තාත්තලා මොනවද බං දන්නෙ. ඔබට දැනිලා තියෙනවද වයසට ගිය තාත්තලා කතා කරන්නෙ හරි අඩුවෙන් කියලා. මට නම් අවුරුදු එකහමාරේ ඉඳලා තාත්තා කෙනෙක් හිටියෙ නෑ. නමුත් මම සෑහෙන්න තාත්තලා ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ගොඩක් තාත්තලා සීයලා බවට පත් වෙද්දී හරිම නිහඬ වෙනවා. ඒ නිහඬකම ඇති වෙන්නේ ඇයි කියලා විවිධ අය විවිධ මත දරණවා. නමුත් ඇත්තම ඇත්ත හේතුව තමයි ඔවුන්ට මේ ජීවිතේ තව දුරටත් කතා කරන්න දෙයක් ඉතිරි නොවීම. එදාට වඩා අද තාක්ෂණය දියුණුයි. තරුණ පරම්පරාව උගත්. නමුත් තාත්ත කෙනෙක් ඔබ දකිනවට වඩා ජීවිතේ සෑහෙන්න දේවල් දැකලා තියෙනවා. සෑහෙන්න දේවල් එයාලා කරලත් තියෙනවා. ඔබ හිතනව නම් තාත්තලා අපිට නරක දේ කරන්න එපා කියලා නිතර කියන්නේ එයාලා හොඳ දේම කරපු නිසා කියලා, එහෙම නෑ. එයාලා අපිට කලින් අපිට වඩා නරක දේවල් කරලා ඒවයේ ආදීනව දැකලා තියෙනවා. ඒකයි ඔබව බොහෝ දේවල් වලින් වලක්වන්නෙ. අනික් කාරණය තමයි විවිධ දේ ගැන ඔබ තර්ක කරනවා. වාද කරනවා. හැබැයි තාත්තලා නිහඩව අහන් ඉන්නවා. තනියම හිනා වෙනවා. ඔවුන් කිසිම දේකට පෙරමුණ ගන්නෙ නෑ. ඇයි ඒ. ඔවුන් ජීවිත කාලයක් පුරා අත් විදලා තියෙන යතාර්තයත් එක්ක ඔවුන් දන්නවා මේ රට වෙනස් කරන්න බැරි වග. ඒ වගේම ඔවුන් දන්නවා රට කොහොමත් අගාධෙට යනවා තමුන්ගේ දරුවෝ පරිස්සම් කරගත යුතු බව. ඒ වගේම තරුණ පරම්පරාව පොර ටෝක්ස් වලින් තෙල බෙදනකොට තාත්තලා ඒ වගේ සිය දහස් ගානක් දෙනාව ජීවිතේ දැකලා තියෙන බව අපි මතක තියාගන්න ඕන. ඔබ නිතරම මෙහෙම හිතන බව මම දන්නවා. මොකද්ද. තාත්තාට මාව තේරුම් ගන්න බෑ. හැබැයි ඔය කතාව ඔබ තාත්තට කියන්න එපා. ඒ මනුස්සයා ඔබ දිහා බලලා කින්ඩියට වගේ හිනා වේවී. තාත්තා අම්මත් එක්කත් අවුරුදු විස්සක් තිහක් පවුල් කෑවා. ඔබ ඔබ ගැන මෙලෝ මළදානයක් නොදන්න කාලේ ඉඳලා ඔබ ගැන එයා දන්නවා. ඔබට බයිසිකල් පදින්න පුරුදු කලේ එයා. පෙරහැරක අච්චර ලොකු අලියෙක් බලන්න බැරි තරං හිච්චා කාලෙදි උස්සලා අලි පෙන්නුවේ තාත්තා. ඔබ කියන්න කලින් ඔබට අවශ්‍ය හැමදේම නැතත් බොහෝ දේ ඔහු කලා. මතක තියා ගන්න දැන් ඔබ කියනවා නම් ඔබේ තාත්තට ඔබව තේරුම් ගන්න බෑ කියලා හොටු කොල්ලෝ උඹට තමයි තාත්තව තේරුම් ගන්න බැරි. උඹ ඒකට උත්සහ කරන්නත් එපා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තාත්තා ඔබට වඩා මාර ඇඩ්වාන්ස්. මගේ යාළුවෙක් තාත්තා එක්ක හෙන වාදයක පැටලුන වෙලාවක ඌ තාත්තගෙන් ඇහුවා තාත්තා මොනවද තාත්තේ දන්නෙ කියලා. තාත්තා ටිකක් වෙලා නිහඬව හිටියා. උගේ මූණ දිහා කෙලින් බැලුවා. පුතේ උඹේ තට්ටමේ තියෙනවා තඩි උපන් ලපයක් උඹ ඒක දැකලා තියෙනවද කියලා ඇහුවා. යාළුවට කට උත්තර නැති වුණා. අම්මා මූණ අතින් වහගෙන හිනා වුණා. යාළුවා දවස් හතරකට පහකට පස්සේ අපි එක්ක ගගේ නාද්දි අපිට මෙහෙම කිව්වා. මචං ඇත්තටම මම කන්නාඩි තිය තිය බැලුවා බං පේන්නේ නෑනේ සිරාවට බලපන් තාත්තා කියපු ලපේ තියෙද කියලා. ඌ සෝට පාත් කලා. ඔය තිබුනේ අපූරුවට. එදයි පස්සෙ ඌ තාත්තා ගැන වෙනස් විදිහට හිතන්න ගත්තා. තරුණ ගැටව්න්ට විලි ලැජ්ජයි මේව කියද්දි. ඇත්තම කතාව උඹලා උඹලගේ පුකේ ලපයක් තියෙනවද කියලවත් දන්නෙ නැති ඇඩ්ඩාන්ස් යන්ග් බෝයිස්ලා. ඒක එහෙමයි කියලා ඔබ තරුණ කාලයේදී කරන දේවල් කවුරු මොනව කිව්වත් නතර කරන්න ඕනද. අපොයි නෑ. ඔබත් ඒව කරන්න ඕන. මොකද දවසක ඔබටම ඔබ විසින් උත්තරයක් දෙනවා. අන්න එදාට ඔබ ඔබේ දරුවට ඔබේ තාත්තා ඔබට සැලකුවා වගේ සලකන්න ගන්නවා. ඒ දවස උදා වෙනකං තාත්තලාගේ මේ තියෙන ගුප්ත නිහඩියාවේ ඇති සියදහසක් වචන ඔබ තේරුම් ගන්නෙ නෑ. මොකද ඔබට ඕන බැබලෙන්න. තාත්තට ඕන ඔබ රැක ගන්න. වෙනස තියෙන්නෙ එතනයි. හොඳ තාත්ත කෙනෙක් වෙන්න හීන දකින හැම තරුණයෙක්ම මේක මතක තියාගන්න. නිහඬබව තමයි ලෝකයේ ඇති වටිනාම දොඩමලුභාවය. - සමන් එදිරිමුණි ( තාත්ත කෙනෙක් දැකපු වෙලාවක මතක් වුණ දෙයක්. )