ලෝකය හා‍ ලෝක විනාශය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලෝකය හා‍ ලෝක විනාශය

    මානව ඉතිහාසය තුළ උපන් සියලු ආගමික චින්තාවෝ ප්‍රධාන වශයෙන් දෙයාකාර වෙති. ඒ දේවවාදී හා අදේවවාදී යනුවෙනි. විශ්ව නිර්මාතෘ සර්වබලධාරී දෙවියකු, ඊශ්වරයකු කේන්ද්‍රකොටගෙන දේව ධර්මය යන සිරස්තලයෙන් ජීවිතයත් ලෝකයත් අරභයා කරුණු දක්වනුයේ දේවවාදී ආගමික චින්තාවන් තුළය. එබඳු දෙවියකු බ්‍රහ්මයකු ඊශ්වරයකු කේන්ද්‍රකොට නොගෙන කිසියම් ආචාර්යවරයකු, ශාස්තෘවරයකු විසින් ප්‍රකාශිත ධර්මය අනුව ජීවිතය, ලෝකය පිළිබඳ කරුණු දක්වනු ලබන්නේ අදේවවාදී ආගමික චින්තාවන් තුළය.

    අප ජීවත්වන මේ පෘථිවියත් අප වටා ඇති අනන්ත වූ විශ්වයත් පිළිබඳ මැවීම, ඊශ්වර නිර්මාණය අනුව කරුණු දැක්වීම දේවවාදී ආගම්වල දක්නට ලැබේ. බුදුදහම අදේවවාදීය. ජීවිතයත් ලෝකයත් එහිලා විවරණය කරනුයේ සංඛත ධර්ම නම් වූ මානව අත්දැකීම් මත හසුවන යථාර්ථය කේන්ද්‍ර කොටගෙනය. හේතු ප්‍රත්‍ය ඇති කල ඇති වන, හේතු ප්‍රත්‍ය නැති කල නැති වන, ආධ්‍යාත්මික වූත් භෞතික වූත් මූල සාධකයෝ සංඛත ධර්ම, එනම් සංස්කාර ධර්ම නම් වෙති. එකී ධර්ම සියල්ල අනිත්‍යය, විපරිණාමීය, පෙරැළෙන සුළුය. එබැවින් දුක් සහිතය; අසාරය; අතෘප්තිකරය; අපරිපූර්ණය; එබැවින් අනාත්මය. මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි සලකාගත නොහැකිය යනු බුද්ධ වචනයයි. සත්වයා, ලෝකය යන සම්මුති ව්‍යවහාරයන්ගෙන් අර්ථවත් කෙරෙනුයේ අන් කිසිවක් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බුදුදහම විසින් හඳුන්වනු ලබන හේතු ප්‍රත්‍යාකාරයෙන් යුත් අනිත්‍යාදී ලක්ෂණ ඇති සංඛත ධර්මයන්ගේ සමවායයි; සංයෝගයයි. එකී ධර්මයන්ගේ අන්‍යෝන්‍ය උපකාරයෙන් යුත් සක්‍රීයත්වයයි. සචේතනික වූත් අචේතනික වූත් සජීවී, අජීවී, බාහිර, අභ්‍යන්තර සියල්ල සංඛත ධර්ම සමවායක්, සංයෝගයක් ලෙස බුදුසමය දක්වයි. විශ්වයද එසේය. එයද සංඛත ධර්ම හෙවත් හේතු ප්‍රත්‍යාකාරය, එනම් හේතු ඵල ධර්මය අනුව ඇතිවන, නැතිවන මූල සාධක සංයෝගයකි. එකී මූල සාධකයෝ, අන්‍යෝන්‍ය උපකාරිත්වයෙන්, අන්‍යෝන්‍ය සාපේක්‍ෂකත්වයෙන්, අන්‍යෝන්‍ය බලපෑමෙන් පවතිත්. එසේම එම මූල සාධක සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය. මේ වූකලී බුදුදහමෙහි කේන්ද්‍රීය ඉගැන්වීමයි.

    බුදුවරයකු ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කිරීමට ය. එනම් ජාතිය ( ඉපදීම, ස්කන්ධ ධාතු ආයතනාදීන්ගේ පහළවීම), ජරාව ( දිරා යෑම, මහලුවීම, පැසීයාම), ව්‍යාධිය ( ලෙඩවීම, අනේකාකාරවූ ව්‍යාධීන්ට ගොදුරු වීම), මරණය ( ස්කන්ධාදීන්ගේ බිදීයෑම ) ආදි වශයෙන් අර්ථවත් කෙරෙන අසාර වූ අතෘප්තිකර වූ ස්වභාව හෙවත් දුකත්, එකී දුකට හේතුව එහි හටගැනීම එනම් දුක්ඛ සමුදය නම් වූ සත්ව සන්තානගත නොනිමි තෘෂ්ණාවත්, එකී දුක්ඛ නිරෝධය හෙවත් දුක නැතිකරලීම නම් වූ නිවනත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව යැයි කියන ලද දුකින් මිදීමේ මඟ එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් හෙළිදරව් කරනු පිණිසය. වෙනත් වචනවලින් කියතොත් බුදුදහමෙහි මූලික අරමුණ වන්නේ භෞතික විශ්වය, එහි ආරම්භය හෝ විනාශය පිළිබඳ විස්තර කිරීම නොවේ. මානව සත්වයාට අදාළ මිනිස් ජීවිතය ඉදිරියේ ඇති වඩාත්ම මූලික වූ මහා ගැටලුව වන අසාර අතෘප්තිකර බව හෙවත් දුක පිළිබඳ අවදිකමක් අවබෝධයක් ඇතිකරලීමත්, එකී සංසාර දුකින් අත්මිදීමේ මාර්ගය පෙන්වා දීමත්ය. එහෙත් ඊට අතිරේක වශයෙන්, අවශ්‍ය අවස්ථාවලදී විශ්වයේ ආරම්භය, සංයුතිය, පැවැත්ම හා විනාශය පිළිබඳවද බුදුරජාණන් වහන්සේ යම් යම් කරුණු ප්‍රකාශ කළ සේක.

    හේතුඵල සම්බන්ධය අනුව, බොහෝ කාලයෙක ඇවෑමෙන් ලෝකය හැකිළෙන බවද ( සංවට්ටමාන) නැවත බොහෝ කාලයකින් කිසියම් සමයෙක ලෝකය දිග හැරෙන ( විවට්ටමාන) බවද බෞද්ධ සූත්‍රවල සඳහන් වෙයි. මෙකී හැකිළීම මෙන්ම දිග හැරීමද වඩාත් පුළුල් අර්ථයකින් තේරුම්ගත යුතුය. එය එකී වචනවල මූලිකාර්ථය ඉක්මවා යන සංසිද්ධියකි. භෞතික ලෝකය යනු සක්වළ සමූහයෙකි. දස දහසක් සක්වළ යන්න ඉතා ප්‍රකට ව්‍යවහාරයක් වේ. සක්වළක් යනු සඳ හිරු දෙදෙනකු බැබළෙන ලෝකයකි. චූලනිකා සහස්සී ලෝක ධාතුවෙහි එබඳු සක්වළ දහසෙකි. එබදු ලෝක ධාතු දහසක් එක් වී ද්වී සහස්සී මජ්ඣමිකා ලෝක ධාතුව සෑදෙයි. එබඳු ලෝකධාතු දහසක් එකතු වී තිසහස්සී මහා සහස්සී ලෝකධාතුව සෑදෙයි. එහි කෝටි ලක්‍ෂයක් සක්වළ ඇත. බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනාව ලෙස සැලකෙන දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාවේ මේ දස දහසක් සක්වල කම්පා වූ බව සඳහන්ය. අභිභූ නම් රහතන් වහන්සේ ගාථා දේශනා කළ හඬ සහස්සී ලෝක ධාතුවට ඇසුණේය යනු තවත් සඳහනකි. මෙසේ ලෝක ධාතු හා සක්වළ පිළිබඳව යම් තොරතුරු බෞද්ධ මූල ග්‍රන්ථ තුළ ඇතැම් තැනෙක හමුවෙයි.

    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, අස්ථිර බව, සදාකාලික නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන නොයෙක් අයුරින් පෙන්වා දී ඇත. එකී අනිත්‍ය ස්වභාව දැන දැක සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ නිර්වේදය ඇති කිරීම ( කලකිරීම ඇති කිරීම ), විරාගය ඉපදවීම ( නො ඇල්ම ඇතිකර ගැන්ම), එසේ විමුක්තිය එනම් සියලු සංස්කාර ධර්මයන්ගෙන් අත්මිදීම නම් වූ නිවනට ළඟාවීම පිළිබඳ බුදු රදුන් දේශනා කළ ප්‍රකට දේශනාවක් වන්නේ අංගුත්තර නිකායේ සත්ත සුරියුග්ගමන සූත්‍රයයි. එහිදී ද භෞතික ලෝකය සංස්කාර සංයෝගයක්, සංස්කාර පුංජයක් ලෙස සලකාගෙන තිබේ. එහිදී එකී සංස්කාර ධර්මයන්ද අනිත්‍ය, අස්ථිර බව පෙන්වා දී ඇත. ඒ අනුව එහිලා කලකිරීම ද නො ඇල්ම ද වැඩීමෙන්, අත්මිදීම උදාකරගත යුතු බව එහි දැක්වෙයි.

    " මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

    මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

    කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

    මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.

    මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.

    ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

    මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි.

    මහණෙනි, මෙසේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, අස්ථිරයහ, සදාකාලික නොවන්නෝය. ( එබැවින් ) සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම සුදුසුය. නොඇල්මම සුදුසුය. මිදීමමැ සුදුසුය.”

    ‘ලෝක’ ශබ්දය බුදුදහමෙහි විවිධාකාරයෙන් අර්ථකථනය කෙරේ. ස්කන්ධ වශයෙන් පහකටද, ධාතු වශයෙන් සයකටද, ආයතන වශයෙන් දොළහකටද තවත් නොයෙක් ආකාරයෙන්ද විශ්ලේෂණය, විභජනය කොට දක්වා ඇති නාම රූප ධර්මයෝද ලෝක නම් වෙති. එම ධර්මයන් ලුජ්ජන ( වැනසෙන), පලුජ්ජන ( පළුදුවන) ලක්‍ෂණයෙන් එනම් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. එබැවින් ලෝක නම් වේ. භෞතික ලෝකය ද ඇතුළත් ලෝක නම් වූ මෙකී ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යැයි අසන, බුදුබණ නොදන්නා පුද්ගලයා අසහනයට පත්වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනාත්මය යනු මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේය යන්නය. ( නෙතං මම, නෙසො හමස්මි, නෙසො මෙ අත්තා’ති.) ලෝකය අනිත්‍ය, විනාශ වන්නේය, එබැවින් දුක් සහිතය, අනාත්ම යැයි අසා තැති ගන්නා හෙතෙම ‘මට ධන ලාභයෙක් විය. දැන් එය නැත. මට ලැබෙන්නට ඇති ධනයද නොලැබේ යැ’ යි ශෝක කරයි; ක්ලාන්ත වෙයි ; වැළැපෙයි; හඬයි; මුළාවෙයි. එහෙත් බුදුබණ දන්නා, ඇති තතු දක්නා තැනැත්තේ එසේ ලෝක ධර්මයන් වැනසේ යැයිද දුක් සහිත යැයි ද මගේ යැයි සැලකිය නොහැක්කේ යැයි ද දනී හෙතෙම ශෝක නොවේ. ක්ලාන්ත නොවේ. නොවැළැපේ; නොහඬයි; මුලා නොවේ.


    උපුටාගැනීමකි
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,474
    1,070
    113
    srilanka
    මහණෙනි, මෙසේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, අස්ථිරයහ, සදාකාලික නොවන්නෝය. ( එබැවින් ) සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම සුදුසුය. නොඇල්මම සුදුසුය. මිදීමමැ සුදුසුය.”

    තුන්ලෝකයටම ගුරුවරයා වූ බුදුපියාණන් දේශණා කරන ලදී

    බුදු සරණයි සියලු දෙනාට
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    11.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මහණෙනි, මෙසේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, අස්ථිරයහ, සදාකාලික නොවන්නෝය. ( එබැවින් ) සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම සුදුසුය. නොඇල්මම සුදුසුය. මිදීමමැ සුදුසුය.”

    තුන්ලෝකයටම ගුරුවරයා වූ බුදුපියාණන් දේශණා කරන ලදී

    බුදු සරණයි සියලු දෙනාට