අප අදහන දෙවි දේවතාවෝ

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    අප අදහන දෙවි දේවතාවෝ

    නර ලොව දෙවියන් ගැන පළමු සටහන තැබුනේ කවදා දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ලෝකයෙ සිදුවීම් දේව කැමැත්ත අනුව සිදුවේ යෑයි කිස්‌තු, හින්දු, ඉස්‌ලාම්, ආගමිකයන් විශ්වාස කරති. ඒ ආගමික ශාස්‌තෲන් වහන්සේලා ද දේවත්වයට පත්වූවන් සේ සැලකේ. මෙයින් බැහැර වූ වෙනත් දෙවිවරු රාශියක්‌ පිළිබඳ තොරතුරු හා මත දේව පුරාණ විමසීමේදී හමුවේ.

    අප රටේ දේව ඇදහිලි හා විශ්වාසයන් ද පෙර දැක්‌වූ කරුණු පදනම්ව පවතී. අදහන ආගම දේව වාදී වීම නිසා නොපෙනෙන දෙවියන් කෙරේ දැඩි විශ්වාසයක්‌ ඇති විය. ඒවායෙන් දේශනා කෙරුණේ ද දේව ධර්මයයි. මැවුම්කරු යයි ඒ දෙවියන් නම් කෙරුණි. අප රටට බුද්ධාගම පැමිණීමට පෙර අවදියේ දී ද දේව සංකල්ප ප්‍රචලිතව තිබිණි. ඊට පාදක වී ඇත්තේ අව්, වැසි, සුළං, ගස්‌, ගල්, තුරුලතා, ඇළ දොළ, ගංගා, ඉර, හඳ, තාරුකා. ගිනි, පරුවත ආදී ස්‌වභාවික වස්‌තූන් ය. මේ හැරුණ විට මියෑදුන අයගේ ආත්ම, මළ යකුන් පිදීම ද කළ බව පණ්‌ඩුකාභය රජ දවස චිත්‍රරාජ කාලවේල යක්‍ෂ උප්පැත්ති වලින් තහවුරු වේ. ආදිවාසීන් නිරතුරුවම මළ යකුන් (මියගිය තම ඥතීන්ගේ භූත ආත්ම) පිදීය. බුදුරදුන් මහින්දාගමනයට පෙර ද ලක්‌බිමට වැඩි සේක. නමුත් අපේ ජාතික ලකුණෙහි සන්ධිස්‌ථානයක්‌ වූයේ මිහිඳු මාහිමි බුදු දහම ගෙන ඒමයි. එම ධර්මයේ බෞද්ධ දේව සංකල්ප දැක ගත හැක. ඉන්දියානු සංක්‍රමණ හා චෝල මාඝ ආක්‍රමණ නිසා හින්දු දේව ඇදහිලි එකතු වූහ. අපරදිගින් පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් සමඟ කිස්‌තු දේව ඇදහීම ප්‍රචලිත වූහ. වෙළෙ¹ම මුල්ව පදිංචි වූ මුස්‌ලිම්වරු නිසා අල්ලා දෙවියන් ද අප රටේ පිරිසකගේ පිළිගැනීමට පත් වූහ.

    මෙසිරිලක දේව සංකල්පයේ පසුබිම එසේ වුවද, අපේ ගම් දනව්වල "දෙවියන් වැඳීම" කරන්නේ මෙලොව යහ පැවැත්මට උපකාර අපේක්‍ෂාවෙනි. රැකී රක්‍ෂා, ගොවිතැන්, කර්මාන්ත හරියාකාරව ඵල ලැබීමටත්, ලෙඩ දුක්‌ රෝග පීඩා දුරු කිරීමටත්, සකල විධ අතුරු ආන්තරාවලින් ආරක්‍ෂා වීමත් මෙයින් බලාපොරොත්තු වෙති. මේ සඳහා බාර හාර, යන්ත්‍ර මන්ත්‍ර, ගුරු හරුකම් යාග හෝම, ශාන්තිකර්ම විධි භාවිත කරති. මේ කිරියා විමසිල්ලෙන් බලන විට පූර්වයේ දැක්‌වූ කරුණු සමඟ ගැලපී ඇති බව පෙනේ.

    බුදු දහමට සම්බන්ධ වූ දේව කොට්‌ඨාශයන් ඓතිහාසික තොරතුරුවලින් මතු වේ. සමන්ත කූට නාමය පවා හැදුනේ බුදුරදුන් පළමු වර පැමිණි අවස්‌ථාවේ මුණ ගැසුන "මහා සුමන" දෙවියන් මුල් කොට ගෙන ය. විජය රජු ලක්‌දිවට පැමිණි දින ශක්‍රයා විසින් උපුල්වන් (කෙහෙරැළි, විෂ්ණු දෙවියන් යෑයි මතයක්‌ ද පවතී) ට පිරිත් හූය බැඳ මේ සිරිලක බාර කළ බැව් මහාවංශයේ කියෑවේ. බුදුරදුන්ගෙන් දෙවියන් සිටී දැයි භාරද්වාජ මානවක ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුරෙහි දෙවියන් සිටිතැයි හැඟේ. පිරිත් දේශනාවලට ඇතුළත් චන්ද, සූරිය, ධජග්ග, මහාසමය, ආටානාටිය සූත්‍රවල දෙවියන් ගැන සඳහන් වෙයි. මහා මංගල, ධම්මචක්‌ක පවත්තන, මෙත්තානිසංස, කරණීයමෙත්ත යනාදී සූත්‍රවලින් දේව විශ්වාසය තහවුරු වෙති. මේ ලෙසින් උපුල්වන්, සුමන සමන්, දෙවියන් සේ ම කන්ද කුමාර දෙවිඳුද බොදු දෙවියෙක්‌ව සැලකුම් ලබති. කතරගම දෙවියන්ට කන්ද සාමි, සරවනබව, සුබ්‍රමණ්‍ය ආදී නම් තිස්‌ ගණනක්‌ ම කියවේ. උපත ගැන විවිධ මත පවතී.

    කතරගම විසූ මහාසේන නම් රජතුමා දේවත්වයට පත් වූ බව එක්‌ මතයකි. ඉසුරු හා උමයංගන විරසක වී මැව් කුමාරවරුන් දරු සෙනෙහසින්ම උමා දේවිය එක්‌ව බදා ගැනීමෙන් කඳ කුමරු බිහි වූ බව තවත් මතයකි. ඒ සඳහනට කවියකි මේ.

    "සය දෙන කුමරුන් එක්‌ කර ඇල්ලූ කල මුහුණ සයක්‌
    තෙදින් සිරස ඔටුනු දරා අත් දොළසකි නැගි මයුරත්
    නමින් පරසිඳු ගෝ සාකර විල්වල වැඩ සිටි යහපත්
    සොඳින් සතට සෙත ගෙනදෙන "කන්ද කුමරු" නම් පවසත්

    මහාවංශයේ දුටුගැමුණු මානවම්ම රජුන් යුද ජයග්‍රහණය පිණිස කඳ කුමරුට බාර වූ බව දැක්‌වේ. නිකාය සංග්‍රහයේ කෙහෙරැලි උපුල්වන්, සමන්, බොක්‌සැල්, විභීෂණ හා කඳ කුමරුන් බොදු දෙවියන් කොට දැක්‌වේ. සතර මහා දේවාල දළදා වහන්සේට ආරක්‍ෂාව ලබා දෙති. ඒවායේ විෂ්ණු, කතරගම, නාථ පත්තිනි යන බොදු දෙවි උතුමන් බල පිහිටුවාගෙන වැඩ වාසය කරති. නාථ දෙවියන් මෛත්‍රී බෝසතුන් ලෙසද, පත්තිනි මෑණියන් මතු බුදු බව පතන බවද මෙම කිරිමව් පිදුම් කවියෙන් පෙනේ.

    සඟුන් දහසකට දන් දී පෙරුම් පුරන්නේ
    මෙදුන් දනෙන් මෑත කපට මතු බුදු වන්නේ"

    දෙවියන්ට ඉහළින් බුදුරදුන් සිටි බව සෑම ශාන්ති කර්මයක්‌ම පන්සිල් ගෙන ආරම්භ කිරීමත්, අවසානයේ පිං පැමිණවීමත් තුළින් සනාථ වේ. ඒවා නමස්‌කාරයෙන් ආරම්භ වූවේ මෙසේය.

    "උතුම් බුත් සරණේ
    ලොව්තුරු දහම් සරණේ
    සමඟ සඟ රුවණේ
    වඳිම් මුදුනත් දී මෙදිණේ"

    බුදු බව ලබන අවස්‌ථාවේ මාර සෙනඟ පරාජය කිරීමට "දැඩිමුණ්‌ඩ" දේවතා බුදුරදුන්ගේ චීවරයේ රැඳී පහර දුන් බව ජනප්‍රවාදයේ කියෑවේ. අපේ කෝල්මුර කීම මීට කදිම සාක්‍ෂියකි.

    පස්‌මරුවන් බිඳ බුදු බව ලබා ගන්ඩ මුණි වැඩි වර
    රැස්‌ කර ආ මාර සෙනඟ සිටියේ මුනිදුන් වටකර
    තොස්‌කර නුඹ වැඩ සිටියේ තුන්යම මුනිදුන් මුරකර
    පස්‌වෙනි වර ගත්තෙමි මම දැඩිමුඩ සුවාමිගේ අවසර"

    විජය ශ්‍රී ජය සිරිමා බෝධීන් වහන්සේ බාරව වැඩ වසන කළු දේවතා හාමුදුරුවන් ද බොදු පිළිවෙතේ දේවතා උතුමෙකි.

    "සුර බඹ ඉසිවර විෂ්ණු මහේස්‌වර බෝධිය සමගින් වැඩමවමින්
    දහ අට කුලයක පිරිවර සමගින් මුහුදු ජලෙන් එති නැවක් පිටින්
    විසිතුරු තෙද ඇති මෙකළු දෙවතා පතුල නොතෙමි එති රැල්ල පිටින්
    අසිතක්‌ නැතුවම සෑසෙන භාරව සිරිමා බෝරජු මුර කරමින්

    අපේ දේව ඇදහිලි හා විශ්වාසයන් විමසීමේදී යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච, දොස්‌ සියල්ල නව අරහාදී බුදු ගුණයන්ගෙන් පිසදා පහ කරන බව ද පෙනේ. සියලු දෙවියන් හා යක්‍ෂාදීන් යහපත් ඇතුල් පන්තියේ, සහ අයහපත් පිට පන්තියේ වශයෙන් බෙදාගෙන ඇත. කඩවර, දෙවියෝ මේ දෙ ආකාරයටම අයත් වේ. දෘඪරාක්‍ෂ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ ලෙස හතරවරම් දෙවිවරු සැලකීමේදී ද යක්‍ෂ සේනාධිපති වන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයායි. පොත්ගුල් හා වෛද්‍ය වෘත්තියට ප්‍රධාන වූ කම්බිලි දේවතාවුන් සැඩ පරුෂ දඬුවම් දෙන දෙවි කෙනෙකි. පොලෝ මහී කාන්තාව සුරකින බහිරව දේවතාවන් ද තද ගති හා දැඩි දඬුවම් පමුණුවන්නෙකි. පත්තිනි මෑණියන් හා කාලි මෑණියන් ද යහපතට කැමැති වුවද, දුටු තැන ද දඬුවම් පමුණුවන ගති වලින් යුතුයි. අයියනායක පුල්ලෙයාරේ වැනි දෙවිවරුන් මනුෂ්‍යයාගේ ජීවන වෘත්තීන්ට සමීපය. එක්‌ පසෙකින් කඩවර ද මෙබඳුය. ඒ නිසාම මේ සියලු දෙනාට ඥතිත්වයක්‌ ආරෝපිත කරති. අයියනාමුත්තා, පුල්ලෙයාර් මුත්තා, කඩවර මුත්තා යෑයි ආමන්ත්‍රණ ලබති. සැර පරුස වූ කම්බිලි බහිරව ඇත්තන්ට ද වෘත්තීය කාරියන්ට ආයාචනා කන්නාකාරි කරද්දී මේ නෑකම් පටබඳිති.

    දෙවියන්ගේ ඉතිහාස කතා හා අණ තෙද කිරියාවන් අනුව පමණක්‌ නොව තවත් කීප ආකාරයකට දෙවියන් වර්ග කර දක්‌වති. ඉන්දියානු හින්දුවරුන්ට අයත් වන විෂ්ණු, පත්තිනි, ගනේෂ ආදී දෙවිවරු එක්‌ කොටසකි. මල්ල දේසේ සිට ගල් නැවෙන් පැමිණි කම්බිලි, අයියනා, කඩවර, කළු දේවතා, ආදී පස්‌කට්‌ටු දෙවියෝ තව කොටසකි. ස්‌වදේශික දෙවියන් ලෙසට සුමන සමන්, බොක්‌සල්, විභීෂණ දෙවියෝ දකිති. ජීවත්ව සිටියදී කළ යහපත් ක්‍රියාවලින් දේවත්වයට පත් මින්නේරි, මහසෙන්, යාපා බණ්‌ඩාර, කිතගම හිටිබණ්‌ඩාර දෙවියෝ තවත් පිරිසකි. දෙවොල් දෙවි, මංගර දෙවි, ඉලන්දාරි දෙවි, හඳුන් බණ්‌ඩාර දෙවි, ගොපලු දෙවි, මුතුමාරි දේවී විශේෂිත හේතු ඇති කාණ්‌ඩයකි. වැව් සෑදූ පෙළපත් දෙවියන් ලෙස කලා කඩවර, හුරුළු මහ දෙවි, මින්නේරු, බිසෝ බණ්‌ඩාර, මහසෙන් ආදීහු දැක්‌විය හැක. ප්‍රදේශාධිපති දෙවිවරුන් ලෙස කුරුණෑගල ගලේබණ්‌ඩාර, මොරටු හා රන්වල දෙවියෝ, වැව්බැඳි රටට හා වන්නි හත්පත්තුවට අයියනායක, සබරගමුවට ශ්‍රී සුමන සමන්, වවුනියා සංහල පත්තුවට පුල්ලෙයාර් රුහුණු රටට ස්‌කන්ධ ආදී ලෙස ද දැක්‌වේ. සෑම ගමකටම ගමේ දේවතාවෙක්‌ සිටී. හූණියම් දේවතාවුන් ද ගමේ දෙවියන් සේ ම සියලු ප්‍රදේශවලටම බලපෑම් කරති. මේ අදහස සනාථ කරවන දේව වරුණාවකි මේ.

    "රටකින් මා ආ හින්දා උපත පටුන බැරි කියන්ඩ
    ගමකින් ගමකට දේවතාව වරම් ලබා පිහිට වන්ඩ
    සැනකින් මම කියන මෙපද වරද ඇතැත් සමාවන්ඩ
    විගසින් මේ ගමෙ දෙවතා සුරිඳුනි මේ ගොටුව ගන්ඩ"

    මෙපමණක්‌ නොව අයහපත් කිරියා මෙන් ම ආගන්තුක හේතුවෙන් දේවත්වයට පත් වූ කොට්‌ඨාශයක්‌ ද ඇත. අබිමාන, අබූත, කළුදෑකඩ, කබලෑවේ, පනම්බණ්‌ඩාර පිටියේ, රට කුරුම්බර, තොටකුරුම්බර ආදී දෙවියන් ඒ ඝනයට අයත් වේ.

    සංඛ්‍යාත්මකව ද දෙවියන් වර්ග කරගෙන ඇත. තිස්‌තුන් කෝටියක්‌ දෙවිවරු සිටිතැයි යාතිකාවල කියවෙයි. දේවතා පස්‌දෙන හා හත්දෙනා මලල රටින් ගොඩබැස ඇත.

    "වැඩමවන්ඩ සිංහලයට මදුරා පුර වැඩ සිටලා
    වැඩපල නැති දෙමළ යකුන් දහස්‌ ගණන් රැස්‌ කරලා
    දෙත බල ඇති දෙවතා පස්‌දෙන සමගින් එකතු වෙලා
    අඩ සඳ ලෙස නැවක්‌ කරති වඩුවන් රැස්‌ කරවාලා"

    කඩවර හත්කට්‌ටුව, තිස්‌ දෙකක්‌, හැට හතරක්‌ ලෙසට ද දක්‌වා ඇත. රත්න, සෙනරත්, ගිණි, මල්, කළු, දළ, කුමාර, කලා, මහ, පරහද, සළු, පිණිදිය, ආදී වශයෙන් ය. සංඛ පද්ම ඇතුළුව අෂ්ඨ බහිරව ද, සත්පත්තිනි, දොළොස්‌පත්තිනි වශයෙන් ද කම්බිලි, තුන්කට්‌ටුව රත්න (රතු) කළු, සැඩ( ගිණි) ආදී වශයෙන් ද වර්ණනා කරති.

    අපේ පුරාණ ගම්වල මේ දෙවියකු ගමේ කෙනෙකුට ආරූඪ වෙයි. දේව අනුමැතිය ලත් ඔහු "අනුමැති රාල" යි. සියලු දෙනාගේ දුක,සැප බැලීම, පිහිටවීම ඒ දෙවිඳු කරති. ඒ ඇත්තන්ට වාර්ෂික පුද පෙරහැර මංගල්ල පවත්වා උපහාර දක්‌වති. දේවාල තනා දෙති. බෞද්ධ රජුන් හින්දු කුමරියන් හා විවාහ වීම නිසා හින්දු දේවාල ගමේ පංසලේ ද සෑදුනි. ගම්වල දෙවියෝ සහලේ උරුමයට පෙරණය කැඹුරුම් ගෙවීමට නෑ යක්‌කු ලෙසින් දේව ආභරණවලට කලින් කල පැමිණේ. බෙහෙත් දීම, ශාන්ති කර්ම කිරීම එතුමන්ලා විසින් කර බොහෝ අණ තෙද පාති. මේ දේව ඇදහීම අදටත් දැක ගත හැක.

    සොබා දහමේ දායාද ආරක්‍ෂා වීමට දෙවියන්ට දැක්‌වූ බිය හා ගෞරවය හේතු වී ඇත. වැරදි සිරිත් ඒ නිසා අප අතරට නාවේය. අන්ධ භක්‌තියෙන් තොරව කෙරුණු ගමේ ඇත්තන්ගේ දේව ඇදහිලි, විශ්වාස, වෘත්තීන්ගේ යහපතට ද පුද්ගල යහපතට ද සමස්‌ත සමාජයේ යහපැවැත්මට ද හේතු විය. නිවැරැදිව භාවිත කළහොත් අදටත් ඉදිරි යහපතට උපකාරී කර ගත හැකි බව මගේ විශ්වාසයයි.




    ඒ.පී.බී.ඉලංගසිංහ
    දිවයින 21-11-2010
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අනේ ඉතින් අපේ බුද්ධිමත් රූමත් නුවණක්කාර අය විභාගෙකට යන්න කලිනුත් ‌දෙයියොන්ට භාර ‌වෙලා ‌දෙයියොං‌ගෙ පෑන අරන් විභා‌ෙගෙට යන අයනේ.‌මේ ර‌ටේ මිනිස්සුන්ට ඔය කපුවො, ‌දෙයියො ඉන්නකං දියුණුවක් නෑ බන්...
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හරිම වැදගත් post එකක්. ස්තුතියි මෙය පළකලාට.