මේක මහා කරුමයක් බන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක මහා කරුමයක් බන්

    සත්වයා කියන්නෙ කුසලාකුශල විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්. අප විසින් ‍සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන් අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින් සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන් වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව, විපාක දෙන අවස්ථාව අනුව, විපාක දෙන කාල අනුව, විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න පුළුවන්

    කාර්යය අනුව එනම් කෘත්‍ය අනුව කර්මය කොටස් 4 යි.

    1.ජනක කර්මය.

    මරණින් පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක කර්මයයි. අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති වුනත්, ජනක කර්මයක් ‍හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත් වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත් හැකියාවක් තියනව.

    සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම් කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි. එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.

    කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද?

    කර්ම නිමිති හරි ගති නිමිති හරි ‍පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය (සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.

    කර්ම නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.

    නිදසුන් වලින් කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට තමා කරපු පින් දහම්, දන් දීපු දේවල්, පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන් කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් (Near death experience ) වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි දේවල් ගැනයි.

    මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්, සමහර අයට පැය ගණනක් කල් ඇතුව වැටහෙනව, තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න කෙනෙක්ව සුගතියකට යවන්න, යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන් උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු නොවන අවස්ථා වලදි විතරයි.

    ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක් කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින් මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන එක. හැ‍බැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ‍මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.

    මරණාසන්න වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ අපිව දාල යන්න එපා කියල" කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම් නොකිරීමට අපි වග බලා ගන්න ‍ඕනෙ.

    2.උපස්තම්භක කර්මය.

    කුශල හෝ අකුශල හෝ කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට තරම් බලවත් නොවූ කර්මත්, ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක කර්මත්, වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත් වෙනව.

    අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින් කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.

    3.උපපීඩක කර්මය.

    නොයෙකුත් රෝග ඇතිකිරීම, තනතුරැ වලින් පහළට ඇද වැට්ටවීම, නෑ මිතුරන් නැති කිරීම, සොර සතුරු කරදර ඇති කිරීම ආදී දේවල් වලින් වරින් වර පීඩා කරන කර්ම උපපීඩක කර්ම කියල හඳුන්වනව. මෙහිදීත් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට සමත් නොවූ දුර්වල කර්ම, ප්‍රතිසන්ධියක් ඇති නොකළ ජනක කර්ම, වරක් ප්‍රතිසන්ධි ඇතිකළ ජනක කර්ම ආදිය උපපීඩක කර්ම වශයෙන් විපාක දෙන්න ගන්නව. උපපීඩක කර්මයෙන් කරන්නෙ බලවත්ව තියෙන කර්ම දුබල කිරීමයි. ඒක කුසල අකුසල කියන කර්ම දෙකටම එක ලෙස බලපානව. බලවත් අකුසලයක් කරපු කෙනෙක් ඒ අකුසලයක විරුද්ධ වූ කුසල් බොහෝ ගණනක් කළ විට පසුව කරපු කුසල කර්ම හින්ද අර බලවත් අකුසලය දුබල වෙනව. අපල වලට බෝධි පූජා ආදිය කරන්න කියල කියන්නේ මේ වාසිය ලබාගන්න හින්දයි. ඇත්තටම අපල කියල කියන්නෙ අප විසින් කලින් කරපු අකුසල කර්මයන්. ඒව උත්සාහයෙන් බුද්ධියෙන් වෙනස් කරගන්න පුළුවන් කියන එ‍කයි මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ වුනේ. මේකෙන් අදහස් කරන්නෙ නැහැ පව් කර කර බෝධි පූජා තිබ්බම අකුසල් නසන්න පුළුවන් කියල. පුළුවන් වෙන්නෙ විපාකය අඩු කරගන්න විතරයි. ඒකට හේතුව උපපීඩක කර්මයෙන් අකුසල කර්මයේ බලය අඩු කරන හින්දයි.

    4.උපඝාතක කර්මය.

    ජනක කර්මයක විපාක පරම්පරාව එනම් උපන් සත්වයා ගේ ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය ලෙස හඳුන්වනව. බුදුන් වහන්සේට රහතුන් වහන්සේලාට මාපියන්ට ගුරුවරුන් ආදී ගුණවත් අයට කරන අපරාධ උපඝාතක කර්ම බවට පත්වෙනව. ප්‍රතිසන්ධිය ලබා දෙන අවස්ථාවලදි මෙම උපඝාතක කර්ම ජනක කර්ම බවට පරිවර්තනය වෙනව. ඉපදුන කෙනාට වැඩි කාලයක් ආයුෂ ගෙවීමට ඉඩ නොදීම මෙම කර්මය විසින් සිදු කරනව. උපච්ඡේදක කර්මය කියලත් මේ උපඝාතක කර්මය හඳුන්වන අවස්ථා තියනව. සමහර උපඝාතක කර්ම ජීවිතය විනාශ කරල නැවත උප්පත්තියක් ලබල දීමටත් ක්‍රියා කරනව. ඒවගෙම ජීවිතය විනාශ කිරීම විතරක් සිදු කරන අවස්ථාත් තියනව ඒ අවස්ථාවල උපඝාතක කර්ම උපච්ඡේදක කර්ම ලෙස හඳුන්වනව. නරකයක ඉපදිල ඉන්න වෙලාවක කළ පින් සිහිවෙලා සුගතියක උපද්දවීමත් ප්‍රේත ලොවක සිටින අයෙකු ඤාතීන්ගේ පින් අනුමෝදන් වීමෙන් සුගති ගතවීමටත් උපඝාතක කර්මය බලපාන්න පුළුවන්.ඒ උපඝාතක කර්මය යහපතට බලපාන අවස්ථායි.

    විපාක දෙන අවස්ථාව අනුව සැළකීමෙන් කර්මය කොටස් 4 ට බෙදිය හැකියි.

    1.ගරු කර්මය.

    මරණින් පස්සෙ දෙවන ජාතියේදී නොවරදවාම විපාක දීමට ශක්තිය තියෙන අතිශයින් බලවත් කර්ම ගරු කර්ම ලෙස හඳුන්වනව. ආනන්තරිය කර්ම පහ (මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇ‍‍‍ඟේ ලේ සෙලවීම, සංඝයා භේද කරවීම) අකුසල පක්‍ෂයේ ගරු කර්ම වෙනව. රූපාචර (ප්‍රථම දුතිය තතිය චතුර්ථ) ධ්‍යාන , අරූපාචර (ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) ධ්‍යාන කුසල පක්‍ෂයේ ගරු කර්ම ලෙස සලකනව.

    2.ආසන්න කර්මය.

    මරණයට ආසන්න අවස්ථාවේදී කරන ලද ‍සිහි කරන ලද කර්ම ආසන්න කර්ම ලෙස හඳුන්වනව. ගරු කර්මයක් නැති අයට ආසන්න කර්මය පළමුවෙන් විපාක දෙනව. බොහෝ පින් කරපු අය සමහර අවස්ථාවලදී දුගතියට යන්නේත්, බොහෝ පව් කළ අය සුගතියට යන්නේත් මෙම ආසන්න කර්මයේ බලයෙන්.

    3.ආචීර්ණක කර්මය.

    දිනපතා කරන ලද කර්ම, සතියකට වරක් බැගින් කරන ලද කර්ම, මාසයකට වරක්, වර්ෂයකට වරක් බැගින් කරනලද කර්ම වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා කරන ලද කර්මයන් මෙන්ම දිර්ඝ කාලයක පටන් සිහි කරමින් සිටි කර්ම ආචිර්ණ කර්ම ලෙස හඳුන්වනව. දිනපතා කරන බුදුන් වැඳිම් භාවනා වැඩීම්, සතියකට වරක් බැගින් කරන ලද අනුනට උපකාර කිරීම් සමාජ සේවා කටයුතු, මාසිකව කරන සිල් සමාදන් වීම්, අවුරැද්දකට වරක් සිදු කළ දානමය පුණ්‍යක්‍රියා ආදිය කුසල පක්‍ෂයෙන් උදාහරන හැටියට දැක්විය හැකියි. අකුසල පක්ෂය ගැන ඉතින් කියල වැඩක් නැහැනෙ ඕන තරම් උදාහරණ තියනවනෙ. ගරු කර්මයක් හරි ආසන්න කර්මයක් හරි නැති තැනැත්තට දෙවන ජාතියේ එනම් මරණයෙන් පසු ජී‍විතයේදී ආචීර්ණ කර්මය විපාක දෙනව.

    4.කෘතත්වාත් කර්මය.

    ගරුක ආසන්න ආචීර්ණ බවට පත් නොවුනු දුර්වල කර්ම කෘතවාත් කර්ම ලෙස හඳුන්වනව. අවස්ථාවක් ලැබෙන පරිදි ඉඳල හිටල කරපු කර්මත් මේ යටතට ගන්න පුළුවන් ඒව දුබල කර්ම හැටියටයි සලකන්නෙ. ගරැක ආදී කර්ම තුනෙන් විපාක දීමට එක කර්මයක් හරි නැති වෙලාවට විපාක දෙන්නෙ කෘතවාත් කර්මයි.

    විපාක දෙන කාල අනුව කර්මය කොටස් 4 කින් යුතුයි.

    1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

    කරන ලද ආත්ම භ‍වයේදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන් වහ‍න්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව. දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් ‍කර්ම කරන ලද ආත්මයේදීම විපාක දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.

    2.උපපජ්ජ වේදනීය කර්ම.

    දෙවන ජාතියේදී එනම් මරණින් මතු ජාතියේදී විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම ලෙස හඳුන්වනව.

    3. අපරාපරිය වේදනීය කර්ම

    කර්මය කරපු ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවස්ථාවක් ලැබුණ ගමන් කවදා හරි විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම නම් වෙනව.

    4. අ‍හෝසි කර්ම.

    අතීතයේදී විපාක නුදුන් කර්මද මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම හැටියට හඳුන්වනව. අංගුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල් සිදු කළත් එම කර්ම රහත් භාවයට පත්වීම හේතු කොට ගෙන අහෝසි කර්ම බවට පත්වුනා.

    විපාක දෙන ස්ථාන අනුව කර්මය ආකාර 4 කි.

    1.අකුශලය - සතර අපායේ ප්‍රතිසන්ධි විපාක ලබාදෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

    2. කාමාචර කුශලය - මිනිස් ලෝකයේ හා දිව්‍යලෝක හතරේ ප්‍රතිසන්ධි විපාක ලබල දෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

    3.රූපාවචර කුශලය - රූපාචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

    4.අරූපාවචර කුශලය - අරූපාවචර භූමිවල ප්‍රතිසන්ධිවිපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

    ප්‍රතිසන්ධි විපාක කියන්නෙ භවයක ඉපදවීමයි. ප්‍රවෘත්ති විපාක කියන්නෙ ඒ ඒ භවවල ඉපදුනහම ලැබෙන විපාක

    me lipi gaththe methanin
    http://dahamsewana.blogspot.com/2009/05/natural-laws.html
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියාම ධර්ම ~ Natural Laws

    නියාම ධර්ම ~ Natural Laws

    කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.

    මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතු‍වෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීම‍ට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද ‍අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වී‍ම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් ‍පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකා‍ර වෙයි.



    1.සෘතු නියාම (Law of physical matter)

    භෞතික හා රසායනික ක්‍රියා යම් යම් නීතීන් මත ක්‍රියා කරනු ලැබේ. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල් මෙන්ම වතුර පහලට ගැලීම, ගුරැත්වා කර්ශනය, ආකාශ වස්තූන්ගේ රිද්මයානුකූල චලනය, විදුලි බලය, න්‍යෂ්ටික බලය ආදී අජීව ද්‍රව්‍ය තුළ පවතින සෑම බලයක් ම මෙම නියාමයෙන් විස්තර ‍කෙරේ.



    2.බීජ නියාම (Law of living matter)

    ශාක වල විවිධත්වය, වර්ගය, බෝවීම, ප්‍රමාණය හැඩය ආදී සියළුම විශේෂීය වූ ගති ලක්‍ෂණ පවත්වා ගන්නාවූ නීතීන් සමුදාය බීජ නියාම නම් වෙයි. කුඩා නුග බීජයක ඇති විශාල නුග ගසක් ඇති කරලීමේ ශක්තිය බී‍ජය (හේතුව) දෙස බැලීමෙන් දැකගත නොහැකි වෙයි. නමුත් එය පොළවේ සිටුවීමෙන් පසුව සිදුවන කිසියම් වූ ක්‍රියාවලියක් හේතුකොට ගෙන ලැබෙන මහ ගස (ඵලය) අපට දැකගත හැකිවෙයි. මෙසේ එම ගස සම්බන්ධ හේතුව හා ඵලය අතර ක්‍රියාවලිය විස්තර කරනුයේ මෙම බීජ නියාමය මගිනි.

    3.චිත්ත නියාම (Law of Mind)

    සිත එයටම විශේෂවූ නීති පද්ධතියක් මත ක්‍රියා කරයි. අනවරත ප්‍රවාහයක් ලෙස නොසිඳී පවත්වා ගැනීමේ හැකියාව සිතේ ඇති එක්තරා නීතියකි. අභිධර්මය පිළිබඳව හැදෑරීම මගින් මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. දැනීම පිළිබඳව (consciousness) හැඟිමක් ඇති කරනුයේ සිතෙනි. වර්තමාන විද්‍යාවට අනුව විස්තර කළ නොහැකි ටෙලිපති ආදී ක්‍රමවේදයන්ද මෙයින් විස්තර කරනු ලැබේ.

    4.කම්ම නියාමය (Law of karma)

    හිතාමතා යම් ක්‍රියාවක් සිදුකළ විට එයට අනුරෑපව විපාකයන් ලබාදීම මෙම නියාමය නිසා සිදුවෙයි. චේතනාවක් නොමැතිව සිදු වන ක්‍රියාවන් මේ යටතට නොගනී. ඉතා සංකීර්ණ වූ මෙම විෂය මිනිස් චින්තනය ඉක්මවා පවතින්නකි. කර්ම විෂය සිතා නිමාවක් දැකිය නොහැකි වුවත් කර්මය හා කර්ම විපාක පිළිබඳ දැනීමක් ඇතිකරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කම්ම විභංග ආදී සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ මේ සම්බන්ධ ඉගැන්වීම් දැනගත හැකි වෙයි.

    5.ධම්ම නියාමය (Law of Special Damma Processes )

    මහා පින් ඇති අයගේ පහළවීම නිසා සිදුවන භූචලන, බුදුවරැ දෙනමක් ‍එකවර පහල නොවීම, ශීලය නිසා සමාධිය ඇතිවීම, සෝවාන් පුද්ගලයා අපායාදී නරකාදියේ නූපදීම සහ ඉපදීම ආත්ම හතකට සීමාවීම ආදී ධර්මතාවයන් මේ යටතේ විස්තර කෙරේ ධර්ම නියාමයන්ද තේරැම් ගැනීමට දුෂ්කරය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංසර්ගය

    සංසර්ගය

    සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම ‍ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි. දස්සන සංසග්ග, සවණ සංසග්ග, කාය සංසග්ග, සමුල්ලාපන සංසග්ග හා සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.

    දස්සන සංසග්ග

    යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්‍රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ‍ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්‍රපටි ටෙළිනාට්‍ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.

    සවණ සංසග්ග

    යම් ස්ත්‍රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්‍රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැ‍‍ඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්‍රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්‍රිය කරන නිසයි.

    කාය සංසග්ග

    මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම‍යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්‍රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්

    සමුල්ලාපන සංසග්ග

    යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්‍රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල

    සම්භෝග සංසග්ග

    යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදර‍ය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්‍රිය කර‍න කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.

    ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක ‍මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.

    මේකෙ බරපතල කම තමයි මේ ඇලීම ආදරය නිසා බොහෝ කායික වාචසික මානසික දුශ්චරිත සිදු කිරීමට පෙළඹීම. මිනී මැරීම, සොරකම, පරදාර ‍සේවනය, ස්ත්‍රි දූෂණය ආදි අපරාධ කිරීම් හේතුවෙන් පොලිසිවල හිරගෙවල් වල දුක් විඳින්නට සිදු වෙනව. නොයෙක් දඬුවම් වලට මුහුණ දෙන්න සිදුවෙනව. මරණින් පස්සෙ තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල, අපාය වල ඉපදී නොයෙකුත් දුකට පත් වෙන්න සිදු වෙනව. ඒවගෙම මේ ඇල්ම ආශාව හින්ද නැවත නැවත සසරේ ඉපදීමට සිදු වෙනව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිතේ ඇතිවන අකුසල් සරලව

    ලෝභ ‍ද්වේෂ මෝහ යන මේ අවස්ථා තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල් සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල් සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක් හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින් සිදු වෙන්නෙ අකුසලයක්.

    ලෝභය

    රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලට ඇලුම් කරන ආසා කරන ස්වභාවයට කියනව ලෝභය කියල. සරලව කියනවනම් ගේ දොර වතු පිටි ඉඩකඩම් යාන වාහන නිළතල අඹු දරුවන් මතිමතාන්තර ආදි වූ සැපගෙන දෙන සිත සතුටු කරවන හොඳයයි සලකන පුද්ගලයන් වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයයි. පරමාර්ථ වශයෙන් ගත්තම එක දෙයක් වුනත් ව්‍යාවහාර භාෂාවේදී නොයෙක් නම් වලින ලෝභය හඳුන්වන ආකාර ගොඩක් තියනව. යමක් රස විඳී‍මේ ලෝභයට ආසාව, පෙරේතකම, සල්ලාලකම, රාගය, කුණූකම, මසුරුකම වගේ වචන බොහෝ ගනනක් පාවිච්චි කරනව. අඹු දරුවන් නෑ මිතුරන් සම්බන්ධයෙන් ඇති ලෝභයට ආදරය, ප්‍රේමය, ස්නේහය,වගේ වචන පාවිච්චි කරනව. ධර්මය ගැන නොදන්න අය මෛත්‍රිය, කරැණාව යන වචනත් ලෝභයට ආදරයට සමාන කරල දක්වනව. මෛත්‍රිය කරුණාව ලෝභසහගත සිතක ඇතිවන තත්වයක් නෙමෙයි. සමහර අය ලෝභය "ඕනෑකම" කියන වචනයත් එක්ක පටලවා ගන්නව. ඕ‍නෑකම කියන්නෙ ලෝභය නෙමෙයි, "සිල් ගන්න ඕනෙ", "භාවනා කරන්න ඕනෙ". "නිවන් අවබෝධ කරගන්න ඕනෙ", වගේ අදහස් ලෝභය නෙමෙයි.

    ද්වේශය

    අප අකමැති පුද්ගලයන්, වස්තූන්, ගුණයන්, ක්‍රියාවන් නුරුස්නා ස්‍ව‍භාවය නැතහොත් ඒවාට විරුද්ධ වන, ගැටෙන ස්වභාවය ද්වේශය කියල හඳුන්වනව. ද්වේශයටත් අප එදිනෙදා ජීවිතයෙ ගොඩක් වචන පාවිච්චි කරනව. ක්‍රෝධය, වෛරය, පිළිකුල, නොසතුට, භය, කණගාටුව, තරහව. ද්වේශය බලයෙන් තමන්ට සමාන වන කෙනෙක් ගැන හරි තමන්ට වඩා දුබල කෙනක් ගැන නුරුස්නා නැත්නම් විරැද්ධවන ස්වභාවයකින් පහළ වෙනව ඒකට කියනව ක්‍රෝධය කියල. තමන්ට වඩා බලවත් කෙනෙක්ට හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න බැරි කෙනෙක් ගැන ද්වේශය පහළ වුනොත් එම බලවත් කෙනාගෙන් ඈත්වෙන පසුබසින ස්වභාවයකින් යුක්ත වෙනව. ඒ අවස්ථාවට කියනව බය කියල. දීර්ඝ කාලයක් තිස්සෙ නැවත නැවත උපදිමින් තියන ද්වේශයට කියනව වෛරය කියල. කිසියම් පුද්ගලයකු ගේ හරි වස්තුවක තියක අශෝභනත්වය නැත්නම් අවලස්සන නිසා ඇතිවන ද්වේශයට කියනව පිළිකුල කියල.

    මෝහය

    යම් කිසි දෙයක හෝ කරුණක පවතින ස්වභාවය නැතහොත් සත්‍ය ස්වභාවය වරදවා වටහාගන්නා වූ මානසිකත්වයට කියනව මෝහය කියල. මුළාව, නොදැනීම, වැරදීම,මෝඩකම යන වචන වලින් මෙය හඳුන්වනව.දුක් සඳහා පවත්නා කරුණූත් සැප සඳහා පවත්නා කරුණුත් වෙන්කර දැක්වීමට ඇති නොහැකි බව, සත්‍යය අසත්‍ය හැටියටත් අසත්‍යය සත්‍ය හැටියටත් පෙනීම ආදී වශයෙන් මෝහය තවත් ක්‍රම වලින් විග්‍රහ කරන්න පුළුවන්. තමන් කරන කියන දේ නුවණින් විමසා බලා නොකිරීම හේතුවෙන් බොහෝ විට මෙම අකුසලය සිදුවෙනව. මෝහයෙ ගැඹුරු තේරුම් තියනව මෙතනදි සරලව පහදා දෙන්නයි අවශ්‍ය වුනේ.



    ඉහත ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල



    ක්‍රෝධය

    අන්‍යන්ට රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින් සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක් ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව.

    උපනාහය

    නැවත නැවත සිතීම නිසා ‍හෝ ක්‍රියා කිරීම නිසා පරණ වූන ක්‍රෝධයට උපනාහය කියල කියනව. වෛරය, එදිරිය යන වචන වලින්ද උපනාහය හඳුන්වනව. මේක දීර්ඝ කාලයක් පවතින අකුසලයක් සමහර වෙලාවට ආත්ම ගණනක් යනතුරුත් පවතින්න පුළුවන්. ආත්ම බොහෝ ගණනක් පවතින වෛරයක් හෙවත් උපනාහයක් හේතුවෙන් විශාල කාලයක් නිරයේ සිදුවීමට ඇති ඉඩ කඩද වැඩි වෙනව. අවසන් නොවන අකුසලයක් හින්ද මේක ගොඩක් අන්තරාදායක දෙයක්. ඒක නිසා හොඳම දේ තමා වෛරයක් ඇති වුනොත් ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නෙ නැතුව සමාදාන වෙලා ඉවරයක් කරගන්න එක. සමාදාන වීම හැර වෙනත් විකල්පයක් මෙයට නැහැ.

    මක්ඛය

    අනුන් විසින් තමන්ට කරපු උපකාර අමතක කිරීම නැතිකර දැමීම මක්ඛය කියල හඳුන්වනව. කළෙහි ගුණ නොසැලකීම කියල කියන්නෙත් මේකටම තමයි. තමන්ට දියුණු වෙන්න උදව් කරපු අයව අපි හැමදාම මත‍කයෙ තියාගන්න ඕනෙ. ඒ අයට උදව් උපකාර අවශ්‍ය වෙලාවකට උපකාර කිරීම අපගේ යුතුකමක්. ඒවගේම සත්පුරුෂ ගතියක්.

    පලාසය

    තමාව ‍ගුණවත් අය සමඟ සමාන කර සිතන ස්වභාවය පලාසයයි. තමන්ගෙ තත්වය වටහා ගන්න තරම් අ‍වබෝධයක් නොමැති අය, දුශ්ශීල වුන තමන්ව සිල්වත් අය සමඟ සමාන කරල හිතන්න පටන් ගන්නව. නූගත් වූ තමන්ව උගත් අය සමඟ සමාන කරනව. දුබල වූ තමන්ව බලවතුන්ට සමාන කරනව. දුප්පත් වූ තමන්ව පොහොසත් අයට සමාන කරනව. මේකෙ ගැටළුව තියෙන්නෙ සමාන කරල නිකන් ඉන්නෙ නැහැ. ඒ අය ගරු කළ යුතු අයට ගරු කරන්නෙ නැහැ. කීකරු විය යුතු අයට කීකරු වෙන්නෙ නැහැ. අවවාද අනුශාසනා දෙන අයව ගනන් ගන්නෙ නැහැ. මෙහෙම කටයුතු කරමින් ඉඳල මෙලොව පරලොව දෙකේම පිරිහෙනව.

    ඊර්ෂ්‍යාව

    අනුන්ගේ දියුණුව, සැප සම්පත් වලින් යුක්ත බව නුරුස්නා ස්ව‍භාවය ඊර්ෂ්‍යාවයි. බාහිර දියුණුව විතරක් නෙමෙයි කෙනෙකුගෙ අභ්‍යන්තර දියුණුව වුනත් දැකීමට අකමැති අය ඉන්නව. නිතර සිල් ගන්න බණ භාවනා කරන පින් දහම් කරන අයගේ අධ්‍යාත්මික දියුණුව දැකල ඒවාට පවා ඊර්ෂ්‍යා කරනව. තමන්ට කරගත නොහැකි දේවල් අනිත් අය කරන ආකාරය ඉවසගෙන ඉන්න බැරිකම බොහෝ අවස්ථාවල මේකට හේතුවෙනව.

    මාත්සර්‍ය්‍යය

    තමන්ගෙ දෙයක් අනුන්ට අයිති වෙන්න හෝ එයින් අනිත් අය යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවට තියන අකමැත්ත මාත්සර්‍ය්‍යයයි. මේකට මසුරුකම කියලත් කියනව. සමහර මසුරු අය තමුන්ගෙ දේවල් විතරක් නෙමෙයි වෙනත් කෙනෙක් ඒ කෙනාගෙ දෙයක් අනුන්ට දෙනවටත් අකමැතියි. ඒකට කියනව තද මසුරැකම හෙවත් කදරියතාව කියල. මේ වර්ග දෙකේම මසුරු අය ඉන්නව. ඒ අය තමන් දෙන්නෙත් නැහැ අනිත් අය දෙනවට කැමතිත් නැහැ. තමන් පින් කරන්නෙත් නැහැ අනිත් අයට පින් කරන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට විශාල පිනක් කරගන්න හදන කෙනාට එක එක දේවල් කියල කුඩා පිනක් ලැබෙන ආකාරයේ දෙයක් කරවනව. මේවගේ දේවල් වලින් ගොඩක් අකුසල් රැස් කරගන්නව.

    මායාව

    තමන් නොයෙක් අකුසලයන් පව් කම් කරන ගමන් සමාජයේ ඉදිරියේ ගුණවතෙක් වගේ පෙනී සිටිමින් අනිත් අයව රවටන ස්වභාවය මායාවයි. අදක්ෂ අය දක්ෂ අය ලෙස පෙනී සිටීම. නූගත් අය උගතුන් සේ පෙනී සිටීම. දුප්පත් අය පොහොසතුන් මෙන් පෙනී සිටීම වගේ නොයෙක් ආකාර ‍වලිනුත් මේ මායාව දකින්නට පුළුවන්. ඉතින් සමාජය මේ අයට රැවටිලා නොයක් ගරු නම්බු තණතුරු ආදිය ලබා දෙනව. පස්සෙ ඇත්ත තත්වය දැන ගත්ත ගමන් මේ අය දුකට කරදරයට පත් වෙනව.

    සාඨෙය්‍ය

    බොරු හිතවත් කම්, බොරු නෑකම්, බොරු මිතුරුකම්, බොරු මෛත්‍රිය, බොරු කරුණාව ආදිය දක්වමින් අනුන් රවටන ස්වභාවය. තමාගේ කටයුතු කරගැනීම පිණිස තාවකාලිකව නැති ගුණ ඇති අයුරින් පෙන්වීම සාඨෙය්‍ය කියල හඳුන්වනව. කෛරාටිකයා කපටියා යන වචනද මේ යටතට වැටෙනව. යම් යම් අයගේ හිත සතුටු වන ආකාරයට කතා කරමින් ක්‍රියාකරමින් සිත් දිනාගෙන ඔවුන්ගෙන් ගතහැකි වස්තුවක් හෝ වැඩක් හෝ තමන්ගේ වාසිය පිණිස යොදාගැනීම මේ අයගෙ ගති ලක්ෂණයි. කෛරාටිකයා මොහොතකට වාසි ලැබුවත් එය දීර්ඝ කාලීනව දුකකට හේතුවෙනව.

    ථම්භය

    කීකරු විය යුත්තාට හෝ කීකරු විය යුතු අවස්ථාවන් වලදී නෙනැමෙන සුළු බව අකීකරුකම ථම්භයයි. ධර්මයට හෝ මා පිය ගුරුවරාදීන්ට නැමිය යුතු අවස්ථා වලදී නෙනැමීම නිසා, කීකරු නොවීම නිසා, මුරණ්ඩු වීම නිසා නෙයෙකුත් කරදර විපත් වලට මුහුණ දීමට සිදුවෙනව. වැරදි තීරණ අරගෙන දෙමව්පියන්ට අකීකරුව සිදු කරන ලද වැරදි හේතුවෙන් ජීවිත කාලය තුළම සිරගෙවල් වල ආදියේ වෙසෙමින් නොයෙක් දුකට පීඩාවන්ට පත්වනන් ඉන්නව.

    සාරම්භය

    අනුන් යටපත් කීරීමේ කැමැත්තෙන් අනුන්ට ඉහලින් වැඩ කරන ස්ව‍භාවය සාරම්භයයි. සාරම්භය තියන කෙනා අනිත් අය යම් දෙයක් එක වරක් කරන කොට එයා දෙතුන්වරක් කරනව. කෙනෙක් මලක් පූජ කරන කොට මෙයා මල් වට්ටි දහයක් පූජ කරනව. කෙනෙක් රුපියලක් වියදම් කරන කොට මෙයා රුපියල් දාහක් වියදම් කරනව. කෙනෙක් වචනයකින් අපහාස කළොත් මෙයා වචන දහයකින් දොළහකින් බණිනව. අතින් ගැහුවොත් පොල්ලකින් ගහනව නැත්නම් පිහියකින් අනිනව. ඒත් අනුන් යටපත් කරල තමන් ඉහළින් සිටීමේ අදහසකින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරී‍‍මෙත්, අනුන්ට වඩා හොඳින් පින් කිරීමෙත් කිසි වරදක් නැහැ.

    මානය

    තමා අන්‍යයන්ට වඩා වටිනා වැදගත් කෙනෙක් යනුවෙන් තමා උසස් කොට මැනගන්න ස්වභාවය සරලව මානය කියල හඳුන්වනව. මානය තවත් විග්‍රහ ‍කලොත් කොටස් 3 යුතුයි.සෙය්‍යමානය - තමා උසස් කෙනෙක් කියල උපදින උඩඟුකම. සදිස මානය -තමා අන්‍යන් හා සමානයයි කියල උපදින උඩඟු බව. හීන මානය- තමා පහත් කෙනෙක් යනුවෙන් ඇතිවන ලැජ්ජාව.

    අතිමානය

    බලවත්කම් ධනවත්කම් උගත්කම් ආදිය නිසා සාමාන්‍ය මානය වර්ධනය වීමෙන් අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට කතා කිරීම ක්‍රියාකිරීමට පටන් ගන්නා වූ මානය අති මානයයි. "මම තමයි මෙහි සිටින ඉහලම කෙනා අනිත් අය කවුද මට උපදෙස් දෙන්න" ‍වගේ මෝඩ අදහස් වලට ලක් වීමෙන් නොයෙක් කරදර වලට මුහුණපෑමට සිදුවෙනව.

    මදය

    කුලය බලය පොහොසත් කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇතිවන මත්වීම මදය ලෙස හඳුන්වනව. මානයෙන් මත්වුන අය මත්ද්‍රව්‍ය වලින් මත් වුන අය වගේම කළ යුතු දේවල් නොකර, නෙකළ යුතු දේවල් කරන්න ගිහින් දුකට කරදරයට පත්වෙනව. මත්ද්‍රව්‍ය වලින් මත්වන ගතිය තියෙන්නෙ පැය කිහිපයක්. ඒත් මදයෙන් මත් වුනහම අවුරුදු ගනන් පවතිනව සමහර වෙලාවකට මැරෙන තුරුත් පවතින්න පුළුවන්.

    ප්‍රමාදය

    කුසල් සිදුවන දේවල් පිළිබඳව අමතක කරල දාල අකුසලයට යොමු වී පස්කම් සැප විඳිමින් සිතට අවශ්‍ය ආකාරයට හැසිරීමට ඉඩදීම ප්‍රමාදයයි. ප්‍රමාදය හේතුවෙන් නිරයේ ඉපදෙමින්, දුක් විඳිමින්, පීඩාවට පත් වෙමින්, සසර සැරිසරමින් සිටීමට සිදුවෙනව. ප්‍රමාදයෙන් වැලකුන කෙනා සසර ජය ගන්නව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මිථ්‍යාදෘෂ්ටිය

    රණින් පසු නැවත ඉපදෙන්නෙ නැහැ, පින් පව් කියල දෙයක් නැහැ, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නෙ නැහැ, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක නැහැ, නිවණ කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැත්නම් වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කියල හඳුන්වනව.

    1.ගන්නා වූ ආකාරය වැරදි වීම
    2. එයම සත්‍යය යි තීරණය කර ගැනීම

    යන කරැණු දෙකෙන් මෙම අකුසලය සිදුවෙනව. මේක අනිත් සියල්ලටම වඩා ටිකක් බරපතල අකුසල් සිදුවන එකක්. මොකද අනිත් සියළු අකුසල් මේ අකුසලය නිසා සිදුවෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටි බොහෝ සංඛාවක් තියනව ඒත් ඒවා‍යින් බරපතල අකුසල් සිදුවෙන්නෙ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන්. විසිආකාරයකින් ඇති සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන හැට දෙකක් වූ දෘෂ්ටීන් වලින් එතරමි අකුසල් සිදුවෙන්නෙ නැහැ. දරැණුම දෘෂ්ටි ගැන විස්තර දාන්නම් අනිත් ඒව දැන ගන්න ආස අය අදාල සූත්‍ර කියවල දැන ගන්න. ඒව කියවන කොට තේරෙයි බුදුන් වහන්සෙ මොනතරම් දේවල් ගැන දැනගෙන හිටියද කියල.

    1.නාස්තික දෘෂ්ටිය

    දන් දීමෙන් වැඩක් නැහැ. පූජා කිරීමෙන් වැඩක් නැහැ. පුද පඬුරැ යැවීමෙන් වැඩක් නැහැ. පින පව් වල ඵල විපාක නැහැ.පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ. මවට කරන හොඳ නරක වල විපාක නැහැ පියාට කරන හොඳ නරක වල විපාක නැහැ. මැරැණට පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැහැ. ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් බුදු කෙනෙක් පහල වන්නේ නැහැ. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. සත්වයා මැරැණ විට ශරීරය සතරමහා භූතයන්ට ම එනම් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස්වලටම එකතුවෙනව. ඉන්ද්‍රයන් අහසට යනව. අසවලා දායකයෙක් අසවලා මසුරෙක් දුශ්ශී‍ලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නොපෙනීයනව. ඇට පරවි පියාපත් පැහැ වෙනව. දාන පූජා ආදිය අළු වීම කෙලවර කොට පවතිනව. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. කවුරැහරි දානයෙන් ප්‍රතිඵලයක් තියනව කියල කියනවනම් ඒ කීම හිස් දෙයක් බොරැවක් නන් දෙඩවිල්ලක්. පණ්ඩිත අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශවෙලා යනව ආයත් ඉපදෙන්නෙ නැහැ. මේ අජිත නම් වූ තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටියයි.

    2.අහේතුක දෘෂ්ටිය

    සත්වයන්ගේ කෙලෙස් ඇතිවීමට හේතුවක‍් හෝ ප්‍රත්‍යයක් හෝ නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනව. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනව. සත්වයින්ට ඒ ඒ කුඩා විශාල වු ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියමවූ එක්තරා ක්‍රමයක් තියනව. ඒ ක්‍රමයට අනුව තමා මොඩයොයි පණ්ඩිතයොයි යන ‍හැම දෙනාම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන සීල භාවනා වැනි පින්වල බලයෙන් හරි තපස් රැකීමෙන් ඇතිකරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවල දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිල විශේෂ සැපයක් ලබන්න බැහැ. මොනව කලත් නියම කාලය එනකල් දුක් කෙලවර කරල පරම සැපයකට එන්න කාටවත් බැහැ. පින් කරන නොකරන පණ්ඩිත අපණ්ඩිත සියලුදෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරි සරල අන්තිමට දුක කෙලවර කරනව. මේක මක්ඛලී ගෝසාල කියන තීර්ථකයගෙ දෘෂ්ටිය.

    3.අක්‍රිය දෘෂ්ටිය

    තමන් විසින්ම පව් කරන කෙනාටත්, අනුන් ලවා පව් කරවන කෙනාටත්, අනුන්ගේ අත පය ආදිය කපා කොටා දාන කෙනාටත්, එසේ කිරිමට නියම කරන කෙනාටත්, දඬු මුගුරැ ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන අයටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන අයටත්, ආහාර නොදිම සිරකර තැබීම් ආදියෙන් අනුන්ට පීඩා කරමින් තමාද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරැකියන යනාදී ලෙස ඕනෑකමින්ම පව් කරන කෙනාටත් සිදුවන අකුසලයක් නැහැ. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැහැ. මේ පූර්ණ කාශ්‍යපගේ දෘෂ්‍ටියයි


    මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්

    "මහ‍ණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය" යනුවෙන් බුදුන් වහන්සේ පවසල තියනව.

    මේක දේශනා කරල තියෙන්නෙ කර්ම කර්ම ඵල දෙක ප්‍රතික්‍ෂ්ප කරන නාස්තික අහේතුක අක්‍රිය කියන දෘෂ්ටි වලටයි. ඒ දෘෂ්ටි වලින් කුමන දෘෂ්ටියක් ගත්ත කෙනෙකුට වුනත් ඒක අතහැර ගත්තෙ නැත්නම් මරණින් පස්සෙ සුගතියකට යන්න නම් වෙන්නෙ නැහැ නිවන් දකින්නත් බැහැ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කරනව. ඒ දෘෂ්ටි ගත්ත කෙනා මරණය දක්වාම එය අත් හරින්නෙ නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ඉපදෙන්නෙ නරකයෙ. ඒක හින්ද ඒවට කියනව නියත මිථ්‍යාදෘෂ්ටි කියල. මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළ‍ඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව. ආනන්තර්‍ය්‍ය කර්ම කරපු අය කල්ප අවසානයේදී නරකයෙන් මිදෙනව ඒත් නියත මිත්‍යදෘෂ්ටිය ගත්ත අය ලොකය විනාශවෙන වෙලාවෙදි වෙනත් ලෝකයක නරකයකට පැමිණිලා විපාක විඳින්න පටන්ගන්නව. එසේ සිදුවන විපාක වල අවසානය ගැන නිශ්චිතව කියන්න බැහැ.

    ගොඩක් අය මිථ්‍යාදෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරැ කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අනිත් අයටත් රසවත් කරල පෙන්නල මෝඩ අයව ඒ දෘෂ්ටියට ඇදල ගන්නව. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙක්ව මිථ්‍යදෘෂ්ටිකය‍කු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැහැ. ධර්මයෙන් ඈත්ව වාසය කරන අය මේ අයගෙ උගුල්වලට ලේසියෙන් අහුවෙනව. ඇයි ධර්මය හරියට දන්නෙ නැහැනෙ ඉතින් කියන ඕනෙ එකක් ධර්මයට ගලපල බලන්නෙ නැතිව පිළිගන්නව. මිසදිටු අ‍යගෙ දේශන වලට සවන් දීමෙන් ඔවුන‍්ගේ පොත් පත් විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ ‍කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙලා අකුසල් සිද්ධ කර ගන්නව.

    මිථ්‍යා අදහස් තියන අයගෙන් ඈත් විම. ධර්මය නොවන වල්පල් කතා කරන ධර්ම සාකච්ඡා ආදියට සහභාගි නොවීම. ධර්මය ගැන නිවැරදි අවබෝධ‍යක් ඇති අය ඇසුරැ කිරීම. ධර්මයේ අපහැදිලි තැන් ඔවුන්ගෙන් අසා නිවැරදි කර ගැනීම. දහම් පොත පත කියැවීම. තමාව ප්‍රාණඝාත අදත්තාදාන ආදී කොට ඇති දස අකුසලයෙන් මුදවා යහ මඟ පෙන්වා දෙන සත්පුරැෂයන් නිතර ඇසුරැ කිරීම ආදියෙන් මිථ්‍යා දෘෂ්ටි අකුසලයෙන් වැලකී සිටිය හැකිවෙයි. අසත් පුරැෂයින් හෙවත් මිත්‍යා දෘෂ්ටි ගත් තනැත්තන් විසින් අපව අයහපතෙ‍හි යෙදවීමට තැත් කිරීමේදී, එයින් වැලකීසිටිමට ශක්තිය ‍ධෛර්යය සිදු කරගත් කුසලයන් ගෙන් ලැ‍බේවා කියල ආගමික වතාවත් වලදි පවසන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය බලවත් අකුසලයක් වන හින්දයි.

    ඉමිනා පුඤ්ඤ කම්මේන
    මාමේ බාල සමාගමෝ
    සතං සමා‍ගමෝ හෝතු
    යාව නිබ්බාන පත්තියා

    මාවිසින් සිදු කරන ලද්දාවූ මේ ආමිසවූද, ප්‍රතිපත්තිමය වූද පුණ්‍ය කර්මයන් කරන කොට ගෙන මෙතැන් පටන් නිවන් දක්නා තුරැම අසත්පුරැෂයන් ඇසුරැ කිරීමට නොලැබේ‍වා! සත්පුරැෂ කල්‍යාන මිත්‍ර සේවනයම ලැබේවා!

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,341
    1
    57,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ අපිව දාල යන්න එපා කියල" කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම් නොකිරීමට අපි වග බලා ගන්න ‍ඕනෙ.

    මෙහෙම දෙයක් බුද්ධ ධර්මයේ තියෙනවද?:confused: