ගොඩ වෙදකම් හෙවත් Land healthcare

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ගොඩ වෙදකම් හෙවත් Land healthcare

    5.jpg


    කුඩා කාලයේදී බෙහෙත් ගෙනෙන්න යන්නට අපි පුදුමාකාර ලෙස කම්මැලියෝ වෙමු. බල්ලාට නිදාගැනීමට පෙර වට තුනක් කැරකී වකුටුවීමට උගන්වන්න ඕනෑ නැතුවාක් මෙන්ම අපිටද උප්පත්තියෙන්ම බෙහෙත් සමග ජම්මාන්තර වෛරක්කාර වීමට උගන්වන්න උවමනා නැත. මෙයිනුත් අපි දොස්තර බෙහෙත් වලට විශේෂයෙන්ම අකමැති වන්නේ හැම බෙහෙත් පෙත්තක්ම හල්කඳුරු තිත්ත බැවිනි. එනමුත් අපේ අම්මලා කැමතිම ඉතාමත් තිත්ත බෙහෙත් වලටය. අපට ලෙඩක් හැදුනවිට බලෙන් ඇදගෙන ගොස් බෙහෙත් ගෙනාවත් එයිට අමාරු කරුණක් වන්නේ බෙහෙත් පෙවීමය. මුල්ම කාලයේ අම්මා බෙහෙත් ටික කුඩුකර එය මේස හැන්දට දමා දියකර ගෙන එයින් බිඳක් ඇඟිල්ලට ගෙන තොලගා බලයි. ඉන්පසු ලෙමන් පප් ඇඩ් එකේ ඉන්නා ගෑනි එයින් ඉස්කෝත්තක මුල්ලක් ලෙවකා ‘ම්ම්ම්ම්ම” කියන්නාක් මෙන් මා රවටන්නට
    “පැනීම පැනි රහයි”
    කියා චාටුවෙන් ළඟට ඇවිත් අසුරු සැනින් බෙහෙත් හැන්ද මගේ ගිරියේ ඔබන්නීය. නමුත් මේ කූට වැඩය දෙතුන් පාරකට වඩා කරන්නට නොහැකි වූයේ කිසිම බෙහෙතක් පැණි රහ නොමැති බව මගේ අත්දැකීම් මට කියාදුන් බැවින්. බෙහෙත් පැණි වර්ග අතරින්ද කිහිපයක් හැරුණු විට අනෙක්වා තිත්ත රසමය. ඔබ එහි තද රතුපාටට හෝ පැණි පාටට කිසිවිටකත් රැවටිය යුතු නොවේ. ඒවා පැන්ටා පාට, නෙක්ටෝ පාට ආදී කුමන පාටින් වෙස්වලාගෙන පැමිණියද බෙහෙත් පැමිණෙන්නේ සීනි හොරෙන් කන අපට තිත්ත රසින් දඬුවම් කිරීමටය. පාමසිවල ඇති එකම පැණිරස බෙහෙත මෝරගුලි පමණි.
    මා කුඩා කාලයේ මට බෙහෙත් පෙවීමට වී කුරුණි හත අටක ගොයම් කපන්නට තරං සෙනගක් අවශ්‍ය වේ. පළමුවෙන්ම බෙහෙත් පෙවීමට පෙර මා කැලේ පැනීමෙන් වලක්වා ගැනීමට කෙනෙක් අවශ්‍ය වේ. නැතිනම් බෙහෙත් පෙති බාග, තුංකාල් සියල්ල කඩදාසියකට දමා පිහියේ මිටේ ආධාරයෙන් කුඩුකරන විට මං පල්ලම බැස ගොස් දොලෙන්ද එගොඩ වී හමාරය. ඇඳයට හැංගී බේරෙන්නට බැරි බව මා දන්නේ එක් දිනක් එසේ සැඟවී ඇඳ යට සිටි මට අම්මා කොස්සෙන් ඇන එළියට ගන්නට උත්සාහ කර එයිනුත් බැරි තැන ඇඳේ පැදුර, කාඩ්බෝඩ් ආදිය ඉවත්කර ඇඳ පොලු තුනක්ද ගලවා මා එළියට ඇදගත් බැවිනි. එබැවින් බෙහෙත් පෙවීමට පෙර අම්මා හදිසියේම මාව කාගේ හෝ අත්අඩංගුවට පත්කරයි. තාත්තා ගෙදර හිටියොත් ඔහුට එය භාර වෙයි. “ඔන්නොය කොලු අල්ලගන්නව බොලේ”
    “හා මංඅල්ලගන්නං තමිසෙ බෙහෙට්ටික්කුඩු කොන්නොවකො”
    අම්මා බෙහෙත් ටික කුඩු කරන විට තාත්තාගේ අත්අඩංගුවේ සිටින මා ගෙයි උලු උඩ ගොස් පරාල රීප්ප ආදිය යටලීත් ඔසවාගෙනම ඉගිලෙන තරම් සද්දෙන් බලියන්නට පටං ගන්නා නිසා අම්මාට අවශ්‍ය අනෙක් සෙනග පහසුවෙන්ම සොයාගත හැක්කේ “ළමයා කෑගහන්නේ මොකදැයි” බැලීමට අවට අය එක් රොක් වන බැවිනි. එවිට සියළු දෙනාම එකතුවී මගේ ශරීරයේ හෙලවිය හැකි හැම අංගයක්ම අල්ලාගෙන අම්මාට සහය වේ. අම්මා මේස හැන්දට දැමූ බෙහෙත් කුඩු ටික යංතං ඇල්වතුරෙන් දියකර එක අතකින් රැගෙන මට පිටුපසින් පැමිණ අනෙක් අතේ වැලමිටෙන් මාගේ බෙල්ල මුලින්ම හිර කරගෙන අල්ලා ගන්නේ මට හෙලවීමට හැකි අවසාන අංගය වන ඔලුවත් නිශ්චල වස්තුවක් බවට පත්කරමිනි. මේවා වසර ගණනාවක අත්දැකීම් තුලින් අපේ අම්මා උගත් කාරණාය.
    “ඕං මැයිකො අල්ලහං ඕකෑ අත්කෙටි දෙකෙං”
    “නංගියෙ උඹ අල්ලහං අඬු දෙකෙං. නැත්තං උඩ පයිනව”
    “බොලේ තවුසෙත්තෙනවකො මේ මූවාම්බං කොරගන්න”
    දැන් මට ඇති එකම අවස්ථාව කට ඇරීම ප්‍රතික්ෂේප කර දත් කුට්ටම පූට්ටුකර ගැනීම පමණි. නමුත් හසල අත්දැකීම් ඇති අපේ අම්මා නොසැලෙන්නීය. උන්දෑ හැන්දේ අග කොටස මගේ දත් කුට්ටම වෙන්වන සිහින් සරල රේඛාවට තබා හැන්ද ලීවරයක් ලෙස භාවිතා කරමින් අලවංගුවකින් කිරි අල පඳුරක අල උලුප්පන්නාක් මෙන් මගේ දත් කුට්ටම වෙන් කරන්නට උත්සාහ දරන්නීය. කිහිප වරක්ම හැන්ද විදුරුමහේ ඇනීමෙන් පසු සිය උත්සාහය සාර්ථක කරගන්නා උන්දෑ දත් කුට්ටම අතරින් යන්තම් හැන්දේ තුඩ රිංගවා ගනී. මෙය ප්‍රමාණවත් බව දන්නා අම්මා ඒ හිඩසෙන් හැන්ද ඇලකර බෙහෙත් සියල්ල මගේ කටට ඔබන්නීය. හැන්දේ අඩියේ ඇති බෙහෙත් ඩිංගද මාපටැඟිල්ලෙන්ම හූරා හැන්ද ඔස්සේම යවන්නීය. දැන් මට බෙහෙත් වලින් පලිය ගත හැක්කේ ඒවා නොගිල සිට නිදහසක් ලද විගසම ඒවා දොට්ට විසික් කිරීමෙනි. නමුත් ඊට ඉඩ නොදෙමින් අම්මා මගේ නහය මිරිකන්නීය. එවිට මට මගේ කටින්ම හුස්ම ගන්නට වෙයි. එවිට කට ඇරෙනවා නොවැ. මාරුවෙන් මාරුවට නහය මිරිකීමෙන් සහ හැන්ද ගිරියේ ඇනීමෙන් බෙහෙත ගිරියෙං පල්ලට දොක්කං කිරීමට අම්මාට ඒ ඉඩ ප්‍රමාණවත්ය.

    අම්මා පමණක් ගෙදර ඉන්නා දවස්වලට වඩාත් ඥානවන්තව කටයුතු කිරීමට ඇයට සිදුවේ. එවිට ඇය මාව කොහේට හෝ ගාල් කරයි.
    “කන්ද උට්ට ගිහිං බල්ල වරෙං කරුම්මාමලෑ කඩේ ඇල්ලද කියල”
    “පල්ලමට ගිහිං බල්ල වරෙං කුන්දු ගහත්තීනවද කියල”
    මම එවැනි ගමනක් ගොස් එන කාලය අම්මාට ප්‍රමාණවත්ය. ඇය එවිට බෙහෙත් කුඩු කර දියකරගෙන හැන්දට දමාගෙන සූදානම්ව සිටී. මම ගෙට එනවිට දොර මුල්ලේ සැඟවී සිටින ඇය එකවරම මට පිටුපසින් ඇවිත් මගේ බෙල්ල හිරකරගෙන අල්ලා හැන්ද ගිරියේ ගසන්නීය. මෙය සමහර විට අති සාර්ථක වන අතර සමහර විට අන්තිම අසාර්ථක වේ. කෙසේ නමුත් බෙහෙත් ටික ගිරියෙං පහලට යාමෙන් පසු සිංහ වෙස් ගන්නා මම සීනි හැඳි හත කටක්ම කටේ ඔබාගෙන අඬමින්, මට බෙහෙත් පෙවීමට ආ සියළු දෙනාටම පලු විසිවෙන්න බනිමින් පැය බාගයක් පමණ අඬන්නෙමි.
    බෙහෙතේ හොඳකම මැනගන්නේ බෙහෙත් බොන කෙනා දක්වන ප්‍රතිචාරයෙනි. සමහර බෙහෙත් වර්ග බීමේදී මම එතරම් විරෝධයක් නොපෑවොත් අපේ අම්මාට ඒ බෙහෙත අල්ලන්නේ නැතිය.
    “වැඩහ්නෑ නංගියෙ ඒ බෙහෙත්. සෙඩ්ඩෙග්ගාව මහත්තයැං ගෙනාවෙ. මේ මූ නිකම්ම බොනව ඒවනං. ඩිංගක්වත් තිත්ත නෑ. ලෙඩේ එහෙම්මොමයි.”
    එවිට චන්දරේ මාමලෑ නැංදා හොඳ බෙහෙත් ජාති ගැන කියන්නේය.
    “අපේ නෝනට ගෙනාව බෙහෙත් කුමුදු මැඩම්ගෙන්. කැස්සට. එ් බෙහෙත් නං නියමයි. අපෙ නෝන කෙල්ලට ඒවයිං බෙහෙත් පොවන්න අපි දෙන්නයි සුවර්ණ නංගියි තුන්දෙනාම ඕනි. ඒ තරං තිත්තයි. හැබ්බැයි ටග්ගානකොට දෙවේලෙං සනීපයි.”
    අපේ තාත්තාද දොස්තර බෙහෙත් වර්ජනය කරන්නෙකි. දිනපතා කසිප්පු පානය කිරීමෙන් ඇඟේ පවතින ලෙඩ රෝග පුච්චා අරින බව ඔහුගේ මතයයි. එමෙන්ම ඔහු ඇඟේ ඇති අපද්‍රව්‍ය ඉවත්වීමට මාස දෙකකට තුනකට වතාවක් අරලු පෙති කිහිපයක් බී බඩ එළියට ඇර දමයි. හිතුනොත් මාස හය හතකට වතාවක් නහයේ පොල් කෙන්දක් ගසාගෙන අවට කඳු බොකලං දෙදරවන තරම් කිඹුහුම් විසි පහක් තිහක් යවා ඇඟේ ඇති ‘හෙම්බිරිස්සා ගතිය’ ඉවත් කරයි. මා දන්නා පරිදි ඔහු ලෙඩ වී ඇත්තේ කිහිප වතාවක් පමණි. ඒ දිනවලට ඔහුට ගොක් කොල පමණක් නොව තැඹිලි වලුද පේන තරම් අසාධ්‍ය වේ. එවැනි අවස්ථාවලදී බෙහෙත් ලෙස පාවිච්චි කරන්නේ් කඩෙන් ගෙනෙන පස් පංගුව පැකට්ටෙකක් පමණි. ඔහු කියනා ආකාරයට අපි ලෙඩවන්නේ පොලෙන් ගෙනෙනා එළවලූ කෑමෙන්ය. තාත්තා කියන විදිහට ඔහුට අසාධ්‍ය තත්වයේ සිටින විට ලෙඩෙන් ගොඩ ඒමට නොහැක්කේ කසිප්පු ඩිංගක් බීමට යන්නට තරම්වත් ඇඟට පණක් නොමැති බැවිනි. මේ ආකාරයෙන් ඉංගිරිසි බෙහෙත් හෙවත් දොස්තර බෙහෙත්වලට අකමැති අයට අපේ ගම සහ අවට ගම්වල විකල්ප වෙද්දු සිටිති. මේ අය ගොඩ වෙද්දු නම්වේ. දැන් එක එක වර්ගයේ රෝගවලට විශේෂඥ දොස්තරවරු සිටින්නාක් මෙන් එක එක ලෙඩේට අදාල ගොඩ වෙද්දු හෝ ගොඩ වෙදකම් තිබේ.
    අත පය හෝ සර්වාංගයම හෝ පිච්චුනොත් වහාම කළ යුත්තේ එය සීතල වතුරට හෝ අයිස් වලට අල්ලා සිසිල් කිරීම බව වර්තමානයේ දොස්තරු පවසති. නමුත් ඔබ ඒ පට්ට බේගල් පිළිගත යුතු නැත. අතක් පයක් පිලිස්සුන විට වතුරට ඇල්ලුවොත් දිය පට්ටා මතුවන බවත් ඒ නිසා පිච්චුන තැනකට වතුර කිට්ටු කරන්නවත් හොඳ නැති බව අපේ ගමේ මතයයි. එබැවින් අතක් පයක් පිලිස්සුනු අපේ ගමේ අයෙක් කරන්නේ කා සමගවත් කතා නොකර පිලිකන්නට දිවීමයි. එසේ හනිකට දිවයන්නේ පිළිස්සුනු කොටසට මුත්‍රා කර ගැනීමටයි. එය කෙමකි. එවිට දිය පට්ටා එන්නේ නැත. ඕනෑ නම් කෝමාරිකා පිල්ලක් කඩා පිච්චුනු තැන ගාගත හැකිය. පිලිස්සීම බරපතල නම් පියදාස ආතා සොයාගෙන යා යුතුය. මෙවිට තමුන්ට සෑහෙන සද්දෙට කතා කිරීමට නොහැකි නම් එවැනි ‘හයියෙන් බලියන්න’ පුළුවන් අයෙක්ද කැටුව යා යුතුය. එසේ ගොස් පියදාස ආතාගේ කනේ මයිල් අපේ කට ඇතුළට රිංගන තරම් ආසන්නව ඔහුගේ කනට අපේ කට කිට්ටු කර අසල ගම් හතකට ඇසෙන පරිදි හඬනගා ලෙඩේ කිවයුතුය. එවිට පියදාස ආතා කොල වර්ග, මල්, අතු, පොතු, දඬු, මුල් ආදිය කඩාගෙන අවුත් බෙහෙත් සාදා තුවාලයේ බැඳ, සිය බෝතල් රාක්කයේ තිබෙනා කැරපොතු පාට බෙහෙත් තෙල් ගා ලෙඩා ගොඩ දමන්නේය. ගමේ මිනිස්සුන්ගෙන් මොනයම් විදිහකින්වත් සල්ලි නොගන්නා නිසා ගුරු පඬුරු වශයෙන් දුංකලයක්, හුණු, බුලත් ආදිය ටිකක් පමණක් ප්‍රමාණවත් වේ. මා දන්නා කාලයේ එසේ ගොඩ දැමුනේ අපේ ගෙවල් ලඟ නැන්දෙකි. උන්දෑ කුස්සියේ වැඩපලෙහි යෙදී සිටියදී සිදුවූ අත්වැරදීමක් නිසා උරණ වූ නොසන්ඩාල කුප්පි ලාම්පුව වංගෙඩිය මත සිට උන්දෑගේ තට්ටමක් උඩට පැන එය සම්පූර්ණයෙන්ම පුච්චා දැමුවේය. අන්තිමට පියදාස ආතා උන්දෑගේ තට්ටම ගොඩ දැම්මේ දවසට දෙවරක් කුකුල් පිහාට්ටෙන් තෙල් ගෑමෙනි.
    සර්පයින් දෂ්ඨ කල විට හෝ බල්ලන් කෑ විටද බෙහෙත් කරන අය අනෙක් ප්‍රදේශවල සිටියද අපේ ගමේ සිටියේ නැත. පණිවිඩය කියන්නාට ටොක්කක් ඇන කාපු සතා මොකාදැයි කියන ජාතියේ ඉසිවරු නම් හිටියේම නැත. අපේ තාත්තාවද වරක් බල්ලෙක් සපාකෑ නමුත් ඔහු බෙහෙත් ගත්තේ නැත. ඔහුට පිස්සු බලු රෝගය හැදුනේද නැත. තාත්තා කියන ආකාරයට කසිප්පු වලින් බලු විෂ මර්දනය වන්නේලු. අපේ අඬන පුංචම්මාද කුඩා කාලයේදී බල්ලෙක් විසින් සපාකනු ලදුව බල්ලෙක් මෙන් බුරන්නටත් දුටු දුටුවන් සපා කන්නටත් පටන්ගත් බවත් පසුව ‘පුරාම ඈත’ පන්සලක හාමුදුරු කෙනෙක් උන්දෑව සුවපත් කල බවත් අපේ ආතා කියා ඇත. නමුත් කල්ගතවී බෙහෙත් කළ නිසා ලෙඩේ අහුකොන් ඉතුරුව ඇති බවත් දැනටත් උන්දෑ නිතරම චුරු චුරු ගාන්නේ එනිසා බවත් ආතා කීීවේය.
    මෙවැනි ගොඩ වෙද්දුන්ගෙන් සමහරු ප්‍රසිද්ධ එක් එක් ලෙඩ සඳහා පමණි. ඒ අය සතුව ඇත්තේ එක බෙහෙත් වට්ටෝරුවක් පමණි. මේ වට්ටෝරුව රහසක්ව තබා ගනිමින් සිය පට්ටම ආරක්ෂා කරගන්නා ඔවුන් කෑල්ලක් කෑවත් එය පරම්පරාවෙන් පිට නොදෙති.
    සමහර ලෙඩ සඳහා බෙහෙත් කවුරුත් දනී. නමුත් ඒවාට අවශ්‍ය අඩුමකුඩුම තිබෙන්නේ කිහිප දෙනෙකු ළඟ පමණි. අලි හක්කක් ඇත්තේ මහවැලියේ වැඩ කළ පියදාස මාමා ළඟ පමණි. එබැවින් කම්බුල්ගාය හැදුනොත් උරච්චි කර ගා ගැනීම සඳහා අලි හක්ක ඉල්ලාගෙන ඒමට එහිම යා යුතුය. නැතිනම් දෙහි කලවම් කළ නිල් කුඩු ගා ගත යුතුය.
    රෝහලෙන් සනීප කළ නොහැකි ලෙඩ සඳහාද බෙහෙත් අපේ ගමේ තිබේ. ඔබ සිහිනෙන් බිය වන්නේ නම්, බල්ලෙකුට හෝ හොල්මනකට බය වුනේ නම් දොස්තරලා ළඟ ඒවාට බෙහෙත් නැත. එවැනි ලෙඩ වලට බෙහෙත් තිබේදැයි විමසිමටවත් කවුරුත් දොස්තරු වෙත යන්නේද නැත. එවැනි අවස්ථාවල පිහිටට ඉන්නේ පීටර ආතාය. පීටර ආතා යනු හංසනීගේ සීයාය. මාස දෙක තුනකට වතාවක් හීනෙන් බයවීමද, බල්ලන්ට බයවීමද, ගොම්මං වෙලාවට හෙලවෙන ගස්වැල් අතු ඉති වලට බයවීමද, බඩේ අජීර්ණ අතිවීමද නිසා මට පීටර් ආතාගේ ප්‍රතිකාර අවශ්‍ය වේ. අපේ අම්මාගේ ඉල්ලීම පරිදි හැන්දෑ වරුවක අපේ ගෙදරට ගොඩවදින පීටර ආතා සිය ඉනේ එල්ලා ඇති ටින් එක නොපෙරලෙන පරිදි පුටුවේ කොනක වාඩිවී මට ඇති අසනීපය අනුව බයවීමක් නම් තෙල්ද, අජීරණයක් නම් දෙහිද මතුරා දෙයි. අම්මා කුස්සියේ තිබෙන පොල්තෙල් කුප්පියෙන් තෙල් ඩිංගක් පීරිසියකට දමා කහ පොඩ්ඩක් මිශ්‍ර කර සාදාදෙන තෙල් ටිකට රහසින් මතුරමින් වරින් වර “හක්”සහ “පොහ්” කියමින් එයට පිඹින පීටර ආතා අවසානයේ එයින් ටිකක් මගේ ඔලුවේ තවරයි. මේ ආකාරයටම “හක්”සහ “පොහ්” කියා පිඹිමින් අජීරණ සඳහා දෙහිද මතුරා දෙයි. ඒ හැම “හක්”සහ “පොහ්” එකකින්ම විදුරුවේ ඇති ද්‍රාවණ ප්‍රමාණය ඉහල යන බවද කිව යුතුමය. පීටර ආතාටද පුවක් ගෙඩි හත අටක් සමග දුංකල ඉරුවක්, බුලත් ටිකක් පමණක් දීම සෑහේ.
    මේ අතරේ අරුම පුදුම වෙදකම්ද ඇත්තේය. ඩැයිබර මාමාගේ වෙදකම්ද මෙයින් එක් අරුම පුදුමයකි. අතක පයක තුවාලයක් වූ විට ඔහු එයට දමන්නේ පෙට්ටල් හෝ බ්‍රේක් ඔයිල්ය. ඒ වෙදකම පත්තියං වන්නේ ඔහුටම පමණක් වන අතර අනෙක් අයට ඒ වෙදකම දොයිත්තකටවත් විශ්වාස නැත. අපේ පවුලේ වැඩිමහලු අය තුවාල බෙහෙත් ලෙස යොදන්නේ කෝපි දළු හෝ ලෝකපාලු දළුය. නමුත් මා වැනි බාලයන් කුඩා කාලයේ දනිස් හමගහගන්නා හැමවිටම පුංචම්මා විසින් හත් අට දෙනෙකු එකතු කොටගෙන මා සම්පූර්ණයෙන් නිශ්චල වන පරිදි ශරීරයේ එක් එක් කොටස භාරව එක් එක් අය පත්කර ‘සර්ජිකල් ඉස්පීට්’ නමැති අහස පොළව නුහුලන ද්‍රාවණයෙන් තුවාලයේ ඇටකට්ට දක්වාම සෙමින් සෙමින් සුද්ද කරන්නේ මගේ භාෂා හැකියාව මොනවට විදහා දක්වමිනි. ඉන්පසු තවත් ගම්මිරිස් හා සමාන දැවිල්ල ගන්නා ක්‍රීම් වර්ගයකින් තුවාලය පුරවා පුළුන්වලින් වසා ප්ලාස්ටර් කෑලි හතරක්ද ගසන්නේ ඊළඟ වතාවේ බෙහෙත් දැමීමට ප්ලාස්ටරය ගැලවීමේදී තුවාලය පුරා මුල් ඇද ඇති පුළුන් කෙඳි වලින් වැඩි ත්‍රාසයක් සමග උපරිම වින්දනයක් ලබාදීමටය.
    දත් කැක්කුමට අරක්කු තැබීම නිර්දේශ කෙරේ. තවත් සමහරු එහි දත්බෙහෙත් පුරවති. නමුත් අපේ මාමාගේ බිරිඳගේ පාර්ශවයේ අය කරන්නේ ඇදුම් දෙන දත් කෝම්බ ඇතුලට දැල්වූ ගිනිකූරක් ඇතුල් කිරීමයි. මෙයින් ක්ෂණික සහනය ලැබෙන බව කියතත් එය මෙතෙක් මා විසින් අත්හදා බලා නැත. ඒ වෙනුවට කුරුඳු තෙල් හෝ සිද්ධාලේප ආලේප කිරීම නම් බොහෝ දෙනෙක් කරති.
    මෙලෙසම සමහර සුළභ ලෙඩ වලට බෙහෙත් කඩෙන් මිලදී ගැනීමට හැකියාව තිබුණි. උණ, හෙම්බිරිස්සා කොයිකටත් පැන්ඩෝල්ය. නැත්තං පස්පංගුවය. කැක්කුං සියල්ලට ඩිස්ප්‍රීන්ය. බඩේ අමාරුවලට කිරිමරාජ ගුලි හෝ අසමෝදගම්ය. නමුත් පොඩි අයගේ බඩේ අමාරුවට මොරිසන්ස් ග්‍රයිප් මිශ්‍රය. මොරවක මෙඩිටෝ කියා සැරැති බීම ජාතියක්ද තිබුණු නමුත් එය බෙහෙතක්ද කියා මතක නැත.
    කලින් කලට අපේ තාත්තා නම් දශමුලාරිෂ්ඨය නම් බීමක් ගෙනැවිත් කෑමට පෙර එයින් වීදුරු කාලක් පමණ ගිල දමයි. තැලුං, ඇඹරුං, කෙටුං, උලුක්කු සියල්ලට ‘කැක්කුං ඔක්කොම නස්නාලේපේ’ හෙවත් ‘සිත්තං දක්වන සිද්ධාලේපේ’ ය. කැස්සට නිවාරන් 90 ය. ඒවා නිකං ජොලියටත් බොන්නට පුළුවන. තුවාලවලට පුළුං කෑල්ලක් සමග එන දෑකැත්ත ලකුණ දරණ ‘නාහල්ලේ තෛලය’ය. මෙතැන සඳහන් කළේ කලක් තිස්සේ පාවිච්චි වන හොර බෙහෙතක් යැයි කිව නොහැකි වර්ගයේ ඒවාය. නමුත් කලින් කලට මතුවී පසුව හොයාගන්නටවත් නැතිවන බෙහෙත් ගුලි, තෙල්, ආලේප, පෙති ආදිය නැතුවා නොවේ. කලක් ‘සීතාරාම ගුලිය’ නම් බඩේ කැක්කුං ගුලි විශේෂයක් අපේ පුංචම්මාගේ කඩේ තිබුණු නමුත් එයින් එකක්වත් විකුණුනේ නැත.


    image03.jpg


    මෙයිට අමතරව පොල දවසට විටින් විට කඩාපාත්වන තෙල් බෙහෙත් වෙලෙන්දන් නොයෙක් බෙහෙත් වර්ග, තෙල් වර්ග විකුණූහ. මහා බලැති, මහා අනුහස් ඇති ලෙස සඳහන් එම තෛල රාජයන් කුඩා කුප්පිවල දමා කිරල ඇබ ගසා තිබෙන අතර බෙහෙත් ගුලි සහ කල්ක රාජයන් කඩදාසි පැකැට්වල දමා අලවා ඇත. තමුන් වෙලෙන්දෙකු නොව වෙද මහත්මයෙකු බවත්, සමාජ සේවයක් ලෙස සලකා බෙහෙත් වර්ග ගම් නියම්ගම් වල බෙදාහරින බවත්, තමුන් ගෙනා මේ වටිනා බෙහෙත නැවතත් කල්ප කාලාන්තරයකට ඇහැටවත් දකින්නට නොලැබෙන බවත් “වාසනාවන්තයන් බොහොම ටික දෙනෙකුට” පමණක් ලබාදීමට එයින් ස්වල්පයක් පමණක් තමුන් ළඟ ඇති බවත් පවසා තව කයිවාරුවකුත් ගැසීමෙන් සෙනග රැස් කර ගැනීමට මේ වෙලඳුන් සමත්ය. මේ දිව්‍ය අවුසදයෙන් එකක් හෝ සිය නිවසටත් ගෙනයමියි සිතාගෙන පොරකන සෙනග අතර තෛල රාජයන් සහ කල්ක රාජයන් සැනෙකින් අලෙවි කර දමන වෙලෙන්දා සැනෙකින් අතුරුදහන් වෙයි. රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ඒවා ගෙදර ගෙන එන අය ලෙඩක් දුකකදී ඒවා පාවිච්චි කිරීමෙන් එහි ඇති අමුතු බලයක් නැති බව වටහා ගනී. සමහරු ඒවා බොහොම උජාරුවෙන් අනුන්ට දී සිය නමද සවුත්තු කර ගනී. අන්තිමට බෙහෙත විකුණූ වෙදාද සොයාගත නොහැකි නිසා
    “අනේ මක් වෙනවෑ. රුපියල් විස්සනෙ.”
    කියා හිත හදාගනී.
    තවත් ක්‍රමයක් බස්වලට නගිනා පොත් වෙළඳුන් ළඟ ඇත. පොත් තුනම රුපියල් පනහට දෙන මොවුන් ළඟ එක එක ලෙඩට අත් බෙහෙත් වර්ග දැක්වෙන පිටු විස්සේ තිහේ පොත් පිංචවල් ඇත. කැඩුම් බිඳුං, වසංගත, සර්ප දෂ්ඨ, සුවකිරීමට කල්ගතවන ලෙඩ ආදිය උලුප්පා දක්වා ඇති එවැනි එකිනෙකට වෙනස් පොත් පහක් හයක් හොයාගත්විට ඕනෑම දරුණු ලෙඩකට වුව බෙහෙත් කිරීමට පුළුවන. අනුන්ට ලෙඩක් දුකක් වූ විට සිය නිවසේ ඇති එවැනි අක් බෙහෙත් පොතක එම ලෙඩේට පිළියම සඳහන් පිටුව පෙරලාගෙන වෙදකම් කරන්නට යන වෙදහාමිනේලාද අපේ ගමේ විරල නැත. නමුත් ඔවුන් එම පොත්වල සඳහන් අත් බෙහෙත් තමුන්ට හෝ පවුලේ අයට සිදුකරගන්නේ නැත.


    ------Nelum yaya web adawiyen uputa ganna ladi------:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සියත් එක්ක ගමේ වෙදමහත්තයා කතාකරකර ඉන්නකොට මරු කතාවක් කියනවා ඇහුන.
    වෙදමහත්තයා හදිසියේ ගමනක් යනකොට ගමේ කෙනෙක් ළමයට බඩේ අමාරුවක් කියල හදිසියේ ගෙදර ඇදන් ගිහිල්ල. වෙදමහත්තයත් ලෙඩා බලලා අතේ බෙහෙතුත් නැති එකේ පිළිකන්නට ගිහින් ඇග එහෙමෙහෙ අතගාල කුණු ගුලි දෙකක් හදල ගෙදර අයට දුන්නලු දෙහිඇබුලෙන් දියකරලා දෙන්න කියලා. :eek::eek: එක වඩියෙන් ලෙඩා ගොඩලු. 
    :baffled::baffled:
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Pilissunama[burn] , KOMARIKA OIL ganna.



    සියත් එක්ක ගමේ වෙදමහත්තයා කතාකරකර ඉන්නකොට මරු කතාවක් කියනවා ඇහුන.
    වෙදමහත්තයා හදිසියේ ගමනක් යනකොට ගමේ කෙනෙක් ළමයට බඩේ අමාරුවක් කියල හදිසියේ ගෙදර ඇදන් ගිහිල්ල. වෙදමහත්තයත් ලෙඩා බලලා අතේ බෙහෙතුත් නැති එකේ පිළිකන්නට ගිහින් ඇග එහෙමෙහෙ අතගාල කුණු ගුලි දෙකක් හදල ගෙදර අයට දුන්නලු දෙහිඇබුලෙන් දියකරලා දෙන්න කියලා. :eek::eek: එක වඩියෙන් ලෙඩා ගොඩලු.
    :baffled::baffled:


    ඉදිරියේ රාළ;20946028 said:
    ඕකට ගහන්න වෙන එකක් වෙන් කොහෙවත් නෑ බං. :yes:


    Siyalu denaata sthuti