උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට





    කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක් සතුටුයි කියන්න , අද මම අරගෙන ආවේ අන්න එහෙම සාර්ථක වුන ට්‍රිප් එකක්. කොහොමද මේ ගමන සාර්ථකයි කියන්නේ.. එහෙම කියන්න හේතුව තමයි අපිට පුළුවන් වුනා දවස් දෙකක ගමනකින්, පලවෙනි දවසේ උතුවන්කන්ද, බෝ ඇල්ල, බතලේගල සහ අසුපිනි ඇල්ලත්, දෙවනි දවසේ ලක්ෂපාන ඇල්ල, මෞස්සාකැලේ ජලාශය සහ PEAK FIELD ඇල්ලත් කියන තැන් වලට යන්න. ළඟටම යන්න බැරිවුනත් GARTMORE ඇල්ලත් හොඳින් පේන තැනකට එන්න මේ අතරම පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය හින්දා මම හිතනවා මේ ගමන ඉතාමත් සාර්ථක ඒ වගේම අත්දැකීම් බහුල ගමනක් වුණා කියලා.
    අපි චාරිකාව සඳහා යොදා ගත්තේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙක. මම, ජිහාන් සහ ප්‍රසාද්ට අමතරව මේ ගමනට ලක්ෂිකා, වොෂානි සහ තරුෂ්කත් එකතු වුණා. සුපුරුදු විදියටම අපි සිකුරාදා රෑ නුවර ඇවිත් ප්‍රසාද් ගේ ගෙදර නතර වුණා. සෙනසුරාදා උදෙන්ම නැගිටලා ලෑස්ති වුන අපි 6.40 වෙද්දි ගෙදරින් පිටත් වෙලා සීතලේ ගැහි ගැහීම මාවනැල්ල පැත්තට ගමන් කලා.


    උතුවන්කන්දට එන අතරමග ගත්ත එකක්


    7.25 විතර වෙද්දී උතුවන්කන්ද පාමුලට ආපු අපි මුලින්ම කලේ bike නවත්තලා යන්න තැනක් හොයන එක. යන පාරේ අන්තිමට තියෙන ගෙදර අපිට ඒ පහසුකම සලසලා දුන්නා.

    මේ තමා ඒ ගෙදර


    bike මිදුලෙන් නතර කරලා, අනවශ්‍ය බර දේවල් එතැනින්ම තියලා අපි කන්ද නගින්න පිටත් වුණා.

    මේ ගෙදරින් කන්ද දිහාවට වැටිලා තියෙන අඩි පාර


    පාරට එනකොටම අයිනේ ගහක කූඩුවක්. ඒකෙ ෆොටෝ එකකුත් ගත්තා


    වැඩි වෙලාවක් යන්න කලින් කන්ද වැඩි වෙන්නත් ගස් කොලන් ගහන වෙන්නත් වුණා. මේ අතරමග තැන් කීපයක්






    කැලේ කොටස ඉවර වෙලා කළු ගලින් හැදුනු කන්දේ ඉහල කොටසට අපි ලඟා වුණා.


    ඇත්තෙන්ම කිව්වොත් කන්ද කොටස් දෙකකින් යුක්තයි. උඩටම නගින්න පුළුවන් කළු ගල් පර්වතය තියෙන්නේ මුලින් නගින කළු ගලට පස්සේයි. මුල් කළු ගලේ ඉහලට නැග්ගම එක පැත්තකින් ලොකු ප්‍රපාතයක් තියෙනවා.

    පලවෙනි කළු ගලේ ඉහල කොටස






    උතුවන්කන්දේ ඉහල කොටස


    ජිහාන්


    අවට සුන්දර පරිසරය








    උතුවන්කන්ද එතරම්ම උස කන්දක් නොවුනත් ආධාරකයක් නැති කළු ගල උඩට නගින එක ලෙහෙසි වැඩක් වුනේ නෑ.








    ඉර මුදුන් වෙන නිසා කන්දේ ඉහල කොටස ටිකෙන් ටික උණුසුම් වෙන්න ගත්තා. ඒ නිසා උදේ කෑම කන්න අපි තෝර ගත්තේ ආපහු එන පාරේ ගස් කොලන් වලින් පිරුන තැනක්. මහන්සිය නිවා ගන්නත් බඩ ටිකක් පුරවගන්නත් හිතාගෙන එතන මොහොතකට නතර වුණා.

    ජිහාන් ගත්ත පින්තූර බලමින්


    කෑම කාල විනාඩි කීපයක් විවේක ගත්තට පස්සේ අපි පහල බලා ගමන් ආරම්භ කලා. bike නතර කරපු ගෙදරට ගාස්තුවත් දීලා එතනින් පිටත් වුනේ අපේ ඊළඟ නැවතුම වෙන බෝ ඇල්ලට ඉක්මනින් යන බලාපොරොත්තුවෙන්. පහල තිබ්බ තැඹිලි කඩේ දැක්කම හදිස්සිය නැති වුණා.

    තැඹිලි කඩේට පේන උතුවන්කන්ද




    DIO තුන් කට්ටුව :)


    තැඹිලි ගෙඩියකුත් සප්පායම් වෙලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. බෝ අල්ලට තිබුණු දුරනම් 6km විතර වුනත් අපිට එතනට යන්න විනාඩි 40කටත් වඩා ගියේ පාර සැහෙන්න අබලම් තත්ත්වේ තිබුණු නිසා. Video එක බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් අමාරුවෙන් බෝ ඇල්ලට ගියාද කියන එක.

    මේ ගමනේ අතරමග හමුවෙන සුවිශේෂී තැනක් තමයි සරදියෙල් ගම්මානේ කෞතුකාගාරය. ඇතුලට යන්න බැරිවුනත් එළියේ තිබුණු කලාත්මක නිර්මාණ බලල අපි ඒ අඩුව සෑහෙන දුරකට පුරවා ගත්ත.


    කෞතුකාගාරය අසල






    කැඩුන අබලං පාර දිගේ අපි බෝ ඇල්ලට එනකොට උදේ 10.30ට විතර ඇති. ගිමන් නිවා ගන්න හදපු ලස්සන අම්බලමක් වගේ ගොඩනැගිල්ලක් ලඟින් බෝ ඇල්ලට බහින පඩිපෙළ පටන් ගන්නවා. ගොඩනැගිල්ල ළඟ bike නතර කරලා අපි පහලට බහින්න පටන්ගත්තා.

    අම්බලම


    පහලට බහින පඩිපෙළ


    බෝ ඇල්ල අවට පරිසරය




    බෝ ඇල්ල






    ස්වාභාවධර්මයත් හදන දේවල් :)


    බෝ ඇල්ල ඉතිහාසයට එකතු වෙන්නේ කොහොමද කියලා අපිට අහන්න ලැබුනේ එතන හිටපු මාමා කෙනෙක් ගෙන්. සුද්දෝ සරදියල් ව අල්ලන්න ලුහුබැදගෙන එද්දී සරදියෙල් පැනලා ගිහින් තියෙන්නේ බෝ ඇල්ල හරහා කියලා මාමා අපිට කියල දුන්නා.

    බෝ ඇල්ල අවට තවත් පින්තූර කීපයක්














    දවසට දැකපු දෙවැනි එක්කෙනා


    මෙයත් පාරේ බඩගගා හිටියා


    බෝ ඇල්ලෙන් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ, නුවර යන එනකොට නිතරම දකින, ගොඩ දවසක ඉඳන් යන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු බතලේගල. බෝ ඇල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 11.45 විතර වුණා. කලින් විදියටම අපිට සෑහෙන දුරක් යන්න වුනේ අබලං පාරක. මාවනැල්ල - අඹදෙනිය පාරට අවතීර්ණ වුනාට පස්සේ ගමන ටිකක් පහසු වුනා. එතනින් අපි හැරුනේ ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරට. එතන ඉඳන් බතලේගලට 4km විතර දුරක් තියෙනවා.



    ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරේ 3km විතර දුරක් එනකොට කඩවල් කීපයක් එක්ක දකුණට හැරෙන්න තියෙන පාරෙන් තමයි බතලේගලට යන්නේ. දහවල ගෙවිලා යන නිසාත්, බඩගින්න උත්සන්න වෙන නිසාත් ළඟම තිබුන කඩේකින් පාන් ගෙඩි දෙකකුත් පරිප්පු හොදි මලු දෙක තුනකුත් ගන්න අපි මොහොතකට නතර වුණා. ඉතිරි දුර කිලෝ මීටරයක් විතර වුනත් bike වල අපි ගියේ ගොඩක් අමාරුවෙන්. පාර තව තවත් දුෂ්කර වෙන නිසා ගෙයක් හොයාගෙන bike නතර කරපු අපි පයින්ම කන්ද උඩට යන අඩි පාර පාමුලට ආවා. කන්ද නගින්න පටන් ගන්නකොට වෙලාව 1.20 විතර වුණා.

    තරමක් උසට වැවුණු පඳුරු මැදින් හැදුනු අඩි පාරක් දිගේ අපි ඉහලට ගමන් කලා. වැඩි වෙලාවක් යන්න කලින් අපි කැලේ ඝනව වැවුණු කොටසට ආවා. කැලේ මැදින් උඩට යන්න පඩි තිබුණා.

    කැලේ කොටසේ තිබුණු ගල් පඩි




    පරිනාමය වූ වඳුරෙක්


    තවත් උඩට යනකොට ගල් තියලා සකස් කරපු පඩි වෙනුවට කළු ගලෙන්ම හදපු පඩි දකින්නට තිබුණා. මේ හරියට එනකොට කැලේ තුනී වුන බවක් පෙනුනා.



    ගල් පඩි දිගේ තව ටිකක් උඩට නගිනකොට උස ගස් නැති වෙලා ගිහින් තනි කළු ගලක් දිගේ කන්දේ ඉහල කොටසට නගින්න පටන් ගන්නවා. අවට සුන්දරත්වය පේන්න පටන්ගන්නේ දැන්.

    අවට පරිසරය








    කළු ගල දිගේ උඩට නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ගල් පඩි පෙළක්. අනිත් එක පහල ඉඳන් ඉහලට දිවෙන කම්බියක්. කම්බිය කළු ගල උඩ යකඩයකට ගැටගහල තියෙනවා. ඒක ආධාරයෙන් උඩට නගින්නත් පුළුවන්. අපේ අය තෝරාගත්තේ කම්බිය.

    කම්බිය ආධාරෙන් උඩට නගින තරුෂ්ක


    කම්බිය ගැට ගසා ඇති යකඩ කූර


    කන්ද මුදුනට එන්න අපිට ගතවුනේ විනාඩි 50කට අඩු කාලයක්. අඩි පාරෙන් කන්ද උඩට එන තැන තියෙන ගහ


    කන්ද උඩ තැන්න ප්‍රදේශය






    අපි මුලින්ම කලේ කන්දේ එක පැත්තකට යන එක




    මේ කන්දේ එක කෙළවරක්






     
    Last edited:

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එතනින් එහාට යන්න තැනක් නැති නිසා කන්දේ අනික් පැත්තට අපි ගමන් කලා. කෙලවරට කලින් අම්බලමක් වගේම පොඩි තොරණක් මගදී හමුවෙනවා.








    දවල් කෑම කන්න අපි එතන තොර ගත්තා.




    මම හිතන්නේ මම ජීවිතේට කාපු රසම පරිප්පු හොද්ද තමයි ඒ. කොච්චි මිරිස් දාලා හදලා තිබුන හොද්දේ රස වචනෙන් කියන්න බැහැ. කෑමෙන් පස්සේ අපි එතනම් විනාඩි කීපයක් විවේක ගත්තා. කන්දක් මුදුනේ ගහක් යට, ඈත කඳු දිහා බලාගෙන ඒ ගතකරන විනාඩි කීපය කොච්චර රසවත් ද කියන එක දන්නේ තවත් කඳු නගින්නෙක්ම විතරයි.

    පහලට එන අතර




    වැඩි වෙලාවක් යන්න කලින් පහලට බහින්න අපිට පුළුවන් වුණා. අපේ ඊළඟ නැවතුම වුනේ අසුපිනි ඇල්ල. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ දික්පිටිය, අරනායක හරහා. දුර ප්‍රමාණය 12km විතර වුණා. හවස් වේගන එන නිසා අපි කොහෙවත් නතර නොවී අසුපිනි ඇල්ල පැත්තටම ගමන් කළා.

    ගමන් මග





    bike නතර කරන්න ගෙදරක් නොතිබුන නිසා bike පාර අයිනක නතර කරපු අපි පයින් ගමන පටන් ගන්නකොට වෙලාව හවස 4.30 පහුවෙලා. පටන් ගත්ත තැන ඉඳන් ඇල්ලේ ඉහල කොටසට එන්න ගොඩක් දුර අපිට පයින් ඇවිදින්න වුණා.

    අතරමග හමුවෙන නැරඹුම් මැදිරිය


    නැරඹුම් මැදිරිය උඩට අසුපිනි ඇල්ල පේන විදිය




    අවට පරිසරය


    අමාරු ගමනකින් පස්සේ අපි ඇල්ලේ ඉහළ කොටසට ලඟා වුණා. මහන්සිය කොච්චර තිබුනත් ඒ හැමදෙයක්ම අමතක කරවන්න පුළුවන් සුන්දරත්වයක් ඒ වටපිටාවේ තිබුනේ. වතුර පාරවල් කීපයක් තැන් කීපයකින් පහලට ගලාගෙන ගියා. video එක බලන්න. අසුපිනි ඇල්ලේ සුන්දරත්ව හොඳටම බලාගන්න පුළුවන් ෆොටෝ වලට වඩා video එකේ.

    අසුපිනි ඇල්ලේ ඉහළ






















    ඉර බැහැගෙන යන වෙලාව නිසා අවට තිබුනේ පුදුමාකාර සෞම්‍ය බවක්. පැය බාගයක් විතර ඇල්ල උඩ ගතකරපු අපි සාර්ථක පලවෙනි දවස පටන් ගැන්ම ඉඳන් හිතින් විඳිමින් හෙමින් හෙමින් පහලට ගමන් කලා.

    එදා රෑ අපි ගතකලේ මාවනැල්ල කිට්ටුව අරනායක පාරේ guest house එකක. ඒක අයිති වුනේ මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ යහලුවෙකුට නිසා අපිට නවාතැන් ලැබුනේ සම්පූර්ණයෙන්ම නොමිලේ. දෙවනි දවසේ අපේ පළමු නැවතුම වුනේ ලක්ෂපාන ඇල්ල. ගොඩක් දුර යන්න තිබුන නිසා අපි උදෙන්ම නැගිටලා ලක ලැහැස්ති වුණා. උදේ 6 පහුවෙනකොටම අපි නවාතැනින් පිටවුණා. අපි ගිය මාර්ගය වුනේ උයන්වත්ත - දඹුලුවාව - හෙම්මාතගම - ගම්පොල - උලපනේ - නාවලපිටිය - ගිනිගත්හෙන හරහා ලක්ෂපාන.


    අඹුලුවාව


    ගම්පොල නගරයට අඹුලුවාව පේන විදිය


    මගදී හම්බුන යාලුවෙක්


    නාවලපිටිය - ගිනිගත්හේන අතර පින්තූර කීපයක්












    කොහොමද තුන් දෙනා :)


    ප්‍රධාන මාර්ගයෙන් හැරිලා ලක්ෂපාන ඇල්ල පැත්තට යන දුෂ්කර මාර්ගයේ අපිට හම්බවුනු සුන්දර තැන් කීපයක්






    කැළණි ගඟ








    විදුලි බලාගාර ව්‍යාපෘතියේ කොටසක්


    යන මාර්ගය










    අතරමග හමුවන පුවරුව


    දුෂ්කර ගමනකින් පස්සේ ලක්ෂපාන ඇල්ලේ ඉහල කොටසට අපි එනකොට වෙලාව 11.15 විතර වුණා. ඇල්ලේ පහළ කොටසට යාමට අදහස් කරගෙන හිටයත් උඩ කොටසට අපි ආවේ අහම්බෙන්. ඒත් එහෙම වුනු එක කොයි තරම් හොඳද කියන දේ අපිට තේරුනේ අවට පරිසරයේ ලස්සන දැක්කම. ඇල්ල තිබුනේ ගොඩක් වේලිලා ගිය මට්ටමක.

    ලක්ෂපාන ඇල්ල ඉහළ


















    ලක්ෂපාන ඇල්ලේ තිබ්බ විශේෂම දේ තමයි එක කොනක පිහිටලා තිබ්බ කුහරය. ඇල්ලෙන් වතුර පහලට වැටෙන තැනක ගලේ හැදුන සාමාන්‍ය තරමක කුහරයක් තියෙනවා. දෙතුන් දෙනෙකුට එක පාර ඒක ඇතුලට බැහැලා ඇල්ලෙන් පහල බලන්න හැකියාව තියෙනවා. Video එක බලන්න.

    කුහරයට බැහැලා පහල බලන අපේ සෙට් එක




    කුහරය


    ඇල්ලෙන් පහල


     
    • Like
    Reactions: xxc

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ලක්ෂපාන ඇල්ලේ පැයක් විතර ගතකරපු අපි අපේ ඊළඟ නැවතුම වුන මාවුස්සාකැලේ ජලාශය බලා පිටත් වුණා. දුර ප්‍රමාණය ගත්තොත් 12km විතර. ලක්ෂපානෙන් පිටත් වුන අපි මස්කෙළිය පැත්තට ගමන් කලා. පස්සේ ශ්‍රී පාද පාරට හැරුණු අපි මාවුස්සාකැලේ ජලාශය ලඟට එනකොට 2.30 විතර වුණා.

    මාවුස්සාකැලේ ජලාශය සහ අවට












    වැව අයිනට යන්න පුළුවන් තැනක් බලමින් අපි වැව වටේ ගියා. වැව් ඉවුරට අපි ගියේ මෙතනින්




    සුන්දර මාවුස්සාකැලේ ජලාශය










    බත්කූරෙක් ෆොටෝ ගන්න හදන ප්‍රසාද්


    වැව ඉවුරේ ඉඳගෙනම දවල්ට කාලා පොඩි වෙලාවක් අපි එතන නතර වෙලා හිටියා. හවස් වේගන එන නිසා වැව අවට පරිසරයේ තිබුනේ පුදුමාකාර සුන්දරත්වයක්. අපේ අවසාන නැවතුම වෙන PEAK FIELD ඇල්ල බලන්න යනවද නැත්තන් වැව ඉවුරේම රෑ වෙනකන් ඉන්නවද කියලා හිතෙන තරමට ඒ දර්ශනය හැමෝගෙම හිත් වලට කා වැදිලා තිබුණා. කොහොමහරි හිතාගත්ත විදියට දවස අවසන් කරන අරමුණෙන් අපි යලිත් ගමන් ආරම්භ කලා. අපි ගියේ මරේ වතු යාය දිහාවට.

    අතරමග හමුවුන කුඩා දිය ඇල්ලක්


    මරේ වතුයාය




















    මරේ වතුයායට එනකොට වෙලාව 4.40 විතර වුණා. PEAK FIELD ඇල්ල බලන්න යන වැඩේ ටිකක් අමාරු වුනේ සිංහල කථා කරන කෙනෙක් හොයා ගන්න බැරිවුන නිසා. දන්න විදියට අතින් පයින් කීප දෙනෙකුටම විස්තර කලාට පස්සේ ඒගොල්ලොන්ට අපේ අවශ්‍යතාව තෙරුන් ගිය බවක් පෙනුනා. වත්තේ කම්කරුවෝ දෙතුන් දෙනෙක්ම අපිව එක්කගෙන යන්න ඉදිරිපත් වුණා. bike නතර කරන්න තැනකුත් අපේ බෑග් තියන්න ගෙදරකුත් ඒගොල්ලෝම පෙන්නුවා. ඊටපස්සේ වතුයාය මැදින් අපි PEAK FIELD ඇල්ල දිහාවට ගමන් ආරම්භ කලා.





    මුලින්ම තේ වතු මැදින් ගිය අපි පස්සේ උස පඳුරු තියෙන බිමක් මැද්දෙන් ගමන් කලා. ඈතින් GARTMORE ඇල්ල පෙනුනේ එතකොට

    GARTMORE ඇල්ල






    අවට සුන්දර පරිසරය






    ඊට පස්සේ ගස් වැල් ටිකක් ඝනව වැදුන පැත්තකින් අපි ගමන් කලා


    PEAK FIELD ඇල්ල පැහැදිලිව පේන්න ගත්තේ දැන්


    පැය බාගේකටත් වැඩි ගමනකින් පස්සේ PEAK FIELD ඇල්ලට එන්න අපිට පුළුවන් වුණා.

    PEAK FIELD ඇල්ල






    මග හමුවෙන කුඩා දිය සීරාවක්






    මරේ වතුයායෙන් අපි එනකොට හවස 6 පහුවෙලා. සාර්ථකව දෙවැනි දවසත් ඉවර කරන්න ලැබුන සතුටත් එක්ක අපි කෙලින්ම කොළඹ බලා ගමන් ආරම්භ කලා.



    මේ විදියට දවස් දෙකක සාර්ථක, සුන්දර චාරිකාවක් නිමා කරන්න අපිට හැකියාව ලැබුණා. මේ පාර මැප් එකකුත් එක්කම ට්‍රිප් report එක ඉදිරිපත් කරන්න බැරිවුණ එක ගැන මම කනගාටු වෙනවා. තිබ්බ වෙලාවත් එක්ක මම පුළුවන්තරම් විස්තර කරලා thread එක ලිව්වා. මේක බලලා යම්කිසි සතුටක් ලැබුවානම්, දැනුමක් ලබාගත්තා නම් ඒක තමා වටින්නේ. එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා. video එක බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් thread එක කියෙව්ව එකට ස්තුති කරගෙනම මම නවතිනවා.
    හැමෝටම ජය වේවා!!
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    +PATTA+

    11.gif
    11.gif

    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. උඹල හරිම වාසනාවන්තයි බන්... උඹලගෙ ඇස් පිං කරල තියෙනවා මේ වගේ ලංකාවේ සුන්දරත්වය දකින්න..
    පට්ට උපරිමයි බන්...

    රෙප් 18+
    මේ උඹල ගිය මාවුස්සාකැලේ ජලාශේ සිරීපාදෙ මුදුනෙ ඉදන්....
    IMG_0487.jpg

    IMG_0488.jpg

    IMG_0545.jpg
     
    Last edited: