සද කැන් වැසිලා...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    සද කැන් වැසිලා...

    ආදම්-ඒව, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, ලයිලා-මජ්නු, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, ජයතිස්ස- රොසලින්, දම්මි- සුගත් වගේ අපි නොදන්න නුහුරු කාලෙ ප්‍රේම නාටක මැද අපිට කනට ගෝචර, ඇහුන, අහන අමාරුවෙන් උනත් අහන්න වෙන කැලුම්- දේදුනු, අනර්කලී-දුමින්ද වගේ කුජීත කතන්දර අතරෙ මෙතෙක් ලියවුනු ලස්සනම ප්‍රේමය මුසු සියුම් විරහ ගීතය විදියට මම දකින්නෙ මේ ගීතය...
    මාලතී කල්පනා කියන කෙනා ලියපු ගොඩක් හරවත් විචාරෙක පුංචි කොටසක් මේ..කියවල බලන්න...


    .... මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

    "ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ"

    අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

    "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ"

    ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

    "මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා"


    සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

    එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

    "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ ...
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි"

    ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.


    සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි

    ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා


    ගායනය - වික්ටර් රත්නායක
    ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේකේ තේරුම මම මෙචරකල් හොයා හොයා හිටියේ..ඉස්සර මම අහල තියනව මේක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාට ඇත්තටම උන දෙයක් කියල.. මේ බලපන් මම දාපු thread එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1581257

    Rep dila isella umbata.