ගමේ ගිය හැටි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙනකන් බලාගෙන ඉන්නේ ආච්චිලා සීයලා, සහ තාත්තගේ පැත්තේ නෑදෑයෝ ඉන්න සෑහෙන දුෂ්කර පළාතක් වෙච්ච ලංකා සිතියමේ අනිත් කෙලවරේ තිබුණ ගමේ ගිහින් එන්න.. ඉස්සර ඒ ගමන සෑහෙන දුෂ්කර එකක්.. කොටි කලබල තිබුණ දවස්වල උදේ 5ට පිටකොටුවෙන් පටන් ගන්න අම්පාර බස් එකට ගොඩ උනාම ආයේ බස් එකෙන් බහින්න වෙන්නේ හවස 5ට.. පැය දොළහක බොහොම අසීරු ගමනක් ඒක..

    i1i3fyl.jpg


    ඒ ගමන කොච්චර දුෂ්කර උනත්, අවධානම් උනත් මම ඒ ගමනට පුදුම විදිහට ආස කළා
    උතුරු නැගෙනහිර කොටි කලබල තියෙන කාලේ තාත්තා අපි එක්ක ගමේ යනවා කිව්වාම ආච්චිගේ (අම්මගේ අම්මා) ඇස්වලින් කඳුලු පවා එන්නේ "මේ පොඩි එකාවත් අරගෙන ඔච්චර දුර යන්නේ ඇයි?" කියන ප්‍රශ්නෙත් එක්කයි.

    එහෙ ඉන්න නෑදෑ පරපුරම කොළඹ ඇවිත් අපිව බලලා යනවා ඉඩක් ලැබුණ ගමන්ම..ඒත් අපි කොටින්ට භයේ එහේ යන්නේ නැතුව ඉන්නවා.. ඉතින් ගම පෙන්නන්න, නෑයෝ බලන්න යන්න අපේ තාත්තා අම්මවයි මාවයි එක්කගෙන අම්පාරේ ගියා..

    මම එතකොට ඉස්කෝලෙ 6 වසරේ වගේ ඇති.. උදේ 4ට මාලබේ ඉඳල පිටකොටුවට ගිහින් පාන්දර 5ට කොළඹින් අම්පාරට පිටත් වෙන බස් එකේ අපිත් වාඩි උනා.. සීට් පේළි තුනක් හයි කරපු එච්චර දිග බස් එකක් මම දැක්කමයි.. රත්නපුර පහු උනාට පස්සේ ඇඹිලිපිටිය, තහනම් නීතියට මල් පිපෙන තණමල්විල, මොණරාගලට එනකන් ඉද්ද ගැහුවා වගේ කෙලින් පාර.. හැබැයි දැන් වගේ කාපට් අතුරපු පාරවල් වගේ නෙමෙයි. සෑහෙන වල්වල් එහෙම පිරුණු කඩතොලු වෙච්ච තාර පාර..

    2R41Mpr.jpg


    Fk5dW2a.jpg


    බස් එකේ සෙනග සීට් ගාණටම වගේ නිසා පාර පැහැදිලිව පේනවා.. උදේ හවස උපරිම තුන්වෙනි ගියර් එකට විතරක් මාරු වෙවී කොට කොට බස් එකේ ඉස්කෝලෙ ගියපු මට කෙලින් පාර දිගේ පැයට කිලෝමීටර් 80- 90ක වේගෙන් යන බස් එක පෙනුනේ නිකන් කොන්කෝඩ් ජෙට් එකක් වගේ.. හැමෝම වීදුරු බාගෙට ඇරගෙන ගියේ ඒ යන වේගෙට ජනේලයක් අරිනවා කියන්නේ අගේට පීරල තියෙන කොණ්ඩේ මයිකල් ජැක්සන් කොණ්ඩෙටත් වැඩිය ලස්සනට හුළඟට ගහගෙන යන නිසාද මන්දා.. ඒවුනත් ජීවිතේට විඳපු නැති ආතල් එකක් ගන්න හිතුන නිසා මම ජනේලේ උපරිමටම ඇරලා දැම්මා.. වටේ පිටේ හිටිය ගෑනු උදවියට පවා හීක් ගෑවෙන විදිහේ තද හුළං පාරක් ඇතුළට ආව නිසාත්, කීප දෙනෙක් අපි දිහා කන්න වගේ බලපු නිසාත් තාත්තා හිමීට ජනේලෙන් බාගයක් ඇරලා දීලා කිව්වා "ඔය ගානට අරින්න අනිත් අයට නැත්තන් කරදරයි" කියලා..

    උඩවලවට කිට්ටු වෙනකොට උදේ ඇඳපු සුදු පාට ෂර්ට් එක බස් එකේ දූවිලි වලටම කලුපාටට හුරු අලු පාටට හැරෙන එකත්, අලුපාට දිග කලිසම දුඹුරුපාටට හැරෙන එකත් ඒ ගමනෙම කොටසක්.. සියඹලාණ්ඩුව කිට්ටුව තියෙන අන්තිම හමුදා මුරපොළට එද්දී බස් එකේ පිරිස හොඳටම හෙම්බත් වෙලා ඉන්න නිසාම බස් එක චෙක් කරන්න හමුදාවේ අය බස් එකට නගිනවා.. කොහොමත් ඒ ගමන පුරාවටම මීටර් හය හත්සීයක් පයින් යන්න ඕනෙ හමුදා මුරපොළවල් වලින් කරන සෝදිසි කිරීම් නිසාම.. ඒත් මිනිස්සුන්ගේ විඩාව තේරුම් ගන්න පුලුවන් උනු හමුදාවේ කොල්ලො අන්තිම මුරපොළේදී කෑ ගහල කියනව පුලුවන් අය විතරක් බැහැලා එන්න කියලා.. ඒ වෙද්දී බස් එකෙන් බහින්න පුලුවන් තත්ත්වෙක ඉන්නේ මගදි බස් එකට ගොඩ උණු පිරිමි කීප දෙනෙකුට විතරයි.. වේගෙ සීමා කරන්න දාලා තියෙන බම්පර් වලින් පවා බස් එක යන්නේ පැයට කිලෝ මීටර් 60ක 70ක වේගෙකින්.. බම්පර් වලදි වේගේ අඩු කර කර හිටියනම් අම්පාරට කිට්ටු වෙන්නේ කලුවර වැටුණටත් පස්සේ.. අපි අම්පාරේ ඉඳලා තවත් කිලෝ මීටර් 25ක් යන්න ඕනේ ගමට යන්නනම්.. කොළඹ - අම්පාර බස් එකේ අම්පාරට එන ගොඩක් අය අපි වගේම තව කිලෝ මීටර් ගාණක් යන්න ඕනේ වෙන වෙන බස්වල.. ඒ දවස්වල අම්පාරේ ඉඳලා ඇතුළු ගම්මාන වලට අන්තිම බස් එක පිටත් වෙන්නේ හවස 6ට. 6න් පස්සේ ආයේ බස් නෑ.. ඉතින් පාර හරහා බම්පර් නෙමෙයි තඩි කොස් කඳන් දාලා තිබුණත් බස් එක ඒවා උඩින් එන වේගෙටම ආවා කියලා කිසිම මගියෙක්ගෙන් රියදුරාට කිසිම පැමිණිල්ලක් නෑ.. ඉතින් ඒ ගමන පැය දොළහකින් ඉවර වෙනකොට බස් එකේ ආව මගීන්ගෙන් සෑහෙන පිරිසක් බාගෙට මැරිලා වගේ ඉන්නේ..:dull:

    ගම ඇතුළට යන ඊලඟ බස් එනකන් දුඹුරුපාට උළු හෙවිලි කරපු දුර්වර්ණ වෙච්ච භාග බිත්ති වලින් වට වෙච්ච අම්බලමක ස්වරූපෙන් තිබුණ අම්පාර ප්‍රධාන බස් නැවතුම්පළේ සිමෙන්ති බංකුවේ ඉඳ ගත්තා නෙමෙයි නිකන්ම ඉන්ඳුනා.. උදේ ඉඳලා ගමේ යනවා කියන පට්ට ගැම්මෙන් හිටපු මගෙත් ගැම්ම ඒ වෙද්දී හේදිලා ගිහින් කන් කඩා හැලිලයි හිටියේ.. බැරිම තැන මම තාත්තගෙන් ඇහුවා "අපි තව ගොඩක් දුර යන්න ඕනෙද" කියලා.. ඇයි ඉතින් උදේ පාන්දර 3:45ට ගෙදරින් පිටත් වුන අපි හවස 5ට අම්පාරෙන් බැහැලා ආයේ තව බස් එකක් එනකන් බලන් හිටියනේ..

    තත්තනම් පොඩි හිනාවක් දාලා මගෙන් ඇහුවා "ඇයි මහන්සිද.? ඇති වෙලාද ඉන්නේ.." කියලා..

    ලාවට වගේ "ඉහීක් " ගෑව මිසක් ඒකට උත්තර දෙන්න තරම්වත් පනක් දිබුණේ නැද්ද මන්දා..

    කොහොමහරි තාත්තා වටයක් දාලා ඇවිත් අම්මට කිව්වා "බස් එකට ටිකක් සෙනග ඉන්නවා වගේ" කියලා. බැලින්නම් මෙච්චර වෙලා අපි ඉඳගෙන ඉඳලා තියෙන්නෙ වැරදි පැත්තේ.. අඹගහවැල්ල කියන ග්‍රාමයට යන බස් එක නවත්තන පැත්තේ ඉඳලා තමයි තාත්තා ඇවිත් කිව්වේ බස් එකට සෙනග ඉන්නවා කියලා.. කොළබ ඉඳලා නෑයොන්ට බෙදන්න උස්සන් ආව ලට්ට ලොට්ට ඇඳුම් පැළඳුම්, සපත්තු සෙරෙප්පු සෙල්ලම් බඩු පුරෝපු තඩි සූට් කේස් එකකුයි, අපේ ඇඳුම් ඔබාගෙන ආව ට්‍රැවලින් බෑග්, ටියුලිප් බෑග්, මග දිගට කන්න ගත්තු ලට්ට ලොට්ට පිරුණු ෂොපිං බෑග් ඔක්කොම නහයෙන් කටින් එල්ලගෙන අපිත් අඹගහවැල්ල බස් එක නවත්තන තැනට කිට්ටු කළා.. අපරාදේ කියන්න බෑ ඒක තමයි මම දැකපු දිගම සහ අපිළිවෙලම බස් පෝළිම.. සරමක් එහෙම ඇඳගෙන ගැමි කම උපරිමේටම ප්‍රදර්ෂනය කරපු අංකල් කෙනෙක් "චිරීස්" ගලා බුලත් කෙළ පාරක් ගැහැව්වා බස් හෝල්ට් එක ඇතුළෙම තිබුණ බිත්තියකට.. අංකල්ගේ බුලත් කෙළ දර්ශනේ දැක්කට පස්සේ ඊට ටිකකට කලින් ඒ වගේම රතුපාටට හුරු දුඹුරු පාට බිත්තියක ඇතිල්ලි ඇතිල්ලී කාපු, අම්මා සුද්ද කරලා අතට දුන්න දොඩම් බික අමාශේ දිගේ ආයේ උඩ අතට එනවා වගේත් දැනුණා..:sorry:

    අම්පාරට හිටපු ගමන් කොටි ගහනවා, රෑට වල් අලි එනවා වගේ භයානක කතා අහපු මට ඒ කතාවලට වැඩිය ලොකු බයක් දැනුනා එක බස් එකකට නගින්න ඉන්න සෙනග කන්දරාව දැක්කට පස්සේ.. "සමහරවිට බස් දෙකක් දානවා ඇති.. එහෙම නැත්තං අපි කොළබ ඉඳලා ආව ජාතියේ ලොකූ බස් එකක් එනවා ඇති.." ඔය වගේ බොලඳ හිත නිවන කතා වලින් මම තනියම හිත සනස ගන්න උත්සහ කළා දූවිලි වැදිලා දුඹුරු පාට වෙලා තිබුණ ගෙදරින් එද්දී කලුපාටට තිබුණ සපත්තුවේ රටාවට ඉරි අඳින ගමන්..

    ටික වෙලාවකින් මුළු උතුරු නැගෙනහිර පළාතෙම දූවිලි අවුස්සගෙන, තාර ගැලවිලා බොරලු මතු උන අම්පාර බස් නැවතුම පොළ පැත්තට දෙපැත්තට පැද්දි පැද්දී එන බස් එකක් දැකපු මිනිස්සු ඔක්කොම සෑහෙන්න කලබල උනා..අද වගේ රැජිණවල් නොහිටපු ඒ කාලේ තිබුණ සී.ටී.බී බස් බොහොමයක හෙන මාරක මුස්පේන්තු පෙනුමක් තමයි තිබුණේ.. තද දුඹුරු පාට දූවිල්ලෙන් හැඩ වෙච්ච මූන ලටෙක්, බඳ ඩිමෝ, පස්ස වෙස්කෝ උණු අමුතුම විදිහේ බස් කබලක් විරාජමාණ උනා දූවිලිත් එක්ක දෙයියෝ වැඩියා වගේ..

    cjPTA6V.jpg


    අකුරු ඇද උනු, අගිසි ගැලවුණු බෝඩ් ලෑල්ලක යාන්තමට "අඹගහවැල්ල" කියලා ගහලා තිබුණා.. අපි බෝඩ් එකේ අකුරු වලින් බස් එක අඳුර ගන්නකොට බස් එකේ පෙනුමෙන් බස් එක අඳුන ගත්තු සෙනග පිරිලත් ඉවරයි.. පිරිලා කිව්වට දොරවල් දෙකක් නොපෙනනෙන තරමට, වම් ඇත්තේ සයිඩ් කණ්නාඩියේ ඇන්ඳ නොපෙනෙන තරමට, ඩ්‍රයිවිං සීට් එකක් නොපෙනෙන තරමටම බස් එක පිරිලා.. ඒ විතරක්නම් මදෑ.. තවත් බස් එකකට සෙනග, ඒ පිරුණු බස් එකේ නගින්න පොර කනවා.. මම මාරුවෙන් මාරුවට තාත්ත දිහායි, අම්මා දිහායි, බස් එක දිහායි, ආයේ අම්මා දිහයි, බස් එක දිහායි, තාත්තා දිහායි බල බල ඉඳලා බැරිම තැන ඇහුව "අපි යන්නේ කොහොමද.?" කියලා..:eek:

    ටික වෙලාවකින් කොන්දොස්තර ඇවිත් කීප දෙනෙක්ව බස්සලා කොහොමහරි ඇතුළට ගොඩ උනා..:P ටිකට් මැසිම එළියේ හිටපු කෙනෙක් පස්සෙ තමයි කොන්දොස්තරට දුන්නේ.. කොටින්ම මැසිම පිටින් බස් එකට ගොඩ වෙන්න ඉඩ නෑ..:shocked: එළියට බැස්ස කීප දෙනා එක්කම තවත් හතර පස් දෙනෙක්ම ආයේ බස් එකට ගොඩ උනා ඒ ආස්සේ.. බස් එකේ ඩ්‍රයිවර් මාමාත් බස් එක වටේ රවුමක් දාන ගමන් ගෙවිච්ච ටයර් වලට එහෙම කකුලෙන් ඇණලා බැලුවා.. ආයේ ඉස්සරහ දොර ලඟට ගිහින් ටිකක් කල්පනා කරලා අන්තිමට රෝදේට කකුලක් තියලා දකුණු පැත්තේ ජනේලෙන් රියදුරු අසුනට ගොඩ උනා..:confused:
    ගියර් පොල්ල උඩ තිබුණ ලට්ට ලොට්ට ටික අයින් කරලා ගියර් එක හොයා ගන්නත් සෑහෙන වෙලාවක් යන්න ඇති.. බස් එක පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මොනවදෝ කිය කිය දකුණු පැත්තේ කොනක තිබුණ හෑන්ඩ්බ්‍රේක් එක හොයනවත් පෙනුනා..:D සුවර් එකටම එතනත් මිනිස්සුන්ගේ ලට්ට ලොට්ට පිරිලා තියෙන්න ඇති.. මේ ඔක්කොම වෙනකන් අපි බස් හෝල්ට් එකට වෙලා බස් එක වටේට කැරකි කැරකි ඔහේ බලන් හිටියා.. පැත්තකට ඇල උනු පරණ සී.ටී.බී. බස් එක අඹගහවැල්ල බලා පිටත් උනා.. අපි විතරක් බස් හෝල්ට් එකේ ඉතුරු උනා..

    FDvf40D.jpg


    කලුවරත් වැටීගෙන එනවා. රෑ වෙනකොට අලි පාරට එනවා.. අලින්ගෙන් ගැලවුනත් කොටින්ගෙන් ගැලවෙන්න ලේසි නෑ.. ඔය වගේ කන්තන්දර නිසා අපි ත්‍රී-වීල් එකකින් ඉතුරු දුර ගෙවන්න කල්පනා කලා.. බස් එකේ රුපියල් 25ක දුර ත්‍රී වීල් එකට රුපියල් 850ක් වගේ මතක.. ගොඩක් කල් නිසා ගණන් මතක නෑ.. කොහොම උනත් සෑහෙන ලොකු ගාණක්.. කේවල් කිරිලි මුකුත් නැතුව තාත්තා අපේ බඩු ඔක්කොම ත්‍රී වීල් එකට පටවන්න ගත්තේ ඒ වැඩි වෙන ගාන වගේ සිය ගුණයක අවධානමක් රෑ වෙද්දී ඇති වෙනවා කියලා දන්න නිසා වෙන්න ඇති.. අනික තාත්තත් ගොඩ දවසකින් යන නිසා හරියට පාරවල් දන්නේ නෑ.. ඒ වගේම හරි හමන් පාරවලුත් නැ..

    අන්තිමට කොහොමහරි කීප සැරයක් පාර වරද්දගෙන අපි ගමේ ආවා.. ඒ වෙද්දිත් ලයිට් නොතිබුණ නිසා ආච්චියි සීයයි කුප්පි ලාම්පු පත්තු කරන් ඇවිත් අපිව පුතේ කියාගෙන අපිව පිළි ගත්තා..:love:

    පරණ සිද්දි, ඇළවල් බොර වෙනකන් නාපු හැටි, කුඹුරු විනාස කරපු හැටි, මාලු අල්ලපු හැටි, උදේට කාල ගෙදරින් එළියට බැස්සාම ආයේ දවල් බඩගිනි වෙනකන් ගමේ ඇවිදපු හැටි, ජිවිතේ මුල්ම වතාවට අත් ට්‍රැක්ටරයක් පැදපු හැටි.(මළ මගුළයි! මම කිව්වේ ඇත්ත එකක්, කුඹෝටා වර්ගේ එකක් ගැන:angry:) වගේ ගොඩාරියක් විස්තර එක්ක වෙලා තියෙන වෙලාවක ආයේ හමු වෙනකන් මතු සම්බන්ධයි.;)

    හිත මිතුරු
    -RICHLIFE-
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පස්සේ කියවන්න බුම්ප් කළා :D
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    #වටින ත්‍රෙඩ්
     
    • Like
    Reactions: richlife

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,357
    941
    113
    Godric's Hollow
    අම්පාරේ ගිහින් තියෙන්නේ එක පාරයි... එකත් කොටි කේස් නැති කාලෙ.

    ඒ කාලේ පාරේ බස් එකේ උබ ඔය ගමන ගියා කියන්නේ පට්ටම අත්දැකීමක්. මොකද ඒ කාලේ අදවගේ ගෙවල්, පාරවල් හැදිලා නාගරී කරනය වෙලත් නෑනේ ගොඩක් පළාත්. ඉතුරු ටිකත් ලියපන් මචන් පට්ට.. :yes::yes:
    තියෙනවනම් ඒ කාලේ ෆොටෝස් දාපන් :cool:

    9+
     
    Last edited:
    • Like
    Reactions: richlife