හැමෝටම_කන්න_බත්_දෙන_පුදුම_පන්සලක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
හැමෝටම_කන්න_බත්_දෙන_පුදුම_පන්සලක්


http://www.mawbima.lk/55-69953-news-detail.html
අවුරුද්දේ
දවස් 365ම...
දවසේ පැය 24ම...
මාගේ ඥාති සහෝදරයා වූ රවිඳු දිනෙක මා හමුවට පැමිණියේ සුහද සාකච්ඡාවකටය. කතාව අතරතුර ඔහු මට කී යමක් මහිත කුතුහලයකට පාර කැපීය. "අක්කේ කතරගම බත් පන්සල කියන තැනට මම ගියා. එතැන තමයි මම මුණගැහෙන්න ගිය හාමුදුරුවො ඉන්නෙ."
මා ඉන් විශේෂණ පද දෙකක් හිතේ සනිටුහන් කොට ගතිමි. පළමුවැන්න බත් පන්සලය. දෙවැන්න බත් පන්සලේ හාමුදුරුවන්ය. එනිසා මම ඥාති සොහොයුරාගෙන් තවදුරටත් විස්තර ඇසුවෙමි.

69953_dsc7012%20copy.jpg

"ඇයි මල්ලි ඒකට බත් පන්සල කියන්නේ"
"ඒ පන්සලේ බත් දෙන නිසා."
"කාටද?" මම යළිත් ඇසුවෙමි.


"එන මිනිසුන්ට."
"පෙරහර කාලෙටද?"
"නෑ අවුරුද්දෙ දවස් 365ම තුන් වේලම එන ඕනෑම කෙනකුට." මා සොහොයුරා කෙදිනකවත් බොරුවක් කියන්නේ නම් නැත. ඒත් මේ නම් පුදුමයකි.
පසුගිය සති අන්තය වෙනදා සේම කතරගමට අතොරක් නොමැතිව වන්දනාකරුවෝ පැමිණෙමින් සිටියහ. අපිද ඒ වන්දනාකරුවන්ගේ කුලකයේම කොටසක් වීමු. සුදු නෙලුමින් කිරි වෙහෙර වැඳ පුදාගත් අපි කතරගම දෙවියන්ද වැඳ පුදා ගත්තෙමු. දේවකාරියට වඩා රාජකාරිය ලොකු යැයි කීවද රාජකාරියත්, දේවකාරියත් සම තැන වඩා හිඳුවමින් අපි බත් පන්සල සොයා ඇදුණෙමු.


දේවාල බිමේ සිට අඩි කිහිපයක් දුරින් පිහිටි අභිනවාරාමය අප සෙවූ 'බත් පන්සල' විය. පන්සල තුළ කලබලයක් නොවීය. වැඩි අරුමෝසම් බවක්ද නොවීය. සාමාන්‍යයෙන් ගමේ පන්සලටත් වඩා සරල ගොඩනැඟිලි කිහිපයකි.
අප පන්සලට ගොඩවැදී මොහොතකින් බත් පන්සලේ හාමුදුරුවෝ එළියට වැඩම කළහ. ගිය කාරණය හෙළි කිරීමට පෙරම උන්වහන්සේ අපට උදේ ආහාරයට ආරාධනා කළහ. උන්වහන්සේ අපව දාන ශාලාවට කැ¼දවාගෙන ගියහ.
අපූරු කෑම කාමරයකි. පිරිසුදු බවේ උපරිමය මෙන්ම පිළිවෙළද අපි අත්වින්දෙමු. අත් සෝදා ගැනීමටත් ප්‍රථම පිඟානක් අතට දුන්නේ ඒ අපූරු බුද්ධ පුත්‍රයාමය. බත්ද, පාන්ද, කිරිබත්ද, පලතුරුද ඕනෑ තරමක් කන්නට එහි ගෙනත් තබා තිබේ.


අප ආහාර ගැනීමට ඉඳගෙන මොහොතක් යන විට දාන ශාලාවට ඇතුළු වූයේ වන්දනාවේ පැමිණි දමිළ ජාතිකයන් පිරිසකි. දුර බැහැර සිට පැමිණි ඔවුන්ද අපත් සමඟම උදෑසන ආහාරය ගත් අතර හිමිනම විටින් විට පැමිණ ආහාර බෙදන්නටද විය. පැමිණ සිටි දමිළ ජාතික වන්දනාකරුවන් තුළද වූවේ පුදුමසහගත බවක් මෙන්ම සතුටක සෙවණැලිය. උදෑසන ආහාරය ගෙන පිඟාන සෝදන්නට යන විට අප දුටුවේ ඉතා පිරිසුදුවට සැකසූ මුළුතැන්ගෙය හා එතුළ ලහිලහියේ දිගින් දිගටම ආහාර පිළියෙල කරන ආකාරයයි. කෙනෙක් ආහාර ගෙනැත් තබන්නේය. තවත් අයෙක් හිස් බඳුන් මුළුතැන්ගෙය තුළට රැගෙන යන්නෝය. තවත් කිහිප දෙනෙක් එළවළු කැපීමෙහි, පොල් ගෑමෙහි නිරත වෙති. වෙසක් පෝයට පොසොන් පෝයට පමණක් දන්සල් දකින අපට මේ තවමත් හීනයකි. එහි හිඳිමින් පැය විසිහතර පුරාම උයමින් පිහමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ කුසගිනි නිවන සේවක පිරිස සුහද හිනාවකින් මුව පුරවගත් ආහාර සමඟ මනුෂ්‍යත්වයද ඊට මුහු කරන්නා සේය.


ආහාර ගැනීමෙන් පසු තේ බඳුනකින්ද සප්පායම් වූ අපි නැවැත හිමිනම සොයා විහාරය ඉදිරිපසට ගියෙමු. විහාරය ඉදිරිපස මේසය අසල පුටුවක ඉඳගෙන හුන් උන්වහන්සේ අපටද ඉඳගන්නට ආරාධනා කළෝය. උන්වහන්සේ සමඟ කතාබහ කරන්නට නොඉවසිලිමත් වූ අපි උන්වහන්සේගේ අතීතයට ගොඩවැදුණෙමු.
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කපුගම ගම්මානයේ උපන් උන්වහන්සේගේ මව කරුණාවතී නානායක්කාරය. පියා ‍ෙදාන් ප්‍රේද්‍රික් නානායක්කාරය. පවුලේ සහෝදරයෝ පස් දෙනෙක් වෙති. දෛවයේ හාස්කමකට කතරගමට පැමිණ කතරගම ශ්‍රී ආයුපාන තෙරුන් යටතේ කපුගම සරණතිස්ස නමින් සසුන්ගත විය. ගාල්ලේ විදේ‍යාදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළහ.
"හාමුදුරුවනේ මේ පන්සල හැදුවේ කවුද?"


අපේ නඩේ සියලු දෙනා වෙනුවෙන් මම සරණතිස්ස හිමියන් වෙතට පැනයක් යොමු කළෙමි.
"මේ විහාරේ ආරම්භ කරන්නේ 1924 අවුරුද්දෙදි. ඒක කරන්නේ ඒ කාලෙදි දේවාලෙ කපු මහත්තයා වෙලා හිටපු ටී.ආර්. බාරිස් අප්පු මහත්තයා. ඉස්සර කතරගම වඳින්න එන හාමුදුරුවරු ඉන්න තැනක් නැතිව කුඹුක් ගස් යට නිදා ගත්තේ. දානෙ වැළඳුවෙ. ඒක නිසා තමයි මේ පන්සල හදන්නෙ. මේ පන්සලට අල්ලපු ඉඩමෙ තමයි කපු මහත්තයා ඉඳල තියෙන්නේ. තුන් වේලටම හාමුදුරුවරුන්ට දානෙ දීම කරල තියෙනවා. සබන් කැටේ, පැදුරෙ ඉඳන් ඒ ගෙදරින් දීලා තියෙන්නේ?"
"මේ එන හැමෝටම කෑම දෙන්න පටන් ගත්තෙ කොහොමද හාමුදුරුවනේ"
"ඉස්සර ඉඳලම ගිහි පැවිදි කාටත් මේ පන්සලෙන් ආහාරපාන දුන්නා. මගේ නායක හාමුදුරුවොත් ඒ දේ කළා. කෑම නොකා යන්නම දුන්නෙ නෑ. බැනල හරි කන්න දුන්නා. හාමුදුරුවන්ටත් දානෙ දීලම තමයි යවන්නෙ. ඒක මමත් කරනවා. දීම තරම් සතුටක්, පිනක් තවත් කොහේද."


"හාමුදුරුවන්ට කොහෙන්ද මෙහෙම දන්දෙන්න මුදල් හදල්?" අසන්නට දිව නැමෙන්නේ නැති එහෙත් නොඅසා සිටින්නටම බැරි වූ ප්‍රශ්නයද උන්වහන්සේ ඉදිරියේ දිග හැරියෙමු.
"ඒක මහ පුදුම දෙයක්. මටත් හිතාගන්න බෑ. මේක මහ පුදුම ලැබීමක්. කොහෙන් ලැබෙනවද දන්නෙ නෑ. ඒත් මේ හැමදේටම සරිලන්න මට ලැබෙනව. පෙරහර කාලෙට කී දාහකට අපි කෑම දෙනවද? දන්සල වගේම තමයි. ඕනම වෙලාවක බඩගින්නට ආහාරයක් දෙන එක තමයි මගේ සතුට."
"ඔබවහන්සේ කතරගම දෙවියන් ගැන මොන වගේ අදහසක්ද දරන්නෙ?"
"දෙවියො ඉන්නව කියන එක සැබෑවටම මම විශ්වාස කරනවා. මේ භූමිය මෙහෙම වැජඹෙන්නෙ දෙවියො නිසා. මම එහෙම කියන්නෙ හුඟාක් අත්දැකීම් ඇතිව."
සරණතිස්ස හිමියෝ මඳ සිනාවක් ඇතිව කියති. ඒ අත්දැකීම් කුමක්දැයි දැනගැනීමට හිත තුළ ඇතිවූයේ බලවත් ආශාවකි. එම සිදුවීම් අතර එකක් දෙකක් උන්වහන්සේ විස්තර කළේ මෙසේය.


"2500 සම්බුද්ධ ජයන්තිය මතකද? ඒ වගේම ඔය කතරගම ටවුන් එක මැද තියෙන පන්සල දැක්කද? ඒ පන්සලත් ආරක්ෂා කරන්නෙ මේ පන්සලෙන්ම තමයි. ඔතැන බෝධිය තියෙන ඉඩම කාලයක් එතැනම තියෙන ලේක්හවුස් විශ්‍රාම ශාලාවට පවරල තිබුණ. සම්බුද්ධ ජයන්තිය කාලෙ තමයි එහෙට පවරල තිබුණෙ. කොහොමහරි අනූව දශකයෙ දවසක මට ආරංචි වුණා එතැන රථ ගාලක් හදන්න යනවා කියලා. ඒකට මට හිතට හරිම අමාරුයි. කියන්න කෙනකුත් නෑ. ඔහොම ඉද්දි කීප දෙනෙක් ඇවිත් කිව්වා ඇමැති කෙනෙක්වත් මුණ ගැහෙමු මේ ප්‍රශ්නය විසඳගන්න කියලා. මම ඒකට අදිමදි කර කර ඉඳල අන්තිමට ගියා ඇමැතිවරයා මුණ ගැහෙන්න. ගිහිල්ල ඉඳගෙන හිටියා. මම හිටපු කිට්ටුවම හාමුදුරුනමකුත් හිටියා. ඒත් කතාබහක් තිබුණේ නෑ.


ටිකකින් ඇමැතිවරයා ආවා. එතකොටම අර ළඟ හිටපු හාමුදුරුවො ඇමැතිතුමාට මාව පෙන්වල කිව්ව මේ හාමුදුරුවන්ගෙ වැඩේ කොහොමහරි කරල දෙන්න කියල. මම පුදුමෙන් බලන් හිටියා. ඒ හාමුදුරුවන්ට මම මේ ප්‍රශ්නෙ කිව්වෙත් නෑ. එතකොට ඇමැතිවරයා ඇහුවා "මොකක්ද හාමුදුරුවනේ ප්‍රශ්නෙ" කියල. මම ප්‍රශ්නෙ කිව්ව. අපිට ඒ වෙලාවෙම ඒ භූමිය නිදහස් කරල දුන්න. පර්චස් හතරයි ඉස්සරවෙලා අපිට තිබුණෙ. ඒ වෙනුවට පර්චස් තිස්හතක් පැවැරුවා. ඉතින් මං හිතනවා එතැනදි අර හාමුදුරුවන් ලවා දෙවියො කියෙව්ව කියල. ඒ වගේම ඒ බෝධියෙ විහාරය හදල විවෘත කිරීමට කලින් දවසෙ පිරිතක් කිව්ව. ඒ එක්කම එතැන බෝ අත්තක් පාරට කඩන් වැටුණා. කිසිම කෙනකුට කරදරයක් වුණේ නෑ. ඒක ගැන පස්සෙ හොයල බැලුවම දැනගත්ත එතැන පිරිත් කියද්දි එතැනට අරක්ගත්තු භූතයො කොට්ඨාසයක් එතැනින් යනවා කියන ලකුණ තමයි අර කඩා වැටුණු බෝ අත්ත කියලා." උන්වහන්සේ දිගින් දිගටම කතරගම දෙවියන්ගේ අඩවියේ වූ බොහෝ ආශ්චර්යවත් අත්දැකීම් අප හමුවේ තැබූහ.


"අනෙක තමා ඔය කතරගම මහ දේවාලෙ බිත්ති කවදාවත් ඉරි තළන්නෙ නෑ. බලන්න ඔය පිටිපස්සෙ තියෙන බෝධීන් වහන්සේ දිහා. මේ තරම් විශාල ගස් දෙකක් තිබිලත් ඒවයෙ මුල් දුවල දේවාලෙ බිත්ති පැළුණේ නෑ. මේවා හාස්කම්. මෙතැන පූජා කටයුතු කරන කිසිම කෙනෙක් මළ ගෙදරකවත් යන්නෙ නෑ. කිලි තියන් දේවාලෙට එන්නෙ නෑ. වැරැදි කරන හැම කෙනෙක්ටම දඬුවම් ලැබෙනවා. එහෙම දඬුවම් ලැබුණ අයත් ඉන්නවා. කතරගම දෙවියො තරම් පින් ලබන තව දෙවි කෙනෙක් නෑ."
සරණතිස්ස හිමියන් තම දාන පාරමිතාව පුරන්නේ බුදු බව පතා නොවේ. හුදෙක් අසරණ මිනිසුන්ගේ කුසගිනි නිවනු පිණිසමය. කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිව උන් සරණතිස්ස හිමියෝ තම ගුරු වෘත්තියේ අමතක නොවන සිදුවීමක් මෙනෙහි කළහ.


"මම කතරගම මධ්‍ය මහා විද්‍යාලෙ විදුහල්පතිව ඉන්නකොට ශිෂ්‍යයන්ට නීතියක් දැම්ම ලබන සතියෙ ඉඳන් හැමෝම සපත්තු මේස් දාලා ලස්සනට එන්න ඕන කියල. ඒ කියල කීප දවසකින් තාත්ත කෙනෙක් දරුවො දෙන්නෙකුත් එක්ක මං ළඟට ආවා. මම ඇහුව මේ දරුවො ඉගෙන ගන්නෙ නැද්ද කියල. එතකොට ඒ තාත්ත කියනව ඉස්කෝලෙ ගියා පහුගිය දවස් වෙනකන්. ඒත් ඉස්කෝලෙන් කියල සපත්තු මේස් දාගෙන එන්න කියල. ඒවා අරන් දෙන්න මට සල්ලි නැති නිසා මේ දරුවො ඉස්කෝලෙ නොයව ගෙදර නතර කර ගත්ත කියල. මට පුදුම දුකක් දැනුණ දුරදිග නොහිතා කියපු දෙයක් නිසා වෙන්න යන විනාසෙ ගැන. මම ඊළඟ සතියෙම ඉස්කෝලෙ උදේ රැස්වීමෙදි කිව්ව අපි සපත්තු මේස් දාන්න කිව්වට ඒක මේ පරිසරයට ඔරොත්තු නොදෙනවා කියල කල්පනා වුණේ පස්සෙ. මේ උෂ්ණාධික පළාතක්නෙ. මේස් සපත්තු දැම්මම කකුල් තැම්බෙනවා. තුවාල වෙනවා. මේ ප්‍රදේශයට ගැළපෙන සපත්තු මේස් මෙහෙ විකුණන්නෙත් නෑ. ඊළඟ දවසෙ ඉඳල ගෙදර නතරවුණු දරුවො ඔක්කොම ඉස්කෝලෙ ආවා.
දැනට අපි මෙහෙ දහම් පාසලක් කරනවා. ළමයි දෙදහක් ඉන්නවා. අපි කෑම, ඇඳුම්, පොත්පත් ඔක්කොම දෙනවා. සමහර දුප්පත් දරුවො තමනුත් කාලා අම්මට කියලත් අරන් යන වෙලාවල් තියෙනවා. අපි දරුවො සීයක් ඉන්න පෙර පාසලක් කරනවා. ඇඳුම්, සපත්තු, පොත්, බෑග්, ආහාරවල ඉඳල ඔක්කොම නොමිලේ දෙනවා."


සැබෑවටම උන්වහන්සේ කියුවේ සැබෑවකි. අපි ඊට පසුදා කතරගම දේවාලය දෙසට යන විට දුටුවේ කහ පැහැති නිල ඇඳුමින් සැරසුණු දරුදැරියන්ය. ඔවුන් උදෑසන රැස්වීමේදී අලංකාර වූ නාට්‍ය, ගීත, නර්තන රඟ දක්වන්නේ අලංකාරවත් ඇඳුමින් පැලඳුමින්ද සැරසීගෙනය. අප උගත් දහම් පාසලක නම් මෙලෙස විශේෂ ඇඳුමින් සැරසී නැටුම් ගැයුම් ඉදිරිපත් කරන්නේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පමණි. ඒත් මේ දහම් සෙවණ සුවිශේෂ වන්නේය. විහාර බිමේ එක් කොනක ලහිලහියේ පාන් කපන කාන්තාවන්ය. තවත් තැනෙක උණු උණුවේ බත් බේසම් ගෙනැවිත් තබයි. මේ සියල්ල දහම් පාසලේ දරුවන්ටය. ළමයින් දෙදහසකට සෑම ඉරිදාම ආහාර දෙන්නේ මුළු ලංකාවෙන්ම මේ දහම් පාසලේ පමණක්ම වන්නට ඇත. එවැනි උත්තරීතර වූ ක්‍රියාවක් දෑසින් දකින්නට හැකිවීමද පුණ්‍ය කටයුත්තක් නොවන්නේද?
"මම ඉතා පිරිසුදු හිතින් දන් දෙන්නෙ. දෑත් ඉතා පිරිසුදුව. කතරගම දෙවියන්ට පින්සිද්ධ වෙන්න මේ හැමදේටම ලැබීමක් තියෙනවා."
ඒ බත් පන්සලේ නායක හාමුදුරුවන්ය. උන්වහන්සේ කියන්නේ තමාගෙන් නැකැතට අකුරු කියවන්නට එන දරුවකුට දෙන පොත, පෑන දකින දරුවා සතුටින් එය කොට්ටෙ යට තබා නිදනවා කියන විට ඒ සතුට මහා සැප සම්පත්වලට වඩා වචනයට නොනැඟිය හැකි සතුටක් ගෙන දෙන බවය.
 

king sahoo

Member
Aug 14, 2014
26
3
0
මම කතෝලිකයෙක්මී .....
එත් අපේ හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකින්න පතනවා මේ පිං බලෙන් .....
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවනේ .....
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම ගිය 2පාරක් කෑවා ඔය දාන ශාලාවෙන්
    කෑම නියමය්..
    මේ පාර ගියේ ගියේ ගිය සතියේ ඔතනින් කන්න බැරි උනා
    පරක්කු උන නිසාද අනේ මන්ද ඔය පැත්තේ යන්න උනේ නැහැ..

    නියමෙටම පිරිසිදුවට කෑම දෙනවා..

    මෙහෙම පින්කමින් නිවන් දකින්නම සැලසේවා..