සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 5

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 5

    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 5
    විචිකිච්ඡාව දුරලා
    සෝවාන් මගට ළංවෙමු

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    සදාකාලික වූ භවයෙන් භවයට ගමන් කරන නොනැසෙන යම්කිසි ශක්‌ති විශේෂයක්‌ ආත්මවාදය ලෙස සැලකේ. එලෙස සිතීම සක්‌කාය වශයෙන් පිළිගැනෙන බව අප පසුගිය සතියේ සාකච්ඡා කළා.

    එනිසා දිට්‌ඨියයි, විචිකිච්ඡාවයි නැතිවීම සක්‌කාය දෘෂ්ටියෙන් ඉවත්වීම ලෙසයි, සූත්‍රවල සඳහන් වන්නේ. මෙය අත්ථවාද උපාදානය ලෙසද හඳුන්වයි. එනම් සෝවාන් වීමෙන් සක්‌කාය නමැති තත්ත්වය සහමුලින්ම නැතිවෙනවා.

    අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සෝවාන් වීමේදී නැති වන දෙවැනි සංයෝජනය වන විචිකිච්ඡාව පිළිබඳවයි.

    එහෙත් ඊට පෙර රූප, වේදනා, සංඥ සංඛාර, විඤ්Æණ යන පඤ්චස්‌කන්ධ පිළිබඳව තවදුරටත් යමක්‌ පැහැදිලි කරගැනීම අවශ්‍ය යෑයි අපි කල්පනා කරනවා. මේවා පරමාර්ථ වශයෙන් දේශනා කළ දේවල්.

    පඤ්චස්‌කන්ධ යනු අපගේ කටට, කනට, ඇසට හුරු වචනයක්‌. මේ පිළිබඳව විවිධ පොත පත ලියෑවී තිබෙනවා. නූතනයේ නොව ඉතා පැරණි කාලයේදී මේ පිළිබඳව රචිත පොත්වලින් පඤ්චස්‌කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ ලබා ගැනීමට අවස්‌ථාව තිබුණා. එම බොහෝ පොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පදනම් කරගෙන, අටුවා වැනි විවරණයන් උපයෝගී කරගෙන රචනා කර තිබෙනවා. මෙම පොත් පරිශීලනය කිරීමෙන් පඤ්චස්‌කන්ධය පිළිබඳ පැසුණු අවබෝධයක්‌ ලබා ගැනීමට පුළුවන්.

    විශේෂයෙන්ම අපගේ "සමාධි" ලිපිපෙළ සමඟ ඒකාත්මික වී සිටින පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා මේ රටේ පහළ වූ අග්‍රගණ්‍යයේ පඬිරුවනක වූ, ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්‌වූ මහාචාර්යවරයකු වන වල්පොල රාහුල හාමුදුරුවන් විසින් රචිත "බුදුන් වදාළ ධර්මය" නමැති ග්‍රන්ථයේ සඳහන් පඤ්චස්‌කන්ධය පිළිබඳ අර්ථ විවරණය මෙහිදී උපුටා දැක්‌වීමට කැමැතියි. අප පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රාහුල හිමියන්ගේ එම අර්ථ විවරණය සන්සුන්ව කීපවිටක්‌ කියවන ලෙසයි. එසේ කියවීමේදී පඤ්චස්‌කන්ධය පිළිබඳ දල වැටහීමක්‌ ඇතිවේවි. එම අවබෝධයත් සමඟ අනෙකුත් සූත්‍රත් කියවන විට පඤ්චස්‌කන්ධය පිළිබඳව සහමුලින්ම වැටහීමක්‌ නොව පෘථග්ජන පුද්ගලයන් වශයෙන් එය අවබෝධ කරගත යුතු සීමාව පිළිබඳව අපට වැටහීමක්‌ ඇතිකර ගත හැකියි. මෙය අප උපුටා දක්‌වන්නේ එය එතරම් වැදගත් නිසයි. ඒ වගේම පසුගිය සතියේදී අප විසින් ඉදිරිපත් කළ සක්‌කාය දිට්‌ඨිය පිළිබඳ ධර්මානුකූල විවරණය තවදුරටත් මෙමගින් තහවුරු කරගත හැකි නිසයි. මේ පිළිබඳව ස්‌වාමීන් වහන්සේ නමක්‌ වේවා ගිහියන් වේවා කොතෙක්‌ පොතපත ලියා තිබුණත් ඒවායින් බොහොමයක බුදුදහම නිසි ලෙස සඳහන් වෙනවාද යන සැකය අපට තියෙනවා. එවැනි දෝෂ සහිත ග්‍රන්ථ තමයි බොහෝ බෞද්ධයන් පරිශීලනය කරන්නේ. එනිසා අප බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැතියි බෞද්ධ පොතපත පරිශීලනය කිරීමේදී විශාරද ස්‌වාමීන් වහන්සේලා සහ ගිහි උගතුන් ලියන ලද පොතපත පමණක්‌ පරිශීලනය කරන්න කියලා.

    "බුදුන් වදාළ ධර්මයනමැති ග්‍රන්ථයේ පඤ්චස්‌කන්ධය පිළිබඳ අර්ථ දැක්‌වීම මෙසේයි.

    "එහි පළමුවැන්න නම් රූප ස්‌කන්ධයයි. පඨවි (තද මොළොක්‌ ගතිය), ආපෝ (බැඳෙන, වැගිරෙන ගතිය) තේජෝ (උණුසුම්, සිසිල් ගතිය), වායෝ (සැලෙන ගතිය) යන මහාභූත සතර ද, එයම නිඃශ්‍රය කොට ඇති උපාදාය රූප ද රූප ස්‌කන්ධයට ඇතුළත්ය. මෙහි උපාදාය රූප නම් ඇස, කන නාසය, දිව, කය යන රූපී ඉන්ද්‍රිය පස, බාහිර ලෝකයේ පවත්නා තදානුරූප වස්‌තු හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌ප්‍රෂ්ටව්‍ය (ස්‌පර්ශය කළ හැකි දේ) යන අරමුණු පස, ධර්මායතන ගණයට වැටෙන රූපධර්ම, ඇතැම් චෛතසික අරමුණු, අදහස්‌ හා සිතිවිලි යන මේවාය. මෙසේ ආභ්‍යන්තරිකද බාහිරද වන රූප සියල්ලම රූප ස්‌කන්ධයට ඇතුළත්ය.

    දෙවැන්න නම් වේදනා ස්‌කන්ධයයි. කායික මානසික ඉන්ද්‍රියයන් බාහිර ලෝකය සමඟ ස්‌පර්ශයට පැමිණීම හේතු කොටගෙන ඇති වන සුඛ වේදනා, දුඃඛ වේදනා, අදුඃඛ අසුබ වේදනා යන සියල්ල මේ ගණයට ඇතුළත්ය. වේදනාව සවැදෑරුම්ය. ඇස රූපය සමඟ ස්‌පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව, කන ශබ්දය සමග ස්‌පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව නාසය ගඳ සුවඳ සමඟ ස්‌පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව, දිව රසය සමඟ ස්‌පර්ශයට පැමිණීමෙන් ඇති වන වේදනාව, කය ස්‌ප්‍රෂ්ටව්‍යය සමග ස්‌පර්ශයට පැමිණීමෙන් ඇති වන වේදනාව බෞද්ධ දර්ශනයේ සඳහන් සවැනි ඉන්ද්‍රිය වන මනස චෛතසික, අදහස්‌, සිතිවිලි සමග ස්‌පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනා යනුවෙනි. අපගේ කායික, මානසික වේදනා සියල්ල මේ ගණයට වැටේ.

    බෞද්ධ දර්ශනයේ කියන "මනස" නම් කුමක්‌ දැයි මෙහිදී විමසා බැලීම සුදුසුය. මේ කියන මනස නම් "ශරීර" යන්නට විරුද්ධාර්ථවත් "ජීව" යන්න නොවන බව සිත තබා ගත යුතුය. සෙසු බොහෝ දර්ශනවලත් ආගම් වලත් උගන්වනු ලබන මේ ජීවය බුද්ධධර්මය නොපිළිගනියි. මනස වනාහි ඇස හෝ කන වැනි ඉන්ද්‍රියයකි. සෙසු සියලු ඉන්ද්‍රිය මෙන් මනස ද හික්‌මවිය හැකිය. දියුණු කළ හැකිය. මේ ඉන්ද්‍රිය හය රැක ගැනීමෙනුත් හික්‌මවීමෙනුත් සිදුවන යහපත බුදුන්වහන්සේ විසින් බොහෝ තැන්වලදී විස්‌තර කරන ලද්දේය. ඇස නමැති ඉන්ද්‍රියයත් මනස නමැති ඉන්ද්‍රියයත් අතර පවත්නා වෙනස නම් ලෝකයේ වර්ණ සහ රූප ඇසට ගෝචර වන අතර චෛතසික, අදහස්‌, සිතිවිලි මනසට ගෝචර වීමය. ලෝකයේ විවිධ අංශයන් අප අත්දකින්නේ විවිධ ඉන්ද්‍රිය මගිනි. අපට වර්ණ ඇසිය නොහැකිය. නමුත් දැක්‌ක හැකිය. එසේම අපට ශබ්ද දැකිය නොහැකිය. නමුත් ඇසිය හැකිය. මෙපරිද්දෙන් ඇස කන නාසය දිව කය යන කායික ඉන්ද්‍රිය පසින් අත්දැකිය හැක්‌කේ රූප ශබ්ද ගන්ධ රස ස්‌ප්‍රශ්ටව්‍ය යන මේවා පිළිබඳ ලෝකය පමණකි. එහෙත් එය ලෝකයේ කොටසක්‌ පමණකි. මුළු ලෝකයම නොවේ. චෛතසික, අදහස්‌ සිතිsවිලි ලෝකයේ කොටස්‌මය. එහෙත් ඒවා ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියවලට ගෝචර නොවෙයි. ඒවා ගෝචර වන්නේ වෙන ඉන්ද්‍රියයකටය, එනම් මනසටය. එසේ වුවද චෛතසික, අදහස්‌, සිතිවිලි ඉහත සඳහන් කායික ඉන්ද්‍රිය පසින් අත්දකිනු ලබන ලෝකයෙන් බැහැර නොවෙයි. සැබැවින්ම මේ අදහස්‌, සිතිsවිලි, චෛතසික ඇති වනුයේ කායික අත්දැකීම් හේතු කොටගෙනය. කනින් ශබ්ද ඇසීම් ආදී වශයෙන් අනික්‌ ඉන්ද්‍රියවලින් ලැබෙන අත්දැකීම්වල උපමිතියෙන් මිස වර්ණය පිළිබඳ හැඟීමක්‌ ජාත්‍යන්ධයෙකුට ලැබ ගත නොහැක්‌කේ එහෙයිsනි. මෙපරිද්දෙන්, ලෝකයේම කොටසක්‌ වන අදහස්‌, සිතිවිලි චෛතසිකයෝ කායික අත්දැකීම් හේතු කොටගෙන පහළ වී, මනසට ගෝචර වන්නෝ වෙති. මනස ඇස හෝ කන වැනි ඉන්ද්‍රියයකැයි සලකන ලද්දේ එහෙයිනි.

    තුන්වැන්න සංඥ ස්‌කන්ධයයි. වේදනාව මෙන් සංඥව ද, ඉන්ද්‍රිය සයට ගෝචර වන අරමුණු සය අනුව, සැවැදෑරුම් වෙයි. වේදනා සංඥ දෙකම හටගන්නේ ඉන්ද්‍රිය සය බාහිර ලෝකය සමග ස්‌පර්ශයට පැමිණීම නිසාය. කායික හෝ මානසික අරමුණ හඳුනා ගන්නේ සංඥවයි.

    සතරවැන්න නම් සංස්‌කාර ස්‌කන්ධයයි. කුශල හෝ අකුශල සෙච්තන ක්‍රියා සියල්ල මේ ගණයට වැටේ. සාමාන්‍යයෙන් කර්ම නමින් ගනු ලබන සියල්ල මෙයට ඇතුළත්ය. බුදුන්වහන්සේ කර්මය විස්‌තර කළ සැටි මෙහිලා සලකා බැලීම වටී( "මහණෙනි මම ෙච්තනාව කර්මය යෑයි කියමි. ෙච්තනාවෙන් සිතා කයින් හෝ වචනයෙන් හෝ මනසින් කර්ම කරයි." "ෙච්තනාව නම් සිතින් නිපැදවීමකි." (චිත්තාභිසංස්‌කාරයකි), මනසින් කරනු ලබන ක්‍රියාවකි (මනස්‌කර්මයකි). එහි කාර්යය නම් කුශලවලට හෝ අකුශලවලට හෝ අව්‍යාකෘතවලට සිත යෙදීමය. වේදනා සංඥ දෙක මෙන් ෙච්තනාවද ඉන්ද්‍රිය සයත් බාහිර ලෝකයේ පවත්නා තදනුරූප කායික මානසික අරමුණු සයත් අනුව සවැදෑරුම් වෙයි. වේදනාව හෝ සංඥව සංෙච්තන ක්‍රියාවක්‌ නොවේ. එයින් කර්ම ඵල ඇති නොවේ. කර්ම ඵල ඇති වන්නේ ඡන්ද අධිමෝක්‌ෂ ශ්‍රද්ධා, සමාධි, ප්‍රඥ, වීර්ය, රාග, ප්‍රතිඝ, අවිද්‍යා, මාන, සක්‌කායදෘෂ්ටි ආදි සෙච්තන ක්‍රියාවලින් පමණකි. සංස්‌කාර ස්‌කන්ධයට ඇතුළත් වන එවැනි චෛතසිකයන්ගේ ගණන 52 ක්‌ වෙයි.

    පස්‌වැන්න විඥන ස්‌කන්ධයයි. විඥනය වූකලී ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රිය සය ආශ්‍රය (මුල්) කොටගෙන, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්‌ප්‍රෂ්ටව්‍යය, ධර්මය යන අරමුණු සය විෂය කොට ගෙන ඇති ප්‍රතිවිඥප්තියකි. උදාහරණයක්‌( චක්‌ෂුර් විඥනය ඇස ආශ්‍රය (මුල්) කොට ගෙනද, රූපය අරමුණු කොට ගෙනද පහළ වෙයි. මනෝවිඥනය මනස ආශ්‍රය කොට ගෙන, අදහසක්‌ හෝ සිතිවිල්ලක්‌ අරමුණු කොට ගෙන පහළ වෙයි. මෙයින් පෙනෙන්නේ විඥනය ඉන්ද්‍රියයන් සමග බැඳී පවත්නා බවය. වේදනා සංඥ ෙච්තනා තුන මෙන් විඥනය ද ඉන්ද්‍රිය සයත් තදනුරූප බාහිර අරමුණු සයත් අනුව, සවැදෑරුම් වෙයි.

    විඥනය අරමුණ හඳුනා නොගන්නා බව මෙහිදී පැහැදිලිව ම සිත තබා ගත යුතුය. විඥනය කරන්නේ අරමුණු ඇති බව දැන ගැනීම පමණකි. උදාහරණයක්‌. ඇස නිල් පාට සමග ගැටෙයි. මෙහිදී පහළ වන චක්‌ෂුර් විඥනය පාටක්‌ ඇති බව දැන ගනීS. නමුත් එය නිල් පාට බව හඳුනා නොගනී. මේ අවස්‌ථාවේදී හැඳිනීමක්‌ නැත්තේය. එය නිල් පාට යෑයි හඳුනා ගන්නේ ඉහත සඳහන් තුනවැනි ස්‌කන්ධය වන සංඥවයි. "චක්‌ෂුර් විඥන" (චක්‌ඛු විඤ්Æණ) යන්න වනාහි "දැකීම" යන පොදු වචනයෙන් දැක්‌වෙන අදහසම පළ කරන දාර්ශනික වචනයකි. දැකීම නම් හඳුනා ගැනීම නොවේ. විඥනයේ සෙසු ආකාරද මෙපරිද්දෙන්ම දත යුතුය.

    බෞද්ධ දර්ශනයට අනුව, "ආත්ම" යෑයි හෝ "මම" යෑයි සැලකියහැකි, වෙනස්‌ නොවන සුළු, නොනැසෙන සුළු ජීවයක්‌ නැති බවද, විඥනය වනාහි "රූප" යන්නට විරුද්ධාර්ථවත් යෑයි කියනු ලබන ජීවය නොවන බවද මෙහිලා නැවත සඳහන් කළ යුතුය. මේ කාරණය විශේෂයෙන් අවධාරණය කළ යුත්තේ "විඥනය වූකලී සංසාරය මුළුල්ලේ නොනැසී පවත්නා ආත්මය හෝ ජීවය වැන්නකි." යන මිථ්‍යා මතයක්‌ ආදිම යුගයේ පටන් අද දක්‌වාම පවත්නා හෙයිනි.

    මේ මතය ගත්තෙක්‌ බුද්ධ කාලයේ භික්‌ෂුහු අතර ද වූහ. ඒ සාති නමැති භික්‌ෂුවය. තථාගත දේශනාවට අනුව සංසාරය මුළුල්ලේම සැරි සරන්නේ ඒ මේ විඥනයමය යනු ඔහුගේ අදහස විය. "විඥනය නම් කුමක්‌දැයි බුදුන්වහන්සේ විසින් ප්‍රශ්න කරනු ලැබූ හෙතෙම "යමක්‌ වචන කියන්නේද, සැප දුක්‌ විඳින්නේද, ඒ ඒ තන්හි හොඳ නරක කර්මවල විපාකය විඳින්නේද, ඒ (විඥනය)" යෑයි පිළිතුරු දුන්නේය.

    මෙහිදී බුදුන්වහන්සේ මෙසේ වදාළහ( "හිස්‌ මිනිස, මා මෙසේ කාට නම් දහම් දෙසූ බවක්‌ දන්නෙහිද? විඥනය ප්‍රත්‍යයකින් හටගන්නේ යෑයිද, ප්‍රත්‍යයකින් තොරව විඥනයේ හටගැනීමක්‌ නැතැයිද මවිසින් නොයෙක්‌ අයුරින් දෙසන ලද්දේ නොවේද?" ඉක්‌බිති උන්වහන්සේ විඥනය නම් කුමක්‌දැයි මෙසේ විස්‌තර කළහ( "විඥනය යම් යම් ප්‍රත්‍යයක්‌ නිසා හටගන්නේද, ඒ ඒ අනුව නම් ලබන්නේ වෙයි. ඇස ද රූපය ද නිසා විඥනයක්‌ හට ගනී. ඒ චක්‌ෂුර් විඥන නම් වෙයි. කනද ශබ්දය ද නිසා විඥනයක්‌ හට ගනී. ඒ ශ්‍රොaත්‍ර විඥන නම් වෙයි. නාසය ද ගන්ධය ද නිසා විඥනයක්‌ හට ගනී. ඒ ඝ්‍රාණ විඥන නම් වෙයි. දිව ද රසය ද නිසා විඥනයක්‌ හට ගනී. ඒ ජිව්හා විඥන නම් වෙයි. කයද ස්‌ප්‍රශ්ටව්‍යයද නිසා විඥනයක්‌ හටගනී. ඒ කාය විඥන නම් වෙයි. මනස ද ධර්ම ද නිසා විඥනයක්‌ හටගනී. ඒ මනෝවිඥන නම් වෙයි."

    මෙහිදී බුදුන්වහන්සේ මේ කාරණය උපමාවකින් පැහැදිලි කළහ( "ගින්න යම් යම් ප්‍රත්‍යයක්‌ නිසා ඇවිළේ ද, ඒ ඒ අනුව නම් බලන්නේ වෙයි. ගින්නක්‌ දර නිසා ඇවිළෙයි. ඒ දර ගිනි නම් වෙයි.... ගින්නක්‌ තණ නිසා ඇවිළෙයි. එය තණ ගිනි නම් වෙයි. එපරිද්දෙන්ම විඥනය යම් යම් ප්‍රත්‍යයක්‌ නිසා හටගන්නේද ඒ ඒ අනුව නම් ලබන්නේ වෙයි."

    මේ කාරණය අටුවා ඇදුරු බුදුගොස්‌ හිමියෝ මෙසේ විස්‌තර කරති( "දර නිසා ඇවිලෙන ගින්න ඊට ප්‍රත්‍යය වූ දර නැති වීම නිසා, එහිම නිවී යයි. එය පතුරු ආදියට (මාරු වී) ගොස්‌ පතුරු ගින්න යනාදී නම් නොලබයි. එපරිද්දෙන්ම ඇසද, රූප ද නිසා හටගන්නා විඥනය ඒ ද්වාරයෙහි ඇස, රූප, ආලෝකය, මනස්‌කාරය යන ප්‍රත්‍යයන් ඇති කල්හිම හටගනීá ඒ නැති කල්හි, හේතුව වෙනස්‌ වීම නිසා, එහිම නිවී යයිá කන් ආදියට ගොස්‌ ශ්‍රොaත්‍ර විඥනය යනාදි නම් නොලබයි."

    විඥනය රූප, වේදනා, සංඥ, සංස්‌කාර යන මේ ප්‍රත්‍යයන් නිසා ඇති වන බවද එයින් තොරව නොපවත්නා බවද බුදුන්වහන්සේ පැහැදිලි ලෙසම වදාළහ. "විඥනය, රූපය උපාය කොට (රූපුපායං), රූපය අරමුණු කොට (රූපාරම්මණං), රූපය පිහිට කොට රූපපතිට්‌ඨං), සතුට සොයන්නේ (නන්දුපසෙවනං) වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේ වෙයි. යළි විඥනය, වේදනාව උපාය කොට.... සංඥව උපාය කොට.... සංස්‌කාර උපාය කොට, සංස්‌කාර අරමුණු කොට, සංස්‌කාර පිහිට කොට සිටින්නේ වෙයි. සතුට සොයන්නේ වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේ වෙයි.

    "යමෙක්‌ "මම රූපයෙන් බැහැර, වේදනාවෙන් බැහැර, සංඥවෙන් බැහැර, සංස්‌කාරයන්ගෙන් බැහැර, විඥනයාගේ පැමිණීම ද, යැමද, නැති වීමද, හටගැනීමද, වැඩීම ද දක්‌වමි"යි කියයි නම් මෙය සිදු විය නොහැකිය."

    මේ වූකලී පඤ්චස්‌කන්ධය පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමකි.

    "සත්ත්වයා" "පුද්ගලයා" "මම" යන මේවා වනාහි පඤ්චස්‌කන්ධයන්ගේ සමවායටම පහසුව සඳහා යොදනු ලබන නම් පමණකි. මේ සියල්ල අනිත්‍යය, මොහොතින් මොහොත වෙනස්‌වන සුළුය. යමක්‌ අනිත්‍ය ද ඒ දුක්‌ය (යදනිච්ඡං තං දුක්‌ඛං). "කෙටියෙන් පඤ්ච උපාදාන ස්‌කන්ධයෝ දුඃඛයහ" යන බුද්ධ වචනයේ සැබෑ තේරුම මෙයයි. මේ මොහොතේ පවත්නා පඤ්චස්‌කන්ධයෝ මී ළඟ මොහොතේ හට ගන්නා පඤ්චස්‌කන්ධයෝ නොවෙති. ඒවා මොහොතින් මොහොත උපදිමින් අතුරුදන් වන ප්‍රවාහයකි.

    "බ්‍රාහ්මණය, යම් සේ පර්වතයකින් වෑහෙන, දුර යන, වහා ගලන දිය දහර ඇති, හැම දෙයක්‌ ගෙන යන සුලු නදියක්‌ නතර වන ක්‌ෂණයක්‌ හෝ ලයක්‌ හෝ මොහොතක්‌ හෝ නැත්තේද, යළි යන්නේම වේද, ගලන්නේම වේද, එසේම මනුෂ්‍යයන්ගේ ජීවිතය පර්වතයකින් ගලන නදියක්‌ වැනිය."

    එක්‌ දෙයක්‌ අතුරුදන් වන්නේ හේතු ඵල පරම්පරාවේ ඊළඟ දෙය පහළ වීමට ප්‍රත්‍යය වෙමින්ය. මෙහි වෙනස්‌ නොවනසුළු දෙයක්‌ නැත. "නිත්‍ය ආත්මය" "සත්ත්වයා" "මම" යෑයි කිවහැකි කිසිවක්‌ එයට ඇතුළත් නොවේ. රූපය හෝ වේදනාව හෝ සංඥව හෝ සංස්‌කාර හෝ විඥනය හෝ "මම" යෑයි හැඳින්විය නොහැකි බව පැහැදිලිය. එකිනෙකට බැඳී පවත්නා මේ ස්‌කන්ධ පස කායික මානසික යන්ත්‍රයක්‌ මෙන් ක්‍රියා කරන කල "මම" යන හැඟීම පහළ වෙයි. එහෙත් මෙය ඉහත සඳහන් සතරවැනි ස්‌කන්ධයට ඇතුළත් සංස්‌කාරයන්ගෙන් එකක්‌ වන "සක්‌කායදිට්‌ඨි" නමැති හිස්‌ සිතිවිල්ලය."

    දශවිධ සංයෝජන අතර විචිකිච්ඡාව දෙවැනියට සඳහන් වෙනවා. විචිකිච්ඡාව යනු අභිධර්ම විවරණය අනුව අකුසල චෛතසිකයක්‌ බව කලින් ප්‍රකාශ කළා. සෝවාන් වීමේදී මෙම අකුසලය සහමුලින්ම නැති වෙනවා. ධම්ම සංගණිප්පකරණයේ විචිකිච්ඡාව අට වැදෑරුම් කොට දක්‌වා තිබෙනවා. එනම්

    සත්ථරි කංඛති විචිකිච්ඡති, ධම්මේ කංඛති විචිකිච්ඡති සංඝෙ කංඛති විචිකිච්ඡති, සික්‌ඛාය කංඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කංඛති විචිකිච්ඡති, අපරන්තේ කංඛති විචිකිච්ඡති පුබ්බන්තාපරන්තෙ කංඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡතියා එවරූපා කංඛා කංඛායනා, කංඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වේල්හකං ද්වෙධාපථො සංඝයෝ අනෙකංසගා හෝ ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථිම්භිතත්තං චිත්තස්‌ස මනෝවිලෙඛෙ ඉදං වුච්චති විචිකිච්ඡා සඤ්ඤොජනං"

    එහි තේරුම මෙසේයි.

    1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරයි

    2. ධර්මය කෙරෙහි සැක කරයි

    3. සංඝරත්නය කෙරෙහි සැක කරයි

    4. ශික්‍ෂා පද ගැන සැක කරයි

    5. පෙර සසර සිටීම පිළිබඳ සැක කිරීම

    6. මතු සසර ඉපදීම පිළිබඳ සැක කිරීම

    7. පෙරමතු සසර ඉපදීම් පිළිබඳ සැක කිරීම

    8. පටිච්චසමුප්පාදය පිළිබඳ සැක කිරීම


    මේ ආකාරයේ සැකයක්‌, සැකයට පත්වීමක්‌, සැකයට පැමිණි බවක්‌, විමතියක්‌, වැරදි හැඟêමත්, විචිකිච්ඡාවත්, ද්වේළහකයක්‌, ද්විධාපථයක්‌ (දෙමංසන්ධියකට පැමිණීමක්‌) සංශයක්‌, නොයෙක්‌ අන්තයන් ගැනීම, පසුබැසීමක්‌, හාත්පසින් පසු බැසීමක්‌, නොබැසගැනීමක්‌, චිත්තයාගේ තද බවක්‌, මනසේ සැකයක්‌ (මනොවිලේඛනයක්‌) වේ නම් ද එය විචිකිච්ඡා සංයෝජනය නම් වෙනවා.

    සබ්බ කිලෙස ව්‍යාධි වූප සමන්තෝ, පඤ්Æ විකිච්ජිතන්ති වුච්චති. සියලු කෙළෙස්‌ සංසිඳුවන නිසා ප්‍රඥාවට "චිකිච්ඡත" කියනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ප්‍රඥාව නමැති බෙහෙත යන තේරුමයි.

    තං පඤ්Æ චිකිච්ඡිතං ඉතො විගතං, තතොවා පඤ්Æ චිකිච්ජිත්තො ඉදං විගතන්ති විචිකිච්ජිතං

    ඒ ප්‍රඥාව නමැති බෙහෙතට (ඖෂධය) විරුද්ධ වූ එයින් වෙන් වූ නිසා මේ සැකයට විචිකිච්ඡාවයි කියන බව සාරත්ථ සමුච්චයේ සඳහන් වෙනවා.

    සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙම විචිකිච්ඡාව දහසය වැදෑරුම්ව දේශනා කර තිබෙනවා. තවද මෙම සැකය නැත්නම් විචිකිච්ඡාව අනුසය ධර්ම වශයෙන්ද, නීවරණ ධර්ම වශයෙන්ද සංයෝජන ධර්ම වශයෙන්ද, ක්‌ළේශ ධර්ම වශයෙන්ද ආදී වශයෙන් දේශනා කර තිබෙන බව ත්‍රිපිටකයෙහි එන සූත්‍ර ධර්මයන්ගෙන් අවබෝධ කරගන්නට පුළුවන්.

    බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ දී පවා දෙව්දතුන්, චිංචිමානවිකා වැනි අයත් තවත් බොහෝ බමුණොත් උන්වහන්සේ පිළිබඳ සැක ඇති කර ගත්තා. බුදුහාමුදුරුවෝ කවුදැයි ද ඒ වාගේ අයට හඳුන ගන්නට නොහැකි වුණා. ඒ බව මඡ්Cධිම නිකායේ සෝනදණ්‌ඩ සූත්‍ර වැනි දේශනාවලින් පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2554 ක්‌ වෙනවා. බොහෝ බෞද්ධයන්ටත් උන්වහන්සේ ගැන ඇතැම් අවස්‌ථාවලදී බුදුරජාණන් වහන්සේ කෙබඳු උතුමෙක්‌ දැයි සැක හිතෙන අවස්‌ථා තියෙනවා.

    බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඤාණ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම පිළිබඳ බුදුවීම පිළිබඳ, පිsරිනිවන් පෑම පිළිබඳ සැක සංකා ඇති වෙනවා නේද? නිතර නිතර එවැනි "විචිකිච්ඡාවක්‌" ඇති නොවුණත් ඇතැම් අවස්‌ථාවලදී යම් හේතුවක්‌ නිසා ඇතිවිය හැකියි. නොසැලෙන ශ්‍රද්ධාවක්‌ ඇති පෘථග්ජනයාට මෙය ඇති වන්නේ නෑ.

    ධර්මය ගැන කොතෙකුත් අවස්‌ථාවල විශ්වාසය පළුදු වී තියෙනවාද? සතර මාර්ග ඵල පිළිබඳ නිවන පිළිබඳ කර්මය පිළිබඳ සැක ඇති වෙනවා නේද? කොපමණ හොඳ වැඩ, පිංකම් කළත් එහි විපාක ඒ අවස්‌ථාවට නොලැබෙන විට ඔබගේ සිතේ ඇති වන ස්‌වභාවය ගැන සිතන්න. "කරන කලට පව් මිහිරිය මී සේ" කී පරිදි ඇතැම් මිනිසුන් වැරදි වැඩ කරමින් දියුණුවෙන් දියුණුවට පත් වන විට ඔබට හිතෙනවා ඇති දිට්‌ඨධම්ම වේදනීය කර්මයක්‌ නෑ කියලා. මේ ආදී වශයෙන් ධර්මය පිළිබඳ මොනතරම් විචිකිච්ඡාවක්‌ ඇති වෙනවාද?

    අෂ්ටාර්ය පුද්ගල මහාසංඝරත්නය පිළිබඳ නන් අයුරින් විචිකිච්ඡාවක්‌ ඇති වෙනවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය යනු සෝවාන් මාර්ග හා ඵල, සකෘදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල රහත් මාර්ගඵල යන අටවැදෑරුම් උතුමන් වහන්සේලා සුපටිපන්නෝ ආදි ගුණ පිළිබඳ ඇති වන සැකය ආදියයි සංඝෙ කංඛති කියන්නේ,

    ශීල - සමාධි - ප්‍රඥ යන ත්‍රිශික්‍ෂා ගැන ඇති වන සැකය සික්‌ඛා කංඛති කියන්නේ. ඇත්ත වශයෙන්ම පුද්ගලයාට විවිධ අවස්‌ථාවල මේ ශීලයෙන් එහෙම නැත්නම් සමාධියෙන්, ප්‍රඥාවෙන් පලක්‌ තිබෙනවාද? කියා ප්‍රශ්න මතු වන අවස්‌ථා කොපමණ නම් ඇති වනවාද?

    මම පෙර ආත්මයේ ඇත්තටම ඉපදී සිටියාද, එහෙම නැත්නම් පෙර ආත්ම තිබෙනවාද කියා සැක ඇති වෙනවා. එසේ ඇති වන හැඟêම් පුබ්බන්තේ කංඛති කියන්නේ.

    අනාගත කාලයේ උපදීද? නැද්ද? ඇත්තටම සත්වයා මරණින් මතු ඔවුන් කළකම් අනුව උපදිනවා ද කියා සැක ඇති වෙනවා. එසේ ඇති වන හැඟීම් අපරන්තේ කංඛතියි.

    පෙර ආත්මයත් මතු ආත්මත් පිළිබඳ ඇති වන විචිකිච්ඡාව හෙවත් සැකය "පුබ්බාපරන්තෙ කංඛතියි.

    පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳව ඇති වන සැකය ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කංඛති විචිකිච්ඡති කියනවා. මෙය මේ විදියට තේරුම් ගන්නෙ කෙසේද? බෝධිසත්වයන් වහන්සේ එක්‌ ආත්ම භාවයක මිනිසත් බව ලැබ මරණින් මතු ඇතෙකු වී ඉපදුනා කියා ජාතක පොතේ සඳහන් වෙනවා. එවිට අපට සිතෙන්නේ එකම පුද්ගලයෙකුගේ ආත්මයත් නේද මේ ගමන් කරන්නේ කියා. තවදුරටත් විමසමු මම මේ මැරිලා මිනිහෙක්‌ වෙලා උපදිනවා. ඒ ආත්මයෙනුත් මැරිලා දෙවියෙක්‌ වෙලා උපදිනවා.

    දේව ආත්මයෙනුත් මැරිලා ඇතෙක්‌ වෙලා උපදිනවා. මේ පුද්ගලයාගේ සසර ගමන "පටිච්චසමුප්පන්නව" උපදිනවා යෑයි කෙසේ පැහැදිලි කළත් අපට හිතෙන්නේ එකම පුද්ගලයෙකුගේ ආත්මයත් ගමන් කරන බව නේද?

    මේ අට වැදෑරුම් සැකය මේ ආකාරයෙන් විවිධ ක්‍රමවලට විස්‌තර කරන්න පුළුවනි. කෙසේ වුවත් මේ සුළු පැහැදිලි කිරීමත් කළේ ඒ අනුව ඔබට ඇති වන විචිකිච්ඡා තේරුම් ගැනීමටයි.

    කොහොම වුවත් අද බොහෝ දෙනා සිතන්නේ අපි ලක්‍ෂ ගණන් මල් කඳු බුදුරජාණන් වහන්සේට පූජා කරන නිසා හෝ අසීමිත ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේලාට චෛත්‍යවලට මහා කොඩි පූජා කරන නිසා හෝ නිතර නිතර භාවනා කරන නිසා හෝ මාර්ගඵලවලට පත්වෙලා කියා. ඇතැමෙකුට දෙනෙත් පියාගෙන භාවනා කරන විට බුදු පිළිම හෝ බෝධීන් වහන්සේලා හෝ චෛත්‍යයන් වහන්සේලා හෝ පෙනෙනවා ඇත. එ නිසා ඒ අය මාර්ග ඵලයන්ට පත් වෙලා කියා මුළා වෙනවා. අමූලික ශ්‍රද්ධාවෙන් නිවන් දකින්නට බැහැ. එයින් සිදු වන්නේ සීල ව්‍රත වලට ඇලීගැලී ජීවත් වීමයි. මේවා ගැන තවදුරටත් පසුව විමසා බලමු.

    කෙසේ වුවත් සෝවාන් ඵලයට පත් වූ උතුමාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි හෝ කිසිදු සැකයක්‌ විචිකිච්ඡාවක්‌ ඇති වන්නේ නැහැ. හරියට එය ගන අඳුරෙන් පිරි කුටියක තිබෙන රන් පිළිමයක්‌ විදුලි සරකින් දකිනවා වාගේ ප්‍රත්‍යක්‍ෂ වෙනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ගන අඳුරෙන් පිරි කුටියේ තිබෙන රන් පිළිමය විදුලි කොටන විට ක්‍ෂණයකින් දකිනවා. ඒ පිළිබඳ ඔහුට කිසිදු සැකයක්‌ නැහැ. එහෙත් වෙනත් කෙනකුට මේ කළුවර කුටියේ රන් පිළිමයක්‌ තමා දුටු බව කීවත්, ඔහු විශ්වාස නොකරයි.


    මතුසම්බන්ධයි

    උපුටා ගැනීම
    දිවයින සමාධි අතිරේකය

    අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න

    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 1 -http://www.elakiri.com/forum/showthread.php?t=1704329
    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 2 -http://www.elakiri.com/forum/showthread.php?t=1704464
    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1704668
    සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 4 -
    http://www.elakiri.com/forum/showthread.php?t=1704803