“සිඳූ“ නාට්‍යය - කබල්ලෑ ලෙන රජමහ විහාරය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    “සිඳූ“ නාට්‍යය - කබල්ලෑ ලෙන රජමහ විහාරය

    මේ දවස්වල බොහෝ දෙනා නරඹන සහ ජනප්‍රියබවට පත්ව තිබෙන 'සිඳූ' නාට්‍යයේ රූ ගත කිරීම් සිදුවන පන්සල ආශ්‍රිත ප්‍රදේශය ගැන කට්ටිය පොඩ්ඩක් අවධානය යොමු කලාද? එසේ යොමු කලත් ඒ පිළිබඳව යම් විමසීමක් කලාද? මම මේ නූලෙන් අදහස් කරන්නෙ ඒ ගැන යමක් හෙළි කිරීමටයි. වැඩියෙන්ම මම මේ ගැන මේ විදියට කියන්න අදහස් කලේ ලංකාවේ තිබෙන සැඟවුනු පෞරාණික සහ පුරා විද්‍යාත්මක වැදගත් කමක් ඇති ස්ථාන ගැන දැනුමක් බොහෝ දෙනෙකුට නොමැති නිසාය.

    මම සිඳූ නාට්‍යයේ කතාව රස විඳින ගමන් නාට්‍යයෙන් පෙන්වන ඒ සුන්දර ගැමි පරිසරයත්, පන්සල් භූමියේ ඇති චමත්කාරයත් වින්දනය කරනවා. ඉතින් මට හිතුනා මේ ප්‍රදේශය ගැන යම් අධ්‍යයනයක් සහ කරුණු පරිශීලනයක් කරන්න. එහෙම කරල හොයා ගත්ත දේවල් තමයි මම මේ කියන්නෙ. මේ කරුණුවල යම් දෝෂයක් තිබෙනවනම් ඒවා නිවැරදි කරල මෙහි දක්වන්න.

    සිඳූ රූ ගත කිරීම් සිදුවන ඒ ඓතිහාසික පන්සල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන 'කබල්ලෑ ලෙන රජමහ විහාරය' වෙනවා. මේ රජමහා විහාරය 2 වන සියවසේ අනුරාධපුරයේ රාජධානිය පිහිටුවා සිටි වළගම්බා රජු විසින් කරවන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම රජමහ විහාරය ඉබ්බාගමුව-පොල්පිතිගම මාර්ගයට ඔබ්බෙන් පිහිටි කඳු මුදුනක පිහිටා ඇති ගල් ලෙන්වලින් සමන්විත විහාරස්ථානයක් වෙනවා. මෙම විහාරස්ථානය ආශ්‍රිතව කුඹුරු සහ ගම්මානය පිහිටා තිබෙන්නේ පැරණි ග්‍රාමීය ශිෂ්ටාචාරය සිහි ගන්වමින්ය.

    ඔබ සිඳූ නාට්‍යය බලන කොට දැකල ඇති මේ පන්සලේ ගල් ලෙන් කිහිපයක් තිබෙන බව. ඒ එක්කම මේ ගල් ලෙන් ආශ්‍රිතව සිත්තම්, රූප කැටයම් සහ පිළිම නෙළා තියෙන බවත් දකින්න ඇති. මේවායේ විශාල පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා.

    බලන්න මේ පහල තියෙන පින්තූරය දිහා!!



    _480x320_1427469024_72_zpszclccwqm.jpg


    කට්ටියට මේ පින්තූරයෙන් පෙන්වන තැන නාට්‍යයේ තිබුනා මතක ඇති. මේ ගල් පඩි පෙළ දිගේ පහලට පොඩි හාමුදුරුවො වගේම සරණත් බොහොම අමාරුවෙන් බහින හැටි මතක ඇති කියල මම හිතනවා!! බලන්න මේ නෙළා තියෙන පිළිම කොයිතරම් වටිනවද කියලා. ඒවායින් ප්‍රෞඪ ඉතිහාසයක් පෙන්නුම් කරනවා. ඒත් අවාසනාවකට වගේ මේ පුරාවස්තූන්වලට ලැබිය යුතු සැළකිල්ල දැන් නියම විදියට ලැබෙන්නෙ නෑ.

    කුරුණැගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වගේ ලෙන් සහිත රජමහා විහාර කිහිපයක් තියෙනවා. මේ ලෙන් විහාරවල ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මේකයි. වළගම්බා රජ්ජුරුවන්ට දකුණු ඉන්දියානු සොලීන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඉතින් ඔහු අනුරාධපුරයෙන් පැනලා ඇවිල්ලා සැඟවිලා ඉඳලා තියෙන්නෙ මේ ප්‍රදේශයේ තියෙන ගල් ලෙනක කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. රජ්ජුරුවො මෙහෙම හැංගිලා ඉඳල හෙමින් හෙමින් සේනාව රැස් කරගෙන සොලීන් පන්නල නැවතත් බලය ලබා ගෙන අනුරාධපුරයෙ රජ වුනා. ඊට පස්සෙ කළ ගුණ සැළකීමක් වගේම බුද්ධාගම නගා සිටුවීමට ඔහු රාජ නියෝගයක් දුන්නා කුරුණැගල ප්‍රදේශයේ අඩු වශයෙන් එක් පුද්ගලයෙකුටවත් නවාතැන් ගෙන සිටිය හැකි ලෙනක් සහිත සෑම ස්ථානයකම පන්සලක් ඉදි කරන්න කියලා. අන්න ඒ හින්ද තමයි මේ ප්‍රදේශයේ ලෙන් සහිත රජමහ විහාර කිහිපයක්ම තියෙන්නෙ. කබල්ලෑ ලෙන රජමහ විහාරයත් එයින් එකක් තමයි. මේ පන්සල්වල දෙවියන්ට පූජෝපහාර පවත්වන දේවාලත් තිබෙනවා. 'කබල්ලෑ' කියල කියන්නෙ 'සූනියම්' දෙවියන්ට කියලත් සමහර තැන්වල සඳහන් වෙනවා.

    සිඳු නාට්‍යය බලන කොට කට්ටිය දැකලා ඇති සමහර දර්ශන වල වැවක් පෙන්වනවා. පොඩි හාමුදුරුවො යාලුවොත් එක්ක හොරන් නාලා දඬුවම් වින්දෙත් මේ වැවෙන් නාන්න ගිහින් තමයි!!! මේ වැවෙ නම 'හක්වටුනාව' වැව.




    41_big_zpseowzy9fo.jpg



    මේ වැව මහසෙන් රජු විසින් කරවන ලද්දක් කියල සඳහන් වෙනවා. පසුකාලිනව මේ වැව ප්‍රතිසංස්කරණය කරල දැන් වාරිමාර්ග පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ වාරිමාර්ග පද්ධතියෙන් පොල්පිතිගම අවට ප්‍රදේශවල ගොවිතැන් කටයුතුවලට ජලපහසුකම් ලබා දෙනවා.

    මෙන්න මේ පසුබිම හින්දා සිඳූ නාට්‍යයෙන් 'ගමයි පන්සලයි වැවයි දාගැබයි' කියන ඒ ග්‍රාමිය සංස්කෘතිය පෙන්වනවා කියලත් අපිට කියන්න පුලුවන්.ඒක කතාවෙ රසය තවත් වැඩි වෙන්න හේතුවක් වෙනවා.

    මේ ඉදිරිපත් කරපුකරුණු වලින් සිඳූ නාට්‍යය රස විඳින ගමන් රූ ගත කිරීම් සිදුවන ප්‍රදේශයේ ඉතිහාසය ගැන බිඳක් හෝ අවබෝධයක් ලබා ගත්තායැයි මම විශ්වාස කරනවා.