සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ...

Amasuwa

Member
May 25, 2017
39
15
0
Path of Nirvana
සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ...


සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ...



මිනිසුන් ධර්මයෙන් ඈත්වත්ම, ඔවුනතරින් ගුණධර්ම පිරිහී, තිරිසන් සතුන් හා සමවන යුගයක් ඉදිරියට එළබෙයි. මිනිසුන් කෙරෙන් මෘග සංඥාව පහළ වන බව තථාගතයාණන් වහන්සේ එදා බුදු
ඇසින් බලා දෙසූ සේක. කොසොල් රජතුමා දුටු සිහිනද කෙමෙන් සැබෑ වෙමින් පවතින බව සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ..


මිනිසුන් රාගයෙන් මත්වෙලාය.. මල් කැකුළු වැනි කිරි දරුවන් අපචාරවලට ගොඳුරු වේ.. මුහුණු පොත දෙස විපරම් කළ විට දැක ගත හැකි වන්නේ සෙල්ලම් වයසේ පසුවන් කුඩා ළමයින් කෙරෙන්ද ඉස්මතු වන්නේ රාගයට සම්බන්ධ දේය.. ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් මිනිසුන් අන්ධ වී ඇත..ලෝකය දියුණු වෙනවායැයි කීවද , ගුණ ධර්ම අතින් ගමන් කරමින් සිටිනුයේ මෘග සංඥාව දෙසට බව ප්‍රත්‍යක්ෂය. ඉතා දුර්ලබ වුවද, නැවත මිනිස් ජීවිතයක් ලැබූවද , ධර්මයක් නම් මුණ ගැසේවිද යන්න සැක සහිතය. ධර්මය පිළිබඳ කතා කිරීමට බොහෝ අය ඇතත්, එය ඉගෙන ගැනීමට බොහෝ අය ඇතත් පිළිපැඳීමට ඇත්තේ අතළොස්සක් බැවිනි.

ශාසනය කොටස් තුනකි. පර්යප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ නමිනි.. ප්‍රතිවේධ ශාසනය යනු ධර්මය ප්‍රත්‍යක්ෂව තමා තුළින් අවබෝධ කරගැනීමය. එනම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ගඵල සාක්ෂාත් කරගැනීමය. එනම් නිර්වාණය සාක්ෂාත් කිරීමය. ධර්මයේ අවසාන ඵලය, හරය එයය..එය නම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ධර්මය උඩින් අත පත ගා, වනපොත් කිරීමට පිරිස් සිටියද, නිර්වාණය තෙක් ගමන් කිරීමට ඉතිරි වන්නේ ගණන් කළ හැකි තරමක් පිරිස්ය.

බෞද්ධ යැයි කීවද, මිනිසුන් නිවන් දැකීමට බියය. ඔවුනට දැන්ම නිවන් දැක සසරින් මිදීමට අවශ්‍ය නැත. ! යම්තම් හෝ බුදුන් වඳාළ ධර්මය අසා ඇත්නම් එවැනි මත ඔවුන් නොදරනු ඇත. "අසුර ගසන ක්ෂණයක්" සසරේ රැඳී සිටීම බුදු කෙනෙක් අගය කළේ නැත. "හිස ගිනි ගත්තද, එම ගින්න නිවීමට නොව අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගනිමින් සසරින් නික්මෙන ලෙස" බුදුරජාණන්වහන්සේ දෙසූවේ අතීත, අනාගත, වර්තමාන තුන් කාලයද, සියළු දෙව්, බ්‍රහ්මතල , අපාය ආදී විශ්වය සිසාරා බුදු ඇසින් දැක පසක් කොටය.. අපායේ පවතින් දුක් ගිනි විස්තර කරද්දී උන් වහන්සේ වඳාළේ, " මහණෙනි මම මේවා කියන්නේ කිසියම් දෙවියකුගෙන්වත්, බ්‍රහ්මයකුගෙන් වත් හෝ කාගෙන්වත් අසාගෙන නොවේ..මමම දුටුවා. මටම ඇසුණා" යනුවෙනි..
ඒ බුදු ඇසට නොදැකිය හැකි දෙයක් නොමැත. ඒ ප්‍රඥා බල මහිමයට අවබෝධ නොකළ හැක්කක් නොමැත.. එවැනි බුදු ඇසින් බලා දෙසූ දෙය වටහා නොගෙන යම්තම් අවුරුදු 60-70 ක ජීවිතය, මුළු සංසාරයමැයි වරදවා ගෙන , "වතුර රත්වන තෙක් නටන කකුළුවන්" මෙන් තුටින් කා බී, ඉඳුරන් පිනවමින් රඟති...

එසේ සරලව සිතුවද සසර යනු ඒකාන්ත දුක්ඛයකි..එම දුක්ඛ සත්‍යය නොදන්නා, "දුක්ඛේ අඥානං" වූ මෝහය සියළු සත්වයන් සිත් තුළ ක්‍රියාත්මක වෙයි..මුළු ජීවිතයම කුසල් කරමින් සිටියද,මරණ මංචකයේදි සිතිවිල්ල වැරදුනොත් ඇතිය.." මහ පොළොවේ පස් ප්‍රමාණයෙන් , නිය උඩට ගත් ප්‍රමාණයක්" පමණක් යළි දෙව්,මිනිස් ආදී සුගති වලට පැමිණෙන්නේ එබැවිනි.. මෙවැනි උපමා බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත.

සිතන තරම් සසර සුන්දර නැත. එය තේරුම් ගැනීම ද දුෂ්කරය. ධර්ම පටිපදාවේ ගමන් කොට නිවන සාක්ෂාත් කිරීම ඊටත් වඩා දුෂ්කරය. සිත දමනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කල්ප ගණන් සසර පුරා පැමිණියේ ඉඳුරන් පිනවමින්, තණ්හාවට දාසයකු වෙමින්ය. එවැනි සිත් ප්‍රතිවිරුද්ධ දෙසට හැරවීම අසීරුය. නීති දමා, මේ ධර්මය කෙනකුට අවබෝධ කළ නොහැකිය. එය තම තම නැණ පමණින් අවබෝධ කළ යුතුය. තමා තුළට පමුණුවා ගත යුතුය. තමා තුළින් ප්‍රතිඵලය දත යුතුය. " ඕපනයික" ,"ස්වාක්ඛාත", ආදී ලෙසින් සඳහන් වන්නේ ධර්මයේ එබඳු ලක්ෂණය.

අද සිටින බෞද්ධයන් නම්, "බුදුන් සරණ යමි" යි ඔහේ කියන්නන් වාලේ කියයි. නමුදු ඔවුන් කිසිදු සරණක් යන්නේ නැත. තමනුත් වැළකී, අන් අයවද වළක්වයි. ධර්මය අවබෝධ කරගන්නට, ඒ අනුව පිළිපඳින්නට යන අයට නිගා කරයි. කෙනෙක් බණ භාවනා කරද්දී, ශීලයක් රකිද්දී අවඥා සහගතව බලයි, කියයි. නොදන්නා වූවද එවැනි දෙයෙහි විපාකය බරපතලය. සසරේ කිසිඳු දිනක තමනට යළි ධර්මයක් මුණ නොගැසීමට ඉඩ ඇත.
කර්ම විෂය අචින්තයය. බොහෝ විහිළු කෙළවර වන්නේ අපා දුකිනි. මේ සසර වඩාත් බියකරු වන්නේ, කර්මය සෙවණල්ල සේ අප පසු පසින් සිටින බැවිනි.

ධර්මය යම් පමණකට හෝ දැන සිටීම, අඩුම තරමින් පින් පව් හෝ දැන සිටීම තමාගේ යහපතට හේතු වේ. මන්ද යත් එය පිළිපඳිමින්, ඒ අනුව සිත මෙහෙයමවින්, සමාධි ,ප්‍රඥා වඩවමින් , නිවන පූරණය කරමින්, සසරින් වහ වහා එතෙර වීමට සියල්ලන්ටම කළ නොහැකි නිසාය. එයට සිත් දෙන්නේ ඉතාම සුළු පිරිසකට නිසාය. කෙතරම් වීර්යය කළද ධර්මය අවබෝධ වන ආකාරය පුද්ගලානුබද්ධය. ඇතැමුන් ක්ෂණයකින් ද, ඇතැමුන් මද කලකින් ද, ඇතැමුන් අවුරුදු 50-60 වැනි කාලයකින්ද , ඇතැමුන්ට මේ ජීවිතයේදී නොහැකි ලෙසින්ද එය සිව් වැදැරුම් වේ. නමුදු වෙන කළ හැක්කක් නැත..!! කළ හැක්කේ වීර්යය කිරීම පමණකි. මේ මෝහය තුළ, එය රස කරමින් ජීවත් වීම, "පයේ ඇතිවූ වණය කසමින් තෘප්තියක් ලබන්නාක්" මෙනි.

මේවා තේරුම් ගැනීමට,විශ්වාස කිරීමට හැකිවන්නේ අතළොස්සකටය.
එයද තථාගතයාණෝ වඳාළ සේක. " මාගේ ධර්මය ගෝචර වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණකි" යනුවෙන් උන්වහන්සේ වඳාළේ එබැවිනි.
එම ප්‍රඥාව යනු පොත පතින්, උපාධි ගසමින් රැස්කරගන්නා සංඥා ස්කන්ධයක් නොවේ. තම හදවත දකිමින්, සතිය, සිහිය වැඩවීමට තරම්, මේ නාමරූප ධර්මයන් විනිවිද දකිමින්, විශේෂයෙන් නාමය(සිත) දකිමින්, එය විනිවිද දකිමින්, චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගනිමින්, මේ තෘෂ්ණාව වියළවා, කාම ඕග, දිට්ඨි ඕඝ, භව ඕඝ ආදී ඕඝයන් ( ප්‍රවාහයන්) තරණය කරමින්, අව්ද්‍යා අරටු සිඳලමින්, සසර නැවත නූපදින ලෙසට මෙහෙයවිය හැකි ප්‍රඥාවටය..

අප මහා තිලෝගුරු අමා මෑණි බුදු පියාණන් පසක් කොට දේශනා කළේ එවැනි අති උත්තරීතර, මහා ගම්භීර වූ අසම සම වූ ධර්මස්කන්ධයකි..!!!!
මේ මහා සංසාර සාගරයෙන් සත්වයා එතෙර කරවාලන ධර්මයකි..!!!
මේ පන්චස්කන්ධයන් ( ඇඟ සහ සිත) නැවත නූපදින ලෙසම නැති කරවන ධර්මයකි..!!!

එවැනි උත්තම වූ, අසම සම වූ, බුදු කෙනකුන්ගේ ලයෙන් උපන් ශ්‍රාවකයන් වීමට නම්, එම ධර්මය දරන්නට නම් කෙනකු කළ යුතු අසීමිත පුණ්‍යස්කන්ධය මෙතැකැයි කියා ප්‍රමාණ කල නොහැක..
මිනිසත් බව ලැබීම දුර්ලභය..!
බුද්ධ ශ්‍රාවකයකු වීම ඊටත් වඩා දුර්ලභය..!

එබැවින් අප ලද මේ අවස්ථාව "තණ අඟ රැඳි දිය බිඳ" මෙනි; "ජලයේ නැඟි පෙණ පිඬ" මෙනි.. එය බිඳී යාමට ගතවනුයේ නිමේෂයකි..
නිකම් කා බී, අදට පමණක් ජීවත් වීම පසෙකලා, දුර දක්නා නුවණින්, විචක්ෂණ බුද්ධියෙන් විමසා බලා, ධර්මයේ සරණ තුළට වහ වහා පැමිණීම කළ යුත්තකි..
බුදුවරු සැමදා අගය කළේ "අප්‍රමාදී" බවමය.
තත්පරයක සිතිවිල්ල, බුද්ධාන්තර ගණන් අති දීර්ඝ වූ භවයකට ඇඳ දැමීමට වුවද සමත් වේ.
එබැවින් තත්පරයක ප්‍රමාදය, කල්ප ගණනක ප්‍රමාදයක් වීමටද හැකිය...!!!


Facebook




තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!



profilepic562910_2.gif

 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    සිහිය උපද්දවා දුන්නාට පින්! අප්‍රමාදය ඇතිකරගැනීමට මෙම කරුණු නැවත නැවත විටින් විට කියවීම වටී
     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    නමුදු වෙන කළ හැක්කක් නැත..!! කළ හැක්කේ වීර්යය කිරීම පමණකි.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තත්පරයක සිතිවිල්ල, බුද්ධාන්තර ගණන් අති දීර්ඝ වූ භවයකට ඇඳ දැමීමට වුවද සමත් වේ.
    එබැවින් තත්පරයක ප්‍රමාදය, කල්ප ගණනක ප්‍රමාදයක් වීමටද හැකිය...!!!
     

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    මිනිසත් බව ලැබීම දුර්ලභය..!
    බුද්ධ ශ්‍රාවකයකු වීම ඊටත් වඩා දුර්ලභය..!