උළුහාල්වලින් හදන දියවැඩියාව නසන බෙහෙත

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උළුහාල්වලින් හදන දියවැඩියාව නසන බෙහෙත

    උළුහාල්වලින් හදන දියවැඩියාව නසන බෙහෙත


    මුළුතැන්ගෙයි අපි භාවිතයට ගන්නා කුළුබඩුවලින් උළුහාල්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එහි ඇති විශේෂිත වූ සුවඳ නිසා ආහාර රුචිය ඇතිකරන රසකාරක ද්‍රව්‍යයක් සේම රෝග ගණනාවකට සුවදෙන ඔෟෂධීය ද්‍රව්‍යයක් ලෙසත් උළුහාල් නිතර ආයුර්වේදයේදී ප්‍රයෝජනයට ගැනෙනවා.

    දියවැඩියාව, කොලෙස්ටරෝල්, වාත රෝග, හන්දි රෝග ආදී රෝග සඳහා මෙන්ම කිරි දෙන මවුවරුන්ගේ කිරි ප්‍රමාණය වැඩිකර ගැනීමටත් විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් උළුහාල් නිතර භාවිත කෙරෙනවා. බොහෝ දෙනා කුළුබඩුවක් ලෙස පමණක් සලකන උළුහාල්වල ඇති ඔෟෂධීය ගුණය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා තිබෙන දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය විස්තර කළා.

    "උළුහාල් දේශීය වෙදකමේ නිරන්තර භාවිතයට ගන්නා ද්‍රව්‍යයක්. උළුහාල් අපේ රටේ වගා කරන කුළුබඩුවක් නොවෙයි. එය බොහෝ වෙලාවට වගා කරන්නේ ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල. නමුත් උළුහාල් අපේ රටේ ඕනෑම පසක වගා කළ හැකියි. බොහෝ විට ඉන්දියාවේදී උළුහාල් කොළ ඔෟෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා. සීත කාලෙට ඇඟ උණුසුම් කරන ද්‍රව්‍යයක් ලෙසත් උළුහාල් ප්‍රසිද්ධයි."
    කථිකාචාර්ය හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි උළුහාල් ලොව බොහෝ රටවල භාවිතයට ගැනෙන ඔෟෂධයක්.

    සම්පූර්ණ ශාකය ඔෟෂධයක් ලෙස භාවිතයට ගැනුණත් එය ශ්‍රී ලංකාවේදී වගා නොකෙරෙන නිසා මෙරටදී ඔෟෂධ වශයෙන් භාවිත කෙරෙන්නේ උළුහාල් ඇට පමණයි. විශේෂයෙන් උළුහාල්වල ඇත්තේ තිත්ත කටුක රසක්. උළුහාල්වල විටමින් ඛ් ද අන්තර්ගතයි.

    "උළුහාල් කියන්නේ වාත රෝගවලට ඉතා හොඳ ආහාර අරුචිය නැති කරන බඩගින්න වැඩි කරන ද්‍රව්‍යයක් බව.
    මෙහි බීජවල තියෙන ඔෟෂධීය ගුණය තමා බීජවල ඇති වේදනා නාශක ගුණය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට ගම්වල ඉන්න වයස්ගත අය උළුහාල් සුදුලූනු තම්බලා වාත අමාරුවට බොන්නේ. ඒ වගේම උළුහාල් කියන්නේ ඉතා හොඳ ප්‍රදාහ නාශක ද්‍රව්‍යයක්.

    ඇඟේ තියෙන ඉදිමුම, රතුවීම, වේදනාව වගේ ප්‍රදාහ ලක්ෂණවලට හොඳ බෙහෙතක් ලෙස උළුහාල් භාවිත කෙරෙනවා. විශේෂයෙන් උළුහාල් ඇල්වතුරෙන් අඹරලා හන්දිවල පැලැස්තරයක් ලෙස ඇලවීමෙන් එහි ඇති ප්‍රදාහ නාශක ගුණයෙන් හන්දි අමාරුව හොඳ වෙනවා. සමහර වෙලාවට ශරීරයේ සැරවගෙඩි, තුවාල වගේ හැදුනහමත් අපි බාහිරින් උළුහාල් ආලේප කරනවා.
    උළුහාල්වල තිබෙන තවත් විශේෂිත වූ ලක්ෂණයක් තමා මෙය කිරිදෙන අම්මලාගේ කිරි ප්‍රමාණය වැඩිකර ගැනීමට භාවිත කිරීම. බොහෝ වේලාවට ඒ සඳහා පොල්කිරි කැඳ හදලා ඒකට උළුහාල් ටිකක් මිශ්‍ර කරලා කිරිදෙන අම්මලාට බොන්න දෙනවා.

    ඒ වගේම කිරි දෙන අම්මලාගේ කෑමටත් උළුහාල් එකතු කරගන්න පුළුවන්. පාන්පිටි කෝප්ප එකකට උළුහාල් මේස හැඳි එකක් මිශ්‍ර කරලා එළඟිතෙල්වලින් කබලේ බැදගෙන සීනි වතුර දාලා අග්ගලා වගේ වෙරළු ගෙඩියක ප්‍රමාණයේ ගුළි හදලා දවසකට දෙපාරක් කිරිත් එක්ක ඒ අයට බොන්න දෙන්න පුළුවන්. ඒ වගේම බබෙක් හම්බුණ අම්මා කෙනෙක්ගේ ඇතිවන පිට කොන්දේ වේදනාවට උළුහාල් තේ හැඳි භාගයක් උක් හකුරු එලඟිතෙල් එක්ක මිශ්‍ර කරලා කෑමට දෙනවා."

    උළුහාල් රෝග රැසකට ප්‍රතිකාර දෙන ප්‍රබල ඔෟෂධීය ද්‍රව්‍යයක් බව කථිකාචාර්ය හැරපත්දෙණිය මහත්මිය පැවැසූ පරිදි දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. උළුහාල්වල ඇති ඔෟෂධීය ගුණය සේම එය රූපලාවණ්‍ය කටයුතු සඳහාත් භාවිත කිරීමට පුළුවන්.

    මුහුණ ලස්සන කිරීමට පමණක් නොව හිස්හොරි ඉවත්කර හිසකෙස්වලට අමුතු ආකර්ෂණයකුත්, උළුහාල්වලින් ලබාදෙනවා. ඒ පිළිබඳවත් හැරපත්දෙණිය මහත්මිය අපිට පැහැදිලි කළා.

    "බොහෝ වේලාවට හිස්හොරි ඉවත් කර ගැනීම සඳහා උළුහාල් හොඳ ද්‍රව්‍යයක්. උළුහාල් කපාපු දෙහි කෑලිත් එක්ක තම්බලා තලපයක් වගේ හදලා පැයක් විතර තියලා නාන්න ඕනෑ. මෙය කීප දවසක් කරපුවාම හිසකෙස්වල තියෙන හිස්හොරි ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම උළුහාල් කුඩු තේ හැඳි දෙකක් රෑට වතුර එකකට දාලා තියලා ඒකෙන් උදේට ඔළුව හෝදපුවාම හිසකෙස්වල ඇති දිළිසෙන ගතිය වැඩි වෙනවා.
    ස්ක්‍රබ් එකක් විදිහටත් උළුහාල් පාවිච්චි කරන්න පුළුවන්. මුහුණේ තියෙන මැරුණු සම මේ මඟින් ඉවත් කළ හැකියි. උළුහාල් කුඩු තේ හැඳි එකක් කඩල පිටි මේස හැඳි දෙකක් එක්ක මිශ්‍ර කරලා තලපයක් වගේ හදලා පැයකින් වගේ හෝදපුවාම සමේ තියෙන රැලි වැටුණ ගතිය නැතිවෙලා මුහුණට අමුතු පැහැපත් ගතියක් ලබා දෙනවා.

    උළුහාල් දැනට විද්‍යාත්මක පර්යේෂණ බොහොමයකට භාජනය වෙනවා.
    එහිදී හඳුනාගත් විශේෂිත ගුණයක් තමා උළුහාල් දියවැඩියාවට විශේෂිත ඔෟෂධයක් බව. මෙහිදී ඉන්සියුලීන් ස්‍රාවය කිරීම සඳහා උළුහාල්වලට බලපෑම් කරන්න පුළුවන්. උළුහාල් කුඩු තේ හැඳි 2ක් එක දිගට දින 15ක් විතර පාවිච්චි කරපුවාම රුධිරයේ තියෙන සීනි ගතිය අඩුවන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම රුධිරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කිරීමට හෙවත් කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් උළුහාල් කුඩු දිනකට තේ හැඳි භාගයක් පාවිච්චි කිරීමෙන් පුළුවන්.

    උළුහාල්වලින් කර තිබෙන විද්‍යාත්මක පර්යේෂණවලින් තව සොයාගත් දෙයක් තමා මධ්‍යසාර භාවිතයෙන් මොළය, අක්මාව වගේ ඉන්ද්‍රියන්ට වන හානිය තරමක් පාලනය කළ හැකි බව. ඒ වගේම ශරීරයට ප්‍රතිශක්තිකරණ හැකියාව ලබාදෙන ද්‍රව්‍යයක් ලෙසත් උළුහාල් හඳුනාගෙන තිබෙනවා. උළුහාල් ආහාරයට ගැනීමෙන් පිළිකා, මුත්‍රා ගල් හැදීමේ හැකියාව අඩුවන බවත් නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.

    අනුරාධ සැමුවෙල්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,321
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං