අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three)

    අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three)

    1188125977_9c9c30cb7a_o.jpg


    අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ, පළමු වැනි සහ දෙවැනි කොටස් වලින් පසුව මෙම කොටසේදීත්, වෑල්ව් රේඩියෝ සම්බන්ධ තවත් තොරතුරු සහ, රේඩියෝවට තැටි ධාවන යන්ත්‍රය සම්බන්ධවීම ඇතුළුව, තවත් කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී, මා සෑම දෙයක්ම හැකිතරම් කෙටියෙන් තමයි කියන්නේ. එයට හේතුව මේ ලිපි මාලාව සඳහා මා සොයාගත් කරුණු රාශියක් තිබීමයි.
    වෑල්ව් රේඩියෝවක ඇතුළට ඔබව ගෙනගියොත් හොඳයි කියලා මට හිතුනා. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා.


    inside-1.jpg


    සමහර අයට නම් මෙය මහා සංකීර්ණ ලෙස පෙනෙනවා ඇති. ඒ ගැන නොසතුටු වෙන්න එපා. වෑල්ව් රේඩියෝ එකක ඇතුල මෙන්න මේ වගේ කියන අදහස ඔබට ඇතිවුනා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය අයට පින්තූරය මත ක්ලික් කර විශාලනය කර බලන්නත් පුළුවන්.
    මේ රේඩියෝ වල පරිපථයේ කොටස් අමුණා තිබුන ආකාරය අදනම් ඔබට සිනහ උපදවන බව මට හොඳටම විශ්වාසයි අපි දන්නවා, අද කාලයේ සියලුම ඉලෙක්ට්‍රොනික පරිපථ, පරිගණක මගින් පාලනය වන රෝබෝ යන්ත්‍ර මගින් එකලස් කෙරෙන බව. නමුත් මේ වෑල්ව් රේඩියෝ වල සියලුම කොටස් කාර්මිකයන් විසින් අතින්ම එකලස් කරනලද ඒවායි. 1960 දශකයේ අග භාගයේදී විතර තමයි මම පළමු වරට මුද්‍රිත පරිපථ (Printed Circuit) දැක්කේ. මෙන්න බලන්න වෑල්ව් රේඩියෝ වල පරිපථයේ කොටස් අමුණා තිබුන ආකාරය.


    img_20120118_235248.jpg


    එකම ජංජාලයක් නේද? නමුත් පුදුම වැඩේ කියන්නේ මේ සඳහා පරිපථ සටහනක් ද සකස් කර තිබීමයි. ඒ වගේම එක රේඩියෝ එකක කොටස් ටික පාස්සන්ඩ ඊයම් ලොරියක් විතර යන්න ඇති වොට් 60 ක විතර බවුත් අවශ්‍යයි මේ කොටස් පාස්සන්න. නමුත් මේ රේඩියෝ ඉතා හොඳින් ක්‍රියාකල බව අමතක කරන්න එපා.
    දැන් වෑල්ව් රේඩියෝ එළියෙන් බැලුවා ඇතුළෙන් බැලුවා ඊළඟට බලමු මේ රේඩියෝ සඳහා යොදපු ඒරියල් එක ගැන. අපි අද ඇන්ටෙනා කියන වචනය පාවිච්චි කලත් ඒ කාලේ වචනය තමයි ‘ඒරියල්’ එක. මේ රේඩියෝ වලට අද කාලයේ තිබෙන රේඩියෝ වලට මෙන් ප්‍රබලව සංඥා ග්‍රහණය කරගැනීමේ හැකියාවක් නැහැ. එයට තවත් හේතුවක් තමයි ඒ කාලේ අද තරම් ප්‍රබල විකාශනාගාර සෑම තැනම පාහේ නොතිබීම. ඒ නිසා ඉතා දිග කම්බියක්, (මෙය සිහින් පොටවල් කීපය එකට අඹරා සැකසූ තඹ කම්බියක්) පොළොවට අඩි 40 ක් පමණ උසින්, අඩි 60 – 70 ක් පමණ දිගට සවිකළ යුතුයි. මේ ඒරියල් ඒ කාලේ රේඩියෝ ගන්න කඩෙන්ම ගන්න පුළුවන්. (වෙනමම මිලදී ගතයුතුයි) පොල් ගස් කොස් ගස් වගේ උස ගස් දෙකක තමයි ඒරියල් එක බඳින්නේ. ඒරියල් කම්බියේ හරි මැදින් තව කම්බියක් පාස්සලා තියනවා. ඒ කම්බිය රේඩියෝ එකේ ඒරියල් සොකට් එකට සම්බන්ධ වෙනවා. ඒරියල් කම්බිය එය බඳින ගස්වල ගෑවෙන්න බැහැ. එහෙම වුනොත් තරංග ලබාගැනීමට බාධා වෙනවා. ඒ නිසා ඒරියල් කම්බියේ දෙකෙළවර පිඟන් මැටි වලින් සෑදු කුසන්නායක/පරිවාරක Ceramic nonconductors දෙකක් යොදවා තිබෙනවා. ගහට බඳින කම්බිය එහි එක සිදුරකට සවිවන අතර අනික් සිදුරෙන් ඒරියල් කම්බිය රිංගවා බඳිනවා. මෙන්න ඒ කාලේ ඒරියල් බැඳිල්ල.


    coconut01l.jpg


    ඒ කාලේ මෙහෙම ඒරියල් එකක් බැඳලා තියනවා කියන්නේ, දැන් සැටලයිට් ඇන්ටෙනා එකක් හයි කරලා තියනවා වගේ තමයි. 😀 මුළු ගමම දන්නවා ආ…..අන්න අර ගෙදර රේඩියෝ එකක් තියනවා කියලා.
    අර කුසන්නායක සහ ඒවා තුල වයර් සවිකරන හැටි පහත දක්වනවා


    3egg_small1.gif


    මේවා අදටත් සමහර අවස්ථාවල පිටකොටුවේ පරණ රේඩියෝ කෑලි බිම දාගෙන විකුණන වෙළෙඳුන් ළඟ තිබෙනවා මා දැක තිබෙනවා.
    ඒරියල් එක නිකම්ම රේඩියෝවට හයි කරන්න බැහැ. අකුණු අනතුරු සිදුවෙන්න පුළුවන්. එයින් ගැලවෙන්නේ විශේෂ ඒරියල් ස්විච් එකක් ආධාරයෙන්. මේ ස්විච් එකත් ඒරියල් එක සමග වෙනම මිලදී ගතයුතුයි. ස්විච් එක හයිවෙන්නේ බිත්තිය මතුපිට. (රේඩියෝ එක තියන තැන ළඟම) එය අඟල් 5 ක් පමණ දිග, අඟල් බාගයක් පමණ පළල ප්ලාස්ටික් පාදමක සවි කළ, ලෝහ ටර්මිනල් තුනකින් යුක්තයි. උඩම තිබෙන ටර්මිනල් එකට රේඩියෝ එකේ ඒරියල් සොකට් එකේ සිට එන වයරය සවි වෙනවා. මැද තිබෙන ටර්මිනල් එකට, අර ගස් දෙකේ බැඳපු ඒරියල් වයරය එනවා. පහළින්ම තිබෙන සොකට් එකට අර්ත් වයරය හෙවත් (අද අපේ නිවෙස්වල විදුලි බලය සඳහා සවිකරන ආකාරයට සමානව භූගත කළ) භූගත කම්බිය සවි වෙනවා. විදුලි කොටන වෙලාවට රේඩියෝව ක්‍රියා විරහිත කර, ඒරියල් ස්විච් එක පහළට දානවා. එවිට රේඩියෝව පොළොවට සම්බන්ධවී ආරක්ෂා වෙනවා.


    2374926-glass-vacuum-radio-tube-isolated-image-on-white-background.jpg


    අනේ ඒ කාලේ මිනිස්සු රේඩියෝ එක අහන්න මොන තරම් දුකක් විඳින්න ඇද්ද නේද? මොනවා කරන්නද ඒ කාලේ එහෙමයි. මේ කාලේ මෙහෙමයි. තව දෙයක් මතක්වුනේ දැන්. මේ රේඩියෝ වල මුහුණතේ (Dial) බොහෝවිට දැන් තිබෙන ඇනලොග් රේඩියෝ වල මෙන් විකාශන සංඛ්‍යාත ඉලක්කමෙන් සඳහන්ව තිබුණේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ ගුවන්විදුලි ප්‍රචාරක ස්ථානය අයිති රටේ හෝ නගරයේ නම තමයි සඳහන් වුනේ. මේ බලන්න එවැනි මුහුණතක්.


    loewe_skala.jpg


    මේ පින්තූරය මත ක්ලික් කර බලන්න එවිට පැහැදිලිව පෙනෙයි. මෙසේ කලේ ඇයි? එකල විසූ ජනතාවගෙන් බහුතරයකට, සංඛ්‍යාත ඔස්සේ ගුවන්විදුලිය අදාළ වැඩසටහන් වලට යොමුකරගනීමට දැණුම තිබුනේ නැහැ. ඒ නිසා අකුරු කියවාගෙන ප්‍රචාරක ස්ථාන තෝරාගැනීමටයි මෙහෙම කර තිබෙන්නේ.
    පස්ස පැත්තත් බලමුද? රේඩියෝ එකේ, රේඩියෝ එකේ. වැරදි අවබෝධ ඇතිකරගන්න එපා පස්ස පැත්ත කිව්ව ගමන්.


    rear-view.jpg


    ඇතුළේ තියන තව කොටස් තුනක් ගැන කරුණු කියන්න තියනවා. ඒවා නොකිව්වොත් ලොකු අඩුවක්. ඒ තමා ඩයල් කෝඩ් එක, මැජික් අයි එක සහ ටියුනිං කන්ඩෙන්සරය.
    පැරණි ගුවන්විදුලි යන්ත්‍ර වල ගුවන්විදුලි සේවා (වැඩසටහන්) (ඒ කාලේ අර ‘නාලිකා’ කියන එක්කෙනා ඉපදිලාවත් නෑ අනේ. අපි මීටරය කරකවා සේවාවන් තෝරාගැනීම තමයි කලේ)තෝරාගැනීම සඳහා අතින් කරකැවිය යුතු රවුම් බොත්තමක්නේ තිබුනේ. තවමත් ඒ ක්‍රමයට අනුව ක්‍රියා කරන ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. මේ සඳහා සිහින් ලනුවක් (සමහර ගුවන්විදුලි යන්ත්‍රවල, අපි කරේ දාන චේන් එකක් වැනි, සිහින් බයිසිකල් චේන් එකක් වැනි චේන් එකක් තිබුනා) රෝද/කප්පි ක්‍රමයකින් ක්‍රියාත්මක වෙනවා. එහි සටහනක් පෙන්වන්නම්.


    dial-cord-1.jpg


    මේ ඩයල් කෝඩ් එක ගුවන්විදුලි යන්ත්‍රයක සවිකර තිබෙන්නේ කොහොමද කියලා දැන් බලමු.


    fve0qn3fmza9vxt_large.jpg


    සමහර ගුවන්විදුලි යන්ත්‍රවල අර අතින් කරකවන කූරට ප්ලයි වීල් එකක් සවිකර තිබුනා. එවිට අතට හොඳ බර ගතියක් දැනෙනවා. එමෙන්ම සුසර කිරීම පහසුයි.
    අපි දැන් පාවිච්චි කරන ගුවන්විදුලි යන්ත්‍රවල තරංගමාලා සහ සංඛ්‍යාත (Wave Bands and Frequencies) තෝරාගැනීම සම්පූර්ණයෙන් සංඛ්‍යාංක (Digital) ක්‍රමයටයි සිදුවෙන්නේ. නමුත් ඒ කාලේ තිබුනේ ප්‍රතිසම (Analog) ක්‍රමයටයි. සංඛ්‍යාත තෝරාගැනීම සඳහා යොදාගත් උපකරණය බොහොම විශාලයි එට හැඳින්වුණේ ටියුනිං කන්ඩෙන්සරය කියලයි. එය සැකසී තිබුනේ තුනී ලෝහ තහඩු පද්ධති දෙකක් ලෙස. එක පද්ධතියක් නිශ්චලව තිබියදී අනෙක් පද්ධතිය එහි අක්ෂය මත කරකැවෙනවා. අපි සංඛ්‍යාත වෙනස් කිරීම සඳහා අර අතින් කරකවන රෝදය කරකවන විටයි මේ තහඩු පද්ධතිය කරකැවෙන්නේ.


    tuning_capacitor.jpg


    ඒ කාලේ රේඩියෝ වල අපේ සිත තදින් පැහරගත් දෙයක් තමයි මැජික් අයි නමැති වෑල්ව් එක. අද අපි පාවිච්චි කරන ගුවන්විදුලි යන්ත්‍ර වල ශබ්ද ගුණය විශ්ලේෂණය කර පෙන්වන එල්.ඊ.ඩී. දර්ශක තිබෙනවා (Spectrum Analyzer) නමුත් ඒ කාලේ තිබුනේ මේ මැජික් අයි එක පමණයි. හැබැයි සෑම වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍රයකම මෙය තිබුනේ නැහැ. මැජික් අයි එකත් වෑල්ව් එකක්. එයින් කොළ/නිල් ආලෝකයක් විහිදුනා. නමුත් හරියටම සංඛ්‍යාතය අනුව අඩු වැඩි වීමක් තිබුනේ නැහැ. ඇත්තටම මෙම වෑල්වය ක්‍රියා කලේ වෙනස් වන සංඛ්‍යාත මට්ටම සහ හඬ තීව්‍රතාවය සමබර මට්ටමක පවත්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි. මුලින්ම පෙන්නන්නම් මේ වෑල්වය රේඩියෝවක සවිකර තිබුන ආකාරය පිටතින් සහ ඇතුලතින් පෙනෙන හැටි.

    Tw2agh.jpg


    මේ පහත තිබෙන රූප වලින් පෙන්වන්නේ මැජික් අයි වෑල්ව් එකේ බාහිර පෙනුම මොන වගේද කියලා.


    1sJ5pZ.jpg



    මෙන්න බලන්න මැජික් අයි එක පත්තු වෙනකොට පෙනෙන්නේ කොහොමද කියලා. හැබැයි ඉහත රූප වල තියෙන්නේ මීට වඩා වෙනස් රටා වලට අනුව පත්තුවෙන මැජික් අයි.


    6ZE11.GIF


    eye-tube1.jpg


    වෑල්ව් රේඩියෝ ගැන කතාවට අදාළ තවත් දෙයක් තියනවා ඒ තමයි ඒ කාලේ පාවිච්චි කල වෑල්ව් වලින් ක්‍රියාකළ ශබ්ද විකාශන උපකරණ. (Amplifiers) අපි පාසලේ පහළ පන්තිවල හිටිය 1960 දශකයේ, දැන් වගේ මහා සංගීත සංදර්ශන පැවැත්වුනේ ඉතා කලාතුරකින්. (හැබැයි අපිනම් අප්පුඩි ගැහුවේ ඔරිජිනල් කලාකරුවන්ට මිසක් ඔවුන්ගේ ගීත ගයන අනුකාරක පුස්සන්ට නෙවෙයි) ඉතින් මේ සංගීත සංදර්ශනය පැය දෙකක් විතර පැවැත්වූවාට පසු, නිවේදකයා කියනවා, ‘නෝනාවරුනි මහත්වරුනි, අපේ ශබ්ද විකාශන යන්ත්‍ර හොඳටම රත්වෙලා, ඒ නිසා පොඩි විවේකයක් අවශ්‍යයි’ කියලා. කිසිම හූවක්, විසිල් එකක්, අපහාසයක්, නොකර මිනිස්සු නිහඬව ඉන්නවා, නැවත පටන්ගන්නා තුරු.


    HpdYx9.jpg


    වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර වල දියුණු අවස්ථාවක් පහත රූපයෙන් පෙන්වනවා. මෙය ස්ටීරියෝ ක්‍රමයේ යන්ත්‍රයක්. බෆල් ස්පීකර් සහිතයි.

    trio01.jpg


    වෑල්ව් රේඩියෝ කතාව මෙතනින් අවසන් කරලා ඊළඟ කොටසට යන්නයි හදන්නේ. මිනිසා කියන සතා කවදාවත් එක දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැනේ. ඉතින් රේඩියෝ එක විතරක් මදි. රේඩියෝ එකේ යන සින්දු, තමන් කැමති කැමති වෙලාවට අහන්න ක්‍රමයක් ඕනේ වුනා. ඒ සඳහා ඒ කාලේ තිබුනා රෙකෝඩ් ප්ලේයර්. මෙය ග්‍රැමෆෝනය මෙන් යාන්ත්‍රික ශක්තියෙන් නොව, සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා කරන්නක්. ඒ කියන්නේ, තැටිය විදුලි බලයෙන් ධාවනය වන අතර, ග්‍රැමෆෝනයේ තිබුණු ඉදිකටුව වෙනුවට මෙහි යොදා තිබෙන්නේ වැඩි දියුණු කල ‘පිකප් හෙඩ්’ නමැති උපාංගයයි. යන්ත්‍රය ඇතුලතම සවි කල ශබ්ද විකාශනයෙන් උපදවන හඬ යන්ත්‍රයේම ඇති ස්පීකරයෙන් අහන්න පුළුවන් වුනා. මේවා බැටරි බලයෙන්ද ක්‍රියා කළහැකි ලෙසත් නිපදවා තිබුනා. පහත දැක්වෙන්නේ එවැනි තැටි ධාවන යන්ත්‍රයක්.

    hotrightnow_crosley-record-player.jpg


    ඉතින් මොකද වුනේ. මේකත් මදිවුණා මිනිසාට. ඔහුට ඕනෙවුනා රේඩියෝවත් තැටි ධාවන යන්ත්‍රයත් එකම පද්ධතියක්. (setup) ලෙස පාවිච්චි කරන්නට. ඒ සඳහා නිපදවන ලද උපකරණය හැඳින්වුණේ ‘රේඩියෝග්‍රෑම්’ (Radiogram) නමින්. එය ඉතා සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසයි සැලකුනේ. ඉතා ධනවත් නිවෙස්වල පමණයි මෙය දකින්නට ලැබුනේ. මේ යන්ත්‍රයේ ඇති තැටි ධාවන යන්ත්‍රයට එකවර තැටි කීපයක් යෙදිය හැකි අතර එක තැටියක් ධාවනයවී අවසන් වූ පසුව ස්වයංක්‍රීයව ඊළඟ තැටිය ධාවනයට යොමුවුනා. මේ තියෙන්නේ රේඩියෝග්‍රෑම් එකක පින්තූරයක්. පේනවා නේද මහේශාක්‍ය පෙණුම.

    radiogram.jpg


    මේ යන්ත්‍රයේ හඬ බොහොම උසස් තත්වයක තිබුනා. තවමත් මෙවැනි යන්ත්‍ර කෞතුක වස්තු ලෙස තිබෙනවා.

    අපි අහපු වෑර්ලස් – (හතරවැනි කොටස) – Vintage Radio Sets (Part Four)

    උපුටා ගැනීම jangun.wordpress.com
     
    Last edited: