ආදි සිරිලක ආහාර පාන -4

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ආදි සිරිලක ආහාර පාන -4

    කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ (මහසෙන මහරජහ පුත සරිමෙකවණ අබ මහරජ) මෙම තෝණිගල ලිපිය මෙරට ආහාර වර්ග පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන අභිලේඛනමය මූලාශ්‍රයකි. මෙම සෙල් ලිපියෙහි අන්තර්ගත කරුණුවල මූලික අදහස වන්නේ එක්‌තරා ඇමැතියෙකු විසින් ධාන්‍ය, උඳු ආදිය සමාගමක තැන්පත් කර එයට පොලිය වශයෙන් ලැබෙන ආදායමෙන් "සහිසපවත" ආරාමයේ "අරියවස කරන" භික්‍ෂුන් වහන්සේගේ සැප පහසුව සඳහා දුන් බවයි. මෙහිදී පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ එකල කෘෂිකාර්මික අතින් වඩාත් සමෘද්ධිමත්ව පැවති බවකි. එම නිසාම එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය කොටස හැරුණු කොට පැවති අතිරික්‌ත අස්‌වැන්නෙන් කොටසක්‌ සමාගමක තැන්පත් කර තිබූ බවයි. එමගින් එකල මෙරට ආහාර අතින් ස්‌වයංපෝෂිත වන්නට ඇති බව සිතිය හැකිය. වී වලට අමතරව උඳු හා මුං වගා කළ බව ද මෙමගින් පැහැදිලි වේ. ඒවා හේන්වල වගා කොට ඇත.

    "........... උදි ඉච බයලි දස අමණ ඉච මෙ දෙ හඩක දස අ-......." (ලක්‌දිව සෙල්ලිපි, (1969, 209 පිටුව)

    දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර නම් යෝධයා පිළිබඳව එන තොරතුරුවලට අනුව ඔහුගේ සොයුරන් පස්‌දෙනකු එකතුව වනයක්‌ හෙළිකර, කණු මුල් උදුරා උඳු වැපිරීම සඳහා හේනක්‌ සකස්‌ කළ බව මහාවංසයේ සඳහන් වේ. මෙමගින් අනුරාධපුර යුගයේ මුල් භාගයේදී හේන් ගොවිතැන්ද සාර්ථකව සිදු කළ බව පැහැදිලි වේ.

    තෙ ගනත්වා මාසඛෙත්තත්ථං - කොට්‌ටයිත්වා මහාවනං
    තස්‌ස භාග ඨපෙත්වාන - ගනත්වා තස්‌ස නිවෙදයුං

    සො ගනත්වා තං බණං - යෙව රුකෙඛ ඉම්බරසඤඤිකෙ
    ලුඤචිවොනසමං කත්වා - භූමි ගත්ත්වා නිවෙදයි

    (ම. ව. පරි( 23, 51,52 ගාථා)

    අනුරාධපුර යුගයේ මුල් භාගයේදී හේන් වගා කොට ගොවියන් විසින් හැල් වී සහ උඳු, මුං, මෑ. ආදී වූ ධාන්‍ය වර්ග බොහෝ ප්‍රමාණයක්‌ ලබා ගත් බව සඳහන් වන තොරතුරු බොහොමයක්‌ සීහලවත්ථුප්පකරණයෙන් මෙන්ම සහස්‌සවත්ථුප්පකරණයෙන් ද අනාවරණය වේ. සිඛවළඳ විනිසෙහි සඳහන් වන ආහාරයට මෙරට ගොඩ ඉඩම්වල වගා කළ ධාන්‍ය පස්‌ වර්ගයක්‌ වූයේ ගොධුම (තිරිඟු), යව (බාර්ලි), තණහාල්, වරා හා හමු ය. (සිඛවළඳ හා සිඛවළඳ විනිස, මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි, (1955), 68 පිටුව) සුමංගල විලාසිනියෙහි ද මෙරට හේන්වල වගා කරන ලද ධාන්‍ය වර්ග ලෙස දක්‌වා ඇත්තේ ගොධුම, යව, කංගු, වරක හා කුද්‍රeසක ආදියයි. මෙවැනි ආහාර භෝග මෙකල ජනතාවගේ එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇත.

    හේන සෙල් ලිපිවල හඳුන්වා ඇතතේ "සේණ" යනුවෙනි. විශේෂයෙන් වියළි කලාපයේ හේන් ගොවිතැන් කටයුතු සඳහා මුල් කාලීනව ජලය සපයා ගත්තේ අහස්‌ දියෙනි. ජලය ලබා ගැනීමට වාරිමාර්ග පහසුකම් නොමැති හෝ අඩතැනි හෝ මුඩු බිම්වල මෙසේ හේන් සකස්‌කර ඇත. එමගින් ලබාගන්නා බොහෝ ආහාර භෝගයන් මෙරට ජනතාවගේ ආහාරවේල සඳහා යොදා ගත් බවට තොරතුරු ලැබේ.

    එසේම භික්‍ෂුන් වහන්සේ උදෙසා ප්‍රණීත ආහාර වර්ග පිදූ බවට ද තෝණිගල පර්වත ලිපිය සාක්‍ෂි දරයි. ආහාර වේලක්‌ සඳහා යොදාගත් විවිධ ආහාර වර්ගයන් රැසක්‌ මෙහි සඳහන් වේ.

    "....පිණ්‌ඩ හකට දනවට ඉක්චද අතරකජක වට ඉච අකරකජක (පරිකර) යපෙනි ඉච දී මිය වටපෙනි පිල ඉච බුන තෙල ඉච ලොන ඉCචද පලහ වට ඉච වෙටයල ඉCචද වහෙර..... ග සර..... ප. පචනගි......." (E.Z Vol III, p. 198)

    මෙහි සඳහන් ආකාරයට දනවට (බත්). මියවට (මී පැණි). පෙනි (උක්‌ සකුරු). තිල (තල), බුනතෙල (දුන්තෙල්) පලහවට (පලා වර්ග) ලොණ (ලුණු) ආදිය ආහාර වට්‌ටෝරුවට ඇතුළත් වී ඇත.

    මෙසේ භික්‍ෂුන් වහන්සේ උදෙසා පිදූ බව සඳහන් වන එවැනි ප්‍රණීත ආහාර පාන එකල උසස්‌ කුලවතුන්ගේ ආහාර සඳහා යොදා ගත් ඒවා විය හැකිය. එසේම තමන් අනුභව කරන රසවත් ආහාර වර්ග වැඩ කරන සාමාන්‍ය ජනතාවට ද ලබා දීමට ඇතැම් පාලකයන් කටයුතු කළ බව පෙනේ. ඒ අනුව දුටුගැමුණු රජු ලෝවාමහාපායෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලද කාලයේ එහි දොරක්‌ දොරක්‌ පාසා සීනි, තල, සකුරු, මී පිරූ සැලි ද තැබ්බවිය.

    "එහි දොරක්‌ පාසා දහස්‌ ගණන් පිලී පොදි ද සීනි තල තෙල් සකුරු මී පිරූ නොයෙක්‌ සැළි ද තැබ්බවීය......." (ම.ව. පරි( 27, 22 ගාථාව (සිංහල අනුවාදය)

    බත් හැරුණු විට මෙරට භාවිත වූ තවත් ප්‍රධාන ආහාරයක්‌ ලෙසද "කැඳ" (යාගු/ සෙල්ලිපිවල "යාකු") දැක්‌විය හැකිය. මෙය අද පවා ජනප්‍රිය ආහාරයකි. කොළ කැඳ. කිරි කැඳ, ඇල් හාල් කැඳ, ලුණු කැඳ ආදී වශයෙන් කැඳ වර්ග විවිධ වෙති. ඈත අතීතයේ සිටම භික්‍ෂුන් වහන්සේ ලුණු කැඳ වැළ» බවට තොරතුරු ලැබේ. "අම්බිල යාගු" වශයෙන් ද කැඳ වර්ගයක්‌ පිළිබඳ ව සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සඳහන් වේ. එය ඇඹුල් රස එක්‌ කොට සාදා ගත් කැඳ විශේෂයක්‌ වන්නට ඇත. සාමාන්‍ය ජනයා ධාන්‍ය වර්ග වලින් උදැසන ආහාරය සඳහා කැඳ සකසා පානය කළ බව සඳහන් වේ. විශේෂයෙන් කිරිබත් (ක්‍ෂීර පායාස) මෙන්ම කැඳ ද (යාකු) උදැසන ආහාර වේල සඳහා සකස්‌කර ගත් ආහාරයන් වේ.

    දේවානම්පියතිස්‌ස රජුගේ අන්තඃපුරයට ධර්මය දේශනා කිරීමට මිහිඳු හිමියන් වැඩම කළ අවස්‌ථාවේ උන්වහන්සේ උදෙසා පිදූ දානය කැඳ අවුළු හා භෝජනයෙන් යුක්‌ත වූ බව සඳහන් වේ. (ම. ව. පරි( 14, 55 ගාථාව) අවුළු යනු කැඳ සමඟ ආහාරයට ගන්නා කැවිලි වර්ගයන් ය. (සද්ධර්මාලංකාරය, 736 පිටුව)

    ධාතුවංසයට අනුව කාවන්තිස්‌ස රජු විසින් මස්‌ මාළු රස එක්‌කොට සුවඳ ඇල් හාලෙන් පිළියෙල කරන ලද කැඳ හා අවුල්පත් උදැසන ආහාරයක්‌ ලෙස භික්‍ෂූන්ට පිළිගන්වා ඇත.

    "....... මත්ස්‍යමාංස රස හා සමඟ සුවඳ ඇල්සාලෙන් පිළියෙල කළා වූ කැඳ අවුලුපත් ද උදෑසනක්‌ සේ දන් දුන්නේය. ......" (ධා.ව. පරි. 4, 60 පිටුව)

    එළවළු ව්‍යංජන හැරුණුකොට අනුරාධපුර යුගයේ මුල් කාලයේ පටන්ම ලාංකිකයා මස්‌, මාංශ ද අනුභව කිරීමට නැඹුරු වී සිටි බවට තොරතුරු ලැබේ.

    දෙවනපෑතිස්‌ රජු මුව දඩයමෙහි යාම පිළිබඳව සඳහන් වන මහාවංස පුවතින් අපට පැහැදිලි වනුයේ බුදුදහම මෙරටට ලැබීමට පෙර ලාංකිකයන් මස්‌ අනුභව කිරීමට පෙළඹී සිටි බවකි. (ම.ව. පරි( 14, 1 ගාථාව)

    නමුත් බුදුදහමෙන් ලද මනා ශික්‍ෂණයත් සමඟ බොහෝදුරට ලක්‌වැසියා මාංශ අනුභවයෙන් තරමක්‌දුරට හෝ වැලකී සිටින්නට ඇතැයි සිතිය හැකිය. නමුත් විවිධ අවස්‌ථාවන්හිදී මස්‌ මාංශ අනුභව කළ බවට මූලාශ්‍රයන්ගෙන් තොරතුරු හෙළිදරව් වේ.

    මස්‌ අනුභවය සඳහා සකස්‌ කළ ආකාර කීපයකි. ගින්නෙන් පුළුස්‌සා ගැනීම මෙන්ම ව්‍යංජනයක්‌ ලෙස පිසගැනීම සිදුකර ඇත. එසේම කැඳ ආදිය රස ගැන්වීමට ද මස්‌ මාංශ භාවිත කර ඇත.

    පණ්‌ඩුකාභය කුමරු දොරමඩලාවේ ජීවත්වන අවදියේ එහි ගොපල්ලන් "අඟුරෙහි පැළහු මස්‌" (අඩ්ගාර මංස) අනුභව කළ බව සඳහන්වේ. (ම.ව. පරි. 10,15 - 16 ගාථා)

    අංගුත්තරනිකාය අට්‌ඨකථාවට අනුව මොනර මස්‌ (මයුර මාංස), මුව හා ඌරු මස්‌ (මිග සූකර මද්දව) හා මස්‌ (සස මාංස), කුකුළු මස්‌ (කුක්‌කුට මාංස) අනුභවය සඳහා යොදා ගත් බවට තොරතුරු ලැබේ. සීහලවත්ථුප්පකරණයෙහි මනෝරමංස කථා පුවතට අනුව භික්‍ෂූන් වහන්සේලා පවා මොනර මස්‌ ආහාරයට ගත් බව සඳහන්වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු.) 14 පිටුව) සද්ධර්මාලංකාරයෙහි පූවපබ්බත වාසී තිස්‌ස ස්‌ථවිර වස්‌තුවෙහි පූගලුතිස්‌ස මහ තෙරුන්වහන්සේ හට සැමවිටම සුවඳ ගිතෙල් මුසු මොනර මස්‌ හා සමඟ රත් හැල් සාලේ බත් ලැබුණු බව සඳහන්වේ.

    "...... මේ තෙරුන් වහන්සේට ඇම දවස්‌ම සුවඳගිතෙල් මුසු මොනර මස්‌ හා සමඟ රත්හැල්සාලේ බත උපදෙන්නේය ...." (සද්ධර්මාලංකාරය, 415 පිටුව)

    භික්‍ෂූන් වහන්සේලාද මාංශ අනුභව කළ බවට මේ අනුව සාහිත්‍යය මූලාශ්‍රයන් මගින් පැහැදිලිවේ. සද්ධර්මාලංකාරයෙහි සාලිරාජ වස්‌තුවෙහි ඌරු මස්‌ පිළිබඳවත් ඒවා ආහාරය සඳහා සකස්‌ කරගත් ආකාර පහක්‌ පිළිබඳවත් තොරතුරු ලැබේ.

    "..... තෙල්මස, මධුසම, පෙණමස, අඟුරුමස, දුරුමිරිස්‌ ආදිය බහාලන ලද සම්භාර සංයුක්‌ත යි මෙසේ පස්‌ ප්‍රකාරයකින් මාංස පිස ........" (සද්ධර්මාලංකාරය, 520 පිටුව)

    මෙසේ පිළියෙල කරගත් මාංශ රහතුන් වහන්සේලා උදෙසා පිදූ බව සඳහන්වේ. මෙමගින් කි.පූ. 2 වන සියවසේදී පමණ භික්‍ෂූන්වහන්සේලා මාංශ අනුභව කළ බව පැහැදිලිවේ. එසේම 10 වන සියවසට අයත් මැදිරිගිරි ටැම් ලිපියේ සඳහන් ආකාරයට මළ එළුවන් හා කුකුළන් විහාරයට අයත් ආරෝග්‍ය ශාලාවට ලබාදිය යුතු විය.

    "..... මළ එළු කුකුළන් වෙහෙර් බෙද්හලට්‌ බහාලනු කොට්‌ ......"



    අග්‍රා දමයන්ති
    දිවයින 21-11-2010