පපුවේ හතිය/ඇදුම රෝගය සුව කරන ප්‍රතිකාර

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    පපුවේ හතිය/ඇදුම රෝගය සුව කරන ප්‍රතිකාර

    දුව පැන ඇවිදින දරුවකුට හදිසියෙන් පපුවෙ අමාරුවක් හැදුණොත් අප කොයිතරම් බය වෙනවාද? ඔබට ද එවන් මොහොතක් ගැන අත්දැකීම් ඇති. සමහර අවස්ථාවන්වල දරුවා සෙල්ලම් කරද්දීම වේගයෙන් හුස්ම ඉහළ පහළ යවමින් එය යථා තත්ත්වයට පත් කරන්න ගන්නා උත්සාහය නිසා පීඩාවට පත්වෙන අන්දම ඔබ දැක ඇති. මෙලෙස පපුවෙ හතිය කුඩා දරුවන්ට ඇතිවීම භයානක තත්ත්වයක්.
    ඕනෑම වයස් සීමාවකට අදාළව මේ පපුවෙ හතිය හැදෙන්න පුළුවනි. අපි කවුරුත් මේ පපුවෙ හතිය හඳුනන්නෙ “ඇදුම” කියලයි.
    විවිධ බලපෑම් ගණනාවක් මත ඇදුම අපව වැළඳගත්තත් සෙම දෝෂයේ බලපෑම නිසා ඇතිවන පීනස් රෝගය හේතුවෙන් ද ඇදුම රෝගය ඇතිවීමට ඉඩකඩ ඇත. පීනස් රෝගය වැළඳී එයට නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් පීනස වර්ධනය වී ඇදුම ඇති වේ. ඒ අයුරින්ම කැස්සට නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් ද කල්යාමත් සමඟ ඇදුම ඇතිවීමට පුළුවන. කෙසේ හෝ ඔබට ඇදුම ඇත්නම් ඇදුම රෝගයේ වගතුග ගැන අවධානය යොමු කරන්නට මෙවර ඉඩකඩ වෙන් කළෙමු.
    ස්වාස රෝගයක්

    ආයුර්වේදයේ ස්වාස රෝග 5 ක් ඇත. හතිය හෝ ඇදුම ලෙස ඇත්තේ ඉන් එකක් වන තමක ස්වාසයයි.
    මේ සඳහා බලපාන හේතු ගණනාවක් ඇත. එය පාරිසරික හේතු හා වෙනත් හේතු ලෙස වෙන්කරගත හැකියි.
    හතිය හෝ ඇදුම ඇතිවීමට බලපාන හේතු

    මුලින්ම අපි පාරිසරිකව ඇතිවන හේතු දෙස නෙත් යොමු කළොත්, දැකගත හැක්කේ පරිසරයේ පවතින විෂ වායු හා දුම් දූවිලි වැදීම නිසා ඇතිවන අපහසුතාවයි. ඉන් අප ගන්නා ආශ්වාස වාතයේ විවිධ විෂ කොටස් පැවතීම නිසා එය අපගේ පෙණහලුවලට ගොස් විිවිධ අසාත්මිකතා ඇති කිරිමට උත්සාහ කරයි. ඒ විතරක් නොව මුළු ස්වාසනාල පද්ධතියටම හානිදායක විය හැකියි.
    විශේෂයෙන් ඔබගේ නිවස්නය කර්මාන්තශාලාවක් අසල නම් ඉන් පිටවන විෂ දුම, එසේම වාහනවලින් පිටවන විෂ දුමද අපට අහිතකරයි. මෙහිදී ඔබගේ නිවස පාර අද්දර නම් මේ වාහන දුම අතිශය පීඩාවක් වනු ඇත. ඊටත් වඩා ඉන් සිදුවන්නේ ඇදුම වැනි රෝග තත්ත්ව ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි. නිතර නිතර දූවිලි අංශු පාර පුරා විසිරී ගොස් වාහන යාම නිසා වාතය සමඟ එකතු වී අපගේ ආස්‍රාණය වීමෙන් විවිධ අසාත්මිකතාවන්ට ගොදුරු වෙයි.
    දුම විෂ වීමෙන් ඇතිවන අසාත්මිකතාවට

    දුම් අතර සිගරැට් දුම අපට ගෙනෙනුයේ දැඩි අපහසුතාවයක් මෙන්ම රෝගයකට අතවැනීමකි. විශේෂයෙන් ගර්භණී කාන්තාවට සිගරැට් දුම අනතුරු දායකයි. එසේම මදුරු කොයිල් දුම ආඝ්‍රණයවීම නිසා ඇදුම රෝගයට මුල පිරිය හැකියි. ඒ වගේම ඔබ ගෙදර දොරේ පිරිසුදු කරන විට අහුමුළුවල පවතින මල් පෝච්චිවල හෝ වෙනයම් භාණ්ඩයක් පුස් බැඳී ඇත්නම් ඒවා පිසදමන විට දුමාරය සමඟ නිකුත් වන කුඩක් වැනි කුඩා අංශු නාසයට ඇතුල් වී ස්වසනයට බාධා ඇති කළ හැකියි. එය යම් අසාත්මික රෝගයකට හේතු වීමට පුළුවන. මකුළු දැල් කැඩීමේදී ද මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.
    මල්වල පරාග ආඝ්‍රාණයවීමෙන් ඇතිවන්නේ ද මෙවැනිම තත්ත්වයකි. හඳුන්කූරු, මදුරු දඟර, දර ලිප්වල දුම, කුණු රොඩු පිළිස්සෙන දුම පරිසරයට එකතු වීමෙන් ඇතිවන විෂ කොටස් නිසා ඇදුම රෝගය ඔබට ඇතිවීමට පුළුවන.
    අසාත්මිකතා විවිධයි

    ඉහත දැක්වූ හේතු කාරණා එලෙසම සෑම පුද්ගලයෙකුටම එක ලෙස බලපානු ලබන්නේ නැත. සමහරවිට එය යම් පුද්ගලයකුට ඔහුගේ සිරුරේ පවතින ප්‍රතිශක්තිකරණ හැකියාව හා ප්‍රකෘතිය මත මෙම අසාත්මිකතා බලපානු ඇත. මේ තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.
    දේශගුණික හේතූන්ගේ බලපෑම

    දේශගුණයේ යම් වෙනසක් වී ඇත්නම් එය ද ඔබව යම් රෝග තත්ත්වයන් කරා ඇද දමයි. මුහුද අද්දරට ගිය විට දැනෙන ඒ සීත ගතිය වැඩි වෙන්නේ සවස් කාලයේදීයි. මෙහිදී දැඩි සීත නිසා ඔබට යම් අසාත්මිකතාවක් ඇති වීමට පුළුවන. එසේම සීතාධික ප්‍රදේශවල පවතින දේශගුණය යම් අයෙක්ට නොගැළපෙන්නට පුළුවන. නුවරඑළිය වැනි සීතාධික ප්‍රදේශවල වෙසෙන්නන් වියළි ප්‍රදේශයකට ගියවිට ඇතිවන දේශගුණික බලපෑම මත ඔවුන්ට විරුද්ධ දේශගුණික බලපෑම මත අසාත්මිකතා ඇති වී ඇදුම රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙයි.
    ආහාර පාන පිසීමේදී

    කරවල බදින විටදී ඇතිවන දුමත් සමඟ එන කැස්ස සිරුරට එතරම් සුදුසු නැත. ව්‍යාංජන පිසින විටදී තෙම්පරාදු කරන විට ඇතිවන සුවඳ සමඟ එන දුම නිසා ද යම් අසාත්මික රෝග ඇතිවීමට පුළුවන. විසිතුරු සෙල්ලම් බඩුවල නිමැවුම් නිසා අපට හානිකර වන්නේ එහි පවතින වූල් කෙඳිය. මේවා ආඝ්‍රාණය වීම සුදුසු නැත. මේවා නිර්මාණය කර ඇත්තේ ලොම්වලිනි. පුළුන් කොට්ට හරි හැටි නිරාවරණය නොවී තැනින් තැන සිදුරු වී ඇත්නම් ඉන් පිටවන පුළුං නිසා අපට ඒවා ආඝ්‍රාණය වී ස්වාසනාල කරා ගොස් විවිධ අසාත්මිකතා ඇති කරයි. ඒ වගේම ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, පාපිසිවල පවතින දුම් දූවිලි නිසා ද අපගේ ජීවිත මේ අසාත්මිකතාවලින් ගැලවීම පහසු වන්නේ නැත.
    සුරතල් සතුන්

    ඔබගේ ගෙදර දොරේ සිටින ඔබේ සුරතලා පූසෙක් විය හැකියි. නැතිනම් බල්ලෙක් විය හැකියි. මොවුන්ගේ ලොම් සමඟ ආශ්වාස ප්‍රාශ්වාස පහසු නැත. ඒවා අපගේ පෙණහලුවලට ගොස් හෝ ස්වසන පද්ධතියේ කොහේ හෝ රැඳී අපට වින කළ හැකියි. ඒ තුළින් ඇතිවන අසාත්මිකතා බොහෝයි. අවසානයේ ඇදුම තෙක් රෝගය පැමිණේ. එසේම පූසන් බල්ලන් වැනි සතුන්ගේ සිරුරේ පදිංචි කුඩා මයිටාවන් කුඩා දරුවන් ආශ්වාස කිරීම නිසා ද අසාත්මිකතාවන් ඇතිවිය හැකියි.
    රැකියාවන්

    ලී කැටයම් කපන, වෙස් මුහුණු කපන, ලී ඉරන ස්ථානවලදී නිකුත් වන ලී කුඩු වර්ග නිසා ද අසාත්මික රෝගවලට ඔබව ගොදුරුවිය හැකියි. ඇඟළුම් කම්හල්වල රෙදි කපන අයට මේ රෝගය ඇතිවීම සුලබය. තේ කර්මාන්තශාලාවල වැඩ කරන අයට වගේම විශේෂයෙන්ම හුණු කූරු භාවිතා කරන ගුරුවරුන්ට ද ඇදුම ඇතිවිය හැකියි.
    එනම් කළු ලෑල්ල භාවිතා කරමින් පාට පාට හුණුකූරුවලින් උගන්වන ගුරුවරුන්ටය. එසේම අළු හුණු කර්මාන්තශාලාවල වැඩ කරන කම්කරුවන් ද මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.
    ආහාර පාන

    ශීතකළ ආහාර දරුවන් ගැනීමේදී මේ රෝග තත්ත්වය ඇතිවිය හැකියි. එය ඇතිවන්නේ දරුවාගේ සිරුරේ ස්වභාවය මතයි. ඉස්සො, දැල්ලො, බලමාළු, කකුළුවො, චට්නි වර්ග, අච්චාරු, සෝස් වර්ග, විනාකිරි, අන්නාසි, ජාඩි වර්ග සැමන් ලුණු දෙහි, බිලිං, අච්චාරු, හුරුල්ලො, කෙළවල්ලා වැනි මාළු වර්ග හා ගෝනමස්, හරක් මස්, ඌරු මස් ආදිය නිසා ඇදුම ඇතිවීමට පුළුවන.
    ඇදුම රෝගයෙන් දුරස් වන්නට මේ පිළිවෙත් ගැන ඔබ විමසිල්ලෙන් සිටින්න

    දහවල නිදා ගැනීම, රාත්‍රී නිදි වැරීම සුදුසු නැත. ඒ වගේම පින්නේ ඇවිදීම සුදුසු නැත. ස්වසන පද්ධතියටම බලපාන රෝග තත්ත්වයක් බැවින් අව්වට නිරාවරණය වීම හා පින්නේ ඇවිදීමේදී ඒ සඳහා ආවරණයක් පැළඳ සිටීම එම අනතුරින් බේරීමට හොඳම උපක්‍රමයකි.
    පපුවෙ අමාරුව ක්ෂණිකවම ඇති වී මොහොතක්වත් යන්නට මත්තෙන් ඇද වැටී ජීවිත හානි වන අවස්ථා ඔබ දැක ඇති. එවන් අවස්ථාවක් අරභයා මුහුණ පාන්නට වන බොහෝ ගැටලු අභිබවමින් ජීවිතය බේරාගන්නට හැකි නම් අප ලද මහත් භාග්‍යයක් වනු ඇත. මේ පීඩාකාරී තත්තවයට පත්වන්නට පෙර පපුවෙ අමාරු හැදෙන්නට මූලික වූ බොහෝ හේතු ගණනාවක් පවතින බව ඔබ දැනුවත් ද?
    ඇදුම රෝගයේ පැවැත්මට හේතු මූලයන් ගණනාවක් ඇති බව දැන් ඔබ දැනුවත්ය. නමුත් ඇදුම රෝගයට හේතු එසේ ඔබ දැනුවත් වුවත් ඒ සඳහා අවැසි ප්‍රතිකර්ම පිළිබඳව දැනුවත් වීම ද අතිශය ප්‍රයෝජනවත් කාරණාවකි. එබැවින් මෙවර අපගේ විමසුම පපුවෙ හතිය හෙවත් ඇදුම රෝගයේ ප්‍රතිකාර කුමන ආකාරයකින් පවත්වා ගත යුතු ද යන්න ඔබව දැනුවත් කිරීමටයි.
    පපුවේ මහන්සිය වැඩි වීම

    සුරතල් සතුන්ගේ ලොම් ආඝ්‍රාණය වීම, දුම් දූවිලි වැදීම, පින්න, අව්ව, වැදීම වැනි විවිධාකාර හේතු මත පැන නගින පපුවෙ හතිය හෙවත් ඇදුමට පෙන්වන මූලික ලක්ෂණයක් ලෙස මහන්සිය ඇති වීම පෙන්වා දිය හැකියි. රෝගී වූ පසුව ඖෂධ මඟින් ප්‍රතිකාර කරනවාට වඩා හැකිතාක් දුරට නිරෝගීව සිටීමට අප වෙහෙසිය යුතුයි.
    සෙම අධික ලෙස පපුව තුළ ඇති නාලවල පැවතීම මත ආශ්වාස ප්‍රශ්වාස කිරීමට දැඩි අපහසු තත්ත්වයක් මතු වේ. එවිට පයින් ගමනක් යාමේදී හෝ වැඩපලක යෙදීමේදී පපුවට මහන්සිය දැඩිව දැනේ. මේ අපහසුතාවය නිතර රඳවා ගැනීම සිරුරේ පැවැත්මට අගුණය.
    කෙසේ වෙතත් පපුවෙ මහන්සිය ඒම වළක්වා ගන්නට නම් මුලින්ම සෙම තත්ත්වය වර්ධනය වීම වළක්වා ගත යුතුයි. ඒ සඳහා සුදුසු විහරණ රටාවකට අප හුරුවීම වැදගත්ය. මේ තුළින් පපුවෙ හතිය හෙවත් ඇදුමට මූලික ප්‍රතිකාරයක් ලෙස සෙම පාලනය කිරිම හෝ අවම කිරීමට කටයුතු සැලැස්වීම යෝග්‍ය වෙයි. ඇදුම රෝගයෙන් වැළකීමට අප පිළිපැදිය යුතු කරුණු බොහොමයක් ඇත.
    ඊට හේතු වූ කරුණු කාරණාවලින් වැළකීම ප්‍රධාන වෙයි. පපුවෙ මහන්සියක් සමඟින් ම ඉදිරියට එන ඇදුම ස්වසන පද්ධතියට ම බලපායි. නාසය තුළින් පටන් ගෙන අවසානයේ ස්වාස නාලය දිගේ පෙණහලු තෙක් ගමන් කර ඇදුම රෝගය ඇතිවීමට මූලික වෙයි.
    රෝග ලක්ෂණ

    හුස්ම ගැනීමේ අපහසුව, පපුව හිරවීම, හා තද වේදනාව වියලි කැස්ස ඇදුම රෝගයේ දැකිය හැකි මූලික ලක්ෂණ වෙයි. සමහර අවස්ථාවන්වලදී සුදු පාටට සෙම පිටවිම සිදු වේ. ඒවා පැසවපු ස්වභාවයෙන් තොරයි. ඒ සමඟම පපුවෙන් නැඟෙන රාං රූං ශබ්දය ඇදුමේ තවත් පෙනෙන ප්‍රධාන ලක්ෂණයකි. තමා ළඟ අසලින් සිටින්නකුට පවා ඒ හඬ ඇසෙයි නම් එය ඇදුමේ සැබෑම ස්වරූපයයි.
    පෙර සඳහන් කළ පපුවෙ මහන්සිය ඇතිවීම ද මේ සියලු හේතු කාරණා එක්තැන් වූ විට ඇතිවන දෙයකි. බර වැඩ කරන, ව්‍යායාම කරන අයෙකුට මේ පපුවෙ මහන්සිය ඇතිවීම වැලැක්විය නොහැකිය. සීත ගුණ පවතින සෑම ආහාරයක් හා පානයක්ම ගැනීමේදී සැලකිල්ලට යොමු කිරීම මෙහිදී වැදගත් වන්නේ ඔබ ඇදුම රෝගයට ප්‍රතිකාර කරන අයෙක් නිසයි. නමුත් වෙනත් රෝග සඳහා ද සීතල ගුණය ඇති ආහාර වලින් වැලකී සිටීම කළ යුතුයි.
    ප්‍රතිකාර

    පීනස ඇති අය එය නිසිලෙස ප්‍රතිකාර නොකිරීමෙන් ඇදුම රෝගයට පැමිණීමේ හැකියාව ඇත. කැස්ස රෝගයටත් එසේ ප්‍රතිකාර නොකර සිටීමෙන් දීර්ඝකාලීනව ඇදුම රෝගය ඇති වීමේ හැකියාව ඇත. එබැවින් ඇදුම උත්සන්න තත්ත්වයට පත්වන්නට පෙර ඔබ සිටිනුයේ ඇදුම රෝගයේ මුල් අවස්ථාවේ නම් මේ ප්‍රතිකාර කිහිපය ඊට සුදුසුයි.
    * පස්පංගුව තම්බා බීම
    * පාවට්ටා ගහේ පස් පංගුව තම්බා කොටා කුඩු කර උදේ සවස තේ මෙන් වත්කර බොන්න.
    * ඉඟුරු, කොත්තමල්ලි, අරත්ත අල, තිප්පිලි වෙන වෙනම කබලෙ බැද කුඩු කර වත්කර බොන්න.
    * නික කොළ, පාවට්ටා තම්බා දුම් අල්ලන්න.
    * දෙහි කොළ, නික කොළ තම්බා දුම් අල්ලන්න.
    * කොත්මල්ලි සමඟ ඉඟුරු තම්බා දුම් අල්ලන්න.
    පපුවේ හතිය හෙවත් ඇදුමට විශේෂයි

    ජිවත් වීමට කිසිම ලෙඩ රෝගයක් නොමැතිව සිටිය හැකිනම් එය කෙතරම් අගනේ ද? නමුත් ඇදුම වැනි රෝග තත්ත්ව අප කරා පැමිණෙන්නේ අපගේම නොසැලකිල්ලෙනි. ඒ නිසා රෝගයෙන් ඉවත් වෙන්නට නම් අපගේ ජීවන රටාවේ ඇති යම් යම් පැවැත්මන් නිසිලෙස සකසාගත යුතුයි. එනම් විහරණ විධි සැලසුම් සහගත ලෙස පවත්වා ගත යුත්තේ යම්කිසි රාමුවකට ගෙනයි.
    ඒ කියන්නේ සැමදා ම රාමුවකට කොටු වීමක් නොව ඉන් බැහැරව සුදුසු පරිදි රෝගවලට ඔරොත්තු දෙන පරිදි තම ජීවන රටාව සකසා ගැනීමයි. ඒ පිළිබඳ දැනුවත් වීම අප සතු වගකීමක් වෙයි. එවිට බොහෝදුරට හැකිතාක් ලෙඩ රෝගවලින් දුරස් වීමට පුළුවන. ඇදුම රෝගයෙන් දුරස් වන්නට මේ පිළිවෙත් ගැන ඔබ විමසිල්ලෙන් සිටින්න.
    දහවල නිදා ගැනීම, රාත්‍රී නිදි වැරීම සුදුසු නැත. ඒ වගේම පින්නේ ඇවිදීම සුදුසු නැත. ස්වසන පද්ධතියටම බලපාන රෝග තත්ත්වයක් බැවින් අව්වට නිරාවරණය විම හා පින්නේ ඇවිදීමේදී ඒ සඳහා ආවරණයක් පැළඳ සිටිම එම අනතුරින් බේරීමට හොඳම උපක්‍රමයකි. එසේම වායු සමනය කළ ස්ථානවල සිටිමෙන් සෙම් දෝෂය තවත් වර්ධනය විය හැකියි.
    නමුත් වායු සමනය කළ කාමර හා විදුලි පංකා යට සිටීම හෝ භාවිතය සුදුසු නැත. අධික ව්‍යායාම, බයිසිකල් පැදීම වැනි වෙහෙසෙන ක්‍රියා සුදුසු නැත. රැකියාවක් ලෙස සිදු කරන්නේ බර එසවිම නම් වහාම එය වෙනස් කර ගැනීම සුදුසුයි. බර එසවීම ඇදුමට නුසුදුසු ක්‍රියාවකි.
    ආහාර ගැනීම ද සිදු කළ යුත්තේ නිසි ක්‍රමවේදයකටය. හිතුමතේ සීතාධික ආහාර අවේලාවේ ගැනීම සුදුසු නැත. එනම් නියමිත ආහාරවේලට අමතරව උදය වරුව හා සවස් වරුවේ තේ පානවලදී උණුසුම් බීම වර්ග සමඟ උණුසුම් ආහාරයක් ගැනීම සිරුරට වඩාත් උචිතයි. උදා. රණවරා, පොල්පලා, බෙලි මල්, ඉරමුසු වැනි පාන වර්ග හා කුරක්කන් හැලප, අලුවා, අග්ගලා
    ආහාර රටාවේ ද වෙනසක් ඇති කර ගැනිම යහපත්ය. සීතල ගුණ ඇති පලා වර්ගවලින් වැලකී සිටීම සුදුසුයි. උදා. මුකුණුවැන්න, නිවිති, මෑ කරල්, බණ්ඩක්කා, වම්බටු වැනි එළවළු වර්ග හරහා ද අගුණ වේ.
    විරුද්ධව ඇති කරන ප්‍රතිඵලයක්

    ඇදුම ඇති වෙන්නේ සිරුර තුළින්ම ඇතිවන ප්‍රතිඵලයකට විරුද්ධව ඇති කරන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි. මේ සඳහා ඇදුම ඇතිවීමට බලපාන පෙර සඳහන් හේතු මූලික වෙයි. එනම් සතුන්ගේ ලොම්, ආශ්වාසයෙන් ඇතුළු වීම, පින්නේ යාම, අව්වේ යාම, සීතාධික අතර ගැනීම, අවේලාවේ නෑම දුම් දූවිලි වැදීම වැනි හේතුන්ය.
    වැළකීමට

    දිනපතා ස්නානය සුදුසු නැත
    ආවේලාවේ ස්නානය සුදුසු නැත
    දිවා ආහාරයට ප්‍රථම ස්නානය සුදුසුයි
    කුඩා දරුවන්ගේ ඇදුම

    වයස අවුරුදු 10 -12 වයස වනවිට කුඩා දරුවන්ගේ ඇදුම රෝගය ඉබේම මළුමනින්ම නැති වී යයි. නමුත් ඒ ඇති වූ ඇදුම රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම ඉතා වැදගත්ය. එසේ නොමැති නම් ළඟම ඇති රෝහල කරා ගෙන යාම කාලෝචිත වන්නේය.
    කුඩා දරුවන්ට වැඩිපුරම සෙම් රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. නමුත් තරුණ වියට පා තබන විට සෙම් රෝග, ඇදුම හෝ හතිය සෑදීමේ හැකියාව අඩු වී යයි.
    සැලකිය යුතුයි – පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන හේතු විවිධයි.එබැවින් හේතු සියල්ලම එක් පුද්ගලයකුට බලපාන්නේ නැත. ඇදුම ඇත්නම් එය නොසලකා හැරිය යුතු නැත. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
    බොරැල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම්
    උපුටා ගැනීමකි...
     
    Last edited:

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif