මහා සතිපට්ඨාන සූත්‍රය....

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
මහා සතිපට්ඨාන සූත්‍රය....

සතිපට්ඨානය ළමාවියේ සිට පුරුදු කරන්න...

ජීවිතයේ සෑම අවස්ථාවකට ම සතිපට්ඨානය සම්බන්ධ කරගන්නැ යි සතිපට්ඨානය හැදෑරූවකු කරන ආයාචනයකි.

දැනට අවුරුදු පහකට පමණ පෙර පහළ කඩුගන්නාවේ ‘පාරමිතා’ බෞද්ධ මධ්‍යස්ථානයට නිතර නිතර යෑමට පුරුදු ව සිටියෙමි. එහිදී එක් ස්වාමීන් වහන්සේ නමක් ‘මහා සතිපට්ඨාන සූත්‍රය’ කටපාඩමින් කියන අතර එහි තේරුම, පදානුගත ව, සිංහලෙන් කියැවූ හ. ඒ සඳහා පැය දෙකක පමණ කාලයක් ගත විය.

එමෙන් ම තවත් එක් දිනක් පේරාදෙණියේ පරණ ගලහපාරේ පිහිටි තැපැල්හලට මුද්දර ගැනීමට ගිය විට, එහි ඇතුළු කාමරයක කුඩා ළමයකු, මහා සතිපට්ඨාන සූත්‍රය කටපාඩමින් කියවන කැසට් පටයකට කන් දුන්නෙමි. තැපැල්හලේ සේවය කළ එක් මහතකු, ඉහළින් සඳහන් කළ පාරමිතාවේදී හමු වූ හෙයින් එම කැසට් පටයේ පිටපතක් ඉතා පහසුවෙන් ම ලබාගතිමි. දරුවා ගැන සෙවීමේදී, ඔහු අවුරුදු හතරක කුඩා ළමයකු වූ අතර, මහනුවර අස්ගිරි ප්‍රදේශයේ පදිංචි බවත්, නම ‘රුවන් පතිරණ’ වූ බවත් දැනගතිමි.

ඉහත සඳහන් අවස්ථා දෙක ගැන මගේ කුතූහලය වැඩි වුණු අතර, හයේ පන්තියේ පටන් විශ්වවිද්‍යාලය අවසන් වන තුරු ම පාළිභාෂාව විෂයයක් වශයෙන් හැදෑරූ නිසා මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කරුණු සෙවීමට උනන්දු වූයෙමි. මම පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයට ගොස් සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධ පෙළ, අටුවා හා ටීකා කොටස් කොපි කොට ගෙදර ගෙන ආවෙමි. මේ ගැන තව සෙවීමේදී දීඝ නිකායේ ‘මහා සතිපට්ඨාන සූත්‍රය’ නමින් ද මජ්ක්‍ධිම නිකායේ ‘සතිපට්ඨාන සූත්‍රය’ නමින් ද බොහෝ තැන්වල ‘සතර සතිපඨානය’ නමින් ද මජ්ඣිම නිකායේ එන කොටස් හතරකින් යුක්ත ‘ආනාපානසති සූත්‍රය’ ඇති වීමට හේතු සහගත වූ බව ද දැනගතිමි.

මේ යුගයේ මා විශ්‍රාමික ව සිටි බැවින් මේ ගැන කාලය යෙදීමට ද හැකි විය. මා මුලින් ම කළේ පරිගණකයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය සිංහල අකුරුවලින් මෙන් ම ඉංගී‍්‍රසියෙන් ද, තේරුම් සහිත ව ටයිප් කිරීම යි. මෙසේ කිරීමේදී මුලින් කී ස්වාමීන් වහන්සේ හා සිව් අවුරුදු දරුවා ගැන සිතමින් මට ද මහා සතිපට්ඨාන සූත්‍රය කටපාඩම් විය. මා ටයිප් කළ පිටපත් නැවත කොපි කොට මා දන්නා අඳුනන ස්වාමීන් වහන්සේලාට මෙන් ම ගිහි බවතුන්ට ද දුනිමි. එක් පිටපතක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී අපට පාළි ඉගැන්වූ මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට, පසුකලකදී ධම්මවිහාරී හිමි නමින් මහණ වී ඉන්නා කාලයේ ගොසින් පූජා කළෙමි. එතුමෝ ඊට සතුට පළ කළහ.

මෙයින් සතුටට පත් වූ මම සතිපට්ඨාන සූත්‍රය ගැන තවතවත් හදාරන ගමන්, එය සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ කරගැනීම ගැන ද සෙවුවෙමි. එහිදී මට පෙනුණේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන කොටස් හතරින් හෙබි සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටස, එනම් ‘කායානුපස්සනාව’ මිනිස් දිවියේ බාහිර මෙන් ම ඇතුළු දිවිය ද හොඳින් සකස් කරගැනීමට බෙහෙවින් උපකාර වන බව යි.

‘කායානුපස්සනාවේ’ කොටස් හයක් තිබේ. කායානුපස්සනාව යනු කයෙහි ඇති විවිධ හැසිරීම් රටාවන් ගැන සොයාබලා, ඒවා ජීවිතය යහමඟට යෙදවීමට උපමා සහිත ව කරුණු විස්තර කිරීම යි. මුලින් ම එන්නේ හුස්ම ගැනීම හා හෙළීම ගැන යි. දෙවනු ව අපේ ප්‍රධාන ඉරියවු ගැන යි. තුන්වැනි ව අනුඉරියවු ගැන ය. හතරවැනි ව සාම්ප්‍රදායික වශයෙන් හැඳින්වෙන සිරුරේ පා තලවලින් පටන්ගෙන, හිස් මුදුනෙන් කෙළවර වන කොටස් තිස් දෙක ගැන ය. පස්වැනි ව සිරුර සෑදී ඇති හැම ජීව අජීව වස්තුවක ම අඩංගු ධාතු වශයෙන් හැඳින්වෙන කොටස් හතර ගැන සඳහන් වේ. සවැනි ව ප්‍රාණය ඉක්ම ගිය මළසිරුර පැරැණියන් කළ පරිදි, ඉවත ලූවොත් පොළොවට පස් වන තුරු ම දිටිය හැකි අවධි නවයක් ගැන සඳහන් වේ. මෙසේ බලන කල අප උපන් දා සිට මළ පසු පොළොවට පස් වන තුරු ම කාලය පිළිබඳ ව ‘කායානුපස්සනාව’ විස්තර කරයි.

මීළඟට මේ එක-එකක් ගැන සොයා බලමු. ‘ආනාපානසති’ නමැති මුල් කොටසින් ‘ආන’ හුස්ම ගැනීම හා ‘අපාන’ හුස්ම හෙළීම විස්තර කැරේ. උපන්දා සිට මැරෙන තුරු ම නිරායාසයෙන් ම කැරෙන මෙම ක්‍රියාවලිය ගැන සතර විධියකට සිතිය යුතු යැ යි කියැවේ. දිගට කෙටියෙන් හුස්ම ගැනීම හා හෙළීම, දක්‍ෂ ලී වඩුවෙක් හෝ ඔහුගේ අතැවැසියෙක් බෙර ඇසක් ලියවීමේදී අත දිගහැර කරනවා මෙන් ම දත්කූරක් වැනි දෙයක් ලියවීමේදී අත අඩුවෙන් දිගහැර කරන්නා වැනි යැ යි උපමාවක් යොදමින් විස්තර කරයි. මුළු ක්‍රියාවලිය ගැන ඉතා හොඳින් සිත යොදමින් හික්මීමකින් කළ යුතු බව කියැවේ.

මෙසේ හුස්ම ගැනීම හා හෙළීම හොඳ අවධානයකින් කිරීමෙන් පෙණහලුවලට මෙන් ම හදවතට ද දැනෙන සැනසුම බාහිර මෙන් ම අතුළු ජීවිතයට ද හිතකර බැව් පෙනේ. සිරුරේ ලේ ගමනාගමනය හරි හැටි කැරෙන අතර මොළය හොඳින් වැඩ කරන හෙයින් බුද්ධිය හෝ නුවණ වැඩීම ද සිදු වේ.

කායානුපස්සනාවේ දෙවැනි කොටසින් ප්‍රධාන ඉරියවු වූ ගමන් කිරීම, එක තැනක හිටගෙන හිඳීම, හිඳගැනීම, නිදාගැනීම හා කය පිහිටුවන අනෙකුත් ප්‍රධාන ඉරියවු ගැන හොඳින් මෙනෙහි කළ යුතු ය.

තෙවැනි කොටසින් උපප්‍රධාන ඉරියවු පිළිබඳ ඉතා හොඳින් දැනගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු ය: ඉදිරියට යෑම හා ආපසු ඒම. ඉදිරිපස බැලීම හා පැති බැලීම. අත් පා දිගහැරීම හා හැකිළීම. විවිධ ඇඳුම් ඇඳීම (භික්ෂූන්ට පාත්‍ර හා සිවුරු දැරීම). විවිධාකාර කෑම හා බීම ගැනීම. මලමූත්‍ර පහ කිරීම. යෑම්-ඊම්, ඉඳීම්-හිටීම්, නිදීම්-නිදිවැරීම්, කථා කිරීම් හා නිහඬව සිටීම්. මෙසේ ප්‍රධාන ඉරියව් හා උපප්‍රධාන ඉරියවු ගැන බැලීමේදී, සිරුරේ සෑම චලනයක් හා ඉන් කැරෙන කාර්යයන් ඉතා හොඳින් දැනගෙන කළ යුතු වන්නේ, තමාගේ හැසිරීම් රටාව හොඳින් කාර්යක්‍ෂම ව හා ඵලදායී ව කිරීමට උදව් දෙන හෙයිනි.

සිව්වැනි කොටසින්, සිරුරෙහි තිස්දෙකක් වූ කොටස්වල වෙනස් වන භාවය නිසා ඇති වන අශුභත්වය ගැන සිතීමෙන් සිරුරට ඇති අධික ඇල්ම තුනී වන අතර, තමන් තුළ ඇති අධිමානය ලිහිල් කැරේ.

පස්වැනි කොටසින් ඕනෑ ම ජීව මෙන් ම අජීව වස්තුවක ම අඩංගු පඨවි – තද ගතිය; ආපෝ - තෙත් ගතිය; තේජෝ - උණුසුම් ගතිය; වායෝ - වායු ගතිය යන හතර ගැන මතක් කිරීමෙන්, තම සිරුර ද අමුතු දෙයක් නොවන බව වටහාගනී.

සවැනි කොටසින්, මළ සිරුර පැරැණි සිරිතට අනුව ඉවත ලූවොත් ක්‍රමයෙන් ගෙවී ගොස් පොළොවට පස් වන හැටි විස්තර කැරේ. දැන් කැරෙන සිරිත් අනුව නම් මේ ගැන සිතීම වත් අපහසු තරම් ය. එහෙත් සමහර පළාත්වල තව ම මළ සිරුරට කැරෙන අවසාන කෘත්‍යය ‘කැලේ ගැසීම’ නමින් හැඳින්වේ. කෙසේ හෝ මළ සිරුරට යන කල දසාව තමාගේ සිරුරට ද පැමිණෙන බව දැනගැනීමෙන් මරණය ගැන ඇති වන අස්ථාන බිය නැති කොට, එය ස්වාභාවික දෙයක් බව වටහාගැනීමට උපකාර වේ.

ජීවත් ව සිටින තුරු ම මෙසේ ‘කායානුපස්සනාව’ ගැන හොඳ සිහියෙන් සිටියොත් ජීවිතය පහසුවෙන් ගත කිරීමට හැකි වනු නොඅනුමාන ය. එය පුරුද්දක් කරගත හොත්, මුලදී කල් ගත වුවත්, පසු ව තමන් කරන කියන හැම වැඩකදී ම ඒ ගැන සිතීමට හුරු-පුරුදු වීමෙන්, බුදු දහම ප්‍රගුණ කිරීමේ අවසාන ඉලක්කය වූ නිවන් අවබෝධ කරගැනීමට උදවු වන නුවණ උපදවාගැනීමට ද හැකි වනු නොඅනුමාන ය.

පැරැණි ඉන්දීය සමාජයේ මෙය කොතරම් ප්‍රචලිත ද කිව හොත්, අටුවා ග්‍රන්ථවල සඳහන් පරිදි, වතුර ගෙන ඒමට ළිඳට ආ අය පවා මේ ගැන කථා කළ බැව් කියැවේ. කෙනකු සතිපට්ඨානය ගැන නොදැන සිටියොත් ඔහුට නින්දා කොට ඒ ගැන මතක් කළ බැව් කියැවේ. අද වැනි කාර්යබහුල සමාජයක ජීවත් වීමේදී ඇති වන මානසික ආතතිය ද අඩු කරගැනීමට මෙය උපකාර වනු නියත ය. දිනපතා පත්‍රවල සාර්ථක දිවියක් ගෙවන පුද්ගලයන්ගේ චරිත රටා ගැන කියවන විට ඔවුන් ඉහත සඳහන් කරුණු නිරායාසයෙන් ම අනුගමනය කළ බවක් හැඟේ.

ඉහත සඳහන් කරුණු අනුව සමාජයේ ඕනෑ ම තරාතිරමක පුද්ගලයකුට, වයස පවා නොබලා, අනුගමනය කළ හැකි බැවින්, කුඩා කල පටන් ම දරුවන්ට හුරු-පුරුදු කිරීම අගේ කොට සැලැකිය හැකි ය. දැනට සතිපට්ඨාන සූත්‍රය වැඩියෙන් ම භාවිත වන්නේ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ විට ළඟ ඉඳගෙන සජ්ඣායනා කිරීමට බැව් පෙනේ. ඇතැම් විට පෙර දිවියක පුරුද්දක් අනුව මෙම දිවියේ, හතරවැනි වියේදී සතිපට්ඨානය මතක් වූවා නම්, ඉහත කී පරිදි කුඩා දරුවන්ට පවා මෙය හුරු-පුරුදු කිරීම අපහසු දෙයක් නො වේ යැ යි හැඟේ.

ආචාර්ය බී. සිරිසේන


 

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    නිතර අහන්න නොලැබෙන මතෘකාවක්,

    ගොඩාක් පින්, තේරුම් ගන්න පුලුවන් විදියට ලියල තියෙනව.