උඩරට චාරිකා - ඔබ නොදුටු පැරණි නුවරඑළිය දුම&#35

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    උඩරට චාරිකා - ඔබ නොදුටු පැරණි නුවරඑළිය දුම&#35

    නානූඔයට වී සිටින අප මෙම ස්ථානය හා බැදුනු වර්තමානය වන විට දක්නට නොමැති නානුඔය සිට නුවරඑළිය හරහා රාගලට ගිය පුංචි කෝච්චිය පිළිඹදව සොයැබැලීමට සිතුවෙමු. ඒ පිළිඹද අතීත කථාව මෙසේය....පසුගිය වසරේ මා නුවරඑළියට ගිය අවස්ථාවක මට හාවාඑළියට යෑමට සිදුවිණි. ඒ එක්තරා කාලවකවානුවක නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ භාරකාර නිලධාරිව සිටි ඔස්ටින් විජේතුංග මහතා හමුවීමටය. ඒ ගමනෙදි මට අබලන් වූ රේල් පීලි කීපයක් දක්නට ලැබිණි. මම මගේ ගමන් සගයා වූ ගායක ඇන්ටන් සමන්ප්‍රියගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමි.

    ”ඉස්සර නානුඔය ඉඳන් නුවරඑළියට පුංචි කෝච්චියක් ගිහින් තියෙනවා. මේ ඒ රේල්පීලි තමයි. මේ කෝච්චිය රාගල දක්වාම ගිහින් තියෙනවා.”

    ඇන්ටන් කීවේය. මම විස්මයට පත්වීමි.

    මෙවර මගේ නුවරඑළිය සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ඒ පුංචි කෝච්චියේ ඉතිහාසය සෙවීමයි. මේ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් ගවේෂණය කර ඇති ප්‍රවීණ ලේඛක සිරිසේන දේවප්‍රිය මහතා කියන ආකාරයට මේ පුංචි කෝච්චියේ ගමනාගමන කටයුතු ආරම්භ කර ඇත්තේ ඉංග්‍රීසි යටත් විජිත යුගයේය. හරියටම වර්ෂය සඳහන් කළහොත් 1890 දීය. (දේවප්‍රිය මහතා නුවරඑළිය අළලා අගනා පොත් දෙකක් ලියා ඇත. ‘අසිරිමත් නුවරඑළිය’ හා ‘සුන්දර නුවරඑළිය’ එම පොත් දෙකය)1898 වනවිට කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය නානුඔය තෙක් ඉදිකර තිබිණි. නුවරඑළියට දුම්රිය මාර්ගයක් තැනීමේ අවශ්‍යතාව මතුවූයේ තේ ප්‍රවාහන කටයුතු සඳහාය. මුලදී නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වාම දුම්රිය මඟ තැනීමට යෝජිතව තිබුණත් එය ඉදිවූයේ රාගල තෙක් පමණි.

    13151427_1011701358946153_3638263832948473815_n.jpg


    ඒ බව වඩාත් සනාථ වන්නේ නානුඔය නගරයේ පොලිස් ස්ථානය වෙත දිවෙන මාර්ගයේ අදටත් දක්නට ලැබෙන එක්තරා පුවරුවකිනි. ‘උඩුපුස්සැල්ලාව පැරණි දුම්රිය පටු මාර්ගය’ යනුවෙන් එකී පුවරුවේ සඳහන්ව ඇත. UPR ROAD යනුවෙන් එය ඉංග්‍රිසියෙන් දැක්වෙයි. නානුඔය සිට රාගල දක්වා දුම්රිය ස්ථාන 6ක් පිහිටා තිබූ බව දේවප්‍රිය මහතා පවසයි. ඒ මෙහිදීය. නානුඔය බ්ලැක්පූල්, නුවරඑළිය, කඳපොළ, බෲක්සයිඩ් හා රාගල.

    දේවප්‍රිය මහතා දක්වා සිටින ආකාරයට මෙය ලංකාවේ පටුම දුම්රිය මාර්ගයයි. පළල අඩි දෙකහමාරකි. දුර ප්‍රමාණය (නානුඔය සිට රාගල දක්වා) කි.මී.30.19කි. දුම්රියේ උපරිම වේගය පැයට සැතපුම් 12කි.

    13177457_1011701978946091_3834837389297753082_n.jpg


    13179346_1011701925612763_249665899739926414_n.jpg

    අවුරුදු 25ක පමණ කාලයක් මේ පුංචි කෝච්චියේ සේවය කළේ බ්‍රිතාන්‍ය හා ලන්දේසි ජාතිකයන්ය. පළමු හා දෙවැනි පන්තියේ මැදිරි තේක්ක ලීයෙන් ඉදිකර තිබිණි.

    වංගු සහිතව, කඳු බෑවුම් මතින් ගිය දුම්රිය ගමන ඉතාම විචිත්‍රාකාර වූ බවට කිසිදු සැකයක් නොමැත. එදා මේ පුංචි කෝච්චියේ ගමන්ගත් මඟියකු අද සොයාගැනීම බෙහෙවින් උගහටය. එහෙත් මා මිත්‍ර ගායක ඇන්ටන් සමන්ප්‍රියගේ මහත් පරිශ්‍රමයට අනුව එක් මඟියකු හාවාඑළියෙන් අපට සොයාගැනීමට හැකිවූයේය. ඔහු 71 හැවිරිදි මුහන්දිරම්ගේ ගුණතිලක මහතාය. තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු දැන් විශ්‍රාමිකව සිටී.

    13227014_1011702088946080_7845376065022404252_n.jpg


    ”මම ඔය පුංචි කෝච්චියේ ගිහින් තියෙනවා. ඒ 1950 ගණන්වල. මම ඉගෙන ගත්තේ හාවාඑළියේ ශුද්ධ ත්‍රිත්ව විදුහලේ. මං ඉස්කෝලේ ගියේ මේ කෝච්චියේ. හැබැයි ඒ ගියේ හොරෙන්. ටිකට් ගන්නෙ නැතුව. පුංචි කෝච්චිය හරි හෙමින් ගමන් කරන්නේ. ඒ නිසා ඇවිදගෙන ගිහින් වුණත් කෝච්චියට නැඟගන්න පුළුවන්.”

    නානුඔයෙන් ගමන් අරඹන පුංචි කෝච්චිය මුලින්ම නවත්වන්නේ බ්ලැක්පූල් දුම්රිය ස්ථානයේය. එය නානුඔය සිට කි.මී. 6-7ක් පමණ දුරින් පිහිටා ඇත. දුම්රියක් මාරු කිරීමට තැනූ දෙවැනි දුම්රිය මාර්ගයක් ද එහි දක්නට ලැබිණි.

    13226721_1011702135612742_7233411457904058838_n.jpg


    13226852_1011702278946061_1896392692805493877_n.jpg


    13230211_1011702512279371_3376218487923919188_n.jpg


    බ්ලැක්පූල් පසුකරත්ම හමුවන ඔය මතින් දුම්රිය ගමන් කිරීමට අහස් පාලමක් තනා තිබුණේය. පාලමට යොදාගත් කොන්ක්‍රීට් හෝ කුලුනු තවමත් දක්නා ලැබේ. එතැන් සිට නුවරඑළිය දක්වා මාර්ගය විහිදී තිබුණේ පීඩ්‍රෝ තේ වත්ත හරහාය. තේවත්ත පසුකරත්ම එය කැලේගාල නමැති ස්ථානයේදී අහස් බෝක්කුවක් මතින් ගමන් කරයි. එතැන කඳු මුදුනකි. කපොල්ලක් වැනි ස්ථානයකි. අහස් බෝක්කුව දැනට ද දක්නට ලැබෙන අතර එහි කුණු දමා පුරවා ඇති ආකාරයක් දිස්වෙයි.

    ඉනික්බිතිව දුම්රිය මඟ විහිදී තිබුණේ නුවරඑළිය තුරඟ තරග පිටිය හා ග්‍රෙගරි වැව අතරිනි. එහි වූ තලගල ඔය හරහා දුම්රිය ගමන් කිරීමට ඉදිකළ යකඩ බෝක්කුව හෙවත් පාලම අද ද දක්නට ලැබේ.

    13178720_1011704315612524_2562498919713414277_n.jpg


    13178729_1011704445612511_1775342200544309191_n.jpg


    ඊළඟට හමුවන්නේ නුවරඑළිය දුම්රිය ස්ථානයයි. නානුඔය සිට කි.මී.10.56ක දුරින් එය පිහිටා ඇත. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ සම්ප්‍රදායයට අනුව ඉදිකර ඇති එම දුම්රිය පොළේ ගොඩනැඟිලි තවමත් පවතින අතර දැනට නුවරඑළිය බස් ඩිපෝව පවත්වාගෙන යන්නේ එම ගොඩනැඟිලිවලය.

    නුවරඑළියේ සිට හාවාඑළිය ඔස්සේ දුම්රිය මඟ විහිදී තිබුණේ බරෝස් පාර දිගේය. මඳ දුරක් යද්දී දිය නෑම සඳහා භාවිත දිය පීල්ලක් වෙයි. මෙය හඳුන්වා ඇත්තේ ‘දොස්තර පීල්ල’ යන නමිනි. පුංචි කෝච්චිය දිය පීල්ලට නුදුරුව පෙරළුණු බවත් එහි ගමන්ගත් ඉංග්‍රිසි ජාතික වෛද්‍යවරයකු එහිදී මියගිය බවත් ඒ හේතුවෙන් යථෝක්ත දියපීල්ල ‘දොස්තර පීල්ල’ යනුවෙන් හැඳින්වූ බවත් කියනු ලැබේ. හාවාඑළිය අශෝකාරාම පාර ආසන්නයේදී දුම්රිය මඟ මහාමාර්ගය හරහා වැටී ඇති අතර එතැන ඉදිකළ මුරකරු කුටිය අද ද දක්නට ලැබේ.

    ඊළඟට හමුවන්නේ කඳපොළ දුම්රිය ස්ථානයයි. එය සුවිශේෂ වන්නේ මෙම දුම්රිය මාර්ගයේ ඇති උසම තැන එය වීමයි. උස මීටර් 1918කි. ගලහ ඔය හරහා ඉදිකර තිබූ පාලම තවමත් එලෙසම පවතිනු පෙනේ.

    ඊළඟට බෲක්සයිඩ් දුම්රිය පොළ හමුවෙයි. මෙම ගොඩනැඟිලිවල දැන් පවත්වාගෙන යන්නේ තැබෑරුමකි. බඩුගබඩාව පෞද්ගලික නිවෙසක් බවට පත්ව ඇත. දුම්රිය නිල නිවාසය පැරණි තත්ත්වයෙන්ම තිබෙන අතර එය දිරායමින් පවතී.

    ඊළඟට හමුවන්නේ දුම්රිය මඟේ අවසාන දුම්රිය පොළ වූ රාගල දුම්රිය ස්ථානයයි. නානුඔය සිට දුර කි.මී. 30.91කි. රේල් පීලි උඩ අද කඩසාප්පු ඉදිවී ඇති ආකාරයක් පෙනී යයි.

    පාඩු ලැබීමේ හේතුව මත 1948 දී පමණ මෙම දුම්රිය ගමනාගමනය නවතා දැමුණු බව දේවප්‍රිය මහතා පවසයි.

    වර්තමානයේ දී නැවතත් මෙම දුම්රිය සේවය අවම වශයෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා වත් පවත්වාගෙන යා හැකි වේද? මම මේ ප්‍රශ්නය ගුණතිලක මහතා වෙත යොමු කළෙමි.

    ”බ්ලැක්පූල් දක්වා එන්න බැරිකමක් නැහැ. ඒත් නුවරඑළියට එන්න අපහසුයි. ඊට හේතුව කඳු හා ග්‍රෙගරි වැවයි. උඩින් ගිහින් ප්ලෑන් කරන්න ඕනෑ මොනවද කරන්න පුළුවන් කියලා.”

    අද දුම්රියෙන් නුවරඑළියට යන්නකුට යා හැක්කේ නානුඔය තෙක් පමණි. ඉන්පසු ඔහු නුවරඑළියට යා යුත්තේ බසයකය. රාත්‍රි තැපැල් දුම්රියේ නැඟී නුවරඑළියට යන මඟියකුට පැය දෙකක පමණ කාලයක් නානුඔය දුම්රිය පොළේ රස්තියාදුවීමට සිදුවනු ඇත. අධික සීතලේ ගැහෙමින්, පින්නට තෙමෙමින් එම කාලය ඉතා අසීරුවෙන් ගතකරන මඟීන් මා කොතෙකුත් දැක ඇත.

    ’එදා පුංචි කෝච්චිය අදත් තිබෙනවා නම්’

    මඟීන්ට එසේ නොසිතෙන්නේ ඔවුන් පුංචි කෝච්චි ගමන ගැන කිසිවක් නොදන්නා නිසා විය හැකිය.

    සුනිල් මිහිඳුකුල
    මූලාශ්‍ර - සිරිසේන දේවප්‍රිය
    ඡායාරූප - සිරිසේන දේවප්‍රිය - ෂෙහාන් මිහිඳුකුල
    විශේෂ ස්තුතිය – ඇන්ටන් සමන්ප්‍රිය