බෞද්ධ ආර්ථික විද්‍යාව …

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බෞද්ධ ආර්ථික විද්‍යාව …

    පුද්ගල ආර්ථිකය තුලින් රටක් ශක්තිමත් කිරීම කියාදෙන බෞද්ධ ආර්ථික විද්‍යාව …

    860924_520279431355268_1437936802_o.jpg
    වර්තමානයේ වුවද බටහිර වියතුන් බුදුදහම ලෞකික ජීවිතය කලකිරවන, පුද්ගලාභිවෘද්ධිය වසාලන දහමක්‌ සේ හැඳින් වුවද අද එම මතවාදයන් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි පවතින ගෘහස්‌ථ ධර්මයන්හි හරවත් යථා ස්‌වභාවයන් ගැඹුරින් අවබෝධ කොට ගැනීම නිසාවෙනි. බුදුදහමෙහි එන පන්චශීල ප්‍රතිපදාවම පවුලක හා පුද්ගලයාගේ ලෝකොත්තර සැපත හා ලෞකික අභිවෘද්ධියට හේතුවන ආකාරයත් එයම සමස්‌ත රටක යහපතට හේතුවන ආකාරයත් විමසීමෙන් එහි ඇති සමාජමය වැදගත්කම පැහැදිළි වෙයි. පන්සිල් රැකීම යනු සමස්‌ත සමාජයක පුද්ගල විමුක්‌තිය උදාකරනු ලබන්නකි. එහි ඇති සමාජ විද්‍යාත්මක වැදගත්කම ඉතා ගැඹුරුය. නිදහසේ හැසිරීමේ, ආරක්‍ෂාවේ, පෞද්ගලිකත්වයේ ඇති අයිතිය පළමු ශික්‍ෂාපදයෙන් ප්‍රකට වෙයි. පුද්ගලයා හා සාමුහික දේපළ පරිහරණයේ අයිතිය දෙවැන්නෙන්ද පවුල් ඒකකයක නිදහස අභිවෘද්ධිය රැකෙන ආකාරය තුන්වැන්නෙන් ද, සත්‍ය ගරුක භාවයේ වැදගත්කම සිවුවැන්නෙන්ද, එළැඹි සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පස්‌වැන්නෙන්ද පෙන්වා දී තිබේ. මින් වැඩි කොටසක්‌ සමස්‌ත මානව වර්ගයා විසින්ම ලෝකය පුරා ආරක්‍ෂා කරන සමාජ ධර්මතා සමූහයකි.
    මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සඳහා උපකාරී වන වැදගත් කරුණු රැසක් මංගල, වසල, පරාභව, වෙළුද්වාර, ධම්මික, කුමාරිකෝවාද වැනි සූත්‍ර වලදී පැහැදිලි කර දී තිබේ. එමෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ දී ද මෙයට අදාළ වන කරුණු රැසක් දක්වා තිබෙන අතර, මෙම සූත්‍රයේ මෙලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් හා පරලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් දේශනා කර තිබේ. පංචශීල ප්‍රතිපත්ති, සතර සංග්‍රහ වස්තු ආදිය පිළිබඳ වසල, පරාභව ආදී සූත්‍ර දේශනා මගින් ඉගැන්වෙන කරුණු පරීක්‍ෂා කර බලන විට පුද්ගලයෙකු මෙලොව දියුණුව සලසා ගත යුතු පිළිවෙත ගැන කරුණු රැසක් අපට හමුවෙයි.
    අලස තැනැත්තාට කිසිවිටකත් දියුණුවක් නොසැලසෙයි. මනාලෙස ධනය උපයන්නකු වීම අවශ්‍ය ගුණාංග සතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙයි. එනම්,
    1. උට්ඨාන සම්පද්‍රා
    2. ආරක්ඛ සම්පද්‍රා
    3.කල්‍යණ මිත්තතා
    4. සමජීවිකතා
    යනු ඒ සතරයි. (අං.නි. 08 නිපාතය)
    දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් සවස යැයි සිතා අලසව කටයුතු අතපසු කළහොත් ධනයෙන් පිරිහෙයි. ජීවත්වීමේ ප්‍රශ්නය මැනවින් විසඳා ගැනීම සඳහා කෙනෙකු තුළ දැඩි වීර්යයක් උත්සාහයක් තිබිය යුතුයි. දැහැමින් උපයාගත් ධනය රැක ගැනීම ආරක්‍ෂාවයි. ජලය, ගින්න, සොර සතුරු වැනි උවදුරු වලින් පමණක් නොව වස්තුව නැසෙන වෙනත් කරුණුවලින් ද මිදී තම ධනය රැක ගැනීම වැදගත් ය. කළණ මිතුරන් ආශ්‍රය කිරීව වැදගත් වන්නේ එහෙයිනි. සමජීවිකාව නම්, අය, වැය සමව සිටින සේ දැන වියදම් කිරීමයි. සපයාගත් ධනයෙන් ප්‍රයෝජන නොගැනීමත් ආදායමට වඩා වියදම් කිරීමත් බෞද්ධ ජීවන පිළිවෙත නොවේ. ණය නැති බව ද සැපයකි.
    “ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථං ච නිධාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”
    මෙම ගාථාව ධනය වියදම් කිරීම පිළිබඳ මහඟු උපදේශයයි. තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව හා නිරවුල් රක්‍ෂණ ක්‍රමයක් අනුදැන ඇත. මෙකී කරුණු වලින් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ලෞකික අභිවෘද්ධිය ගැන ද කොතරම් සැලකිල්ලක් දැක් වූ සේ ද යනු පැහැදිලිව පෙනෙයි.
    එසේම පුද්ගලයකුගේ මෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන තවත් කරුණක් ලෙස උට්ඨාන වීර්යය හඳුන්වා දී තිබේ. උට්ඨාන වීර්යය ඇත්තකු නිරන්තරයෙන්ම දියුණුව කරා ගමන් කරන්නකු සේ හැඳින්වෙයි. කිසියම් ධාර්මික වූ ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා ගොඩනගන අඩිතාලමද ඉතා යහපත් එකක් විය යුතු ය. එමෙන්ම එය කරගෙන යෑම ද එසේම විය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය ද සාර්ථක විය යුතු ය. ආර්ථික සම්පත්තිය දියුණු වූ පමණින් සමාජයක් යහපත් නොවේ. සමාජයේ ජීවත් වන්නා ශිෂ්ට විය යුතු ය. ඔහු යුතුකම් දන්නා අයකු ද විය යුතු ය. මවුපියන් පෝෂණය කිරීම අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, ඤාති මිත්‍රාදීන්ට සැලකීම ගරු කළ යුතු අයට ගරු කිරීම කළගුණ සැලකීම යන වැදගත් යුතුකම් මංගල සූත්‍රයෙන් පෙන්වා දී ඇත. මෙම කරුණු මැනවින් ඉටු වෙයි නම් ඔවුනොවුන් අතර හොඳ හිත වැඩෙයි. සමාජ දියුණුව ද සැලසෙයි.
    බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ව්‍යාග්ගපජ්ජ සූත්‍රයෙහි දී ධනය විනාශ වන පිළිවෙත් වලින් ඈත්වීම පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන බව පෙන්වා දී ඇත. එහි දී සුරාව, සූදුව පර ස්ත්‍රීන් කරා යෑම, පාප මිත්‍ර සේවනය වැනි අයහපත් දේ වලින් ඈත් විය යුතු බව පෙන්වා දෙයි. සුරාවට ලොල් වූ තැනැත්තා බලා සිටියදී මෙන් පිරිහීමට පත්වෙයි. ඔහු සතු ධනය ඉක්මනින් විකාශයට පත්වෙයි. පාප මිත්‍ර සේවනය ද පුද්ගල පරිහානිය සලසන පිළිවෙත් බව එම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම කරුණු අපාය මුඛ, ලෙස හඳුන්වා දී ඇති අතර ගිහියකුට මෙලොව දියුණුව සලසන ප්‍රධාන සාධකයක් ලෙස ආර්ථික තත්ත්වය දියුණු කරගැනීම පෙන්වා දී ඇත. අණන සූත්‍රයේ දී ගිහියාට ලද හැකි සැප සතරක් පෙන්වා දී තිබේ. එනම්
    01. අත්ථි සුඛ,
    02. භෝග සුඛ
    03. අණන සුඛ
    04. අනවජ්ජ සුඛ යන හතරයි.
    ප්‍රමාණවත් ධනයක් තිබීම, අත්ථි සුඛය යි. එය පරිභෝජනය කර සුවදායක ජීවිතයක් ගත කිරීම භෝග සුඛයයි. තව කෙනෙකුට ණය නොවී ජීවත්වීම අණන සුඛය යි. වැරැදිවලින් ඈත්ව, නිවැරැදි ජීවිතයක් ගත කිරීම, අනවජ්ජ සුඛය යි.
    ඒ අනුව මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන් ආර්ථිකය සම්බන්ධ බව පැහැදිලියි. දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය “ තුළ ගොවිතැන තුළින්, වෙළහෙළඳාම් තුළින්, රාජ්‍ය සේවය තුළින් මිනිසුන් ධනය සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා. බුදු සමය ආර්ථිකය අවශ්‍ය බව පිළිගත්තත් ධාර්මික ලෙස ධනය ඉපයීම තමයි බුදු දහම අනුමත කරන්නේ. සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කිසිසේත් තවත් සත්වයකුගේ පැවැත්මට හානිකර නොවන ලෙස පවත්වාගත යුතු බවයි, බුදුසමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව මිනිස් සමාජයේත් සත්ව සමාජයේත් විනාශයට ප්‍රධාන හේතු සාධක වන බරපතල ව්‍යසන ඇතිවන අධාර්මික ව්‍යාපාර පහක් බුදුසමය මගින් ඍජුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනම් අවි ආයුධ වෙළෙඳාම මස් පිණිස සතුන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම වහල් වෙළෙඳාම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම යනු, ඒ ව්‍යාපාරයි. මේ වෙළෙඳාම් පහ තුළින් ඉතා ඉක්මනින් ධනය සම්පාදනය කරන්න හැකියාව ලැබුණත් බුදුසමය පෙන්වා දෙන්නේ එමගින් සමාජයට විශාල හානියක් සිදුවන නිසා එමගින් ධනය සම්පාදනයට ගිහියා නොපෙළඹිය යුතු බවයි. එසේම ධාර්මික වෙළෙඳාමක් සිදුකළත් තුලා කූට, මාන කූට, කංස කූට ආදී හොර කිරුම් මිනුම් ආදියෙන් තොරව එය කරගෙන යායුතු බවයි බුදුරදුන් දේශනා කර ඇත්තේ බුදු සමයෙන් ප්‍රකාශ වන ආර්ථික ප්‍රතිපත්ති වලින් එකක් පහත දැක්වෙයි.
    උට්ඨාන විරියාධි ගතා
    සේදා වක්ඛිත්තා
    බාහා බල පරිචිතා
    ධම්මිකා ධම්ම ලද්දා ‘
    මිනිසුන් විසින් දැහැමිව ධනය සම්පාදනය කරනවා නම් එහිදී අනිවාර්යයෙන් එය, උට්ඨාන වීර්යයෙන් හෙවත් කම්මැලි නැතිව උත්සාහයෙන් බානා බල පරිචිතා “ යැයි දෙසු ලෙස බාහු බලය යෙදවීමෙන් දහඩිය වැගිරීමෙන් (සේදා වක්ඛිත්තා ) එපමණක් නොව “ ධම්මිකා ධම්ම ලද්දා “ ධාර්මිකව ඉපැයූ ධනයක් විය යුතු බවයි පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසා
    ඔබ බෞද්ධයකු ලෙස ධනය සම්පාදනය කිරීමෙහි ක්‍රියාවලියෙහි යෙදී ‘අත්ථි සුඛය “ හෙවත් මට තිබෙනවාය කියන ඒ සතුට භුක්ති විඳින්නට අපේක්‍ෂා කරනවා නම් ඉහත සඳහන් ක්‍රම ඔස්සේ ධනය සම්පාදනය කළ යුතු බවයි. බුදු සමය ඔබට පෙන්වා දී තිබෙන්නේ.
    විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කුටදන්ත සූත්‍රයේදී පෙන්වා දී තිබෙනවා රජවරුන් විසින් රාජ්‍යය විසින් අනිවාර්යෙන් දැහැමි වු ව්‍යාපාරයන්ගේ නියැළෙන්නා වූ පිරිසටත් ගොවිතැනෙහි කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නා වූ පිරිසටත් ධනය අඩු පොළියට ණය වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය බීජ පොහොර, භූමිය ආදිය ලබාදීමත්, වෙළෙඳාම් සඳහා වෙළෙඳපොළ සකසාදීමත් වැනි කරුණු රජය විසින් ඉටු කළ යුතු ය.
    ඒ අනුව බුදු දහම ඍජුව ආර්ථික විද්‍යාවක් ලෙස හැඳින්විය නොහැකි වුවත් ආර්ථිකයට සම්බන්ධ බොහෝ කාරණා බුදු සමය විසින් අවධාරණය කර ඇති බවත් අපට මෙහිදී අවබෝධ කරගන්නට පුළුවන්. බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික අරමුණ වන්නේ ජීවිතය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව කල්පනා කර ලෝකය පිළිබඳ ඇලීමකින් ගැටීමකින් තොර තත්ත්වයට පත්වීම හෙවත් නිර්වාණාවබෝධයට පත්වීමයි. එහෙත් එතෙක් යන ගමනේදී අනිවාර්යයෙන් ආර්ථික දියුණුව අවශ්‍ය බව බුදු සමය පිළිගනියි. භාවනානුයෝගියකුට කිසිසේත් මධ්‍යම ප්‍රතිපදාවේ නොසිට ආහාරපාන නොගෙන භාවනාව කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් භාවනාව තුළින් විමුක්තිය සොයන යෝගියකු නඩත්තු කිරීමේ කාර්යය උපාසක උපාසිකා සමාජයට පැවරෙනවා. උපාසක උපාසිකා සමාජය විසින් විමුක්තිය සොයා යන කෙනෙකු නඩත්තු කිරීමට නම් අනිවාර්යයෙන් ඔවුන් විසින් ධනය සම්පාදනය කළ යුතු වෙනවා. එබැවින් අපි අවබෝධ කරගත යුත්තේ ආර්ථික කටයුතු වලින් නිදහස් වෙලා ආර්ථිකයෙන් අයින්වෙලා ගිහියාට විමුක්තිය ලබාගැනීම අසීරු බවයි.
    බුදුරජාණන් වහන්සේ බෞද්ධ ගිහියාට අය වැය සමව පවත්වාගෙන යන්නට ලබාදී ඇති උපදේශනය පුද්ගලයාගේ ආර්ථිකය උන්වහන්සේ ආර්ථිකයට සම කර දක්වන්නේ වැවකට . වැවක වතුර, වැවට ඇතුළු වන දොරටු සහ වැවේ ජලය පිටවන දොරටු වශයෙන් දොරටු වර්ග කිහිපයක් තිබෙනා බවත් යම් කිසි කෙනකු විසින් වැවේ ජලය ඇතුළු වෙන දොරටු වසා දමා පිට වන දොරටු පමණක් විවෘත කර තැබුවහොත් අනිවාර්යෙන් ම එම වැවෙහි ජලය සම්පූර්ණයෙන්ම හිස්ව යන්නා සේ , ධනය සම්පාදනය නොකර, වියදම් කිරීම පමණක් කළහොත් ඔහුගේ ආර්ථිකය පරිහානිය, කරා යන බවයි, බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම යම් ආකාරයකින් වැවට ජලය එන දොරටුත් වැවේ ජලය පිටවන දොරටුත් විවෘත කළහොත් එහි ජලය නොරැඳෙන්නේ සේ තමන් විසින් හරිහම්බ කරන සියලු ධනය ඉතා කෙටි කලකින් කෑම බීම ඇඳුම් පැළදුම් උදෙසා විය පැහැදම් කිරීමෙන් කටයුතු කිරීම තුළ පුද්ගලයා ආර්ථිකමය වශයෙන් පරිහානිය කරා යන බවත්, පැහැදිලි කර ඇත. එපමණක් නොවෙයි වැවේ ජලය පිට වන දොරටු වසා දමා ජලය ඇතුළුවන දොරටු ඇර තැබීමත් බුදුසමය අනුමත කරන්නේ නෑ.
    පරිභෝජන කාර්යේදී ආත්මාර්ථකාමී වීමද සුදුසු නොවන බවයි. බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව “ රාජ බලි “ රජ්ජුරුවන්ට ගෙවිය යුතු අය බදු, “ ඥාති බලි “ නෑයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ “ අතිති බලි” ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ,
    ‘පුබ්බ පේත බලි ‘ (මිය ගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කළ යුතු පින්දීම් ) ආදිය සේම “දේවතා බලි” ආගම දහම වෙනුවෙන් සිදු කළ යුතු සංග්‍රහද ඉටු කළ යුතු බව බුදුරදුන් පෙන්වා දී තිබෙනවා. යම් කිසි පුද්ගලයකු විසින් “ පංච බලි “ ලබාදීමෙන් තොරව තමන් තනිවම භුක්ති විඳිනවා නම් එය වැවක ජලය පිටවන සියලු දොරටු වසා දැමූ විට එහි ජලය පිරී ඉතිරී බැමි කැඩී විනාශ වී යන්නා සේ පුද්ගලයා සමාජයීය වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද පිරිහීම කරා යන බවයි. බුදු සමය පෙන්වා දෙන්නේ.
    එබැවින් වැවට ජලය එන දොරටු ඇර, පිට වන දොරටු වසා තැබුවත් අවශ්‍ය මොහොතේදී අතිරික්ත ජලය ඉවත් වීමට අවශ්‍ය දොරටු පමණක් විවෘත කර තබන ලෙස පෙන්වා දෙන බුදුසමය අත්‍යවශ්‍ය මොහොතේදී හැකි පමණින් මිනිසුන්ට උදව් උපකාර කරමින් අනෙක් අයගේ ජීවිතවලට ද උපකාරයක් රැකවරණයක් වෙමින් අරපරිස්සමෙන්ද කටයුතු කළ යුතු බව පරිභෝජන ක්‍රියාවලිය පිළිබඳ මඟපෙන්වමින් දේශනා කර ඇති ආකාරය අපට දැකගන්නට පුළුවන්.
    “පත්තකාම්ම සූත්‍රයේදී” බුදුන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ “ආයතන පරිභෝජනය” මනා සමාජයක්‌ ගොඩනගාලන ගෘහස්‌ථ ධර්මතාවකි. පුද්ගලයා හුදකලා ප්‍රාණියකුම නොව මහා සමාජයේ එකකයකි. ඔහු තමා උපයන දෙය සමග තම වටපිටාවටද දායක විය යුතුය. ආහාරය මෛතුන්‍යය හා නින්ද පමණක්‌ ජීවිතයෙහි පරම අරමුණ කොටගත් තිරිසනුන්ගෙන් මනුෂ්‍යයා වෙනස්‌ වන්නේ මේ නිසාය. තවත් සරළව දැක්‌වුවහොත් තමා අවට සිටින්නත්, විවිධ සමාජ සංස්‌ථා, ආදිය සමග සහසම්බන්ධතා පැවැත්විය යුතුය. තමාගේද, මා පියන්ගේද, ඥති හිතමිත්‍රාදීන්ගේද, ආගන්තුකයන්ගේද, මියගියවූවන්ට, දෙවියන්ට, රජයට, පූජකයන්ට ආදී වශයෙන් ‘බලි’ ලෙසින් හඳුන්වන දානයන් සමාජ සම්බන්ධතා ලෙස පවත්වා ගත යුතුය. එසේ නොකරන පුද්ගලයා අත පත් ධනය නුසුදුසු ස්‌ථානයට පත්වූ දෙයක්‌ ලෙසින් අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේදී දක්‌වා තිබේ.
    එසේම පස් පව්වලින් වැළකී සිටීම ද අංගුත්තර නිකායේ දසක නිපාතයෙහි සඳහන් දස අකුසල් වලින් වැළකීම ද මෙලොව දිවිය සාර්ථක කරයි. බුදු දහමේ සඳහන් කළ යුතු දේ කිරීමටත්, නොකළ යුතු දේ නොකිරීමටත් පෙළඹෙන පුද්ගලයා සමාජයෙහි ගෞරවාදරය දිනා ගන්නා කෙනෙකි. එපමණක් නොව සතර අගතිවලට පත්වීමෙන් තොරවීම ද පුද්ගලයකුගේ මෙලොව දියුණුව සලසා ගැනීමට අවශ්‍ය වෙයි.
    හොදයි, දැන් අපි වර්තමාන ලෝකය පිලිබද මදක් සලකා බලමු.
    අද ලෝකය යළිත් වරක් ආර්ථික අර්බුදයක නිමග්න වී සිටියි. බැංකු ප්‍රමුඛ මූල්‍යායතන පවත්වා ගෙන යෑම සඳහා රාජ්‍ය ආධාර අවශ්‍ය වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා නොමැති අතර දහස් ගණනින් මිනිසුන් රැකියා වලින් ඉවත් කරනු ලැබේ. නිෂ්පාදන විකුණා ගැනීමට අපහසු වී ඇති නිසා ආනයන අපනයන වෙළෙඳාම අනතුරකට භාජනය වී තිබේ. ධන කුවේරයන්ගේ පරිභෝජන රටාව පවා වෙනස් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කෙරේ. ලබාගත් ණය ආපසු නොගෙවීම නිසා මූල්‍යායතන බංකොලොත් බව ලබමින් තිබේ. මේ ආදී වූ අනේක විධ ආර්ථික අර්බුද උද්ගත වෙමින් පවතී.
    විශේෂයෙන් සංවර්ධනයෙහි උපරිමයේ සිටින ඇමෙරිකාව වැනි රටවල සුපිරි ධනවතුන්ගේ ක්‍රියා කලාපය මෙයට හේතු වී ඇති බව ප්‍රකාශ වී තිබේ. පංචකාම සම්පත් අනුභවයෙහි කෑදරකමින් පෙළෙන කෝටිපති ධන කුවේරයන් ඉහළම ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කෙරෙන අර්ථික කපටිකම් නිසා අතිමහත් ජනතාවක් දුෂ්කරතාවනට පත්වී ඇත්තේ ගෝලීයකරණයේ අනිෂ්ට විපාක වශයෙනි.
    බටහිර ආර්ථික විද්‍යාවට අනුව “දියුණුව” නොහොත් “සංවර්ධනය” යනු “නිශ්ච්ත ආර්ථිකයක ඇති සම්පත් එහි සිටින ජනතාවගේ වුවමනා සංතෘප්ත කිරීම සඳහා ප්‍රශස්ත අන්දමින් බෙදා හැරීම, ආර්ථිකයේ ප්‍රමාණත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම” යි.
    බටහිර ආර්ථික විද්‍යාවට අනුව එහි මූලික උපකල්පනයක් වන්නේ, මිනිස් වුවමනා අසීමිතයි, ඒ අසීමිත වුවමනා තෘප්ත කර අවසාන කළ නොහැකියි කියන එක. ඒ අනුව ඊනියා සංවර්ධනය කිසි දාක බටහිර ආර්ථික විද්‍යාවට අනුව ලබාගත නොහැකියි. බොහෝ බටහිර රටවල් සංවර්ධිත රටවල් කියල කිව්වත් ඒවායේ HDI (Human Development Index) එක වඩාත් හොඳ අගයක් වුණත් එහි ජනතාව තෘප්තිමත් කියල කියන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන්ගේ වුවමනාවන් අසීමිත වීම සහ ඒවාට සාපේක්ෂව සම්පත් හිඟ වීම.
    ඔන්න ඔය ගැටලුවට පිළිතුර බෞද්ධ ආර්ථික විද්‍යාවේ තිබෙනවා. බෞද්ධ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී අවධානය යොමු කෙරෙන්නේ හිඟ සම්පත් ප්‍රශස්ත අන්දමින් ආර්ථික කාරක කරා බෙදා හැරීම නොව, මිනිස් වුවමනා හැකි තාක් සීමිත කරගැනීමටයි. එහිදී ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛස්ථානයක් ගනී. ලොව වඩාත් සතුටින් සිටින ජනතාවක් වාසය කරන රට “ටිබෙටය” ලෙස පිළිගැනීම පි‍ටුපස ඇති රහසනම් එහි ජනතාවගෙන් බහුතරයක් බුදු දහම තම ජීවිතයට බද්ධ කරගනිමින් අට ලෝ දහමෙන් හැකි තාක් කම්පා නොවී ලද දේ සැපක් යැයි සිතමින් අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වී සිටීමයි. (තවමත් බහුතරයක් බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකාව HDI අනුව 22 ස්ථානය ගෙන තිබීමත් මෙහිදී සළකා බැලිය යුත්තක්)
    සතුට කියල කියන්නේ මහා පුදුමාකාර දෙයක්, සමහර වැඩිහිටියො කියනව “පුතේ ආං බලාං යායම පීදිලා, කිරිබංඩි ගොයම හිනා හෙනව දකිද්දී බඩත් පිරුණා වගේ” කියල. මාර්ගඵල ලද උතුමන්ලාට නිරාහාරව සක්මන් කරමින් ජීවත් විය හැකියි කියල දහමේ දැක්වෙනව, සමහර විට එතුමන්ලා ලද ලෝකෝත්තර සතුට ආහාරයක් කරගන්නව ඇති. ඒ විතරක් නොවෙයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර ලෝකයෙන් මෙලොවට පැමිණි බ්‍රහ්මයින් මුල් කාලයේදී සතුට ආහාරයක් කරගෙන ජීවත් වෙන බව දැක්වෙනව. ඔය සියල්ලෙන්ම පෙනෙන්නේ බඩේ ගින්න නිවීමට වඩා හිතේ ගින්න නිවීම වැදගත් බවයි.
    සංවර්ධනය යනු ධනය රැස් කිරීමනම්, ශ්‍රී මුඛ දේශනාවට අනුව “සංතුට්ඨී පරමං ධනං” ලෙස විග්‍රහ වෙද්දී වඩාත්ම සතුටින් වාසය කරන ජනතාවක් වෙසෙන රට ලොව සංවර්ධිතම රට බවට පත් වෙයි. ඒ අනුව අප රට ලොව සංවර්ධිතම රාජ්‍යය බවට පත් කිරීමටනම් කළ යුත්තේ, බටහිර කසිකබල් ආර්ථික විද්‍යාවට අනුව, තිබෙන ගස් කොළන් ටික කපා දමා වැව් කුඹුරු ටික ගොඩ කර දමා අහස උසට ගොඩනැගිලි ඉදි කරමින් සිංගප්පූරුව මෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීම නොවේ. බෞද්ධ ආර්ථික විද්‍යා මාවතේ ගොස් ජනතාවගේ වුවමනාවන් හැකි තාක් සීමිත කරගනිමින් ආධ්‍යාත්මිකව නිදහස් ජීවිතයකට ඔවුන්ව යොමු කිරීමයි. ඒ සඳහා ඉවරයක් නොමැතිව රූපවාහිනියෙන් පෙන්වන සහ හංදියක් හංදියක් ගානේ ඇති වෙළඳ දැන්වීම් ටිකවත් පාලනය කරගනිමින් යම් ආරම්භයක් දීමට රජයට හැකි විය යුතුයි.
    වැදගත් කාරණාව වන්නේ අල්පේච්ඡ ජීවිතය කියන එක, අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක් වන සිංහල බෞද්ධ ජනතාවගේ ඇඟේ තියෙන එකක්. නමුත් අලෙවිකරණය මගින් අසීමිත වුවමනාවන් කෘතිමව ජනතාව වෙත ආරෝපණය කිරීමෙන් සිදුවී ඇත්තේ, එම වුවමනාවන් උපයෝජනය (Utilise) කර ගැනීමට ජනතාව ප්‍රමාණවත් ආර්ථිකමය නිෂ්පාදනයක් සිදු නොකරද්දී අතේ මුදල් නොමැති වීම නිසා ජනතාව ඉච්ඡාභංගත්වයට පත් වීමයි. එහි ආතතිය අන්තිමේදී පවත්නා ඕනැම රජයක් පිටින් යාම 48 සිටම සිදුවූ ආකාරය අළුතෙන් පැහැදිළි කළ යුතු නෑ. ඔන්න ඔය හේතුව නිසාත් වුවමනාවත් සංතෘප්ත කරන කසිකබල් සංවර්ධනයෙන් මිදීම පක්ෂ බේධයකින් තොරව ඕනෑම රජයකට වැදගත් වේවි.
    අද බටහිරයන් පවා “Simple Life” යන සංකල්පය තුළින් අනුගත වෙන්නට උත්සාහ ගන්නේ ඒ බෞද්ධ ආර්ථික විද්‍යාත්මක සංවර්ධනයේ භෞතික අංගය වන අල්පේච්ඡ ජීවිතයටයි. නොසි‍ඳෙන ආශාවන්ගෙන් ගිනිගන්නා බටහිර ලෝකය, අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ වැනි හිමිවරුන් දෙසන සුමධුර දහම් අමා වැසි වල සිසිලසින් නිවී ගොස් ආධ්‍යාත්මික සංවර්ධනයකුත් ඇති වුන දාට, කේන්ස් – ඩේවිඩ් රිකාඩෝ – ඇඩ්ෆ්‍රඩ් මාෂල් ලාගේ නූතන පරපුර අපටත් “Buddhist Economics” උගන්වාවි, අන්න එදාටනම් අපේ සරසවි වල ඇදුරොත් බටහිරයන්ගෙන් නැවතත් කොපි කරගන්නා අළුත් ආර්ථික විද්‍යාව වැළඳගනීවි.
    පින්වත් යාලුවනේ වෙන මොන දහම තුලද මේ ආර්ථික විද්‍යාව තියෙන්නේ. මේ තරම් ශ්‍රේෂ්ඨ දහමක් මේ විශ්වය තුල යලි කිසි දිනක ඔබට දකනට නොලැබේ. එසේ හෙයින් අනන්ත බුදුගුණය කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවන්න. දහම හදවතින් වැලදගන්න. ඒ දහම ඔබට දෙලොවම යහපත උදාකරාවි.
    බුදුසරණ පුවත්පතේ ලිපි හා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ලිපි එක්කොට සකස්කල ලිපියකි.
    මෙහි මුල් ලිපි සකස්කල අයට අපමණ පින් අත්වේවා. මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …
    අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා
    … … …
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය පාලනයට බුදුදහමින් උපදෙස්

    737020_494656437250901_1882023735_o.jpg
    බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. ඒ තුළින් ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් පුද්ගල දියුණුව අපේක්‍ෂා කළ උන්වහන්සේ ඇතැම් තැන්හිදී දේශපාලනික වශයෙන් සමාජයට ඇවැසි කරුණු කාරණා දේශනා කර තිබේ. මනා කොට සංවිධානය කර ගත් පසු එම කරුණු බෞද්ධ දේශපාලන දර්ශනය ලෙස විග්‍රහ කළ හැකි ය. පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක්‌ ගොඩනගා ගත යුත්තේ කෙසේ දැයි එම බෞද්ධ දේශපාලන දර්ශනයෙන් ඉගැන්වේ.
    චක්‌කවත්ති සීහනාද සූත්‍රය, කූටදත්ත සූත්‍රය, ධම්මික සූත්‍රය, අධම්මික සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, මහාපරිනිබ්බාන සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් බුදුන් වහන්සේ දැහැමි පාලකයකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් දේශනා කර තිබේ. හුදෙක්‌ බෞද්ධ සමාජයට පමණක්‌ නොව, ජාති, ආගම් භේදයකින් තොරව ඕනෑම පාලකයකුට ක්‍රියාවේ යෙදවිය හැකි පරිදි එම කරුණු සකස්‌ වී තිබේ. බුද්ධකාලීන සමාජයට මෙන්ම වර්තමාන අනාගත සැම කාලයකටම ගැලපෙන පරිදි බුදුන් වහන්සේ බෞද්ධ දේශපාලන දර්ශනය ඉදිරිපත් කොට ඇත.
    යම් රටක පාලන තන්ත්‍රය ගොඩනැගිය යුත්තේ එම රටටත්, රටේ ජනතාවටත් ගැලපෙන ආකාරයටය. රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනැඟිය යුත්තේ රටේත් ජනතාවගේත් සුබ සාධනය උදෙසාය. සමාජ ආචාරධර්මවලට හා අයිතිවාසිකම්වලට එකඟව ගොඩනැඟිය යුතු එම රාජ්‍ය ප්‍රතිපත්තිවල අවසාන අරමුණ විය යුත්තේ සංවර්ධනයයි. රටක්‌ සංවර්ධනය කරා ගෙන යැම සුළුපටු කරුණක්‌ නොවේ. එ සඳහා ශක්‌තිමත් පාලකයෙකු, එනම් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ අවශ්‍යය. එනම් ස්‌ථාවර රජයකි. ස්‌ථාවර රජයක්‌ ගොඩනැගෙන්නේ මහජන කැමැත්ත ඉහළ යන තරමටය. මහජන කැමැත්ත ස්‌ථාවරව පවත්වා ගෙන යැම ලෙහෙසි පහසු නොවන අතර එය ර¹පවතිනුයේ පාලන ස්‌වභාවය අනුවය.

    ශක්‌තිමත් පාලනයක්‌ තුලින් රටක්‌ සංවර්ධනය කරා ගෙන යා හැක්‌කේ ධාර්මික පාලකයකුට පමණි යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික අදහසයි. රටක පළමු පුරවැසියා පාලකයා ය. රටේත් ජනතාවගේත් ඉරණම ර¹ පවතින්නේ පාලකයාගේ ක්‍රියාකලාපය මතය.
    “සබ්බං රට්‌ඨං සුඛං සේති
    රාජා වේ හෝති ධම්මිකො”

    පාලකයා දැහැමි වන්නේ නම් රටවැසියා සැපතට පත්වෙති. මහජනතාව සතුටින් කල්ගත කිරිමට නම් පාලකයාගේ දැහැමි පාලනය අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාවයි. එම නිසා “රජතුමා ධාර්මිකයකු වේවා” යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ප්‍රාර්ථනයයි.
    “රාජා භවතු ධම්මිකෝ……” යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පාලකයා දැහැමි වන විට අමාත්‍ය මණ්‌ඩලය දැහැමි වේ. අමාත්‍යමණ්‌ලය දැහැමි වන විට රටවැසියා දැහැමි වේ. එවිට සොරකම්, අපරාධ, වංචා, දූෂණ ආදිය තුරන් වී යයි. භව භෝග සම්පත් වර්ධනය වී රටක්‌ සංවර්ධනය වන්නේ එවිටය.
    යම් හෙයකින් පාලකයා අධාර්මික වුවහොත් අමාත්‍ය මණ්‌ඩලය ද අධාර්මික වේ. එවිට ඊට පහළ ස්‌ථරවල වෙසෙන ව්‍යාපාරිකයන්, ආයතන ප්‍රධානීන් ආදීන් අදැහැමි වේ. එවිට මහජනතාව ද අදැහැමි වී සොර මැරකම් ඉහළ යයි. බොරුව, වංචාව රජ වෙයි. භව භෝග විනාශ වී යයි. පරිසරය ද දූෂණය වෙයි. ඒත් සමඟ සවභාව ධර්මය අනිටු ප්‍රතිවිපාක ලබා දෙයි. මේ ආදී වශයෙන් පාලකයකු අදැහැමි වන්නේ නම් ක්‍රමයෙන් මුළු රාජ්‍යයම ප්‍රපාතයට ඇද වැටෙන බව බුද්ධ දේශනාවේ එන අධම්මික සූත්‍රයේ සඳහන් වේ.
    චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ දක්‌වා ඇති පරිදි පාලකයන් විසින් නිර්ධන කොටස්‌ නොසලකා හරින්නේ නම් සොරකම් හා අපරාධ ඉහළ ගොස්‌ රට විනාශය කරා යයි. දිළින්දන්ට, රැකියා නොමැති තරුණ තරුණියන්ට ජීවන මාර්ග සැපයීම පාලකයාගේ වගකීමය. එසේ නොවුන විට ස්‌ථාවර පාලනයක්‌ ගෙන යැමට නොහැකි වන සේ රටේ කලකෝලාහල වර්ධනය වන බව බුදුන් වහන්සේ චක්‌කවත්ති සීහනාද සූත්‍රය ඔස්‌සේ හෙළි කර තිබේ. අඩු ආදායම්ලාභීන් ආර්ථික වශයෙන් ශක්‌තිමත් වන විට සොරකම් හා අපරාධවලට යොමුවීම බැහැර වන අතර රැකියා විරහිතයන්ට සුදුසු රැකියා ලැබෙන විට ඔවුන්ගේ අසහනය තුරන් වී ඔවුනගේ ශ්‍රම දායකත්වය ද රටේ සංවර්ධනයට හිමි වේ. එසේ වුවහොත් රටක සංවර්ධනය වේගවත් වන බව බුද්ධ දේශනාවයි.
    දේශපාලන උපදෙස්‌ සැපයෙන තවත් සූත්‍ර ධර්මයකි කූටදත්ත සූත්‍රය. එහි සඳහන් වන ආකාරය රටේ කැරලි කෝලහල සොර මැරකම් තුරන් කිරීමට නම් රැකියා මාර්ග සුලභ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතුය. රාජ්‍ය හා පෞද්ගලික මට්‌ටමේ
    රැකියා උත්පාදනය කිරීමට රජය වැඩපිළිවෙල යෙදිය යුතු අතරම රැකියා නියුක්‌තිකයන් දිරි ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.
    ස්‌වයං රැකියාලාභීන් හා ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතු වේ. කෘෂිකර්මාන්තයට කැමැති අයට බීජ, පොහොර, ඉඩම් ලබා දීම, වෙළෙදාමට කැමැති අයට මූල්‍යාධාර ලබාදීම, කාර්මික ක්‍ෂේත්‍රයට කැමැති අයට අවශ්‍ය පුහුණුවීම් හා උපකරණ ලබාදීම ආදී වශයෙන් රැකී රක්‍ෂා සුලභ කිරීමට ක්‍රමවත් වැඩසටහන් යෙදීම පාලකයාගේ වගකීමය. මේ ආකාරයට රටවැසියාගේ ආදායම් මාර්ග සරුවන විට ගැටුම්වලින් තොර සාමකාමී සමාජයක්‌ මෙන්ම ස්‌ථාවර ශක්‌තිමත් රජයක්‌ ද බිහි වේ. කූටදත්ත සූත්‍රයෙන් දැක්‌වෙන බෞද්ධ දේශපාලන දර්ශනය එයයි.
    බුදුන් වහන්සේගේ දේශනාවට අනුව හොඳ පාලනයක්‌ පවත්වා ගෙන යැමට නම් ජනතාවට නායකත්වය දෙන පාලකයා සදාචාරසම්පන්න විය යුතුය. ආදර්ශවත් විය යුතුය. ගව රැළක නායක ගවයා ඇදට ගමන් කරන කල්හි ඒ පසුපස යන සෙසු ගවයෝ ද ඇද මාර්ගයේ ගමන් කරති. ගව නායකයා සෘජු මාර්ගයේ ගමන් කරන කල්හි සෙසු ගවයෝ ද සෘජු මාර්ගයේ ගමන් කරති. රජු අදැහැමි වූ කල්හි රටවැසියා ද අදැහැමි වන බවත්, රජු දැහැමි වන කල්හි රටවැසියා ද දැහැමි වන බවත් “රාජෝවාද ජාතකයේ” සඳහන් වේ.
    “ගවංෙච් තරමානානං
    උජුං ගච්චන්ති පූංගවෝ
    සබ්බා තා උජුං ගච්චන්ති
    නෙත්තේ උජු ගතේ සති”

    යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ ගව නායකයා හා සෙසු ගවයන් අතර ඇති සම්බන්ධය පාලක පාලිත දෙපක්‍ෂය අතර ඇති බවයි.
    පාලකයකු පත්කර ගැනීම පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන අතර එහිදී පාලකයකු වෙත පැන වූ කොන්දේසි මාලාවක්‌ ද සඳහන් වේ. එහි මෙවැනි කරුණු තුනක්‌ විද්‍යමාන වේ.
    1. හික්‌මවිය යුත්තන් මැනවින් හික්‌මවිය යුතුය.
    2. ගැරහිය යුත්තන්ට ගැරහිය යුතුය.
    3. රටින් නෙරපිය යුත්තන් නෙරපා හැරිය යුතුය.

    මේ අනුව පෙනී යන්නේ මහජනතාව පාලකයකු පත්කර ගන්නේම සිය සමාජය සොර මැරකමින් තොර සාමකාමී සංවර්ධිත සමාජයක්‌ කරා ගෙන යැමට බවය. දඬුවම් පැමිණවීමද ඉතා ප්‍රවේසමෙන් කළ යුතු අතර “ලෝමහංස ජාතකය” ඔස්‌සේ ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් වේ. දඬුවම් කළ යුතු නොකළ යුතු පුද්ගලයන් හඳුනා නොගෙන දඬුවම් දෙන තැනැත්තා විෂම මාර්ගයක යන්නෙක්‌ ලෙස එහි හඳුන්වා දී තිබේ. දඬුවම් කළ යුතු පුද්ගලයා මැනවින් හඳුනාගෙන වරදට අනුරූපී දඬුවමක්‌ ලබා දීම පාලකයාගේ වගකීම බව බෞද්ධ දේශපාලන දර්ශනයේ සඳහන් වේ.
    දැහැමි පාලකයකු අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියක්‌ ත්‍රිපිටකය ඇසුරින් හඳුනාගත හැකි අතර ඉන් ප්‍රධාන කරුණු කිහිපයක්‌ පහත දැක්‌වේ.
    පංචශීල ප්‍රතිපදාව
    දසරාජ ධර්මය
    සප්ත අපරිහාණීය ධර්ම
    දස සක්‌විතිවත්
    සතර සංග්‍රහ වස්‌තු
    සතර අගතියෙන් වැලකීම
    සතර බ්‍රහ්ම විහරණ
    ආර්ය අශ්ඨාංගික මාර්ගය

    ඉහත දැක්‌වෙන ඇතැම් පිළිවෙත් පාලකයා උදෙසා ම දේශනා කරන ලද ඒවාය. අනෙකුත් කරුණු පොදු සමාජය උදෙසා දේශනා කර ඇති නමුත් විශේෂයෙන් පාලකයා ඒවා පිළිපැදීමෙන් මහජනතාවගේ සුබ සිද්ධියට ඉවහල් වනු ඇත. පෞද්ගලික අභිමතාර්ථයන්ගෙන් තොරව හුදෙක්‌ රටේත්, රටවැසියාගේ අභිවෘද්ධිය පතන පාලකයකුට දීර්ඝ මෙන්ම ස්‌ථාවර ගමනක්‌ යැමට මෙම ප්‍රතිපත්ති මනා සේ ඉවහල් වේ.
    පාලකයා පංචශීලය ආරක්‍ෂා කරනනෙකු විය යුතුය යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ඉගැන්වීමයි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි කම්සැපෙහි නොයෙදීම, බොරු නොකීම, මත්ද්‍රව්‍ය භාවිතයට නොගැනීම පාලකයා විසින් අනුගමනය කළ යුතු මූලිකම ප්‍රතිපත්තියකි. මෙම කරුණු පහෙන් එකක්‌ හෝ පාලකයා කඩ කරන්නේ නම් එය අයහපත් පාලනයේ ලක්‍ෂණයකි. පාලකයාත් ඒ වටා සිටින අමාත්‍ය කාරකාදීනුත් පංචශීලය රකින පිරිසක්‌ නම් එම රාජ්‍ය ධාර්මික රාජ්‍යයක්‌ බවට පත්වනු ඇත.
    සත්ත්ව ඝාතනයට පාලකයා සෘජුව හෝ වක්‍රව අනුබල දෙන්නේ නම් එය මහජනතාව ද ආදර්ශයට ගනී. පාලකයා නායකයා වන්නේ මිනිසුන්ගේ පමණක්‌ නොව. රාජ්‍යයක වෙසෙන සතා සීපාවාද ආරක්‍ෂා කිරීමේ වගකීම හා යුතුකම පාලකයා සතුය. බෞද්ධ දර්ශනයට අනුව සත්ත්ව ඝාතනය පාප ක්‍රියාවකි. එමෙන්ම සත්ත්ව ඝාතනය තුළින් පාරිසරික තුලිනතාවට හානි සිදුවන අතර, සොබාව සෞන්දර්යයට ද හානිසිදු වේ. රටක පැවැත්මට සතා සීපාවා තීරණාත්මක සාධකයකි. එබැවින් සතුන් නොමැරීමත්, සතුන් නොමැරීමට අනුබල දීමත් පාලකයා විසින් අනුගමනය කළ යුතුය.
    පාලකයා සම්පූර්ණයෙන් ම සොරකමින් බැහැර විය යුතුය. පාලකයා පත් කරනුයේ මහජනතාව විසිනි. රාජ්‍ය දේපළ යනු මහජනතාවගේ දේපළය. ඒවා අනිසි ලෙස භාවිත කරනනේ නම් එය ද සොරකමකි. රජු හෝ අමාත්‍ය මණ්‌ඩලය් අයෙකු හෝ එසේ රාජ්‍ය දේපළ හෝ වෙන යම් දෙයක්‌ අයුතු ලෙස ලබා ගන්නේ නම් එය වරදකි. වැරදි කම් සැපෙහි යෙදීම ද පාලකයාට නොවටී. කම් සැපෙහි ලොල්වන පාලකයා ඉක්‌මනින් පිරිහෙති.
    පාලකයා සත්‍යවාදී විය යුතුය. පංචශීල ප්‍රතිපදාවේ සිවුවැනි සිල්පදය එයයි. කරන දේ කියන කියන දේ කරන පාලකයා ජනතාව තුළ ප්‍රසාදයට පත්වේ. අසත්‍යයෙන් බොරුවන්, වංචාවෙන් ජනතාව මුලා කිරිම පාලකයට යුතු නොවේ. අධ්‍යතන පාලකයන් කොතෙක්‌ දුරට මෙම කරුණ ආරක්‍ෂා කරන්නේද යන්න ගැටලුවකි. බොරුව පාවිච්චි කරමින් ජනතාව මුලා කිරීමට තැත් කරන පාලකයා කෙටි කලකින්ම මහජනතාව හඳුනා ගනී.
    එවන් පාලකයාගේ ගමන කෙටිය. මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය පානය පාලකයා අත්හල යුතුය. ඒවා සඳහා අනුබල දීම ද නොකළ යුතුය. සමාජයේ බොහෝ ප්‍රශ්න සඳහා මූලික වන්නේ මත්පැන් හා අනෙකුත් මත් ද්‍රව්‍යයන් ය. සමාජයක්‌, රටක්‌ විනාශ කිරීමට තුඩුදෙන මත්ද්‍රව්‍ය හා මත්පැන් උවදුරින් රටවැසියා මුදවා ගැනීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම යහපත් පාලකයාගේ වගකීමය.
    අනන්ත බුදු ගුණ ‍බලෙන් තුන්ලොවම සැනසේවා … … …
    ( දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදි)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දසරාජ ධර්මයෝ

    දසරාජ ධර්මයෝ




    සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි.



    සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ. බෞද්ධ පාලකයා ද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟා වන්නේ මනා ඉවසීමෙන් යුක්තව යි.



    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ එක් ගාථා රත්නයක දක්වා තිබෙන්නේ මේ කය වහා බිඳී යන මැටි බඳුනක් ලෙස දැන මේ සිත වටිනා අලංකාර නගරයක් ලෙස රැකගත යුතු බවයි. එසේ සිදුකොට ප්‍රඥාව නමැති අසිපතෙන් පහර දී මේ සිත අවුල් කරන රාග, ද්වේෂ, මෝහා දී කෙළෙස් සතුරන්ගෙන් මනා ලෙස රැකගත යුතු බවයි. එසේ රැකගත් සිත ආරක්ෂා කරගත යුතු බවයි. නගරූපම සූත්‍රයේදී අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගොස්, සදා සැනසිලිදායක නිවනට පත්වීමට කැමැති, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු ධර්ම රාජ්‍යයක් ගොඩනගා ගත යුතු අන්දම මනා ලෙස උන්වහන්සේ විස්තර කර තිබේ. එමෙන්ම මංගල සූත්‍රයේදී උන්වහන්සේ දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම අත්‍යශව්‍ය බවයි.

    පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත් රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය තුළින් මැනවින් දක්වා ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මේ උත්තරීතර වූ ‘රාජ්‍ය බලය’ , මුළු මහත් ලොව පුරා, ධාර්මිකව, පතුරුවා හරින බෞද්ධ පරමාදර්ශය සක්විති රජුය. චක්කවත්තී සීහනාද ආදී සූත්‍රයන්හි දැක්වෙන ලෙස මේ ධාර්මික සක්විති රජු සතුව සුවිශාල ඇත්, අස්, රිය, පාබල චතුරංගනි සේනාවක් පවතී. සප්තරත්නය පෙරටුව රාජ්‍ය කරන මේ සක්විති රජු වෙත මේ හමුදාවේ සියලුම අවශ්‍යතා සංතෘප්ත කොට ඔවුන් යහපත් මානසිකත්වයකින් තබා ගැනීමේ යුතුකම පැවරේ.
    බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් දෙසූ ලෙස තම රාජ්‍යයේ වෙසෙන සියලු සත්ත්වයින්ට ආරක්ෂාව, රැකවරණය සැලසීමට පාලකයා බැඳී සිටින අතර එය ඔහුගේ පරම යුතුකම වෙයි. ඒ උදෙසා මනා සන්නද්ධ බලයක් තිබිය යුතු අතර ඇතැම් සාමවාදීන් කියනා අයුරින් ‘නහී වේරේන වේරානී’ ධර්මය දේශනා කොට හමුදා විසුරුවන්නැයි බුදුරදුන් කිසිදු විටෙක රජුන්ට අනුශාසනා නොකළ සේක. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනයෙහි යෙදෙන මෙබඳු සක්විති රජෙකු, ‘කේතුමතී නගරය’ අගනුවර කොට රජකම් කරන කාලෙක අනාගතයේදී මෛත්‍රී සම්බුදුරජාණන්වහන්සේ පහළ වන බැව් අනාගත වංස දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අනාවැකියක් දේශනා කොට ඇත .
    මොනයම් හේතුවක් නිසා හෝ මේ ‘රාජ්‍ය බලය’ නම් ඉන්ද්‍රඛිලය බිඳ වැටුණහොත් ඒ හා සමඟම ඊට පහළ මට්ටමේ ඇති දස්සුඛීලය එනම් දාසයන්ගේ බලය නොඑසේ නම් සූත්‍ර අටුවාවේ කියැවෙන ලෙස චෞරයන්ගේ බලයෙහි නැඟීම ඇතිවේ. (දස්සු ඛීලයන්ති චෝර ඛීලං) අප රටේ පසුගිය කාලයේ පැවති තත්ත්වයට මෙය අදාළ කරගතහොත් රට තුළ ත්‍රස්තවාදී බලයේ නැඟීමෙන් පෙනී ගියේ ඉන්ද්‍රඛීලයේ, නොහොත් රාජ්‍ය බලයේ බිඳ වැටීම හා දස්සු ඛීලයේ නැඟීමයි.
    මෙහිදී රජුගේ කාර්යභාරය සලකා බැලීම වැදගත් ය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දක්වන ලෙස මහා සම්මතයෙන් තෝරාගත් රජුගේ කාර්යභාරය, ගර්භා කළ යුත්තන්ට ගර්භා කර, පිටුවහල් කළ යුත්තන් පිටුවහල් කර, දණ්ඩනය ක්‍රියාත්මක කර, සමාජයේ ‘’නීතිය හා සාමය” සුරක්ෂිත කිරීමයි. එසේ කළ යුත්තේ දසරාජ ධර්මයන් හි දස සක්විති වත් මත පිහිටාය. එනම් ධර්ම රාජ්‍යයක් තුළදී රජු ඉතා ධාර්මිකව, පරමාදර්ශී ආධ්‍යාත්මික ගුණ වගාවකින් හා නොකැළැල් පෞරුෂයකින් යුතු චරිතයක් වීම අතිශයින් වැදගත් ය. ‘යථා රාජා තථාපජා’ ජනතාව හැඩ ගැසෙන්නේ රජුට අනුකූලවය. ‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. රාජ්‍ය පාලනය තුළ පහත සඳහන් දස රාජ ධර්මයන් හා දස සක්විතිවත් අන්තර්ගත විය යුතුය. මේ දසරාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක.
    ඒවා නම් 1. දානය, 2. පරිත්‍යාගය, 3. ශීලය, 4. තපස, 5. අහිංසාව, 6. අක්‍රෝධය, 7. සෘජුභාවය, 8. මෘදුභාවය, 9. ඉවසීම, 10. අවිරෝධතාව යන ඒවාය.

    දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.
    පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.

    සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.
    මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.

    තපස - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.
    මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.

    අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.
    කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.

    අක්‍රෝධය - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.

    සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.
    විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.

    මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.

    ක්ෂාන්තිය - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.

    අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

    01. පවතින නීති නොකැඩීම, විශේෂයෙන් නීති සම්පාදනය කරන පාලකයන් හා නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් නීති නොඩකමින් ඒවා රැකගත යුතුය. නීති සම්පාදනය සදාචාරාත්මකව පංච ශීලය මත විය යුත්තේ ය. ශාසනයේ ආයුෂය විනය බවත්, රජයක ආයුෂය නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. එහෙයින් දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතිය රජ කරවිය යුතුවේ. නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය.

    02. සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය.

    03. සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැළසිය යුතුවේ.

    04.පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සිවුපසයෙන් සහ අනෙකුත් අවශ්‍ය උපස්ථාන කළ යුතුය. ඔවුන්ගේ් ධර්මානුශාසනා සැළකිල්ලට ගත යුතුය.

    05. පවතින පූජනීය ස්ථානයන්ට රැකවරණය සැළසිය යුතුය.

    06. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය.

    07.රටේ පාලකයින් සමගිව රැස්වී සමගිව වැඩ කටයුතු කර සමගිව විසිර යා යුතුය. සමගිව රැස් වී කරන සාකච්ඡා වලින් බැසගන්නා නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය.
    ‘සමගිය බලය වේ’ යන්න අවිරෝධතා ගුණයේ හරයයි. බෞද්ධ ජාතක කථාවක දී වැද්දාගේ දැලට හසු වූ වටු කුරුල්ලන් ඉන් මිදුනේ සියල්ලන් එකතු වී දැල ඔසවාගෙන ගිය, සමගියේ මහිමයෙනි. පසු කලෙක විනාශ මුඛයට පත් වූයේ වාද විවාද වල පැටලී සමගිය බිඳ වැටීමෙනි. ‘නැඟී සිටිය හැකි එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී’ යැයි ගීයක කියැවෙන්නේ ද මේ සදාතනික දහමයි. ‘සමගිය’ රකින්නට නම් එකිනෙකා අනෙකාට මිතුරු සිතින් ගරු කළ යුතුමය. කෙළෙහි ගුණ නොදන්නා ගුණ මකුවන්, පාවා දෙන්නන් සිටිත්නම්, එබඳු තැනක සමගිය නොරැකේ. සියල්ලන් එකා වෙනුවෙනුත්, එකා සියල්ලන් වෙනුවෙනුත් කටයුතු කළ යුතුය.
    තවද රාජ්‍ය පාලකයනට උපකාරී වන දස සක්විතිවත් මේවාය. (චක්කවත්තී සීහනාද සූත්‍රය - දීඝ නිකාය)

    01.ධර්මය ඇසුරු කර ගනිමින්, ධර්මයම ගරු කොට ගනිමින්, ධර්මයම කොඩියක් කොට ගෙන, ධර්මයම අධිපතිබවෙහි තබා අඹුදරු ආදී අභ්‍යන්තර ජනයා පිළිබඳව,

    02.ඒ අයුරින්ම අනුගත වෙසෙන ක්‍ෂත්‍රීය ජනයා පිළිබඳවද.

    03. ඒ අයුරින්ම බ්‍රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද,

    04. ඒ අයුරින් නියම් ගම් ජනපද වැසි ජනයා පිළිබඳවද

    05. ඒ අයුරින් මහණ බමුණන් පිළිබඳවද

    06.ඒ අයුරින්ම මෘග පක්ෂීන් පිළිබඳවද ධාර්මික රක්ෂාවරණ සැලසීම (මේ දහම අනුව යමින් පෙර දැහැමි සිංහල රජවරු මාඝාතය පනවා රටෙහි සතුන්මැරීම සපුරා තහනම් කළ අවස්ථාවන් මහාවංශයෙහි කියැවේ. ඒ අනුව හුදු මානව අයිතීන් නොව සියලු සත්ත්වයන්ගේ අයිතීන් සුරැකීමට බුදුදහම අනුබල දේ. බුදුදහම වඩාත් අනුබල දෙන්නේ තම අයිතීන් වෙනුවෙන් කේවල් කිරීමට නොව, නොපැකිළ තම යුතුකම් ඉටු කිරීමටය. සමාජයේ සියල්ලන් යුතුකම් මනාව ඉටු කරන්නේ නම්, අයිතීන් නිරායාසයෙන්ම සුරක්ෂිත වේ.

    07. රට තුළ අදැහැමි ක්‍රියා නොසිදුවන ලෙසට කටයුතු යෙදීම

    08. රටෙහි ධනය නොමැති අයට ධනය ලැබෙන පරිදි කටයුතු යෙදීම

    09.සිත දියුණු කිරීමෙහි යෙදුණු, මදයෙන්, ප්‍රමාදයෙන් වැළකුණු මහණ බමුණන් වෙත කලින් කල එළඹ, යහපත අයහපත පිණිස හේතුවන කරුණු විමසා දැන ගැනීම

    10. අකුසල් බැහැර කර කුසල් සමාදන්ව ඒ අනුව පැවතීම

    මේ ලෙස දැහැමින් සෙමින් රට කරවන පාලකයන්ට, සම්දිටු දෙවියන්ගේ ආශිර්වාදයද ලැබී බාධා ජය ගත හැකිවේ. සප්ත අපරිහාණීය ධර්මයන්හිදී සමගියෙන් රැස්වන පාලකයින්ට එම රැස්වීමක් අතරමඟදී පිටව යා හැකි අවස්ථාවක් වශයෙන් දක්වා තිබෙන්නේ රාජ්‍යයෙහි සතුරු උවදුරක් පැන නැඟී ඇති විටෙකයි. එහිදී එම රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්නවුන්ට රැස්වීම අතරවාරයේ වහා නැඟිට යා හැකි බව දැක්වේ. ඉන් හැඟෙන්නේ රාජ්‍ය පාලකයින් ආරක්ෂාව සම්බන්ධ අප්‍රමාදීව පියවර ගත යුතු බවයි. නොඑසේනම් සතුරු ආක්‍රමණයකදී හෝ ත්‍රස්තවාදී කැරැල්ලකදී සැඟව බියගුළුව පලායාම කිසිසේත් බුදුදහම අනුමත කරන්නේ නැත. ආක්‍රමණික හෝ ත්‍රස්තවාදී සතුරෙකු ඉදිරියේ සමාජයක් ලෙස යටත්වීම සිදුකළ හැකි නොවේ. ප්‍රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි නම්, නොබා පෙරළා පහර දිය යුතුය. ජනතාවගේ අයිතිය නිදහස රැකගත යුතුය.
    මේ හා බැඳි ගාථා ධර්මයක් අපවත්වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් චිරචිත ‘බුද්ධ නීති සංග්‍රහය’ නමැති ග්‍රන්ථයේ 46 වන පිටෙහි 86 වන ගාථාව ලෙස සඳහන්ය. එම බුදුවදන මෙසේය.
    86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මෝන න සුභාසිතං නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සොච සබ්භි න රඤ්ජති (8 නි දීපී ජාතකය)
    මෙම ගාථා ධර්මයේ සිංහල අර්ථය නාහිමියන් එම පොතෙහි මෙසේ සඳහන් කර ඇත. දුෂ්ඨයාට පරාක්‍රමයම යෙදිය යුතුව.
    දුෂ්ඨයාට කාරණයක් නැත. ධර්මයක් නැත. යහපත් චචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමයම යෙදිය යුතුය. පුරා අවුරුදු විසි පහකට අධික කාලයක් මෙරටෙහි පැවැති ම්ලේච්ඡ කොටි කුරිරු ත්‍රස්තවාදයට විසඳුම් සෙවීමේදී මෙම ගාථා ධර්මයේ අරුත මැනවින් දැක ගත හැකි විය.
    එනම් ජනාධිපතිතුමන්ගේ අභීත සේනාධිනායකත්වයෙන්, ආරක්ෂක ලේකම්තුමන්ගේ මගපෙන්වීමෙන්, අප වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා එක්ව, අභීතව යුද වැද, ත්‍රස්තවාදය නිසි ප්‍රතිකාර මඟින් සුව කෙරුණි. ඒ උදෙසා මානුෂික නීතියට ගරු කරමින් නිසි යුදමය බලය යෙදවුණි. ඉන්ද්‍රඛීලය නැතිනම් රාජ්‍ය බලය නැවතත් තහවුරු කෙරුණි.
    මේ සූත්‍රය අනුව යමින් දස්සුඛීලය මුලිනුපුටා දැමීමට නම් මූලික වශයෙන් සිදුකළ යුත්තේ සංවිධිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීමයි. ඒ තුළින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියල්ලන් අතර බෙදී යාමට සලස්වා සමාජ අසහනය පිටු දැකිය යුතු වෙයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය පාලනයට දසරාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද?

    මෙම උතුම් දිවයිනේ ජාතික, ආගමික, සංස්‌කෘතික සාරධර්ම ඇතුළු සෑම සියලු අංශයක්‌ ගැනම සිතා බලා ආගමික ප්‍රධානීන් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත දැහැමි ප්‍රඥවන්ත ජන නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන්නා වූ කැසිනෝ වැනි සූදු ක්‍රීඩා ඇතුළු පස්‌ පවෙන් සහ දස අකුසල් වලින් මිදී, සියලු දුරාචාරයන් ව්‍යාප්ත නොකිරීමටත්, ඒවා නතර කිරීමටත් පියවර ගැනීම ජනතාවට පමණක්‌ නොව රජයටත් යහපතම සැලසෙනවා යෑයි "කැසිනෝ එපා" යනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ බව පසුගිය දිනෙක මාධ්‍ය තුළින් දැක ගන්නට හැකි විය.

    අතීතයේ දී අප රජ දරුවෝ චක්‌කවත්තිසීහනාද සූත්‍රය, අපරිහානි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්, ගුණවත් පාලකයෝ වූ බවත් දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තවුස්‌ ගුණ, අක්‍රෝධී බව, අවිහිංසාව, ක්‍ෂාන්තිය, අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයැම) ආදී දසරාජ ධර්ම ප්‍රතිපත්ති වලින් රට පාලනය කළ බවත් උන්වහන්සේලා වැඩි දුරටත් පෙන්වා දී තිබිණ. ඒ අනුව උන් වහන්සේලා තව දුරටත් පෙන්වා දී තිබුණේ, එදා අද මෙන් දරුණු ලෙඩරෝග නොතිබූ බවත්, මිනිසුන් තුළ කරුණාව, මෛත්‍රිය පැවැති බවත්, රට සෞභාග්‍යමත්ව පැවැති බවත්ය. එහෙත් විදේශ ආක්‍රමණත් සමඟ අප රට තුළ ධර්මය වැනසී අධර්මය රජ වූ බවත්ය.

    එදවස ධර්මානුකූලව අප රට තුළ රාජ්‍ය පාලනය එසේ සිදු වුවත්, වර්තමාන ගෝලීකරණය සහ සංකීර්ණත්වය තුළ දේශපාලන කෝණයෙන් බලා එසේ කරන්නේ කෙසේද යන්න ප්‍රායෝගිකව ගැටලු සහගත යෑයි අපගේ දේශපාලනඥයා කල්පනා කරන බව නම් නොඅනුමානය. එහෙත් මුළු ලොව පුරාම ක්‍රියාත්මක වන නීති පොත් ගෙන බැලුවත් එම සෑම නීතියක්‌ම සම්පාදනය වී ඇත්තේ පස්‌ පවෙන් සහ දස අකුසලයෙන් සිදු වන හානි සහ අසාධාරණ කම් වලට එරෙහිව බව පැහැදිලිය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගන්නවාය යන්නෙහි තේරුම වන්නේද එයම නොහොත් දසරාජ ධර්මයම ය. එනිසා දසරාජ ධර්මය රාජ්‍ය පාලනයට මුසු කර ගන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන්න බෝඩ් ලෑල්ලට පමණක්‌ සීමා නොකර රාජ්‍ය පාලනයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය බවට පත් කර ගත යුතුමය. එහෙත් මෙදවස පවතින රාජ්‍ය පාලනය දෙස බලන කල දැක ගන්නට ඇත්තේ නාමමාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක්‌ සහ සමාජවාදයක්‌ මිස අන් කවරෙක්‌ද යන්න ඉතාමත්ම පැහැදිලිය. එහෙත් ඊට හේතුව කුමක්‌ද, උන්වහන්සේලා පවසන දසරාජ ධර්මයට අනුව මෙ රට පාලනය කරන්නේ කෙසේද, ඒ සඳහා භාවිත කළ යුතු වන ප්‍රායෝගික වැඩපිළිවෙළ ඇතුළත් දේශපාලන න්‍යාය පත්‍රය කුමක්‌ද, එවන් දේශපාලන න්‍යායපත්‍රයක්‌ අපට තිබෙනවාද, අප ඒ ගැන කල්පනා කර තිබෙනවාද, යනුවෙන් මේ වන විට අපට ඇත්තේ ප්‍රශ්න ගණනාවකි.

    එනිසා දසරාජ ධර්මය මෙදවස දේශපාලනයට ප්‍රයෝගිකව මුසු කරනු පිණිස දන් දෙන්නටවත්, සිල් රකින්නටවත්, පරිත්‍යාග කරන්නටවත්, එහි සඳහන් වන අනෙකුත් කරුණු කාරණා වෙන වෙනම ගෙන ක්‍රියාවට නංවන්නටවත් නොහැකි වන බව තේරුම් ගත යුතුය. එහෙත් දසරාජ ධර්මයෙන් කියෑවෙන කරුණු කාරණා සියල්ල තුළ ඇති සංවේදීතාවයන්ට අනුව නම් අදාළ දේශපාලන න්‍යාය පත්‍රය සම්පාදනය කරගන්නට හැකිය. එම දේශපාලන නයාය පත්‍රය යනු අන් කිසිවක්‌ නොව ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී රාමුව තුළ යහ පාලනය රැක ගැනීමේ ක්‍රියා පිළිවෙතයි.

    එම දේශපාලන න්‍යාය පත්‍රය මෙවැන්නකි,

    දර්ශනය(- යථාර්ථවාදී බව, සත්‍යවාදී බව, අව්‍යාජ බව සහ සද්දහමේ හරයට අනුව දැකීම.

    පදනම(- සමාජ සාධාරණය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය සුරැකීමය.

    රාජ්‍ය ප්‍රතිපත්තිය(- ධනය, සම්පත්, සේවය, සුබ සාධනය සහ ජනතා පරමාධිපත්‍ය, සාධාරණව බෙදී යන ප්‍රතිපත්තියේ පිහිටා සිටීමය. (වෙනත් බලය බෙදීමකින් තොර, ඒකීය රට යන සංකල්පය තුළ) මෙම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කැබිනට්‌ ක්‍රියාකාරකම විය යුතු වන්නේ ද මෙම පංච විධ වූ මූලික ප්‍රතිපත්තියයි. මේ සඳහා පංච පුද්ගල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද ප්‍රමාණවත්ය.

    ජාතික ප්‍රතිපත්ති(- රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයද, සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන් සහ සමාජ ස්‌ථරයන්ද, 100% ක්‌ම ආවරණය වන පරිදි සහ ඉහත සඳහන් රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියට හානි නොවන පරිදි මෙන්ම එය හොඳින් පෝෂණය වන පරිදි සහ එයට යටත් වන පරිදි සම්පාදනය කරගත යුතු අංශානුකූල වන ජාතික ප්‍රතිපත්ති 20 ක්‌ තරම්ය. ඒ අනුව අමාත්‍ය මණ්‌ඩල ක්‍රියාකාරකම් වන්නේ ද එම ජාතික ප්‍රතිපත්ති කීපය පමණි. එමෙන්ම එම ප්‍රතිපත්ති සුරකිමින් සහ පෝෂණය කරමින් කටයුතු කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශ ද ඊට සමාන කළ හැකිය.

    අරමුණ සහ ඉලක්‌කය(- ජාතියක්‌ ලෙස මුහුණ දීමට සිදුව ඇති අභියෝග ක්‍රමානුකූලව ජය ගැනීමයි. එපරිදි ඕනෑම රටක්‌ රාජ්‍යයක්‌ හමුවේ පිළිවෙළින් නිර්මාණය වන විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම් යන අභියෝග පහම එලෙසින්ම ජය ගැනීමේ පොදු අභියෝගය අපට තිබෙන බව යථාවබෝධ කර ගැනීම සහ ආරෝහණ ක්‍රමයට ඒවා ජය ගැනීම අරමුණ සහ ඉලක්‌කය කර ගැනීමය.

    තවද විරැකියාව 100% ක්‌ම ජය ගැනීමෙන් පසු ආර්ථිකය ජය ගත යුතු වන බවත්, විරැකියාව සහ ආර්ථිකය සාර්ථකව ජය ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කඩ නොවන බවත්, එම අභියෝග තුන එපිළිවෙළින්ම ජය ගැනීමෙන් පසු සමාජ අරගල නිර්මාණය නොවන බවත්, එනිසාම බාහිර බලවේග එල්ල කරන්නට කිසිවෙකුටත් අවකාශ නොවන බවත්, වෙනත් ප්‍රබල අභියෝග කිසිවක්‌ නැති බවත්, අවබෝධයෙන් යුතුව ක්‍රියාකිරීම, මෙම අභියෝග සහ එලෙසින්ම ජය නොගෙන රටක්‌ රාජ්‍යයක්‌ තුළ යහපාලනය ස්‌ථාපිත කළ නොහැකි වන බව අවබෝධ කර ගැනීම, මෙම අභියෝග එලෙසින්ම ජය ගෙන ඇති රටවල් තුළ ඉතාමත්ම පහසු ලෙස යහපාලනයෙන් යුතු සාර්ථක රාජ්‍යයන් ගොඩනඟා ඇති බව යථාවබෝධ කර ගැනීම, පමණක්‌ නොව මෙම ප්‍රධාන අභියෝග පහ ජය ගැනීම යනු අනෙකුත් විවිධ අර්බුද සහ ගැටලු නිර්මාණය වන්නට බලපාන හේතුව විනාශ වීම නොහොත් එවන් අර්බුද නිර්මාණය නොවන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම බවද වටහා ගැනීම.

    පරිපාලනමය වශයෙන් ව්‍යqහාත්මකව සිදු කළ යුතු වන සංශෝධන ත්‍රිත්වය(-

    1. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම.

    2. රාජ්‍ය ආදායම සහ වියදම (අය-වැය) යථාවාදීව වෙන්කර ගැනීම.

    3. රටේ සංවර්ධනය පිණිස දායක කර ගත යුතු සහ බැහැර කළ යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම.

    ප්‍රායෝගික ක්‍රමවේදය(-

    01. කම්කරුවෝ ද ඇට ලේ මස්‌ නහරවලින් එක සේ නිර්මාණය වූ මනුස්‌සයන් සහ ජාතික නිෂ්පාදනයෙහි කොඳුනාරටිය ලෙසද, ඔවුන්ට ද සමාජයේ සමතැන හිමි විය යුතුය යනුවෙන්ද, සලකා සමස්‌ත කම්කරුවන්ගේ එක්‌ පැයක වැටුප රු. 250/- ක්‌ වන පරිදි, දෛනිකව රු. 2,000/- ක්‌ බවට නිගමනය කිරීම.

    02.රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම පරිපාලකයන්ගේ සහ සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ මාසික මූලික වැටුප රු. 50,000/- ත්, රු. 100,000/- ත් අතර අවමයකට සහ උපරිමයකට යටත් කිරීම.

    03. සියලුම කෘෂි නිපැයුම් (වැවිලි, පශු, ධීවර) අස්‌වනු සඳහා හිමි විය යුතු වන වටිනාකම වර්තමානයට සාපේක්‍ෂව දෙගුණයකින් පමණ ඉහළ නංවා (උදා(- වී කි.ග්‍රෑ. 1 ක්‌ රු, 70/- ක්‌, කිරි ලී. 1 ක්‌ රු. 100/- ක්‌ සහ එළවලු, අල, ලූණු කි. 1 ක්‌ රු. 150 ක්‌ පමණ වන පරිදි එම මිල ගණන් ස්‌ථාවර කර දේශීය අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදනය ඉලක්‌ක ගත කිරීම).

    04. අනෙකුත් සියලුම ස්‌වයං රැකියා සහ කර්මාන්ත නිපැයුම් අස්‌වනු සඳහා ද හිමි විය යුතු වන වටිනාකම් ඉහත සඳහන් පරිදිම 75% පමණ වැඩි කිරීම. (උදා(- කොහු ලණු කැරැල්ලක වර්තමාන මිල රු. 20/- ක්‌ නම්, එය රු. 32.50 ක්‌ බවටද, ඉදලක්‌ රු. 100/- ක්‌ නම් එය 175/- ක්‌ද, තල කැරැල්ලක්‌ රු. 10/- ක්‌ නම් එය රු. 17/50 ක්‌ බවට ද නිගමනය කිරීම) සහ එම නිෂ්පාදන ඉලක්‌ක ගත කිරීම.

    05. පෞද්ගලික අංශය විසින් සපයන සේවා ගණයේ වෘත්තීන් සහ ව්‍යාපාර සඳහා වර්තමානයට සාපේක්‍ෂව එම වටිනාකම් ද වැඩි කිරීම. (උදා(- වර්තමාන අවම බස්‌ ගාස්‌තුව රු. 09 ක්‌ නම් එය රු. 12 ක්‌ බවටද, කොණ්‌ඩයක්‌ කපන්නට අය කරන මුදල රු. 100 ක්‌ නම් එය රු. 125 ක්‌ බවට නිගමනය කිරීම).

    06. පාරිභෝගික වැඩි විශ්වාසය තහවුරු වන පරිදි සියලුම දේශීය නිපැයුම්, ඉදිකිරීම් සහ සේවාවන් ප්‍රමිතිගත කිරීම මෙන්ම දේශීය සමබර ආහාර වට්‌ටෝරු කීපයක්‌ හඳුන්වා දීම තුළින් දේශීය ආහාර පාන පරිභෝජනයට පෙළඹවීම සහ හුරු කරවීම.

    07. සියලුම දේශීය නිපැයුම්වලට ආදේශ වන ආනයනය සාපේක්‍ෂව සීමා කිරීම සහ අදාළ වටිනාකම් හිමි වන අපනයනයට පමණක්‌ පිවිසීම.

    08. මහ බැංකු අණපනත්වලට යටත්ව, සියලුම මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන සහ අය කරනු ලබන පොලී ප්‍රතිශතයන් දශම ගණන් දක්‌වා පහත හෙළීම. (නුදුරු අනාගතයේ ද ශූන්‍ය කරන අරමුණින් යුතුව).

    09. රාජ්‍ය ආදායම ආවරණය කරගනු පිණිස 15% ක පාරිභෝගික පිරිවැටුම් (භාණ්‌ඩ සහ සේවා) බද්දක්‌ අඛණ්‌ඩව, අතපසුවකින් සහ මග හැරවීමකින් තොරව අය කිරීම, ඒක පුද්ගල වාර්ෂික ශුද්ධ ආදායමෙන් රු. මිලියනයක්‌ නිදහස්‌ කිරීමෙන් අනතුරුව උපයනු ලබන අතිරික්‌ත ආදායමෙන් අදියර පහක්‌ ඇතුළත 100% ක්‌ දක්‌වා සෘජු (ආදායම්) බදු අය කර ගැනීම සහ මුද්දර, ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්‌තු ද රජයේ ආදායම් අවශ්‍යතාවය පරිදි වැඩියෙන් අය කර ගැනීම.

    10. රජය විසින් සපයනු ලබන පූර්ණ සහන සහ නිදහස්‌ සේවාවන්ගෙන් මිදීමටද, ඒවා පූර්ණ පහසුකම් සහිත සේවාවන් ලෙස පවත්වාගෙන යැමටද, පාඩු නොලබන සීමාව දක්‌වා අදාළ ගාස්‌තු අය කිරීම. (ලාභ ලබන ව්‍යාපාර නොවන පරිදි)

    11. අත්‍යාවශ්‍ය ආනයනික භාණ්‌ඩ හෝ අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ඉන්ධන, ගෑස්‌, පොහොර යනාදිය සඳහා සහනාධාර ලබා නොදීම සහ රජය සතු විය යුතු සාධාරණ බදු පංගුව අය කර ගැනීම.

    12. අපේක්‍ෂිත සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු අධි සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය වැළැක්‌වීම සහ සුඛෝපභෝගී නොවන, මෙරට නිෂ්පාදනය නොකෙරෙන, අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඳහා පමණක්‌ බදු ලිහිල් කිරීම.

    13. ප්‍රමුඛතාවය ලබා දිය යුතු කෘෂිකාර්මික සහ කාර්මික මෙන්ම ග්‍රාමීය මට්‌ටමේ සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු, දස අතේ ණය වෙමින් නගරාසන්න වන මහා පරිමාණ ඉදිකිරීම් සහ දීර්ඝ කලකින් ඵල ලබන්නට අපේක්‍ෂිත මෙන්ම අවිනිශ්චිත, දැවැන්ත මෙන්ම සංකීර්ණ ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීම සහ ඒ වෙනුවට කඩිනම්ව යහඵල ලබන්නට හැකි වන සරල ව්‍යාපෘති අදේශ කිරීම.

    14. සහල් සලාකය, ජනසවිය, සමෘද්ධිය, පිං පඩි, වැනි සහනාධාර මුලුමනින්ම නතර කිරීම සහ ඒ වෙනුවට 100% ක්‌ම සුබසාධනය සැපයීම.

    15. අදාළ අලුත් නීති රීති සම්පාදනය කර ගැනීම සහ පවතින නීති රීති සංශෝධනයකින් පසු බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීම මෙන්ම දැඩි නීති රීති මතම ජනතාව පීඩනයට ලක්‌ නොකිරීම.

    මෙම පසොළොස්‌ විධ ක්‍රමවේදය යනු දසරාජ ධර්මය රාජ්‍ය පාලනයට ප්‍රායෝගිකව මුසුකර ගන්නට ඇති ඉතාමත්ම සරල, සෘජු මෙන්ම සමීප නව ක්‍රමවේදයයි. වෙනත් ආකාරයකින් සඳහන් කරනවා නම් සියලු අභියෝග සහ අර්බුද ජයගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගන්නා ක්‍රමවේදයයි. ඒ අනුව ගොවියා, කම්කරුවා, ධීවරයා සහ සේවකයා අතර (ශ්‍රම බළකායෙන් 50-60% කගේ පමණ) වැටුප් පරතරය රු. 50,000/- සහ රු. 100,000/- පමණ වන තරමින් අවමයකට සහ උපරිමයකට සීමා කරන්නට ද කාර්මිකයන්, ඉදිකරන්නන්, සේවා සපයන්නන් සහ ව්‍යාපාරිකයන් අතර (ශ්‍රම බළකායෙන් ඉතිරි කොටසෙහි මාසික ආදායම් පරතරය රු. 50,000/- සහ රු. 200,000/-) පමණ වන තරමින් අවමයක සහ උපරිමයක රඳවා ගන්නටත්, එතුළින් වැඩ කරන ජනතාවට ලැබෙන උත්තේජනය හේතුවෙන් විවිධාංගීකරණ නිෂ්පාදන ඵලදායිතාවය ඉලක්‌ක ගත අයුරින් ශක්‌තිමත් කර ගන්නටත්, එමගින් දළ ජාතික ආදායම වැඩිකර ගන්නටත්, ඒක පුද්ගල ආදායම දළ වශයෙන් රු. 1,000,000/- ක (ඇ.ඩො. 10,000) සීමාවකට වර්ධනය කර ගන්නටත්, එය බෙදී යැමේ විෂමතාව රු. 600,000/- සහ රු. 2,500,000/- පමණ වන අවමයකට සහ උපරිමයකට (නාමික වශයෙන් නොව ඇ. ඩොලරයට සාපේක්‍ෂව ඩො. 6,000 - 25,000 පමණ ගෝලීය වටිනාකමක්‌ දක්‌වා) වැඩි කර ගන්නටත් හැකි වනු ඇත.

    එමෙන්ම මෙය අපට අලුත් දෙයක්‌ වුවත් කම්කරුවා, ගොවියා, නිෂ්පාදකයා, නිර්මාණකරුවා ජාතියේ කොඳුනාරටිය සේ සලකා මුලින්ම ඔවුන් ආරක්‍ෂා කරමින් සියලු බාධක මැඬ අභියෝග ජයගෙන සංවර්ධනයේ හිනි පෙත්තටම ළඟා වූ, දිගින් දිගටම ධනාත්මක වූ සංවර්ධන වේගයක්‌ ඇත්තා වූ, දශක හයකටත් වැඩි කාලයක්‌ උද්ධමන වේගය සියයට බිංදුවෙහි රඳවා ගන්නට සමත් වූ, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එලෙසින්ම රැක ගත්තා වූ, ජපානය 50 දශකයේ මුල (සියලු ශක්‌තීන් අතින් අපත් සමඟ කරට කර සිටි අවදියේ) සිටම අනුගමනය කර ඇත්තේ මෙවන් ක්‍රමවේදයක්‌ බව සිහි කල්පනාවෙන් විමසා බලන ඕනෑම කෙනෙකුට දැක ගන්නට හැකිය.

    එනිසා ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි කැසිනෝ නැති කරන්නට පමණක්‌ නොව නන් අයුරින් ප්‍රශ්න නැති ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කරන්නටත් දසරාජ ධර්මය මුසු වූ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැකුනා වූ, සාර්ථක රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමටත්, දශක ගණනාවක සිට පීලි පැන ඇති දේශපාලන ගමන් මග පීලි මතට ගන්නටත්, හැකි වන්නේ මෙවන් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ හරහාම වන බව ඉතාමත්ම පැහැදිලිය.

    බී. එම්. එස්‌. බාලසූරිය
    http://www.divaina.com/2013/12/21/feature.html
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රී ලංකාවේ පාලනය හා බැඳුණු ආචාර ධර්ම ‘දසරාජ ධර්මයේ’ මූලධර්ම මත පදනම් වූවක්

    බාලි ප්‍රජාතන්ත්‍රීය සමුළුව අමතමින් ජනපති මහින්ද රාජපක්ෂ කියයි
    ශ්‍රී ලංකාවේ පාලනය සම්බන්ධ ආචාර ධර්ම සකස් වී ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද “දසරාජ ධර්මයේ” මූලධර්ම මත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
    bali.jpg
    පූජ්‍ය පක්ෂය, වෛද්‍යවරයා, ගුරුවරයා, ගොවියා හා කම්කරුවා වෙතින් සංකේතවත් වන පංච මහා බලවේගය, පාලනය කෙරෙහි පදනම්ව ඇති බව කී ජනාධිපතිවරයා ජාතියේ ජීව රුධිරය සාමූහිකව සංයුක්තව ඇත්තේ මේ බලවේගයන්ගෙන් බවත් කීවේ ය.

    ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉන්දුනීසියාවේ බාලි දූපත් හි පැවැත්වෙන බාලි ප්‍රජාතන්ත්‍රීය සමුළුවේ විශේෂ දේශනය පවත්වමිනි.
    ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
    හතර වෙනි බාලි ප්‍රජාතාන්ත්‍රික සංසදයට සහභාගී වන ලෙස මට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ආචාර්ය සුසිලෝ බම්බන්ග් යුද්හොයෝංනා මහතාට මගේ උණුසුම් කෘතඥතාව පිරිනමනු කැමැත්තෙමි. බාලි දිවයිනේ දී මෙම වැදගත් සංසදය පැවැත්වීම සඳහා කල්පනාකාරීව, විශිෂ්ට අන්දමින් කටයුතු පිළියෙල කර තිබීම ගැන ඉන්දුනීසියානු රජයට ද මාගේ ස්තුතිය පුද කරනු කැමැත්තෙමි.
    ලෝකයේ සෑම අංශයක්ම මූලික වශයෙන් පරිවර්තනකට ලක්වෙමින් පවතින මෙවන් අවදියක මෙහි ඉතාමත් වැදගත් අංශයක් වන්නේ පාලන ක්‍රමයක් වශයෙන් පමණක් නොව ජීවන ක්‍රමයක් වශයෙන් ද අතිශයින් වැදගත් වන ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති ප්‍රබල බැඳීමයි. කෙසේ වුවද, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අප තුළ ඇති විශ්වාසය නිරතුරුවම ශක්තිමත්ව පවතින අන්දමින් අපේ ප්‍රජාතන්ත්‍රීය පරිචයන් ජනතාවගේ ප්‍රමුඛතාවලට හා අපේක්ෂාවන්ට ප්‍රතිචාරාත්මකව පවත්වා ගැනීම අප හමුවේ ඇති අභියෝගයයි. මෙම සම්මන්ත්‍රණය සඳහා තෝරා ගෙන තිබෙන ‘ප්‍රජාතන්ත්‍රීය හඬට ප්‍රතිචාරාත්මකව වෙනස් වන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික සහභාගීත්වය වැඩිදියුණු කිරීම’ යන තේමාව සහමුලින්ම උචිත යැයි මා අදහස් කරන්නේ මේ හේතුව මතයි.
    මෙම සංසඳයට සහභාගී වන සම්භාවනීය අමුත්තන් සතුව ඇති පුළුල් පරාසයක සුවිශාල අත්දැකීම් සම්භාරය ගැන සලකා බලන විට මා විසින් ලබා දිය යුතු දායකත්වය ලෙස මා සලකන්නේ මගේ රටේ අනුගමනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් විශේෂ ලක්ෂණ පිළිබඳ අදහස් දැක්වීම ය.
    අපේ ජනතාව 1931 සිට සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන අතර දසක අටක කාලයක් තුළ නිසියාකාරව හා සාමකාමීව නොකඩවා පාලන බලය වෙනස් කිරීමට ඔවුහු පුරුදුව සිටිති. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ වුවද අපි මැතිවරණය පවත්වා ඇත්තෙමු.
    කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් ප්‍රථම ආසියාතික රට ශ්‍රී ලංකාව වීම වැදගත් කාරණයකි. එක්සත් රාජධානියේ කාන්තාවන් මෙම අයිතිය හිමිකර ගැනීමෙන් හුදෙක් වර්ෂ දෙකකට පසු ශ්‍රී ලංකා කාන්තාවන්ට එම අයිතිය හිමිකර ගැනීමට හැකියාව ලැබුණි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණ ක්‍රම පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ අත්දැකීම් දේශපාලන ඉතිහාසයේ අද්විතීය සංසිද්ධියක් ලෙස සැලකිය හැකියි. වෙස්ට්මිනිස්ටර් කැබිනට් ආණ්ඩු ක්‍රමය යටතේ මෙන්ම 1978 දී මහජන නීතිය බවට පත් කරන ලද විධායක ජනාධිපති ක්‍රමය යටතේ අපේ රට පාලනය වී තිබුණා.පශ්චාත් ඡන්දදායක ක්‍රමය පිළිබඳව අපි අත්දැකීම් ලබා ඇත්තෙමු. මෙම සංසදයට සහභාගි වන රටවල් බොහොමයක් මෙම ක්‍රමය තවමත් අනුගමනය කරනවා. මෙය සමානුපාතික නියෝජන ක්‍රමයේ එකී අංශයක් වන අතර එය වර්තමානයේ ශ්‍රී ලංකාවට ද අදාළ කර ගත හැකියි.
    අප රටේ අවශ්‍යතාවට සුදුසු පරිදි මෙම ක්‍රම දෙකේ සංකල්පනයන්ගෙන් යුත් ක්‍රමයක් දැන් අපේ සැලකිල්ලට භාජනය වී තිබෙනවා. මෙම සාපේක්‍ෂ ක්‍රම නිසා අපට දේශපාලන පරිණතභාවයක් ලැබී ඇති අතර අපේ දේශපාලන සංස්කෘතිය විශාල වශයෙන් පෝෂණය වී තිබෙනවා.
    අපට සෑම විටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ආයතන ජනතාවගෙන් දුරස්ථ වූ පරමාදර්ශ බවට පත්කර ගැනීමට නොව ඒවා ඔවුන්ගේ අත්දැකීම්වලට අනුකූලව පවත්වා ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් හා ගෞරවාන්විත වීමට නම් එයින් එදිනෙදා ජනජීවිතය කෙරෙහි කෙළින්ම බලපෑම් සිදුවිය යුතුයි. එයින් ගම්‍ය වන්නේ රජයත්, ප්‍රජාවත් අතර හැකිතාක් සමීප සම්බන්ධතා ඇති විය යුතු බවයි. රාජ්‍ය යන්ත්‍රණයේ ක්‍රියාකාරකම් තුළින් බිම් මට්ටමේ ප්‍රශ්නවලට යොමු වී ජනතාවට සහන සලසා දිය යුතුයි.
    මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සම්ප්‍රදායයන්වල විශේෂ වැදගත්කම විදහා දක්වන ක්ෂේත්‍රයක්.
    බටහිර යටත් විජිතවාදීන්ගේ පැමිණීමට ප්‍රථම අප රටේ පැවති අපේ රටට ආවේණික දේශපාලන ව්‍යුහයන් ගැන අපට ආඩම්බර විය හැකියි. ගම්සභා ක්‍රමය අපට එවැනි ආඩම්බරයක් ලබා දෙන ක්‍රමයක්.
    දේශීය ප්‍රජාවගේ නායකයන්ගෙන් සමන්විත වූ ශක්තිමත් ක්‍රියාශීලී පළාත් පාලන ක්‍රමයක් වන ගම්සභා මගින් ප්‍රාදේශීය ප්‍රශ්න උග්‍ර වීමට පෙර ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි වුණා. ජනතාවට සිදු වූ දුක්ගැහැට හා අසාධාරණකම් පාලකයා වෙත යොමු කළ අධිකරණ නිලධාරියෙක් එකල සිටියා. ඒ සම්බන්ධයෙන් අපේ සාහිත්‍ය ග්‍රන්ථවල හා සමාජයීය අංශවල බොහෝ විට සඳහන් වෙනවා.
    මෙම නිලධාරියා ස්කැන්ඩියානු රටවල සිටින ඔම්බඩ්ස්මන් එක්සත් රාජධානියේ පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හා ඉන්දියාවේ ලොක්පාල් යන නිලධාරීන්ට බොහෝ සෙයින් සමානයි. නඩු මඟට නොගොස් දෙපාර්ශ්වය අතර තරග උත්සන්න වීමට ඉඩ නොතබා දෙපාර්ශ්වය අතරට මැදිහත් වී දෙපාර්ශ්වයේ එකඟත්වය මත මිත්‍රශීලීව ග්‍රාමීය අරගල විසඳීම මෙම ක්‍රමයේ හරය වුණා.
    ගමේ විහාරස්ථානය ආධ්‍යාත්මික ගුණ වගාව සම්බන්ධයෙන් පමණක් නොව අධ්‍යාපන කටයුතු හා සංස්කෘතික කටයුතු ඉටුකරන සමාජ සංවිධානයක් වුණා. පාලනය පිළිබඳ අපේ ආචාර ධර්ම පිළිබඳ විශ්වාසය පදනම්ව ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ධම්ම පදයෙහි දක්වා ඇති දසරාජ ධර්මය හෙවත් මූලික සදාචාරාත්මක න්‍යායන් මතය.
    අසල්වැසියන් පවුල් සාමාජිකයින් හා ප්‍රජාව සමඟ දුක් සැප බෙදා හදා ගනිමින් මිත්‍රත්වය හා සමඟිය වර්ධනය කර ගැනීමේ අධ්‍යාත්මික ගුණය අපේ දේශීය සමාජ ව්‍යුහයන්හි ආවේණික ලක්‍ෂණය වුණා. ශතවර්ෂාධික කාලයක් තුළ අපේ පාලන පරිචය කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු වූයේ මෙම අධ්‍යාත්මික ගුණයන්ගෙන්.
    නායකත්වය දැරීමේ ගෞරවය මට ලබා දුන් පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන්නේ මූලික ආකල්පයන් මතු විය යුතු වන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ මුල් බැස ගත් අගයයන් හා ජනතාවගේ හැඟීම් වෙතින් යැයි උදෙක්ම පවසා සිටින හා මෙම ජනතා කේන්ද්‍රීය ජනතා සේවයට යොමු වූ සම්ප්‍රදායන්ගේ මූලික හරයන් උකහා ගැනීමට තැත් කිරීමයි. බාලි සංසදයේ තේමාව සකස් වී ඇති උචිත වචන වන ප්‍රජාතන්ත්‍රවාදයේ හඬට ප්‍රතිචාර දැක්වීම හෙවත් ජාතියේ හැඟීම් හා අදහස්වලට ආණ්ඩු ප්‍රතිචාර දක්වන්නේ එවිට පමණි.
    පාලනය කෙරෙහි අපේ ප්‍රවේශයේ පදනම නම් පූජ්‍ය පක්‍ෂය, වෛද්‍යවරයා, ගුරුතුමා, ගොවියා සහ කම්කරුවා වෙතින් සංකේතවත් වන සමාජයේ බලකණු පහ වන පංච මහා බලවේගයයි. ජාතියේ ජීව රුධිරය සාමුහිකව සංයුක්ත වන්නේ ඔවුන්ගෙන්. අපේ අදහස නම් රජයේ ආකල්පවල අදාළත්වය සහ පිළිගැනීම රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන දිසාවන් ජනතාවගේ අනන්‍යතාවය හා මානසිකත්වය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවට නියම කරයි.
    මෙය සාක්ෂාත් කර ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී රජයක ප්‍රමුඛ සහ අත්‍යවශ්‍ය කාර්ය භාරය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සාධාරණ හා ප්‍රමාණවත් පදනමක් මත අවස්ථාවන් ලබා ගැනීමට හැකි වන පරිදි හැකි තරම් පූර්ණ ලෙස ඉඩහසර ලබාදීමයි. සමාජ සංචලනය රටේ නගරවල වරප්‍රසාද ලත් කොටස්වලට පමණක් සීමා නොකිරීමට වග බලා ගනිමින් ග්‍රාමීය ක්‍ෂේත්‍රයේ ගැඹුරටම බලපාන ලෙස අප ක්‍රියා කර තිබෙනවා.
    තවද තවත් සැලකිය යුතු කාරණයක් වන්නේ ඈත අතීතයේ පවා දුරස්ථ රටවල් සමග අප පවත්වා ගෙන ගිය ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා සාහිත්‍යයෙහි විචිත්‍ර ලෙස සටහන් වීමයි. ටොලම් හා ප්ලිනි ලේඛන එයට නිදසුන්ය. අප රටේ තානාපතිවරුන් ඉපැරැණි රෝමයේ පාලකයන් විසින් ගරුසරුව පිළිගනු ලැබුණා. මෙම ඓතිහාසික සාධක වෙතින් පිළිඹිබු වන්නේ ශ්‍රී ලංකාව සජීවි ආර්ථිකයක් ද සාමකාමී සමාජයක් ද ස්ථිරසාර පාලනයක් ද තිබූ රටක් බවයි. බදු එකතු කිරීම හා ආදායම් පරිපාලනය ඉහළ ප්‍රමිතියක තිබූ රාජ්‍ය හා පරිපාලන පද්ධතියක් අපි සතු වුණා.
    සමාජ ප්‍රගමනයට ප්‍රධානතම සාධකය අධ්‍යාපනය යි. ළදරු අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සිසුන් නිදහස් අධ්‍යාපනය ලබනවාට අමතරව අධ්‍යාපනය ලබන කාලය තුළ ඔවුන්ගේ ඉදුම් හිටුම් පතපොත සහ සෙසු වියදම් රාජ්‍යය මගින් සිදු කිරීමට සහතික වී ඇති නූතන අධ්‍යාපන ක්‍රමයක් අප සතුව තිබීම නිසා අසමාන අගයකින් යුතු දායකත්වයක් සමාජ සංවර්ධනයට ලබාදීමට අපට හැකි වී තිබෙනවා. මෑත කාලීන ඉතිහාසයේ අප රට තුළ සිදු වූ සමාජ පරිණාමයේ පදනම මෙය වන බව අවිවාදිත වන අතර සාම්ප්‍රදායික අර්ථයෙන් ගත් කළ අධ්‍යාපන අංශයෙන් ලත් ප්‍රගතියට පමණක් නොව පරිගණක සාක්ෂරතාව හා කලාපයේ සමාන කළ නොහැකි ලෙස නවීන අංශයන් හී අපගේ නිපුණතා සංවර්ධනයට ද මෙය හේතු විය.
    මෙම කාලීන හා වැදගත් සම්මේලනයට සහභාගී වීමට බාලි හි රැස්ව සිටින ගෞරවනීය නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ අත්දැකීම් ආවර්ජනය කිරීම යම්කිසි උනන්දුවක් ඇති කරනු ඇති බව මාගේ අපේක්ෂාවයි. ඔබගේ විචාරණයන් සියලු ආකාරයෙන් සාර්ථක වේවා යැයි පතමි.
    ඉන්දුනීසියාවේ ජනාධිපති ආචාර්ය සුසිලෝ බම්බෑන්ග් යුධොයෝනෝ මහතා සහ සමුළුවේ සම සභාපතිනි, බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයෝ, විදෙස් නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක් වූහ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව

    අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි

    කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති
    මාදුළුවාවේ සෝභිත හිමි



    අපේ රට එදා හඳුන්වපු නම් දිහා මඳක් අවධානය යොමු කර බැලිය යුතුවනවා."ඉන්දියන් සාගරයේ මුතුඇටය", “පෙරදිග ධාන්‍යාගාරය” ධර්මද්වීපය” වැනි නම් වලින් එදා අපේ මේ පුංචි රට හැඳින්වූයේ ධර්මය මුල් කරගත් සමාජයක් එදා අපේ රටේ වාසය කළේ. එම නිසයි අපේ රටට “ධර්ම ද්වීපය” යන නම ලැබුණේ.
    අපේ රට බුදු දහමින් පෝෂිත සංස්කෘතියකයි තිබුණේ. ‘අම්බලම ‘පින්තාලිය’ වැනි දේ බිහිවුණේ ඒ සාරධර්ම මත ගොඩනැඟිලා.
    සතර පෝයටම සිල් සමාදන් වූ පිරිසක් අපේ රටේ වාසය කළා. කිසිවෙක් පොහෝ දින ආගමික කටයුතු කරන්නැයි බලපෑම් කළේ නැහැ. පන්සල මූලික කරගත් සාරධර්ම පිරි අධ්‍යාපනය නිසා මානුෂීය ගුණාංග මත අපේ රට ස්වයංපෝෂිත වුණා.
    අපේ රට ධර්ම ද්වීපයක් වුණේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි.
    පොහෝ දින කිසිවකු ගොවිතැන් බත් කරන්න ගියේ නැහැ. තමන්ගේ උදැල්ලට ගැඩවිලුන් වැනි පණුවන්ගේ ජීවිත හානි වෙයි කියන සිතිවිල්ලෙන් ඒ අය කටයුතු කළේ. හේන් ගොවිතැන් කරන ගොවියා හේනට ගිනි තියන්න කළින් කුමක්ද කළේ?
    හේන වටේ අඬහැරයක් පාමින් යනවා. ඒකෙන් තමන්ගේ හිත හදාගන්නවා“කුරුල්ලනේ, සිවුපාවුනේ නුඹලාට කරදරයක් කිරීමට මම අදහස් කරන්නේ නැහැ. කැලෙන් අයින් වෙයල්ලා. මම කැලේට ගිනි තියන්නට යන්නෙ’ අපේ රට වටේටම මුහුද තිබ්බත්, අපේ රට ධීවර කර්මාන්තයෙන් යැපුණේ නෑ. අවිහිංසාව මුල් කරගත් ජීවන රටාවක් අපට තිබුණේ. ආගමික බලපෑම මිනිසුන්ගේ හදවත්වලට හොඳින්ම ගිලා බැහැලා තිබුණා. කවදාවත් ගෙදර වැඩපළ කරල දීපු කිරි ටික, ගොම ටික දීපු ගවයා මසට ගත්තේ නෑ. ගවමස් කන්නේ පහත් කුල රොඩී ජනතාව කියන මතයක් එදා ලංකාවෙ තිබුණා.
    ගස්වල පලතුරු ගෙඩි ටික අපි සේරම කඩා ගත්තෙ නෑ. අදත් අපේ ගම්වල වැඩිහිටියො ගස්වල ගෙඩි කඩනකොට කියනව .ගහේ ගෙඩි හත අටක් ඉතුරු කරන්න කියලා.ඒ ටික කුරුල්ලන්ට .කුඹුරෙ අස්වැන්න නෙළාගන්න කොට කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරා 'කුරුලු පාළුව' කියල අද දක්වාම ඒ නමත් භාවිතා වෙනවා. සිංහල ජාතිය විතරක් නෙමෙයි ශ්‍රී ලංකාකිකයො හැමෝටම ආදරය කරපු පිරිසක්. ඒ අය පවට බියවුණා. ලජ්ජා වුණා. ගහකොල සතා සිවුපාවාට ආදරය කලා, ගවයාට පවා කතා කළේ ‘පුතේ ‘ කියලා. ගව පැටියා “හඳයා’ වුණා.
    අද මොකද වෙලා තියෙන්නේ? අද ගව ඝාතනය නෙමෙයි මිනිස් ඝාතන ගැන කතා කරන තත්ත්වයට ලංකාව ඇවිත් තියෙනවා. සත්ත්ව ඝාතනය සාමාන්‍යකරණය වෙලා.ඒක තවත් ගොවිපොළක් බවට පත්වෙලා. “ෆාම් ‘ කියල අලුත් නමකුත් හදාගෙන කුකුළු ගොවිපොළ එළු ගොවිපොළ, සත්ත්ව වගාවන් අද තියෙන්නෙ වගා කරල ඵලදාව නෙළා ගන්නවා.
    අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, එතැන තියෙනවද? එතැනින් නැතිවී යන අපගේ ලජ්ජා භය ඊට පස්සෙ ඇවිත් තියෙන්නෙ වෛරයට, ක්‍රෝධයට, දේශපාලනය නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. දේශපාලනය වෛරය පැතිරවීමේ ප්‍රධාන සාධකය වෙලා ඉවරයි. ‘අපි ආවොත් තොපි ඉවරයි” ‘තොපි ආවොත් අපි ඉවරයි’ මේ පසුගිය කාලයේ දේශපාලන “සටන් පාඨ’ මේ .
    පාඨවලින් තනිකරම වෛරය පැතිරිලා අපේ ධර්මද්වීපයද මේ. දේශපාලනය නිසා මේ වෙනකොට අපට ජීවිත කීයක් අහිමි වෙලා තියෙනවද? දේපළ හානි, ඒ වගේම තුවාල ලබපු අය, පලි ගැනීම්වලට ලක්වූ අය , දළදා මාලිගාව වන්දනා කරල ගිය දේශපාලන කණ්ඩායමට පහුගිය දවස්වල පහර දීපු ප්‍රවෘත්තියක් තිබුණා. ඉතිහාසයේ කවදාවත් අපි ඒවගේ පහත් කතාවන් අහල නැහැ. අද දේශපාලනයට අලුත් වචනයක් අපි එකතු කරගෙන තියෙනවා. ‘සදාචාරාත්මක අයිතියක් නෑ “ ඒ අයත් මේ වැරැදි කරපු නිසා එයාලට මේ වැරැදි ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා කියන්න. අපරාධ කරන පුද්ගලයන්ට රජ කාලෙ ඉඳල දැඩි දඬුවම් දුන්නෙ අපරාධ රටකට මහා විපත්තියක් ඇති කරන නිසයි. බුදුරජාණන් වහන්සේත් කිසි දවසක රාජ්‍ය පාලනයට අපරාධ නීති ගැන රජතුමාට අණ කරන්න ගියේ නැහැ. මේ විදියට ගිහින් ගමයි –පන්සලයි , වැවයි – දාගැබයි වෙනුවට ‘පාතාලය කියල අලුත් සංස්කෘතියක් බිහිවුණා. මේ පාතාලය හදා ගත්තේ කවුද ? සුදුසුකම් නොමැතිව මැර බලයෙන් අසාධාරණ මුදල් ඉපයීමෙන් ජනතාව හදන්න, රට හදන්න කියලා ආපු අය.
    එදා බුදුදහමට අනුව සමාජ සාධාරණය අනුව දේශපාලනයක් තිබුණා. ඩී.එස්.සේනානායක ,ඩඩ්ලි සේනානායක,එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක , සර් ජෝන් කොතලාවල වගේ බෝධිසත්ව ගුණෝපේත දේශපාලකයො හිටියා. ඒ අය උගත් දැනුමක් ඇති රටට ආදරේ කරපු අයයි. රටේ නීතිය සාධාරණත්වය යහමින් වැඩිවුණා.
    ඕනෑම අපරාධයක් කරල නීතියෙන් බේරි යන්න පුළුවන් තත්ත්වයකට සමාජය පිරිහිලා ගිහින්. එල්ලුම් ගහට යන අයට පවා සමාව ලැබෙන අනිසි විධායක බලයකින් රටම වෙලාගෙන සම්පූර්ණයෙන් විනය, නීතිය නැතිවෙලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ 'විනයොනාම සාසනස්ස ආයු' ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ විනය මත බවයි. රටක සදාචාරය පවතින්නේ විනය මත බව අප තේරුම් ගත යුතු වනවා.
    ජනතාවගේ මතය නිරූපණය වීමයි. ඉතාම වැදගත් වන්නේ. නමුත් අද ජනතාවට අලුත් මතයක් ලබා දීමයි සිදු කරන්නේ ජනමතය නිර්මාණ කරන්න ස්වාමීන් වහන්සේ වගේම ආගමික නායකයන් එමෙන්ම ජනමාධ්‍යයන් වගකීමෙන් කටයුතු කළ යුතුවනවා.
    එහෙත් අපේ රටේ ජනමාධ්‍ය ඒ වගකීම හරි හැටි ඉටු කරනවාදැයි සිතා බලන්න. ගුවන්විදුලිය. රූපවාහිනිය මුද්‍රිත මාධ්‍ය මේ බොහොමයක චරිත ඝාතන නැත්නම් අපරාධ වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ. ඒ සියල්ල සාමාන්‍යකරණය වෙලා. ඉදිරි පරම්පරාවට ඝාතනය සාමාන්‍ය දෙයක් වෙලා.
    පසුගිය දවස්වල උදේ පාන්දර ගුවන්විදුලියෙන් ඇහෙන භාෂාව මොකක්ද ? ‘කාලකණ්නි’, ‘අරකි’ – ‘මේකි’ මේ වගේ ඉතාමත්ම පහත් වචන, මේ කතා කරන්නෙ රටේ හිටපු නායකයකුට නැත්නම් අන්තර්ජාතික සංවිධානයක නියෝජිතයකුට සිංහලයන් අතර මේ වගේ පහත් භාෂා ව්‍යවහාරයක් තිබුණද? අද එලියට එන අල්ලස් දූෂණ ගැන හිතල බලන්න. බුදු දහම නෙමෙයි මිථ්‍යා දෘෂ්ඨීක දර්ශනයකවත් නැති පහත් ආකාරයේ ක්‍රියා අද සේරම එලියට එනවා.
    අප මේ අයගෙන් දසරාජ ධර්ම බලාපොරොත්තුවයි රට පාලනයට යවන්නේ මේ අයගෙන් සතර සංග්‍රහ වස්තු බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට නෙමෙයි කෝටි ගණන් වංචා ගැන වාර්තා වෙන්නෙ. වෙන එකක් තියා අලි පවා හොරකම් කරලා. අලියා සාක්කුවෙ දාගෙන යන්න පුළුවන්ද ? නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවීමයි සිදුව ඇත්තේ සොරකම විතරක් නෙමෙයි රට පුරාම දුරාචාරය වැහි වැහැලා. මේ සියල්ල එකවර ඇතිවූ ඒවා නෙමෙයි. රට පුරාම රාත්‍රි සමාජ ශාලා ලංකාවට විදේශීය කාන්තාවන් ආනයනය කරනව ලෝකයේ පැරණිම වෘත්තිය කරන්න.
    හැම තැනම සුරාව රජ කරනවා. මහා පරිමාණයෙන් එතනෝල්, මත්කුඩු, කේරල ගංජා අලෙවි කරනවා.
    ගමේ සමූපකාරය වගේ තියෙන සතොසටත් මත් වතුර වසංගතය ඇවිත්. ලෝකයේ මත්වතුර පානය කරන රටවල් අතරින් අපට තුන්වන තැන ලැබී තියෙනවා. රට හදන්න නම් නීතිය සැමට එක හා සමාන විය යුතුයි. ඒ අලුත්ම උවදුර කැසිනෝ. බණ්ඩාරනායක මහත්තය ‘රේස්’ පවා තහනම් කරා. රේස් කෝස් එක විශ්ව විද්‍යාලයට ලබා දුන්නා. අපේ රටේ වැව් 35000 ක් විතර තිබුණා. නමුත් අපේ ඇස් ඉදිරිපිටම සිදුවන විනාශය දකින්න අපට අමාරුයි.
    මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන ජනතාවයි. මැරයො, මත් ද්‍රව්‍ය ගෙන්වන අය,රට හදන්න යැව්වෙ කවුද ? ඒක නිසා අලුත් ප්‍රවණතාවක් එන්න ඕන සුදුසු අය පමණක් රට හදන තැනට යවන්න. බුදුරජාණන් වහන්සේ මහණ නොකළ යුතු පුද්ගලයන් රැසක් නම් වශයෙන්ම සඳහන් කළා.
    අපේ රටේ ජනතාවට අද අසීමාන්තික ආසා ඇතිවෙලා ඒවා ඉටුකරගන්න විදිහක් නැහැ. බහු භාණ්ඩික වෙලා. බුදු දහමේ දැක්වෙන සරල දිවි පැවැත්ම නැහැ. කෙසේ හෝ අනෙකා පරයා යාමටයි උත්සාහ දරන්නේ. තරගයක් ඇති කරගෙන තියෙන්නෙ. තමන්ට අවශ්‍ය දේ ගැනීම නෙමෙයි අනෙකා හා තරග කරන්නයි ඕන වෙලා තියෙන්නෙ. දසරාජ ධර්ම අගයන සතර සංග්‍රහ වස්තුවලින් රට කරන යහපාලනයක් රටට ඕන කරලා තියෙන්නෙ. අපි ඒක මේ වෙනස තුළින් බලාපොරොත්තු වෙනවා. ඒකෙ යම් ලක්ෂණ පහළ වෙලා තියෙන බව පේනවා. ඒ කියන්නෙ දූෂිතයෝ ළං කරගන්න එපා කියල ජනතාව පාරට බැහැල තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් .දැහැමි ගුණගරුක සමාජයක් ගොඩ නඟන්න නම් රට හදන්නට සුදුසු අවංක අය යවන්න ඕන. ජනමාධ්‍යයන්ට මෙතනදි විශාල කාර්යයක් තියෙනවා.
    රටට අවශ්‍ය දේ පමණක් විකාශය කරන්න නැතිනම් පළ කරන්න. පොඩ්ඩක් හිතල බලන්න. අද අපේ රට ඉන්දියන් සාගරයේ මත්ද්‍රව්‍ය තිප්පොල බවට පත්වෙලා. පෙරදිග ධාන්‍යාගාරයට මොකද වෙලා තියෙන්නෙ. වැව් අමුණූ සේරම කැඩිලා බිඳිලා ගිහින්, විදෙස් රටවලටත් සහල් යවපු අපේ රටේ සහල් මිල අහස උසට නැඟලා.
    ධර්ම ද්වීපයට මොකද වෙලා තියෙන්නෙ. පෙරදිග ස්කාගාරය බවට පත්වෙලා මේ තත්ත්වය මත මිනිසුන් ළඟ තිබුණ හැදිච්චකම, මිනිසත්කම විළිබිය, ලජ්ජාව, මේ සියල්ලම අද අපේ රටෙන් තුරන් වෙමින් තිබෙන්නෙ. අද පාරේ යන ගැහැනු දරුවෙකුගෙ ඇඳුම් දිහා බලන්න. අම්ම ඇඳගෙන යන අඳුම දිහා බලන්න. කිසිවකුට නොපෙන්වීමට වග බලා ගත යුතු යට ඇඳුම් පවා පෙන්වීමේ ඉතාම පහත් සංස්කෘතියක් අද ඇරැඹිලා. සමහර අය පාරේ යන්නෙ නාන්න යන ඇඳුම් ඇඳගෙන අපේ සංස්කෘතියෙ පැහැදිලිව තියෙනවා ඇඳුම් ඇඳිය යුතු ආකාරය ගැන
    පෙකනිය නොදක්වා
    සළු ඇඳ බොලට දක්වා
    නො පව තන සක්වා
    සිනා නොමසෙන් දසන් දක්වා

    අද කාන්තා විලාසිතා මේ දහමට එකඟද බලන්න. අවසානයෙ සිදුවන්නේ ඔවුන් සමාජයෙ ඇති මේ අධර්මතා සමඟ සමාජයට බිලි වීමයි.
    අප යහපාලනයෙන් යුත් යහගුණ පිරි සමාජයක් ගොඩ නඟා ගැනීමට නම් යළි බෞද්ධ සංස්කෘතියක් ඇති කළ යුතු වනවා. එමඟින් ජනතාවට පංචශීල ප්‍රතිපදාව හුරු කළ යුතුවනවා. බෞද්ධයන්ට පමණක් නොවෙයි පංච ශීලය ඕනෑම ආගමක් අදහන අයට රකින්න පුළුවන්. සමාජ සාධාරණත්වය ගොඩ නැඟෙන්නේ එවිටයි.
    රට ගොඩ නැඟීම විනයක් ඇති පිරිසක් හරහාම සිදු විය යුතුවනවා.
    අපට අනාගතයට ගුණදහමින් පිරිපුන් දරු පිරිසක් බිහි කළ හැක්කේ එවිටයි.

    සාකච්ඡා කළේ
    තාරක වික්‍රමසේකර
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සප්ත අපරිහාණීය ධර්ම

    රටක්‌ දැහැමි වීමට තුඩු දෙන පාලන ක්‍රමයක්‌ ඇතුළත්
    සප්ත අපරිහාණීය ධර්ම

    පූජ්‍ය ලියන්වෙල සිරිසුනන්ද හිමි
    සංඝමිත්තා විහාරය, එලියස්‌ ප්ලේස්‌
    කොළඹ - 08.

    මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහීමට හේතුවන කරුණු 48 ක්‌ දේශනා කර තිබේ. මේවා අතරින් වරදට රජුන් නිමිතිකොට දේශිත ඔවුන්ගේ සත් වැදෑරුම් අපරිහාන ධර්ම සෙසු සියල්ලටම මූලික වී ඇති බව කිව යුතුය.

    ඉතිහාසයට නැඹුරුව බලන කළ වජ්ජීන් පිළිබඳව මෙහි සඳහන් වන කාලය ක්‍රි. පූර්ව සවන ශතකය වශයෙන් සැලකිය හැකියි. එහෙත් ඔවුන්ගේ ඇතැම් වජ්ජි ධර්ම ඊටත් වඩා පැරැණි සේ පිළිගත යුතුය. බුදුරජුන් ඔවුන්ට අපරිහාණී ධර්ම දෙසුවේ ඒ පැරැණි සිරිත් විරිත් ද අගය කරමිනි. එහෙයින් බුද්ධ කාලයටත් වඩා සියවස්‌ ගණනකට පෙර සිටම ඔවුන් උසස්‌ නීති පද්ධතියක්‌ ඇති වැදගත් දරු පරපුරක්‌ වූ බව පැහැදිලි වෙයි. මේ හේතූන් නිසාම බුදුරජාණන් වහන්සේ මගධ මහාමත්‍ය වසසකාර බමුණන් ඉදිරිපිටදී ආනන්ද හිමියන්ට වජ්ජින්ගේ ඒ අපරිහාණීය ධර්ම සත දේශනා කළහ.

    වජ්ජීහු නිතර එක්‌රැස්‌ වෙති. බහුලව එක්‌රැස්‌ වෙති.

    වජ්ජීහු සමගිව එක්‌වෙති. සමගිව නැගී සිටිති. සමගිව කටයුතු කරති.

    වජ්ජීහු නොපැණවූ නීති නොපණවති. පැනවූ නීති නොසිඳිති. පැණවූ පැරැණි වජ්ජී ධර්ම පිළිපදිති.

    වජ්ජීහු ඔවුන්ගේ වැඩිහිටියන්ට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඔවුන්ගේ වචනය පිළිපැදීම සිතති.

    වජ්ජීහු කුල ස්‌ත්‍රීන්ට හා කුල කුමරියන්ට තර්ජන හා බලහත්කාරකම් නොකරති.

    වජ්ජීහු නගරය ඇතුළත හා පිටත වූ ඔවුන්ගේ

    වජ්ජි චෛත්‍යවලට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඒවාට පෙර සිට පැවත එන පිළියම් නොපිරිහෙළා දෙති.

    වජ්ජීහු ඔවුන්ගේ රටට පැමිණි රහතුන්ට සුවසේ විසීමටද නොපැමිණි රහතුන්ගේ පැමිණීම සඳහා ද දැහැමි රැකවරණය යොදති.

    අවධානය

    මෙහි සඳහන් කරුණු අතරෙන් පළමුවැන්න

    එක්‌රැස්‌ වීමයි. මෙයද කිහිප වරක්‌ හෝ විටින් විට සිදු වූවක්‌ නොවේ. නිතරම බහුලවම ඔවුන් එක්‌රැස්‌ විය. මේ හේතුව නිසා ඔවුන්ගේ විජිතයෙහි වැඩිදියුණුව ගැන සාකච්ඡාව කළ හැකි වෙයි. රටෙහි පවත්නා සංවිධානාත්මක වූ හෝ නොවූ නොයෙක්‌ සතුරු උවදුරුවලට නොපමාව මුහුණු දී කටයුතු කොට ඒවා වළකා ලිය හැකි වෙයි. එමෙන්ම ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා ස්‌වකීය අවධානය වහා යොමුකළ හැකිය.

    මෙහි එන දෙවන කරුණ නම් සමගියයි. ඔවුන් රාජකාරි කටයුතුවල යෙදෙන්නේ ද වාදභේද ආදියෙන් තොරවය. වැඩ කටයුතු නිමවා පෙරළා ගෙදර යන්නේ ද ඉතා සමගියෙනි. බොහෝ විට මිනිසුන් අතර පවතින පංගු පේරුව ඔවුන් තුළ නැත. "අසවලා පැමිණියේ නැත. අසවල් අය පැමිණි නිසා මා යන්නේ නැත. මට මේ වැඩේ ඇත අර වැඩේ ඇත" කියමින් වැඩ කටයුතු පමා කිරීමක්‌ හෝ වාද භේද ඇති කර ගැනීමක්‌ නැතිව එකා මෙන් නැගී සිට කටයුතු කරති. ඔවුහු ඔවුනොවුන්ගේ මඟුල් අවමඟුල් සුවදුක්‌ බලා ආදී සෑම දෙයෙහිදීම එකසේ එක බඳුව සමගියෙන් උනන්දුවෙන් හා නොවෙනස්‌ සිතින් කටයුතු කරති.

    වැටහීම

    වජ්ජීන් පිළිගත් තෙවැනි කරුණ නම් ඔවුනගේ චිරාගත නීති රීති උල්ලංඝනය නොකොට ක්‍රියා කිරීමය. එහෙයින් ඔවුහු පෙර නොපැණ වූ නීති රීති නොපනවති. පැණවූ නීති නොයික්‌මවා සිටිති. මෙය සාමාන්‍ය වශයෙන් බලන කළ සිවිල් නීති දණ්‌ඩ නීති හා බදු නීතිවලටද සාධාරණ රටවැසියාගේ දේපළ බෙදාහදා ගැනීම හා ආරක්‌ෂාවත් සංවර්ධනයත් නීති රීති කඩන්නට හා සොරුන්ට දඬුවම් දීමත් මෙයින් අදහස්‌ කරනු ඇත. එසේම රට පාලනය කිරීම හා හමුදා ආදිය නඩත්තු කිරීමටද බදු අය කළ යුතුය. මේවා කරන්නේද ඔවුන් ඉතා පරීක්‍ෂාකාරීව පෙරසිට පැවත එන පිළිවෙලද බලාගෙන සකස්‌වූ නීති මාලාවක්‌ අනුවය. එසේ නොවුවහොත් අලුත් බදු බර ආදියෙන් කිපුණු මහජනයා පාලකයන්ට විරුද්ධව කැරැළි ගැසීම කුමන්ත්‍රණ ආදියෙන් රටේ පාලනය දුබල කරන බව ඔවුහු දනිති.

    සාධු ධර්ම

    නීති උල්ලංඝනය කළවුන් සොරුන් හෝ අපරාධකරුවන් අල්ලා ගත් විට ඔවුන්ට දඬුවම් කරන්නේද නීතියේ ඇති සාධු ධර්ම පිළිපදිමිනි. මේ අනුව ඔවුහු සොරෙකු අල්ලා ගත්විට ඔහු සොරෙකු යෑයි එකවරම ප්‍රකාශ කිරීමට යුහුසුළු නොවෙති. එබැවින් ඔහු විනිශ්චයකරුවන් වෙත පත් කරන්නේද "සොරෙක්‌ යෑයි කියන්නෙකු" ලෙසටය. සොරා පළමුව විනිසුරු ඇමැති වෙත ඉදිරිපත් කරයි. එහිදී ඔහු නිසැකයෙන්ම වැරැදිකරුවකු නොවන බව පෙනේ නම් නිදහස්‌ ලබති. එසේ නැතහොත් චූදිතයා ගැන සැක නම් ව්‍යවහාරික (නීති විශාරදයන්) වෙත ඉදිරිපත් කරති. එතැනදී නිදහස්‌ නොවුවහොත් සුගතධර (නියෝගදත්) යන් වෙතද එයින් අට්‌ඨකුලීක (කුල නීතිදත්) යන වෙතද ඉන්පසු මහ සෙනවි වෙතද ඔහුගෙන් පසු යුව රජු වෙතද අවසානයේදී මහ රජු වෙතද ඉදිරිපත් කරති. මේ අනුව චූදිතයාට අභියාචනා (ඇපැල්) මගින් තමාගේ නිදොස්‌ භාවය ගැන කරුණු ඉදිරිපත් කළ හැකියි. මෙසේ සත්වන විනිසුරුකරු වන රජුද වරදකරුට දඬුවම් නියම කරන්නේ ප්‍රවේනි පොත කියවා බලා ඒ අනුවය. එකල වජ්ජීන්ගේ මේ නඩු විසඳුම් ක්‍රමය අගනා නීති මූලධර්මයන් පදනම්කොට සකස්‌ වූවක්‌ බව පෙනේ. එය මානව නිදහසේ නියම ආරක්‌ෂාව හා ස්‌වෛරී භාවය මනාව පිළිබිඹු කරන්නෙකි.

    අවවාදය

    ඔවුන්ගේ සතර වැනි ධර්මය වැඩිහිටියන්ට සැලකීමයි. මේ වනාහි ඔවුන් තමාහට වයසින් හා වෙනත් සැලකිලි වත්කම්වලින් උත්තරීතරව සිටිය වුන්ට ආදරය ගෞරව දක්‌වමින් ඔවුන්ගේ සිත දිනා ගැනීමය. මෙහිදී ඔවුන් වඩා ඥණාන්විත වූයේ ඔවුන්ගේ අවවාදවලට වෙසෙසින් කන්දීමටය.

    පස්‌වන කරුණ වන කාන්තාවන්ට සැලකීම

    වජ්ජීන්ගේ මහත් අවධානය යොමු වූවකි. මෙයින්

    වජ්ජින් තුළ පැවති අත්ත්‍යqත්ම වූ ශිෂ්ට ලක්‍ෂණයක්‌ අනාවරණය වේ. ඔවුහු අවිවාහක කුල කුමරියන්ට මෙන්ම විවාහක කතුන්ටද පොදුවේ ගරු කළහ. කුල කතුන් ඉදිරියේ වජ්ජීහු කිසි විටකත් නොනිසි ලෙස නොගැසුණාහ. මෙය වෙසෙසින් අගය කොට සැලකිය හැක්‌කේ පෙර ඉන්දියාවේ කාන්තාවන්ට ලැබුණු තැන හා සැලකිල්ල ගැන විමසන විටය.

    වජ්ජින් රජවරුන් නිසා කුල කතුන්ව බලයෙන් පරිහරණය කරන්නටත්, ඔවුන්ට බලහත්කාරකම් කරන්නටත් ඉඩ තිබුණි. එහෙත් ඒවා අශිෂ්ටකම් ලෙස ඔවුහු සැලකූහ. එසේම එබඳු ක්‍රියා නිසා ආදරයෙන් දරුවන් ඇති දැඩි කරන මවුපියන්ගේ සිත් තදින් පෑරී යන බවද එයින් ඔවුන්ගේ පාලන කටයුවලට බාධා පැමිණෙන බවද ඔවුහු දැන සිටියහ.

    අවබෝධය

    සවන සත්වන කරුණුවලින් ඔවුන්ගේ ආගමික ගුණ වගාව හෙළි වෙයි. වජ්ජීහු ඔවුන්ගේ රට ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්‌ථානවලට ගරු කළහ. එහි ආවේණිකව පැවත එන බලි බිළි පුද පූජා නොපිරිහෙළා ඉටු කළහ. ඔවුන් එසේ කළේ එකල ජන සම්මතව පැවති දෙවියන් සතුටු කිරීම සඳහාය. මේ හේතුවෙන් දෙවියන්ගේ ප්‍රසාදය හා ආශිර්වාදය ඔවුන්ට ලැබුණු බවට කිසිදු සැකයක්‌ නැත. එසේම උත්තම තත්ත්වයේ සැලකර රහතුන්ටද ඔවුන් ආරක්‌ෂාව සැලසූහ. මේ නිසා ඔවුන්ගේ රටට නොපැමිණි රහතුන්ගේ පැමිණීමත්, පැමිණි රහතුන්ගේ වාසයත් සිදු විය. යම් හෙයකින් ඔවුන්ගේ නගර ගම්වලට පැමිණෙන සිල්වත් ගුණවත් භික්‌ෂුන්ට නොසලකා දන් පැන් නිවාස නොදී නොපිළිගෙන සිටියාහු නම් ඔවුන් මහත් අශ්‍රද්ධාවත්, අවිනීත පිරිසක්‌ ලෙස අපකීර්තියට පත්වනු නිසැකය.

    මෙසේ සලකන කළ වජ්ජින් තුළ බුදුරදුන් දුට අපරිහාණීය ධර්ම එකකට එකක්‌ නොදෙවැනි වූ ඉතා වැදගත් කරුණුය. රටක ජනතා නායකත්වය දරන්නවුන් විසින් වජ්ජින්ගේ මේ අපරිහාණීය ධර්ම සත පැහැදිලි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කළහොත් ඔවුන්ගේ අභිවෘද්ධිය නොබිඳිය හැකි බව ඉඳුරා කිව හැක.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සප්ත අපරිහාණීය ධර්ම

    සප්ත අපරිහාණීය ධර්ම

    January 31, 2010 by Kawshala Kapila Kumara

    එක් කලක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ (උන්වහන්සේගේ 79 වන වර්ෂයෙහි) රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කළහ. එසමයෙහි මගධ රට අධිපති වූ අජාසත් රජතුමන් විශාලාවෙහි ලිච්ඡවි රජදරුවන් නසා වජ්ජි රට ජයගනු පිණිස, මගධ දේශයත් වජ්ජි දේශයත් අතර වූ ගංගා නම් ගං ඉවුරෙහි පිහිටි පාඨලී ග‍්‍රාමය මහා බලකොටුවක් සහිත සියලූ නගරාංගයන්ගෙන් පරිපූර්ණ මහා නගරයත් බවට පත්කිරීමට, ස්වකීය ප‍්‍රධාන අමාත්‍යවරුන් වන සුනීධ – වස්සකාර දෙදෙනා යෙදීය. මේ දෙදෙනා අතරින් වස්සකාර නමැති බ‍්‍රාහ්මණ ඇමතිවරයා දිනක් බුදුන්වහන්සේ දැකීමට අවුත් වැඳ එකත්පස් ව හිඳගත්තේ ය. අජාසත් රජු ලිච්ඡවීන් ජය ගැනීමට අර අදින බැව් ඇමතිවරයාගේ කථා බහෙන් වටහාගත් බුදුපියාණන් වහන්සේ, එවේලෙහි තමන් වහන්සේට පවන් සලමින් පසෙක සිටි අනඳ තෙරුන් අමතා, ‘‘ආනන්‍දය , මා මීට පෙර කලෙක ලිච්ඡවීන්ට වෛශාලියේදී වදාළ අපරිහාණීය ධර්ම සත ඔවුන් විසින් තවමත් කඩ නොකොට රකිනු ලබන්නේද?’’ යනුවෙන් විමසා, එසේ රකින බැව් අනඳ තෙරුන් විසින් පැවසූ කල්හි, ‘‘එසේනම් ආනන්‍දය, ලිච්ඡවීන් ඒ අපරිහාණීය ධර්ම හත රකින තාක් පිරිහීමක් කෙසේවත් නොවන්නේ ය’’ යි වදාළ සේක. මෙය අසා සිටි මගධ මහාමාත්‍ය තෙමේ, ආපසු ගොස් මහ රජුට ඒ බැව් දන්වා ලිච්ඡවීන් හා යුධ කිරීම නවතා ලී ය.
    මේ බුදුබණ අදත් එදා මෙන් ම ප‍්‍රාණවත් ය. ජීවමාන ය. එහෙයින් අද වුව ද මෙකී අපරිහාණීය ධර්ම හත සුරකින පවුලක් හෝ වේවා, පළාතක් හෝ වේවා, ජාතියක් හෝ වේවා, රටක් හෝ වේවා, කිසිදු ක‍්‍රමයකින් හෝ පිරිහීමකට පත් නො වන්නේ ය. එහෙත් අභාග්‍යයක මහත – අවාසනාවක මහත – මෙතරම් මහාර්ඝ වූ ධර්මානුසනාවන්ගෙන් වසර දෙදහස් පන්සියකට වැඩි කාලයක් රක්‍ෂාවරණය ලද අපේ ජාතිය, බුද්ධාවවාදයන් ගැන අබැටක් පමණ හෝ නොසලකා, තමන් බෞද්ධයන් යයි කියාගනිමින්, බුද්ධපුත‍්‍රයින් යයි කියාගනිමින්, අද වන විට අන්තයට ම පිරිහී ඇති අයුරු කෙතරම් සංවේගදායකද? එදා බුදුන්වහන්සේ වජ්ජීන්ට දේශනාකොට වදාළ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහෙන ධර්ම සත මෙසේ ය.
    1. නිරතුරුව ම පාහේ මනා සහභාගිත්‍වයකින් රැස්වීම් පැවැත්වීම
    2. සමගිව රැස් ව හිදීම, සමගිව නැගිටීම හා සමගිව කටයුතු කිරීම
    3. නොපැනවූ අණපනත් නොපැනවීම, පැනවූ නීති කඩ නොකොට රැකගැනීම, පෞරාණික වජ්ජි ධර්ම පිළිගෙන ඒ අනුව පැවතීම
    4. වැඩිමහල්ලන්ට ගරුබුහුමන් කිරීම, ඔවුන්ගේ වචනයට ඇහුම්කන් දීම
    5. ඒ ඒ කුලස්තී‍්‍රන් හා කුලකුමරියන් තමතමන් වෙත වාසයට නොපැමිණවීම
    6. පරම්පරාගත ව ධාර්මික පූජාවෙන් සිද්ධස්ථානයන්ට දේවාල ආදියට එකී පූජා කඩ නොකොට පවත්වාගෙන යාම
    7. දක්‍ෂිණාර්හ වූ මහණ බමුණන් නිසි ලෙස රැකබලා ගැනීම

    මෙය බුදුන්වහන්සේ විසින් වජ්ජි රට ලිච්ඡවීන් උදෙසා දේශනා කොට වදාළ දහමක් වුව ද, බුදුබණ සර්වව්‍යාපී හා සර්වකාලීන දහමක් හෙයින්, එය ලෝකයේ ඕනෑම රටකට, ඕනෑම ජාතියකට, ඕනෑම සමාජයකට අදටත් සාධාරණ ය. අප ජාතියක් වශයෙන් පිරිහුණේද මෙකී අපරිහාණීය ධර්ම ආරක්‍ෂා කර නොගත් හෙයිනි. ඉහත කී අපරිහාණීය ධර්ම එකින් එක ගෙන බැලූවහොත් මෙසේ විස්තර කළ හැක.
    1 හා 2 අපරිහාණීය ධර්මයන්

    පළමුවැනි අපරිහාණීය ධර්මය නම් නිතර රැස්වීම ය. මෙහිදී රැස්වීම් යනුවෙන් අදහස් කෙරෙනුයේ කඩපිල්, සූදුපිටි, තැබෑරුම් හා සල්පිල් ආදියට එකතු වී, කාලය කා දමමින් අන්‍යයන්ගේ ඕපාදුප කියාපෑම නොවේ. යම්කිසි කාරණයක්, කටයුත්තක් අවශ්‍ය හා කළයුතු දෙයක් ලෙස එළඹ සිටි විට, පවුලක හෝ ගමක හෝ විහාරස්ථානයක හෝ පාසලක හෝ සමිතියක හෝ සාමාජිකයින්, පුද්ගලයින් එක්රැස් ව, පී‍්‍රතිමත් මුහුණින් යුතු ව ඔවුනොවුන් දෙස බලමින්, කුදුමහත් කටයුතු පිළිබද ව සාකච්ඡා කිරීම යි. පෙර අප ගම්වල, පවුල්වල, පන්සල්වල ගොවිතැන් බත්, වන්‍දනා ගමන්, මගුල්තුලා, පින්කම්, අවමගුල් ආදී සමාජ ජීවිතයට අවශ්‍ය හැම දෙයක් ම ඉතා යහපත් ව කරකියා ගත්තේ, එක්රැස් වී සමගියෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමෙනි. මෙකී පළමුවැනි අපරිහාණීය ධර්මය හොදින් තේරුම්ගත හැක්කේ දෙවැන්නත් සමග විග‍්‍රහ කර බැලීමෙනි. දෙවැනි අපරිහාණීය ධර්මය සමගිව රැස්ව හිදීම, සමගිව නැගී සිටීම හා සමගිව කටයුතුවල යෙදීම යි. පවුලක් වශයෙන් හෝ ගමක් වශයෙන් හෝ සමිතියක් වශයෙන් හෝ සමාජයක් වශයෙන් හෝ සහෝදර පිරිසක් වශයෙන් හෝ නොපිරිහී දියුණුවන්නට නම්, ඒ පිරිසේ සමගිය, සමාදානය, එකීයභාවය, සුහද හැගීම, හිතවත්කම හා ඔවුනොවුන් කෙරෙහි ඇති විශ්වාසය යනාදිය ඔවුන් තුළ පැවතිය යුතු ප‍්‍රධාන ම ගුණධර්ම බැව් මෙයින් වැටහෙනවා ඇත. පොල්කෙන්‍ද වූ කලී ශක්තියක් නැති යමකි. එහෙත් පොල්කෙදි රාශියක් සමගි ව එකට එතී කඹයක් බවට පත්වූ විට එහි ඇති ශක්තිය ගැන කියනුම කවරේද? වේයන් සමගියෙන් එක්රැස් ව එකා මෙන් කටයුතු කොට වැඩෙහි යෙදී මහත් වූ තුඹස් ගොඩනගන අයුරු, මීමැස්සන් සමගි ව එකා මෙන් වැඩ කොට රසවත් මී පැණි සාදන අයුරු, කඩියන් කුහුඹියන් දිමියන් සමගි ව එක්රැස් ව එකා මෙන් තම සිරුරු මෙන් දහස් ගුණයක් විශාල මළකුණු ඇදගෙන යන අයුරු, දියබිදු එකට එක් ව නදියක් වී ගලන අයුරු, වැලිකැට සමගි ව එක්රැස් ව මහාපොළොවක් ව පවත්නා අයුරු අපි මහා හඩින් ශබ්ද නගා කියමින්, සමගියේ ඇති අපරිමිත අතුල්‍ය ගුණය, ශක්තිය, බලය හා වේගය වර්ණනා කරමු. එහෙත් අපේ පිරිහීමට මූලික හේතුව ව වී පවතින්නේත් අප තුළ ඇති අසමගිය යි. භේදවීම යි. අන්‍ධකාරයෙහි ආලෝකයක් නොමැතිවාක් මෙන් ම, භේදයක් ඇති තැනක, භේදය ඇති පිරිසක් තුළ පැවැත්මක් ද නොමැත. විශ්වාසයට මුහුණ පෑ හැක්කේ කෙසේද යන්න පිළිබද ව අප පළමුවෙන් ම පවුලක අඹුසැමියන් ගෙන බලමු. මේ අඹුසැමි දෙදෙනාගේ පී‍්‍රතිය හා සැපත පවතින්නේ ඔවුන්ගේ අවංක බව හා හිතවත්කම මත නොවේද? සමගිය මත හා විශ්වාසය මත නොවේද? රටට වැඩ ඇති, ආගමට වැඩ ඇති, සමාජයට වැඩ ඇති දුදරුවන් බිහිවන ආයතනය, සමගි සම්පන්න මව්පිය දෙපළක් සිටින නිවස යි. මව්පිය දෙපොළ පී‍්‍රතියෙන් සිනාසෙමින් එකිනෙකාට පේ‍්‍රමයෙන් සෙනෙහසින් කථාබහ කරමින් අවංක විශ්වාසයකින් නිවසෙන නිවසක උපත ලබා ඇති දුදරුවෝ, මේ මගුල් සක්වළ තුළ දිනූ මහා වාසනාවන්තයෝ වෙති. ඇතැම්විට ඔවුනට උළු මාලිගා හිමි නොවන්නට පුළුවන. කසී සළු රන්මිණිමුතු නොමැති විය හැක. නවීන පන්නයේ සුඛෝපභෝගී යානවාහන නැතිවන්නට පුළුවන. එහෙත් සමගි සමාදානය, අන්‍යෙන්‍ය විශ්වාසය, ආදරය, පේ‍්‍රමය, සෙනෙහස, දයාව හා කරුණාව ආදිය ඔවුන් තුළ පවතී නම්, කටුමැටි ගසා කොළ සෙවිළි කළ දිරාපත් පැල්පත වුවද ඔවුනට මහා මාලිගයකට වඩා සැපවත් ය. කටුක ආහාරය වුවද රජ බොජුනකට වඩා රසවත් ය. පොල්පිතිවලින් තැනූ කබල් මැස්ස වුවද, පොල් අතු පැදුර වුවද කොදු පලසකට වඩා සැපවත් ය. ගොරෝසු කදාර් වස්ත‍්‍ර පවා කසී සළුපිළිවලට වඩා සනීපදායක ය. ඔවුන් අතර හැදෙන වැඩෙන නිර්වස්ත‍්‍ර දිළි`දු දරුවා පවා, අසමගියෙන්, අවිශ්වාසයෙන් හා ක්‍රෝධයෙන් ගහබැණ ගන්නා මහා ධනවත් සිටු ගෙදරක දෙමව්පියන්ගේ දරුවෙකුට වඩා අතිශයින් ම වාසනාවන්ත ය. මෙකී වාසනාව උත්පත්තියෙන් ම ලත් සිංහල දරුවන් කී දෙනෙක් අද ලංකාවේ සිටිත්ද? පර්යේෂණ කළයුත්තේ මේවා සෙවීම පිණිස ය. කොමිෂන් සභා පත්කළ යුත්තේ මේවා සෙවිම පිණිස ය. දරුවන්, අපේ බාල පරපුර , තරුණ පරපුර අපරාධකරුවන් වන්නේ කවර හේතු මතදැයි සොයා බැලූ විට, ඊට මූලික හේතුව මවිපිය දෙදෙනාගේ අසමගිය හා අවිශ්වාසය බැව් එදාට හෙළිවනු ඇත. අපේ ඇතැම් මිනිසුන් ගිහි සැප සොයන්නේ මිල මුදල් මත ය. වතුපිටි යානවාහන විසිතුරු දෙමහල් මාලිගයක, එසේත් නොමැති නම් නමට මුලින් හෝ අගින් ඈදාගත් උපාධි නම්බුනාම ලැයිස්තුවක ය. එසේත් නැත්නම් ලබාගත් තනතුරු – පදවි – නිලතල සමූහයක් තුළ ය. එහෙත් අවිශ්වාසය, ඊර්ෂ්‍යාව, කුහකකම, බලකාමය, ක්‍රෝධය හා පලිගැනීම රජකරන සිත්වලින් යුත් මෙම මිනිසුන් ගිහි සැපතෙහි රශ්නයවත් නොවිඳ, වයස් ගත වනතුරු දුක්බර දිවියක් ගෙවා දුකින් හඩ හඩා මියගිය පසුව ද දුකට ම පැමිණෙන අයුරු සිතාගත හැක.
    සමගිය පැවතිය යුත්තේ ගිහියන් අතර පමණක් නොවේ. මහා සංඝරත්නය අතර ද සමගිය පැවතිය යුතු ය. සුඛා සංඝස්ස සාමග්ගී යනුවෙන් සංඝයාගේ සමගිය සැපතකැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි. සංඝ සමාජය බබළන්නේ ඔවුනොවුන් දෙස පි‍්‍රය මුහුණෙන් බලමින්, වාදභේදයන්ගෙන් තොර ව, කුල මල කියා නොගෙන, වාග් ප‍්‍රහාරයන්ගෙන් එකිනෙකාට බැණ නොගෙන, එකිනෙකාගේ අඩුපාඩු කියා නොගෙන සමගියෙන්, සමාදානයෙන්, පි‍්‍රයභාවයෙන් සිටින තාක් කල් පමණි. බුදුන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට උපදෙස් දුන්නේ කිරි හා වතුර මෙන් වෙන් කළ නොහැකි (ඛීරෝදක භූතො) අයුරින් සමගියෙන් එකට බැදී සිටින ලෙස යි. කිරිත් වතුරත් මිශ‍්‍ර වූ පසු ඒ දෙක වෙන් කළ නොහැක. එසේ ම සමගිදමෙන් එකට බැදුණු සංඝයා ද වෙන් කළ නොහැක. යමෙකු සංඝයා භේද කිරීමට තැත් කරන්නේ නම් එය බරපතළ පාපයකි. පංචානන්තර්ය පාප කර්මයන් යටතේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, තථාගත සිරුරෙහි ලේ සෙළවීම යන කරුණු හතරට වඩා බරපතළ ම පාප කර්මය වන්නේ සංඝයා භේද කිරීම යි. එසේ භේද කිරීමට හැක්කේ ද උපසපන් භික්‍ෂුවකට පමණකි. එහි විපාක කෙතරම් බරපතළද යන්න දේවදත්ත තෙරුන්ගේ කථන්දරයෙන් සිතාගත හැක. එසේ ම සමගියෙන් සිටි සංඝයා වහන්සේ දෙනමක් කේලාම් කියා භේද කළ තවත් භික්‍ෂුවක්, කල්පයක් කල් නිරයේ පැසී දැනටත් පේ‍්‍රත ව ඉපිද මුහුණ කුණුවී දුක් විදින අයුරු (පිසුණු කියා සග දෙනමක් භේද කොට – පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට, මුහුණු කුණුව………) ලෝවැඩ සගරාව කියවන කුඩා ළමයින් පවා දන්නා කරුණකි.
    භේද වූ සංඝයාගේ බැබළීමක් නොමැත. බැබළීමක් තබා ප‍්‍රාණවත් බවක් හෝ නැත. අපේ සංඝ සමාජය තුළ වාද භේද අඩුපාඩු දුරලා එකා මෙන් සමගියෙන් සමාදානයෙන් එක ම නායකත්‍වය වූ ධර්මය ගුරු තන්හි තබාගෙන කටයුතු කළහොත්, ශී‍්‍ර ලංකාවේ වැඩ වසන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ බලය අසීමිත වනු ඇත. දෙව්බඹුන් උන්වහන්සේලා ළග දණ නමනවා ඇත. විහාර පන්සල් දායක පිරිස් බැබළෙන්නට පටන්ගන්නවා ඇත.
    3 වන අපරිහානීය ධර්මය

    බුදුන් වහන්සේ තුන්වන අපරිහාණිය ධර්මය වශයෙන් දේශනා කොට වදාළේ නොපැනවූ නීතිරීති නොපැනවීම මෙන් ම පැනවූ නීතිරීති කඩ නොකොට රැුකීම යි. මෙයට හොද ම උදාහණයක් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව පළමුවැනි ධර්ම සංඝායනාව හා ඉන් අනතුරු ව උදා වූ වකවානුව ඇසුරෙන් දැක්විය හැක. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද පිළිබද ව සාකච්ඡා වූ අවස්ථාවේ, ඉතා කුඩා ශික්‍ෂාපද කඩකළ හැකි බැව් බුදුන්වහන්සේ විසින් වදාරා තිබුණද ඒවා මොනවාදැයි නිසි අයුරු පැහැදිළි නොවූ හෙයින් සියලූ ම ශික්‍ෂාපද ඒ අයුරින් ම පිළිපැදීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, ආනන්‍ද මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය තීරණය කළහ. එය පැණවු නීතියක් නොවේ. විනය නීතියකි. බුදුන් වහන්සේ කිසිවිටකත් නීති පනවා නැත. විනය නීති වූ කලී මහා සංඝයා වහන්සේලා විසින්, මහා සංඝයා වහන්සේලා උදෙසා, මහා සංඝයාගෙන් ම සැදුම්ලත් කණ්ඩායමක් විසින් පිළියෙළ කරන්නකි. බුදුන් වහන්සේ විනය ශික්‍ෂා හදුන්වා දෙන ලද්දේ සංඝයා වහන්සේලාගේ යහ පැවැත්මත්, සංඝ සමාජයේ තිර පැවැත්මත්, දිවිගෙවීම පහසුවීම, නොපැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනනුන්ගේ වැඩි පැහැදීම ආදී කරුණු රාශියක් නිසා ය. එහෙත් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ව අද වනවිට වසර දෙදහස් පන්සිය ගණනක් ගෙවී ගියත් , භික්‍ෂූන් වහන්සේලා විසින් එකී විනය ශික්‍ෂාවන්ට සංශෝධන ඉද්රිපත් කර නැත. එක්තරා අවස්ථාවක දුසිල් භික්‍ෂූන් සමූහයක් විසින් දස අකැප වස්තු කැප යයි හදුන්වා දුන් විට, ඒවා ද විනය විරෝධී වස්තු වශයෙන් භික්‍ෂූන් වහන්සේලා විසින් ම ඊළග සංඝායනාවේදී තීරණය කළහ. එසේ ම බුදුන්වහන්සේ විසින් නොපණවන ලද කිසිදු නීතියක් සංඝයා වහන්සේ විසින් මේ දක්වා පනවා නැත.
    මේ අපරිහාණීය ධර්මය කඩකරන පවුලක්, සමාජයක්, ජාතියත් හෝ රටක් ඇත්නම් ඒ අය ඇස් ඉදිරියේ ම පිරිහී යන බැව් ලෝකය දෙස වුවමනාවෙන් බලාසිටින ඕනෑ ම අයෙකුට පෙනේ. නීතියට සැමදෙනා ම ගරු කළ යුතු ය. මහරජතුමා වුවද ගෞරව දැක්විය යුතු ය. දුප්පත්කම – පොහොසත්කම, දැනහැදුනුම්කම, හිතවත් කම – අහිතවත්කම ආදිය අනුව නීතිය වෙනස් කරගන්නා අය පිළිබද ව අපට නිතර ඇසේ. පෙනේ. අප රටේ නොයෙකුත් තරාතිරම්වලට අයත් පිරිස විසින්, නීතිය පිළිබද ව කිසිදු තැකීමක් නොකොට නීති කැඞීමත්, නීතිවිරෝධී කි‍්‍රයාවන්හි යෙදීම හපන්කමක් ලෙස සලකා කි‍්‍රයා කිරීමත්, දකින්නටත් අසන්නටත් ලැබේ. දඩුවම් ලැබිය යුතු අපරාධ ගණයට වැටෙන නීතිත්, සාමාන්‍ය රටවැසියාගේ පොදු නිදහස සහ යහපත උදෙසා රැුකිය යුතු නීතිත් සමාජයක පවතියි. හැදුණු , ශීලාචාර මිනිසුන් වශයෙන් සැලකෙන්නේ මේ අංශ දෙකට ම අයත් නීති – රීති, සම්ප‍්‍රදායන් ගරු කරන , ඒවා කඩ නොකරන පිරිස යි. මනුෂ්‍ය ඝාතනය, ස්තී‍්‍ර දුෂණය, සොරකම, සුරා පෙරීම – විකිණීම ආදිය අපරාධ ගනයට වැටෙන ඒවා ය. රටක නීතියක් ඇතත් නැතත් ඕනෑම රටක ශීලාචාර මිනිසුන් මෙකී වැරදි නොකරන බව කිව යුතු ය.
    නීතිය සෑම දෙනෙකුටම සමාන විය යුතු ය. එසේම සෑම දෙනෙක්ම නීතිගරුක විය යුතු ය. නීතිගරුක වීම, විනය ගරුක වීම හැදුණු මිනිසෙකුගේ ශීලාචාර ගතියකි, ශිෂ්ඨ ධර්මයකි.
    4 වන අපරිහාණීය ධර්මය

    වැඩිමහල්ලන්ට ගරුබුහුමන් කිරීම සහ ඔවුන්ගේ වචනයට ඇහුම්කන් දීම සිවුවැනි අපරිහාණීය ධර්මය වශයෙන් බුදුරජාුණන් වහන්සේ විසින් දක්වා වදාරා ඇත. ගිහි-පැවිදි හැම කෙනෙකු විසින් ම මෙම ගුණධර්මයෙන් බොහෝ ඈත්වී සිටින බව වර්තමාන සමාජය දෙස විමසිල්ලෙන් බැලීමෙන් පෙනී යයි. කුලදෙටුවන් පිදීම, වැඩිමහල්ලන්ට සැලකීම, ඔවුන්ගේ වචනයට අවනත වීම, ඇහුම්කන් දීම මිනිසෙකු දේවත්‍වයට පත්කරවන සප්තවෘත ධර්මයන්ගෙන් එකක් බැව් ධම්මපදයෙහි මහාලී වස්තුවෙහි ද දක්වා ඇත. වයෝවෘද්ධ, තපොවෘද්ධ, ඥානවෘද්ධ වැඩිහිටියන්ට නිතර ගෞරවාදර දැක්වීම, වැදුම් පිදුම් කිරීම, මිනිසෙකුගේ ආයුෂය, ශරීර වර්ණය, සැපය හා බලය යන ධර්ම හතරක් වැඩිකරවන මහගු පිින්කමක් බව ‘‘අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනො, චත්තාරො ධම්මා වඞ්ඪන්‍ති – ආයු වන්ණො සුඛං බලං’’ ලෙස ධම්මපදයේ ආයුවර්ධන කුමාරයාගේ කථාවෙන් පෙන්වා දී ඇත. පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් වශයෙන් ද දහමෙහි දක්වා ඇත.
    කරුණු මෙසේ වුවද වර්තමාන ශී‍්‍ර ලාංකික සමාජයේ බොහෝදෙනාට මෙම ගුණධර්ම බමුණු මත බැව් පෙනේ. වැඩිහිටියන්ට තබා මව්පියන්ට වැදීම, ගුරුතුමාට ගුරුතුමියට ආචාර සමාචාර කිරීම ආදිය සමාජයෙන් බොහෝදුරට ඈත්වී ඇත. උසස් අධ්‍යාපනය ලබන ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තුණුරුවන් වැදීම පවා සිනහවට, අපහාසයට හා උපහාසයට ලක් කරන අවස්ථා නැතුවා නොවේ. යකඩ දාගිය ගෙයි පුළුන් සෙවීම විහිළුවකි. එසේ ම උසස් තැන්වල තත්‍වය පෙර කී අයුරින් නම්, අපේ දුප්පත් සමාජය ගැන කියනුම කවරේද?
    එහෙත් අප එක් කරුණක් වටහාගත යුතු ය. ධර්මයේ ශක්තිය අන් හැම ශක්තියට ම වඩා විශාල ය. ධර්ම කරුණු ලොව කිසිවෙකුටත් වෙනස් කිරීමට නොහැක.
    5 වන අපරිහාණීය ධර්මය

    ඒ ඒ කුලස්තී‍්‍රන් හා කුලකුමරියන් බලහත්කාරයෙන් තමතමන් වෙත වාසයට නොපැමිණවීම, පස්වන අපරිහාණීය ධර්මය ලෙස බුදුන්වහන්සේ විසින් දේශනා කොට වදාරා ඇත. මෙයින් අදහස් කළේ කුමක්ද? මව්වරුන්ට මෙන්, සහෝදරියන්ට මෙන්, දියණිවරුන්ට මෙන් ස්තී‍්‍ර පක්‍ෂයට සැලකීමට මෙන් ම, බහුභාර්යා සේවනයෙහි ඇති වැරදි ගැන මෙනෙහි කොට, ඉන් වැළකී සැබෑ අඹුසැමි පේ‍්‍රමයකින් යුතු ව කටයුතු කිරීම යි. එකල දඹදිව සමාජය විසින් ස්තී‍්‍රන්ට සැලකුවේ පුරුෂ පක්‍ෂයේ පරිභෝජනයට පහළ වූ සිත්පිත් නැති වස්තුවකට මෙනි. බලය, ධනය හා ශක්තිය ඇති පිරිස් රූමත් කුලකුමරියන් සියගණන් ගෙන්වා, අන්තඃපුර තුළ සිරකරගෙන උත්පත්තියෙන් ම ස්තී‍්‍රන්ට හිමි නිදහස පවා අහිමි කරමින්, අතිශයින් නින්‍දිත අයුරින් ජීවත්වූ බැව් නොරහසකි. වර්තමාන සමාජයේ ද ධනය හා බලය ඇති ඇතැම් පිරිස් අසරණ අහිංසක දැරියන් රවටා තමන්ගේ අවශ්‍යතාවයට ලක්කර ගනිති. දැරියන් දුෂණය කරති. ඇතැම් අය තමන්ගේ දියණියගේ වයසේ දැරියන් පවා කී‍්‍රඩා භාණ්ඩ වශයෙන් සලකමින් කෙලෙසති. ධනය හා බලය යොදාගනිමින් නීතියේ රැහැණින් ද ගැලවෙති.
    පුද්ගලයෙකුට සහෝදර සහෝදරියන් හත්අට දෙනෙකුට, දරුවන් දහ පහළොස් දෙනෙකුට, ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීප දෙනෙකුට එක වර ආදරය කළ හැක. ඒවායේ යම් යම් උස් පහත් මට්ටම් ඇතත්, මූලික වශයෙන් ආදරය දැක්වීමට, හිතවත්කම් දැක්වීමට එය බාධාවක් නොවේ. එහෙත් කිසිදු පුරුෂයෙකුට එකවර බිරියන් කීපදෙනෙකුට පේ‍්‍රම කළ නොහැක. එසේ ම කිසිදු ස්ති‍්‍රයකට එකවර ස්වාමිපුරුෂයින් කීපදෙනෙකුට පේ‍්‍රම කළ නොහැක. එසේ පේ‍්‍රම කිරීමට තැත්කළ හොත් එහිදී ඇතිවන්නේ ගිහිගෙයක් නොව ගිනිගෙයකි. සැනසිල්ලක් නොව වැනසිල්ලකි. සාමයක් සමාදානයක් නොව කලකෝළාහලයකි. එබදු නිවෙස්වලින් සිරිදේවිය පලා ගොස් මූදේවිය ඒවාට පදිංචියට එයි. එහෙයින් ගිහි ජීවිතය සැපවත් විමට නම්, බිරියගෙන් පතිවෘතාව අපේක්‍ෂා කරන සැමියා ද, රටේ දකින දකින රූමත් කාන්තාවන් ට ආලය පුදමින් අනියම් සබදතාවන් ඇතිකර නොගනිමින්, පිරිසිදු ජීවිතයක් ගත කළ යුතු ය. සිය දහස් ගණන් අසරණ අහිංසක තරුණියන් සිය අන්තඃපුරයට ගෙනවුත් ඔවුන්ගෙන් පතිවෘතාව අපේක්‍ෂා කළ පැරණි ධනවතුන් කෙරෙහි එකී ස්තී‍්‍රන් තුළ පවතින්නට ඇත්තේ පේ‍්‍රමයක් නොව, ඊර්ෂ්‍යාවෙන් පලිගැනීමේ චේතනාවෙන් මුවහත් වූ දැඩි බියකි. එබදු සමාජයක ජීවත් වූ අඹුසැමියන් අතර නිරන්තරයෙන් එකිනෙකා කෙරෙහි අවිශ්වාසය හා සැකය පවතින්නට ඇත. එකල ස්තී‍්‍රන් ජීවත්වන්නට ඇත්තේ බලවත් සිත්තැවුලින් බව ද උපකල්පනය කළ හැක.
    6 වන අපරිහාණීය ධර්මය

    බුදුන්වහන්සේ සයවැනි අපරිහාණීය ධර්මය වශයෙන් දේශනාකොට වදාළේ පරම්පරාගත ව හෝ පාරම්පරික ව පූජාවන් පිදු සිද්ධස්ථානයන්ට, දේවාලයන්ට එකී පුදපූජා කඩ නොකොට දිගට ම පවත්වා ගෙන යාම යි. මිනිසාගේ දියුණුවට, ඉදිරි ගමනට, ප‍්‍රගතියට ආගම් බාධාවකැයි සමහර පිරිස් අතර මතයක් පවතින බැව් නොරහසකි. භාරත දේශයයේ අදටත් ආගම් හා බැදුණු ගතානුගතික වූ, අශ්ලීල වූ, සිරුරට දුක්දීමේ එවන් සමහර චාරිත‍්‍රවිධි ද දක්නට ලැබේ. අනෙකුත් ආගම්වලට අයත් සදොස් කි‍්‍රයා පිළිවෙත් ද තිබිය හැක. එහෙත් සැබෑ බුදු දහම වූ කලී මිනිසාගේ ප‍්‍රගතියට ඉදිරි ගමනට විනා මිනිසා ප‍්‍රගතිගාමීත්‍වයට ඇද දමන්නක් නොවේ. බුදුදහමින් මිනිසා සෑම අතින් ම සැහැල්ලූ දිවිපැවැත්මක් කරා යොමු කරයි. චාම් ජීවිතයකට පුරුදු කරයි.
    7 වන අපරිහාණීය ධර්මය

    දක්‍ෂිණාර්හ වූ මහණ බමුණන් හොදින් රැකබලා ගැනීම සත්වැනි අපරිහාණීය ධර්මය වශයෙන් සදහන් ව ඇත.
    බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට පෙර වුවද මිනිසා කවර හෝ ආගමක් ඇදහීමට පුරුදු ව සිටියේ ය. එකී ආගම්වලට අයත් පූජක පක්‍ෂය එකල ද ඒ ඒ දේශයන්හි විසූහ. ශිෂ්ට පාලකයෝ හා යහපත් මිනිස්සු ආගම කුමක් වුවත් ආගමික පූජක පක්‍ෂයට මැනවින් සැලකූහ. අනුරාධපුරය ස්වකීය රාජධානිය කරගනිමින් රට පාලනය කළ පණ්ඩුකාභය නරනාථයන් විසින් එකල විසූ නිගන්ඨයින්, පිරිවැජියන් හා තවුසන් ආදීන් උදෙසා නුවරින් බැහැර අසපු කරවා දී ඔවුන්ට නිදහසේ කල් ගෙවිමට සලස්වා, ඔවුන් රැකබලා ගත් බැව් මහාවංශයේ සදහන් වේ. සුද්ධෝදන මහ රජතුමා සිය උයනෙහි වාසය කළ අසිත තාපසයින්ට මහත් ගෞරවාදරයෙන් උවටැන් කළහ. බුදුන්වහන්සේගේ දායකයින් වූ කෝසල බිම්බිසාර ආදී රජවරු සිය නුවරවල විසූ නිගණ්ඨ, පරිබ‍්‍රාජක ආදී බාහිර පැවිද්දන්ට රැකවරණය ලබාදුන්හ. අපේ සිරිලක් බිමේ මහනුවර බෞද්ධ රජවරු ඕලන්‍දක්කාරයින්ගේ තාඩන පීඩන හමුවේ මහනුවරට පළා ආ කතෝලික පූජකවරුන්ට රැකවරණ සැලසූහ. ආගම කුමක් වුවත් ආගමික පූජකවරුන්ට ශිෂ්ට සමාජයක පාලකයින් හා මහ ජනතාව ගෞරව දැක්වීම පොදු ලක්‍ෂණයකි.
    එහෙත් අද දක්නට ලැබෙන ඉතාමත් කණගාටුදායක සිද්ධිය නම් ඇතැම් පිරිස් විසින් අප රටේ ජීවත්වන විවිධ ආගමික පූජ්‍ය – පූජක පක්‍ෂයට අස්ථානයේ චෝදනා කරමින් ගැරහීම යි. සියලූ ම ආගම්වලින් අපේක්‍ෂා කරන්නේ එකම නිවන හෝ ස්වර්ගය හෝ නොවේ. බුදුදහමේ පූජක පක්‍ෂයක් නැත. පූජක පක්‍ෂය යනු දේවවාදී ආගම්වල දෙවියන් හා අනුගාමිකයින් අතර සිටින අතරමැදි තැනැත්තන් ය. ආගම් භක්තිය පදනම් කොට ඇත. එහෙත් බුදුදහම ආගමක් නොවේ. එහි මූලිකත්‍වය ලබන්නේ දෙවියන් නොව මිනිසා ය. එහි ඇත්තේ ශ‍්‍රද්ධාව මිස භක්තියක් නොවේ. බුදුදහමේ පූජක පක්‍ෂයක් නැත. ඇත්තේ පූජ්‍ය පක්‍ෂය යි. එනම් පූජාවට සුදුසු, වැදුම් පිදුම් ලබන පක්‍ෂය යි. එහෙත් බුදුදහම කිසිවිටකත් වෙනත් ආගම් සැහැල්ලූවට ලක් නොකරයි. පහත් කොට නොසලකයි. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ උන්වහන්සේ ඇතැම් විට වෙනත් ආගමික නායකයින්ගේ අසපුවලට ගොස්, ඔවුන් සමග සුහද ව කථාබස් කළ අයුරු සූත‍්‍ර පිටකයෙහි විවිධ ස්ථානයන්හි දක්නට ඇත. එසේ ම වෙනත් ආගම්වලට අයත් පූජක පක්‍ෂයේ බොහෝ පිරිස් තුළ මෙම ලක්‍ෂණය නිසා ම බුදුන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් පැවතුණ බව ද නොරහසකි.
    අපේ බෞද්ධ පිරිස් අතර ලොකුම පිරිහීමේ හේතුව වශයෙන් මා දකින්නේ මහණ බමුණන්ට පොදුවේ ගැරහීම යි. භික්‍ෂූන් වහන්සේලා අතර ද අපමණ අඩුපාඩු වැරදි පැවතිය හැක. එහෙත් එය ඒ ඒ පුද්ගලයින් විෂයෙහි මිස පොදුවේ භික්‍ෂු සමාජයේ අඩුපාඩුවක් නොවේ. වරදක් නොවේ. බුද්ධ කාලයේ පවා භික්‍ෂූන් අතර බරපතළ වැරදි කළ දුසිල් මහණුන් සිටි බැව් විනය පිටකයේ චුල්ල වග්ගයේ දැක්වෙන කථන්දර අනුව පෙනේ. ඒවා කියවූ පසු වර්තමාන භික්‍ෂුව කොතරම් සංවරද කෙතරම් විනයගරුකද යන්න මනා ව අවබෝධ වනු ඇත. වර්තමාන භික්‍ෂූන් අතර යම් යම් අඩුපාඩු ඇත්නම්, එම තත්‍වයට භික්‍ෂුව ඇද දැමුවේ කවුරුන්ද යන්නත් අප විසින් සොයා බැලිය යුතු ය. භික්‍ෂුවකට දානයක් පවා නොදෙන අයයි මෙවන් දෝෂාරෝපණ නගන්නේ. එසේම තමන්ට ආවැඞීම, තම පක්‍ෂයට උදව් උපකාර කිරීම, තම දේශපාලන රැස්වීමේ අසුන් ගැනීම, තමන්ට පක්‍ෂ ව කථා කිරීම ආදියෙහි යෙදෙන භික්‍ෂුව නූගත් වුවත්, දුශ්ශීල වුවත් ඔහු ගැන වර්ණනා කරන ඇතැම් දේශපාලනඥයින් එසේ තමන්ට ආවැඞීම ආදියෙහි නොයෙදෙන භික්‍ෂූන් වහන්සේලා කොපමණ උගත් වුවත්, සිල්වත් වුවත් ඉතා පහත් කොට සලකා, නින්‍දාවට අපහාසයට ලක් කරන බැව් ද සදහන් නොකිරීම අඩුපාඩුවක් ලෙස පෙනේ.
    එහෙත් සිරිලක්බිමේ සිංහල බෞද්ධයාට සිංහලයෙකු වශයෙන් බෞද්ධයෙකු වශයෙන් කෙදිනක හෝ භික්‍ෂූන් වහන්සේගෙන් වෙන් ව සිටිය නොහැක.
    පූර්වෝක්ත සප්ත අපරිහාණීය ධර්ම ලිච්ඡවීන්ට දේශනා කර ඇති නමුදු අද ජීවත්වන ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාවට ද මනා ව පිළිපැදීම මගින් මහගු ප‍්‍රතිඵල අයිතිකර ගත හැකි ධර්ම පර්යායක් බැව් අවසාන වශයෙන් අවධාරණය කරමු. බුදුවරුන් සිදුකරනුයේ කාලයේ වැල්ලෙන් වැසීගිය අප‍්‍රකට ව පවත්නා ධර්ම කරුණු ලොවට හෙළිකර දීම යි. අරළු, බුළු, නෙල්ලි ආදියේ ඇති යම් ගුණයක් වේ නම්, ඒ ගුණය පවතිනුයේ ඉසිවරයින් විසින් ඒ බැව් කියා ඇති නිසා නොවේ. ඉසිවරයින් කළේ ඒ ඖෂධයන්හි ඇති බලය ලොවට විදහා දැක්වීම යි. ඖෂධයන්හි ඇති ශක්තිය කවදාටත් පවතින්නේම ය. එමෙන් ම ධර්ම බලය සදාතනික ව ලොවෙහි පවතී. ධර්මාවබෝධය යනු පවත්නා දෑහි තතු යථා ස්වභාවයෙන් එනම් ඇති සැටියෙන් දැකීම යි.
    (පොත පත ඇසුරින් සකස් කරන ලදී)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සව්සත සනසන සිව් බඹ විහරණ

    එස්.ඩබ්ලිව්. ගුණරත්න
    ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)


    බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත.


    මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ.

    මෙත්තා හෙවත් මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමෙන් මෙම උතුම් ගුණාංගය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ කර ගත යුතු වේ. ඒ අනුව තමා කෙරෙහි හිතවත්වීම, තම නෑ හිත මිතුරන් කෙරෙහි හිතවත්වීම, මධ්‍යස්ථ පුද්ගලයන් කෙරෙහි හිතවත්වීම, සතුරන් කෙරෙහි හිතවත්වීම ප්‍රගුණ කළ හැකි ය. එකවරම, සමස්ත ලෝකවාසී සියලු සත්වයා වෙත හිතවත්වීම කළ නොහැකි බැවින්, ක්‍රම ක්‍රමයෙන් එය ප්‍රගුණ කර වර්ධනය කොට, ව්‍යාප්ත කළ යුතු ය. ප්‍රථමයෙන්, තමා තමාට හිතවත්වීම අත්‍යවශ්‍ය වේ. තමාට හිතවත්ව තම හිතසුව සලසා නොගන්නා පුද්ගලයාගෙන්, අනුන්ට හිත සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව, තමාගේ නිරෝගී බව, සැපවත්බව දියුණුව සැමවිටම ළඟා කර ගත යුතු ය. ඊළඟට පියවරෙන් පියවර මව්පිය, සහෝදර සහෝදරියන්, නෑ හිතවතුන්, ගුරුවරුන්, මධ්‍යස්ථ පිරිස, සතුරන් කෙරෙහි ආදී වශයෙන් හිතවත්බව හිතවත්වීම කළ හැකිවේ. මෙසේ ක්‍රම ක්‍රමයෙන් පුහුණුව වර්ධනය වූ මෛත්‍රී සහගත සිත (හිතකාමීබව) සමස්ත සත්ත්වයා කෙරෙහිම යොදා ගන්නා අන්දම, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළහ. ඒ අනුව, ක්‍රම ක්‍රමයෙන්, සිත තුළ හිතවත්භාවය වර්ධනය කර ගැනීමට දරන මානසික ව්‍යායාමය, මෛත්‍රී භාවනාව වශයෙන් හැඳින්වේ. එසේ උසස් මට්ටමට වර්ධනය වූ මෛත්‍රීය, බ්‍රහ්ම විහරණයකි.
    z_p06-sawisetha.jpg

    කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම, කරුණාවෙන් හදවත පුරවා ගත් පුද්ගලයාගේ ස්වභාවයයි. මිනිසකුගේ පමණක් නොව තිරිසන් සතකුගේ පවා අසරණභාවය, දුක්ඛිත භාවය දැක පිහිට වේ. ජාති, කුල, ආගම්, පරපුර, උස් පහත්කම් ආදිය ගැන නොසැලකේ. ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ තමන් දුක් පීඩා විඳිමින් වූවද, අන්‍යයන් දුක් පීඩාදියෙන් මුදවා ගෙන සැපවත් කිරීමට වෙහෙසෙති. තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන ඔවුහු සමාජයකට මහාර්ඝ වස්තු වේ. ආත්මාර්ථකාමීව, පටු හැඟීමෙන් ක්‍රියා කරන්නාට කරුණාව ව්‍යාප්ත කිරීම අසීරුය. කෙටියෙන් දක්වතොත් කරුණාව තම නිවසට, කාර්යාලයට, වැඩපොළට, ගමට රටට, ජාතියට පමණක් සීමා කර ගත යුත්තක් නොව, සමස්ත විශ්වයටම පොදුවේ ව්‍යාප්ත කරලිය යුතු, උතුම් ගුණ ධර්මයකි. මහා කරුණාවෙන් පිරි උතුමෝ, සමස්ත විශ්වය සිය පවුල ලෙස සලකා, අනුකම්පාවෙන් ක්‍රියාකර සෑම සත්ත්වයකුටම ශාන්තිය උදාකරති. ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේ ඊට හොඳම නිදසුනකි.
    අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි. අන්‍යයන්ගේ දුක් දොම්නස්, කරදර හිරිහැර ආදියේදී අනුකම්පාව දැක්වීම තරමට අනුන්ගේ සැපත සතුට දියුණුව දැක සතුටුවීම, හෝ පී‍්‍රතිවීම පහසු දෙයක් නොවනු ඇත. එම අපහසු තත්ත්වය, යම් පුද්ගලයකුට තම සිත තුළ පහළ කර ගත හැක්කේ, නම් එය උසස්ම ස්වභාවයකි. සතුටට පත්වන්නේ තම නෑදෑයකු හිතවතකු නිසාද එය මුදිතාව නොවන අතර, කිසිදු භේදයක් නැතිව සමාජයේ ඕනෑම කෙනෙකුගේ සැපවත්වීම දැක අවංක සිතින් සතුටුවීම මුදිතා ගුණයයි. අල්ලස් ගැනීම, දූෂණය, සොරකම් කිරීම, මංකොල්ලකෑම ආදී දුසිරිත් තුළින් ධනවත්ව පී‍්‍රතිවන පුද්ගලයකු කෙරෙහි ඇති කර ගත යුත්තේ මුදිතාව නොව කරුණාවකි. දැනට තාවකාලික සතුටක්, ලැබුවත් ඔහු විසින් කරන ලද දුසිරිත් නිසාම අනාගතයේ දුකට පත්වන අන්දම සිතා බැලීමෙන් ඇතිවන්නේ අනුකම්පාවකි. මුදිතා ගුණයෙන් පිරි සමාජයක, භේද භින්නතා නැති අතර සොම්නස රජ කරයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉස්මතු නොවේ. ආධ්‍යාත්මික ගුණවගාවෙන් අනූනය.
    උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ.
    බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. ක්‍රෝධයක්, වෛරයක් සිත තුළ ඇති වූ විට මොනතරම් අසහනයක් දැනේද? එසේම මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂා සිතිවිලි සිත තුළ හටගත්විට මොනතරම් සහනයක් දැනේද? මොනතරම් සැපතක් ද? මෙසේ සමස්ත සමාජයම පෙළ ගැසෙන්නේ නම්, ලෝකය මොනතරම් ලස්සන වේද?
    මෙහි සාකච්ඡා කළ කුමන ප්‍රතිඵලයක් වූවද ලබාගත හැක්කේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව පුද්ගලයාගේ චරිතයෙන් වෙන් කළ නොහැකී අන්දමට චරිතයේම කොටසක් ලෙස සලකා ප්‍රගුණ කිරීමෙනි. ඒවා චරිතය පුරා විහිදී, තදින් සිත තුළ කාවැදුණහොත් පමණි. ස්වකීයත්වයෙන් තොරව, මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග චරිතය පුරා වගා කර ගැනීමට හැක්කේ, මිනිසාට පමණි. මේ අන්දමට, කුඩා කළ සිටම මනස පුරුදු කිරීම තුළින් වර්ධනය වන මානසික ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ප්‍රබල වේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාපයට- විපතට මඟ සලසන සතර අගතිය

    පාපයට- විපතට මඟ සලසන සතර අගතිය

    කඳුබොඩ ශ්‍රී සුමතිපාල නා හිමි
    වන ආරණ්‍ය වාසී
    කෝට්ටේ සාසනතිලක හිමි


    යමක් සඳහා උත්සාහය සහ සැලැසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය.

    අසීමිත දක්ෂතා සමුදායකින් සහ සහජ බුද්ධියකින් සමන්විත මිනිස් උපත දුර්ලභ බව ‘මනුස්සත්තා පටිලාභෝ දුල්ලභෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මෙසේ උපත ලබන මිනිසා බාහිර ලෝකය හා සම්බන්ධ වී සිතූ සේ ක්‍රියා කර අසහනය හෝ සහනය ළඟා කර ගනියි.
    මෙහිදී හොඳ, නරක කුසල්, අකුසල් නිවැරැදි ලෙස වටහා නොගෙන කාම සුඛයන් හඹායමින් ජීවිතය විඳවීම හෝ යථාර්ථවාදීව ලෝකය දැක ජීවිතයේ සුන්දරත්වය විඳීම පුද්ගල වගකීමක් බවට පත්ව ඇත. එසේම තාවකාලික වූ ලෞකික සැපතින් මිදී සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පවා හැකියාව ඇත්තේ මිනිසාට බව බුදුන් වහන්සේ පරමාදර්ශීව අනුදැන වදාළහ. එහෙත් මෙලොව උපදින මිනිසා විසින් තිදොරින් කරනු ලබන අකුසල කර්ම ශක්ති ප්‍රබල වීම, නැවත මිනිසත් බවක් ලැබීම දුර්ලභ වීමට හේතුවනු ඇත.
    z_p06-papayata.jpg

    ඒ පිළිබඳ මනා අවබෝධයක් ලත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මිනිසාගේ උභයාර්ථ සාධනය පිණිස සද්ධර්මය දේශනා කළහ. උන්වහන්සේ විසින් දේශිත ධර්මයේ අන්තර්ගත සෑම අනු කුඩා අර්ථයකින්ම ලෞකික හෝ ලෝකෝත්තර සැපතට මඟ පෙන්වා දී තිබීම. සුවිශේෂත්වයකි. ඒ බව ‘දීඝ නිකායේ’ සිඟාලක සූත්‍රයෙන් ද මනාව පැහැදිලි වෙයි.
    හිමිදිරි උදෑසනක තෙත් වූ වස්ත්‍රයෙන් යුතුව සදිසා නමස්කාර කරමින් සිටි සිඟාල ගෘහපති පුතුට බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ආර්ය විනයේ සදිසා වැඳීම, එය නොවන බවයි. එවිට ඒ කෙසේ කළ යුතු දැයි සවිස්තරව දේශනා කරන ලද සිඟාල පුත්‍රයා බුදුන් වහන්සේට ආයාචනා කළේ ය. උන්වහන්සේ පළමුව දේශනා කොට වදාළේ සතර ක්ලේශ ප්‍රහීණ කරන ලෙසක්, සතර අගතියෙන් සහ විනාශ මුඛ සයෙන් මිදෙන ලෙසත් ය. එවිට දෙලොව ජයගෙන, මරණින් මතු සුගැති සම්පත් හිමි කර ගත හැකි බවත් බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්හ.
    සතර ක්ලේශ - ප්‍රාණඝාතය, සොරකම, අනිසි, ලෙස කාමාශ්වාද ලැබීම, මුසාවාදය
    සතර අගති – ඡන්ද, දෝෂ, භය, මෝහ
    විනාශ මුඛය – මත් භාවිතය, නොකල්හි වීදි සංචාරය, දර්ශන නැරඹීමට යෑම, සූදු ක්‍රීඩාව, පාප මිත්‍ර ඇසුර සහ අලස බව.
    මෙහිදී අප අවධානය යොමු වන්නේ සතර අගති පිළිබඳවයි.
    ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තතී
    නිහීයති තස්ස යසෝ කාල පක්ඛේව චන්දිමා

    ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාති වෘකති
    ආපුරති තස්ස යසො සුක්ඛ පකෙඡව චන්දිමා
    ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.
    දෝස - යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.
    භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.
    මෝහ - මෝඩකමෙන් අගතියට යෑම.
    සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සඳහන් යටකී පළමු ගාථාවෙන් ප්‍රකාශ වන්නේ මෙම කරුණු සතරින් යමෙක් අගතියට පත්ව කටයුතු කරන්නේ නම්, අව පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ඔහුගේ යසස පිරිහෙන බව යි. එසේ අගතියට නොයන තැනැත්තාගේ යසස පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් වර්ධනය වන බව දෙවැනි ගාථවෙන් අර්ථවත් වෙයි.
    මිනිසාගේ නිරන්තර උත්සාහය තම අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ආදියෙන් උපරිම ඵල නෙළාගැනීම යි. එසේම හැකි උපරිමයෙන් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රිය පිනවීම යි. මේ පිළිබඳ බුදුසමය කිසිවිටකත් ගිහි පිරිසට තහනමක් පනවා නැත. සියලු ලෞකික සැප දැහැමි ලෙස උදාකර ගන්නා අයුරු සිඟාලෝවාද, පරාභව, ව්‍යග්ඝපජ්ජ, මංගල, උග්ගහ සහ කරණීයමෙත්ත ආදී සූත්‍ර දේශනා මඟින් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
    සියලු සුඛයන් ඉටු කර ගැනීම පිණිස දැහැමි මාර්ගයන් බුදු සමය ඉදිරිපත් කොට තිබිය දී මිනිසා තෘෂ්ණාධිකව නිරන්තර තරගයකට අවතීර්ණව සිටියි. ඊට හේතුව ඔහු සතර අගතියෙන් අගතියට පත්ව සිටීමයි. ධනය, බලය, තනතුරු හෝ යම් පුද්ගලයෙක් කෙරෙහි දැඩි ලෙස ඇති කර ගන්නා කැමැත්ත, භය, ද්වේෂය හෝ මෝහය හේතුකොට ගෙන තම මනස දූෂිත වී යයි එවිට හේ, කුමන තරාතිරමක උගතකු වූවත් ඔහුගේ නුවණ මොටව ගිය පිහිතලයක ඇති මුවත හා සමාන වෙයි. එයින් අවශ්‍ය කාර්ය කළ නොහැකි ය. එසේම දූෂිත වූ සිතකින් ගන්නා වූ තීරණ ද නිෂ්ඵල වන්නේ ය. බුද්ධ කාලයේ සිටි දිසාපාමොක් ඇදුරුතුමා හා අහිංසක සිසුවා අතර ඇති වූ අමනාපය විශාල විපතක් බවට පත් වූයේ අගතිගාමී වීම නිසා බව පැහැදිලි ය. මෙම පඬිවරයා ඡන්දයෙන් අගතියට යෑම නිසා ගෝලයින්ට ඔහු ද්වේෂයෙන්, බියෙන් හා මෝහයෙන් ද අගතියට යැවීමට හැකි විය. අවස්ථාවක් එළඹෙන තෙක් බලා සිටි ගුරුවරයා ගුරු පඬුරු ලෙස මිනිස් ඇඟිලි දහසක මාලයක් පුදන ලෙස අහිංසකට නියම කළේ ය. ගුරු ගෞරවය හේතු කොටගෙන ‘අහිංසක’ ගුරු ඉල්ලීම ඉටු කරමින් සිටියේ, එය තමා නසන්නට යොදන ලද උපක්‍රමයක් බව නොදැනය.
    එහෙත් පසුව බුදු රදුන් දැක පියවි සිහි ලැබ සතර අගතියෙන් හා සියලු ක්ලේශවලින් මිදුණු අහිංසක, අංගුලිමාල මහ රහතන් වහන්සේ බවට පත්විය. මෙසේම දේවදත්ත හාමුදුරුවන් ද ඇතුළු බොහෝ දෙනා සතර අගතියෙන් අගතියට පත්ව විපත් සිදුකරගත් ආකාරය, ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. වර්තමානයේ ද ගිහි පැවිදි උභය සමාජ සංස්ථාවන්හි යම් පිරිහීමක් සිදුවන්නේ නම්, ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අගතිගාමී වීම බව, කරුණු සොයා බැලීමේ දී පැහැදිලි වෙයි.
    පවුල් සංස්ථාව තුළ ජීවත් වන මව, පියා ඇතුළු සාමාජිකයන් ආයතනයක් පිරිස් රටේ දේශපාලකයන් ආදී වශයෙන් ගත් කළ ඔවුනොවුන් අතර තිබිය යුතු සුහද බව, මානුසික කැමැත්ත අදාළ ක්‍ෂේත්‍රයේ දියුණුවට මහෝපකාරී වෙයි. එහෙත් මෙම කැමැත්ත දැඩිලෙස ඇති කර ගැනීම ඡන්දයෙන් අගතියට යෑමකි. එම නිසා ඔහු නොවුන් අතින් යම් අසම්මත ක්‍රියාවක් සිදු වුවහොත්, අදාළ පුද්ගලයා තමන්ගේ කෙනෙකි යන දැඩි හැඟීම හේතු කොටගෙන වැරැද්ද නොකියයි. දුටුවන් එය පෙන්වාදීමට නොපෙළෙඹන අතර, වැරැද්ද සාධාරණ කරන්නට ද ප්‍රයත්න දරයි. මෙවැනි තත්ත්ව පවුල් සංස්ථාව තුළ නිර්මාණය වුවහොත් වැඩිහිටියන් බවට පත්වන දරුවෝ දිනක තම මවුපියන්ට විරුද්ධව කැරැලි ගැසීමට පෙළඹෙති. ආයතනයක නම් එය පිරිහීමට හේතුවකි. එසේම පක්‍ෂයක, රටක, ජාතියක විනාශයට ද හේතු වෙයි. යටකී දැඩි කැමැත්ත හෙවත් ඡන්දය නිසා සුළු කරුණක දී පවා සැකය හරහා ද්වේෂය, භය, මෝහ ආදී වශයෙන් සතර අගතියටම ගොස් ඔවුනොවුන් විනාශ කර ගන්නා ප්‍රේම සම්බන්ධතා ද ජන මාධ්‍ය මගින් දැන ගත හැකි ය. මේ ආකාරයට යමෙක් නිසා හෝ යමක් අරබයා සතර අගතියෙන් අගතිගාමී වන මිනිසා, තමා ඉදිරියේ ඇති විනාශය නොසළකා හරියි. අවසානයේ, මහත් වූ දුකට පත්වෙයි.
    ජීවිතයේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයේ දී මෙම සතර ධර්ම වලින් අගතියට යෑම, ඊට බාධාවකි. යමක් සඳහා උත්සාහය සහ සැලසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. හේතු ඵල දහමට අනුව, ලොව පවතින සියල්ල අනිත්‍යය . ඒවායේ ස්වභාවය ඇතිවීම ක්‍ෂයවීම හෙවත් දිරා යෑම සහ තිබුණ තත්ත්වයෙන් වෙනස්වීම යි. මෙසේ යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය. එහෙත් තම අවශ්‍යතා සඳහා සැලසුම් සකසා අගතියට නොයා උපේක්‍ෂාවෙන් හෙවත් මධ්‍යස්ථව කටයුතු කිරීමෙන් අපේක්‍ෂා ඉටු කරගත හැකි ය. පැමිණෙන විපත් ද අවම කරගත හැකි ය. එසේ සෑම විට උපේක්‍ෂාව පුරුදු කර ගැනීම හේතු කොටගෙන සතර අගතියෙන් මිදිය හැකි වන අතර එය බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන් සැපතට ද මඟ වනු ඇත.
     
    • Like
    Reactions: sidathsaumya

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සතර සංග්‍රහ වස්තු


    කොබෙයිගනේ පුබ්බිලිය, ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය, ගලේවෙල පුවක්පිටිය
    ශ්‍රී බෝධිරාජාරාමයේ
    - ගලගෙදර රතනවංශ හිමි


    ඕනෑම ජන සමාජයක දියුණුවට හා පැවැත්මට අවශ්‍ය කරුණු හතරක් බුදුරජාණන්වහන්සේ සිව් සඟරාවතින් පෙන්වා දී ඇත. බෝසතාණන් වහන්සේ නොයෙක් ආත්ම භාව වල සතර සංග්‍රහ වස්තු වලින් අනුනට සංග්‍රහ කළ බව බණ පොතේ සඳහන් වේ. එය බුද්ධත්වය සඳහා ද පහසු වූ බවත් උපනුපන් ආත්ම වල අප්‍රමාණ පහසුකම් ලැබූ බවත් වැඩි දුරටත් සඳහන් වේ.


    සතර සංග්‍රහ වස්තු මෙලොවට පමණක් නොව පරලොවට ද හේතු වේ. එය එතනින් අවසන් නොවී ලෝකෝත්තර වශයෙන් ඇති නිවන දක්වාම ගමන් කරනු ඇත. පුද්ගල රාශියක එකතුව සමාජය වේ. එම සමාජයේ යහ පැවැත්ම උදෙසා පුද්ගලයා සඳහා සතර සංග්‍රහ වස්තු ප්‍රායෝගිකව බලපාන අයුරු සලකා බැලීම මෙහි අරමුණයි. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංග්‍රහ වස්තු සූත්‍රය තුළින් කරුණු පෙන්වා දී ඇත. එහි සඳහන් වන්නේ
    “චත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
    කතමානි චත්තාරි, දානං පෙය්‍යවජ්ජං
    අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො

    භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී ති” ආදී වශයෙනි.
    අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද ?
    ඒ කරුණු හතර
    1. දානය
    2. ප්‍රිය වචනය
    3. අත්ර්‍ථචර්යාව
    4. සමානාත්මතාව නම් වේ.


    දානය
    z_p06-sasara.jpg


    අවශ්‍ය අයට මූල ධනය වශයෙන් මුදල් හදල්, බීජ ආදිය දීම දානයයි. මෙහිදී ආගමික මුහුණුවරක් ගම්‍යමාන නොවුන ද තමන් සතු ධනය අනුන් සමඟ බෙදා හදාගෙන ජීවත් වීමේ පිළිවෙත නිරූපණය වේ. කිසියම් සැලැස්මකට අනුව නිෂ්පාදන ක්‍රියාවලියට සමස්ත ජනතාවම හවුල් කොටගෙන ඔවුන් අතර ධනය බෙදීයාමේ අභිප්‍රායෙන් දෙන දානයක් විය යුතුය. දී නි කූ®ටදන්ත සූත්‍රයෙහි එන මහා විජිත රජුගේ පුරෝහිතයා යාගයට පෙර රට සුභික්ෂ කරනු සඳහා දෙන උවදෙස් තුළින් රටක සමුර්ධිය ළඟාකර ගන්නා අයුරු පැහැදිලි වේ. ලෞකික වශයෙන් දන් දීමෙන් ආයුෂ, වර්ණය, සැපය, බලය යන සැප තමන්ටත් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා රාජකුමාරිකාවකට කළ දේශනයකින් පැහැදිලි වේ. “ ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වා” කෙනෙකුට ආයුෂ දුන්නම තමන්ටත් දිව්‍යමය ආයු සම්පත් ලැබෙන බව එම පාඨයෙන් පැහැදිලි වේ. මනුෂ්‍ය ආත්මය තුළ බලාපොරොත්තු වන අනෙක් සැප සම්පත් වන ශාරීරික ලක්ෂණ, ශාරීරික සැපය හා ශාරීරික බලයද ඒ අයුරින්ම ලැබෙන බව සිතා ගත යුතුය. පාර ලෞකික වශයෙන් දන් දීමේ වටිනාකම ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇත. ආත්මාර්ථකාමීත්වය නැති වී පරාර්ථකාමීත්වය වැඩි දියුණු වී සංසාරික බන්ධනය නැතිකර ගත හැකි මාර්ගය දානය තුළ තිබේ. “ තිණ්ණං සම්මුඛී භාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති” පිරිසුදු සිතින් ධාර්මිකව සපයා ගන්නා දාන වස්තුවක් සිල්වත් පිරිසකට පරිත්‍යාග කිරීමෙන් උසස් පිනක් ලැබෙන බව ඉන් පැහැදිලි වේ. එය සංසාරික දුක් නැතිකර ගැනීමට ද මඟ වේ. බුදුරජාණන් වහන්සේ සංඝගත දක්ෂිණාවේ ආනිසංස දේශනා කිරීමේ දී “කප්පානි සත සහස්සානි - සංඝෙ දින්නං න නස්සති යනුවෙන් කල්ප සිය දහස් ගණනක් ගියත් සාංඝික වශයෙන් දුන් දානයේ අනුසස් නැති නොවන බව පැහැදිලි කොට ඇත. බාල සංගහවත්ථු සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එත දග්ගං භික්ඛවේ දානානං යදිදං ධම්මදානං” යනුවෙන් ධර්ම දානය අග්‍ර වන බවයි. “ සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන පාඨයෙන් ද ඒ බව පැහැදිලි වේ. එයට හේතුව ආමිස දානයෙන් ලැබෙන ප්‍රථිඵල තාවකාලික වන අතර ධර්ම දානයෙන් ලැබෙන ප්‍රථිඵල නිවන් සුව දක්වාම පවතින බැවිනි.

    ප්‍රිය වචනය

    “පෙය්‍ය වජ්ජන්ති පියවචනං” යන අඟුත් සඟි අටුවාවේ සඳහන් පාඨයට අනුව ස්ත්‍රී පුරුෂ සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් ලෙස ප්‍රිය වචනය හඳුන්වා ඇත. ස්වකීය නිලධාරීන් හා වැසියන් සඳහා ළගන්නා සිත් නොරිදෙන වචන භාවිතා කිරීම ප්‍රිය වචනයේ ස්වභාවයයි. දෙහදක් අතරේ නිසසල පිරිසුදු සුහද බවක් ඇති කිරීම සඳහා ප්‍රිය වචනය හේතු වෙයි.
    මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන් ද ප්‍රිය වචනයට කැමති බවත් එයින් ද හොඳ වචන කතා කිරීමට පුරුදු වන බවත් සත්තිකුම්භ ජාතකය, නන්දිවිසාල ජාතකය වැනි කතා පුවත් තුළන් පැහැදිලි වේ. බොරුව, කේලම, පරුෂ වචන, හිස් ප්‍රලාප මේවා අප්‍රිය ජනකයි. අහිතකරයි. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදී කෙලෙස් වලින් හදවත දූෂණය වුණාමයි එැවනි වචන පිට වන්නෙ. බුදුරජාණන් වහන්සේ උසස්ම ප්‍රිය වචනය කුමක්ද කියා බලසංගහ වත්ථු” සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත.
    “එතදග්ගං භික්ඛවෙ පෙය්‍ය වජ්ජානං යද්දිං අත්ථිකස්ස ඔහිත සෝතස්ස පුනප්පුනං ධම්මං දෙසේති” බණ ඇසීමට කැමති අයට නැවත නැවත ධර්මය දේශනා කිරීම උසස්ම ප්‍රිය වචනය බවයි එයින් පැහැදිලි වන්නේ. දහම් සොඬ රජතුමා යක්ෂයාගේ කටට පැන්නෙත් බණ ඇසීමට ඇති කැමැත්ත නිසයි. ධර්මය යනු ප්‍රිය වචනයයි. එය ඇසීම දැරීම හා චරණය නිවනට ද හේතු වේ.

    අර්ථ චර්යා

    අර්ථ චර්යාව නම් ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීමයි. එය රාජ්‍ය පාලක ධර්මයක් වශයෙන් ගත් කළ රට වැසියාගේ ආර්ථික දියුණුව පිණිස කටයුතු කිරීමයි. එහිදී ආහාර, ඇඳුම්, වාසස්ථාන සහ බෙහෙත් යන මූලිත මිනිස් අවශ්‍යතා ඇතුළත් වේ.
    සිඟාලෝවාද සූත්‍රයට අනුව යුතුකම් පහකින් සේවකයන්ට සැලකිය යුතු අතර එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ දුක සැප විමසීම හා මංගල අවමංගල අවස්ථා වලදී වැඩිපුර උදව් පදව් කිරීමද අර්ථ චර්යාව සාර්ථක වීම සඳහා ඉවහල් වේ.
    අර්ථ චර්යාව තුළින් ආර්ථික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික පැත්ත පිළිබඳව ද අවධානය යොමු කොට ඇත. එහිදී රටවැසියා තුළ චතුර්විධ සම්පත්තියක් ඇති කිරීම වැදගත් වේ. එනම්
    1. සද්ධා ( තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම )
    2. සීල ( ත්‍රිවිධ ද්වාරය සංවර කර ගැනීම )
    3. ත්‍යාග ( පරිත්‍යාගයෙහි පිහිටුවීම )
    4. ප්‍රඥා ( ත්‍රිලක්ෂණය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ දැනීම හා නිවන් අවබෝධය )

    යන ගුණ හතර ජනතා හදවතට කැවීම තුළින් එම රාජ්‍යය නිර්භය ක්‍ෂේම භූමියක් බවට පත් වන බවද සඳහන් වේ. එපමණක් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් උපලක්ෂිත වීම තුළින් ද අර්ථචර්යාව තව තවත් අර්ථවත් වේ.
    සමානාත්මතාව

    සමානත්තතා ති සමාන ‘සුඛ දුක්ඛ භාවො’ දුක සැප සමව බෙදාගෙන ජීවත් වීමට පුරුදු විය යුතුය. තවද අටලෝ දහමේ අකම්පිත ගුණයත් සමානාත්මතා ගුණයට ඉවහල් වේ. වාසෙට්ඨ සූත්‍රයේදී, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුල එකිනෙකට වෙන්ව ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය අනුව බව ප්‍රකට කරුණක් වුවද ඔවුන් සියලු දෙනාම හඳුන්වා ඇත්තේ මනුස්ස යන පොදු නාමයෙනි. බලසංගහවත්ථු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ලාභී ගිහි සමාජය තුළ කුමන තරාතිරමක පුද්ගලයෙකු සිටියත් බුදු සසුනට ඇතුළත් වූ කළ ශ්‍රමණ නමින් හඳුන්වන බවත් පැවිද්ද හා උපසම්පදාව ලබන බවත් දේශනා කර ඇත.
    “ දානංච පෙය්‍යවජ්ජං ච – අත්ථචරියාච යා ඉධ
    සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං
    එතෙ ඛො සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
    තස්මා මහන්තං පප්පොති – පසංසා ච භවන්ති තෙ”

    සමස්තයක් ලෙස සිව් සඟරාවත පිළිබඳ සිතීමේ දී රිය ගමනට කඩ ඇණය අවශ්‍ය වන්නාක් මෙන් ලෝකයෙහි පැවැත්මට උපකාරී වන සමගාමී ලෝක ධර්ම සතරක් බවත්, මේ සතර වස්තූන් නිසා ජනතාව පාලකයන් වෙත නැමෙන බවත් මහත් වූ යසසට හා ප්‍රශංසාවට පාත්‍ර වෙන බවත් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කොට වදාළහ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය ariya atthangika magga(Pali) Noble Eightfold Path (English)

    සසර ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වශයෙන් දුක් සමුදායකි. සැපයි සුඛයි සාරයි වශයෙන් ලබන්නා වූ සතුට තුල ඇති දුක අවබෝධ කර ගත යුතය. එවිට මෙම දුක අවසන් කිරීමට ඇති අවශ්‍යතාවය අවබෝධ වේ. මෙම දුක නැතිකිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගය අට වැදෑරුම් වේ.
    සම්මා දිට්ඨි

    නිවැරදි දැකීමයි. විශාල ධර්ම පරියායකි, ධර්ම ස්ඛන්දයකි. ලොව පවතින සියලු ධර්මතාවයන් පිළිබඳව නිවැරදි දැකීමයි. නමුත් ලොව පවතින පරම සත්‍යය නම් දුක පමණක්ම වේ. එබැවින් දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම හා දුක නැතිකරන මාර්ගය පිලිබඳ එනම් චතුරාර්ය සත්‍ය පිලිබද නිවැරදි අවබෝධය ලැබීමෙන් සියලු ධර්මතාවයන් පිලිබඳ නිවැරදි අවබෝධය ආවරණය වේ.
    රාගයෙන් ඇලීම, ද්වේශයෙන් ගැටීම හා මෝහයෙන් මුලවිමෙන් වැළකෙන දැකීම නිවැරදි දෘෂ්ටියයි.
    චතුරාර්ය සත්‍ය නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා ධර්මතාවයන් රාශියක් පිළිබඳව නිවැරදි දැකීම ඇතිකරගත යුතුවේ. එබැවින් ඒ සෑම ධර්මතාවයක් විස්තර කෙරෙන අවස්ථාවකදීම සම්මා දිට්ඨිය ලෙස දැක්වේ. සම්මා සංකප්ප

    නෙක්කම්ම සංකප්ප: නෙක්කම්ම සතුට, නෙක්කමම දුක, නෙක්කම්ම උපේක්ෂා වශයෙන් තුන් ආකාර වේ.
    අව්‍යාපාද සංකප්ප: හෙවත් බද්ධ වෛරය, වෛරය, තරහා, ක්‍රොදය, පලී ගැනීමෙන් බැහැර වෙනවා. අවිහිංසා සන්කල්පය හෙවත හින්සාවෙන් තොර මෙත්සිත වඩනවා.
    සම්මා වාචා

    බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.
    සම්මා කම්මන්ත

    ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.
    සම්මා ආජීව
    වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව යයි . මජ්ජිම නිකායේ මහාචත්තාරිසක සූත්‍රයට අනුව නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීවයයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි.
    සම්මා වායාම

    සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.
    සම්මා සති

    නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.
    සම්මා සාමාධි

    සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.
     
    • Like
    Reactions: cybernalin