ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය

    මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු චන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි.

    සම්මා දිට්ඨි
    සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජීව
    සම්මා වායාම
    සම්මා සති
    සම්මා සමාධි



    ශීල
    සම්මා වාචා

    දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.”

    “මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ.
    සත්‍ය වචන කථා කරන විට වුව ද මෙය කීමෙන් යහපතක් වෙයි ද? අයහපතක් වෙයි ද? යනුවෙන් කල්පනා කළ යුතු ය. අයහපතක් වේ නම් නොකිය යුතු ය.වචනයෙන් සිදු වන වැරැදිවලින් වැළකී නිවැරැදි ලෙස වචන භාවිතා කිරිම නම් වු සම්මා වාචාව දියුණු කර ගැනීම නිවන් දැකීමට අවශ්‍ය දෙයකි.


    සම්මා කම්මන්ත

    "කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා ආජීවය ආරක්ෂා කළ යුතු ය.


    සම්මා ආජීව

    යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි.


    සමාධි

    සම්මා වායාම

    සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. "කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති" නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු යි. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු යි. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු යි. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු යි. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම; එනම් සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) පංචෙන්ද්‍රිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම ලෙස සැලකේ. ) සප්ත බොජ්ඣඬ්ග (සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣඬ්ග යි.) යනාදිය නූපන් කුසල ධර්ම යි.

    සම්මා සති

    සම්මා සතිය යනු යහපත් සිහිය යි. බුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සමාධිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ.



    සම්මා සමාධි

    සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි.

    සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය.

    ප්‍රඥා​

    සම්මා දිට්ඨි

    සම්මා දිට්ඨිය යනු යහපත් දැක්ම යි. සතර සතිපට්ඨාන සූත්‍රය සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි" යනුවෙන් බුදු රජාණන් වහන්සේ එය විස්තර කර ඇත. "කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම බව මෙයින් පැහැදිලි වේ. සම්මා දිට්ඨිය පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විවිධාකාර යෙන් විවිධ සූත්‍රවල දේශනා කර ඇත. සම්මා දිට්ඨි සූත්‍රය 16 ආකාරයකින් එය විස්තර කර ඇත. චත්තාරීසික සම්මාදිට්ඨි සූත්‍රය 40 ආකාරයකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. මහා කච්ඡායන සූත්‍රය‍වල ද සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් දක්වා ඇත.


    සම්මා සඞ්කප්ප

    සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා ය. යහපත් සංකල්පනා යනුවෙන් අදහස් කරන්නේ වැරැදි සංකල්පනාවලින් ඈත් ව නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මේ නිවැරැදි සංකල්පනා කොටස් තුනකි.

    1. නෙක්ඛම්ම සංකල්පනා
    2. අව්‍යාපාද සංකල්පනා
    3. අවිහිංසා සංකල්පනා

    නෙක්ඛම්ම සංකල්පනා

    “නෙක්ඛම්ම” යනු නික්මීම යි. මෙයින් අදහස් කරන්නේ ගිහි ගෙය හැර දැමීම නොව ගෘහ ජීවිතවලට සම්බන්ධ කාම සංකල්පනාවලින් ඉවත්වීම යි. “මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑ ය; මේක මහා භයානක දෙයක් ය; ඒ නිසා නිවන අවබෝධ කර ගන්නට ඕනෑ ය; ලෞකික දේවල ම පැටලී සිටින එක ඥානවන්තකමක් නොවෙයි.” ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා ලෙස හැඳින්වෙයි. නිවන් දකින්නට බලාපොරොත්තු වෙන තැනැත්තා දූ දරු මා පිය සහෝදර ඥාති මිත්‍ර ආදී ගෘහ ජීවිතවලට සම්බන්ධ බැඳීම්වලින් සිත ඈත් කර ගත යුතු යි. ඒ සම්බන්ධ සිතිවිලි ගලා එන විට මෙනෙහි කර වළක්වා ගත යුතු යි. යම් කිසි කෙනෙකුට සංසාරයේ රැඳී සිටීම දුකක් කියා අවබෝධයක් නැත්නම්, ඒ දුක නැති කිරීමේ කල්පනාවක් ඇති නොවේ. භාවනා කිරිමට, විදර්ශනා ඥාන ඇති කර ගැනීමට, සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට, සංසාර විමුක්තිය ලැබීමට සිතෙන්නේ නෙක්ඛම්ම සංකල්පනා උපදවා ගත් කෙනෙකුට යි. එසේ නොසිතන කෙනා කිසිවක් නොකරයි. ඒ නිසා සසර දුකින් මිදීමට සම්මා සංකල්පනාව අත්‍යවශ්‍ය ම දෙයකි.


    අව්‍යාපාද සංකල්පනා

    ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ සංකල්පනාව අවත්‍ාපාද සංකල්පනාව යි. “ව්‍යාපාදතෝ නිස්සඨොති අව්‍යාපාද සංකප්පෝ” යනුවෙන් බුදු රජාණන් වහන්සේ අව්‍යාපාද සංකල්පනා හඳුන්වා ඇත. ව්‍යාපාදය යනුවෙන් හඳුන්වන්නේ තරහව, නොමනාපය, නොසතුට ආදිය සම්බන්ධ සිතිවිලි යි. තරහවට විරුද්ධ සිතිවිලි අව්‍යාපාද සිතිවිලි යි. නිවන් දැකීමට බලාපොරොත්තු වන පුද්ගලයා නිරන්තරයෙන් කෝප වී කටයුතු කිරීම තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට බාධාවකි.

    විවිධාකාර හේතු නිසා ව්‍යාපාදය යට ගනී. තමා කැමති ආකාරයට අන් අය නොහැසිරීම, තමාට හෝ තමා ගේ හිතවත් අයටත්, ඒ අය ගේ දේපොළ වස්තුව ආදියටත් වෙනත් අය විසින් කරදර පීඩා කරනු ලැබීම, තමාට වුවමනා ආකාරයට අන් අය නොහැසිරීම, අව් වැසි සුළං ආදී ස්වභාව ධර්මයට සම්බන්ධ සිදුවිම්, මැසි මදුරු උවදුරු, ශාරීරික වේදනා ආදිය පමණක් නොව භාවනා කරන විට යම් කෙනෙකු විසින් බාධා කරනු ලැබීම වැනි සිදුවීම් නිසා ද ව්‍යාපාදය ඇති විය හැකි ය.
    එවැනි අවස්ථාවල දී “තරහවක් තරහවක්, නොසතුටක් නොසතුටක්”ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය නැති කර ගත හැකි ය. දිනපතා ටික වේලාවක් හෝ සියලු සත්වයන් අරමුණු කරමින් මෛත්‍රී භාවනාවෙහි යෙදීමෙන් ව්‍යාපාද සංකල්පනා ඇති වීම අඩු කර ගත හැකි ය.

    අවිහිංසා සංකල්පනා

    හිංසා සහගත සිතිවිලිවලට විරුද්ධ සිතිවිලි අවිහිංසා සංකල්පනා ලෙස හැඳින්වේ. එ පමණක් නොව කරුණා සහගත සිතිවිලි සිත තුළ ඇති කර ගත යුතු යි. ඒ සඳහා කරුණා භාවනාව කිරීම ඉතාම සුදුසු යි. කරුණා භාවනාව කෙරෙනුයේ "දුකට පත් සත්වයෝ දුකින් මිදෙත්වා!" යනුවෙන් මෙනෙහි කිරීමෙනි. මේ ලෝකයේ යම් තාක් සත්වයෝ සිටිත් නම් ඒ හැම සත්වයෙක් ම දුකට පත් වී සිටිති. මෙහි දී දුක යනුවෙන් අදහස් කෙරෙන්නේ කායික පිඩා, මානසික පීඩා ආදිය පමණක් නොවේ. මේ පංචස්කන්ධයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් ම දුකකි. ජාති දුක්, ජරා දුක්, මරණ දුක් ආදියත්, ඊට අමතරව ක්ලේශයන් නිසා ඇති වන දුක්, නැවත නැවත ඉපදීමේ දුක් ආදියත් ඇත. රහත් නොවූ කිසිවකු මේ දුක්වලින් මිදි නැත. බුදු, පසේ බුදු, රහත් වැනි උත්තමයන් ද දුකින් මිදෙන්නේ පිරිනිවන් පෑවාට පසුව යි. ඊට පෙර කය තිබෙන තාක් කායික දුක් ඇත.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද වැඩක් බං. කාලෙකින් මේවගේ එකක් දැක්කේ.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හොද වැඩක් බං. කාලෙකින් මේවගේ එකක් දැක්කේ.

    You have given out too much Reputation in the last 24 hours, try again later.


    එළ මචං...හිමීට කියවන්න ඕන :)

    බොහොම පින් මචන් ..!! :):)
    මේකේ අනු කොටස් වෙන වෙනම විස්තර කරන්න ඉස්සරහට හිතන් ඉන්නවා
    සපෝර්ට් එකක් දියල්ලා හොදේ :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොහොම පින් මචන් ..!! :):)
    මේකේ අනු කොටස් වෙන වෙනම විස්තර කරන්න ඉස්සරහට හිතන් ඉන්නවා
    සපෝර්ට් එකක් දියල්ලා හොදේ :)


    අනිවා....දාපන්....අපි කියවනවා....
    11.gif


    ටිකක් නිවීහැනහිල්ලේ කියවන්න ඕන බං...හදිස්සියේ කියෙව්වට ඕක ඔළුවට යන්නෙ නෑ.....දැන් ගෙදර දුවන්න හදන්නේ
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    අනිවා....දාපන්....අපි කියවනවා....
    11.gif


    ටිකක් නිවීහැනහිල්ලේ කියවන්න ඕන බං...හදිස්සියේ කියෙව්වට ඕක ඔළුවට යන්නෙ නෑ.....දැන් ගෙදර දුවන්න හදන්නේ

    ඔව් මචන් .එක හරි ..!! ඔලුව නිදහස් නැතුව කියවල තේරුම් ගන්න අමාරු කරනවා
    නිදහස් වෙලාවක කියවපන් :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම පිං. දානයෙන් උතුම් දානය ධර්ම දානයයි.
    මේ කර ගන්නා පිනෙන් නිවන් මග ඉක්මනින් අවබෝධ කර ගන්නට ලැබේවා!

    කොල්ලා කිව්වා වගේම ත්‍රෙඩ් එක දැම්මා නේද :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනිවා....දාපන්....අපි කියවනවා....
    11.gif


    ටිකක් නිවීහැනහිල්ලේ කියවන්න ඕන බං...හදිස්සියේ කියෙව්වට ඕක ඔළුවට යන්නෙ නෑ.....දැන් ගෙදර දුවන්න හදන්නේ

    මේ වගේ ඒවා කියවන්න ඕනේ උදේ වරුවේ. :)
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    බොහෝම පිං. දානයෙන් උතුම් දානය ධර්ම දානයයි.
    මේ කර ගන්නා පිනෙන් නිවන් මග ඉක්මනින් අවබෝධ කර ගන්නට ලැබේවා!

    කොල්ලා කිව්වා වගේම ත්‍රෙඩ් එක දැම්මා නේද :)

    බොහොම පින් මචන් ..කිව්වා වගේම දැම්ම :yes::yes: