අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

    අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!
    අද සැප්තැම්බර් 16.. මෙච්චර කාලෙකට මං ලියපු කිසිදෙයක් draft එකේ නතර වෙලා තිබුනේ නෑ.. හිතුනද ලියුව පබ්ලිෂ් කරා.. එත් පහුගිය ටිකේ පොස්ට් දෙකක්ම draft විදියට ඉතුරු වෙලා තියෙනවා.. මේකත් කොච්චර දුර ලියයිද දන්නේ නෑ.. ලියන්නම හිතාගෙන තමයි පටන් ගන්නේ.. බැරි උනොත් මට සමාවෙලා උඹ හිතාගනින් මචං 'මේකා මේ උත්සහ කරේ මං ගැන ලියන්න.. ඒත් අවුරුදු 14කට පස්සෙත් මූට හිත හදාගෙන ඒ ගැන ලියාගන්න බැරුවයි ඔය ලිවිල්ල පැත්තක තියල අඬන්නේ' කියල.. ඒකත් හරියට මීට අවුරුදු 18කට කලින් බැච් එකේ පලවෙනි නිවාඩුව ගිහින් එනකොට උඹ හදාගෙන ආපු ලෙටර් පෑඩ් එකේ සුදු කෙලි පොඩ්ඩියක්ගේ රුපයක් දාල එතනින් ලියල තිබ්බ උඹේ මේ අදහස වගේ නේද?

    "We are going to sea to protect this paradise; If we won't come back, please tell them that we sacrificed our lives on behalf of their future..."

    2001 සැප්තැම්බර් 16.. කන්කසන්තුරේ වරායට අනුබද්ධ 'උත්තර' නාවික කඳවුරේ දියත් නිළධාරී නිවාසය මළ පාලුයි. දවසෙම මුහුදේ ඉඳන් ඇවිත් මහන්සි වෙලා හිටියත් නිදා ගන්න හිතන්නවත් බෑ... දවසෙම මම හිටියේ මුහුදේ. ඒක 'බේබි ලැන්ඩා' විදියට ව්‍යවහාරයේ හඳුන්වන Landing Craft Utility (LCU) වර්ගයේ කුඩා යාත්‍රාවක.. 2001 අප්‍රේල් මාසේ 21 උදේ මාරාන්තික මුහුදු සටනකින් පස්සේ මං සේවය කරපු P 495 ඩෝරා යාත්‍රාව සදාකාලිකවම මුලතිව් මුහුදේ සැඟවිලා ගියායින් පස්සේ මට තාවකාලිකව හම්බුනු 'සංක්‍රාන්ති' පත්වීමක් නිසා මට උනේ මහා මුහුදේ ආරක්‍ෂිත ස්ථානයකට වෙලා පේදුරු තුඩුවට ඔබ්බෙන් මුහුදේ වෙන මාරාන්තික සටන 'සෙට් එකේ' අහගෙන ඉන්න.. ඒ තරම් අමාරුවෙන් ගෙවපු දවසක් එතෙක් මගේ ජිවිතේ ගෙවිලා නෑ මගේ හිතේ.

    (එදා 95 යාත්‍රාව ඉරණම් පැට්‍රොල් එක යද්දී මම KKS වල නතර උනා.. ඒ නාවික ගුවන් බල ඇණියක් ඒක කිරීමේ පළමු පියවර ලෙස නාවික නිලධාරීන් 8 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට කල උත්සාහයේ එක් පියවරක් ලෙස අපිට ගුවන් හමුදා වෛද්‍ය පරීක්ෂණයකට හදිසියේ මුහුණ දීම සඳහා ගුවන් මගින් රත්මලානට පැමිණීමට සිදුවීම නිසයි. ඇත්තටම ඒ වනවිටත් 'ලයන් එයාර්' ආයතනය මගින් කරන ලද Aptitude ටෙස්ට් එකක් හා පුර්ණ වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් සමත් වී අපි 8 දෙනෙකු ඉන්දියාවේ අදාල පුහුණුව ලැබීම සඳහා තොරා ගෙන තිබුනත් පසුව වියදම් අඩුකර ගැනීම සඳහා අදාල පුහුණුව ගුවන් හමුදාව විසින් ලබා දීමට ගත ප්‍රතිපත්තිමය හදිසි තීරණයක් නිසා අපිට නැවත ගුවන් හමුදාව මගින් පවත්වනු ලැබූ සම්පුර්ණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුනා.. එයා එසේ නොවුනා නම් මේ සටහන ලියන්නට මා තවත් ජිවතුන් අතර නෑ..)

    පෙරදින රාත්‍රියේ ට්‍රින්කෝ ඉඳල 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' නැව ආමි එකේ 1300 කට අධික පිරිසක් නංවාගෙන KKS දක්වා යාත්‍රා කරමින් තිබුනා.. ඒ සඳහා ආරක්ෂාවට නාවික හමුදාවේ ගන් බෝට් ලෙස හඳුන්වන ප්‍රමාණයෙන් විශාල කුඩා නැව් දෙකක් යොදවා තිබුණා.. මේ කොන්වෝයි එක පේදුරු තුඩුවේ සිට ඊසාන දිගින් නාවික සැතපුම් 50ක් පමණ ආසන්න වන විට උතුරු නාවික විධානයට අයත් තවත් ගන් බෝට් එකක් හා වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ද එහි ආරක්ෂාවට එකතු වුනා. මේ ගන් බෝට් වලින් අධික වෙඩි බලයක් ලබා දිය හැකි නමුත් වේගයේ මද කම හා හැසිරවීමේ අපහසුතා නිසා අධිවේගී කුඩා LTTE ප්‍රහාරක හා මරාගෙන මැරෙන යාත්‍රා සඳහා හොඳ ටාගට් එකක් වුනා මිස ඒ හා සටන් කිරිමට හැකියාවක් තිබුනේ නෑ. ඊලාම් යුද්දය පුරාවටම LTTE මුහුදු කොටි තර්ජනයට සාර්ථකව පහරදිය හැකි ප්‍රහාරාත්මක බල ඇණිය උනේ ඩෝරා යාත්‍රා බලගණය පමණයි.

    මේ වනවිට උතුරු නැගෙනහිර මුහුදේ නොනවතින නාවික මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුනා.. LTTE සංවිධානය මුහුදු මගින් ආයුද ප්‍රවාහනය කිරීම වැලැක්වීම සඳහා M (මුලතිව්) හා C (චලෙයි) යන ප්‍රධාන LTTE මුහුදු කොටි කඳවුරු වලට එපිටින් ඩෝරා යාත්‍රා දෙක බැගින් දවස පුරාම තුන්සිය හැටපස් දවසෙම රඳවා තිබුණා. මේ නිසාම මුහුදු කොටින් මේ ප්‍රධාන කඳවුරු වල මෙහෙයුම් අඩපන කරමින් චුන්ඩිකුලම්, වෙත්තිලකර්නි හා නාගර්කෝවිල් වැනි අවශේෂ කොටි කඳවුරු හරහා ප්‍රහාර දියත් කිරීමේ ප්‍රවණතාවයක්ද නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක් කරා..

    ප්‍රයිඩ් ඔෆ් සවුත් මෙසේ ආරක්ෂිතව රැගෙන යන අතර පේදුරුතුඩුවේ සිට ඊසාන දෙසට නාවික සැතපුම් 25ක් පමණ තිබියදී එහි ආරක්ෂාවට යොදවා තිබු උදාර නැවේ අණදෙන නිළධාරී තැනගෙන් C හි සිටි P 462 ඩෝරා යාත්‍රාවට හදිසි ඇමතුමක් ලැබුණා.. එයින් කියවුනේ ඔවුන් ආසන්නයේම කුඩා යාත්‍රා සමුහයක් සක කටයුතු ලෙස දිස්වන බවයි. ඒ හා සැනෙකින්ම වාගේ ඒවා මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා බවත් ඔවුන් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ඉලක්ක කරගෙන පහර දීම ආරම්බ කොට ඇති බවත් දැන්වුනා. මේ වනවිට වෙලාව පාන්දර 4.50 පමණ වන්නට ඇති. එසැනින් ක්‍රියාත්මක වූ P 462 යාත්‍රාව හා P 442 යාත්‍රාව චලෙයි සිට අදාල ස්ථානය කරා අධික වේගයෙන් යාත්‍රා කිරීම පටන් ගත්තා.. ඒ සමඟම ඊට එපිටින් M හි සිටි P 497 හා P 490 ඩෝරා යාත්‍රා දෙකත් සටන පවතී ප්‍රදේශය වෙත වේගයෙන් තම යාත්‍රා මෙහෙයවූවා. C ස්ථානයෙන් පිටත්වූ යාත්‍රා දෙක උපක්‍රමිකව මඟ නවත්වා ගැනීම සඳහා නාගර්කෝවිල් හි සිට මුහුදු කොටි යාත්‍රා හතරක් ඒ දෙසට වේගයෙන් යාත්‍රා කරනු ලැබුවත් එහි වුවමනාව වන්නේ ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලැබෙන ආරක්ෂාව අඩපණ කිරීම බව දන්නා නාවික යාත්‍රාවෝ උපක්‍රමිකව ඒවා මග හරිමින් ප්‍රධාන අරමුණ වූ හමුදා පුද්ගලයින් 1310 ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ආරක්ෂා කිරීම වෙනුවෙන් හැකි උපරිම වේගයෙන් ඒ දෙසට යාත්‍රා කරා.

    උදැසන 0605 පැය වන විට p 462 හා p 442 ඩෝරා යාත්‍රා දෙක අදාල සටන් පැවතී ස්ථානයට ලඟා වන විට මුහුදු කොටින් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවට මීටර් 600ක් පමණ ආසන්නයට ලං වෙමින් මිමි 23 බර අවි වලින් නැව් බඳට වෙඩි තබමින් සිටියා.. හැසරවිමේ අපහසුතා මැද වුවත් නාවික හමුදාවේ උදාර, එඩිතර ii හා ජගතා යන ගන් බෝට් තුනත් වෙඩි බලයෙන් හීන p 251 හා p 252 යන වෙරළාරක්ෂක යාත්‍රා දෙකත් විස්සකට අධික වූ අධිවේගී මුහුදු කොටි ප්‍රහාරක යාත්‍රා හා මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලංවිම වළක්වාගෙන දැඩි පරිශ්‍රමයකින් හා අදිෂ්ටනයකින් යුතුව සටන් වදිමින් සිටියා. ඊට අමතරව ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවේ තට්ටුව මත සිටි යුද හමුදා සාමාජිකයින් තම තමන් අත රැඳි කුඩා මැෂින් තුවක්කු වලින් කොටි යාත්‍රා දෙසට වෙඩි තබමින් තම ශක්තිය හැකි පමණින් කිසිදා අත් නොවිඳි මුහුදු සටනකට දායක කරමින් සිටි බවද සඳහන් කල යුතුමයි.

    p 462 හා p 442 වේග ප්‍රහාරක මුර යාත්‍රා හෙවත් ඩෝරා යාත්‍රා දෙක සටනට අවතීර්ණ වීමත් සමඟම සටනේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගත්තා.. තම රේඩාර් තිරයේ දක්නට ලැබෙන රුපයෙන් හා උදාර නැවේ අණදෙන නිළදාරි තැනගේ විස්තරයත් සමඟ යුද පිටියේ චිත්‍රය මනසින් මවා ගෙන සිටි ඩෝරා යාත්‍රා දෙකේ අණභාර නිලදාරීන් දෙපල සිය අත්දැකීම් බහුල සටන් කරුවන් අමතමින් ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් කෙලින්ම තම යාත්‍රා මුහුදු කොටි යාත්‍රා හා ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාව අතරට යාත්‍රා කලේ දැවැන්ත කොටි වෙඩි වරුසාවට නොපරදින එවන්ම වූ වේදී වරුසාවක් මුහුදු කොටි යාත්‍රා දෙසට එල්ල කරමින්මයි.. සුළු වෙලාවකින් p 497 හා p 490 ඩෝරා යාත්‍රා දෙකද මුහුදු දිය දෙබෑ කරමින් සීය සගයින් හා එක්වෙමින් ද්වන්ධ සටනට අවතීර්ණ වත්ම ඊලම් යුද ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ එක් දැවැන්තම මුහුදු සටනකට දෙපාර්ශවයම එක්වී සිටියා.

    යුද හමුදා සාමාජිකයින් 1310ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව.. එදා ප්‍රහාරයේ LTTE යේ දැවැන්ත ඉලක්කය.. උතුර හා නැගෙනහිර අතර එකම සම්භන්දය වූ මුහුදු මාර්ගය අඩපණ කරමින් යාපනය හුදෙකලා කර ගැනීම.. යුද හමුදා සාමාජිකයින්ගේ මානසිකත්වය බින්දුවට ඇද දමමින් සටනේදී පහසු ගොදුරු බවට ඔවුන් පත් කර ගැනීම.. නාවික හමුදාව සතුවූ මුහුදේ ඒකාධිකාරිය තම පාලනයට නතු ගොඩබිම් ප්‍රදේශ ආසන්න මුහුදේදී තම සතු කර ගැනීම.. නාවික හමුදාවට දැවැන්ත පරාජයක් ඒක කිරීම මගින් තම මුහුදු සටන් හැකියාව ලොවට හඬගා කීම.. මේකි නොකී අතිශය වැදගත් භාරදූර වූ මුහුදු මෙහෙයුම මුහුදු කොටි නායක සුසෙයි විසින් නාගර්කෝවිල් හි මුහුදු කොටි කඳවුරේ සිට ඍජු අණදීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබු අතර කිලිනොච්චියේ සිටිමින් සටනට උපදෙස් දෙමින් සිටි ප්‍රභා ගේ එකම අණ වුයේත් 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' ම තමාට ලබා දෙන ලෙසයි. LTTE මුහුදු කොටින් තම නායකයින්ගේ අණ පහසුවෙන් බැහැර කිරීමට සුදානමින් සිටියේ නෑ..

    උතුරු මුහුදේ මෙයාකාරයෙන් දරුණු සටන් ඇවිලෙමින් යද්දි උතුරු නාවික විධානයේ හා නැගෙනහිර නාවික විධානයේ සියලු නෞකා හා ආයතනද හදිසි අවස්ථාවකට සුදානම් කෙරුණු අතර තවත් ඩෝරා යාත්‍රා හතරක් කන්කසන්තුරය වරායෙනුත් තවත් ඩෝරා යාත්‍රා 4ක් ට්‍රින්කෝ වලිනුත් සටනට එක්වීම සඳහා ක්ෂණිකව ගමන් අරඹා තිබුනා. කන්කසන්තුරයෙන් පිටත්වූ යාත්‍රා වලට පැයක පමණ කාලයකදී සටන් ප්‍රදේශයට යා හැකි නමුත් ට්‍රින්කෝ සිට එම ස්ථානයට ළඟ වීමට අවම වශයෙන් පැය 4ක කාලයක් ගතවෙනවා.

    මේ ආසන්න මුහුදේ එකිනෙකා කා කොට ගන්නා මුහුදු සටන් වචනයෙන් විස්තර කල නොහැකි තරම්ම ඉතා භයන්කරයි. සැඟවීමට හෝ මුවා වීමට තැනක් නැති මහා මුහුදේ වේගයෙන් එකිනෙකා දෙසට යාත්‍රා හසුරවමින් බර අවි වලින් වෙඩි තබා ගන්නා අතර මුලින්ම නිවැරදි ඉලක්කය ගන්නා එකා ජය ගන්නවා. එදා මෙම ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාවේ ගමන්කළ යුද හමුදාවේ 55 වන සේනාංකයේ කෝප්‍රල් තිලකරත්න එස්.එම්. සෙ. 300601 සෙබළා 2001 සැප්තැම්බර් මස 25 වන දින නාවික හමුදාපති තුමාට ලිපියක් එවමින් තම කෘතවේදීත්වය මෙසේ පළ කරනවා.

    "නාවික ප්‍රහාරක යාත්‍රා වල නිළදාරින්/ සහෝදර නැවියන් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කල ආකාරය විස්මය දනවන දසුනක් විය. විශාල යුද හමුදා සෙබල පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් කල අයුරු අප ජිවිත කතාවේ කිසිදිනෙක නොමියෙන මතක සටහන් වී අප හදවත් තුල සදාකාලිකවම තැන්පත් වී ඇත.
    .... රුදුරු දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ට එරෙහිව සීය අවි මෙහෙයවමින් ඔවුන් සටන් කල ඒ නිර්භීතබාවයට හා දැක්වූ එවන් දස්කම් විස්කම් වෙනුවෙන් මෙලොව පුදන්නට ගෞරව හා සම්මාන මෙතෙක් බිහිවී නොමැති බව මාගේ විශ්වාශයයි...
    නාවික යාත්‍රා වල සිටි සහෝදර නැවියන් එකා පිට එකා මැරි වැටෙමින් ජිවිත පරිත්‍යාග කරද්දී පවා රුදුරු ත්‍රස්තවාදී බෝට්ටු උඩින් තම යාත්‍රා පදවමින් නොසැලෙන අරමුණක පිහිටලා ප්‍රහාරය දියත් කල ආකාරය අප හදවත් තුලින් කිසිදා මැකී නොයන අතිශය බිහිසුණු දසුනකි. ගොඩබිමේ යුද පෙරමුණේ යුද්දයේ බිහිසුණු බව අප අත්විඳ ඇතත් කිසිදු හව් හරනක් නැති මහා සයුර මද මෙවන් වික්‍රමයන් කල ඔබගේ වීර වික්‍රමාන්විත පුතුන් අප හදවත් තුල සදාකාලික වීරයින් සේ රැඳී සිටිනු ඇත.." 55 වන සේනාංකය යනු බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ අවසන් සටනේ පෙරමුණ ගත් විරෝදාර සෙබළුන් රැසක් සපිරි යුද හමුදාවේ එක් සාර්ථකම ප්‍රහාරක සේනාංකයකි.

    මේ අතර ප්‍රයිඩ් ඔෆ් සවුත් රැගත් නාවික හමුදා ගන් බෝට් සටන් පවතී ප්‍රදේශයෙන් මදින් මද ඈත් වන්නට වීම LTTE යට දැනෙන්නට ඇත. ඔවුන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව තව දුරටත් මුහුදේ තබා ගැනීමේ හැකියාව අවම වෙමින් පවතින්නට ඇතැයිද සිතිය හැක. මුහුදු කොටි යාත්‍රා හා ඩෝරා යාත්‍රා අතර සටන් ඇවිලෙද්දී කොටි බෝට්ටු අතරින් වේගයෙන් මතුවුණු කුඩා මරාගෙන මැරෙන බෝට්ටුවක් අවි බලයෙන් හා වේගයෙන් අඩුවූ p 251 වෙරළාරක්ෂක යාත්‍රාව හඹා ගොස් පේදුරුතුඩුව මුහුද බිහිසුණු පිපිරුම් හඬකින් කම්පා කරවමින් එහි ගැටී පුපුරුවා ගත්තේය. ඒ සමඟම තම පමණට වඩා වෙර ගෙන එතෙක් වෙලා අභිතව සටනේ නියැලී දිවි දෙවෙනිකොට සටන් කල ඒ අභීත විරු පුතුන් එකොලොස් දෙනෙකු පිරිවරාගෙන ඒ යාත්‍රා තෙමෝ උදැසන නැගෙන හිරු කිරණ පරයා නැගුනු කළු දුමාරය මැදින් උතුරු මුහුදේ සදහටම සැඟවී ගියාය.

    ඒ මේ සටන මැද නාවික හමුදාවට සිදුවූ පළමු අහිමිවීමයි. සටන තවමත් ඇවිලෙමින් පවතී. LTTEය පසු බැසීමට සුදානම් නැත. ඔවුන්ගේ මෙහෙයුම මාරාන්තිකය.. ඔවුන් මාස ගණනාවක් තිස්සේ මේ දැවැන්ත මෙහෙයුමට හොඳින්ම සුදානම් වී පැමිණ ඇතුවට සැක නැත. කොතරම් අලාභ හානි මැද්දේ වුවද නැවත නැවත ඔවුන් නාවික යාත්‍රා හඹා එති. පෙරදින රාත්‍රියේ සිට මුහුදේ නිදි වරමින් සිටි ඩෝරා යාත්‍රාවල ඉන්දන උණ්ඩ හා නැවියන්ගේ සටන් ශක්තිය හිනා වෙමින් යයි.. හදිසියේ පිටත්වූ යාත්‍රා වලද සමහර නිලදාරීන් හා නැවියන් නිවාඩු ලබා ගොස් සිටි නිසා ඒ වෙනුවෙන් ඒක කර ගන්න ලද කණ්ඩායම් වල 100% ක්ම යුද සුදානම බලා පොරොත්තු විය නොහැක. ට්‍රින්කෝ වලින් පිටත්වූ යාත්‍රා තවමත් සටන් බිමට ලඟා වී නැත.
    100% ක්ම නොපිරිහෙලා ඉතිරිව ඇත්තේ චිත්ත ශක්තිය පමණි. ට්‍රින්කෝ වලින් එන යාත්‍රා සටන් බිමට එනතුරු එය එසේම මුදා හල යුතුය.

    මේ වනවිට ට්‍රින්කෝ වලින් පිටත්වූ ඩෝරා හතර සටන් බිමට ආසන්න වෙමින් සිටි නිසා p 465 යාත්‍රාවේ අණභාර නිළධාරී ලුතිනන් ප්‍රියන්ත සංඥා යන්ත්‍ර හරහා සටනේ විස්තර සියල්ල ලබාගෙන කෙලින්ම සටන අවතීර්ණ විය. වෙඩි බලය හීන වෙමින් අපහසුවෙන් සිටි සෙසු නාවික හමුදා යාත්‍රා අභිබවමින් සටන් පෙරමුණට බට p 465 යාත්‍රාව සතුරු යාත්‍රා ආසන්නයටම යමින් දැවැන්ත ප්‍රහාරයක් මුදා හළේය. සැබවින්ම එදා සටනට ට්‍රින්කෝ වලින් පිටත් වූ p 465 ඩෝරා යාත්‍රාවේ තාවකාලික අන්භාර නිලධාරියා වූ ලුතිනන් ගීකියනගේ දොන් ජනක ප්‍රියන්ත යුද්දයට ගිය කල 'මැරෙනවා පෙන්නේ නැති' ටයිප් එකේ බුලට් එකකි. නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීමේ 'සුපිරි චරිතයක්' වූ ප්‍රියන්ත පසුගියදා කරුවලගස්වැවදී සිදුවූ වාහන අනතුරකින් නොසිතු අයුරින් ජිවිතයෙන් සමුගත් නමුත් එතෙක් මෙතෙක් නාවික හමුදාව බිහිකළ පළමු පෙළ 'සටන්කරුවෙකු' ලෙස අභිමානයෙන් සටහන් කල හැකිය. . මොහුට මෙලෙස සතුරාට පන්න පන්න ප්‍රහාරය එල්ල කිරීමට ඒ වනවිට ප්‍රදාන අවිය සම්භන්ද පරිගණක පද්දතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරමින් නිවැරදි ඉලක්කයන්ට නොනවතින වෙඩි බලයක් ලබා දුන් p 465 යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ උප ලුතිනන් සමීර විතාරණ ගේ සටන්කාමිත්වය හා රණ ශුරත්වය නොමද පිටුවහලක් විය. යාත්‍රාවේ නිලධාරීන්ගෙන් උප ලුතිනන් සමීර පමණක් එදා ඒ වන විට යාත්‍රාවේ රැඳී සිටි නිසා OIC ලෙස ලුතිනන් ප්‍රියන්තත් සහයක නිලධාරියෙකු ලෙස උප ලුතිනන් තමින්ද කුමාරත් සමඟ සටනට සම්භන්ද වීම සඳහා හදිසියේ පිටත් වී තිබුණි. උප ලුතිනන් සමීර විතාරණත් උප ලුතිනන් කුමාරත් යනු මගේ බඳවා ගැනීමේ මගේම සහෝදර නිලධාරීන් දෙපළකි.

    p 465 යාත්‍රාවේ ප්‍රහාර හමුවේ කොටින්ට යන එන මං නැති විය. සිසිකඩ විසිර ගිය කොටි බෝට්ටු තනිකර ගනිමින් සෙසු නාවික හමුදා යාත්‍රා විසින් කොටින්ට ඉතා විශාල ලෙස හානි කරමින් තිබිණි. එහෙත් හැකියාව හා නිර්භීතකම තරමටම වාසනාව p 465 යාත්‍රාවේ නැව් කණ්ඩායම සතු නොවුන විය හැක. කොහෙන්දෝ ඉගිලී ආ සතුරු උණ්ඩයක් නැව් බැඳ පසාරු කරමින් ගොස් ප්‍රධාන එන්ජින් යන්ත්‍ර පාලනය කරන පුවරුවේම පතිත වී පුපුරා ගියේය. එයින්ම ප්‍රධාන එන්ජින් යන්ත්‍ර දෙකම අඩපණ වූ අතර ක්ෂණයකින් සතුරු යාත්‍රා මැදම p 465 වේගය අඩාල වී ගොස් සම්පුර්ණයෙන්ම නැවතිණි. ලේ රස ඉව වැටුණු රුදුරු ත්‍රස්තවාදීන් සැනෙකින් සීය බෝට්ටු වල ප්‍රධාන අවි p 465 දෙසට මානා වේදී වරුසා මුදා හරින්නට විය. එහෙත් සටන ඇත හැරීමට හෝ යටත් වීමට ලුතිනන් ප්‍රියන්ත උප ලුතිනන් සමීර ඇතුළු කිසිවෙක් සුදානම් නැත. මව්බිම නැත්නම් මරණය.. එයා ඔවුන්ගේ ලේ වලටම කා වැදි තිබුණි. සතුරු යානා රැසක තනි ඉලක්කය වී තම සගයින් එක එකා මාරි වැටෙද්දී ජිවත් වීම සඳහා නොව ආත්මාභිමානය සඳහා වූ අවසන් සටනට ඔවුහු අවතීර්ණ වුහ. සිරුරු කිඉතු කිඉතු ඉරා දමමින් පියාඹන සතුරු වේදී වරුසා මැද ලේ මස් වැදලි එල්ලෙන සිය සිරුරු යන්තම් වාරු කරගෙන ඔවුහු තම අවසන් අධිෂ්ටානය එසේ වේදී බලයට මුදා හරිද්දී..

    සිය සගයින් සතුරු හමුදාවට මැදිව එක්තැන්ව කරන සටන ක්ෂණයකින් සෙසු ඩෝරා යාත්‍රාවෝ නිරීක්ෂණය කළහ. වහ වහා රොද බැඳුනු යාත්‍රා කණ්ඩායම එක පෙලට යාත්‍රා පෙළගස්වමින් සීය උපරිම වෙඩි බලයා මුදා හරිමින් සතුරු හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරමින් කඩා පනින්නට වූ අතර ලුතිනන් කමාන්ඩර් ටිරෝන් හලල්ඩින් නම් වූ ඒ අභීත සෙන්පතියා හා ඔහුගේ කණ්ඩායම සතුරු වේදී වරුසාවක් මැද්දට සීය p 472 යාත්‍රාව යුහුසුළුව මෙහෙයවමින් p 465 යාත්‍රාව කඹයක ආධාරයෙන් ගැට ගසාගෙන ප්‍රහාර සිමාවෙන් පිටතට ඇදගෙන යාමට තරම් නිර්භීත හා කාර්යක්ෂම වීම නිසා නිලධාරීන් තිදෙනෙකු හා නැවියන් 17 දෙනෙකු සමඟ සදාකාලිකව මුහුදු පතුලේ සඟවා යාමට නොදී p 465 යාත්‍රාව මුදා ගැනීමටත් පලායන සතුරන්ට පන්න පන්න පහරදී ඔවුන්ගේ අරමුණ වූ ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව හා එහි ගමන් ගත් 1310ක් වූ යුද හමුදා සාමාජිකයින්ගේ ජිවිත නිරුපද්‍රිතව කන්කසන්තුරය වෙත රැගෙන ඒමටත් සමත් විය.

    p 465 යාත්‍රාව මුදා ගත් නමුත් මගේ හිතාදර මිත්‍රයා උප ලුතිනන් සමීර විතාරණ ඇතුළු එහි සිටි නැවියන් හත් දෙනෙකුත් ප්‍රහාරයට සහභාගී වූ අනෙක් යාත්‍රාවල සිටි තව නැවියන් තුන් දෙනෙකුත් ලෙස ලක් මාතාවගේ අභීත නාවික පුත්‍රයින් එකොලොස් දෙනෙකු ඒ වන විට දැයෙන් සමුගෙන ගොස් සිටියහ. ඒ උදේ විනාශ වූ p 251 යාත්‍රාවේ සිටි නැවියන් එකොලොස් දෙනාට අමතරව..


    NRX1105.jpg


    ලුතිනන් සමීර විතාරණ.. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් දැයට දායාද කල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 28 වන බඳවාගැනීමේ නම ඉහලට ඔසවා තැබීම සඳහා සීය සුවිශේෂී හැකියාවන් රැසකගෙන් නොමද සේවයක් කල, පවුලේ වැඩිමලා ලෙස සිය නැගෙණිය හා මල්ලිගේ අනාගතය යහපත් කර ගැනීමට හා දෙමවුපියන්ට අත්වැලක් වීමට නොඉවසිල්ලෙන් බල සිටි, මගේ හෘදයංගම මිත්‍රයා.. එදා ඒ උඹේ ලය පසාරු කරගෙන උණ්ඩය කින්ද බසිද්දී අර උඹ ලෙටර් පෑඩ් එකේ ලියු සටහන උඹට මතක් වෙන්න වෙලාවක් නොතිබිච්ච බව මට හොඳටම විශ්වාසයි. ඒත් එදා උඹේ සිතල සිරුර KKS හාබර් එකට අරන් ආපු p 485 ඩෝරා එකෙන් උස්සලා මගේ අතින්ම බිමට බාද්දී මට දැනිච්ච හැඟීම ඒ සටහන වගේම ලොකු පැල්ලමක් වෙලා මගේ හිතේ නොමැකි තියෙනවා මචං.. මේ වගේ සටහනක ඒ හැමදේම ලියාගන්න බෑ.. එදා අප්‍රේල් 21 මගේ ඉරණම් ගමන මග ඇරලා ගුවනින් රත්මලානට යන්න මාත් එක්ක උඹත් ආවත් උඹේ ඉරණම් ගමන මග ඇරලා උඹව කොහෙවත් එක්ක යන්න මට එන්න බැරි උනා මචං. අවුරුදු දා හතරක් කියන්නේ එච්චර ලොකු කාලයක් වෙන්න බෑ.. උඹ අද ඊයෙත් මාත් එක්ක හිනා වෙලා කරට අත දා ගෙන හිටියා වගේ මට මතකයි.. කමක් නෑ.. අපි කවද හරි ආයි හම්බ වෙමු. උඹට ජය!

    මම කල්ලා..

    බ්ලොග් අවකාශයේ කියවූ විශේෂිත සංවේදී ලිපියක් බැවින් එළකිරි මිතුරන් හා බෙදාගැනීමට සිතුවෙමි..සියලු ඇගයීම් කතෘට හිමිවිය යුතුයි.. මම කලේ කියවල කොපි කරපු එක විතරයි..

    කට්ටියටම බලන්න බම්ප් එකක් දාගෙන යන්න . මේ වීරයින් අපි අගය කල යුතුයි.. ගූගල් තියන කට්ටිය ඔරිජිනල් පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න පුලුවනිනම්..

    ගත්තේ මෙතනින්..


    http://kalahitha.blogspot.com/2015/09/pride-of-tears.html


     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    RESPECT

    මගෙ පාසලෙන් රට වෙනුවෙන් දිවි පුදපු තවත් එක් වීර ආදි ශිෂ්‍යයෙක්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා දැන් ගොඩක් අයට මතක නෑ... :sorry:

    යුද්දේ කාලේ මගේ යාලුවෙක් හිටියා ඩෝරා එකක.. ලෙෆ්ටිනන් කමාන්ඩර් කෙනෙක් මට මතක හැටියට... මම ඇහුවා කොහොමද මචං යුද්දෙ කාලේ උඹලා හෙන කට්ටක් කෑවා නේද කියලා.. ඌ කිව්වා "උඹලා තාම කට්ට කියන එක දන්නේ නෑ.. අපිට වුන දේවල් කිව්වොත් උඹලා අඬනවා.. අනිත් එක උඹලට තේරුම් ගන්න බෑ අපි කරපු දේවල් " කියලා.. මම එතනින් එහා මුකුත් කියන්න ගියේ නෑ.. යුද බිමේ හිටපු අය තමයි ඒවා දන්නේ..