවට ගියා.
මේ කා‍ලේ අපේ අම්මා අපට නතර වෙන්න ගෙයක් හොයාගෙන තිබුණා. මම හැන්වෙල් වැඩපළ අතහැරලා ආවා. ටික කාලෙකට පස්සේ සිඩ්නිත් එක්ස්මවුත් නැව දාලා ගෙදර ආවා. අපි දෙන්නම අම්ම ළඟට ගිහින් අලුත් වැඩපළක වැඩට යන්න පටන් ගත්තා.
වැඩි කාලයක් ගියේ නෑ අපට ආයෙම ලොකු කරදරයක් වුණා. අම්මට පිස්සු වැටුණා. සිඩ්නිටත් මටත් මේක දරාගන්න පුළුවන් වුණේ නැහැ. දෙයියනේ අපේ අම්ම ගෙදර නැතිව අපි ජීවත්වෙන්නේ කොහොමද? අපි අම්මාව කේන්හිල් මානසික රෝහලට අරගෙන ගියා.
අම්මාට කොහොමද පිස්සු වැටුණේ ....?
අපිව බලාගන්න කවුරුවත් හිටියේ නැහැ. අපිව භාරගන්න කියලා තාත්තාට උසාවියෙන් නියෝගයක් ආවා. ඒ වෙනකොටත් මම තාත්තාව දැකලා තිබුණේ දෙපාරයි. ඔහු ලුවිස් කියලා ගැහැනියක් එක්ක වෙනම ජීවත් වුණා. උසාවියේ නිලධාරීන් අපව ගිහින් භාර දුන්නෙත් ලුවිස්ටයි. ඒ වෙනකොට ලුවිස්ට පුංචි පුතෙක් හිටියා. එක කුසේ ඉපදුනේ නැතත් අපේම ‍ලේ තියෙන අපේම සහෝදරයෙක් කියලා අපට හිතුණා. තාත්තා නම් අපට ආදරෙන් සැලකුවා. ඒත් ලුවිස් නම් අපි ආවට කිසිම කැමැත්තක් පෙන්නුවේ නැහැ. සිඩ්නි එක්ක එයා කොහොමත් තරහින් හිටියේ. අනෙක ලුවිස් බිමටත් ඇබ්බැහි වෙලා හිටියා. දවසක් ලුවිස් හොඳටම බිලා ඇවිත් සිඩ්නිගේ ඇඳ ඇතිරිලි බිමට දාලා එයාට ගෙදරින් එළියට බහින්න කිව්වා. මේ වගේ දෙයක් කොයි වෙලාවක හරි සිද්ධ වෙයි කියලා උල් යකඩ කෑල්ලක් කොට්ටය යට තියාගෙනයි සිඩ්නි හිටියේ. සිඩ්නි ඒක එළියට ඇදලා ගත්තා.
“අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් මම උඹට මේකෙන් අනිනවා අනිනවා මයි” සිඩ්නි මහ හයියෙන් කෑ ගැහුවා.
“කාලකණ්නි යක්ෂයා. මූ මාව මරන්න හදනවා” ලුවිස් කෑ ගැහුවා. ඊට පස්සෙත් ලුවිස් අපට කරදර කරන්න ආවා. බැරිම තැන මේ ගැන තාත්තාට කිව්වාම, තාත්තා ලුවිස්ට සිහි නැතිවෙන්න ගැහුවා.
කොහොම වුණත් තාත්තා ගෙදර නැති වෙලාවල්වල ලුවිස් අපිව කීප වතාවක්ම ගෙදරින් එළියට දැම්මා. ඒ වගේ දවස්වල අපි හිටියේ පාරේ තැන් තැන්වල දල්වපු ගිනිගොඩවල් ළඟ.
මෙහෙම ඉන්න කොට අම්මට සනීපයි කියලා මානසික රෝහලින් පණිවුඩයක් ලැබුණා. අම්මා අපිව බලන්න ආවා. මමත් සිඩ්නිත් දරාගන්න බැරි හැඟීමකින් අම්මා දිහා බලාගෙන හිටියා. අපිට බලාගෙන ඉන්න බැරි තරමට හදවත බර වුණා කියලා දැනුණා. අපි දුවලා ගිහින් අම්මාව බදාගෙන ඇඬුවා. හොඳටම ඇඬුවා. අපි කුළියට ගත්තු කාමරේකට එදාම පදිංචියට ගියා. ඒක තිබුණේ විනාකිරි කම්හලක් ළඟ. දවසම ඇසිඩ් ගඳ. පාර ඉවරවෙන තැන තිබුණේ මස් මඩුවක්. තාත්තාගෙන් ලැබෙන සිලිං දහය නම් දිගටම ලැබුණා.
රංගනය ගැන මාව උනන්දු කරවන්න අම්මා නිතරම උත්සාහ ගත්තා. අම්මා මාවයි, සිඩ්නි අයියවයි ආයේම ඉස්කෝ‍ලේ යවන්න පටන් ගත්තා. ඉස්කෝලෙදි නත්තලට කලින් “සින්ඩරෙල්ලා” නාට්‍යය පෙන්වන්න සූදානම් වුණා. ඒ 1900 වගේ කා‍ලේ. ඒත් අවාසනාවක මහත මාව ඒ නාට්‍යයේ කිසිම චරිතයකට තෝරාගත්තේ නැහැ.
මේ නාට්‍යයේ සින්ඩරෙල්ලාට රඟ පෑ ගැහැනු ළමයා හරිම ලස්සනයි. මම එයාට රහසින් ආදරේ කරන්න පටන් ගත්තා ඒත් ඇයට ළංවෙන්නවත් මට වාසනාවක් තිබුණේ නැහැ. කොහොම වුණත් අන්තිමේදී සිඩ්නි අයියගෙත් උදව් ඇතිව මට සින්ඩරෙල්ලා නාට්‍යයේ විහිළු පූසෙකුගේ චරිතයක් ලැබුණා.
මෙයින් පස්සේ මට රංගනය ගැන තිබුණු උනන්දුව වැඩිවෙන්න පටන් ගත්තා. මම මිතුරෙක් එක්ක එකතුවෙලා “බ්‍රිස්ටල් ඇන්ඩ් චැප්ලින්, ද මිලියනයර්” කියලා නාට්‍ය කණ්ඩායමක් හදාගත්තා. ඒත් ඒක ක්‍රියාත්මක කරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.
මේ කා‍ලේ “මර්සිලීන්” කියන ස්පාඤ්ඤ ජාතික විකට රංගන ශිල්පියා ලන්ඩනයට ආවා. ඔහුට මුළු ලන්ඩනයම පිස්සු වැටිලයි හිටියේ. මට මේ සිද්ධිය අමතක නොවෙන්නේ ඔහුත් එක්ක පුංචි චරිතයක් රඟපාන්නට ලැබුණු හින්දයි. හුඟක් ඉංග්‍රීසි නළුවෝ වගේ ඔහුත් පහුකා‍ලේ දවසක සියදිවි නසා ගත්තා.
මගේ රංගනයට අතදෙන්න ඉදිරිපත් වුණු පුද්ගලයෙක් තමයි ජැක්සන් මහත්තයා කියන්නේ. මම ඔහුගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණා. මට හොඳටම අසනීප වුණෙත් මේ කාලෙම තමයි. දොස්තර මහත්තයා නම් කිව්වේ මට කිසිම ලෙඩක් නැහැ කියලයි. ඒත් මම හිටියේ හරිම අමාරුවකින්. මට හිතුණා මෙහෙම වේදනා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි කියලා. මේ අවාසනාවන්ත කාලයේ සිඩ්නි අපිත් එක්ක හිටියේ නැහැ. දුප්පත්කමයි අසරණකමයි කියන්නේ මොකක්ද කියන එක මට මේ කාලයේදී තමයි හොඳින්ම තේරුම් ගියේ. බඩ පිරෙන්න කාපු දවසක් ගැන මට මතක් කරගන්න තියා හිතාගන්නවත් බැහැ.
ඒ 1899 අවුරුද්ද, සිඩ්නිට අවුරුදු දාහතරයි. ඔහු පාසල් ගමන අතහැරලා විදුලි පණිවුඩ යවන්නෙක් විදියට රස්සාවකට බැඳුණා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ මගේ තාත්තා කාත් කවුරුවත් නැතිව ඉස්පිරිතා‍ලේ අවසන් හුස්ම හෙළුවා. තාත්තාගේ මිනිය වළලන්න අම්මා අතේ තඹ දොයිතුවක්වත් තිබුණේ නැහැ. තාත්තගේ අවමඟුලට වියදම් කළේ මගේ බාප්පා කෙනෙක්. තාත්තාගේ මිනිය ළඟට වෙලා ලුවිස් අඬ අඬා හිටියා. තාත්තාගේ මිනී පෙට්ටිය වළට වැටිලා දෝංකාර දෙන සද්දේ මගේ හදවතේ බිත්තිවල වැදුණා වගේ මට දැනුණා. ඒ දෝංකාරය එක්ක මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. මටම දැනුණේ නෑ, මම කෑ ගහල ඇඬුවා. හොඳටෝම ඇඬුවා. මාව නවත්තන්නවත්, සනසන්නවත් කවුරුවත් ආවේ නැහැ.
මතු සම්බන්ධයි
නිරංජන් චාමින්ද කරුණාතිලක
:(
 
Last edited:

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    "තාත්තාගේ මිනී පෙට්ටිය වළට වැටිලා දෝංකාර දෙන සද්දේ මගේ හදවතේ බිත්තිවල වැදුණා වගේ මට දැනුණා. ඒ දෝංකාරය එක්ක මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. මටම දැනුණේ නෑ, මම කෑ ගහල ඇඬුවා. හොඳටෝම ඇඬුවා. මාව නවත්තන්නවත්, සනසන්නවත් කවුරුවත් ආවේ නැහැ.":( adenawa:(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එළකිරි සහෝ.. :love::love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මමත් ගොඩාක් අගය කරන සුපිරිම නලුවෙක්...
    ඔය තරම් කැපකිරීමක් කරමින් ජීවිතය විදවමින් ගතකරලා කෙසේ හො තම උත්සාහයෙන් ජීවිතය ජය ගත්,තමන්ගෙ කඳුලු සඟවාගෙන එකදු වචනයක්වත් මුවින් පිට නොකර රඟපෑමෙන්ම පමනක් අනුන්ව හිනැස්සූ අපූරු මිනිසා... Chali.... :( :(

    අප හදවත් වල සදා නොමැකෙන මතක සටහන් තැබූ මෙවන් මිනිසුන් සෑම දෙනෙක්ම පහේ අතිශය දුක් කම්කටලු මැද අතිශය දුක්බර ජීවිත ගෙවූ අය වෙති. චාලි ද එවන් මිනිසුන් අතර ඉපදුන අසහාය කලාකරුවෙකි... මිනිසුන් හිනස්සන එක අපි කව් රුත් හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙවේ...පේනවනෙ ලංකාවෙ නලුවො බිම පෙරලි පෙරලි කුනුහරප කියාගෙන විදින දුක්....:lol::lol: ඒ අතින් නම් චාලි අති දක්ශයෙක්... කලාව වෙනුවෙන් හා අප සියලු දෙනාම වෙනුවෙන් කල මෙහෙවරට හිසනමා ආචාරකරමි...