ස්නයිපර් Sniper කියන වචනය සෑදී තිබෙන්නේ Snipe කියන වචනය ආශ්‍රිතවයි. පින්තුරය බලපුගමන් තේරෙනවනේ ඒ මොකද කියලා.
කැස්වටුවා හෙවත් ‘ස්නයිප්’ කියන්නේ නිතර එලිපහලියට නොඑන ක්ෂණයකින් ඉගිලී නොපෙනී යන කුරුල්ලෙක්.
ඌට වෙඩි තැබීම ඉතා අපහසු කාර්යයක්.
දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ කැස්වටුවන් වෙඩි තැබීමයි.
එය දක්ෂ වෙඩික්කරුවන්ට පමණක් කළහැකි දෙයක් වුනා. මන්ද කැස්වටුවාට වෙඩි තැබීමට නම්, ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව, කිසිදු ශබ්දයක් නොකර, ඌට ලං විය යුතුයි.
එසේම නිතර එහාට මෙහාට පනින මේ කුරුල්ලා, ඉලක්ක කරගැනීමත් එතරම් පහසු නැහැ.
ඉතින් මේ කුරුල්ලාට වෙඩි තැබීම ඔස්සේ කල්පනා කර, එය හමුදා කටයුතු වලට යොදවා ගැනීම නිසා, ස්නයිපර්ලා බිහිවුණා.
ස්නයිපර් කෙනෙක් කියන්නේ විශේෂ පුහුණු සොල්දාදුවෙක්.
සාමාන්‍ය සොල්දාදුවකු ලබා තිබෙන්නේ වෙඩි තැබීම පිලිබඳ සම්ප්‍රදායික පුහුණුව පමණයි. එමෙන්ම සාමාන්‍ය සොල්දාදුවා පාවිච්චි කරන්නේ පොදුවේ පාබල හමුදා වලට නිකුත් කරන අවියක්. එසේම ඔහු එම අවිය පාවිච්චි කරන සෑම අවස්ථාවකම සැඟවී සිටින්නට ඉඩ ලැබෙන්නේ නැහැ.
යුද්ධ භූමියේදී තුවක්කුවකින් වෙඩි තැබු විට, ඒ තුවක්කුව තිබෙන්නේ කුමන ඉසව්වේද යන්න, සාමාන්‍ය සොල්දාදුවකුට තම පුහුණුවෙන් ලද දැනුම හා යුද බිමේ අත්දැකීම් වලින් සොයාගත හැකියි.
වෙඩි හඬ පැමිණි දිශාව, තුවක්කු කටෙන් එන සියුම් දුම, වෙඩි තබන්නා සිටින තැන පඳුරුවල කොළ සෙලවීම හෝ කැඩී ඉදිරියට විසිවීම, රාත්‍රී කාලයේදී නම් තුවක්කු කටෙන් පිටවන ගිනි එලිය, ආදී කරුණු ඒ සඳහා ආධාර වෙනවා.
ඉතින් මෙවැනි අනතුරුදායක තත්වයක සිටයි, සාමාන්‍ය සොල්දාදුවා යුද්ධ කරන්නේ. සාමාන්‍ය සොල්දාදුවන් මාස දෙක තුනකින් ආධුනික පුහුණුව නිම කර, යුද පිටියට එවිය හැකියි.
නමුත් ස්නයිපර් සොල්දාදුවකු හදන්න ඇත්තටම බැලුවොත් අවුරුද්දකට වඩා කල් යනවා.
ඒ නිසා සාමාන්‍ය සොල්දාදුවන් සිටින පෙරමුණේම සිට ස්නයිපර් වරයකු සටන් කරන්න ගියොත් (එහෙම කරන අවස්ථා තියනවා) ඔහු ජීවිතක්ෂයට පත්වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ස්නයිපර්ස් ලා බොහෝ විට වෙනමම ක්‍රමයකටයි යොදවන්නේ.
ස්නයිපර් තුවක්කුකරු තම මවු ඒකකයෙන් වෙන්වූ පුද්ගලයෙක්.
එසේ වන්නේ ඔහු ස්නයිපර් පුහුණුව සඳහා තෝරාගත් පසු නැවත මවු ඒකකයට යාමට අවස්ථාව නොලැබෙන බැවින් සහ යුද බිමේ යොදවන්නේද ඒ ප්‍රදේශය තුල සිටින හමුදා වලට අනුයුක්තව මිස, සෑම විටම තම මවු ඒකකය සමග නොවන බැවින්. එක අතකට හමුදාව තුල අනාථයෙක්.
ඔහුට යුද භූමියේ සටන් කරන හමුදා වලින් එතරම් විශාල සහයෝගයක් ලැබෙන්නේ නැහැ.
එවැනි සහයෝගයක් දෙන්නට යුද බිමේ සටන් කරන සෙබළුන්ට අවකාශ ලැබෙන්නෙත් බොහොම අඩුවෙන්.
මේ නිසා තනියම දිවි රැකගැනීම ගැනත් ස්නයිපර්ලාට විශේෂ පුහුණුවක් ලැබෙනවා.
ඒ සියල්ලට වඩා වැදගත්ම දෙය වන්නේ ස්නයිපර් කෙනෙකු පාවිච්චි කරන තුවක්කුවයි.
එය ස්නයිපර් කාර්යය සඳහාම විශේෂයෙන් නිපදවන ලද, ඉතා වටිනා, අතිශයින් සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත්, අවියක් වන අතර, එක් එක් ස්නයිපර් වරයා තම තුවක්කුවේ තමන්ටම ආවේනික වෙනස්කම්ද සකස්කර ගන්නා නිසා එහි වටිනාකම කියන්නට බැරි තරම්.
එමෙන්ම වැදගත්වන තවත් දෙයක් වන්නේ ස්නයිපර් වරුන්ට සපයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයි. ඒවාද ඉතා සියුම් ක්‍රියාකාරීත්වයෙන් යුත්, ඉතා මිළ අධික යන්ත්‍ර වන අතර, ඔත්තු බලන සංඥා යන්ත්‍ර වලට හසු නොවන ක්‍රමවේදයන් අනුව සකස් කරන ලද ඒවා. එයින් යුද බිමේ සිටින තමන්ගේ වර්ගයේ සගයන්ට තමන් නිරීක්ෂණය කරන ඉලක්ක හා ඒ ඉලක්ක වල වැදගත් තොරතුරු ඉක්මනින් ලබාදීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍රයක මයික්‍රෆෝනය තමන්ගේ කට අසලට ගෙන කතා කලයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් ස්නයිපර්ලා පාවිච්චි කරන පණිවිඩ හුවමාරු යන්ත්‍රවල මයික්‍රෆෝනය තිබෙන්නේ ස්නයිපර්ගේ උගුරු දණ්ඩට හේත්තුවී සිටින පරිදියි.
එයට ප්‍රධාන හේතුව ස්නයිපර්ට තම දෑත සෑම විටම නිදහස්ව තබාගැනීමට අවශ්‍ය නිසාත්, සාමාන්‍ය මයික්රෆොනයකට මෙන් හඬ නගා කතාකිරීම නිසා, සතුරන්ගේ අවධානයට ලක්වී, ඔහුගේ ජීවිතය අවදානමට පත් වන්නට ඉඩ ඇති නිසාත්.
ඒ මයික්‍රෆෝනය උගුරෙන් පිටවන සියුම් ශබ්දය පවා ලබාගෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රයට ලබාදෙන නිසා හයියෙන් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
හෙමින් කොඳුරා කියන වචන පවා පැහැදිලිව ඇසෙනවා.
(මේ ක්‍රමයේ මයික්‍රෆෝන, විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, කමාන්ඩෝ, විශේෂ බලකාය, වැනි ඒකකද පාවිච්චි කරනවා)
සැඟවුණු තුවක්කුකරු හෙවත් ස්නයිපර් ගේ කාර්යභාරය වන්නේ, භූමියේ තමන් සිටින ස්ථානය, සතුරාට නිරීක්ෂනය වීමට ඇති ඉඩකඩ අසුරාලමින්, සතුරා සහ තමන් සිටින ස්ථානය අතර සෑමවිටම හැකි උපරිම දුරක් තබාගනිමින්, හැකිතරම් වෙස්වලාගනිමින් හා සැඟවී සිටිමින් (Camouflage and Concealment) සතුරු ඉලක්ක නිරීක්ෂනය කොට, සතුරාගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අකාරයේ ඉලක්ක වලට, එනම්, උසස් හමුදා නිලධාරීන්, හමුදා කණ්ඩායම් වලට අණ දෙන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, බර මැෂින් තුවක්කු, මෝටාර්, යුද ටැංකි නාශක සැහැල්ලු අවි ක්‍රියා කරවන්නන්,
(Light AntiTank Weapons = LAW) ගුවන් යානා නාශක අවි, (Anti Aircraft Guns = Ack Ack Guns) ක්‍රියා කරවන්නන්, වැනි ඉලක්ක වලට පහරදීමයි.
සෑම විටම ඉලක්ක කරගන්නේ පුද්ගලයන්.
බඩුබාහිරාදිය හෝ උපකරණ නොවෙයි.
(ඉතා වටිනා උපකරණ වලට හානි කල හැකිනම් එසේ කරන අවස්ථාත් තිබෙනවා. නමුත් ප්‍රමුඛස්ථානය දෙන්නේ පුද්ගලයන්ටයි. උපකරණයක් ඉක්මනින් නැවත සපයා ගත හැකියි. විශේෂඥ පුහුණු සොල්දාදුවකු ඉක්මනින් සපයාගත නොහැකියි)
ඉහත සඳහන් ආකාරයේ ඉලක්ක වලට පහර වැදුනාම, ඒ හමුදා කණ්ඩායම් බරපතල වික්ෂිප්ත භාවයට හා අවුලට පත්වන අතර ඔවුන්ගේ චිත්ත ධෛර්යය පහත වැටෙනවා.
එයින්ම ඔවුන්ගේ ක්‍රියාන්විත ශක්තිය
(Operation Capability) අඩාළ වෙනවා.
ඒ අනුව, යුද සෙබළුන් රාශියක් යොදවා අත්පත් කරගත යුතු ජයග්රනනයක්, ස්නයිපර් වරු දෙතුන් දෙනෙක් යොදවා කරගත හැකි අවස්ථා ද තිබෙනවා.
ස්නයිපර් තුවක්කුකරුවන්, යුධ භූමියේ සැඟවී ගමන් කිරීම, ආහාර හෝ ජලය රහිතව විකල්ප ක්‍රම මගින් දිවි රැකගැනීම, අපහසුතා දීර්ඝ කාලක් දරා සිටීම, නිරීක්ෂනය සහ ඔත්තු බැලීම ගැනද, විශේෂඥ පුහුණුවක් ලබා සිටිනවා.
එමෙන්ම ඔවුන් කැලෑවේ සැඟවී වෙඩි තැබීමටත්, නාගරික පරිසරයක ගොඩනැගිලි අතර සැඟවී වෙඩි තැබීමටත්, එකසේ විශේෂ පුහුණුවක් ලබා සිටිනවා.
ස්නයිපර්ගේ යටගියාව
19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්.
ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි.
මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්.
පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න.
නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා.
මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා.
20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා.
ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා.
මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්.
ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් – Marksman’ ලෙස වෙනස් වුනා.
මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් – Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි.
හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි.
යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා.
ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි.
විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්‍රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි
මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?
සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්.
සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න.
එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.
ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?
ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි.
ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි.
ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි.
ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි.
ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි.
එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි.
දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්.
එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා.
ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට.
ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්‍රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි.
මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි.
පුහුණුවේදී මොනවද උගන්වන්නේ?
ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා.
නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.
1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම.
2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)
3. උපක්‍රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම.
මේ විෂයයන් තුනට අදාලව ඉගෙනගතයුතු කරුණු සම්භාරය විස්තර කරන්නට මා උත්සාහ නොකරන්නේ එය ඔබව අනවශ්‍ය වෙහෙසකට පත් කිරීමක් සහ ලිපිය කියවීම එපා කරවන හේතුවක් වීමට හොඳටම ඉඩ ඇති නිසයි.
මීළඟට මා ඔබට කියන්නට යන්නේ ස්නයිපර් තුවක්කු ගැනයි.
ස්නයිපර් තුවක්කු වලට දීර්ඝ ඉතිහාසයක් තියනවා.
ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු.
Last edited:




