විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

    විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

    ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම සර්ප දෂ්ඨන ප්‍රතිශතයක් වාර්තා වන රටක්. වසරකට ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් වලින් පමණක් සර්ප දෂ්ඨනයන් 33,000 – 37,000 අතර ප්‍රමාණයක් වාර්තා වන අතර මෙයින් 100ක් පමණ මාරාන්තික ඒවා ලෙස වාර්තා වනවා. මෙයිනුත් බොහොමයක් උග්‍ර විෂ සහිත සර්පයින් වන නාගයා, තිත් පොළඟා,තෙල් කරවලා, හා මද විෂ සර්පයෙකු වන කුණක‍ටුවා දෂ්ඨ කිරීම හා සම්බන්ධ සිදුවීම්.
    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සර්ප විශේෂ 102 අතුරින් උග්‍ර විෂ සහිත වන්නේ සර්ප විශේෂ 21ක් පමණයි. උග්‍ර නොවන විෂ සහිත විශේෂයන් 5ක් ද, මද විෂ සහිත විශේෂ 12ක් ද වාර්තා වෙනවා. ඉතිරි විශේෂ 64 ම නිර්විෂ සර්ප විශේෂයන්.
    මෙම උග්‍ර විෂ සහිත සර්ප විශේෂයන් 21 න් 14 ක්ම සාගරවාසීන්. ඉතිරි විශේෂ හතෙනුත් දෙවර්ගයක් ශරීර ප්‍රමාණයෙන් කුඩා නිසා මනුෂ්‍යයින්ට හානි කිරීමට තරම් විෂ ප්‍රමාණයක් නිකුත් කිරීමට තරමක් අපොහොසත් කොරල් සර්පයින්. ඉතිරි විශේෂ පහෙන් වැලි පොළඟා (Echis carinatus) හමුවන්නේ වියළි හා ශුෂ්ක කලාපයන්ගෙන් පමණයි. මුදු කරවලා (Bungarus ceylonicus) සාමාන්‍යයෙන් විරල හා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී නොවන සර්පයෙක්. එම නිසා, ශ්‍රී ලංකාවේදී සර්පයන් සපාකෑම මගින් සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ නයා, තෙල් කරවලා, සහ තිත් පොළඟා යන වර්ග ආශ්‍රිතව සිදුවන සපා කෑම් හේතුවෙන්.
    echiscarinatus-e1467120689710.jpg
    වැළි පොළඟා – Saw Scaled Viper / උග්‍රවිෂ සර්පයෙකි. (reptarium.com)

    බොහෝකොටම සර්පයන් දෂ්ඨ කරන්නේ ගොදුරක් අඩපණ කරගැනීමට හෝ තමාට තර්ජනයක් එල්ල වූ විට පමණයි. නමුත් සියලුම සර්පයන් විෂ සහිත බවත්, මිනිසුන්ට දෂ්ඨ කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, පළිගන්නා සුළු සතුන් කොටසක් බවත් වැනි දුර්මත නිසා බොහොමයක් දෙනා මේ සතුන් නිකරුණේ මරාදැමීමට පෙළඹෙනවා. එසේම සර්පයන් සෙවල සහිත, අපිරිසිදු, සහ අවාසනාව ගෙනදෙන සතුන් යැයි බොහොමයක් දෙනා විශ්වාස කරන නිසා, සමාජය තුළ මෙම සතුන් කෙරෙහි තිබෙන්නේ පිළිකුලක්.
    boigatrigonata-e1467120731692.jpg
    ගැරඬි මාපිලා/ රන් මාපිලා – Gamma Cat Snake / නිර්විෂ සර්පයෙකි. වැළි පොළඟා ලෙස වරදවා හඳුනාගෙන මරණයට පත්කරනු ලබයි. (flickr.com)

    විෂ සහිත හා නිර්විෂ සර්පයින් වෙන් වෙන්ව හඳුනාගැනීම සඳහා අවශ්‍ය වන දැනුම හෝ පුහුණුව ලාංකිකයින් බහුතරයකට නොමැති නිසා, තමාට හමුවන සියළුම සර්පයින් කිසිම වගවිභාගයකින් තොරව පරලොව යැවීමට ශ්‍රී ලාංකිකයින් හුරුවී සිටිනවා. දිවයිනෙන් වාර්තා වන බොහොමයක් සර්ප දෂ්ඨනයන්ට වගකිව යුතු සර්පයින් විශේෂ 3න්, බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ට නිවැරදිවම හඳුනාගත හැක්කේ හිස පළල් වී පෙනයක් බවට පත්ව ඇති නාගයා පමණයි. නමුත් සර්පයින් ආහාර සපයාගැනීම සඳහාත්, තම ආරක්ෂාව සඳහාත් භාවිතා කරන විවිධාකාර වූ හැඩගැසීම් සහ උපක්‍රම නිරීක්ෂණය කිරීම මගින් විෂ සහිත සර්පයින් සහ නිර්විෂ සර්පයින් පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්.
    විෂ සහිත හා නිර්විෂ සර්පයින් වෙන්කර හඳුනාගැනීමේ දී පැන නගින ප්‍රධානම අභියෝගයක් තමයි, ඇතැම් නිර්විෂ සර්පයින් පෙනුමෙන් ඇතැම් විෂ සහිත සර්පයින්ට සමාන වීම (Mimicry). උදාහරණයක් වශයෙන් තෙල් කරවලුන්ට පෙනුමෙන් සමාන අළු රදනකයා, කබර රදනකයා, මල් රදනකයා ආදී නිර්විෂ සර්පයින්, තෙල් කරවලුන් බවට නිතර වරදවා හඳුනාගැනෙන නිසා එම සත්ත්වයින් නිකරුණේ මරණයට පත්කිරීම සිදුවනවා. මේ නිසා අඩුම තරමේ අපට බහුලවම හමුවන උග්‍රවිෂ සර්පයින් ත්‍රිත්වය නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට හුරුවීම මගින්, පාරිසරික සමතුලිතතාවට දායක වන අහිංසක සර්පයින් නිකරුණේ මරණයට පත්කිරීම වළක්වා ගැනීමට හැකියි.
    lycodonaulicus-e1467120768991.jpeg
    අලු රදනකයා – Common Wolf Snake / නිර්විෂ සර්පයෙකි. (calphotos.berkeley.edu)

    මේ උග්‍රවිෂ ත්‍රිත්වයෙන් මිනිස් වාසයන් ආසන්නයේ බහුලවම දක්නට ලැබෙන තෙල් කරවලා (Bungarus caeruleus) වෙනත් නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම පහසුයි. මොවුන්ගේ නිලට හුරු කළු පැහැ සමෙහි සිහින්, සුදු පැහැති හරස් තීරු දකින්න පුළුවන්. මේ තීරු වලිගය දෙසට පැතිරෙන විට අපැහැදිලි, හෝ පැතිරුණු ස්වභාවයක් පෙන්වන අතර, බඩවත සුදු පැහැතියි. මේ සුදු පැහැ හරස් තීරු ලාබාල කරවලුන්ගේ සමෙහි වඩාත්ම හොඳින් දැකගැනීමට හැකියි. තෙල් කරවලාගේ සමෙහි මෙම තීරු පිහිටන්නේ එක ළඟ තීරු දෙක බැගින් වන නමුත්, තෙල් කරවලුන් යැයි නිතර වරදවා වටහාගන්නා අළු රදනකයාගේ (Lycodon aulicus) සමෙහි සුදු තීරු පිහිටන්නේ සමදුරින්.
    දිගින් සෙන්ටිමීටර 25 – 140 අතර (දළ වශයෙන් අඩි 1 – 4.6 අතර) වන තෙල් කරවලාගේ කොඳු නාරටිය දිගටම, සිරුරේ අනෙක් කොරපොතු වලට වඩා සාපේෂව ප්‍රමාණයෙන් විශාල ෂඩාස්‍රාකාර කොරපොතු තීරුවක් පිහිටනවා.
    IndianKrait-e1467120816863.jpg
    තෙල් කරවලා – Indian krait / උග්‍රවිෂ සර්පයෙකි. (indiansnakes.org)

    නමුත් වර්ණයෙන් දුඹුරට හුරු කළු පැහැයක් ගන්නා අළු රදනකයාත්, අඳුරු දුඹුරු/ කළු දුඹුරු පැහැ කබර රදනකයාත් (Lycodon striatus), ලා දුඹුරු පැහැ මල් රදනකයාත් (Lycodon osmanhilli) මෙම ලක්ෂණය නොපෙන්වනවා වාගේම, මොවුන්ගේ කොරපොතු සියල්ල හැඩයෙන් සමානයි. ඊට අමතරව, වැඩුණු තෙල් කරවලෙකු සාමාන්‍යයෙන් අඩි 3.5ක් පමණ දිගු වුණත්, අඩි 2 – 2.5කට වඩා දිගට වැඩුණු රදනකයෙක් දැකගැනීමට අපට හැකි වන්නේ කලතුරකින්.
    රදනකයන් වැනිම නිර්විෂ අහිංසක සර්ප විශේෂයක් වන පිඹුරනුත් බොහෝවිට මෙලෙස වරදවා හඳුනාගැනෙන සත්ත්ව කාණ්ඩයක්. පිඹුරන් බොහෝවිට වැලි පොළඟුන් හා තිත් පොළඟුන් ලෙස වරදවා හඳුනාගනු ලබනවා. පොළඟුන් හා පිඹුරන් වෙන්කර හඳුනාගැනීමේ පහසුම ක්‍රමය තමයි ඔවුන්ගේ හිසෙහි හැඩය නිරීක්ෂණය කිරීම. මොකද කියනවා නම්, පොළඟුන්ට පිඹුරන්ගේ මෙන් අක්‍රමවත්, වළකුළු හැඩැති හිසක් නොව, ක්‍රමවත්, ඕවලාකාර හිසක් පිහිටන නිසා. එසේම පොළඟුන්ගේ හොඹුව (snout) එල්ල වූ ස්වභාවයක් (pointed) ගන්නවා. පුහුණු වූ තැනැත්තෙකුට මෙම ලක්ෂණය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.
    eryxconicus-e1467120859947.jpg
    කොට පිඹුරා/ වැලි පිඹුරා – Sand Boa / නිර්විෂ සර්පයෙකි. (fieldhelpforum.com)

    ඉහළ කඳුකරයේ හැරුණුකොට දිවයින පුරාම දක්නට ලැබෙන, උග්‍රවිෂ ත්‍රිත්වයෙන් දෙවැන්නා, තිත් පොළඟාගේ (Daboia russelii) පසේ වර්ණයට හුරු දුඹුරු පැහැ සමෙහි තද දුඹුරු පැහැ පුල්ලි පේලි තුනක් නිරීක්ෂණය කළ හැකියි. සාපේක්ෂව විශාල පුල්ලි පේලිය කොඳු නාරටිය දිගටත්, අනෙකුත් පුල්ලි පේලි දෙක සිරුර දෙපැත්තෙනුත් පිහිටා තිබෙනවා. පිටෙහි පුල්ලි විශාල හා දිගැති ඕවලාකාර (Oval-shaped spots) වන අතර, ඒවා කලු පැහැති පිටත තීරුවකින් වටව තිබෙනවා. එමෙන්ම මෙම පිටත තීරුව සුදු පැහැයෙන් සීමාවී තිබෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි (Outlined with a black line and an whitish outer border). හිසෙහි ඇති ලා දුඹුරු පැහැති පුල්ලි දෙකක් ‘V’ ආකාරව හොඹුව දෙසට එල්ල වනවා. බඩවත අපිරිසිදු සුදු පැහැ වනවා වාගේම, දුඹුරු හෝ කළු පැල්ලම් දැකගැනීමට පුළුවන්. තිත් පොළඟා ප්‍රකෝප වූ විට දඟර ගැසී, සිරුරෙහි මුළු දිගින් දළ වශයෙන් 1/3ක පමණ ඔසවා, පීඩන උඳුනක විස්ල් ශබ්දයට සමාන උස් පිඹුම් හඬක් (high-pitched whistle) නිකුත් කිරීමට ඉතා ප්‍රසිද්ධයි.
    RusselsViper-e1467120895257.jpg
    තිත් පොළඟා – Russell’s viper / උග්‍රවිෂ සර්පයෙකි. (indiansnakes.org)

    තිත් පොළඟා යැයි වරදවා හඳුනාගැනෙන දාර පිඹුරන් (Python molurus) හා කොට පිඹුරන්ගේ (Eryx conicus) සිරුරු වල තිත් පොළඟුන්ගේ මෙන් දිගු හා ඕවලාකාර පුල්ලි පිහිටන්නේ නැහැ.
    pythonmoluruspimbura.jpg
    දාර පිඹුරා/ රන් පිඹුරා – Rock Python / නිර්විෂ සර්පයෙකි. (teraporadna.cz)

    උග්‍රවිෂ ත්‍රිත්වයේ තෙවැන්නා වන නාගයා (Naja naja) නම් අප මීට පෙරත් සඳහන් කළා වාගේම හඳුනාගැනීම ඉතා පහසුයි. විදහනු ලැබූ විට හිස මත ඇති සුදු හා කළු පැහැ ‘ප’ හැඩය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. හිස විස්තාරණය නොකළ අවස්ථාවක නම් හඳුනාගත හැකි පහසුම ක්‍රමය තමයි, ඇසට පහලින් ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම. මෙම ප්‍රදේශය කලු පැහැයෙන් පිට මායිමක් (outlined) ලකුණු වී තිබෙනවා.
    najanaja-e1467120969396.jpg
    නාගයා – Common Cobra / උග්‍රවිෂ සර්පයෙකි. (calphotos.berkeley.edu)

    උග්‍රවිෂ සහිත සර්පයින් හා නිර්විෂ සර්පයින් වෙන්කර හඳුනාගන්න භාවිතා කරන්න පුළුවන් පහසුම ආකාරය තමයි මේ සිරුරු වල පැහැයන්, රටා, හා හැඩයන් නිරීක්ෂණය කිරීම. මීට අමතරව, විෂ සහිත සර්පයින්ගේ හිස විෂ ග්‍රන්ථි පිහිටීම හේතුවෙන් බොහෝ විටම පළල්, ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. නමුත් නිර්විෂ සර්පයින්ගේ හිස බොහෝවිට රවුම් හැඳි ආකාර හෝ දිගටි හැඩැතියි.
    මේ ලිපිය ඔබ සමඟ බෙදාගන්න අප තීරණය කළේ, සොබාදහමෙන් ඔබටත්, ඔබෙන් සොබාදහමටත් විය හැකි අනතුරු වළක්වාගැනීම පහසු කිරීමට උපකාරයක් ලෙසයි. ඒ සමඟම ඔබෙන් කළ යුතු ඉල්ලීමකුත් තිබෙනවා. මේ දිනවල බලපැවැත්වෙන වියළි කාළගුණ තත්ත්වය නිසා ජලය සොයමින් විවිධාකාරයේ කුරුළු විශේෂ, කුඩා ක්ෂීරපායී විශේෂ පමණක් නොව නොයෙක් ආකාරයේ සර්පයින් පවා ඔබේ ගෙවත්තට පැමිණෙන්න ඉඩක් තිබෙනවා. පිපාසයට දිය බිඳක් සොයා එන අහිංසක සර්පයෙකු මරාදැමීම මිනිස්කමට තරම් නැති වුණත්, බියවීම හෝ කලබල වීම නිසා ඔබ අතින් සර්පයෙකුට අනතුරක් වෙන්න පුළුවන්. එසේම බියට පත් සර්පයින් අතින් ඔබටත් අනතුරක් සිදුවීමේ ඉඩකඩක් තිබෙනවා. එම නිසා, ඔබේ ගෙවත්ත මායිමේ කුඩා කිරි හට්ටි වැනි භාජන වල මෙම සතුන්ට පානය කළ හැකි අන්දමින් ජලය ස්වල්පයක් තැබීමට හැකි නම් අගෙයි. එමගින් මෙම සතුන් තව දුරටත් ජලය සොයමින් ඔබෙ නිවස දෙසට පැමිණීම වැළකෙනවා පමණක් නොවෙයි, අහිංසක සතෙකුගේ පිපාසය සංසිඳුවා ගැනීමටත් ඔබ උපකාර කළා වෙනවා. කෙසේ නමුත් පැතිරී යන ඩෙංගි උවදුර නිසා, මෙම ජල බඳුන්වල ජලය දිනපතා මාරු කිරීමේ වැදගත්කමත් අමතක කරන්නට බැහැ.

    snakedrinkingwater.png


    roar Sinhala- written by Amanda Abeysooriya


    :):):)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    හොද ලිපියක් මචන්.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සර්පයෙක් ගෙදරට ආවොත් උගේ පුල්ලි ගනන් කර කර ඉන්නේ නෑනේ. බැරි වෙලාවත් ගෙදර ඉන්න මනුස්සයෙක්ට දෂ්ඨ කරොත් කියන බයට කෙලලා අරිනවා. කව්රු උන්ත් එහෙම තමයි. මේ ලිපිය ලියපු කෙනා උනත් එහෙම වෙන්න පුළුවන්. මොකද සර්පයාගේ පුල්ලි ගනන් කර කර ඉන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. මොනවා උනත් අපරාදයක් විෂ නැති සත්තු උනත් මරන්නේ..Anyway thanks for share.. REP+
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොද ලිපියක් මචන්.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සර්පයෙක් ගෙදරට ආවොත් උගේ පුල්ලි ගනන් කර කර ඉන්නේ නෑනේ. බැරි වෙලාවත් ගෙදර ඉන්න මනුස්සයෙක්ට දෂ්ඨ කරොත් කියන බයට කෙලලා අරිනවා. කව්රු උන්ත් එහෙම තමයි. මේ ලිපිය ලියපු කෙනා උනත් එහෙම වෙන්න පුළුවන්. මොකද සර්පයාගේ පුල්ලි ගනන් කර කර ඉන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. මොනවා උනත් අපරාදයක් විෂ නැති සත්තු උනත් මරන්නේ..Anyway thanks for share.. REP+

    ඔව් ඒක ඇත්ත.
    අපේ මිනිස්සු සත්තුන්ට හොය හොයා නෙ ෂො⁣ට් එක දෙන්නෙ.
    ඒ වගෙ වෙලාවක විස රහිත සර්පයො අදුර ගන්න මේක උදව් වේවි..
    Thanks bro..!
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    tfs mchan :)

    photo tika tikak piliwelata haduwanam hari naththam waradiyata kiyawala kawuru hari marenawa :lol:
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මෙම සතුන්ට පානය කළ හැකි අන්දමින් ජලය ස්වල්පයක් තැබීමට හැකි නම් අගෙයි. එමගින් මෙම සතුන් තව දුරටත් ජලය සොයමින් ඔබෙ නිවස දෙසට පැමිණීම වැළකෙනවා පමණක් නොවෙයි, අහිංසක සතෙකුගේ පිපාසය සංසිඳුවා ගැනීමටත් ඔබ උපකාර කළා වෙනවා. කෙසේ නමුත් පැතිරී යන ඩෙංගි උවදුර නිසා, මෙම ජල බඳුන්වල ජලය දිනපතා මාරු කිරීමේ වැදගත්කමත් අමතක කරන්නට බැහැ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,273
    113
    ha ha kakul deka wateta balenawa bn meka kiyawanakota. :lol:
    ela good post.
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මෙම සතුන්ට පානය කළ හැකි අන්දමින් ජලය ස්වල්පයක් තැබීමට හැකි නම් අගෙයි. එමගින් මෙම සතුන් තව දුරටත් ජලය සොයමින් ඔබෙ නිවස දෙසට පැමිණීම වැළකෙනවා පමණක් නොවෙයි, අහිංසක සතෙකුගේ පිපාසය සංසිඳුවා ගැනීමටත් ඔබ උපකාර කළා වෙනවා. කෙසේ නමුත් පැතිරී යන ඩෙංගි උවදුර නිසා, මෙම ජල බඳුන්වල ජලය දිනපතා මාරු කිරීමේ වැදගත්කමත් අමතක කරන්නට බැහැ.

    Yep machan...!