අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    ආයුබෝවන් අපේ එළකිරි යේ සාමාජිකයෝ ඔක්කොටම....

    අද මම කියන්න යන්නේ තරමක් වෙනස් විදිහේ අත්දැකීමක් ගැන කතාවක්.
    මම මේ කියන්න යන දේ සංචාරක නූලක් වුනාට සැඟවුණු වැළලුනු ඉතිහාසයක් තියෙන නිසා මම තීරණය කළා මේක '' ඉතිහාසය '' ගොන්නට ඇතුලත් කරන්න.

    මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්.

    මේ ගමන අපි ගියේ කොහෙද,මොන පළාතේද, ගමන් විස්තර, ගමන පුරාවට අපි මුහුණ දීපු අත්දැකීම්, මේ කිසිම දෙයක් ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ.
    ගමනේදී අපි දැකපු එකම එක දෙයක් ගැන කරපු නිරීක්ෂණ සහ නිගමන ගැන විතරයි මම කතා කරන්න යන්නේ....
    ඒක නිසා කොහෙද මේ කියන දේ අහන්න එපා කියල විතරක් ඉල්ලා සිටිනවා. :sorry::sorry::sorry:

    මොකද ස්ථානය හෙළිදරව් නොකර ඉන්න තරමට ඒකෙ ආරක්ෂාව සහතිකයි.:yes:

    ඊළඟ කාරණාව මේ පිළිබඳව දැනුම් දිය යුතු අංශ අපි දැනුවත් කරලා ඉවරයි.ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දිහා අපි බලාගෙන ඉන්නවා. ඉන් එහා අපිට කිසිම දෙයක් කරන්න හැකියාවක් වත්, අයිතියක් වත් නැහැ.

    ....///....


    නිරීක්ෂණය - නිගමනය සහ අදහසක් ඉදිරිපත් කිරීම.

    සංචාරය යනු මිනිසා ගේ අතීතය තරම්ම පැරණි ක්‍රියාවලියකි.වසර දස දහස් ගණනාවක් තිස්සේ එහි අරමුණු වෙනස් වෙමින්, අලුත් වෙමින් වර්තමානයේදී විනෝදයත්, සතුටත්, අධ්‍යාපනයත්, ගවේෂණයත් ආදී බොහෝ අරමුණු ඔස්සේ පැතිර පවතී.

    චාමර පෙරේරාත් ( මමත් ගුරුහරුකම් ගන්න වැඩිමහල් මිත්‍රයෙක් ) මමත් කාලයකට ඉහත ලංකාවේ ප්‍රසිද්ධ, සංචාරක ආකර්ෂණය දිනා ගත් කඳු ශිඛරයක් පිලිබඳ සයිබර් කතිකාවක නියැලෙමින් ඉඳිද්දී,සිතියමේ එක් අපුරු පිහිටීමක් නෙත ගැටිණි.ප්‍රථම ස්තුතිය ඔහුට.

    නිම්න භූමියක් මැදින් ගලාඑන දිය දහරාවකින් දිය ඇලි නිර්මාණය කරමින් ගලා බස්නා අතු ගංගාවක ඉහත්තාවේ පිහිටුම් කෙරුණු ඒ අපූරු නැවතුම් පොළට දවසක යා යුතුමය බව එදාම තීරණය කලෙමි.

    ඔව් ඇත්ත වශයෙන්ම ඒ ගමන අපි ගියා.
    එහිදී අපි විඳපු දුෂ්කර තත්වයන්, අපි මුහුණ දුන් අවස්තාවන්, අපි එකමුතුව කටයුතු කල අයුරු, අපි දැක්ක දිය ඇලි මේ කිසිවක් පිළිබඳව නෙමේ මම මේ කියන්නට යන්නේ.

    එදා සිතියමෙන් විතරක්ම දැක්ක, ඒ පුංචි නවාතැන් පොලේදී අපි දුටු විශ්මජනක දේ පිළිබඳවයි.
    පළවෙනියෙන්ම සරලව ඒ තැන ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්.

    අපි මෙතනට ලඟා වුනේ ගමනේ දෙවෙනි දවසේ ඉර බහින්න හෝරා දෙකකට විතර කලින්........
    අපි උඩුගම් බලා ගිය දිය පහර වඩාත් සුමටව ගලා බසිමින් පහලට වැලිමිටි වංගුවක් ඔස්සේ නැම්මක් සහිතව කුඩා පොකුණක් නිර්මාණය කරයි.
    පොකුණේ එක් පසෙකින් කුඩා තැනිතලා එලිමහනකි.
    නමුත් මේ එකක්වත් නෙමේ අපේ දෑස් අදහා ගන්න බැරිවුනේ......
    පොකුණ ඉදිරියෙන් ගංගාවේ අනෙක් ඉවුරේ කුඩා කණ්ඩියක් උඩ ගරා වැටුණු නටඹුන් පෙළක් විය.අන්න ඒක තමා අපි දැක්ක විශ්මයජනක දේ.

    B06GXmR.jpg


    ඒ දැක්ක පසු හිතේ ප්‍රශ්න ගොන්නක් මැවිණි.
    මේ මොකක්ද, කොයි කාලෙක හදපු එකක්ද ?
    කවුද හැදුවේ ? මොකටද ?
    මේ මහා ඝන වනාන්තරයේ මිනිහෙකුට ලඟා වෙන්න අමාරු ඉසව්වක මේ වගේ දෙයක් දැක්කම ඇත්තටම පුදුම නොවී ඉන්න අපිට බැරි වුනා.

    ඇත්තටම මේ දැනුත් ඒ ගැන හිතද්දී හරි පුදුම ගුප්ත සිතුවිලි ඔලුවට එන්නේ.
    අපිට ඒක අබිරහසක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    ඒ නටඹුන් පෙළ කුමක්ද කියන දේ ගැන ස්ථීරයෙන්ම නිවැරදි පිළිතුරක් දෙන්නට තරම් අපි ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ නෙමේ. එහෙම පිළිතුරක් දෙන එකත් සම්පුර්ණයෙන්ම වැරදි.
    හැබැයි ඉතින් අද ගොඩක් රුපවාහිනි , පුවත්පත් මාධ්‍ය වලින් නම් තොරතුරක් හොයන්නේ බලන්නේ නැතුව අලෙවි කරනවා.
    අපේ ගොඩාක් සංචාරකයොත් ප්‍රසිද්ධිය හරි වෙන මොකක් හරි හේතුවක් නිසා යම් යම් අවස්ථාවල වැරදි මත සමාජගත කරනවා.
    නමුත් එහෙම කරන්න අපිට බැහැ.

    හැබැයි අපිට පුළුවන් දෙයක් තියෙනවා.
    පළවෙනිම දේ තමයි ඉතිහාසය හොයන, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ වගකිවයුත්තන්ට මේ ගැන දැනුම් දෙන එක..
    අපි ඒ දේ කරලා ඉවරයි.

    ඒ වගේම තමයි අපි දැකපු දේ ගැන අපේ නිරීක්ෂණයන් සහ නිගමනයන් ගැන අදහසක් ඉදිරිපත් කරන්නත් අපිට අයිතියක් තියෙනවා.
    අපේ තර්කයන් සම්පුර්ණයෙන්ම හරි වෙන්නත් පුළුවන්, බාගයක් හරි වෙන්නත් පුළුවන්, නැත්තන් සම්පුර්ණයෙන්ම වැරදි වෙන්නත් පුළුවන්.
    කොහොම වුනත් අපි බලාගෙන ඉමු ඉදිරියේදී කටයුතු සිද්ධ වෙන පිළිවෙල දිහා.

    අපි දැක්කේ මොකක්ද කියන දේ ඉදිරියේදී සමාජගත වෙයි.

    හරි. දැන් මම කතා කරන්න යන්නේ අපේ නිරීක්ෂණයන්, නිගමනයන් සහ අපේ අදහස්.
    මේ ටික බොහොම පරිස්සමින් කියවන්න ඕනේ.අපි දැකපු දේ පින්තුර වලින් පුළුවන් විදිහට මම ඉදිරිපත් කරන්නම්. ඒ වගේම සමහර කරුණු තේරුම් ගන්න පහසු වෙන විදිහට කටු සටහන් වලින් ඉදිරිපත් කරන්නම්.

    අපේ නිරීක්ෂණයන් මුලික කොටස් දෙකක් යටතේ සිද්ධ වුනා.

    01 - ගඟ සහ පොකුණ
    02 - වැලිතලාවෙන් යට වුනු නටඹුන්

    ගඟ සහ පොකුණ

    අප නැවතුනු ස්තානයේදී බොහොම සාමකාමිව ගලා බසින ගංගාව එම ස්ථානයේදී අංශක 90 වඩා වැඩි කෝණයකින් හැරීමක් සිද්ද වෙනවා.
    සාමාන්‍යයෙන් ස්වභාවිකව ජල පහරක් මෙතරම් කෝණයකින් හැරීමට නම් 01 කටුසටහන රුපයේ මෙන් A ඉවුර B ඉවුරට වඩා උස් විය යුතුය.
    එවිට ජලයේ හට ගන්නා ඉස්කුරුප්පු ආකාරයේ රැලි ( helical flow )පිටත ඉවුර ( A ) වැදී B දෙසට තල්ලු වේ.

    X37dohq.jpg

    කටුසටහන 01

    නමුත් වඩාත් ප්‍රභල අවස්ථාවකදී ඒ හට ගන්නා රැලි මගින් A ඉවුර ක්‍රම ක්‍රමයෙන් ඛාදනය වීමට පටන් ගනී.
    කාලයත් සමග එසේ වීමෙන් එම ස්ථානය පළල් වේ.
    නමුත් ඉවුර අයිනට සවිමත් බාධකයක් තිබේ නම් එය සිදුවීම වැළකෙයි.
    උදාහරණ ලෙස, ගල් බිත්තියක්, ශාක වියනක්, ගස් මුල් නිසා නිර්මාණය වෙන බාධකයක් ආදිය නිසා.
    නමුත් එම පිටත ඉවුරේ ස්වභාවයෙන්ම පවතින එළිමහන් තැනිතලාව නිසා එසේ ඉවුර ඛාදනය වීම සිදු වේ යැයි නිගමනය කල හැක.
    තවද ගංගාව දිගේ ගොඩනැගිල්ල සහිත ඉවුරේ ගස් වැටියක් ආකාරයෙන් දක්නට ලැබිණි.
    ගංගාවේ ගොඩනැගිල්ලට ඇතුලුවෙන කොටසේ සුදු වැලි තලාවක් තිබිණි.
    එසේ නම් එතන පොකුණ නිර්මාණය වුයේ සොභාවිකවමද ?

    එතැනදී මගේ පිළිතුර නැත යන්නයි.එනම් එය මිනිස් ක්‍රියාකාරකමකි.
    ඊට සාක්ෂ්‍ය ලෙස පහත කරුණු මම දක්වන්නම්.

    3QcmJPo.jpg

    ගඟ පොකුණට එකතු වෙන ස්ථානය.මෙහිදී ගඟ බොහෝදුරට තැනිතලා බිමක් ඔස්සේ ගලයි.

    ගඟ ඒ ඉසව්වේදී ස්වභාවයෙන්ම තැනිතලා භූමියක් ඔස්සේ ගලයි.එනිසා අධික වැසි සමයකදී හැරෙන්නට ප්‍රචණ්ඩ රල පහරක් නිර්මාණය නොවේ.
    එමනිසා පොකුණ අප දුටු ප්‍රමාණයෙන් විශාල වීම එතන භූ විෂමතාවය අනුව සිදුවිය නොහැක.
    පොකුණ යනු ගඟේ ස්වභාවික නැම්මත්, ඉවුරු ඛාදනයත් යන කරුණු දෙකම ආධාර කරගෙන නිර්මාණය කල එකකි.
    එම පොකුණේ ජලය ඇතුළුවන ස්ථානයට ඈතින් කෙලවර වඩාත් ගැඹුරුය.
    එසේ සිදුවී ඇත්තේ කාලයත් සමග පොකුණ පාවිච්චිය අත් හැරිම නිසා ගඟේ ජල පහරත් සමග පැමිණෙන වැලි සහ ගල් පොකුණේ ජලය ඇතුළු වී
    ගලාගෙන යන ප්‍රවාහයේ දෙපසින් තැන්පත් වීම නිසාය.එනම් ඊට එපිටින් කොටස කෘතිමව හාරා නිර්මාණය කර ඇති බව නිගමනය කල හැක.
    එම ගැඹුරු කොටසේ ජලය රැඳෙන අතර බහුල ලෙස කොලරොඩු තැන්පත් වීමද සිදුවේ.
    එනම් එම කොටස පසුව හාරා පොකුණටම සම්බන්ධ කර ඇති බව මගේ නිගමනයයි.

    y0AijUC.jpg


    kMfL1qt.jpg

    පොකුණේ කෙලවර වඩාත් ගැඹුරු බව දැකිය හැක. එහි බොහෝ කොලරොඩු තැන්පත් වී ඇත.

    Al3AJVC.jpg

    පොකුණට වතුර ඇතුළු වෙන ස්ථානය අයිනෙන් ගල් විශාල වශයෙන් දැකිය හැක.

    CtjC5m9.jpg


    my0mQaG.jpg

    පොකුණ ඉදිරියෙන් ඇති එළිමහන් තැනිතලා කොටස.

    කෙනෙක් මෙතැනදී පොකුණක් නිර්මාණය කලේ කුමක් සඳහාද ?

    ඒ සඳහා වඩාත්ම ගැලපෙන පිළිතුර නම් ස්නානය මුලික කරගෙනය.
    එනම් මෙය අතීතයේ නාන තොටුපොලක්ව පවතින්නට ඇත.පොකුණේ ඇති ගල් නිරීක්ෂණය කිරීමේදීද අතීතයේ පොකුණ වටා යම් බැම්මක් තිබෙන්නට ඇති බවද අනුමාන කල හැක.

    අවසන් නිගමනය නම් සොබාවික භුවිෂ්මතාවය උපයෝගී කරගෙන ස්නානිය අවශ්‍යතා වෙනුවෙන් මෙහි පොකුණක් ඉදිකරන්නට ඇත.

    cNWcJLj.jpg


    cNWcJLj.jpg



    වැලිතලාවෙන් යට වුනු නටඹුන්

    වඩාත්ම ආකර්ශනීය දේ මෙයයි. මන්ද මෙය පැහැදිලිවම මිනිසාගේ නිර්මාණයකි.
    ඒ වගේම අපි දැකපු, අපිට තේරුම් ගිය විදිහට මේ නටඹුන් සියවස් කිහිපයක් හෝ ඊට වඩා පැරණියි.

    නමුත් අවාසනාවකට එදා අපි සිටි වෙහෙසකර තත්වයත්, මානසික මට්ටමත් මෙවැනි සිදුවීමක් පිලිබඳ අපේ ඇති අනවබෝධයත් නිසා වැඩි යමක් සෙවීමට අපට නොහැකි විය.
    අප නිරීක්ෂණය කල කරුණු පහත පරිදි වේ.

    - පහත කටු සටහනේ ආකාරයට ප්‍රධාන කණු 4ක්, මැද කනුවත්, වඩාත් ඈතට වන්නට පිහිටි එකිනෙක ලඟින් පිහිටි කණු දෙකකුත් වශයෙන් සම්පුර්ණ කණු 07 ක් තිබුණි.

    xcddH02.jpg


    - කිසිඳු කණුවක් බිම ඇද නොවැටී තිබුණු අතර ඉතා ස්වල්ප වශයෙන් ඇද වී පමණක් තිබුණි.

    PmlFHyX.jpg


    - මැද පිහිටි කනුව පමණක් වටකුරු වුනු අතර ඉතිරි සියලුම කණු සෘජු කොනාශ්‍රාකාර හැඩයෙන් අඩි 2.5 * 2.5 ප්‍රමාණයේ (ආසන්න වශයෙන් ) විශාලත්වයකින් යුතු විය.

    - මැද පිහිටි කනුවත් ඒ ප්‍රමාණයෙන්ම විශාලත්වයෙන් යුතු විය.

    AD6ISTd.jpg


    - ගොඩනැගිල්ලේ ප්‍රධාන කොටස මීටර් 4 * 5 පමණ වර්ගඵලයකින් යුක්තය (ආසන්න වශයෙන් )

    numYcAg.jpg


    - කුඩා කොටස මීටර් 2 * 2 ප්‍රමාණයෙන් යුක්තය (ආසන්න වශයෙන් )

    - ගොඩනැගිල්ලේ ප්‍රධාන කණු 05 ම සම උසින් යුක්ත විය.

    - මැද කනුව බොහෝ දුරට මධ්‍ය ලක්ෂ්‍යයේ පිහිටා තිබුණි.

    - කණු නිර්මාණය කොට තිබුනේ බදාම ස්ථර වලින් සවි ගැන්වුණු ගල් යොදා වන අතර කණු පිටතින් පැහැදිලි ලෙසම කපරාරු කොට තිබිණි.
    එම කපරාරුව ඇතුලතින් කහ පාටට හුරු ගුරු පාටක් විය.

    t8KiTB1.jpg


    - ගොඩනැගිල්ලේ කණු වල පොලවට යටවුනු කොටසේ පොළවෙන් යාන්තම් මතුවුණු ස්ථානයේ පහල බිත්තියක් කොටසක් දැකිය හැකි විය.
    එය පහත පින්තුරයෙන් නිරීක්ෂණ කල හැක. මන්ද එහි කණුවෙන් පිටතට නෙරු ගල් දැකිය හැක.

    W8pTCQb.jpg


    - ගොඩනැගිල්ල සහිත භුමිය ගංගාවට වඩා අඩි 3 පමණ ඉහලින් තිබුණු අතර ගොඩනැගිල්ලේ දිරාපත් වුනු අවශේෂ නිසා පාදමේ සිට අඩි 4 වඩා වැඩි ප්‍රමාණයක් පස් වලින් ගොඩ වී තිබුණි.

    gnhgGgw.jpg



    - ගොඩනැගිල්ලේ වහලයක් හෝ සෙවිලි කැටයක් වැනි කිසිවක් සොයා ගත නොහැකි විය.

    - ගොඩනැගිල්ලේ පිහිටීම අනුව පොකුණ දෙසට මුහුණලා තිබෙන පැත්ත එහි ඉදිරි පස ලෙස අනුමාන කල හැක.

    - ගොඩනැගිල්ල ඉදිරියෙන් පොකුණ දෙසට මුහුණලා සිට ගත් විට උතුරු දෙසට දිශානති වේ.

    y0AijUC.jpg

    ගොඩනැගිල්ලේ සිට පොකුණ පෙනෙන අයුරු.

    HrhurRW.jpg

    පොකුණේ සිට ගොඩනැගිල්ල පෙනෙන අයුරු.( කුඩාරමට පසුපසින් උස් බිමෙහි නටඹුන් පිහිටා ඇත )

    - ගොඩනැගිල්ල අවට කිසිඳු ලී නිර්මාණයක් ( දොර,ජනෙල්, වහල ලී ) හමු නොවිය.

    - ගොඩනැගිල්ල පිහිටි බිම පුරාම වාගේ කැකිල්ල පැලැටි දක්නට ලැබිණි.
    මේ වනාන්තරයේ අපි ආපු ගමන් මගේ කිසිම ඉසව්වක අපි කැකිල්ල පැල දැක්කේ නැහැ.
    අපේ ගම්වල කැකිල්ල පැලෑටි පාවිච්චි කරනවා පස හෝදාපාළුව වලක්වන්න.
    එයින් අපිට තේරුම් ගන්න පුළුවන් කැකිල්ල පැලැටි මෙතනට වෙනත් තැනකින් ගෙනත් පැල කරපු බව.
    එහෙම කරන්නේ ගඟ නිසා සිද්ධ වෙන හෝදාපාළුව සහ වැස්සට සිද්ධ වෙන හෝදාපාළුව වලක්වන්න.

    - ගොඩනැගිල්ලේ ලංව පිහිටි කණු සහිත පැත්තේ නැවතත් ඝන වනය වුනු අතර භුමිය නැවතත් අඩි 4 පමණ බෑවුම් වේ.

    hheOexq.jpg

    කැලෑ වට වැසුණු ගොඩනැගිල්ලේ ලඟින් පිහිටි කණු. ( මෙය ගොඩනැගිල්ලේ පසුපස කොටස යැයි අපි අනුමාන කළේය.)

    gnzxvmj.jpg

    සම්පුර්ණ ස්ථානයේ පිහිටීම සටහන් කර මා විසින් ඇඳි කටු සටහන.


    මේ කරුණු ඔස්සේ ගොඩනැගිල්ල සහිත භුමිය කෘතිමව උස්සා ඒ තුල ගොඩනැගිල්ල නිර්මාණය කරන්නට ඇති බව ට නිගමනය කල හැක.
    ශක්තිමත් බව සුරැකෙන පරිදි එය නිර්මාණය කරඇත.

    අපේ නිරීක්ෂණයන් සහ නිගමනයන් ඔහොම වුනත් ප්‍රශ්න එකකටවත් පිළිතුරු ඔතන නැහැ..

    මේ නටඹුන් මොනවද ?
    මෙතන ගොඩනගල තිබුනේ මොකක්ද ?
    කොයි කාලෙකද ?
    මොකක්ද හේතුව ?
    කවුද මෙහෙම දෙයක් කලේ ?
    ඒ ආසන්නයේ තව මොනම හරි දෙයක් තිබුනද ?

    අවසන් වශයෙන් මම කියන්නේ කැලේ මැදදී අපි දැක්ක ඒ නටඹුන් වලට අයිති පුංචි ගොඩනැගිල්ල වගේම පොකුණත් මොනම හරි හේතුවක් මත අතීතයේ දවසක මිනිස්සු විසින් හදපු බව.
    ( නමුත් පොකුණ ස්වාභාවික පිහිටීමක් කියල බොහොමයක් දෙනෙක් මට කිව්වා. ඒ වුනත් මගේ හිත කියන්නේ මේ පොකුණ මෙතන මිනිස්සු විසින් ගොඩනගපු එකක් කියලමයි.අඩුම ගන්නේ පොකුණ ඔය මට්ටමට විශාල කලේ අතීතයේ ඔය නිර්මාණය කල මිනිස්සුමයි කියල මට හිතෙනවා.)

    ඉතින් අපි කාලයට ඉඩදෙමු වැළලුනු ඉතිහාසයේ ඇත්ත නැත්ත එළිදරව් වෙනකන්.
    සංචාරකයෙක් හැටියට ඒක මාරම අත්දැකීමක්.
    ඒ අත්දැකීමට සාක්ෂ්‍ය වශයෙන් අපි 05 දෙනෙක් ඉන්නවා.

    ( යම් විදිහකින් මේ තැන මොකක්ද කියන දේ අපිට දැන ගන්න ලැබුනොත් මම ඒක අනිවාර්යෙන් කියනවා )


    ....///....
     

    thanujaka

    Well-known member
  • ත්‍රෙඩ් එකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
    විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ ලිපිය කියවන්න ආස හිතෙන විදිහට ලස්සනට භාෂාව හසුරවලා තියනවා.
    ගොඩක් හොදයි.
    රෙප් දුන්න කාලයක් මතකත් නෑ හැබැයි උඹට රෙප් දෙන්න බෑලු ඒ ගැන කණගාටුයි.